Open top menu
Friday, April 11, 2014

එක්‌දහස්‌ නවසිය හැත්තෑහතේදී විවෘත ආර්ථිකය මෙරටට පැමිණීමෙන් පසු රටවැසියාගේ සිතුවිලි පරම්පරාව ගංවතුරට හසු වූ නිම්නයක්‌ මෙන් සෝදාගෙන ගියේ ය. එකී සෝදාපාළුවේදී, සමාජය සතුව තිබූ පොහොර පස්‌වලින් වැඩිහරියක්‌ ඉන්දියන් සාගරයේ පත්ල බලා ගමන් කළේ යළි කිසි කලෙකත් කිසි වැඩකට යොදාගැනීමට බැරි වන ලෙස ය. 1970 ගණන් යනු ලෝකයට සංක්‍රාන්ති වර්ෂයකි. යුරෝපය, ආසියාවට ගසාගෙන ඒමට පටන් ගන්නේ මේ වසරේ සිට ය. 1977 දී ශ්‍රී ලංකාව විවෘත ආර්ථික සම්ප්‍රදායට
නිරාවරණය වීමෙන් පසු යුරෝපීය දියවැල් මෙහි පැමිණ මහවැලි, කැලණි, වලවේ, කළු ගංගාවලට සම්ප්‍රාප්ත වූ අතර එතැන් පටන් මුළු රටම අලුත් වාණිජවාදී මනසකින් හිතන්නට පුරුදු විය. මේ නිමිත්තෙන් මවුපියන් පවා මතක්‌ කරමින් නිතර බැණුම් අසන්නේ ඡේ. ආර්. ජයවර්ධන ය. එහෙත් අප විසින් තේරුම් ගත යුතු වැදගත්ම සත්‍යය වන්නේ 1977 දී ඡේ. ආර්. සිටිය තැන. ඒඅ වෙනුවට ලෙනින් හිටියත් මේ ප්‍රවාහය වෙනස්‌ කරන්නට බැරි බව ය. එතැන් පටන් අපේ රටේ සිංහල අවුරුද්ද ඇතුළු ඕනෑම ජාතික උත්සවයක්‌ පටන් ගන්නේ සල්ලි සාක්‌කුවට වැටෙනවාත් සමඟ ය. සල්ලි වියදම් වී අවසන් වූ විට උත්සව සමය ද අවසන් ය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ජාතික උත්සවය වන සිංහල අලුත් අවුරුද්ද දෙස අපට බැලීමට සිදුව ඇත්තේ මේ ව්‍යඣ්හය තුළ සිට ය. මෙහිදී පාට කණ්‌ණාඩි ගලවා තබා වීදුරු නැති කණ්‌ණාඩි රාමු පමණක්‌ පැළඳගෙන සැබෑ තත්ත්වය දකින ලෙස ඉල්ලමු. මෙයට අවුරුදු 250 කට පෙර ලංකාවේ අරක්‌කු තිබුණේ නැත. කසිප්පු තිබුණේ ද නැත. ආසවනය කළ හෙවත් ඩිජිටල් කළ ස්‌ප්‍රීතුවලට වතුර කලවම් කර මද්‍යසාර සෑදීමක්‌ එකල නොතිබුණු අතර රජතුමාගේ සිට වැඩවසම් දාසයා දක්‌වා සියලු දෙනා පානය කළේ හොඳට පැහුණු පොල් රා හෝ කිතුල් රා ය. ඒ අනුව එකල සිංහල අවුරුද්දට මත්පැන් පානය කළේ නම් ඒ පොල් රා හෝ කිතුල් රා ය. අද එතැනට පැමිණ සිටින්නේ කසිප්පු හෝ අරක්‌කු ය. මෙය අපගේ සංස්‌කෘතික ගමන්මග ඉතා පැහැදිලි ලෙස වෙනස්‌ වීමකි. මෙයට අවුරුදු 150 කට පෙර අවුරුද්දට වෙඩි පුපුරුවන්නේ බීරංගයකිනි. එය දිගු ශක්‌තිමත් ලීයක්‌ අගට සවි කළ කෝවක්‌ වැනි යකඩ උපකරණයකි. මෙයට වෙඩි බෙහෙත් පුරවා ඇණයක්‌ රිංගවා පොළවේ ගැසූ විට ටොන් එකහමාරේ කාලතුවක්‌කුවක ශබ්දය නිකුත් විය. අද එතැනට පත්ව සිටින්නේ ඉතා ලස්‌සන රතිඤ්ඤා ය. ඇතැම් රතිඤ්ඤයක්‌ පත්තු කළ විට පරමාණු බෝම්බ භාගයක හඬ නඟී. රෑට මල් වෙඩි ගහන විට කෑම සොයා ඉගිලෙන වවුලන්ට යන එන මං නැති වේ. මෙයට අවුරුදු 200 කට පෙර සිංහල අවුරුදු කෑම මේසයට ගෙරිමස්‌ නැත. අද අවුරුදු කෑමට නැත්තේ මිනී මස්‌ පමණි. එදා සිංහල අවුරුද්දේ ඩ්‍රම් සෙට්‌ එක වූයේ රබාන ය. අද රබාන ලොකු බිස්‌නස්‌ එකක්‌ වන අතර රබන් ගැසීම සඳහා චීත්ත ඇඳි මිත්තණියන් සොයාගැනීමට කලායතන ගානේ චාටර් විය යුතු ය. මේ සියල්ල වැරදිද? මේවා කාලානුරූප වෙනස්‌කම් ලෙස හිත හදාගැනීමට තරම් අවංක මිනිහාට මේ කිසිවක්‌ වැරදි ලෙස නොපෙනේ. එහෙත් ඔබ මේවා වැරදිය යන ලෙන්ස්‌ එක දැමූ කණ්‌ණාඩියකින් බලන්නට ගියොත් සියල්ල වැරදි බව පෙනෙයි. ගල් යුගයේදී ලෝහ ආයුධ තිබුණේ නැත. තිබුණේ ගල් ආයුධ ය. ලෝහ යුගයේ රිපීටර් තුවක්‌කු නොතිබුණු අතර තිබුණේ ප්‍රාථමික කෙටේරි වැනි කැපෙන ආයුධ ය. අද සියලු ආයුධ පසෙකට විසිවී ලේසර් තුවක්‌කු එතැනට පැමිණ තිබේ. හැම අතකම ලේසර් තුවක්‌කු නැතත් ගල් ආයුධයෙන් කළ කටයුත්ත මෙන්ම කෙටේරියෙන් කළ කටයුත්ත ද අද ලේසර් තුවක්‌කුවෙන් කළ හැකි ය. අපි භෞතිකවාදී දියුණුව නමැති කන්ද නඟිමින් සිටිමු. මේ කන්ද පාමුල අප අමතක කර දැමූ දෙයක්‌ තිබේ. ඒ වූ කලී ආධ්‍යාත්මික පාරිශුද්ධියයි. කන්ද මුලට බැස ඒ අමතක වූ වස්‌තුවත් රැගෙන උඩට නඟිමු.
divaina -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts