Header Ads

කහ සිවුර ලෙළවා හනුමලා චූන් කිරීම

"මේ රටේ ඕනෑම ආගමක්‌ ඇදහීමේ නිදහස තිබෙනවා. ඕනෑම තැනක ජීවත්වීමේ අයිතිය තිබෙනවා. ඒක නැති කරන්න අපට බෑ. ඒක ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම එහි සඳහන් වෙලා තිබෙනවා බුදු දහම රාජ්‍ය අනුග්‍රහය ඇතිව ආරක්‍ෂා කරනවා කියලා. ඒ ව්‍යවස්‌ථාව ඒ විදිහටම තිබෙනවා. ඒවා වෙනස්‌වෙලා නෑ. ඒ නිසා ඒක ගැන කවුරුවත් කලබල වෙන්න ඕනෙ නැහැ. ඒක රැකගැනීම, අනෙක්‌ ආගම් අතර
සහජීවනය ඇතිකිරීම, ආගමික නිදහස ලබාදීම අපේ වගකීමක්‌. ඒ අවශ්‍යතාව අපි ඉටු කරනවා. ඒක නිසා කිසිදෙයක්‌ බලහත්කාරයෙන් කාටවත් වෙනස්‌ කරන්න පුළුවන්කමක්‌ නෑ කියලයි මා විශ්වාස කරන්නේ."

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එසේ ප්‍රකාශ කළේ පසුගියදා ගිරාඳුරුකෝට්‌ටේ මහවැලි ක්‍රීඩාංගණයේ පැවැති මහවැලි කලාපවල ගොවි පවුල් 5500 කට නීත්‍යානුකූල ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදීය.

එතුමා මෙහිදී සිදු කළ කතාවේ තව බොහෝ වැදගත් කරුණු ඇතත් ඉහත සඳහන් ඡේදය උපුටා දක්‌වන්නට මේ මොහොතේ අපට සිදුවන විශේෂ හේතුවක්‌ තිබේ.

ඒ, අපගේ ශිෂ්ටාචාරය ගොඩනැගීමට මුළුමනින්ම පදනම සැපයූ, අපගේ සංස්‌කෘතිය සහ සභ්‍යත්ව ජීවිතය ගොඩනඟා ගැනීමට මුළුමනින්ම ශක්‌තිය සැපයූ බෞද්ධ දර්ශනය යම් අවමානයකට, නිගාවකට ලක්‌කෙරෙන වාතාවරණයක්‌ දැන් අප රට තුළින්ම මතුව තිබීම ය.

ඉන් අදහස්‌ කෙරෙන්නේ බුදුදහම අවමානයට පත්කරන දැ මින් පෙර මේ රට තුළින් මතුවූයේ නොවේය යන්න නොවේ. බුදුදහම අවමානයට ලක්‌කිරීම තම පරම අරමුණ කරගත් ඇතැම් ජාත්‍යන්තර කුණු ව්‍යාපාර සමඟ අත්වැල් බැඳගත් මෙරට බොහෝ සංවිධාන ඒ ව්‍යාපාරයේ යෙදීම අපටත් රටටත් අලුත් අත්දැකීමක්‌ නොවේ. අපි පුවත්පතක්‌ වශයෙන් එකල්හි ඒ හැම සිවලාම, හැම පරයාම හෙළිදරව් කළෙමු. මේ හාල්පාරුවන් බුදුදහම සමඟ මෙතරම් වෛර බැඳගැනීමට හේතුව බුදුදහම උන් අදහන මොනම දහමකට හෝ එරෙහිව පවතින්නක්‌ වන නිසා නොවේ. මේ රටත් ජාතියත් තවමත් නොනැසී පැවතීමේ එකම හේතුව ඒවාට පිටුබලය සපයන ඒ ශ්‍රේෂ්ඨ ජීවන දර්ශනය බව ඔවුන්ට හොඳටම පැහැදිලිව තිබෙන නිසා ය. මේ රටත් ජාතියත් විනාශ කළ හැකි එකම මඟ, මේ රටත්අ ජාතියත් කැබලි කළ හැකි එකම මඟ බුදුදහම කෙරෙහි රට තුළ පවත්නා ගෞරවය, භක්‌තිය සිඳ බිඳ දැමීම බව ඔවුන් තේරුම් ගෙන බොහෝ කල් ය. දැන් ඔවුන්ගේ අලුත්ම තේරුම් ගැනීම නම් මහා බෞද්ධ නායකයකු සේ කටයුතු කරන වත්මන් ජනාධිපතිවරයාත් ඔහුගේ රජයත් පෙරළා දැමීමේ එකම මඟ ද රටේ "බෞද්ධ චිත්ත ඒකාග්‍රතාව" සුන්කර දැමීම බව ය. එය මූලික වශයෙන්ම මේ රටට එරෙහි පෙරමුණක අරමුණ සේම රජයට එරෙහි පෙරමුණක අරමුණ ද වෙයි.

කොහොමටත් රජය පෙරළා දැමීමේ "වසන්ත සිහිනයක" ප්‍රමෝදයෙන් පසුවන සමහර විපක්‍ෂ කණ්‌ඩායම් ද ඩයස්‌පෝරා කණ්‌ඩායම් ද ඒ අරභයා පෙරමුණු කීපයක සටන් කරමින් සිටින ගමන්ම ඒ "රෝස වසන්තයට" පිවිසෙනු සඳහා බෞද්ධ විරෝධී තැනකින් දොරක්‌ විවර කරගැනීමට මාන බලමින් පසුවෙති.

බුදුදහමේ නියාමක බලවේගය මහා සංඝරත්නය ය. සංඝයා වහන්සේ වූ කලී සුපේශල ශික්‌ෂාකාමී, වන්දනීය මනුෂ්‍ය රූපයකි. චිංචි මානවිකාවට තබා මාරයාටවත් අවමන් කළ නොහැකි වූ බුදුරජාණන් වහන්සේට හෝ උන්වහන්සේගේ ධර්මයට හෝ අවමන් කිරීමට හැකි සමතකු මෙම සියවසේ නොව ඉදිරි කල්පයකවත් ලොව පහළවනු ඇතැයි සිතිය නොහැකිය. එහෙත්, යම් සංඝයා වහන්සේ කෙනකු දෙදෙනකු හෝ කණ්‌ඩායමක්‌ යොදවා එසේ කළ හැකි දැයි බලන්නෝ සිටිති. එසේ වූ අවස්‌ථා මේ රටේ ඉතිහාසය පිරික්‌සීමෙන් වුව දත හැකිය.

අර සේනා, මේ සේනා නමින් රංචු ගැසෙමින් ශ්‍රී ලාංකේය, සිංහල භික්‍ෂුවගේ ප්‍රතිරූපය මෙරට තුළ පමණක්‌ නොව ජාත්‍යන්තර වශයෙන්ම ද අවමානයට ලක්‌කෙරෙමින් මේ සිදුවන්නේ ද එම ක්‍රියාවලියම යෑයි අපට සැකය.

මේ රටේ අතීතයේ සිටි බෞද්ධ රාජ්‍ය නායකයන් සේම වත්මන් ජනාධිපතිවරයාණෝ ද සම්බුද්ධ ශාසනයේ තිර පැවැත්ම සහතික කරති. එය ආරක්‍ෂා කිරීමට සහතික වෙති. එසේම ශ්‍රී ලංකා රාජ්‍යයේ අතීත සම්ප්‍රදාය සේම සියලුම ආගම් අගයති. ආගමික සහජීවනය සුරැකිය යුතු බව කියති.

රටේ බෞද්ධ ජනතාව ද එය පිළිගනිති. ඒ විශිෂ්ට ජනතාව ද අන් ආගම් නොඉවසන්නෝ නොවෙති. (එසේම, යමකු සම්බුද්ධ ශාසනය විනාශ කිරීමට පැමිණෙන්නේ නම් ඉතාම ඉවසීමෙන් යුතුව සීමාව පනින සැටිද ඔව්හු දනිති.) තතු එසේ තිබියදී සමහර භික්‍ෂුන් වහන්සේලා සිවුර පටින් බල්ටි ගැසීම ශ්‍රී ලංකාව ගිනි තැබීමට ලෝකයේ හතර වටින්ම බලා සිටින හනුමලා චූන් කිරීමකි. බැලු බැල්මටම වුව මෙය කැතය. කැතට වඩා අපට නම් සැකය.

divaina -

No comments

Powered by Blogger.