Open top menu
Sunday, April 27, 2014

බොදු බල සේනා අධ්‍යාපන හා පර්යේෂණ අංශ ප්‍රධානී
චමිල ලියනගේ

බක්‌ මස විසිඑක්‌ වන දා 'වම් ඉවුර'ට සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා 'භික්‌ෂුව හා මැරකම' යනුවෙන් සපයා තිබූ ලියෑවිල්ල, බොදු බල සේනාවට එරෙහි පළමු හෝ අවසාන අවලාදය නොවන බව අපි දනිමු. ජාතික බල සේනා සව්දම විද්වංශනයෙන් පසුව උදාවන තත්ත්වය විසින්, බොදු බල සේනාව නිරන්තරයෙන් අවධාරණය කරන ජාතිය ඉදිරියේ ඇති අවදානම පිළිබඳ තවමත් හරිහැටි වටහා නොගත් සිංහල බෞද්ධයන්ද දහස්‌ ගණනින් අවදිකරවද්දී, බොදු බල සේනාවේ සතුරු පාර්ශවයද නව ජවයකින් කලඑළි බසිනු පෙනෙන්නට තිබිණි. බොදු බල සේනාව හෝ එහි නායකකාරකාදීන් සෘජුවම ඉලක්‌ක කරගනිමින්, විවිධ පාර්ශව පැවැත්වූ අදිසි පුවත්පත් සාකච්ඡා, සංවාද, පළ කරන ලද ලිපි, සංඛ්‍යාව ගණනින් කොතෙක්‌දැයි කිව නොහැක. ඒ අතරින් වම් ඉවුරේ අවලාදයට පිළිතුරක්‌ ගොනු කරන්නේ එය සාරගර්භ කාලීන සංවාදයකට ගෝචර ලියෑවිල්ලක්‌ නිසා නොවේ. මේ ලිපිය කියවූ පාඨකයින්ගෙන් කීයෙන් කී දෙනෙකු නම් එහි අන්තර්ගතය අනුමත කළාදැයි නොදනිමු. එහෙත් බොදු බල සේනාවට එරෙහි අතලොස්‌සක්‌ දෙනා සහ මේ ප්‍රවීණ දේශපාලන විචාරකයා (පසුගිය සති අන්ත පුවත්පතක ඔහුව එසේ හඳුන්වා තිබිණි) නම් කුඩා වින්දනයක්‌ ඉන් ලබන්නට ඇත. ඒ සා කුඩා පිරිසක්‌ වෙනුවෙන් පිළිතුරු ලිපියක්‌ ලිවීම අපේ කාලය කා දැමීමක්‌ බව පැහැදිලිය. එහෙත් මෙම අවිදූරදෘෂ්ටික විග්‍රහයෙන්ද, 'දිවයින' වැනි පුවත්පතක දැකීමට අපේක්‌ෂා නොකළ අවලාදයක්‌ දැකීමෙන්ද ව්‍යාකූලව, බොදු බල සේනාව ඊට පිළිතුරක්‌ දෙතැයි යන සාංකාවෙන් මඬනා ලද සිත් ඇතිව ළතැවෙන දේශමාමක සිංහල බෞද්ධයන්ගේ හිතසුව පිණිස යම් කෙටි ප්‍රතිචාරයක්‌ දැක්‌විය යුතුව තිබේ.

සමාරම්භයේදීම කිවයුතු දෙයක්‌ ඇත. එනම් චන්ද්‍රප්‍රේම මහතා විසින් මතුකර ඇත්තේ මේ පවතින සමාජ අර්බුදය සම්බන්ධයෙන් හෝ බොදු බල සේනාවේ භාවිතය සම්බන්ධයෙන් නව මානයක්‌ නොවේ. ඒ වෙනුවට ඔහු බොදු බල සේනාවට එරෙහි, කල් ඉකුත්වූ සාම්ප්‍රදායික සටන් පාඨ ටික අහුලාගෙන සිය වහරින්, පබැදුමෙන් ඒවා හුණු පිරියම් කොට නවීන සිතුවමක්‌ සේ සමාජය ඉදිරියට ගෙන ඒ මේ දුර්වල උත්සාහයක නිරත වෙයි. විවේචන සැම විටම
ස-දය වියයුතු යෑයි අපි නොකියමු. නිර්දය විවේචනද අගනේය. එහෙත් පදනම් විරහිත ද්වේශ සහගත පෞද්ගලික අදහස්‌ දැක්‌වීම් හා නිර්දය විවේචන අතර විශාල පරස්‌පරයක්‌ ඇත්තේය. චන්ද්‍රප්‍රේම මහතාට අවශ්‍යව ඇත්තේ (හෝ පැවරී ඇත්තේ) මොනවා හෝ බේගල් ටිකක්‌ ඇද බා, බොදු බල සේනාවට පහර ගැසීමටය. පසුගිය කාලයේත් දැනුත් විවිධ හේතු මත බොදු බල සේනාවේ ගමනට පහර ගසන්නට විවිධ පිරිස්‌ ඉදිරිපත් වූහ. ඒවාට විවිධ හේතු තිබිණි. ඇතැමුන්ට අවශ්‍ය වූයේ බොදු බල සේනාවට ගසා ප්‍රසිද්ධ වීමටය. එහෙත් ඔහුගේ අභිප්‍රාය අනෙකකි. අප සිතන්නේ චන්ද්‍රප්‍රේම මහතා උත්සහ දරන්නේ ප්‍රසිද්ධ වීමට නොවේ. ඔහුගේ කාර්යභාරය බොදු බලවේග නිසා අවදි වන ජන විඥානය වෙනත් දෙසකට හැරවීමට මොන මොනවා හෝ මත නිර්මාණය කිරීමය. ඒ සඳහා ඔහු දෙසා බාන බේගල් පිළිගැනීමට තරම් සමාජය මුග්ධ යෑයි ඔහු අතිශය වැරදි පුරෝකථනයක්‌ කරයි. අපි ඒ ගැන කනගාටු වෙමු. එහෙත් බොදු බල සේනාවේ අප සතුව ඊට හාත්පසින්ම වෙනස්‌ දියුණු සමාජ විග්‍රහයක්‌ ඇති බවද අවධාරණය කරනු කැමැත්තෙමු.

චන්ද්‍රප්‍රේම මහතාගේ අදහස අනුව නම්, ගාමිණි අභය එළාර හා සටනට පිටත්වෙද්දී ඒ චතුරංගනී සේනාවට පෙරව වඩිනා ලද සිය ගණනක්‌ වූ භික්‌ෂුන් වහන්සේලාගේ සිට, කුඩාපොල හිමි, මිගෙට්‌ටුවත්තේ හිමි, හික්‌කඩුවේ සුමංගල හිමි, වාරියපොළ සුමංගල හිමි, ඉහගම හිමි, ඉළුක්‌ගොඩ හිමි ඇතුළු සිංහලයේ පහළ වූ සියලු දේශමාමක කුළදේවතාවුන් වහන්සේලා 'වලිප්පුවක්‌' 'කුලප්පුවක්‌' වැළඳුන 'ප්‍රචණ්‌ඩ' 'මැරයින්' ය. ඔහුගේ වදනින්ම "දැන් මේ යුද්ධය අවසන් වී රටේ සාමයක්‌ තිබිය යුතු අවස්‌ථාවේදී ඒ පවතින සාමය බිඳ දමන්නේ බෞද්ධ භික්‌ෂුන් වහන්සේලා පිරිසකි". මේ රටේ යුද බියක්‌ නැති බව සැබෑවකි. අපි ගෞරවණීය ලෙස සාමය දිනාගත් බවද සැබෑවකි. එදා යුද්ධයෙන් සාමය දිනාගනිමුයි අධිෂ්ඨානශීලීව හඬ නැගූ සංඝරත්නයම, දැන් සිදුවෙමින් පවතින්නේ පවතින සාමයට මුවාවී මේ රටේ ජාතිය වූ සිංහලයා නිවට කිරීම බව සඵලව හා සබුද්ධිකව - විටෙක දැඩිව - පෙන්වාදීම සාමය බිඳ දැමීමක්‌ ලෙස දකින්නේ නම්, චන්ද්‍රප්‍රේම මහතා ගෙනහැර පාන සෙසු කරුණු පිළිබඳවද දෙවරක්‌ සිතිය යුතුවෙයි. ඒ බව තහවුරු වන ඔහුගේ විකල් විග්‍රහයේ අවස්‌ථා කිහිපයක්‌ විමසා බැලීම වටී.

මුලටම සිහිපත් වන්නේ අපට එතුමා ගැනද අනුකම්පා සිතෙන දුක්‌ගැනවිල්ලකි. බොදු බල සේනාවේ ගමන්ගම අඩාල කරන්නට "බොදු බල සේනාව යනු නෝර්වේ කේන්ද්‍රකරගත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි"යි එක්‌තරා දේශපාලනඥයෙකු කලකට ඉහතදී නිර්මාණය කළ, කල් ඉකුත් වුණු ප්‍රවාදයෙන් යෑපෙන චන්ද්‍රප්‍රේම මහතා එතුමාටද නෝර්වේ යැමට වීසා නොලැබීමෙන් කලකට ඉහතදී තම හිතේ අවරෝධනය වූ සිද්ධියක්‌ සිහිපත් කරයි. ඒ "මේ අරුම පුදුම තත්ත්වය ඇතිවූයේ භික්‌ෂුන් පිරිසක්‌ නෝර්වේවලට ගිය පසුවය. නෝර්වේ රාජ්‍යය තම රටට ඒමට වීසා ලබා දෙන්නේ ඔවුන්ට ප්‍රයෝජනයක්‌ ඇති අයට පමණි. 1990 දී මා ද අයිලන්ඩ් පුවත්පතට සම්බන්ධ වූ අලුත එවක ඔස්‌ලෝ විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටි ආචාර්ය කුමාර් රූපසිංහ එම විශ්වවිද්‍යාලයේ මාස තුනක වැඩසටහනකට ආරාධනා කළේය. නමුත් නෝර්වේ තානාපති කාර්යාලයෙන් මට එම වැඩසටහනට සහභාගි වීමට වීසා දුන්නේ නැත. ඔවුන් වීසා දෙන්නේ තමන්ට යම් ප්‍රයෝජනයක්‌ ඇති අයට පමණි"යි යනුවෙනි. නමුත් එතුමාම පුන පුනා කියන ආකාරයෙන් අපට පෙනී යන්නේ උක්‌ත "මාස තුනේ වැඩසටහනට" එතුමාගෙන් ප්‍රයෝජනයක්‌ නැති බව නෝර්වේ රජයට ඒත්තු යැමෙන් එතුමාට වීසා ලබා නොදුන් බවකි. ඒ අකරතැබ්බයට බොදු බල සේනාව වගකිව යුතුද?

යුද සමයේ භික්‌ෂුන් වහන්සේලා සිටියේ කොහේදැයි ප්‍රශ්න කරන තරමට විකල්වී ඇති මේ ප්‍රවීණ දේශපාලන විචාරකයාගේ ස්‌මෘතියෙන් ඊනියා යුද විරෝධී පෙරමුණු වල විජාතික වේදිකාවන්ට ජීවිත අවදානම නොතකා පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි සහ තවත් බොහෝ ස්‌වාමීන් වහන්සේලා වැඩම කළ මතකය මැකී ගොසිනි. නැතිනම්, ඔහුට 1990 දී ඔස්‌ලෝ එන්නට ආරාධනා කළ කුමාර් රූපසිංහ යුද විරෝධී වේදිකාවේ ප්‍රධාන නළුවා වූ නිසා ඒ කාලයේද ඔහුට රට ගැන සිතන භික්‌ෂුන් වහන්සේ පෙන්නන්න බැරිව සිටියා විය හැක. කුමාර් රූපසිංහලා ඇතුළු බර්ගෝµa නඩය ත්‍රිවිධ හමුදාවන්ගේ කොඳු බිඳිද්දී ත්‍රිවිධ හමුදාවේ කොල්ලන් දිරිමත් කරමින් බංකරයක්‌ බංකරයක්‌ පාසා පිරිත් පැන් කෙණ්‌ඩියත් පිරිත් හුයත් රැගෙන වැඩි භික්‌ෂූන් වහන්සේලා කවුරුන්දැයි සොයා බලන්නට අපි මේ ප්‍රවීණ දේශපාලන විචාරකයාට ඇරයුම් කරමු.

විල්පත්තු සිද්ධිය ඇතුළු වෙනත් ආන්දෝලනාත්මක සිද්ධීන් ගැන කථා කිරීමට ගිහියන් විශාල පිරිසක්‌ සිටින බව කියන චන්ද්‍රප්‍රේම මහතා දේශපාලනඥයන් හා එසේ නොවන කිහිප දෙනෙකුගේ නම්ද ඉදිරිපත් කරයි. කොටි සංවිධානය වෙඩි තබා පරලොව යෑව්වේ ද ගිහියන් බව හේ කියයි. මෙතැනදී මේ ප්‍රවීණ දේශපාලක විචාරකයා පත්වන්නේ ළදරුවකුගේ තත්ත්වයටය. හේ සිය අදහස්‌ දැක්‌වීම කරන්නේ සමකාලීන සංසිද්ධීන් පිළිබද ඇති සාමාන්‍ය දැනුමින්ද විනිර්මුක්‌තවය. එය නොදැනුවත්ව සිදු වන්නක්‌ නොවේ. ඔහු එසේ කරන්නේ ත්‍රස්‌තවාදය යුදමය වශයෙන් පරාජය "කළ හැකිය" හා "කළ යුතුය" යන ආත්ම විශ්වාසය හා යෝජනාව, දේශපාලන කොන්දේසිවලට නොවහල්ව කරමින් වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ආවේ අද චන්ද්‍රප්‍රේම මහතාය වහකදුරු වී ඇති "නිකායේ" භික්‌ෂුන් වහන්සේලා බව නොදැන නොවේ.

වත්මන් පාර්ලිමේන්තුවේ ආසන 225 න් සිංහල මන්ත්‍රී වරුන්ගේ සංඛ්‍යාව 150 කට අධිකය. ආසන්නතම විල්පත්තු සිද්ධිය පමණක්‌ නොව සිද්ධීන් අතළොස්‌සක්‌ පමණක්‌ සළකා බලන්නේ නම් දෙවනගල, කුරගල, මහමෙවුනා උයන, දඹුල්ල පුදබිම මරක්‌කල අන්තවාදයේ ආක්‍රමණයට ලක්‌වීම වැනි සිද්ධීන්, මෙරට පාරිභෝගික භාණ්‌ඩ අයථා හලාල්කරණයට ලක්‌කිරීම වැනි සංසිද්ධීන්වලදී, සමාජයීය ප්‍රශ්න විසඳාගැනීමට පෙරමුණ ගනු ඇතැයි අපට යෝජනා කරන 'නායකයින්' 'මහජන නියෝජිතයින්' ධර්මපාලතුමාගේ වදනින් කියන්නේ නම් 'ඇටිකෙහෙල් කෑ උගුඩුවන්' සේ සිටි බවද චන්ද්‍රප්‍රේම මහතා වැනි විචාරක්‌ෂියක්‌ ඇත්තකු නොදන්නවා විය නොහැක.

අනවසර පදිංචිවීමක්‌ වැනි දෙයක්‌ විසඳා ගැනීමට 'ගිහියන්ට' පුවත්පත් සාකච්ඡාවකින් දෙකකින් පුළුවනැයි කියන චන්ද්‍රප්‍රේම මහතාණන්ට විල්පත්තුවේ අක්‌කර සිය ගණනක්‌ බිලිගෙන ස්‌ථිර නිවාස ඉදිකරන තුරු ඒ ගිහියෝ කොහේ සිටියේදැයි නොපෙනෙයි. හැටපස්‌ අමුණක කුඹුරු හිමිව තුබූ දෙවනගල රජමහා විහාරයේ විහාර ගම්, වී අමුණු දෙකකට අඩු වනතුරු මේ සර්ව බලධාරීන් සිටියේ කොහේදැයි ද නොපෙනේ. සිංහල හමුදාවන් 'අහිංසක දෙමළ වැසියන් සමුල ඝාතනයට රසායනික අවි භාවිත කළේය, සිංහල හමුදාවන් දෙමළ වැසියන් ඝාතනය කරනු ඇසින් දුටු සාක්‌ෂි ඇතැයි' තවත් 205 දෙනෙකුගේ අත්සන්ද සහිතව ජිනීවා වෙත ලියා යෑවූ මන්නාරම අග රදගුරු රායප්පු ජෝශප්ට එරෙහිව ඔය කියන කෙරුම්කාරයන් කටක්‌ ඇර නැති බව හේ හො¹කාරවම දනී. යටත් පිරිසෙයින් අර හොර බුදුවරු පහලවී 'සිවුර යනු උර හතරක්‌'යි ද 'ත්‍රිපිටකය යනු පිටු තුනකි'යිද කියද්දී මහජන මුදලින් නඩත්තු වන ඔය පංචස්‌කන්ධ සිටියේ කොහේද? නොබෝදා මල්වතු මහ නාහිමියන් නිවැරදිවම දුටු පරිදි, අමාත්‍යාංශවලින් අවශ්‍ය, සේවය ඉටු නොවන නිසා බෞද්ධ භික්‌ෂුන් වහන්සේට කෙවිට අතට ගැනීමට සිදුවූ බව චන්ද්‍රප්‍රේම මහතා නොදකින්නේ ඇයිදැයි අපට නොවැටහේ.

අප අද ජීවත් වන්නේ සිංහල බෞද්ධ භික්‌ෂුවගේ ඓතිහාසික කාර්යභාරය නොදත් සමාජ වටපිටාවකය. පශ්චාත් යටත් විජිත, නව්‍ය හා පශ්චාත් නව්‍ය, පශ්චාත් කාර්මීකරණ සමාජ අනන්‍යතා ප්‍රවාහයන්ගෙන් ඔද්දල් වූ නූතන සමාජයේ හැඩය, බටහිරීකරණයෙන්ද, වානිජකරණයෙන්ද, ජනප්‍රිය සංස්‌කෘතියේ ආභාසයෙන්ද ඔප දමනු ලැබ ඇත්තේය. සමාජය බේරා ගනු ඇතැයි චන්ද්‍රප්‍රේම මහතා පේන කියන 'නායකයන්ගේ' අනවරත නිදිවැදීම් අස්‌සේ අධ්‍යාපනය ආදී ක්‌ෂේත්‍රයන් තුළටද සිංහලයාට එරෙහි විවිධ සතුරු පාර්ශවයන්ගේ විඥාන දූෂකයෝ රිංගාගෙන ඇත. මේ සමාජය භික්‌ෂුවගේ ඓතිහාසික කාර්ය භාරය නොදන්නේය. නවීකෘත (මොඩ්) මිශ්‍රව සිංහලය දත් ඔවුනට අමිශ්‍රව සිංහලෙන් කතා කිරීම කෙනෙකු ඇමතීම අකැපයá 'නෝටිම නෝටි'ය. චන්ද්‍රප්‍රේම මහතා (හා තවත් අය) මේ ඓතිහාසික ශාසනික කාර්යභාරය නොදන්නා නූතන සමාජ (අ)විඥානයෙන් ප්‍රයෝජන ගන්නට මාන බලයි. ඒ සඳහා "භික්‌ෂුවගේ අවිනීත හැසිරීම කෙරෙහි අවධානය යොමුවී මුළු බෞද්ධ සංහතියටම මහත් අවමානයක්‌ සිදුවීම" යන යෙදුම උළුප්පා 'බෞද්ධයකු' ලෙස 'සමකාලීන ශාසනික සෝදාපාළුව' ගැන සිය අදිසි "කම්පාවීමද" විද්‍යමාන කර, එමගින් තම මතවාදයේ යුක්‌තියුක්‌තතාව මතුපිටින් ඉතා සූක්‌ෂමව තහවුරු කරගනිමින්, බොදු බල සේනාවට (හා සෙසු සංවිධානයන්ට) පහර ගසයි.

විහාරස්‌ථානය විටෙක ලෝකෝත්තර විමුක්‌තිය උදෙසා ජනී ජනයා පෙළ ගස්‌වන පුහුණු කරවන ධර්මායතනයද, භාවනා ආශ්‍රමයද, තවත් විටෙක කලායතනයද, අධ්‍යාපන මධ්‍යස්‌ථානයද, සාහිත්‍ය උල්පතද, සමාජ ශාලාවද, පුස්‌තකාලයද, ඉලංගං මඩුවද, සේනා සංවිධානය වන කේන්ද්‍රස්‌ථානයද ප්‍රජාවේ කුදුමහත් සමාජ අවශ්‍යතාවන් ඉටු කරගන්නා මර්මස්‌ථානය වූ බව නොදන්නා චන්ද්‍රප්‍රේම මහතා ප්‍රසිද්ධියේ මේ යෝජනා කරන්නේ අනෙකක්‌ නොවේ. ගිහියන්ගෙන් ලැබෙන සිවුපසයෙන් යෑපෙමින් - කුඩාපොළ හිමියන් වරෙක වදාළ පරිදි, පිං බත් ගිලිමින්, පඩික්‌කම් පුරවමින් - බණක්‌ දහමක්‌ දෙසා, දනකට පාංශකූලයකට වැඩ තමන්ගේ පාඩුවේ සිටිනා ලෙසය. එහෙත් කොතරම් අඩුපාඩු මැද්දේ වුවද, සිංහල බෞද්ධයා තමා සතු ඉස්‌තරම්ම දෙය දනට පුදා ශාසනය රැක්‌කේත් රකින්නේත් දැයේ මුරදේවතාවුන් වහන්සේලාගෙන් තමන් බලාපොරොත්තු වන්නේ ලෝකෝත්තර විමුක්‌තියක්‌ පමණක්‌ නොවන නිසා බව සිංහල බෞද්ධයා දනී.

අන් තැනක, ඔහු සිය ක්‍රමවේදය බොදු බල සේනා ප්‍රධානී අතිපූජ්‍ය කිරම විමලජෝති නා හිමියන් සම්බන්ධයෙන් නව පන්නයකට අත්හදා බලන්නට උත්සහ කරයි. ඒ, උන්වහන්සේ අභිනන්දනය කොට උන්වහන්සේට මානසික අල්ලසක්‌ ලබාදීමට උත්සහ කිරීමෙනි. අනතුරුව කිරම නා හිමියන් වැනි සංඝපීතෘවරයාණන් වහන්සේ නමක්‌ බොදු බල සේනාව වැනි "පාපකර්මයකට" දායක වූයේ ඇයිදැයි තමාට නොවැටහෙන බව චන්ද්‍රප්‍රේම මහතා කියයි. එය නොවැටහෙන්නේ නම් එතුමා කළ යුත්තේ උන්වහන්සේ බොදු බල සේනාවට නායකත්වය දෙන්නට තීරණය කළේ මන්දැයි දැන ගැනීමට නා හිමියන් මුණ ගැසීමය.

"බොදු බල සේනාව, සිංහල රාවය යන සංවිධානවල භික්‌ෂුන් අතර අඩු ගණනේ බණ දේශනා කිරීමෙන් හෝ සමාජ සේවය කිරීමෙන් හෝ මායිම් ගම්මානවල සිංහලයන් සංවිධානය කිරීමෙන් හෝ ප්‍රසිද්ධියක්‌ ලබා ඇති එකදු භික්‌ෂුයවක්‌ වත් නැති" බව ඔහු කියයි. ඔහුට අනුකම්පා කරනු හැර අපිට කිරීමට වෙනත් කිසිදු දෙයක්‌ නැත. ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ බුද්ධානුස්‌මෘතිය, තෙසැත්තෑ ඥාන පූජාව ආදිය ගැන චන්ද්‍රප්‍රේම මහතා නොදන්නා සෙයකි. බොදු බල සේනාව මෙන්ම සිංහල රාවයද පසුගිය සමයේ විපතට පත් සිංහල ගම්මාන, විහාරස්‌ථාන නගා සිටුවීම සඳහා ගත් උත්සාහයෙහි තරම දන්නේ ඒ සංවිධානවල ක්‍රියාකාරීන්ම පමණි. යාපනයේ නාවක්‌කුලි ඓතිහාසික සිංහල ගම්මානය නගා සිටුවීමේ කටයුතුවල ශ්‍රමය සැපයූයේ සිංහල රාවයේ භික්‌ෂූන් වහන්සේලාය. මේ ආගමික සමාජ මෙහෙවරයන්හි උන්වහන්සේලා නිරතවන්නේ ප්‍රසිද්ධිය පිණිස ගුවන් කාලය, පත්තර කොළම් මිලට නොගනිමිනි. ඒ, ප්‍රසිද්ධියට වඩා සේවය අවශ්‍ය නිසාය. ගමක පාරකට කොන්ක්‍රීට්‌ ඇබින්දක්‌ දමා පළමුව ගැමියන්ද, දෙවනුව රටද රවටන දේශපාලනඥයන් මෙන් උන්වහන්සේලාද ඩිජිටල් බැනර් වල විරාජමාන නොවන නිසා චන්ද්‍රප්‍රේම මහතා වැන්නවුන් ඒ සේවාවන් නොදනියි.

බොදු බල සේනාවට අවලාද යනු අලුත් අත්දැකීමක්‌ නොවේ. මෙතෙක්‌ ජාතික වශයෙන් අවලාද ඇසූ අපි මෑතකදී අටවාගත් "ට්‍රැක්‌" (TRAC) නම් වූ ආයතනයක්‌ විසින් "බොදු බල සේනාව ත්‍රස්‌ත සංවිධානයක්‌" ලෙස නම් කිරීමත් සමග ජාත්‍යන්තර මට්‌ටමට "උසස්‌වීමක්‌" ලැබීමු. පැමිණෙන ඕනෑම විපත්තියක්‌ සම්පත්තියක්‌ කරගැනීමේ දෘඪතර අධිෂ්ඨානයෙන් යුත් අපි මේ අවලාදකරුවන් දකින්නේ ජාතියට විහිළු සපයන්නන් ලෙසය. දැන් ජාත්‍යන්තර විහිළු ද සැපයෙමින් තිබේ. කෙසේ වෙතත් බොදු බල සේනාව පිළිබඳ චන්ද්‍රප්‍රේම මහතාගේ විග්‍රහය අප දකින්නේ වම් හෝ දකුණු ඉවුරක සිට කළ විග්‍රහයක්‌ ලෙස නොවේ. එයින් ස්‌ඵුට වන්නේ වන්දිභට්‌ට රිද්මයකි. ජාතික ජාත්‍යන්තර දේශපාලන කරුණු කාරණා උඩින් පල්ලෙන් අතපතගෑවද සාධනීය නිගමනවලට ළගාවීමේ පූර්ණ නොහැකියාව ඔහුගේ ලියෑවිල්ල තුළ ඉස්‌මතුවී පෙනේ. රට, ජාතිය, ආගම, ඓතිහාසික උරුමය ආදී කරුණු 'කරච්චල්' 'ගෝත කරුම' සේ දකින නුතන ජාතියක්‌ ජන්මයන් නැති (හෝ නොතකන) කල්ලතෝනි මධ්‍යම පංතික අනන්‍යතාව, ඉල්ලා සිටින සාටෝප ව්‍යාජ සමාජ වින්දනයට, දැහැනට බාධාවේ යෑයි බියෙන් ජාතියක ඉතිහාසය ප්‍රතික්‌ෂේප කිරීමට ඔහු ඉක්‌මන් වී තිබේ. මේ දින වල බොදු බල සේනාව පතුරු ගසන සෙසු අය සේම සිංහල බුද්ධාගමේ අසංගත බව සොයා යැම චන්ද්‍රප්‍රේම මහතාද උත්සහ දරයි. ඒ සඳහා ශාසනයේ මළගම නිවේදනය කරයි. පිහිටක්‌, සරණක්‌ අවශ්‍ය නම් නිදිවර්ජිතව සිටින වගකිවයුත්තන්ම පමණක්‌ විශ්වාස කරන්නැයිද, උන්ගේ අගුපිල්වල ලගින්නැයිද සමාජයට පණිවුඩයක්‌ දෙන හේ වක්‍රෝත්තියෙන් ජාතික මතවාදය වටා ගොනු වන පිරිස විසුරුවා හැරීමට මාන බලයි. එහෙයින් මේ වනාහී වම් හෝ දකුණු ඉවුරකට නොව නිකම්ම නිකං බෝක්‌කු ඇන්දකට හේත්තු වී කරන ලද නොහොබිනා කටමැත දෙඩවීමක්‌ පමණි. එයින් "ප්‍රවීණ දේශපාලන විචාරකයෙක්‌"ලෙස ඒ මහතා සතු පරිචය රටම තේරුම් ගත්තේ ය.

භික්‍ෂුව හා මැරකම -- සී. ඒ. චන්ද්‍රප්‍රේම

Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

  1. මෙහි ,ආගමීක පූජකයෙකුගේ කාරය භාරය අමතකවී ඇතිසේය.
    විල්පත්තුවේ, සිවිල් යුද්ධය නිසා අවතැන්වූ ශ්‍රී ලාංකීකයන් පිරිසක් පදිංචිවී ඇතැයි යන චෝදනව.
    මෙම කරුන පැවසෙන හැම විටෙකම මුස්ලිම්වරුයැයි දක්වන්නේ මන්ද?ඔවුන් ශ්‍රී ලාංකීකයින්ය.සමහර පුද්ගලයන් නීතිය අතට ගෙන කටයුතු කලේ ඔවුන් මුස්ලිම්වරු නිසාය. ඇයි ඔවුන්ට ශ්‍රී ලාංකීකයන් ලෙස නම් නොකරන්නේ?
    මේ රට සිංහල රට නම් සිංහල බෞදයන් කියා ජන කොටසක් සිටී නම් සිංහල මුස්ලිම් කියාද ජන කොටසක් සිටිය හැක.
    සත්තුන්ට,ගකොලට බිම් වෙන් කිරීමට කලින් මිනිසුන් ජීවත් කල යුතුය.එහෙයින් අවතැන්වූ ජනතාව පදිංචි කිරීමට ප්‍රමුඛතාව දිය යුතුය.
    නරසිංහ

    ReplyDelete

Popular Posts

Popular Posts