Open top menu
Monday, March 3, 2014

සැමියා විසින් ගසන ලද පොලු පහරක්‌ නිසා සිව් මස්‌ ගැබිනියක්‌ හා දෙදරු මවක්‌ වන අනුෂා ජයතිලක නමැති තරුණිය මියගිය බව ඊයේ (02 දා) දිවයිනේ10 වැනි පිටුවේ සඳහන් ය. ආරංචියේ හැටියට මිනීමරුවා වන ඇගේ සැමියා අංක එකේ පාදඩයෙකි. පාසල් යුවතියකව සිටියදීම අනුෂා විවාහ කරගත් ඔහු වෘත්තීය බේබද්දකු වූ අතර බීමතින් ඇයට පහර දීම හැර කළ එකම දෙය ළමයින් හැදීමය. වතාවක්‌ අනුෂා විදේශ සේවයට ගිය විට ඇගේ පියා මිය ගිය බවට බොරුවක්‌ ගෙතූ මිනීමරු සැමියා ඇය මෙරටට ගෙන්වා ගත්තේ ය. මිය යන අවස්‌ථාවේදී අනුෂා ගැබිනියක වූ බව ඇසූ අපට අදහසක්‌ පහළ විය. එනම්, මෙබඳු අසමඡ්ජාති නීචයන් සම`ග යහන්ගත වන කාන්තාවන්ට මල් පුදා වැඳිය යුතු බවය. මන්ද, එසේ යහන්ගත වීම සඳහා අප්‍රමාණ කැපවීමක්‌ ගතින් මෙන්ම හදවතින්ද කළ යුතුය. රට පුරා වනචරකමෙහි යන පිරිමින් සමග කායික ඒකමිතියකට එන අවාසනාවන්ත බිරින්දැවරු ලක්‍ෂ ගණනක්‌ මේ රටේ වෙසෙති. ඔවුන් ඒ කැප කිරීම කරන්නේ ඇම්ම නිසා නොව පවුල් ජීවිතය ගිලිහී නොයනු පිණිසය. අද අප මේ ලියන කතුවැකියෙහි බස සහ ඇතැම් අදහස්‌ ටිකක්‌ අසංවර වීමට ඉඩ තිබේ. එහෙත් මෙබඳු සංවේදී කාරණා සාකච්ඡා කරන විට මෙයට වඩා යහපත් බසක්‌ තෝරා ගැනීම දුෂ්කර ය.

සැමියා බිරියට පහර දීම, තාත්තා දරුවන්ගේ පිට පිළිස්‌සීම වැනි අධම ක්‍රියාවලට කියන තාක්‍ෂණික යෙදුම ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩත්වය ය. අද වන විට මේ වචනයට ඇති ගැම්ම, ගෘහස්‌ථ ගෑස්‌, ගෘහස්‌ථ විදුලි උපකරණ, ගෘහස්‌ථ ජල නළ වැනි වචනයකට ඇති ගැම්ම මෙන් සිල්ලර ය. අම්මා ගෙදර බුදුන් යෑයි බයිලා කියන මේ රටේ කාන්තාවන්ගෙන් 30-40 අතර ප්‍රමාණයක්‌ ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩත්වයට භාජන වන බව ඔබ දන්නවාද? එය ලෝකයේ ඉහළම ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩත්ව අනුපානයකි. ඉන්දියාව ගැහැනුන්ට හිරිහැර කරන බව අපි නිතර කියමු. ඉස්‌ලාමීය රාජ්‍යවල සිටින කාන්තාවන් හිසේ සිට පාදය තෙක්‌ වසාගෙන සිටින බවත්, පුරුෂාධිපත්‍යය විසින් ඔවුන්ගේ ස්‌වාධීනත්වය උල්ලංඝනය කරනු ලැබ ඇති බවත් අපි නිරන්තරයෙන් කියමු. ගැහැනු දරුවන්ට පාසල් යැම තහනම් කර තිබෙන තලේබාන් සංවිධානයට සාප කරමු. එහෙත් අපේ සමාජයේ අභ්‍යන්තර කුහරය තුළ වධ වේදනා විඳින ගැහැනිය වෙනුවෙන් අප කර ඇත්තේ කුමක්‌ද? අපේ සමාජයේ අභ්‍යන්තර අපා ගර්භය තුළ කැකෑරෙන කාන්තාවන් දූෂණය වීම සම්බන්ධයෙන් අප කර තිබෙන්නේ කුමක්‌ද? පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය අඩු බව කියමින් ඇතැම් වැදගත් නෝනලා ගීත ගායනා කරනු අපි පසුගිය කාලයේදී ඇසීමු. පාර්ලිමේන්තුවට පැමිණ ජනතාව වෙනුවෙන් කතා කිරීමට කලින් බෙල්ල බේරාගෙන ගෙදර ජීවත්වීමේ අයිතිය කාන්තාවට තිබිය යුතුය. දූෂණය නොවී පාර දිගේ යැමේ අයිතිය ඇයට ලැබිය යුතුය. ගැරහුම් නොලබා සැමියාගෙන් පහර නොකා පෙම්වතාගේ අපවාදයට ලක්‌නොවී හඬ අවදි කිරීමේ අවකාශය ඇයට තිබිය යුතුය. පාර්ලිමේන්තු නියෝජනය යනු කතාවේ අන්තිම හරිය ය. කාන්තා නිදහස සම්බන්ධයෙන් අප තවමත් සිටින්නේ කතාවේ මුල හරියේ ය.

බීමත් සැමියාගෙන් පොලු පහර කා මියගිය අනුෂා ජයතිලක ඒ වර්ගයේ මරණවලට මුහුණපෑ අවාසනාවන්ත කාන්තාවන් දහස්‌ ගණනකගේ සොහොන් කොත් අතරට එක්‌වන තවත් අලුත් සහ එක්‌ සොහොන් කොතක්‌ පමණි. ඇය මැරූ පාදඩයා හෙවත් සැමියා හිරේ යන්නටත් පුලුවන. නොයන්නටත් පුලුවන. ඔහු පහර දීම කළේ විකල් වූ සිහිය සහිත තත්ත්වයක්‌ තුළ නම් මේ මරණය අනියම් මිනීමැරුමක්‌ ලෙස තීන්දු වන්නේය. එවිට ඔහුට අත්හිටවූ සිර දඬුවමක්‌ ලැබෙනු ඇත. මෙවැනි අත්හිටවුණු සිර දඬුවම්කාරයෝ ඕනෑ තරම් අද රට පුරා සිටිති. ඒ අතර ඉදිරියේදී තවත් අනුෂලා දහස්‌ ගණනක්‌ පොලු පහර කා මිය යනවා ඇත.

divaina -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

  1. මෙතන හැබෑම ගැටලුවක් තියෙනවා. නමුත් මේ වගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ඕනේ අර බටහිර වගේ පිරිමින් ගැනත් මුලු ලිංගිකත්වයේම ස්වභාවික ගුණාංග ගැනත් වෛරයක් ඇතිවෙන විදිහට නෙවෙයි. ලිංගික කුහකත්වයන් හා මත්ද්‍රව්‍යටයි මදාවිකමටයි තියෙන වැරදි පිළිගැනීමයි ඉවත්කරමින්. මම මේ කතාව කිවුවේ මේ වගේ සිද්ධි අහපු ගමන් කුලප්පු වෙන නූතන යුගයේ බමුණු පැලැන්තිය ඉහත මුලින්ම මම විස්තර කරපු දේ කරන්න ඉඩ තියෙන නිසා.

    ReplyDelete

Popular Posts

Popular Posts