Header Ads

මත්තල පිස්‌තෝල මෙහෙයුම!

හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ ඇතුළු හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ නව සංවර්ධනය දැක බලා ගැනීම සඳහා ඒ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ එජාප මන්ත්‍රී පිරිසකට මත්තල දී මැර ප්‍රහාරයක්‌ එල්ල වූ බව කියෑවෙන පුවතක්‌ ඉකුත් 18 වැනිදා දිනපතා දිවයින පත්‍රය ඡායාරූපද සහිතව වාර්තා කර තිබිණි. හම්බන්තොට නගරාධිපතිවරයාද පිස්‌තෝලයක්‌ රැගෙන එජාප මන්ත්‍රීවරුන් ගමන් කළ බස්‌රිය ලුහුබැඳ ගිය බවක්‌ද කියෑවිණි.

මේ සිද්ධියට සම්බන්ධ වූවෝ කවරහුද? ඒ සඳහා සේනා සංවිධානය කළෝ කවරහුද යන්න පිළිබඳව තවම නිශ්චිතව කිව නොහැක. ඇතැම් විටෙක මේ කියන නගරාධිපතිවරයා බියට පත්ව තම ආරක්‍ෂාව සඳහා පිස්‌තෝලයද සුරතට ගෙන ඒ කියන කලබලය අස්‌සේ දිව ගියාද විය හැකිය. සාමාන්‍යයෙන් එබඳු දේවල් මේ රටේ සුලභව සිදුවන හෙයිනි.

එදා ඡේ. ආර්. ජයවර්ධන පාලන සමයේදී නඩුකාරයන්ගේ නිවෙස්‌වලට ගල් ගසන ලද්දේත්, තවත් අවස්‌ථාවක කොටුව දුම්රියපල අබියස විරෝධතාවකට සහභාගි වූ පිරිසකට පහර දෙන ලද්දේත් සාමාන්‍ය ජනතාව හා මහපාරේ ඇවිද ගිය පිරිස්‌ බවද එකල පාලකයෝම කීහ. ඒ අතීතය දන්නා එ.ජා.ප.යට එදා තමන්ගේ නායකයන් කී කතා සිහිපත් කර මේ සිද්ධිය අමතක කර දැමීමටද හැකිය. එහෙත් මේ සිදුවීම කුමක්‌ද? එය දේශපාලන වශයෙන් ශීලාචාර ක්‍රියාවක්‌ද යන්න විමසා බැලීම වැදගත් බව අපට පෙනේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන භාවිතය පිළිබඳව දන්නා කවරෙකුට වුවද මෙබඳු දේවල් වටහා ගැනීම අසීරු නැත. ඇතැම් විටෙක මේවා සංවිධානය කරනු ලබන්නේ දේශපාලන දැක්‌මක්‌ නොමැති මුග්ධයන්ම විය හැකිය. එබඳු මුග්ධයන්ට රැකවරණය දීමටත්, වරදාන දීමටත් මේ රටේ දේශපාලනය හැමදාමත් සැදී පැහැදී සිටි බවත්, සිටින බවත් රහසක්‌ නොවේ.

බොහෝ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ නොහොබිනා දේශපාලන හැසිරීම් මෙන්ම මැර ක්‍රියාකාරකම්ද දැන් සම්මතයක්‌ බවට පත්ව තිබෙන සෙයකි. නොයෙක්‌ විෂමාචාර ක්‍රියාවලදී මෙකී ප්‍රාදේශීය දේශපාලනය දොaලනය වන අයුරු රටම දනී. කෙබඳු විවේචන සිදුවූවත් තම පක්‍ෂයෙන් ඔවුන්ට ඒ වෙනුවෙන් ඉහළ අගයක්‌, ප්‍රදානයක්‌ හිමිවන බවද ඒ ක්‍රියාවන්හි යෙදෙන මුග්ධ දේශපාලනඥයෝ ඉඳුරා දනිති.

මත්තල මෙහෙයුමේ පිස්‌තෝල කාරයා බවට මාධ්‍යවලින් ප්‍රකට වූ හම්බන්තොට පුරපතිවරයා දැනටමත් සිය නිදහසට කරුණු කියමින්ද සිටියි. ඔහු පවසන පරිදි ඔහු එතැනට ගොස්‌ ඇත්තේ එ.ජා.ප. මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවටය. එහෙත් මේ පුංචි යුදපිටියෙ සිටි කපටි ආරක්‍ෂකයකුගේ තත්ත්වයට ඔහු පත්වී නැද්ද?

ඔහු සැබැවින්ම එ.ජාප. මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව උදෙසා පෙනී සිටියේ නම් ගුවන්තොටුපලේ හා හම්බන්තොට වරාය අසල සූදානමින් සිටි මැර හමුදා විසුරුවා හැරීමට බැරි වූයේ ඇයි? ඔහු පමණක්‌ නොව පොලිසියද මේ ගැටුමේදී නරඹන්නන්ගේ තත්ත්වයට පත්වූයේ කෙසේද? ආයුධ සන්නද්ධ මැරයන් මහජන නියෝජිතයන්ට තර්ජනය කරද්දීත්, කුණු බිත්තර ගසද්දීත් පොලිසිය නපුංසක පිළිවෙතක්‌ අනුගමනය කිරීමද කැපී පෙනුණි. ඒ ගැන පොලිසියට දොස්‌ කීමට අපි සූදානම් නොවෙමු.

මේ රටේ දේශපාලන අධිකාරීන්ගේ පීඩනයට හසුව ක්‍රියා කරන පොලිසියකින් අපට බලාපොරොත්තු විය හැකි නීතිය හා යුක්‌තිය කුමක්‌ද? පොලිසියට ධර්මචක්‍රය පළඳවා මේ රට ධර්මිෂ්ඨ කිරීමට ලෑස්‌ති වූ ඡේ. ආර්. ආණ්‌ඩුවේ නායකයෝ පොලිසියට දින කීපයක්‌ නිවාඩු දෙන බවද කීහ. එලෙස ඇරඹුණු ඒ පොලිසියේ ගමන අද වන විට නරකම අදියරකට වැටී තිබේ.

පොලිසිය, ප්‍රභූ ආරක්‍ෂක සේවාවන් අද දේශපාලනය නිසා විනාශ වී තිබේ. අපට මේ පිළිබඳව ඕනෑ තරම් සාක්‌කි ඉදිරිපත් කළ හැකිය. ඡේ. ආර්. යුගයේ විවියන් ගුණවර්ධන මන්ත්‍රිවරියට පහර දුන් පොලිසිය බේරා ගත්තේ ආණ්‌ඩුවමය. ඊට පසුව දරමිටිපොල හිමියන්ට එරෙහිව උසිගැන්වූ පොලිස්‌ ලොක්‌කෙකුටත් ඡේ. ආර්. ගේ කරුණාව ලැබුණි. චන්ද්‍රිකා ජනාධිපතිනිය යටතේ සිටි ආරක්‍ෂකයන් පිරිසක්‌ රූකාන්තලාගේ කොණ්‌ඩා කැපීමට තරම් එඩිතර වූහ. (අද ඔවුන්ට ජනාධිපති සමාව ලැබී ඇත).

මේ ආණ්‌ඩුව යටතේත් පොලිසියේ භූමිකාව වෙනස්‌ වී ඇති බවක්‌ නොපෙනේ. පොලිසියේ ඒ නිවට මානසිකත්වය බිඳලීමට මේ ආණ්‌ඩුවට නොහැකිද? පොලිසිය තුළත් සිය රාජකාරිය හිතට එකඟව කිරීමට කැමැති අය සිටිති. එහෙත් ඔවුන් පසු බාන්නේ දේශපාලන බලපෑම් සමඟ ගැටීමට ගොස්‌ සිය රැකියාව අනතුරේ දමා ගැනීමට බියෙනි.

කෙසේ හෝ අද රටක්‌ ලෙස අප ගමන් කරන්නේ කෙබඳු දිශානතියකටද යන ප්‍රශ්නය මෙහිදී මතුවේ. දේශපාලනය යනු බලය පිළිබඳව මෙන්ම එම බලය කෙක්‌කෙන් බැරිනම් කොක්‌කෙන් හෝ රැක ගත යුතු යෑයි සිතන මුග්ධ මානසිකත්වයකට බොහෝ දේශපාලනඥයෝ පත්ව සිටිති.

පසුගිය දිනක මාතර ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ කුරුඳුපොලු ප්‍රහාරය අපට මතකය. ඒ එජාපයේම ඇතුළත ගින්නක ප්‍රකාශනයකි. පසුගිය පළාත් සභා ඡන්ද සටන් බිමේදීත් ආණ්‌ඩුවේම පිරිස්‌ කුළල් කා ගත් අයුරු අපට මතකය. එහෙත් මේ කිසිදු ගැටුමකදී, අර්බුදයකදී ඒවාට අදාළ වගකිව යුතු අයට එරෙහිව ගත් පියවර කුමක්‌ද?

අද හැම පක්‍ෂයක්‌ම ක්‍රියා කරන්නේ තමන්ගේ බලය වෙනුවෙන්ය. ඒ බලය ගිලිහී යැමට නොදී රැක ගැනීම වෙනුවෙන් කෙරෙන ඕනෑම නොහොබිනා ක්‍රියාවන් අනුමත කිරීමට අද පක්‍ෂවලටද සිදුවී තිබේ. පක්‍ෂවල ඉහළ නායකත්වයට වුවද පක්‍ෂය ඇතුළෙන්ම බලකරන්නේ පාක්‍ෂිකයන් රැක ගැනීමට මිස විනය හා යුක්‌තිය රැකීමට නොවේ.

මත්තල පිස්‌තෝල සටන හා කුණු බිත්තර ප්‍රහාර, මැර තර්ජන ඉතා සංවිධානාත්මක මෙහෙයුමක්‌ බවට නිසැකය. ප්‍රාදේශීය දේශපාලන නායකත්වය ඒ සඳහා ක්‍රියාත්මක වන්නේද සිය දේශපාලන වගකීමක්‌ වශයෙනි. මේ මුග්ධ හැසිරීම්වල විලාසය රූපවාහිනි නාලිකා මගින්ද ප්‍රදර්ශනය විය. මුද්‍රිත මාධ්‍ය මගින්ද දැක්‌විණි. සත්තකින්ම ඒවා දෙස බලා ආඩම්බර විය හැකි, අත්පුඩි ගැසිය හැකි මුග්ධයෝත් සිටිති. එහෙත් අපට නම් ඇතිවන්නේ ලැඡ්ජාවකි.

එබඳු ඡායාරූපවලින් කියෑවෙන දේශපාලන කතාව අපේ ජාතික සංස්‌කෘතික අනන්‍යතාවට කෙළ ගැසූ වසලයන්ගේ කතාවක්‌ ලොවට හඬගා කියයි. අද ඩෙඟා නටන දේශපාලන විකටයන්ගේ ප්‍රචණ්‌ඩත්වය ලොවටම විදහා පායි. අද අප ලබන්නේ මීට පෙර පාලකයන් විසින් වපුරන ලද බිජුවටක අස්‌වනු බව සැබෑය. එහෙත් එය අවසන් කිරීමට කාලය එළඹ තිබේ.

දේශපාලනය යනු එළිපිට සුසිරිත ගැන දෙසාබාමින් රහසේ දුසිරිත වඩන දූෂිතම ව්‍යාපාරයක්‌ බවට අද පත්ව තිබෙන්නේ ජනතාවගේ වරදකට වඩා ඒවා හසුරුවන පක්‍ෂ නායකයන්ගේ දුබලතාවන්ද නිසා යෑයි කිව යුතුය. නායකත්වයේ පෞරුෂය යටපත් වී, මුග්ධ ක්‍රියාකාරකම් මතුවීම ගැන නායකයෝද වික්‍ෂිප්තව සිටිති. එහෙත් ඒ වරද නිවැරැදි කළ යුත්තේ නායකත්වය විසින්මය.

මේ දේශපාලන ගමනට ජනතාවගේ මනාපයද හිමිවීම අද අපි දකිමු. මැරයන්ට, හොරුන්ට, තක්‌කඩියන්ට මනාපය පළකරන ජනතාව ඒ සඳහා වගකිව යුතු බවද ඇත්තය. එහෙත් මෙබඳු අවස්‌ථාවලදී රටේ බුද්ධිමත්හු නිහඬව සිටිත් නම් ජනතාවද රෑ වැටුණු වළේ දවාලට වැටීම කෙලෙස නවත්වන්නද?

බොහෝ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ නොහොබිනා ක්‍රියාකාරකම් හා මුග්ධ හැසිරීම් අද සම්මතයක්‌ බවට පත්ව තිබේ. මේ වන විට විවිධ විෂමාචාර සම්බන්ධයෙන් චෝදනාවට ලක්‌වූ ප්‍රාදේශීය දේශපාලනඥයෝ කොපමණ සිටිත්ද? නගරාධිපතිවරු, උප නගරාධිපතිවරු ද ප්‍රාදේශීය සභාපතිවරු ද ඒ අතර සිටිති. සමහරුන්ට මිනීමැරුම් චෝදනාය. තවත් සමහරුන්ට ස්‌ත්‍රී දූෂණ චෝදනාය. තවත් සමහරුන්ට අල්ලස්‌ හෝ වංචා චෝදනාය. මේවා ඉතා බරපතළ දේවල්ය.

මේ රටට එන සංචාරක ලියක්‌ සමූහ දූෂණයකට ලක්‌කරන ප්‍රාදේශීය දේශපාලනඥයන් ගැන අපට කිව හැක්‌කේ කුමක්‌ද? මේ අය රටට ලබාදෙන අවමානය කෙබඳුද? මේ අය තවමත් වැරදිකරුවන් ලෙස තීන්දු වී නැති බව ඇත්තය. එහෙත් එබඳු ජනතා නියෝජිතයන්ට එල්ල වී ඇත්තේ අතිශය බරපතල චෝදනා බව නම් අප කිව යුතුමය. අප මැනවින් දන්නා පරිදි මේ රටේ කිසිම දේශපාලන පක්‍ෂයක්‌ තම පක්‍ෂයේ ගරුනාමය කෙලෙසූ හෝ විෂමාචාරයකට වැරදිකරුවන් වූ අයට දඬුවමක්‌ ලබා දී නැත. කිසිවෙක්‌ එබඳු කරුණක්‌ නිසා පක්‍ෂයෙන් නෙරපා දමා හෝ නැත.

මේ දේශපාලන මුග්ධභාවයට සුජාත සහතික ලබාදෙමින් ඒවා නඩත්තු කිරීම අද සිදුවන නරකම ක්‍රියාව බව කවදා කෙලෙස තේරුම් ගනු ඇත්දැයි අපට කිව නොහැක. එහෙත් එහි ප්‍රතිඵලය ලෙස මතුයම් දිනක ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඔබේ දොරකඩටම එන දේශපාලන මැරයන්ට මල්මාලා දැමීමට ඔබ සූදානම්ද යන ප්‍රශ්නය ඔබේම හෘද සාක්‍ෂියෙන් ඇසිය යුතුය.

දේශපාලන ලියුම්කරු

No comments

Powered by Blogger.