ආගම සහ පොලිසිය
එහෙත් මේ ආගමික ගැටුම්වලට විසඳුම් සෙවීමට පොලිසියට බලය පැවැරීම 'පයබරවායට පිටිකර බේත් බැඳීමක්' වැනිය.
පෞද්ගලික කාරණයක් වන ආගම 'රාජ්‍යය' සමඟ ගැට ගැසීමට යෑම නැති ප්‍රශ්න ඇති කරන්නකි. අසල්වැසි ඉන්දියාව පවා 'ආගම' රාජ්‍යයෙන් වෙන්කර තබා ඇත්තේ ඒ නිසාය. බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුවද, ආගම් ඇදහීමේ නිදහස හා අයිතිය සියලු ආගම් සම්බන්ධයෙන් තහවුරු කර ඇත. එහෙත් දැනට රටේ පවතින නීතිය පවා නොතකා හරිමින් යම් ආගමික සංවිධානයක් හෝ ගිහි පැවිදි පිරිසක් කටයුතු කරන්නේ නම් එය බරපතළ වරදකි. ආගමට මුවාවී නීතිය කඩ කිරීමට යෑමට එරෙහිව පියවර ගැනීමට අලුත් පොලිසියක් අවශ්‍ය නැත. තිබෙන පොලිසිය ඊට ප්රමාණවත්ය.
ගෙවුණු කාලය පුරා සිදුවූ රාජ්‍ය ආයතනවලට කඩාවැදීම, විරුද්ධ මතධාරි ගිහි - පැවිදි පිරිස්වලට තර්ජනය කිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, රැස්වීම් කඩාකප්පල් කිරීම, ආගමික මධ්‍යස්ථානවලට කඩාවැදීම, පූජකයන්ට තර්ජනය කිරීම, කඩ සාප්පුවලට පහරදීම ආදියට විවිධ ආගමික කණ්ඩායම් මැදිහත් වූයේ රටේ නීතිය තුට්ටුවකට මායිම් නොකරය. මේ සෑම තැනකදීම පොලිසිය මේ පිරිස්වලට එරෙහිව කිසිදු පියවරක් ගත්තේ නැත. හම්බන්තොට 'සෙල්ලම් පිස්තෝල' සිද්ධියේදී පොලිසිය දෑත් බැඳගෙන සිටීමට හේතුව යමෙකුට අවබෝධ කරගත හැකි වුවත් ආගමික කල්ලිවල නීති විරෝධී කටයුතු හමුවේ පොලිසිය ඉවත බලා ගන්නේ මන්ද යන්න එකවර සිතා ගැනීම අපහසුය.
මේ රටේ ආගමික අන්තවාදයක් නැතැයි ඇතැමුන් පැවැසුවද බෞද්ධ හා ඉස්ලාම් මූලධර්මවාදී පිරිස් විවිධ ධජ යටතේ සංවිධානය වන බව පෙනෙන්නට තිබේ. මුස්ලිම් නොවන ඇතැම් පාසල්වල ඉගෙනුම ලබන මුස්ලිම් සිසුවියන්ට ඔවුන්ට ආවේණික ඇඳුමින් සැරැසී පාසල් පැමිණීමට ඉල්ලීම පිටුපස තිබෙන්නේද අන්තවාදය මිස අනෙකක් නොවේ. කලෙකට පෙර ප්‍රංශයේ වෙසෙන මුස්ලිම් ජාතිකයන් මෙවැනි ඉල්ලීමක් කළ අතර එරට රජය ඊට ඉඩ දුන්නේ නැත. ආගමික අන්තවාදය කුමන මුහුණුවරින් පැමිණියද ඇතිවන්නේ සංහිඳියාවක් නොව විනාශයකි. එය ලත් තැනම ලොප් කර දැමිය යුතුය. ජාතිවාදී ගිනි දැල් ඇවිළී ගියා සේ ආගමික අන්තවාදී ගිනි දැල් පැතිර යෑමට ඉඩදිය යුතු නැත. ජාතිවාදය නිසා මේ රටේ ගලාගිය රුධිර ධාරාව හොඳටම ප්රමාණවත්ය.
නීතිය උල්ලංඝනය කරන ඕනෑම අයකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුය යන්න නීතියේ ප්රමුඛ නියමයකි. ඒ නියමය මෙරට එලෙසින්ම ක්‍රියාත්මක වෙනවා නම් ආගමික කල්ලිවල වෛරී ක්‍රියා පාලනය කිරීමට අලුත් නීතිරීති ගෙන ඒම හෝ පොලිස් ඒකක පිහිටුවීම අවශ්‍ය නැත. එක් දෙයක් ගැන එක් නීතියක් මිස නීති දෙක තුනක් ක්‍රියාත්මක නොවිය යුතුය. නීතිය ඉදිරියේ සියල්ලන් එක සමානය. නීතියේ ආධිපත්‍යයක් නැත්නම් නීතියට කිසිවකු බිය වන්නේ නැත. එවැනි පසුබිමක පොලිසි කෙතරම් පිහිටුවුවද ඉන් පලක් නොවේ.
බෞද්ධාගමිකයන් බහුතරයක් ජීවත්වන මේ රටේ ආගමික සංහිඳියාව ඇති කරගැනීමට පොලිසිය මැදිහත් කර ගැනීම ලැජ්ජාවකි. මෙරට සිටින සියලු ජන කොටස් එකම සංස්කෘතියක් තුළ ගොනු කිරීමට උත්සාහ දැරීමත්, සිංහල - බෞද්ධ ආධිපත්‍යය සෙස්සන් මත පැටවීමට යෑමත් සංස්කෘතික දරිද්‍රතාවයෙන් පෙළෙන අන්තවාදීන්ගේ වැඩකි. ඒ වෙනුවට සංස්කෘතික විවිධත්වය පිළිගනිමින් අහිංසාව, කරුණාව, මුදිතාව පෙරදැරිකරගත් මානව හිතවාදීන් බවට අප පත්විය යුතුය.
මේ ආගමික ගැටුම් අවසන් කිරීමට ඒ හැර අන් මඟක් නැත.
mawbima -
No comments