Header Ads

අපේ දේශපාලනයේ කාලකණ්‌නිකම ලෝකයට කියූ වික්‌ටෝරියාගේ සාක්‌කිය

අපේ දේශපාලනයේ කාලකණ්‌නිකම ලෝකයට කියූ 
වික්‌ටෝරියාගේ සාක්‌කිය
පිහිනුම් තටාකයේදී පහර දුන් පිරිසගෙන් මිදී දිවයද්දී මුහුණේ කැපුම් තුවාල සහිතව පෙම්වතා බිම වැටී සිටියා. මම ඔහුව වැළඳගෙන උදව් ඉල්ලා කෑ ගැසුවත්... කිසිවෙකු උදව්වට ආවේ නෑ... යෑයි තංගල්ල හෝටලයකදී ඝාතනයට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය වන වික්‌ටෝරියා
ඇලෙක්‌සැන්ඩ්‍රා මෙනෙවිය ඊයේ (26 වැනිදා) කොළඹ මහාධිකරණයේදී ප්‍රකාශ කළාය.

බ්‍රිතාන්‍ය ජාතික තරුණයා ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණයට ලක්‌කළේ යෑයි එවක තංගල්ල ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහි නඩු විභාගය ඊයේ (26 දා) ආරම්භ වූ අවස්‌ථාවේදී සාක්‌කි දෙමින් වික්‌ටෝරියා ඇලෙක්‌සැන්ඩ්‍රා මෙනෙවිය එසේ කීවාය.

මීට ඉහත ඇප මත සිටි විත්තිකරුවන් හයදෙනා කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය විසින් ඊයේ (26 වැනිදා) රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම මත සාක්‌කි දුන් වික්‌ටෝරියා ඇලෙක්‌සැන්ඩ්‍රා මෙනෙවිය මෙසේද කීවාය.

මගේ වයස අවුරුදු විසි පහයි. රුසියාවේ පදිංචිව සිටිනවා. මම පරිපාලන ක්‍ෂේත්‍රයේ රැකියාවක්‌ කරනවා. මම කොරියානු භාෂාව පිළිබඳ විශේෂ අධ්‍යාපනයක්‌ කොරියාවේදී ලැබුවා. මම පාසල් අධ්‍යාපනය ලැබුවේ රුසියාවෙන්. මගේ සීයා රුසියානු - කොරියානු මිත්‍ර සංගමයේ රැකියාව කළා. ඒ මිත්‍ර සංගමය විසින් තමයි අධ්‍යාපනය සඳහා වසර පහකට මාව උතුරු කොරියාවට යෑව්වේ.

දැන් මම රුසියාවේ ජීවත්වන්නේ තනිවම තට්‌ටු නිවාසයක. මගේ දෙමව්පියන් මා සමග ඉතා සමීපව සබඳතා පවත්වනවා. මා දැන් ජීවත්වන්නේ මොස්‌කව්වල. මගේ ස්‌ථිර පදිංචි ස්‌ථානයේ තමයි දෙමව්පියන් ජීවත්වන්නේ. කිලෝ මීටර් හත්සියයකට ආසන්න දුරකින්. මට වැඩිමහල් සහෝදරයෙක්‌ සහ වැඩිමහල් සහෝදරියක්‌ ඉන්නවා. මම පවුලේ බාලයා.

මම අද මේ අධිකරණයේ ඉන්නේ ශ්‍රී ලංකාවේ මුහුණ පෑ සිද්ධියක්‌ ගැන සාක්‌කි දෙන්න. එය සිද්ධවුණේ 2011 දෙසැම්බර් 24 වැනිදා රාත්‍රියේදී. 24 වැනිදා සිට 25 වැනිදා උදාවන රාත්‍රියේදී. ඒ අවුරුද්දේ දෙසැම්බර් 17 වැනිදා තමයි මමත් මගේ තරුණ පෙම්වතා සමග ලංකාවට ආවේ. ඔහු කුරාම් ෂෙයික්‌. ඔහුට වයස අවුරුදු 32 යි. මහා බ්‍රිතාන්‍යයේ පුරවැසියෙක්‌.

ඒ වෙද්දී මම උතුරු කොරියාවේ අධ්‍යාපනය ලබමින් සිටියා. ඔහු උතුරු කොරියාවට ඇවිත් හිටියේ රාජකාරි කටයුත්තකට. ඔහු රතු කුරුස සේවයේ රාජකාරි කළා. ඔහු රතුකුරුස සේවයේ අත් පා වැනි අංග හිමිවූ අයට කෘතිම පාද, කෘතිම අත් ලබා දීමේ කටයුතු කළේ. අපි එකිනෙකාට ප්‍රේම කළා.

තංගල්ල නේචර් රිසෝට්‌ නමැති ලංකාවේ දකුණු දිග ප්‍රදේශයේ නවාතැන් ගැනීමටයි අපි සැලසුම් කළේ. ඒ හෝටලය දැන් සවිය විලා ලෙස නම් කර තිබෙනවා. අපි දෙන්නා සති තුනක්‌ ලංකාවේ ගත කරන්නයි අදහස්‌ කළේ. මේ ගමනට කලින් 2011 පෙබරවාරි මාසෙත් අපි ලංකාවට ඇවිත් ගියා. ඒ අවස්‌ථාවෙ තමයි ලංකාවට ආ පළමු අවස්‌ථාව. එය කුරාම්ගේත් පළමු ලංකා ගමන. ඒ ඇවිත් අපි සති දෙකක්‌ ලංකාවේ හිටියා.

නේචර් කියන හෝටලය තියෙන්නේ මුහුදු වෙරළ අයිනේ. ඒ කාලය තුළ අපි මුහුදේ එක්‌වරක්‌වත් නෑවේ නෑ. ඉතා ප්‍රචණ්‌ඩ, උස්‌ රැළි තමයි අපි දැක්‌කේ. එනිසා අපි බිය වුණා. මටත්, කුරාම්ටත් පිහිනන්න පුළුවන්. ඒත් වැඩි ගැඹුරු තැන්වලට යන්න ඔහු බියයි. අපි නිතරම වගේ සිටියේ පිහිනුම් තටාකය ආසන්නයේ.

මේ සංචාරක නවාතැනේ කළමනාකරු කාන්තාවක්‌. මට ඇයගේ නම මතක නැහැ. ඇය බොහෝම විවෘත ආගන්තුක සත්කාරයට ලැදි කාන්තාවක්‌. ඇය ඉංග්‍රීසියෙන් කතා කළේ. මට ඉංග්‍රීසි අවබෝධ කර ගත හැකියි. යම් යම් අදහස්‌ ප්‍රකාශ කළ හැකියි. ඒත් එය විශිෂ්ටයි කියන්න බෑ.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා - අද අධිකරණයේ සාක්‌කිකරුවන් අතර ඇය සිටියාද?

සාක්‌කිකාරිය - මෙහි සිටි කාන්තාව දෙවැනි කළමනාකාරිනියයි. ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනිය අද මෙහි සිටියේ නෑ. ඇය දුටුවොත් මට හඳුනාගන්න පුළුවන්.

මේ අවස්‌ථාවේදී නයනි දීපිකා සහ දිල්රුක්‍ෂි තරංගා යන සාක්‌කිකාරියන් අධිකරණය හමුවට කැඳවන ලදී.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා - මේ දෙදෙනාව හඳුනාගත හැකිද?

සාක්‌කිකාරිය - නම සහ නිශ්චිත තනතුර මට හඳුන්වන්න බෑ. දෙවැනි කළමනාකාරිනිය සහ කළමනාකාරිනිය ලෙස මා මේ අය හඳුනනවා.

දෙසැම්බර් 25 නත්තල් අපට උත්සවයක්‌. නත්තල් ගහක්‌ සරසනවා එකිනෙකාට තෑගි දෙනවා. ඒ අර්ථයෙන් අපි සූදානම් වුණා. ඒත් ඒක අපිට ආගමික උත්සවයක්‌ නොවේ. සංචාරක නිකේතනය නත්තල් සාදයක්‌ සංවිධානය කළා 25 වැනිදා. අධිකරණ ශාලාවට කැඳවූ කළමනාකාරිනිය තමයි ඒ සාදය ගැන අපට ප්‍රකාශ කළේ. ඒ සාදයට සහභාගිවන්න කියා අපට ආරාධනා පත්‍ර දුන්නා. සංචාරක නිකේතනයේ නවාතැන් ගෙන සිටි අයට පමණක්‌ නොවේ ඒ අවට තවත් සංචාරක නිකේතනවල සංචාරකයන්ටත් ආරාධනා කර තිබුණා.

කුරාම් බාර් එකේ සේවකයා සමග කතා බහක යෙදුනා. මා ඊට සම්බන්ධ වෙන්නේ නෑ කියා හිතලා ගිනි මැලය දල්වා තිබූ ස්‌ථානයට ගියා. මම ගිනිමැලය දෙසබලා ඉඳලා වෙරළට ආවා. වෙරළේ සංචාරකයන්ට තබා තිබූ දිග අරින ඇඳක මම වාඩිවුණා. එම ස්‌ථානයට හෝටලයේ සිට මීටර දෙසීයක්‌ විතර ඇති. නිශ්චිත නෑ. මම විනාඩි කීපයක්‌ එහි රැඳී සිට යළි කුරාම් වෙත ආවා.

මම ආපන ශාලාව වෙත පැමිණියේ පිහිනුම් තටාකය තියෙන පැත්තෙන්. මට ආපන ශාලාව දක්‌වා එන්න බැරිවුණා. පිහිනුම් තටාකය අසලදී මා ප්‍රහාරයකට ලක්‌වුණා. මට කුරාම් කරා ආපසු එන්න බැරිවුණා. නොයෙක්‌ පැතිවලින් මට ගහන්න පටන් ගත්තා. ඔළුවට ඇඟට පහර දුන්නා. පහර දෙන්නේ කව්ද කියා වැටහුණේ නෑ. අත් දෙකෙන් මම ඔලුව බදා ගත්තා. මට තේරුණු හැටියට තුන් දෙනකුට වැඩිය හිටියා. ඒ අය පිරිමි අය. අත්වලින්, කකුල්වලින් පහර දෙන බවයි තේරුණේ. තියුණු පහරදීම් නොවේ. මම බිම ඇදගෙන වැටුණා. ඉන්පසු මාව පිහිනුම් තටාකයට වීසි කළා. මට පහරදී බිම ඇද වැටුණු පසුවත් පයින් ගහලා තමයි පිහිනුම් තටාකයට විසි කළේ. කොහොමද විසි කළේ කියා නැවත ආවර්ජනය කිරීම අපහසුයි. මං පිහිනුම් තටාකයට වැටුණ පසු වතුරෙන් උඩට මතුවෙලා පිහිනුම් තටාකයේ තරප්පු පෙළ දෙසට ගමන්කරන්න පටන් ගත්තා. තරප්පු පෙළ දිගේ ඉහළට නැගලා ගොඩ එන්න කල්පනා කළා. එවිට තරප්පු පෙළ අවුරාගෙන කිසියම් පුරුෂයෙක්‌ හිටියා. ඒ පිටුපස තවත් පිරිසක්‌ හිටියා. මා තරප්පු පෙළ දිගේ උඩට එන්න හදද්දී ඔහු යළි මගේ හිසට පයින් ගැහුවා. යළිත් මම පිහිනුම් තටාකයට වැටුණා. දෙවැනි වරත් මම උඩට මතුවුණා. ඔහු මට කෑගහන්න පටන් ගත්තා. මට පිහිනුම් තටාකයෙන් ගොඩට එන්න නොදුන් පුද්ගලයාගේ බාහිර ස්‌වරූපය මම මතකයේ තබා ගත්තා.

ඔහු ඒ තරප්පු පෙළ ආරම්භ වන තැන දියෙන් මතුපිට කොටසේ රැඳී සිට මට පහර දෙමින් යළි මා දියට තල්ලු කරමින් ගොඩට එන්න මට ඉඩ දුන්නේ නෑ. මගේ ශරීරයේ උඩුකය වතුරින් මතුපිටයි තිබුණේ. එතැන කිසියම් ආලෝකයක්‌ තිබුණා. මට හැකිවුණා මට පහරදුන් පුද්ගලයාගේ මුහුණ බලන්න. ඔහු පිටුපස තව අය සිටියා.

මම පිහිනුම් තටාකයේ ගැඹුරු දෙසට ගොස්‌ එහි පැත්තකින් ගොඩට එන්න උත්සාහ කළා. මට පහර දුන්නේ ලංකාවේ කෙනෙක්‌. කළු පැහැති මුහුණක්‌, ලා නිල්පාට ටී ෂර්ට්‌ එකක්‌, දුඹුරු පැහැ දිග කලිසමක්‌ ඇඳ සිටියා. ඔහු පහර දුන්නේ මගේ හිසට. මගේ හිස්‌ කබලේ සහ මොළයේ ඇතිවූ කම්පනය ඔහු විසින් කළ පහර දීම නිසා ඇතිවුණා. සාමූහිකව ඔවුන් පිරිස විසින් කළ නිසා ඇති වූවාද කියන්න බෑ. මම කම්පනයට පත්වෙලා හිටියේ. මට පහරදුන් පුද්ගලයා වයස අවුරුදු 24 ක්‌ වගේ හැඟී ගියා.

ඒ වෙලාවේ මට හැකි වුණා ගොඩට පනින්න. මට පුදුමයක්‌ ඇතිවුණා. කුරාම් එක්‌ක නාද්දි එතරම් ඉක්‌මනින් ගොඩට පනින්න මට බැරිවුණා. මට පහරදුන් පුද්ගලයාව මම පහසුවෙන් හඳුනා ගත්තේ ඔහුත් නත්තල් සාදයට පැමිණ සිටියා. කුඩා යෞවනියක සමග නැටුමේ යෙදී සිටියා. ඒ අවස්‌ථාවේදී ඔහු ඉතා අශෝබන ලෙස හැසිරුණා.

මම පිහිනුම් තටාකයෙන් ඔබ්බට දිව ගොස්‌ කුරාම් ඉන්නා තැන සොයාගන්න උත්සාහ කළා. කුරාම් කුටියක්‌ සහ පිහිනුම් තටාකය අසල භූමියේ සිටියා. ඔහු ඒ අවස්‌ථාව වන විට බිම වැටිලා හිටියේ. සිහිය තිබුණේ නෑ. මගේ වචනවලට ප්‍රතිචාර දැක්‌වූයේ නෑ. ඔහුගේ මුහුණේ කැපුම් තුවාල තිබුණා.

මම ඔහුට කෘතිම ස්‌වසනය ලබා දුන්නා. ඒත් ප්‍රතිපලයක්‌ ඇතිවුණේ නෑ. එතැන කවුරුත් ඉන්නවා දැක්‌කේ නෑ. පසුව වුණ දේ මට මතක නැහැ. මට සිහිය නැතිවෙන්න ඇති. ඉන්පසු මා මාතර රෝහලට රැගෙන ආවා. කාගේදොa ටී ෂර්ට්‌ එකක්‌ අන්දවා තිබුණා. මගේ ගවුම ඉඟටිය දක්‌වා පහත දමා තිබුණා. ඇඳුම්වල ඇඟ හැම තැනම ලේ තිබුණ නිසා හෙදියන් ඒ ඇඳුම් ඉවත්කර වෙන ඇඳුම් ඇන්දුවා. එවිට තමයි දැන ගත්තේ මගේ යට ඇඳුම නැති බව. මට ඒ අවස්‌ථාවේදී ඇඬුණා. ඒ රෝහලට ඇතුළු වෙලා බොහෝ වේලාවක්‌ යනතුරු වෛද්‍යවරයෙක්‌ පැමිණෙන තුරු අපි බලා සිටියා. මම වැතිර තිබූ තැන හිසෙන් ලේ ඇවිත් ඒවා බිම විශාල ලෙස පැතිරී තිබුණා. මුහුණ ඇඟ ඉදිමි තිබුණා. ලිංගාශ්‍රිත ප්‍රදේශයේ දැඩි වේදනාවක්‌ තිබුණා. ඉන්පසු මාව කරාපිටිය රෝහලට යෑව්වා. කරාපිටියේදී ශල්‍යකර්මයකට භාජනය කළා. දින දෙකකට පසු කොළඹ පෞද්ගලික රෝහලට මාරු කළා. ජනවාරි 6 වැනිදා දක්‌වා මම ඒ රෝහලේ සිටියා.

කුරාම්ට වූ කිසි දෙයක්‌ මට දැනගන්න ලැබුණේ නෑ. සෑම කෙනෙක්‌ම මට එය වසන් කළා. පොලිස්‌ නිලධාරීන්ගෙන් හෙදියන්ගෙන් මම කුරාම් ගැන ඇහුවා. වෙන රෝහලකට ඔහුව ගෙන ගියා කියා ඔවුන් කීවා. මට කීවා ඒ රෝහලට දුරකථන ඇමතුමක්‌ දී කුරාම් ගැන අහමු කියා. ඒ අවස්‌ථාවලදී ඔවුන් ඊට පිළිතුරු නොදී පළා ගියා. මට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් මම 28 දා කුරාම් ගැන ඇහුවා. "ඇයි ඔබ දන්නෙ නැද්ද කුරාම්ව මරා දමලා" කියා ඔහු කීවා.

මට මතකයි අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය මාව පරීක්‍ෂා කළා. ඒ මාතර රෝහලේදී. මේ අපරාධයට සම්බන්ධ අය හඳුනා ගැනීමට ජනවාරි 5 වැනි දා මාව තංගල්ල උසාවියට ගෙන ගියා. හඳුනා ගැනීමේ පෙරෙට්‌ටු තුනක්‌ පැවැත්වූවා. මට ප්‍රහාර එල්ල කළ එක්‌ පුදගලයෙක්‌ මම එහිදී දුටුවා. ඒ මට පිහිනුම් තටාකයෙන් ගොඩට ඒමට ඉඩ නොදී මගේ හිසට පයින් පහරදුන් පුද්ගලයා. මම උසාවියේදී ඔහු පෙන්වූයේ නෑ. මම බයවෙලා හිටියේ. මගේ ආරක්‍ෂාව පිළිබඳ විශ්වාසයක්‌ තිබුණේ නෑ. මා ඉතාම ආදරය කළ පුද්ගලයාව මරා දමා තිබුණා. විදේශ රටක මා තනිවම මානසික කම්පනයකින් රැඳී සිටියේ. දැඩි කායික මානසික දුෂ්කරතා තිබුණා. මට වුවමනා වුණා හැකි ඉක්‌මනින් රුසියාවට යාමට. ඔහුව දුටු වහාම හඳුනා ගත්තා. මගේ ආරක්‍ෂාව ගැනයි මම පළමුව කල්පනා කළේ. කාන්තාවක්‌ ලෙස ඒ අවස්‌ථාවේදී තනිවම මා මේ රටේ රැඳී සිටියා. මට ඕනෑම දෙයක්‌ සිද්ධවෙන්න ඉඩ තිබුණා.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා:- ඒ පුද්ගලයාව දැන් දැක්‌කොත් හඳුනා ගත හැකිද?

සාක්‌කිකාරිය:- පුළුවන්.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරය:- පෙන්වන්න.

සාක්‌කිකාරිය:- මට ඒ ආසන්නයම ගිහින් පෙන්වන්න පුළුවන්ද? (ඒ සඳහා අවසර ලැබිණි.)

(ඇය විත්තිකරුවන් අසලට ගමන් කරයි. පළමු සැකකරුව පෙන්වා සිටී. ඇය නැවත සාක්‌කි කූඩුවට නගී.)

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරය:- ඔබ පළමු විත්තිකරුව හඳුනා ගත්තා.

සාක්‌කිකාරිය:- ඔව්. පළමුවැනි විත්තිකරු.

සිද්ධිය වූ අවස්‌ථාවේදී සැකකාරිය ඇඳ සිටි යට ඇඳුම නඩු භාණ්‌ඩයක්‌ ලෙස සැකකාරියට පෙන්වා සිටී. ඇය එය හඳුනා ගනී.

සාක්‌කිකාරිය:- අද මේ අධිකරණයේ නඩු විභාගයට පෙනී සිටීම සඳහා මට තානාපති අංශ හරහා ආරාධනාවක්‌ ලැබුනා. මේ නඩුවට සාක්‌කි දෙන්න එද්දීත් මගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ලංකා ආණ්‌ඩුව මට ඉහළ ආරක්‍ෂාවක්‌ සපයන බවට පොරොන්දු වුණා. රුසියාවේ ඉන්ටර්ෙµdaල් පොලිසිය, රුසියානු තානාපති කාර්යාලය මේ පිළිබඳ දැනුවත්. එනිසා මගේ ආරක්‍ෂාව පිළිබඳ බියක්‌නෑ. ආරක්‍ෂාව උපරිමව සලසා ඇතැයි මට විශ්වාසයි.

පැමිණිල්ලේ මූලික සාක්‌කි විමසීම අවසන් විය. විත්තියේ නීතිඥවරුන් විසින් සාක්‌කිකාරියගෙන් හරස්‌ ප්‍රශ්න විමසීම අදට (27 වැනිදා) කල් තැබිණි.

අජිත් අලහකෝන්

No comments

Powered by Blogger.