Open top menu
Wednesday, April 23, 2014

තිඹිරිගෙදර සිට සුසානය දක්වා මේ දිවයිනේ ඇති සියලු දේ ඊනියා දේශපාලනයේ බලපරාක්‍රමයට නතු වූයේ අද ඊයෙක නොවේ. මේ ඊනියා දේශපාලනයේ අනවශ්‍ය මැදිහත්වීම නිසා අවුල් ඇතිවී ඇති එක් අංශයක් වන්නේ ක්‍රීඩාවය. ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ලෙස සැලැකිය හැකි ක්‍රිකට්වලටද දේශපාලන හෙනහුරාගේ බැල්ම වැටී මේ වන විට සැලැකිය යුතු කාලයකි. ක්‍රිකට් ආයතනයේ මුල් පුටුවලට නිලධාරීන් පත්කිරීමේ සිට ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන්
පත්කර ගැනීම දක්වා සෑම කටයුත්තකදීම පෙරමුණට පැමිණ ඇත්තේ ඊනියා දේශපාලනය මිස "ක්‍රීඩාව" නොවන බව සක්සුදක් සේ පැහැදිලිය.

විස්සයි - 20 ක්‍රිකට්, "ලෝක කිරුළ" රටට දිනා දීම සඳහා මහත් දායකත්වයක් ලබාදුන් කුමාර් සංගක්කාරට හා මහේල ජයවර්ධනට කටු ඔටුනු පැලඳවීමට සැරැසීම පිටුපසද ඊනියා දේශපාලන වුවමනාවන් සැඟවී නැතැයි කාට කිව හැකිද?

"විස්සයි - 20" ක්‍රිකට් ලෝක කිරුළ හිමිකරගත් අපේ ක්‍රිකට් කණ්ඩායම පෙරළා දිවයිනට පැමිණි අවස්ථාවේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී, ක්‍රිකට් ආයතනයේ ලේකම්ගේ හා ප්‍රධාන විධායකගේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කිරීමට සංගක්කාර හා මහේල දෙපළ කටයුතු කිරීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයකට යා යුතුදැයි විනය කමිටුවෙන් විමසීමට ක්‍රිකට් විධායක සභාව ඉකුත්දා තීරණය කිරීම මහත් ආන්දෝලනයකට තුඩු දී ඇත.

මහේල හා සංගක්කාර විසින් ක්‍රිකට් ලොක්කන් ප්‍රසිද්ධියේ විවේචනය කරනු ලැබීමේ ප්‍රශ්නය දුරදිග නොයවා අවසන් කරන බව පැවැසූ ක්‍රිකට් ආයතනය, ප්‍රශ්නය විනය කමිටුවට යොමු කිරීමට කටයුතු කළේ මන්ද යන්න ප්‍රශ්නයකි. ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයාට අනුව නම් විනය පරීක්‍ෂණයක් පවත්වා මහේලට හා සංගක්කාරට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමේ වුවමනාවක් ඔවුන්ට නැත. එසේ නම් විධායක සභාවේ සාකච්ඡා කර තීරණයක් ගන්නවා වෙනුවට විනය කමිටුවට ප්‍රශ්නය රැගෙන ගියේ කුමකටද යන සැකය මතුවේ.

කාරණය අනෙකකි.
වසර 18කට පසු ක්‍රිකට් ලෝක කිරුළ දිවයිනට රැගෙන ඒමට අවසන් තරගයේදී අමිල මෙහෙවරක් කළ, කණ්ඩායමේ නායකත්වයද දරා ඇති මේ ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනාට ගෞරවය පුද කිරීම වෙනුවට විනය චෝදනා එල්ල කිරීමට සදාචාරාත්මක අයිතියක් ක්‍රිකට් ආයතනයට තිබේද යන්න ප්‍රශ්නයකි. ක්‍රිකට් ආයතනය මූල්‍ය අර්බුදයකට ඇද දමා ඇති මේ නිලධාරීන්ට මුලින්ම විනය පරීක්‍ෂණයක් පැවැත්විය යුතු යැයි ඇතැමුන් කර ඇති ප්‍රකාශයේ වරදක් නැත. ඒ; මේ "විනය පරීක්‍ෂණ විහිළුව" වන්නේ ක්‍රීඩකයන්ට විනය චෝදනා එල්ල කරන ක්‍රිකට් ලොක්කන්ද විනයානුකූලව කටයුතු නොකරන්නන් බවට චෝදනා එල්ල වී තිබෙන නිසාය. ඇත්ත වශයෙන්ම සංගක්කාරගේ හා මහේලගේ විවේචනය එල්ල වූයේ ක්‍රිකට් ලොක්කන් දෙදෙනකුට මිස ක්‍රිකට් ආයතනයට නොවේ. එහෙත් ක්‍රීඩාවට වඩා දේශපාලනයත්, රාජකාරියට වඩා පෞද්ගලිකත්වයත් ඉස්මතු වීම නිසා තරාදියේ ක්‍රීඩකයන්ගේ පැත්ත පහළ ගොස් පාලකයන්ගේ පැත්ත ඉහළ ගොස් ඇත.

නීතියට අවනත නොවන, විනයගරුක නොවන, සමාජයක ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ විනය බිඳවැටීම පුදුමයක් නොවේ. 'ක්‍රිකට්' මුල් පුටුවලට පැමිණෙන්නන්ට දේශපාලනඥයෝ අත්වැල් අල්ලති. ගන්නා තීරණවලට දේශපාලනඥයන් ඇඟිලි ගසන අතර ක්‍රිකට් පරිපාලනයට අනවශ්‍ය ලෙස ඔවුහු මැදිහත් වෙති. මේ නිසා ක්‍රීඩකයෝද අයාලේ ගියහ.
කෙසේ වුවද ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඇඟිල්ලක් දිගු කරන විට තමන් දෙසට ඇඟිලි හතරක් යොමුවන බව ක්‍රිකට් බලධාරීන් අමතක කර ඇත. සියල්ලට පළමුව තමන් සම්මතෙහි පිහිටා සිටිය යුතු යැයි ක්‍රිකට් ලොක්කන්ට සිතුණේ නම් කටු ඔටුනු පල¼දා ක්‍රිකට් වීරයන් දංගෙඩියට රැගෙන යෑමට උත්සුක වන්නේ නැත. කටු ඉඹුලේ යැවීමට සුදුසුකම් ඇති ඇතැම් ක්‍රිකට් ලොක්කන් ක්‍රිකට් වීරයන්ට කටු ඔටුනු පැලඳවීමට සැරැසීම විහිළුවක් වුවද මෙවැනි කටයුතු මෙරට ක්‍රිකට්වලට නම් කරුමයක් බව නොලියා සිටිය නොහැකිය.

mawbima -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts