Open top menu
Sunday, April 13, 2014

ප්‍රිය ජනාධිපතිතුමනි,

මා මේ ලිපිය ලියන්නේ ඔබ ජීනීවා නගරයට පැමිණ, සන්ධිය ක්‍රමය පිළිබඳ අධ්‍යනයක් සඳහා පැමිණිමට නියමිත වූ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු කණ්ඩායමක් පිළිබඳ කතාබහක යෙදුණූ කාමරයේ එදා තිබූ මේසය ම මත තැබූ පරිගණකයකිනි. ඒ ඔබ විපක්ෂ නායකයාව සිටි අවධියේ ය. ඔබට ජිනීවා නගරය ද මානව හිමිකම් කවුන්සිලය ද නුපුරුදු තැනක් නොවේ. 1988 -90 යුගයේ රාජ්‍ය හමුදා
විසින් ඝාතනය කරන ලද තරුණ තරුණියන් වෙනුවෙන් යුක්තිය ලබා ගනු වස් ඔබ මේ නගරයට ද මානව හිමිකම් කවුන්සිලයට ද පැමිණයා නේද? යුක්තිය ලබා ගන්නට ඕණෑම තූත්තුකුඩියකට හෝ ගොස් යකාගේ අම්මා සමඟ හෝ එක් වන බව ඔබ කීවේ ඒ ගමන ගැන ය.

මතක ද?

ඝාතනය වූ දකුණේ කැරලිකරුවන්ට යුක්තිය ඉල්ලා එදා ඔබ පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අද. දෛවයේ සරදමකට මෙන්, ඔබගේ ආණ්ඩුවට චෝදනා පත්‍රයක් බාර දී තිබේ. ඒ ද මානව හිමිකම් කෙළෙසීම් ගැනම ය‍. දශකයකට පෙර මානව හිමිකම් කවුන්සිලය ඔබට යුක්තියේ දෙවොල විය. ඔබ දේශපාලනයට අනුව අද එය දුෂ්ඨයින්ගේ රජ දහනකි !

ඉතිහාසය හරි පුදුමාකාර දේ කරයි. එය ලියැවෙන්නේ අපේ කැමැත්තට පිටිනි. එබැවින් අනාගතය ගැන කල්පනා කරන රාජ්‍ය පාලකයින් බියවිය යුත්තේ වර්ථමානයට ‍වඩා ඉතිහාසයට ය. ඉතිහාසය එක විදිහකට මිත්‍යාමය නිරය සහ දෙව් ලොව වැන්න. ඔබ යාමට අපේක්ෂා කරන්නේ ජනාධිපතිතුමනි, උපමාරූපකව කතා කරන්නේ නම් කොයිබට ද?

2005 ජනාධිපතිවරණයේ දී එල්ටීටීඊ නායක ප්‍රභාකරන්, ඔබේ ජයග්‍රහණය ඔහුගේ වාසියට හේතුවනු ඇතැයි මායාවක සිරවී දෙමළ ජනයාට මැතිවරණය තහනම් නොකළේ නම් අප කව්රුත් දන්නා පරිදි එදා ජනාධිපති වන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ ය. එසේ වී නම් ස්ථිරව ම සිදුවන්නට නියමිත වූ යුද්ධය කරන්නට තිබුණේ ද රනිල් වික්‍රමසිංහට ය. (එජාප ආණ්ඩුව සිංහල ජවිපෙට විරුද්ධව කළ අවසන් සටන අපි නොදුටුවෙමු ද ?) එළෙස අවසන් යුද්ධය කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් සහ විපක්ෂ නායකයා වූයේ ඔබ නම් යුද්ධයෙන් විපතට පත් දෙමළ ජනයා වෙනුවෙන් අද ජිනීවා නගරයට පැමිණ මානව හිමිකම් කවුන්සිලය හමුවෙහි කරුණු දක්වනු ඇත්තේ මහින්ද රාජපක්ෂ නම් මානව හිමිකම් දේශපාලනඥයා වූ ඔබ නොවේ ද?

බොහෝ විට එකළ ඔබේ මානව හිමිකම් සඟයා වූ වාසුදේව නානායක්කාරත් මෙකළ ඔබේ තනියට මෙහි එන්නට ඉඩ තිබුණි.
යුද්ධාවසානයෙන් පසු මෙම තීරුවෙහි මෙසේ ලීවෙමි: ජනාධිපති රාජපක්ෂ වෙත තෝරා ගැනීම් දෙකක් තිබේ. එකක් නම් චන්‍ඩාශෝක මාවතයි. අනෙක නම් ධර්මාශෝක මාවත යි. චන්ඩාහෝඛ මාවත යනු යුද්ධාවසානයෙන් පසු ද යුද්ධ පිළිවෙතම දිගටම ගෙන යමින් මර්ධනකාරී පාලනයක් ගෙන යෑම ය. ධර්මාශෝක මාවත නම් යුද්ධයේ විපාක සහ ව්‍යසනය දෙස ආපසු හැරි බලා මිනිස් ජීවිතයේ වටිනාකම යළි ගොඩ නැගෙන සංහිදියාවේ ධාර්මිශ්ඨ පිළිවෙතක් ගෙන යෑම ය. ජනාධිපති රාජපක්ෂගේ දේශපාලන භුමිකාව ඉතිහාසීය වශයෙන් තීරණය වනු ඇත්තේ ඒ අනුව ය.

දැන් බලන්න වසර පහක් ගිය තැන ඔබට අත්වී ඇති දේශපාලන ඉරණම දෙස.

යුද්ධාවසානයෙන් පසු ශ්‍රී ලංකාවේ සියළුම ජනයාගේ නායකයා ඔබ බව ඔබම කීවේ කොතරම් විශ්වාශයකින් ද? එමෙන්ම ශ්‍රී ලංකාව ආසියාවේ අශ්චර්්‍ය බවට පත් කරන බවට සපථ කළේ එම යුද්ධ ජයග්‍රහණ විශ්වාශයෙන්ම නේද?
සිංහල ජනයා අතර සියයට 60ක් ඉක්මවා ඡන්ද ලබා ගනිමින් ඔබ ඒ විශ්වාසය යථාර්ථයක් බවට ද පත් කර පෙන්වූවෙහි ය. නමුත් ජයග්‍රහණය දෙමළ ජනයා අතරට ගෙන යෑමට ඔබ සහමුලින්ම අසමත් වූ බව පසුගිය සැප්තැම්බරයේ දී දෙමළ ජාතික සන්ධානය සියයට 73 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන පෙන්වූවා නේද? යුද්ධාවසානයෙන් පසු ඔබට මුස්ලිම් ජනයාගේ සහයෝගය නොමදව ලැබුණි. අද? මුස්ලිම් ජනයා පෘතූල ලෙස ජිවත්වන කොළඹ දිසාවෙන් ඔබට එක් මුස්ලිම් පළාත් සභා අපේක්ෂකයෙක් හෝ ජයගුහණය කරවා ගැනිමට බැරිවුනා නේද? ඇයි?

ඔබ යුද්ධයෙන් ජය දිනුවේ ය. නමුත් දැන් දෙමළ සහ මුස්ලිම් ජනයා අතර ඔබ පරාද වී තිබේ. ඊට හේතුව රහසක් නොවේ. ඔබ තවමත් ජීවත් වන්නේ යුද්ධ ජයග්‍රහණ රශ්ණයේ ය. ඒ රශ්ණයෙන් සුලුතර වාර්ගික ජනයා පිළිස්සෙන බව ඔබට නොපෙනීම පුදුමයකි. නැත්නම් පෙනී පෙනී ඔබ ඒ පිළිස්‍සීම ගනන් නොගෙන සිටිනවා වත් ද?

පශ්චාත් යුද්ධ මහින්ද රාජපක්ෂ සිංහල ජනයා අතර ද කෙමෙන් ජනප්‍රියත්වයෙන් ගිලිහෙමින් යන බව බස්නාහිර සහ දකුණූ පළාත් සභා ඡන්ද ප්‍රතිපල කියන කතාව ය. මෙසේ සිදු වන්නේ විපක්ෂය යැයි කිව හැකි හරි මහන් පක්ෂයක් නැතිව තිබියදීත් ය. විකල්ප ආණ්ඩුව යැයි කිය හැකි විපක්ෂයක් තිබුනේ නම් සිදු වන්නට තිබුණේ කුමක් ද යන්න ජවිපෙ සහ ප්‍රජාත්‍න්ත්‍රවාදී පක්ෂය ලැබූ සාපේක්ෂ ජයග්‍රහණයන්ගෙන් පෙනේ. එපමණක් නොව පලාත් සභා ඡන්ද ප්‍රතිඵළ පෙන්වන්නේ පුරවැසි ක්‍රියාකාරිත්වයන් පවත්නා නාගරිකව ඔබ‍ දේශපාලනය නොපිළිගැනෙන බව ය. කොන්ක්‍රීට් වනාන්තර සහ පාරවල් ගොඩ නැගීමෙන් පශ්චාත් යුද සමය ජය ගත නොහැකි බවට දැන් ඔබේ උපන්ගම හම්බන්තොටින් ම පණිවිඩයක් ඇවිත් නේද?

විපක්ෂයට මහින්ද රාජපක්ෂ කෙනෙකු හෝ ජේ. ආර්. ජයවර්ධන කෙනෙකු හෝ චන්ද්‍රිකා කුමාරතුංග කෙනෙකු හෝ සිටියා නම් පසුගිය පළාත් සභා මැතිවරණ ඔබගේ කණ කොක් හඬ නොවන්නට ඉඩ නොතිබිණි ද? ප්‍රභාකරන්ගෙන් පසු ඔබේ ලොකුම වාසනාව රනිල් වික්‍රමසිංහ ය.

දැන් බලන්න, ඔබ දෙමළ සහ මුස්ලිම් ජනයා අතර පරාද ය. සිංහල ජනයා අතර ඔබේ ජනප්‍රියත්වය ගිලිහෙන්නට පටන් ගෙන තිබේ. එපමණක් ද? අපේ අසල්වැසි රට වන ඉන්දියාව සහ තමිල්නාඩුව සහමුලින් ම ඔබේ පශ්චාත් යුද්ධ පිළිවෙතට විරුද්ධ ය. ඉන්දියාවේ සියළු දේශපාලන පක්ෂ ඔබට සළකන්නේ ‍මෙරට දෙමළ ජනයාගේ අයිතීන් පාගා ගෙන සිටින දරදඬු පාලකයකු ලෙස ය. පසුගිය කාලය පුරා ලොව විවිධ රටවලට ගිය නමුත් ඔබට තවමත් ඉන්දියාවට පැමිනේනයි ආරාධනයක් ලැබුණේ නැත.
මේ වනාහී රාජ්‍ය පාලකයකුට සතුටු වීමට කාරණා නොවේ. බරපතල ලෙස සැළකිල්ලට ගැනීමට කාරණා ය.

එපමණක් ද? යුද්ධාවසානයත් සමගම වාගේ ඔබට අන්තර් ජාතික ප්‍රජාවේ ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ද බහුතර ප්‍රසංසාව ලැබුණි. 2009 වසරේ දී මානව හිමිකම් කවුන්සිලය ඔබේ යුද්ධ ජයගුහණයට සුභ පැතුවේ ය! අද? පිට පිටම තෙවසරක් මානව හිමිකම් කවුන්සිලය ඔබේ පිළිවෙත් විවේචනයට හසු කරන යෝජනා සම්මත කර තිබේ. දැන් යුද සමය පිළිබඳ අන්තර් ජාතික පරීක්ෂණයක් ද ඇරඹී තිබේ. ඔබ යළි පරාද ය.

ඔබ දේශපාලනිකව ජයග්‍රහණය කර ඇත්තේ කොහි ද? සමහර විට මහ ජාතිවාදී අන්තවාදීන් අතර ඔබ ජයග්‍රහණය කර තිබෙනවා විය හැකි ය. ඥති ගනයා අතර ඔබ ජයගුහණය කර තිබෙනවා විය හැකි ය. අන්තර් ජාතික වශයෙන් ඔබට සහාය ලැබෙන්නේ බහු පාක්ෂික දේශපාලනයක් නැති හෝ විපක්ෂ මර්දනය කර ඇති, ජනමාධ්‍ය නිදහසක් නැති, රටවලිනි. එය ජයග්‍රහණයක් ද පරාජයක් ද?

ජනාධිපතිතුමනි, ශතවර්ශ ගණනාවක් ගතවීත් ධර්මාශෝක අධිරාජයා අප ගෞරවයට ලක් වන්නේ ඔහු යුද්ධයේ විපාක තේරුම් ගෙන මනුෂ්‍ය අයිතිය ගරු තැන්හි තැබූ නිසා ය‍. ඔබ ඒ මඟට පිටු පෑවෙහි ය. දැන් ඉතිහාසයේ විනිශ්චයේ මොහොත උදා වී තිබේ. දැනවත් සිහි එලඹ යුද්දයේ විපාක විමසනු පිනිස විශ්වසනීය සහ ස්වාධින නිසි පරීක්ෂනයක් ආරම්භ නොකරන්නේ මන්ද? ළග ළඟම එන අන්තර් ජාතික පරීක්ෂණය සමඟ සම්මුතියේ සාකච්ජාවේ සහ සම්මන්ත්‍රණයේ මඟ අනුයම්න් යුද්ධයේ ඇත්ත නැත්ත සෙවීමට දායක නොවන්නේ මන්ද? යුද්ධය පිළිබඳ ඔබේ කතිකාව නිවැරදි නම් ඒ බව ලොවට ඒත්තු ගන්වන්නට මේ අන්තර් ජාතික පරීක්ෂණය මාහැගි අවස්ථාවක් නේ ද?

යුද්ධාවසානයෙන් පසු ශ්‍රී ලංකාව පරාදීසයක් කිරීමට තිබූ අවස්ථාව නැති වු‍යේ ඔබ චන්ඩාශෝක භූමිකාවේ ම රැදී සිටි නිසා ය. දැන් අන්තර් ජාතික පරීක්ෂණය හමූ‍යේ ත් ඔබ එවැනිම ආකල්පයක් ඇති කර ගත හොත් සහතිකව ම ඉතිහාසය සිටිනු ඇත්තේ ඔබට විරුද්ධ පැත්තේ ය. කල්පනා කර බලන්න.

ඉතිහාසය මැනෙන්නේ අපේ ජිවිත කාලය පරයා යමිනි. මානව වර්ගයාගේ ජීවිත කාලය අනුව ය. එක් නිදසුනක් බලමු. ඉන්දුනීසියාවෙහි යුද හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගෙන තිස් වසරක් තරම් කාලයක් එරට පාලනය කළ ජෙනරල් සුහර්තෝ එරට ආර්ථික සංවර්ධනයක් අැති කළ ද අද සැලකෙන්නේ වීරයකු ලෙස නොව ඝාතකයකු ලෙස ය. ඔහු විසින් ඝාතනය කරන ලද පන් ලක්ෂයක් තරම් වූ කොමියුනිස්ට්වාදීන් සහ හිතවතුන් සම්බන්ධ විමර්ශනයක් ආරම්භ වන්නට යන්නේ දැන් ය. හතලිස් පසුවසරක් ගතවීමෙන් පසුත් ජෙනරල් සුහර්තෝගේ අපරාධ කාලයේ වැලි තලාවෙන් වැසී ගියේ නැත.

ශ්‍රී ලංකාවෙහි ඉරණම ඊට වෙනස් වීමට හේතුවක් නැත.


සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya

vikalpa -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts