Header Ads

රජුන් තනන්නේ ජනතාවය

1977 බලයටපත් එ.ජා.ප. ආණ්ඩුවේ පසමිතුරන් එය හැඳින්වූයේ ජේ.ආර්. - තොණ්ඩමාන් ආණ්ඩුව නමිනි. ඊට හේතුව වූයේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෞම්‍යමූර්ති තොණ්ඩමාන් ආණ්ඩුවට හවුල් වී සිටීමය. ලක්ෂ කිහිපයක වතු දෙමළ ‘ඡන්ද මල්ල’ සහ තොණ්ඩමාන්ට ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුරයක් හිමිවී තිබිණි. 1977න් පසු පැවැති ජනාධිපතිවරණය ඇතුළු
මැතිවරණවල ජයග්‍රහණය හිමි කර ගැනීමට තොණ්ඩමාන්ගේ ‘ඡන්ද මල්ල’ ජේ.ආර්.ට මහෝපකාරී විය. ‘රජුන් තනන්නා’ ලෙස සෞම්‍යමූර්ති තොණ්ඩමාන් හැඳින්වූයේ එනිසාය. 1988 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට රණසිංහ ප්‍රේමදාසටද තොණ්ඩමාන්ගේ ඡන්ද මල්ල අවශ්‍ය විය. යළි ඔහු රජුන් තනන්නෙක් වූවේය.

එහෙත් 1994 වනවිට රජුන් තැනීම හෙවත් ආණ්ඩු බලය ලබා ගැනීම යන කාරණයේදී පොදු ජන එක්සත් පෙරමුණට ශ්‍රී  ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඒ.එච්.එම්. අෂ්රොෆ්ගේ සහාය අවශ්‍ය විය. තොණ්ඩමාන් එ.ජා.ප.යට සහාය දුන් අතර අෂ්රොෆ්ගේ සහාය පොදු පෙරමුණට ලැබිණි. අෂ්රොෆ්ගේ සිය සහාය එ.ජා. ප.යට ලබා දීමට තීරණය කළා නම් යළි බලයට ඒමට එ.ජා.ප.යට හැකි වනු ඇත. එවර රජුන් තනන්නා වූයේ අෂ්රොෆ් හෙවත් මුස්ලිම් කොංග්‍රසයයි. 2000 ජනාධිපති චන්ද්‍රිකා කුමාර රණතුංගගේ පොදු පෙරමුණු ආණ්ඩුවට ජ.වි.පෙ. සමඟ ‘පරිවාසයකට’ යෑමට සිදුවූයේ එතෙක් ආණ්ඩුවට සහාය දුන් මුස්ලිම් කොංග්‍රසය විපක්ෂයට එකතු වීම නිසාය. කම්කරු කොංග්‍රසය මෙන්ම මුස්ලිම් කොංග්‍රසයද දිගින් දිගටම කෙළේ වැඩි බලය ඇති පක්ෂයට සහාය දී ආණ්ඩු පක්ෂයේ අසුන්ගෙන ඇමැති ධුර ලබා ගැනීමය.

උතුර කේන්ද්‍ර කර ගනිමින් දෙමළ ජාතික සන්ධානය, නැඟෙනහිර කේන්ද්‍ර කර ගනිමින් මුස්ලිම් කොංග්‍රසය හා උඩරට කේන්ද්‍ර කර ගනිමින් කම්කරු කොංග්‍රසය පිහිටුවා ගනු ලැබුවේද ප්‍රධාන පක්ෂ සමඟ කේවල් කරමින් වරප්‍රසාද ලබා ගැනීමට පෙලඹුණේද අන් කිසිවක් නිසා නොව ශ්‍රී ල.නි.ප. හා එ.ජා.ප. වැනි පක්ෂවල පටු හා භේදකාරී දේශපාලනය නිසා කීම වැරැදි නැත. දෙමළ හා මුස්ලිම් ජාතික පක්ෂ නිර්මාණ වූවා මදිවට අවසානයේ ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, සිංහලේ භූමි පුත්‍ර පක්ෂය වැනි සිංහල ජාතිකවාදී පක්ෂද නිර්මාණය විය. බොදුබල සේනා, සිංහල රාවය, රාවණා බලය මෑතකදී පිහිටුවා ගත් එවැනි සිංහල ජාතිකවාදී සංවිධාන කිහිපයකි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිදහස් සන්ධාන ආණ්ඩුවට සහාය දෙන මුස්ලිම් කොංග්‍රසය ඇති කරගෙන ඇති මත ගැටුම් හේතුවෙන් ආණ්ඩුවෙන් එළියට විසිවන තත්ත්වයක් මේ වනවිට උද්ගත වී ඇත. මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් අනතුරු අඟවා ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් කළොත් නිදහස් සන්ධාන-මුස්ලිම් කොංග්‍රස් සභාගයක් ලෙස පවත්වාගෙන යන නැඟෙනහිර පළාත් සභාව බිඳ දමන බවය. ඔහුගේ ඒ ප්‍රකාශයට පිළිතුරු දෙමින් බොදුබල සේනා සංවිධානයේ ලේකම්වරයා අවධාරණය කර තිබුණේ හකීම්ලාට - තොණ්ඩමාන්ලාට ඕනෑ ඕනෑ විදියට ‘ආණ්ඩු’ නටවන්න මින් ඉදිරියට ඉඩ නොදෙන බවයි. අනාගතයේදී රජුන් තනන්නේ සිංහල බෞද්ධ බලවේගයන් වන බොදුබල සේනාව බවද ලේකම්වරයා අවධාරණය කර තිබිණි.

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සුළු ජාතික ඡන්ද නොමැතිව කිසිදු අපේක්ෂකයකුට කළ නොහැකි වික්‍රමයකි. එසේ නොවීමට නම් සිංහල ජාතික ඡන්ද අතිශය බහුතරය එක් අපේක්ෂකයකුට හිමි විය යුතුය. එලෙස පත්වන රජුන් තැනීමට කිසිවකු නොහැක්කේ මෙහි ඇත්තේ වැඩවසම් ක්‍රමයක් නොව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නිසාය.  ජාති ප්‍රේමය, දේශප්‍රේමය වෙනුවෙන් ඇති තරම් ලේ හලා ඇති මේ රටට අවශ්‍ය වන්නේ තවදුරටත් සිංහල- දෙමළ-මුස්ලිම් ලෙස බෙදී වෙන්වීම නොව ලාංකේය ජාතියක් ලෙස එකමුතු වීමය.

ජනාධිපතිවරයකු හෝ ආණ්ඩුවක් පත් කර ගන්නේ මේ රටේ ජනතාවට අවශ්‍ය පරිදි මිස කල්ලි කණ්ඩායම්වල සිතැඟි අනුව නොවේ. ජාතිය නාමයෙන් වරප්‍රසාද ලබන ඊනියා රජුන් තනන්නන් නොව අනාගතයට අවශ්‍ය උනුන් පරයා නැඟීමට නෙසිතන මානව හිතවාදීන්ය.  
mawbima -

No comments

Powered by Blogger.