Header Ads

ජිනීවා සෙප්පඩ විඡ්ජාව!

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලද වාර්තාව ඒකපාක්‍ෂිකව සැකසූ එකක්‌ බවත් එය සපුරා ප්‍රතික්‌ෂේප කරන බවත් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා ප්‍රකාශ කර තිබුණි.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌වරිය පසු පස සිටින ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී බලවේගත් ඔවුන්ගේ සෙවණ යට මොරදෙන ඊනියා දෙමළ ඩයස්‌ පෝරාවත් දැන් කලක සිටම මානව හිමිකම් නමැති කඩතුරාවට මුවා වී දියත් කරන දුෂ්ට මෙහෙයුමේ අපේක්‍ෂාව ශ්‍රී ලංකාවට පාඩමක්‌ ඉගැන්වීම හා නැවත ඊළාම්වාදය පුනරුත්ථාපනය කිරීම බවද නිසැකය.

දැනටමත් මේ ජිනීවා මෙහෙයුම්කරුවෝ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඕනෑවටත් වඩා මැදිහත්ව සිටිති. රතුපස්‌වල ජල ප්‍රශ්නය මෙන්ම කටුනායක වෙඩි තැබීම හා උතුරේ හමුදාව ඉවත් කිරීම වැනි මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න පිළිබඳව ද මේ ඊනියා මැදිහත්කරුවන් දක්‌වන උනන්දුව අපට පෙනේ. ඒ සියලු තැන්වලදී මේ රජයේ අසමත්භාවය පිළිබඳ අපට කෙබඳු විවේචන තිබුණත් අපේ වැඩවලට ජාත්‍යන්තර පොලිස්‌කාරයන් අවශ්‍ය නොවන බව Rජුවම කිව යුතුය.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාද ඒ පිළිබඳව සිය අකමැත්ත ප්‍රකාශ කර තිබීම අපගේ ධෛර්ය වඩවන්නක්‌ බවද කිව යුතුය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ වී තිබේ නම් එය පිරික්‌සීමට ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ නුවුවමනා බව එතුමාගේ අදහසය. එබඳු කටයුත්තකට ජාත්‍යන්තර පරීක්‍ෂණ ඉල්ලීම අනුචිත බවත් අපගේ මාතෘ භූමිය ගොඩනැඟීමට හා සුරැකීමට සියලු දෙනාම එකමුතුව ක්‍රියා කළ යුතු බවත් කාදිනල්තුමා යෝජනා කර තිබේ.

ජිනීවා අභියෝගය ජය ගැනීම සඳහා විපක්‍ෂයෙන් ආණ්‌ඩුවට ලැබෙන සහයෝගයක්‌ ද නැත. ආණ්‌ඩුව ජිනීවා සටනට සමගාමීව මේ රටේ දේශපාලන සටනක්‌ද ආරම්භ කර තිබීම එයට එක්‌ හේතුවකි. විපක්‍ෂනායකවරයා ඇතුළු මේ රජයේ බොහෝ විවේචකයන් දේශපාලන වේදිකාවල නගන්නේද ජිනීවා කණ්‌ඩායම් විසින් නගනු ලබන චෝදනා බවද පෙනේ.

ආණ්‌ඩුව ජිනීවා ගෝනිබිල්ලකු මවා සිය දේශපාලන මඩිය තරකර ගැනීමට ජනතාව නොමඟ යවන බවද විපක්‍ෂය කියයි. ජ.වි.පෙ. කියන්නේත් මොනම ආකාරයකින්වත් මේ රටේ පාලකයන් විදුලි පුටුවට රැගෙන යා නොහැකි බවය. මේ කතා දෙකේම සත්‍යයක්‌ තිබේ. එහෙත් ආණ්‌ඩුවේ හා විපක්‍ෂයේ මෙම රණ්‌ඩුව අස්‌සේ රටට එරෙහි සියලුම දෙස්‌ විදෙස්‌ බලවේගද මේ රට අස්‌ථාවර කිරීමට හැම නූල් සූත්තරයක්‌ම අදින බවද නිසැකය.

නවනීදන් පිල්ලේ මහත්මියට ශ්‍රී ලංකාවට පැමිණ නිදහසේ කටයුතු කිරීමට ආණ්‌ඩුව ඉඩ දුන් නමුත් ඇය මෙරට ගැවසෙමින් කර ඇත්තේ තමන්ගේ හාම්පුතුන්ට වුවමනා කරන නිශ්චිත අරමුණකට වුවමනා තොරතුරු එක්‌රැස්‌ කිරීමක්‌ නොවේද? මේ රජය විසින් උතුරේ ජනතාව උදෙසා කරන ලද සාධනීය සේවාවන් පිළිබඳව ඇගේ ප්‍රතිචාරය ඉතා Rණ එකක්‌ බවද පැහැදිලිය. උතුරේ නිවාස, රැකියා අවස්‌ථා, මහා මාර්ග, විදුලිය වැනි නා නා පහසුකම් සැලසීම ඇගේ ඇසට ගැටුණු බවක්‌ ද නොපෙනේ. අඩුම තරමින් උතුරේ පැවැත්වුණු ඡන්දයේ ප්‍රජාතන්ත්‍රවාදී ස්‌වරූපය ගැනවත් ඇය සංවේදී වූවාද යන්නත් ගැටලුවකි.

උතුරේ අවසන් වූ මෙහෙයුම් මෙන්ම එයට තුඩු දුන් එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරකම් ගැනද මැදහත්ව විමසා බැලීමේ අරමුණක්‌ පිල්ලේ මහත්මියට තිබුණිද? උතුරේ පදිංචිව සිටි හැත්තෑපන්දහසකට නොඅඩු ජනතාවක්‌ එල්. ටී. ටී, ඊ. සංවිධානය විසින් පලවා හරින ලද ආකාරය පිළිබඳව හෝ ඇයට කිසිවෙක්‌ කී බවක්‌ද වාර්තා වී නැත. සැබැවින්ම ඇය ඉදිරිපත් කළ වාර්තාව ඒකපාක්‌ෂික වූද ශ්‍රී ලංකාවේ ජාතික සමගිය දුෂ්ට ලෙස බිඳ දමනසුලු වූද එකක්‌ බව ඉතා පැහැදිලිය.

ශ්‍රී ලංකාවේ රජය හා ලෝකයේ බිහිසුණුම ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ අතර සිදුවූ සටනක්‌ කෙබඳු ස්‌වරූපයක්‌ ගැනීමට ඇද්ද යන සාමාන්‍ය දැනීම නවනීදන් පිල්ලේ මහත්මියට නැතැයි අපට සිතීමට හේතුවක්‌ද නැත. අධිරාජ්‍යවාදීන්ගේ යුද අපරාධ පිළිබඳ ඇයගේ සංවේදිත්වය අප මවිත කරවනසුලුය. ඇමෙරිකාව විසින් එදා වියට්‌නාමයට රසායනික ප්‍රහාර එල්ල කර අහිංසක ජනතාව සිත් පිත් නැති අයුරින් ඝාතනය කළ අයුරු ඇය නොදන්නීද? ඇමෙරිකාවේ චණ්‌ඩිකම් අත ඔසවා අනුමත කරන බ්‍රිතාන්‍ය ඔවුන් හා එක්‌ව ඉරාකයේ හා ඇෆaගනිස්‌ථානයේ කළ අපරාධ ඇයට අමතක වී තිබේද?

මේ වර්ගයේ කුප්‍රකට යුද අපරාධ මවමින් ලෝකයම කම්පා කළා වූද ඒ උදෙසා සම්මාදම් වූද රටවල් අද විලිලැඡ්ජා නැතිව ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන ප්‍රශ්න කිරීම උන්ගේ සදාචාරය දැයි අප අසන්නේ පිළිකුල මුසු කෝපයද සමගය. එහෙව් නග්න වෘකයෝ අද ප්‍රභාකරන් වෙනුවෙන් පෙනී සිටිති. ඒ මේ රටත් අස්‌ථාවර කිරීමට බව ඉතා පැහැදිලිය. අධිරාජ්‍යවාදයේ බැලයෝ විවිධ වෙසින් මේ රටට ඇතුළු වී තොරතුරු රැස්‌ කළහ. සිය ජිනීවා බෝම්බය පුපුරුවාලීමට වුවමණා වෙඩි බෙහෙත් වෙඩි නූල් යන සියල්ල රැස්‌ කළහ.

නවනීදන් පිල්ලේ මහත්මිය උපාසක විලාසයෙන් ජිනීවා සමුළුවට ඉදිරිපත් කරනු ලබන වාර්තාවේ ඇත්ත එය මිස අන් දෙයක්‌ නොවේ. බ්‍රිතාන්‍ය යනු හැමදාමත් රහසිගතව ත්‍රස්‌තවාදය නඩත්තු කළ රටකි. මානව හිතවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී සළු පැළඳ ගත් ඔවුන් ලන්ඩන් නගරය තුළ ත්‍රස්‌තවාදයට දෙන අනුබලය අප්‍රමාණය. ඊශ්‍රායල් මොසාඩ් රහස්‌ ඔත්තු සේවයකට අනුව හමාස්‌ හා හිස්‌බුල්ලා වැනි ත්‍රස්‌තයන්ට ස්‌ටර්ලින් පවුම් දසලක්‍ෂ ගණනින් බ්‍රිතාන්‍ය ආධාර ලැබී ඇත. ප්‍රභාකරන්ට කළ උදව් උපකාර ගැන අප බොහෝ විට සඳහන් කර තිබේ.

තතු මෙසේ හෙයින් ජිනීවා සමුළුවට කෙබඳු යෝජනා ඉදිරිපත් වුවත් ඒවා ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවයට මෙන්ම ස්‌වාධීනත්වයට මැදිහත් වීමක්‌ ලෙස අපි සලකමු. මේ මානව හිමිකම් රණ්‌ඩුව අස්‌සේ තමිල්නාඩුවේ ජයලලිතා මහ ඇමැතිනිය ශ්‍රී ලංකාවේ ඊළමක්‌ පිහිට විය යුතු බවට ගද්‍රභ ඝෝෂාවක්‌ද කරමින් සිටින්නීය. ඒ හඬ ඇගේ වුවද එහි සිටින්නේත් මේ රටට එරෙහි බටහිර බලවේග බව අප තේරුම් ගත යුතුය. එනිසා අද බටහිර එක පෙළකට සිටිමින් අපට යුද අපරාධ චෝදනා නගන්නේ ප්‍රභාකරන් වෙනුවෙන්ම බවද අප පසක්‌ කරගත යුතුය.

දැන් ජිනීවා මානව හිමිකම් සමුළුවට අලුත්ම යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමේ සූදානමක්‌ ගැනද වාර්තා වේ. අද අප පත්‍රයෙහි ප්‍රධාන සිරස්‌තලයේ සඳහන් වන පරිදි එම යෝජනාව මන්නාරමේ රදගුරු රායප්පු ජෝශප් ප්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධාන කණ්‌ඩායමක්‌ විසින් ඇමෙරිකානු තානාපති කාර්යාලයට ඉදිරිපත් කරන ලද්දකි. උතුරු නැගෙනහිරට ස්‌වයං පාලනයක්‌ ලබාදීම ඇතුළු කරුණු කීපයක්‌ එහි ඇතුළත්ව තිබේ.

මෙය ඉතා පැහැදිලිවම බළලා මල්ලෙන් එළියට පැනීමකි. රායප්පු ජෝශප් උතුමාගේ කොටි සබඳතා ගැන කීමට වචන නාස්‌ති කළ යුතු නැත. මැල්කම් රංජිත් කාදිනල්තුමා දකින ඇත්ත රායප්පුතුමාගේ කොටි හදවතට හා දැස්‌වලට නොපෙනෙන බව පමණක්‌ අපි සටහන් කර තබමු. ඇත්තම කියනවා නම් මේ ජිනීවා සෙප්පඩ විඡ්ජාව උතුර පමණක්‌ නොව නැගෙනහිරද වෙන් කර කොටි ඩයස්‌පෝරාවත් බටහිරයනුත් පිනවීම සඳහා බව අපි පැහැදිලිවම කියන්නෙමු. එහෙත් එයට ඉඩ දීමට මේ රටේ ජනතාව සූදානම් නැති බවද අපි ඉඳුරා දනිමු.
 ාසඩ්ස්බ් -

No comments

Powered by Blogger.