Open top menu
Wednesday, April 30, 2014

මා සිනමාකරුවකු බවට පත්වූයේ කෙනෙක් වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක් වන්නාක් මෙන් කුඩා කල සිටම ජීවිතය කිසියම් සැලසුම් කිරීමක් කළ නිසායැ’යි කීමට පුළුවන්කමක් නැහැ. මගේ පියා විද්‍යා ගුරුවරයෙක්. ඔහු එකල කිසියම් වාමාංශික දේශපාලන ව්‍යාපාරයකටද සම්බන්ධව කටයුතු කළ බැව් මට මතකයි. මේ අනුව මගේ ජීවිතය හා දැක්ම හැඩගැස්වීම සඳහා ඔහුගේ ජීවිතය ඇසුරෙන් ද කිසියම් ආභාසයක් ලැබෙන්නට ඇති. එහෙත් ඒ කිසිවක් මා දැනුවත්ව සිදුවූ දේ නොවෙයි.

ගාල්ලේ මහින්ද විද්‍යාලයේ, විශ්වවිද්‍යාල ප‍්‍රවේශයේදී මා ඉගෙනුම ලැබුයේ කලා විෂයයන්. එහෙත් කිසිදිනෙක විශ්වවිද්‍යාලයට යෑමට හෝ එහිදී උපාධියක් ලබාගැනීමට හෝ
අදහසක් මා සිත තුළ තිබුණේ නැහැ. කෙසේ වෙතත් පාසල් අවධියේ සිටම කලාව, මාධ්‍යය හා ලේඛන කලාව පිළිබ`දව ඇල්මක් මා සිත තුළ පැළපදියම් වී තිබුණා. පාසලේදී ක‍්‍රියාකාරී සිසුවකු වූ මම එකල පළවූ විකල්ප පුවත්පතකටද ලිපි ලියන්නට පටන් ගත්තා. පාසල් අධ්‍යාපනය අවසන් කළ වකවානුවේ පටන් මා වැඩිපුරම කාලය ගත කළේ චිත‍්‍රපට බැලීම, කියවීම, සාකච්ඡුා, සම්මන්ත‍්‍රණ හා දේශන වැනි දේට සහභාගීවීමටයි. ගාල්ල හා ඒ අවට ප‍්‍රදේශවල චිත‍්‍රපට හා ටෙලිනාටක රූගත කරනු නැරඹීමටද මම උනන්දුවුණා. සිනමාව පිළිබ`දව මගේ උනන්දුව දිනෙන් දින ඉහළ යන බවක් මට හැ`ගී ගියා. මවිසින් ලිපි ලේඛන සැපයූ විකල්ප පුවත්පත ඇසුරෙන් දැනහඳුනාගත් මෙරට වාමවාදී අදහස් උදහස් දැරූ තරුණ පිරිසක් සම`ගින් වැඩකටයුතු කිරීමටද මෙම යුගයේදී මගේ කාලයෙන් වැඩි කොටසක් ගතවුණා.

එහෙත් ඒ කණ්ඩායමේ බොහෝ පිරිස් ක‍්‍රම ක‍්‍රමයෙන් කැඞී බිඳී විසිරී යෑමත්, ඔවුන්ගෙන් ඇතැමෙක් ප‍්‍රධාන ධාරාවේම දේශපාලන ව්‍යාපාරවල ක‍්‍රියාකාරීන් බවට පත්වීමත් සිදුවූයේ මෙම වකවානුවේදීයි. ඇතැමුන් ආර්ථික වාසි ලබාගැනීමේ අරමුණින්ම ඒවාට එකතු වූ බවයි මට හැ`ගී ගියේ.
මා තුළ කිසියම් නිර්මාණාත්මක විභවයක් ඇති බව ඒ වන විටත් මට වැටහී තිබුණා. එම සිතිවිල්ලත් පෙරදැරි කරගෙන කොළඹ ප‍්‍රධාන පෙළේ ප‍්‍රචාරක ආයතනයකට කෙලින්ම ඇවිදගෙන ගිය මම එහි රැුකියා අවස්ථාවක් ඇතිදැයි විමසා සිටියා. එතැනට මා ඇවිද ගෙන ගිය ආකාරයත්, යටකී ප‍්‍රශ්නය එහි ප‍්‍රධාන විධායක නිලධාරිනියගෙන් ඇසීමට මට ඇතිවූ ශක්තියත් අදත් මට වටහා ගැනීමට බැහැ. පුදුමයකට මෙන් එකී නිලධාරිනිය මා පිළිගෙන කිසියම් වෙළ`ද දැන්වීමක් ස`දහා සංකල්පයක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටියා. ටික වේලාවක් පැත්තකට වී කල්පනා කර එකී අදහස තමනට ප‍්‍රකාශ කරන ලෙසත් ඇය මට දන්වා සිටියා.

ම`ද වේලාවකින් කාර්යාලයට මා කැ`දවූ ඇය, මවිසින් ලියා ඇති අදහස කියවා බලා එදා සිටම රැුකියාවට පැමිණෙන ලෙස දන්වා සිටියා. විස්මයට පත්ව සිටි මගෙන් ඈ ඉන් අනතුරුව අසා සිටියේ මාසික වැටුප වශයෙන් කොපමණ මුදලක් අවශ්‍යද යන්නයි. මා එකවරම කියා සිටියේ මට රුපියල් 15,000 ක් අවශ්‍ය බවයි. එකී ඉලක්කම් මගේ මුවට ආවේ කෙසේදැයි පවා මා දන්නේ නෑ. පුදුමයකට මෙන් එම මුදල මට දීමට ඇය එක`ගත්වය පළකළා.
90 දශකයේ මුල් භාගයේ සිදුවූ මෙම සිදුවීම මගේ ජීවිතයේ නව පිටුවක් උදාකළා යැයි මට සිතෙනවා. රුපියල් 15,000ක් යනු එම යුගයේ හැටියට විශාල මුදලක්. මගේ පියා ගුරු වෘත්තියෙන් ඒ වනවිට මසකට ලැබුවේ රුපියල් 8,000ක පමණ වැටුපක්. නිවසට ගොස් මගේ වැටුප පිළිබ`දව තාත්තාට කී විට ඔහු කිසිවක් කීවේ නැහැ. එහෙත් මා රැුකියාවක නියැලීම පිළිබ`දව නම් ඔහු සතුටට පත්ව සිටියා.

වසර දෙක තුනක් එක දිගටම මා වෙළ`ද ප‍්‍රචාරක කටයුතුවල නියැලී සිටියා. එකල මා ගත කළේ ඉස්තරම්ම ආකාරයේ ජීවිතයක්. වෙළ`ද ප‍්‍රචාරක ආයතනවල බොහෝ උදවිය ද එකල ජීවත්වූයේ එයාකාරයටයි. එහෙත් සිනමා ලෝකයට ප‍්‍රවිෂ්ටවීමේ බලවත් ආශාවක් නිරතුරුවම මා සිත තුළ පැලපදියම් වී තිබුණා. ඒ සිතිවිල්ල වඩාත් ප‍්‍රබලව ඉස්මතුවුණේ වෙළ`ද ප‍්‍රචාරණ කටයුතුවල එකදිගටම නියැලී සිටීමෙන් දැඩි වෙහෙසක් දැනුණු නිසායි. මේ යුගයේ කෙටි චිත‍්‍රපට කිහිපයක්ද මම නිර්මාණය කළා. ඒ සියල්ල හේතුකොට ගෙන සිනමා ලෝකයට මා තව තවත් සමීපවුණා.

ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක සිනමා පාඨමාලාවක් හැදෑරීමට මට අවකාශය උදාවූයේ මෙම යුගයේදීයි. එම විශ්වවිද්‍යාලය ම`ගින් පිරිනමන ශිෂ්‍යත්වයකට ඉල්ලූම් කළ මට අනපේක්‍ෂිත ආකාරයට එය හිමිවුණා. එහෙත් ඔවුන් එකී ශිෂ්‍යත්වය පිරිනැමුයේ කොන්දේසියක් සහිතවයි. එනම් ඒ ස`දහා ශී‍්‍ර ලංකා රජයේද කිසියම් දායකත්වයක් තිබිය යුතු බව. මෙම යුගයේ ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ තිස්ස අබේසේකර මහතා නොසිටින්නට ඇතැම්විට එකී අවස්ථාව මට අහිමිවීමටද ඉඩ තිබුණා.

එහෙත් ඒ මුදල ප‍්‍රංශයේ මාස කීපයක්වත් ජීවත්වීමට ප‍්‍රමාණවත් වුණේ නැහැ. ඇතැම් දිනවල මා ආහාර පවා නොගෙන වැඩකළා. මගේ අගහි`ගකම් වටහාගත් අපගේ උපදේශිකාවක් දිනක් මට කථාකොට ඇගේ නිවසේ වත්ත පිටිය හරිහැටි පවත්වාගෙන යාහැකි නම් මාසිකව ප‍්‍රංශ ප‍්‍රෑන්ක්වලින් සෑහෙන මුදලක් ගෙවිය හැකි බැව් දන්වා සිටියා. එහෙත් ඇගේ එම ඉල්ලීම මම එකවරම ප‍්‍රතික්ෂේප කළා. මා ප‍්‍රංශයට පැමිණියේ වෙනත් කටයුත්තකට මිසක මෙවැනි රැුකියාවක් කිරීමට නොවන බව එකවරම තීරණය කිරීමට මට හැකිවුණේ මා නිරතුරුවම සවිඥනිකව කටයුතු කිරීමට පුරුදු වී සිටි නිසායි.
යමක් කමක් තේරෙන වයසේ සිට කිසියම් ආකාරයක වෙනස් ගතිපැවතුම් රටාවක් මට තිබුණා විය හැකියි. අන් අය කුමක් කීවත් කුමක්් සිතුවත් මා කළේ මට සුදුසු යැයි සිතුණු දේ පමණයි. ඇතැම් විට මා වැරදි තීරණයන් ද ගන්නට ඇති. නමුත් ඒ සියල්ල දැනුවත්ව කළ නිසා පසුතැවීමට හේතුවක් තිබුණේ නැහැ.

සෑම සියලූ දෙයක්ම දෛවය විසින් තීරණය කරන බව විශ්වාස කරන්නා දෛවයේ වහලෙකු බවට පත් වන අතර එසේ නොවීමට නම් දෛවය ඔබගේ වහලෙකු බවට පත් කරගත යුතුයි. එසේ කිරීමෙන් නොගැළපෙන දේ අතහැර යෑමට බොහෝවිට මට හැකි වුණා. වෘතාන්ත චිත‍්‍රපට කිරීමට එකවරම දැන්වීම්කරණය අතහැර දැමීමත් ඒ වගේම සවිඥනිකව මා ගත් තීරණයක්. ඇත්ත වශයෙන්ම වසර අටකට ආසන්න කාලයක් මා ප‍්‍රංශයේ ජීවත්වුණා. මගේ සිනමා පාසලේ ඉගෙනුම ලැබූ පිරිස අතරින් ප‍්‍රථමයෙන්ම වෘත්තාන්ත චිත‍්‍රපටයක් අධ්‍යක්‍ෂණය කිරීමට අවස්ථාව හිමිවූයේද මටයි. ‘සුළ`ග එනු පිණිස’ නම් වූ මගේ ප‍්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය ප‍්‍රංශයේ කාන්ස් සිනමා උළෙලේදී Camera Dior සම්මානයෙන් පුදලැබීම මගේ ජීවිතයේ විශාල පෙරළියක් ඇති කළා.

මේ වනවිට මා වෘත්තාන්ත සිනමා කෘතීන් තුනක් නිර්මාණය කර තිබෙනවා. ඒ සියල්ල නිම කිරීමට හැකිවූයේ මගේ සිනමාවට විදෙස් රටවලින් ලැබූ පිළිගැනීම නිසයි. මෙරටදීත් මට යම් යම් සම්මාන ලැබී තිබෙනවා. එහෙත් දැන් නම් මගේ සිනමාත්මක ප‍්‍රකාශනයන්ට මෙරට නිෂ්පාදකවරයෙකුගේ මුදල්හදල් යොදාගැනීම පිළිබ`දව මා සිත තුළ ඇත්තේ චකිතයක්. එයට හේතුව ඒ සියලූ දෙනාම තමන්ගේ ආයෝජනයට සරිලන ප‍්‍රතිලාභයක් අපේක්‍ෂා කිරීමයි. මෙය බෙහෙවින්ම සාධාරණ අපේක්ෂාවක්. එහෙත් කලාකරුවකුට එයාකාරයෙන් අනෙකෙකුගේ අපේක්ෂාවක් වෙනුවෙන් නිර්මාණයක් කළ හැකිද? මේ කලාකරුවකු මුහුණ දෙන උභතෝකෝටිකයයි.

සිනමා කලාව අරබයා ඇති මූලික ගැටලූව ඉස්මතු වන්නේ ද මෙහිදීයි. එය අතිවිශාල ආයෝජනයක් ඇවැසි කටයුත්තක්. එහෙත් කිසියම් කලා නිර්මාණයක්, පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාරය හෝ නැවත ලැබෙන ප‍්‍රතිලාභ හෝ අපේක්‍ෂාවෙන් ම කළ හැකිද? ඉල්ලූමට සරිලන සැපැයුම න්‍යාය අනුව කලා නිර්මාණයක් කළ හැකිදැයි යන්න විශාල ගැටලුවක්. මෙතෙක් මා නිර්මාණය කළ කිසිදු චිත‍්‍රපටයක් ස`දහා ආයෝජනය කළ අය, එවැනි ප‍්‍රතිලාභ අපේක්‍ෂා නොකිරීම මගේ වාසනාවක්. එහෙත් මෙය තවදුරටත් කළ හැකි කටයුත්තක්ද?

මෙරට අද පේ‍්‍රක්‍ෂකාගාරය තුළ පවතින අවවර්ධිත තත්ත්වය හමුවේ අප වැනි සිනමාකරුවන් මුහුණ දී සිටින්නේ බලවත් වූ අභියෝගයකටැයි මට සිතෙනවා.

ලෝකයේ වෙනත් දියුණු රටවල, ආත්ම ප‍්‍රකාශන සිනමා නිර්මාණයන්ට යම් ඉඩක් තිබෙනවා. රජය මෙන්ම වෙනත් සංවිධානද ඒ ස`දහා හැකි පමණ උදව් කිරීම එයට හේතුවයි. එහෙත් දැන් දැන් අප රටේ එවැනි කිසිදු අවකාශයක සේයාවක් හෝ පෙනෙන්නට නැහැ. තත්ත්වය දිනෙන් දින පිරිහී යමින් ඇතිබවයි පෙනෙන්ට ඇත්තේ.

සුළ`ග එනු පිණිස චිත‍්‍රපටය නිර්මාණය කිරීමට මා හා එක්වූ පිරිස එකී චිත‍්‍රපටයෙන් අනතුරුව රැුකියා විරහිත පිරිසක් බවට පත්වීම නිසා ඔවුන් ජීවත්කරවීමේ අභිලාෂයෙන් මා වෙළ`ද ප‍්‍රචාරක ආයතනයක් ආරම්භ කළා. දැන් අප සියලූ දෙනා වැඩිපුරම නියැලී සිටින්නේ වෙළ`ද ප‍්‍රචාරණ කටයුතුවල.
ඉ`දහිට හෝ වෘත්තාන්ත චිත‍්‍රපටයක් නිර්මාණය කිරීම මෙකී ඒකාකාරී ජීවිතයෙන් පලායෑමට ඇති හො`දම ක‍්‍රමයයි. එහෙත් අද අපේ රටේ ඒ ස`දහා සුදුසු පසුබිමක් නැහැ. ඌන සංවර්ධිත මනසකින් යුත් පොදු පේ‍්‍රක්‍ෂකාගාරය, අනේකවිධ වාරණ තහංචි, දුර්වල යටිතල පහසුකම් යනාදී සියලූ බාධක, ආත්ම ප‍්‍රකාශන සිනමාවට එරෙහි වී ඇති බවයි පෙනී යන්නේ. නැවත වරක් ප‍්‍රංශයටම ගොස් චිත‍්‍රපට තැනීම සුදුසුයැයි ඇතැම් විට මට හිතෙනවා.
එහෙත් මෙරට පේ‍්‍රක්‍ෂකයා වෙනුවෙන්ද කිසියම් වගකීමක් ඉටුකළ යුතුයැයි වැනි හැ`ගීමක් මා සිත තුළ නැත්තේ නැහැ. අපේ පේ‍්‍රක්‍ෂකාගාරය මේ වනවිට ඉමහත් ආස්වාදයක් ලබමින් නරඹන ඓතිහාසික හෝ ආගමික පුරාවෘත්තයක් ඇසුරෙන් වෘත්තාන්ත චිත‍්‍රපටයක් නිර්මාණය කළ යුතුයැයි වැනි හැ`ගීමක් ද මා සිත තුළ තිබෙනවා. එවැනි කථාපුවතකින් පවා උසස් සිනමාත්මක නිර්මාණයක් කළ හැකි බව සනාථ කිරීමයි මගේ අපේක්‍ෂාව.
තරුණවියේ දී අප සැම සිනමාකරණයට ප‍්‍රවිෂ්ටවීමට සිහින මැව්වේ එකී මාධ්‍යයට අසීමිත ලෙස ඇලූම්කළ නිසයි. විවිධ දෙස් විදෙස් සිනමාකරුවන්ගේ කෘතීන් නැරඹීමෙන් ලත් උත්තේජනය එයට හේතුවන්නට ඇති. එහෙත් සිනමාවේ සැබෑ ශක්‍යතාවන් අප හඳුනාගත්තේ ක‍්‍රමක‍්‍රමයෙන්. මගේ විදේශීය පුහුණුව හා රටරටවල කළ සංචාරයන් හරහා එය වඩාත් ඔප්නැංවුණ බවක් මට හැෙ`ගනවා. එය කිසිදා අවසන් නොවන අභ්‍යාසයක්.
වෙනත් විදග්ධ කලාවන් මෙන්ම සිනමාවද ආධ්‍යාත්මික වින්දනය උදෙසා පරිහරණය කළ හැකියි. දැන් මා නියැලී සිටින්නේ එවන් උත්සාහයකැයි මට සිතෙනවා. එවැනි සිනමාවක් අද දවසේ දී ඉතාමත් සුළු පිරිසකට පමණක් ගෝචර වන්නට පුළුවන්. එහෙත් මතු යම් දවසක ඒ පිළිබඳ අදට වඩා පුළුල් කතිකාවක් ඇතිවිය හැකි බවට වූ විශ්වාසයක් මා සිත තුළ තිබෙනවා. කලා ඉතිහාසය පිරික්සා බැලීමේදී එවැනි දේ කොතෙකුත් සිදුවී ඇති බැව්ද පෙනෙනවා. මෙය අප රටට පමණක් සීමාවූ තත්ත්වයක් නොවෙයි.

සුභාවිත කලාව ඇසුරු කිරීමෙන් මානව වර්ගයාට වඩාත් සංවර, විචක්ෂණශීලී ජීවීන් කොට්ඨාසයක් බවට පත්විය හැකිවේයැ’යි මම තරයේ විශ්වාස කරනවා. මා නිර්මාණකරණයේ නියැලෙන්නේ එකී විශ්වාසය මත පිහිටායි.

මා මුලින්ම කළ චිත‍්‍රපටය වැන්නක් අද මා අතින් නිර්මාණය වේයැයි කීමට බැහැ. එයට හේතුව දැන් මා එදාට වඩා වෙනස් මිනිසෙකු වී සිටීමයි. ලෝක ස්වභාවයද එයම බැව් කිවයුතු නැහැ. මා සිතනා අන්දමට වර්තමානයේදී මගේ සිතිවිලි, ජීවිතය හා ලෝකය පිළිබ`ද මගේ දැක්ම සකස්වීමට මුල්වූයේ මගේ පියාගේ අභාවයයි.

ජීවිතය යන්න මරණයෙන් කෙළවර වන්නක්යැයි දැන් මා සිතන්නේ නැහැ. මරණය ජීවිතයේ එක් කඩඉමක් පමණයි. අප සියලූ දෙනා මෙලොව සිටින අනෙකුත් ජීවීන්, ගහකොළ හා එහි ඇති අනේකවිධ වස්තූන් මෙන්ම මේ මහා විශ්වයේ කුඩා සංඝඨකයන් පමණයි. ඒ සියල්ල මොහොතින් මොහොත වෙනස්වෙමින් නැවත නැවතත් අලූත් ස්වභාවයන්ට පත්වෙනවා. මරණය ද එවැනිම වූ ස්වභාවයක්.ඇත්ත වශයෙන්ම ලෝකය හරිහැටි වටහාගැනීමක් කළ හැක්කේ අපගේ ශරීරයෙන් පිටතට අපගේ මනස ගෙන යෑමෙන්

පමණයි. ශරීරයත් මනසත් යනු එකක් නොව දෙකක් බව පැහැදිලියි.

ඇතැම් විට ජීවිතයේ වඩා වැදගත් කොටස ඇත්තේ මරණයෙන් පසුව විය හැකියි. ජීවිතය යනු කිසියම් කි‍්‍රයාවලියක් පමණයි. එකී ක‍්‍රියාවලිය අපට පෙනෙන දෙයක් නොවෙයි. ලෝකය යනු සියල්ල පවතින්නාවූ යහපත් තැනක් මිසක අයහපත් තැනක් නොවෙයි. ගැටුම් ඇතිවන්නේ එය අයහපත් තැනක්යැයි සිතූ විටයි. මේ සියල්ල අවබෝධ කොට ගැනීම බුද්ධියෙන් කළ හැක්කක් නොවේ. එය හඳුනාගත හැක්කේ හැ`ගීම් හා භාවයන් හරහායි.

මෙලොව අප ගතකරන කාලය තුළ අප කරන්නේ තාවකාලින සැරිසැරීමක් පමණයි. ඇතැම් විට ජීවිතයේ ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයන්ට මාද මුහුණ දී තිබෙනවා. එහෙත් එ්වා තාවකාලික තත්ත්වයන් බැව් දැනසිටීම හරහා තදබල ගැටලූවක් ඇතිවුණේ නැහැ. ලෝකය කොතරම් යහපත් තැනක් දැයි කියතොත් අබ්බගාත අයෙකුට පවා ශරීරයේ වෙනත් ඉන්ද්‍රියයක් සාමාන්‍ය අයෙකුට වඩා වැඩිදියුණු කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මෙකී තත්ත්වය අවබෝධ කොටගත හැක්කේ ආගමික ඉගැන්වීම් පසුපස යෑමෙන් හෝ බුද්ධියෙන් හෝ නොවෙයි. එය කළ හැක්කේ ලෝකය සවිඥනිකව දැකීමෙන් පමණයි.

මා තුළ මගේ ඥති මිත‍්‍රාදීන් හෝ වෙනත් කිසිවකට හෝ විශාල බැඳීමක් නැහැ. ජාතිය, ආගම හෝ පුද්ගල චරිත කිසිවකට එවැනි බැඳීමක් මා තුළ නැහැ. ඇත්ත වශයෙන්ම මට මගේ චිත‍්‍රපට පිළිබඳව පවා එවැනි ලාලසාවක් නැහැ. ඒවා ගිනි තබා විනාශකිරීමට වුවත් මට පුළුවන්. ඒවා වෙනුවෙන් පෙනීසිටීමටද මට වුවමනාවක් නැහැ. එය එසේ වන්නේ ලෝකය නිවැරදිව වටහාගැනීම නිසායි.

ලෝකයත් මමත් යනු දෙකක් නොවන බව වටහාගැනීම හරහා මරණ බිය වියැකී යන බව පැහැදිලියි. මගේ චිත‍්‍රපටවල ඇති ජීවිතය මටද පැහැදිලි කළ නොහැකියි. චිත‍්‍රපටයක් තේරුම් ගැනීමට බුද්ධිය අවශ්‍යයැ’යි කීම අපරාධයක්. එසේ කියන්නාද වංචනිකයෙක්. දැන් මගේ ව්‍යායාමය වී ඇත්තේ මෙකී සත්‍යය අන්‍යයනටද දැනවීමයි. අනාගතයේ දී මගේ සිනමාලංකාරය ගොඩනැගෙනු ඇත්තේ මේ සියලූ අදහස්වල එකතුවෙන් විය හැකියි.
ravaya -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

  1. "මගේ චිත‍්‍රපට ගිනි තබා විනාශකරන්නත් මට පුළුවන් – විමුක්ති ජයසුන්දර "

    හපොයි පුළුවන් ,උබ ඉතින් පාන් කලි මැද්දට BLADE තල දලා කාක්කන්ට කවපු එක නේ .

    ReplyDelete

Popular Posts

Popular Posts