Header Ads

බල්ලෝ බත් කති

කුරුණෑගල ශ්‍රී මත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක වූ වෙනූෂා ඉමන්දි බණ්ඩාර දිවිනසා ගනු ලැබුවේ 'ෆේස් බුක්' ගිණුමක ඇයගේ ඡායාරූපයක් පළවී තිබීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා අපහාසාත්මක අන්දමින් කළ චෝදනාවක් නිසා ඇති වූ කලකිරීමක් හේතුවෙනි. මේ ශිෂ්‍යාවගේ මරණයෙන් පසු විදුහල්පතිවරයාට එරෙහිව ඇගේ මවුපියන්, හිතවතුන් හා ආදි ශිෂ්‍යයෝ පිරිසක් පාසල ඉදිරිපිට අඛණ්ඩ උද්ඝෝෂණයක නිරත වූහ. ඒ ඔහුට ඉල්ලා අස්වන ලෙස බල කරමිනි.

උද්ඝෝෂණය හේතුකොටගෙන විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය
කටයුතු කළ පසු ඔහුට එරෙහිව විවිධ චෝදනා එල්ල විය. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම ගුරු මණ්ඩලයටද විදුහල්පතිවරයාගෙන් විවිධාකාරයේ හිරිහැර සිදුවූ බවත්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දඬුවම් දීමට සකස් කළ කරුවළ කාමරයක්ද පාසලේ තිබූ බවත් එහිදී ප්‍රකාශ විය.
අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ඇප මත නිදහස් කළ දිනයේ ඔහුට සහාය දැක්වීම පිණිස ඇතැම් මවුපියන්, ආදි ශිෂ්‍යයන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි. වයඹ මහ ඇමැතිවරයාත් ප්‍රකාශ කර තිබුණේ දරුවන් කීකරුව හදාවඩා ගැනීමේ වගකීම පැවරෙන්නේ මවුපියන්ට බවය. කෙසේ වුවද, මේ වනවිට විදුහල්පතිවරයා පාසලෙන් ඉවත්කර ඇති අතර අමාත්‍යංශ මට්ටමින් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙයි. අදාළ නඩුව අධිකරණයේ විභාග කෙරේ.කාරණය අනෙකකි.

විදුහල්පතිවරයාට එල්ල වී ඇති චෝදනා විභාග කෙරෙන පරීක්ෂණයේදී සාක්ෂි ලබාදුන් පාසලේ ගුරුවරුන්ට මරණීය තර්ජන එල්ල වීමත්, ස්ථාන මාරු ලබාදීමත් මවිතයට කරුණකි. ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ විද්‍යා අංශයේ ගුරුවරුන් සිවුදෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසිදු හේතුවක් දක්වා නැත. කුරුණෑගල කලාප අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ වරයාගේ අස්සනින් යුත් ලිපි මඟින් මේ ස්ථාන මාරුවීම් ලබාදී තිබිණි.

විශේෂත්වය වන්නේ අදාළ ස්ථාන මාරුවීම් අවලංගු කර ඇත්තේද, ස්ථාන මාරු ලිපියට අස්සන් කළ එකී අධ්‍යක්ෂවරයාම වීමය. මාරු කිරීමට මෙන්ම මාරුව අවලංගු කිරීමටද කිසිදු හේතුවක් දක්වා නැත. අදාළ ලිපියේ සඳහන්ව තිබී ඇත්තේ. 'වහාම ක්‍රියාත්මක වන පරිදි දෙන ලද ස්ථාන මාරුව අවලංගු කරනු ලැබේ' යන්න පමණි.
ස්ථාන මාරු හුටපටයට මුහුණ දුන් ගුරුවරු සිවුදෙනා විදුහල්පතිවරයාට පක්ෂව පැවැති උද්ඝෝෂණයට විද්‍යා අංශයේ සිසුන් සහභාගි වීම වැළැක්වූවෝ වෙති. හිටපු විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න සම්බන්ධයෙන් වයඹ පළාත් අධ්‍යාපන කාර්යාලය මඟින් පැවැත්වෙන පරීක්ෂණයේදී මේ ගුරුවරුන් විදුහල්පතිවරයාගේ අධිකාරිවාදී පාලනය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කිරීමේදී අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා ඇත. කරුණු කාරණා පෙළගැසී තිබෙන ආකාරයට ගුරුවරුන්ගේ අනන්‍යතාව කිසියම් ආකාරයෙන් හෙළි වී ඇති බව පෙනේ.

හදිසි ස්ථාන මාරු ලැබීමට එය බලපාන්නේ කෙසේදැයි ප්‍රශ්නයකි. මාරුවීම් ලබාදීම රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යයකි. මරණ තර්ජන එල්ල කළ හැකි වුවත් අන්‍යයන්ට මාරුවීම් ලබාදීම වැනිදේ කළ නොහැකිය.
කවරකු හෝ කළ ජඩ වැඩක් කිසිවකු හෝ අනුමත කරන්නේ නම් එක්කෝ ඔහු ජඩයාගේ මිතුරෙකි. නැතිනම් ඒ හා සමාන වන්නෙකි. බොහෝ දේශපාලනඥයන්ගේ මිතුරන් වී ඇත්තේ ජඩයන්ය. බල්ලන් මෙන් ඔවුහු මිනිසුන්ට බුරති. හපාකති. බේරාගැනීමට මිතුරා හෝ ස්වාමියා සිටිනා බව ඔවුහු දනිති. කනගාටුවට කරුණ වන්නේ බත් කන බල්ලන් මිනිසුන් හැපුවද මිනිසුන්ට බල්ලන් හපා කෑ නොහැකි වීමය.
ප්අඉසප් -

No comments

Powered by Blogger.