Open top menu
Saturday, May 31, 2014
මහින්දට දිනන්න ලේසිද?



"ජනාධිපතිවරණයක් තිබ්බොත් මහින්ද උඩින් ගහන්නේ..."

මේ බස්නාහිර සහ දකුණු පළාත් සභාවට කලින් මිනිසුන් කී කතාවය.
"ජනාධිපතිවරණයක් තිබ්බොත් මහින්දට ලේසි නෑ...."
"දිනයි හැබැයි ලොකු ගාණකින් නොවේ..."
"සෝභිත හිමි, චන්ද්‍රිකා, ශිරාණි වගේ පොදු අපේක්ෂකයෙක් ආවොත් මහින්ද පරදියි..."
මේ මිනිසුන් දැන් කියන කතාවය.
"ඇත්තටම ජනාධිපතිවරණයක් තිබ්බොත් මහින්ද දිනයිද...?"
මේ ප්‍රශ්නයට උත්තර හොයන්න වෙන්නේ ඉලක්කම්වලින්ය.

මේ රටේ දැනට ජනාධිපතිවරණ 6ක් පවත්වා තිබේ. යූ. ඇන්. පී. ජනාධිපතිවරයකු යටතේ ජනාධිපතිවරණ තුනක් පවත්වා තිබේ. සන්ධාන ජනාධිපතිවරයකු යටතේ ජනාධිපතිවරණ තුනක් පවත්වා තිබේ. මේ රටේ පළමු ජනාධිපතිවරණය පැවැතියේ 1982දීය. ඒ ජේ. ආර්. ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති අපේක්ෂක ලෙස තරග කරමින්ය. ජේ. ආර්. 1978 ජනාධිපති වුයේ ජනාධිපතිවරණයකට තරග කරමින් නොවේ. ඒ වෙලාවේ ජේ. ආර්. ජනාධිපති ධුරයට පත් වුණේ 1977 මහ මැතිවරණ ප්‍රතිඵලයෙන්ය. 1977 මහ මැතිවරණයෙන් ජේ. ආර්. ගේ නායකත්වයෙන් එජාපය 50.92%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. 1982 ජනාධිපතිවරණයෙන් එය 52.91%ක් දක්වා වැඩිකර ගත්තේය. ඒත් 1988 ජනාධිපතිවරණයට ව්‍යවස්ථාව වෙනස් කොට ජේ. ආර්. තරග කළොත් පරදියි යැයි පක්ෂය තීන්දු කළේය. ඒ අනුව අලුත් අපේක්ෂකයකු ලෙස ප්‍රේමදාස ඉදිරිපත් කළේය. ඒත් ප්‍රේමදාස ගත්තේ 50.43%කි. ඒ කියන්නේ

ජේ. ආර්. 82දී ගත්තාට වඩා ඡන්ද ප්‍රතිශතය අඩුය. ජ.වි.පෙ. ඡන්ද වර්ජනය එයට හේතු වූවා යැයි කිව හැකි වුවත් බලයේ සිටින ආණ්ඩුවල ජනාධිපති අපේක්ෂකයන්ගේ ඡන්ද සංඛ්‍යාව අඩු වීමේ රැල්ලක් එයින් පෙනේ. ජේ. ආර්. 1977ට වඩා 82 ඡන්ද වැඩිකර ගත්තේ අසාමාන්‍ය තත්ත්වයක් යටතේය. 1982 ජේ. ආර්. ගේ ප්‍රතිවිරුද්ධ අපේක්ෂිකාව වූ බණ්ඩාරනායක මැතිනියට තරග කරන්න නොහැකි විය. ශ්‍රී ල.නි.ප. යෙන් ඉදිරිපත් කළේ දුර්වල අපේක්ෂකයෙකි.
1994 ජනාධිපතිවරණයට තරග කරන්න ජනාධිපති විජේතුංග බය විය. දැම්මේ ගාමිණීවය. ගාමිණී ඝාතනය වී ශ්‍රී මා දිසානායක අපේක්ෂිකාව වූවාය. පොදු පෙරමුණෙත් තරග කළ අපේක්ෂිකාව චන්ද්‍රිකා ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා කළාය. ඇය 62.28%ක ඡන්ද ප්‍රතිශතයක් ගත්තාය. ඒත් 1999 ජනාධිපතිවරණයේදී ඇය 94 ගත් ඡන්ද ප්‍රතිශතය 51.12%ක් දක්වා අඩුකර ගත්තාය. ඇය එසේ ඡන්ද අඩුකර ගත්තේ එල්. ටී. ටී. ඊ. බෝම්බ ප්‍රහාරයකින් දිවි ගලවාගෙන ඇසක් අහිමි කරගෙන ජනතා අනුකම්පාව දිනාගෙන සිටින වේලාවකය. එවැනි අසාමාන්‍ය අවස්ථාවක ඡන්ද අඩු වෙන්න හේතුව බලයේ සිටින පක්ෂයේ අපේක්ෂකයාගේ ඡන්ද අඩු වීමේ රැල්ලය. 2005 චන්ද්‍රිකාට ව්‍යවස්ථා බාධාව නිසා තරග කරන්න බැරි විය. 2005ට මහින්දව අලුත් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කළේය. ඔහු 50.29%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. එය 1999 චන්ද්‍රිකා ගත්තාට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකි. එයිනුත් පෙනෙන්නේ බලයේ සිටින ආණ්ඩුවේ අපේක්ෂකයන්ට ඡන්ද අඩුවෙන රැල්ලය.

මහින්ද යළි 2010 ජනාධිපතිවරණයට තරග කරන්නේ අසාමාන්‍ය අවස්ථාවකය. වසර ගණනාවක් තිබූ යුද්ධය අවසන්කොට ඔහු ජනතා ආකර්ෂණය දිනාගෙන ජනාධිපතිවරණයට ආවේය. යුද්ධය දිනා ගත නොහැකිව ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම් පරදින්න වුවද ඉඩ තිබිණි. 77දී ජේ. ආර්. 82 ප්‍රතිවිරුද්ධ අපේක්ෂිකාවට තරග කළ නොහැකි අසාමාන්‍ය අවස්ථාවක ඡන්දය තියා ඡන්ද ප්‍රතිශතය වැඩිකර ගත්තා සේ මහින්ද යුද්ධය දිනපු අසාමාන්‍ය අවස්ථාවක ඡන්දය තියා ඡන්ද ප්‍රතිශතය 57.88% දක්වා වැඩි කර ගත්තේය.
අද ඇත්තේ එවැනි අසාමාන්‍ය අවස්ථාවක් නොව සාමාන්‍ය අවස්ථාවකි. මහින්ද 2010 ගත් ඡන්ද ප්‍රතිශතය මෙවර මහින්දට ලැබෙන්නේ නැත. එයට හොඳම නිදසුන පහුගිය බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද ප්‍රතිඵලයය. ආණ්ඩුව 2009 බස්නාහිරින් සහ දකුණින් ගත් ඡන්ද සංඛ්‍යාවට වඩා ඡන්ද ලක්ෂ තුනහමාරක් පමණ අඩු විය. සාමාන්‍යයෙන් පළාත් සභා ඡන්දවලදී ආණ්ඩුවට ඡන්ද වැඩි වේ. 2004 පළාත් සභා ඡන්දයේදී චන්ද්‍රිකාගේ සන්ධාන ආණ්ඩුව මහින්ද, අගමැති ලෙස සිටියදී 57.68%ක ඡන්ද ප්‍රතිශතයක් ගන්න සමත් විය. ඒත් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද ගත්තේ 50.29%කි. එ.ජා.ප.ය 2004 පළාත් සභා ඡන්දයේදී ගත්තේ 37.68%කි.
එ.ජා.ප.ය 2005 ජනාධිපතිවරණයේදී එය 48.43% දක්වා වැඩිකර ගන්න සමත් විය. සාමාන්‍යයෙන් පළාත් සභා ප්‍රාදේශීය සභා ඡන්දවලදී ආණ්ඩු වෙනස් කරන්න බැරි නිසා ආණ්ඩු විරෝධී ඡන්දදායකයන් ඡන්ද පොළට නොයයි. එහෙත් ජාතික මැතිවරණවලදී උදෙන්ම යති. මේ නිසා ජාතික මැතිවරණවලදී විපක්ෂයේ අපේක්ෂකයා ගන්නා ඡන්ද සංඛ්‍යාව වැඩි වේ.

කොහොමත් මෙවර බස්නාහිර සහ දකුණු ඡන්ද ප්‍රතිඵලය දිහා බලන විට ආණ්ඩුව ගත්තේ 2,063,083කි. එ.ජා.ප.ය, ජ.වි.පෙ., ෆොන්සේකාගේ පක්ෂය මනෝ ගනේෂන්ගේ පක්ෂය යන විපක්ෂයේ සියලු පක්ෂවල ඡන්ද එකතු කළ විට 1,585,652කි. මෙයට පළාත් සභාවලට වෙනම තරග කළ ආණ්ඩුවෙන් ඉවත් වෙන බවට තර්ජනය කරන මුස්ලිම් කොංග්‍රසය ඡන්දද එකතු කළ විට 1,636,586කි. ඒ කියන්නේ ආණ්ඩුවට වඩා අඩු ඡන්ද 426,497කි. පසුගිය ජනාධිපතිවරණයේදී ආණ්ඩුවත් විපක්ෂයත් අතර රටේම ලබාගත් ඡන්ද සංඛ්‍යාවේ වෙනස 1,842,749කි. උෟව හැර පසුගිය 2013 - 2014 පළාත් සභා ඡන්ද ප්‍රතිඵල සියල්ල එකතු කළ විට ආණ්ඩුව 4,594,666ක් ලබාගෙන තිබේ. විපක්ෂයේ ඡන්ද ලෙස එ.ජා.ප., ජ.වි.පෙ., ෆොන්සේකාගේ පක්ෂය, දමිළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය වගේම තොණ්ඩමාන්ගේ පක්ෂයත් විපක්ෂයට එක්වේ යැයි අනුමාන කොට ගතහොත් ඡන්ද සංඛ්‍යාව 3,754,538කි. වෙනස 840,128ක්. ඒ කියන්නේ උෟව පළාත හැරුණු විට ආණ්ඩුවට වාසිදායක විපක්ෂයට අවාසිදායක පළාත් සභා ඡන්දයෙන් 2010 ආණ්ඩුවත් විපක්ෂයත් අතර තිබුණ 1,842,749ක වැඩි ඡන්ද සංඛ්‍යාව මහ පරිමාණයෙන් අඩුකර ගෙන තිබේ. උෟවෙන් ආණ්ඩුව දිනන ඡන්ද එකතු කළත් පරතරය විශාල ප්‍රමාණයෙන් අඩු වී තිබේ. ආණ්ඩු විරෝධී ඡන්දදායකයන් ඡන්දපොළට යන ජනාධිපතිවරණයකදී මේ ඡන්ද පරතරය ජය ගැනීම විපක්ෂයට එතරම් අමාරු නැත. 2004 පළාත් සභාවලදී 2,197,892ක් ගත් එ.ජා.ප.ය 2005 ජනාධිපතිවරණයේදී එය 4,706,366කට වැඩි කර ගත්තේය. ඒ කියන්නේ ලක්ෂ 2,508,474ක වැඩි වීමකි. 2004 පළාත් සභා ඡන්දයෙන් චන්ද්‍රිකාගේ ආණ්ඩුවත් එජාපයත් අතර තිබූ ඡන්ද පරතරය 1,166,347කි. 2005 ජනාධිපතිවරණයේදී එය 180,786කට අඩු විය. එම නිසා 2013 - 2014 පළාත් සභා ඡන්ද ප්‍රතිඵලයේ ආණ්ඩුව ගත් වැඩි ඡන්ද ජනාධිපතිවරණයකදී අඩුකර ගැනීම අමාරු නැත.

අනෙක ආණ්ඩුවේ මතය රටට ගෙන ගිය හෙළ උරුමය සහ විමල් වීරවංශගේ පක්ෂය ආණ්ඩුව තුළ කැරැලි ගහන්න පටන් ගත්තේ බස්නාහිර - දකුණු ඡන්දයෙන් පසුවය. ශ්‍රී ල.නි.ප. මැති ඇමැතිවරුන් එළිපිට ආණ්ඩුව විවේචනය කරන්නේ දැන්ය. මෙයින් තව තවත් ආණ්ඩුවේ ඡන්ද අඩු වෙනවා මිස වැඩි වන්නේ නැත.
විපක්ෂයට අවශ්‍ය අද දේශපාලනයේ නැති ජනතා ආකර්ෂණය දිනා ගත හැකි අලුත්ම අලුත් "බ්‍රෑන්ඩ් නිව්" පොදු අපේක්ෂකයකු සහ විපක්ෂයේ සියලුම පක්ෂවලට එකඟවිය හැකි වැඩපිළිවෙළකි. විපක්ෂය එහෙම එනවා නම් මහින්ද පරාජය කිරීම අමාරු නැත. මේ අවුරුදු 20ක් පරණ ආණ්ඩුවකි. මහින්ද අවුරුදු 9ක් පරණ ජනාධිපතිවරයෙකි. ඉන්දියාවේ මෝඩි වගේ වෙනසකට ලංකාවේ දේශපාලන පස හොඳට පෝෂණය වී තිබෙන වේලාවකි මේ.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු
Read more
පොඩි අපේක්ෂකයෝ

“කවුද පොදු අපේක්ෂකයා?”
දැන් හැමෝම කතා කරන්නේ පොදු අපේක්ෂකයා ගැනය. මොකද පොදු අපේක්ෂකයකු නැතිව මහින්දව පරද්දන එක ලේසි නැති බව දැන් හැමෝටම අවබෝධ වෙලා තිබේ. මේ නිසා 2015 ජනවාරි මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්න ඕන කියලා විපක්ෂයේ බොහෝ දෙනා කතා කරනවා මේ දවස්වල අහන්න දකින්න තිබේ.

ඒ වාගේම විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙන්න බොහෝ දෙනා
Read more
Friday, May 30, 2014
හැමෝම අන්දොස් ඇයි?

වසර 2005

මහින්ද රාජපක්ෂ 2005 දී තමා වටා බලවේග එක්රැස් වන විට එක දෙයක් හොදින් දැන සිටියේය. පාරිභෝගික ලෝකය ආගමක් වූ ලෝකයක මිනිසුන් ගේ DNA අණුව වන්නේ පක්ෂය,ප්‍රතිපත්තිය,ජාතිය,ආගම නොව “ආශාව” බවයි. එබැවින් මහින්ද රාජපක්ෂට අනුව විමල්ලාට,චම්පිකලාට,ඩලස්ලාට සහ
Read more
ජාතිවාදය හා ආගම්වාදය මත නඩත්තු නොවන දර්ශනයක්

 කේ. ඩබ්ලිව්. ජනරංජන -
ලංකාවේ පැවැත්වෙන 16 වැනි ලෝක තරුණ සමුළුවට සහභාගි වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ රටවල් 158කින් මෙහි පැමිණි තරුණ නියෝජිතයන්ට කීවේ රට හා ජාතිය පෙරමුණෙහි තබාගෙන කටයුතු කරන ලෙසය. මෙම කාරණයේදී ලංකාව ඉදිරියෙන් යැයි සිතෙන්නේ ඕනෑම කටයුත්තකදී රටත් ජාතියත් යන දෙකෙන් නොනැවතී ආගමත් කරළියට ගැනීම නිසාය. ලංකාවේ දෙමළ ප‍්‍රජාව සම්බන්ධ ප‍්‍රශ්නයේදී අපි ජාතිවාදී වෙමු. මුස්ලිම් ප‍්‍රජාව සම්බන්ධයෙන් නම් ආගම්වාදී වෙමු. ඉදින් වෙනත් ජන අනන්‍යතාවක් සහිත අනෙකා සතුරෙක්ය යන හැ`ගීම රටෙහි පරිහානියේ කේන්ද්‍රයේ බව ඔප්පු වී හමාරය.

ශී‍්‍ර ලංකාව බහු සංස්කෘතික රටක් වුවත් මේ වනවිට එය අන්තවාදීන්ගේ බහුත්වවාදී රාජ්‍යයක් දක්වා ගමන් කර තිබේ. සංස්කෘතික බහුත්වවාදයක් වෙනුවට රටක අන්තවාදී බහුත්වවාදයක් ජනිත වීම අතිශයින්ම බරපතළ ප‍්‍රතිඵල අත්කර දෙන්නකි. ලංකාවේ බිහිවී තිබෙන ජාතිවාදී පක්ෂ මෙන්ම ආගමික කණ්ඩායම්වල ප‍්‍රාථමික දේශපාලන චලනයන් අතවනන්නේ ජාතීන් අතර සංහිඳියාවට නොව මනා අදේශපාලනික ඛේදවාචකයකටය. මේ තත්ත්වය සමනය කරන්නට හැකි බලවේගයක් බිහිවන ආකාරයක් දක්නට නොලැබෙන අතර දේශපාලනබලය දරන රාජ්‍ය මතවාදය විසින්ද පෝෂණය කරමින් සිටින්නේ ලාංකීය සමාජයේ අන්තවාදී සංරචකයයි. ඒවාට විවිධ ප‍්‍රමාණවලින් වරදාන ලැබෙන අතර අන්තවාදී ආගමික සංවිධාන හා නියෝජිතයෝ ප‍්‍රධාන දේශපාලන ධාරාවේ අතකොළු ලෙස කි‍්‍රයාකරති. එය සංවිධානවල දේශපාලන මෙහෙවර ආණ්ඩුවට ජාතිවාදය ප‍්‍රතිනිෂ්පාදනය කර දීමය.

අන්තවාදී බහුත්ව ලක්ෂ්‍යය ප‍්‍රකට වූ ආසන්න නිදර්ශනය වන්නේ බොදුබල සේනා සංවිධානය ආගමික කටයුතු සඳහා පත්කැරුණු පොලීසියට සිය එක`ගතාව පළ කරන විට රාවණා බලය සංවිධානය ඊට එරෙහිවීමය. මෙම බෙදීම් දෙකම අර්ථ විරහිත හා හාස්‍යජනක වන අතර මෙවැනි ආන්තික බෙදීම් වර්තමානය වනවිට උපයෝගී වන්නේ ප‍්‍රධාන දේශපාලන ධාරාවේ පැවැත්ම සඳහාය. මෙම ආගමික කණ්ඩායම් දෙකෙහිම ගිහි පැවිදි නියෝජිතයෝ ආණ්ඩුව සමග මතවාදීමය ලෙස සමීපව සිටිති. ලංකාවේ ජාතිවාදී දේශපාලන පක්ෂවල ස්වරූපයත් එයමය. ව්‍යාජ අනන්‍යතාවක් ප‍්‍රකට කිරීමට කි‍්‍රයාකළත් ඔවුන’තර අනන්‍යතා නැත. මන්දයත් ව්‍යාජ බහුත්ව ලක්ෂණයක් පෙන්නුම් කිරීමට තැත්කළත් ජාතිවාදයට එම ලක්ෂයෙන්ම මිස වෙනම අනන්‍යතාවක් තිබිය නොහැකි බැවිනි.

වගකීම් සහගත ආණ්ඩුවක් මැදිහත් විය යුත්තේ අන්තවාදී කොටස්වලට අනුබල දීම නොව මෙම කල්ලි කණ්ඩායම්වල නිශ්ඵල හා ශිෂ්ඨාචාර විරෝධී ප‍්‍රවේශයන් අතකොළුවක් කර නොගෙන බුද්ධිමත්ව එම අවුල් නිරවුල් කිරීමට පියවර ගැනීමය. එනම් අන්තවාදීන් සමග තදබල ආගමික සමාජයකට හෝ තදබල ලෞකිකවාදී සමාජයකට නොයා ඒ අතරමැදි සමාජ සදාචාරයක් වෙත ශී‍්‍ර ලංකාව රැුගෙන යාමය. ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් නිපන් අර්බුදය ගැන හැ`ගීමක් ඇත්නම් රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට ඉන් නිදහස් වීමේ පළමු පියවර මෙසේ තැබිය හැකිය. එනම් ලෝක තරුණ ප‍්‍රජාවට ජාතික වගකීම උගන්වන අතරම ජාතිය හා ආගම තම ප‍්‍රධාන දේශපාලන ධාරාවෙන් මෑත්කර ඒවාට නිදහස් වන්නට ඉඩහැරීමය. එමෙන්ම ආගම්වාදය හා ජාතිවාදය මත නඩත්තු නොවන දේශපාලන දර්ශනයක් ගොඩන`ගාගැනීමය.
Read more
රූපාන්තරණය The Metamorphosis – ෆ්‍රාන්ස් කෆ්කා

ෆ්‍රාන්ක් කෆ්කා ගේ Metamorphosis නමැති කෙටි නවකතාව කේ.ජී. කරුණාතිලක 1997 දී රූප විපර්යාසය යනුවෙන් මුල්වරට සිංහලට පරිවර්තනය කළේය. ටෙනිසන් පෙ‍රේරා රූපාන්තරණය ලෙස එය දෙවන වරටත් සිංහලයට පෙරළයි. එමතුදු නොව කෆ්කා දැන් සිංහල සිනමාවට ද නැගී ඇත. එරික් ඉලයප්ආරච්චි තිර පිටපත ලියා ධර්මසේන පතිරාජගේ අලුත්ම සිනමා නිර්මාණය ලෙස එළි දකින ස්වරූප චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගිය දිනෙක ජර්මන් ගතේ මධ්‍යස්ථානයේදී එළි දැක්විනි. සමාවන්න, පොතක් පිළිබඳ ලියැවෙන සාහිත්‍ය විචාර තීරු ලිපියක සිනමා පටයක් ගැන ලියන බවක් කීවේ කව්ද?

කෆ්කා ගේ මෙම කෙටි නවකතාව ආරම්භ වන්නේ එහි එන ග්‍රෙහරි සම්සා නමැති චරිතය එක්තරා උදෑසනක අවදිවන විට නිදි ඇඳ මතම කිසියම් රූපාන්තරණයකට ලක්ව සිටින බව දැන ගනිමිනි. කේ.ජී. කරුණාතිලක එක්වරක් පරිවර්තනය කර තිබූ මෙම කතාව දෙවන වරටත් සිංහලයට නගන්නට ටෙනිසන් පෙරේරාට සිත් දෙන්නේ හම්සා කවර සතකු බවට පත් වූයේද යන ගැටලුවයි. කරුණාතිලක හම්සාගේ රූපාන්තරණය කැරපොත්තකු ලෙස දැකීම නිවැරැදි නොවන බව පැවසීමට ටෙනිසන් සරණ යන්නේ ඔහු භාවිතා කළ ඉංග්‍රිසි පරිවර්තනයේ එම සත්වයා a Monstrous Vermin යනුවෙන් දක්වා තිබීමය. මේ නිසා ටෙනිසන්ට අනුව හම්සා අපරූපී සතෙකු බවට රූපාන්තරණය වී ඇත!

එහෙත් 2002 දී මෙය ඉංග්‍රිසියට නගන රිචඩ් ස්ටෝක්ස් (Richard Stokes) සාම්සා මුහුණ දෙන එම බියකරු අත්දැකීම ඉංග්‍රිසියට නගා තිබුණේ පහත සඳහන් පරිදි ය.

“When Gregor Samsa woke one morning from uneasy dreams he found himself transformed in his bed into a monstrous insect.” (අවධාරණය මවිසිනි.)

මෙහි insect යනු කෘමියෙකි. ටෙනිසන්ට ලැබුණ ඉංග්‍රිසි පරිවර්තනයේ vermin යනු පණුවකු විය හැක. ප්‍රශ්නය නම් සම්සා රූපාන්තරණය වූයේ කෘමියකු, පණුවකු හෝ කැරපොත්තකු ආදී කොට ගත් කවර වූ සත්වයකු ලෙසට ද යන්න නොවේ. ග්‍රෙගරි සම්සා ට උදෑසන තමාගේ රැකියාව ඇතුළු එදිනෙදා කටයුතුවලට පිටත්ව යා නොහැකි ලෙස බාධාවක් නිර්මාණය වී තිබුණ බව මෙහි වැදගත් කරුණයි. කෆ්කා මින් නිරූපණය කළේ නූතනවාදී යුගයේ මිනිසාගේ පැවැත්මේ ගැටලුවයි. බාධාව වූ කලී ඔහුගේ ම නිර්මාණයකි.

මිලාන් කුන්දේරා පරසක්වල ගසන කරුණක් නම් කෆ්කා ගේ නවකතා සහ කෙටිකතාවල එන චරිත හුදෙකලාව අගය කළ බවයි. බොහෝ දෙනෙකු සිතුවේ කෆ්කා ලියුවේ හුදකලාවේ සාපය ගැන බවය. එහෙත් ඇත්තටම නම් කෆ්කා ග්‍රස්තිමය ලෙස (obsessional) පීඩාවට පත් කළ එකම කරුණ හුදකලාව හිංසාවට ලක්ව තිබීමය. අන්තිමේදී මිලාන් කුන්දේරා ඉතා අසාධාරණ ලෙස කෆ්කා අදේශපාලනික චරිතයක් ලෙස හංවඩු ගසන්නේ ද මිනිස් පැවැත්ම විස්තර කිරීමේදී අනු දත් මෙම කෆ්කානු ශෛලිය වරදවා කියවීමෙනි.

සැබවින් ම කෆ්කාගේ (අ) දේශපාලනය ස්ථානගත වන්නේ නූතනවාදය (Modernism) තුළය; ඔහු ගේ නවකතාවල වීරයින් බොහෝ විට බුද්ධිමතාගේ ප්‍රක්ෂේපණයක් විය. එහෙත් Metamorphosis හි (රූපාන්තරණය) එන ග්‍රෙගරි සම්සා ඊට වෙනස් චරිතයකි. උදෑසන අවදිවන විට කුරුමිණියකු පණුවකු කැරපොත්තකු හෝ වෙන මොන විදියේ අපරූපී සතකු බවට පත්ව සිටි සම්සාට වැදගත් වූයේ එකම දෙයක් පමණකි. එනම් මේ අලුත් ස්වභාවයෙන් කාර්යාලයට යන්නේ කෙසේ ද? යන්නය. සම්සා යනු තම වෘත්තිය විසින් පුරුදු පුහුණු කරනු ලැබූ කීකරුකම සහ විනය හිස් මුදුනින් ගත් සේවකයෙකි.

නූතනවාදී කාර්යාල සේවකයා එකම මිනිස් වික්‍රමය (adventure) ‍ලෙස ගන්නේ කාර්යාලයෙන් කාර්යාලයට මාරුවී යාම පමණකි. ඔහුගේ කාර්යාල ජීවිතය ඒකාකාරිය. මාරුවීමක් නොලැබෙන කාර්යාල කාර්ය සහයකයකු ගේ මැසිවිල්ලක් හෙන්රි ජයසේනගේ ජනේලය නාට්‍යයේ මෙසේ කියවේ.

“මේක තමයි කන්තෝරුව
මහ රැජිනගෙ කන්තෝරුව
මෙතැන තමයි කයිවාරුව
මට විතරක් නැති මාරුව”

ඉන් පෙන්නුම් කරන්නේ කාර්යාල ජීවිතයේ එකම වික්‍රමය වන්නේ ස්ථාන මාරුවීම් බවයි. කීකරුකම, යාන්ත්‍රික සේ ම වියුක්ත වූ මෙම ලෝකය තුළ නවකතාවක් ස්ථාන ගත කිරීම බැලූ බැල්මට වීර කාව්‍යයේ (epie) හරහට එරෙහිව යන්නකි. එබඳු මළානික ප්‍රතිකාව්‍යාත්මක දේවල් සිත් බඳින නවකතා බවට පත් කිරීමට කෆ්කාට හැකි වුණේ කෙසේ ද?

කෆ්කා ලියන්නේ නූතනවාදී කාර්යාල ජීවිතය ගැනය. රාජකාරියටම බැඳුන සම්සා ඒකාකාරි වූ රැකියාවට යාම ප්‍රතික්ෂේප කිරීම සඳහා බාධාවක් තමාම නිර්මාණය කරයි. හෙන්රි ගේ කාර්යාල කාර්ය සහයකයා මෙන් ඉරණම ඒ ආකාරයෙන් බාර ගැනීමට ඔහු සූදානම් නැත. කෙසේ වෙතත් ඔහු ගැටෙන්නේ නූතනවාදී සමාජය තුළ පැවති විනය ගත දෛනික පැවැත්ම සමඟය.

එහෙත් පසු – ධනවාදී සංස්කෘතික සන්දර්භය තුළ කාර්යාල සේවකයා වෙත එම විනය ගත බව දක්නට නැත. පශ්චාත් – නූතන කාර්යාල ‍සේවකයා තම රාජකාරිය දේව කාරියක් කර ගත්තෙක් නොවේ. හැකි නම් ඔහු කාර්යාලයක් කිසිවකුට විකුණා ගනු ඇත. ෆ්‍රාන්කා කෆ්කා යනු නූතනවාදී සමාජ දැක්මේ දරුවකු ලෙස අප හඳුනා ගත්තේ එපරිදිය. කෆ්කානු ලෝකය තුළ කාර්යාලය යනු අරුමැසි විෂය ප්‍රදේශයකි.

අපට පෙනී යන පරිදි මිලාන් කුන්දේරා කෆ්කානු යන්න ගන්නේ නිලධාරිවාදයේ නිර්දය විවේචනයක් ලෙසය. එය කුන්දේරාගේ පුද්ගලික අමිහිරි අත්දැකීම් සමඟ සමපාවත වන අතර ඔහුගේ අතිශය පුද්ගලවාදය තුළ කෆ්කා කොටු කරයි. කෆ්කානු යන්නෙහි අරුත නම් සමාජ යථාර්ථය ෆැන්ටසිමය ස්වරූපයෙන් ක්‍රියාත්මක වීම පෙන්වා සිටීමත් ලෙස දැකීමට කුන්දේරා අසමත් වේ.

කෙසේ වෙතත් කෆ්කානු බව යන්න පුද්ගලික හෝ පොදු විෂය පථ එකකට සීමා වී නැති බව පිළිගැනීමට අන්තිමේදි කුන්දේරාට සිදුවේ. පොදු (Public) වනාහී පුද්ගලික (Private) බවෙහි කැඩපත වන විට පුද්ගලික බව තුළම පොදු බව ප්‍රතිබිම්බනය වේ. එබැවින් කෆ්කා අදේශපාලනික යයි පවසන කුන්දේරියානු මතය අසරණය. කෆ්කාගේ Metamorphosis (රූපාන්තරණය) යනු ග්‍රෙගරි සම්සා ගේ ආත්මීය ප්‍රකාශනයක් පමණක් නොවේය. එම අර්ථයෙන් එය වූ කලී නූතනවාදී සමාජය පිළිබඳ අතිශය දේශපාලනික කියවීමක් බවට පත්වේ.

(ටෙනිසන් පෙරේරා ගේ පරිවර්තනයට කෆ්කා පිළිබඳ මා ලියූ පෙරවදන ඇසුරු කොට ගැනිනි. මෙය එහි සම්පූර්ණ පෙළ නොවන බව සලකන්න.)

සමන් වික්‍රමාරච්චි
Read more
Thursday, May 29, 2014
ලෙනින් සහ අපි

ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ වමේ ව්‍යාපාරය නියෝජනය කළ ප්‍රධාන ධාරාවේ පක්ෂයක්. මේ පක්ෂයේ විශේෂත්වය වන්නේ මෙහි නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා මේ පක්ෂය නිර්මාණය කරන්නේම දෙමුහුන් ආකාරයකට වීම නිසයි. මාක්ස්-ලෙනින්වාදී සිංහල බෞද්ධ පක්ෂයක් හදන එක තමයි විජේවීර සහෝදරයගේ අරමුණ වුණේ කියලා අපිට හිතන්න පුලුවන්. එහෙම නැත්තම් රුසියානු මොඩලයේ ලාංකේය විප්ලවාදී ව්‍යාපාරයක් හදන්න තමයි එයා මහන්සි ගත්තේ. ඔහුගේ විප්ලවාදී අරමුණ අපිට කිසිසේත්ම අවතක්සේරු කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉදන් බාහු,වාසු, සිංරිතුංග ගේ සිට ජන අරගල ව්‍යපාරය දක්වා හැමෝගෙම අපේක්ෂාව වුනේ සමාජවාදී සමාජයක්. ඒ කාලේ ප්‍රගති ප්‍රකාශන මන්දිරයෙන් තොග ගනන් විප්ලවාදී පොත් මුද්‍රණය කරලා ලංකාවට ලබා දුන්නා. ඒනිසා විප්ලවීය දේශපාලන න්‍යායන් සම්බන්ධයෙන් සමාජයේ පොදු කතිකාවක් ඇති වුනා. මේ සියලු කාරණා අතරින් ලංකේය වමේ ව්‍යාපාරය ඉදිරියට ගමන් කලා. නමුත් 90 දශකයේ මුල භාගයේ පටන් x කණ්ඩායම විසින් ලංකාවට නව චින්තන විධික්‍රමයක් හදුන්වලා දුන්නා. පශ්චාත්-නූතනවාදය කියන කාරණාව එක්ක පසු කාලින විශ්ව විද්‍යාලයීය බුද්ධිමතුන් ගැටෙන්නට පටන් ගත්තා. වමේ ව්‍යපාරය තක්කඩි ආකාරයට X  මතවාදය මගහැර යන්නට සමත් වුණා. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ X දේශපාලනය දෙස බැලවේ අවඥාවෙන්. කොටින්ම ඔවුන්ට මේ දේශපාලනය නොගිනිය හැකි තරම් දෙයක් වුණා. නමුත් අවසානයේ ජ.වි.පෙන් බෙදී වෙන්ව ගිය ජන අරගල ව්‍යාපරයට අපේ පක්ෂයේ නම නොගෙන තව දුරටත් දේශපාලනය කරන්නට නොහැකි තත්ත්වයක් උදාවුනා. ඒ කියන්නේ සවිඥාණිකව නැතත් අවිඥාණිකව මේ අය අපේ දේශපාලනය සමග බද්ද වෙලා ඉවරයි. අද වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළ ඇතිව තිබෙන අර්බුදය නිදහස ඉල්ලා කෑ මොර දෙන සජිත්වාදී පිල් බෙදීමක් බවට ඌණනය වී තිබෙනවා. ජ.වි.පෙන් වෙන්ව වසර දෙකක් යන විට යළි බෙදී වෙන්ව මග නොදැන යන අනුගාමිකයන් රැසක් නිර්මාණය කරන්නට මේ අයට පුලුවන් වුණේ කොහොමද? වසර 2004 දී X කණ්ඩායම දෙකඩ වුණු මොහොතේ මේ ආකාරයෙන්ම නිදහස ඉල්ලා එළියට ගිය පිරිස ගෙනා ප්‍රධාන චෝදනා වලට සමාන චෝදනා මේ වන විටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළ අර්බුදයට මුහුණ දී සිටින අයගෙන් අසන්නට ලැබෙනවා. මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය තුළ විධිමත් නායකත්වයක් යටතේ පක්ෂයේ විනය ආරක්ෂා කරන සහ ඊට ගරු කරන කේඩරයන් පිරිසක් නිර්මාණය කිරීම තමයි විප්ලවාදී පක්ෂයක මූලික ඉලක්කය විය යුතුතේ. පෞද්ගලික අනන්‍යතාවය වෙනුවට සාමූහික අනන්‍යතාවය පක්ෂය ප්‍රමුඛ කොට ලබා ගන්නට කැමති පිරිසකට විතරයි විප්ලවාදී දේශපාලන පක්ෂයක සමාජිකයන් වන්නට පුලුවන් වන්නේ. හේගල් කියන ආකාරයට සාමුහික ආත්මය පිළිබද අර්ථකථනය කියන්නේ මේකටයි. කොටින්ම තමන් ජීවිත කාලයක් පුරා ආඩම්බරයෙන් ආරක්ෂාකර ගත් අතිශයින්ම පෞද්ගලික යැයි තමන් සිතන මහා වැදගත්කමක් ඇතැයි තමන්ම උදම් අනන ආත්ම අභිමානය වැනි දේ පක්ෂයේ පොදු අරමුණ වෙනුවෙන් පවා දෙන්න පුලුවන් අයට විතරයි සැබෑ විප්ලවාදී ව්‍යපාරයක් වෙනුවෙන් සිය ජීවිතය සහ ආත්මය යෙදවිය හැකි වන්නේ.

දිගින් දිගටම ලංකාවේ වමේ ව්‍යාපාරය අසමත්භාවයට පත් වන්නේ මේ බහුතරයකට න්‍යාය සහ භාවිතය අතර තිබෙන අන්නෝන්‍ය සහ සම්බන්ධතාවය සංජානනය කරන්න බැරි නිසයි. මෙයට උදාහරණයක් ලෙස අපට ජ.වි.පෙ අමත්‍යාංශ තුනක් කළ වකවානුව සළකන්න පුලුවන්. ඒ මුලු කාලය පුරා ඔවුන් කලේ වැව් හාරපු එක, නිල් සිනමා පට තහනම් කරපු එක, වගේ දේවල් විතරයි. අඩුම තරමේ ඒ අයට බලය අරගෙන කරන්නට බැරි වුන ගොඩක් දේවල් මේ වන විටත් ගොඨාභය රාජපක්ෂ කරලා ඉවරයි. ඒ නිසා ලංකාවේ වමේ කියන ඕනම පක්ෂයක් බලයට පත් වුනත් කරන්නට තියෙන උපරිම ප්‍රතිසංස්කරණවාදී වැඩ වලින් කොටසක් තමයි මේ වන විටත් කොළඹ නගරය සහ අවට ප්‍රෙද්ශ වල සිදු වෙමින් තියෙන්නේ.

මිනිස්සු හතලිස් දහසක් මරපු රටක අපි ඒ ගැන කියපුවහම අයියෝ තාමත් ඔය ගැන කතා කරන්න පිස්සුද කියලා අහන මිනිස්සු ඉන්න එක තමයි ලොකුම ගැටලුව. මිනිස්සු දහස් ගනණක් මරා දමපු රටක හරක්ගේ ජීවිත බේරගන්න යතිවරුන් ගිණි තියා ගන්නවා. එහෙම බැලුවහම ඒ වගේ උදවිය මානසික රෝගීන් යැයි සිතා අනුකම්පා කරනවා හැර අපිට කරන්න දෙයක් නෑ. වියට්නාමයේ සයිගොන් නුවර භික්ෂුවක් ගිණි තියා ගැනීම නිසා ඇමෙරිකාව විශාල ගැටලු රාශියකට මුහුණ දුන්නා ඒ මරණය වියට්නාම් වැසියන්ගේ ජයග්‍රහනයක්.ඒත් මේ ගිණි තබාගත් හාමුදුරුවන් කියන්නේ මේ වන විටත් එක්තරා ආකාරයකින් විහිලුවක්. අනෙක් අතට ජේම්ස් පැකර් ලංකාවේ කැසිනෝ පටන් ගන්නවා නම් තමන් වහන්සේ සටනට බහින බව අස්ගිරි මහානායක හිමියන් පවසා තියෙනවා. උන්නාන්සෙම දැනටමත් ලංකාවේ කැසිනෝ හිමිකරුවන් උන්වහන්සේ මුණ ගැසෙන්නට ගියහම ආශිර්වාද කරනවා. ඒ කියන්නේ අපිට තියෙන්නේ කැසිනෝ සම්බන්ධ ප්‍රශ්ණයක් නෙමෙයි. අධිරාජ්‍යවාදී ජේමිස් පැකර් කැසිනෝ ගහන එක මිසක් සිංහල බෞදධ රවී විජේරත්නලා,ධම්මික පෙරේරලා කැසිනෝ ගහන එක කාටවත් ප්‍රශණයක් නෙමෙයි. අපි ජීවත් වෙන්නේ ධනවාදී සමාජයක කියලා දන්න ඕන මැට්ටෙක් දන්නවා වෙළෙද පොල සමබධන්තා ජාලයක් තුළ ජීවත් වන අය විදිහට අපට කැසිනෝ නතර කරන්නට බැරි බව. හරියට අහංසක මිනිහෙක් පාරේ සිගරට් එකක් බීලා අහුවුණාම ඒ මිනිහව උසාවියට ගෙනල්ලා රුපියල් 2000ක් දඩ ගහන ගමන් ආණ්ඩුව එක සිගරට් එකකින් රුපියල් විසි දෙකක බද්දක් අය කර ගන්නවා. අන්තිමට පාරේ සිගරට් එකක් බොන රජයට වැඩිම බදු මුදලක් ගෙවන මිනිහගෙන්ම ආණ්ඩුව රුපියල් 2000 දඩත් අය කර ගන්නවා. ඒ අතරම විදේශීය ආයෝජකයන්ට රුපිලයග් බිලියන ගනන් බදු සහන ලබා දෙනවා. ඒ නිසා මේ ප්‍රශ්ණය හුදු කැසිනෝ ප්‍රශ්ණයක් නෙවී. හේගල් කියන අකාරයට නයිට් එකට පසුව තමා ලයිට් එක එන්නේ. ඒ කියන්නේ අදුර නිසා තමයි ආලෝකය ඇති වන්නේ . ඒ විදිහට කල්පනා කලාම සමාජයක් සංවිධානය වන විට ඒ සමාජයේ අශ්ලීල යැයි හැමෝම පිළිකුල් කරන දේවල් නිසාම තමයි සභ්‍යයැයි කියන දෙවල් බැලන්ස් වෙලා තියෙන්නේ. දවල්ට ටයිකෝට් ඇදගෙන වැදගත් වැඩ කරන මහත්වරුන්ට රෑට හැසිරෙන අකාරය බලා ගන්න කැමති අයට Blue Velvet චිත්‍රපටිය බලන්න පුලුවන්.

මොස්කව් නගරය අලුතින් නිර්මාණය කිරීම සම්බන්ධව ලෙනින් පැවසූ අදහසක් තමයි පහත තියෙන්නේ.

අපේ සමහර සහෝදරවරු කඩා බිද දැමීමට බොහොම ආසයි. අපි ඒ ප්‍රශ්ණය සොයන්නට ඕන. කඩා දමන්න ඕන. ඒ වුනාට ප්‍රමාණය සහ ස්ථානය දැන ගන්න ඕන. මොස්කව් නගරය ප්‍රති නිර්මාණය කරන සැලැස්ම ඔහේ පටන් ගන්න. පැරණි ස්මාරක ගැනත්, රුසියානු ජනතාවගේ මහා ප්‍රඥාණව නිසා අපට ලැබී ඇති සංස්කෘතික උරුමය ගැනත්, අප දැක්විය යුතු ප්‍රතිපත්ති, හැම දෙයක්ම අවලස්සන කරන කඩ පෙළත්, කුණු රොඩු ගොඩ ගැසෙන තැනත් නැතිකර දමන්න ඕන. ක්‍රෙම්ලීනය, රතු චතුරස්ස්‍රය, ශුද්ධ වූ බැසිල්ගේ දේවස්ථානය වැනි තැන් වල වෙනස් කිරීම හොද නෑ. ඒවා අමරණීය කලා වස්තු. ඒ හන්දා ඒවා හැකි තරම් හොදට ආරක්ෂා කරන්න ඕන. තවත් එක ඉල්ලීමක්. ඉවාන් විලදිස්ලාචොච්වල මොස්කව් නගරය තුළ ගස් සිටුවා එය හැකි තරම් දුරට උද්‍යාන නගරයක් බවට හරවන්න ඕන… මොස්කව් නගර ප්‍රතිනිර්මාණ සැළැස්මේ එක මූල ධර්මයක් ලෙස එය ගණන් ගන්න. මේවාට නිදර්ශණ වල ලන්ඩන් වල හයිඩ් පාර්ක් එකද, පැරීසියේ එලිසෙයෙවි උයනද, වියානාවේ රින්ග් වැනි දැකුම් කළු උයන් වතුද ගන්නට පුලුවනි… මොස්කව් ගග දෙපස ඉවුර ගස් සිටුවා අලංකාර කිරීම ගැනත් කල්පනා කර බලන්න. අමිලකර වාතයෙන් පිරි පිරිසිදු වටපිටාවක් අපි මොස්කව් නගරයට ලබා දෙන්න ඕන.

ඉහත අදහස අනුව මේ වන විටත් නගර නිර්මාණය නාගරික සංවර්ධන අධිකාරිය විසින් අඩක් නිමකර අවසන්. කුමන වාමාංශික පක්ෂය බලයට ආවත් මීට වඩා වැඩි යමක් කරන්නට බැරි බව පැහැදිලියි. ලෙනින් මේ අදහස දෙන්නේ විප්ලවයෙන් පස්සේ මොස්කව් නගරය නිර්මාණය කළයුතු ආකාරය ගැනයි. නමුත් ලංකාවේ බොහෝ වාමාංහිකයන්ට සහ පක්ෂ වලට මේ කිසි දෙයක් ගැන අවබෝධයක් තියනවා කියලා හිතන්න බැහැ. සමාජ සංවර්ධනය පිළිබද කාල් මාක්ස් ගේ නීති සමාජය වෙනස් විය යුතු බව පෙන්වා දුන්නා. ධනපති ක්‍රමයේ වධ බන්ධන වලින් මිනිසා මුදවාලීම ඉක්මන් කරවනු සදහා සමාජවාදී විප්ලවය වෙනුවෙන් ලෙනින් ඇප කැප වී වැඩ කලා. නිදහස් සහ දීප්තිමත් ජීවිතයක් මිනිසාට ලබා දීම  ඔහුගේ පරමාර්ථය වුනා. ගොඨාභයගේ නගර නිර්මාණය සහ ලෙනින්ගේ මොස්කව් සැළසුම අතර ප්‍රධාන වෙනස මෙයයි.

3mana -
Read more
එක පුතයි; අම්මලා දෙන්නයි - කතන්දර දෙකයි ·  අක්‌කාට නංගිත් - නංගීට අක්‌කාත් ගර්භාෂ පරිත්‍යාග කිරීමේ උත්තම කතාව

එංගලන්තය නමැති රටේ Warwickshireු නමැති කෝරළයේ අගනුවර නම Warwick මේ අගනුවරට ආසන්නයේ පිහිටි Coleshill නමැති වාණිජ නගරයෙන් අපි මේ කතාව පටන් ගනිමු.

මෙහි ඉපදී හැදී වැඩුණු ලින්ඩ්සේ කී සහ චෙරිල් කී එක මවකගේ දියණියන්. ඒ අතරින් චෙරිල් සුවිශේෂ තරුණියක බවට පසු කාලයේදී පත් වනවා. එයට හේතුව ඇය ගර්භාෂයක්‌ සහ පැලෝපීය නාල නැතිව උපන් කෙනකු වීමයි. මෙය සෑම කාන්තාවන් 5000 කගෙන්ම එක අයකුට ඇති විය හැකි තත්ත්වයක්‌.

චෙරිල් කීට ගර්භාෂයක්‌ නැති බව ඇයත් ඇගේ පවුලේ අයත් දැන ගන්නේ ඇයට වයස අවුරුදු 17 සපිරුණු විටයි. ඒ වනතුරුත් ඇය වැඩිවිය නොපත් නිසා ඇගේ වැඩිහිටියන් ඇය නාරි හා ප්‍රසව වෛද්‍යවරයකු වෙත යොමු කරනවා. ඇය Mullerian Agenesis නමැති ශාරීරික තත්ත්වයෙන් පෙළෙන බව වෛද්‍යවරයා ඇයට පෙන්වා දෙනවා.

මෙහිදී Mullerian Agenesis නමැති ශාරීරික තත්ත්වය ගැන යමක්‌ කිව යුතුයි. Mayer Rokitansky - Kuster - Hauser syndromeැ හෙවත් MRKH්‍ය නමැති මෙම තත්ත්වයේදී කාන්තාවකගේ යෝනි මාර්ගයේ ඉහළ කොටසත්, ගර්භාෂයත්, ගැබ් ගෙලත්, පැලෝපීය නාලයත්, පිහිටන්නේ නැහැ. සමහර විට මේ ඉන්ද්‍රියන්ගෙන් එකක්‌ හෝ දෙකක්‌ පිහිටන අවස්‌ථා තිබෙනවා. මේ ශාරීරික තත්ත්වය තිබෙන කාන්තාවන්ගේ හෝමෝන තත්ත්වය එසේ නොවන අයකුගේ හෝමෝන තත්ත්වය තරමටම ස්‌වභාවිකයි. මෙයට හේතුව ජාන විකෘතියක්‌ වීමටත් ඉඩ තිබෙනවා. XX ක්‍රොමසෝම තත්ත්වයක්‌ ලෙස වෛද්‍යවරුන් මෙය හඳුන්වනවා.

ගර්භාෂයක්‌ නැති ශාරීරික තත්ත්වයක්‌ තිබෙන බව මෙයට සියවස්‌ දෙකකට පෙර විසූ වෛද්‍යවරුන් දැන සිටියත්, එය ප්‍රසිද්ධ කාරණයක්‌ වූයේ නැහැ. එහෙත් 1836 සිට 1862 දක්‌වා විසිහය අවුරුද්දක්‌ ගී්‍රසියේ Otto (1815 - 1867) රජතුමාගේ බිසව වූ Amalia Oldenberg (අමාලියා එල්ඩෙන්බර්ග්) නමැති ජර්මන් ජාතික සුරූපී කුමරිය සිහසුනට උරුමක්‌කාරයකු ප්‍රසූත නොකරන විට ඇය පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් ඇයට ගර්භාෂයක්‌ නැති බව කී විට මේ විෂය බෙහෙවින් සාකච්ඡාවට ලක්‌වුණා. කෙසේ වුවත් කුමරියට වඩා වසර 21 වැඩිමහලු වූ රජතුමා මොනම හේතුවකටවත් ඇගෙන් වෙන් වීම ප්‍රතික්‍ෂේප කළා. එකල පැවැති කුණු වී වැගිරෙන මධ්‍යකාලීන සමාජ සම්ප්‍රදායයට එසේ අභියෝග කළ Otto රජතුමාට අපගේ ගෞරවය හිමි විය යුතුයි.

දැන් නැවතත් අපි ලින්ඩ්සේ කී සහ චෙරිල් කී යන සහෝදරියන් දෙදෙනා පිළිබඳ කතාව දෙසට හැරෙමු. ගර්භාෂයක්‌ නැති වුණත් ඇය සතුව ක්‍රියාකාරී ඩිම්බ තිබෙනවා. චෙරිල් තුළ දරු ගැබක්‌ හට ගැනීමට ඉඩ නැති නිසා තම ගර්භාෂය ඇගේ දරුපෙම උදෙසා පරිත්‍යාග කිරීමට තරුණියක වූ ලින්ඩ්සේ තීරණය කරනවා. ඒ අනුව චෙරිල් සහ ඇගේ සැමියාගේ ඩිම්බ සහ ශුක්‍රාණු පර්යේෂණ නලයක්‌ තුළ වැඩීමට සලස්‌වා එය තම ගර්භාෂයෙහි තැන්පත් කිරීමට ලින්ඩ්සේ ඉඩ දෙනවා. නිසි කාලයට පසු චෙරිල්ගේ දරුවා ලින්ඩ්සේ විසින් ප්‍රසුත කරනු ලබනවා. අද ඒ දරුවාගේ වයස අවුරුද්දයි. මේ කතාවේ සිටින වාසනාවන්ත දරුවාට අම්මලා දෙන්නයි. චෙරිල් ඔහු හැදූ මව වන අතර ලින්ඩ්සේ ඔහු වැදූ මව බවට පත්වෙනවා. උපදින විට දරුවාගේ බර රාත්තල් 8 අවුන්ස 8 යි. එය ඉතාම නිරෝගී දරුවකුගේ තත්ත්වයක්‌. ඔහුගේ නම ලින්ඩ්සේගේ බඩට දරුවා එන විට ඇගේ වයස අවුරුදු 32 යි. චෙරිල්ගේ වයස 36 යි. ලින්ඩ්සේ ප්‍රසූත කරන දරුවා ඇගේ අක්‌කාගේ පුතා බැවින් ඥති ව්‍යවහාරය අනුව ලින්ඩ්සේගේ ඥාති පුත්‍රයා ලෙස හැඳින්වීමට පුළුවන්. ඇය තමයි දරුවාගේ පුංචි අම්මා.
* * * * *

චෙරිල්ගේ සැමියාගේ නම ඡේසන්. දරුවන් පූසූත කිරීමට නොහැකි බැවින් කිසි කලෙකත් විවාහ නොවිය යුතු යෑයි ඇය තරුණ විය ආරම්භයේදී ම තීරණය කරනවා. එහෙත් ඇයට වයස 22 දී ව්‍යාපාර සංවර්ධන කළමනාකරුවකු වන ෙ-සන් හමුවනවා. මාස දෙකක්‌ ඔහු සමඟ පෙමින් බැඳි සිටීමෙන් පසු තම ශාරීරික තත්ත්වය ඔහුට හෙළිකර සම්බන්ධය නැවැත්වීමට චෙරිල් තීරණය කරනවා.

"ඔයා දරුවන්ට ආසද?" දවසක්‌ ඔහු හමුවුන විට චෙරිල් අහනවා " ඔව්·" ඔහුගේ උත්තරය එයයි. එවිට චෙරිල් හැඬූ කඳුළින් යුතුව තම තත්ත්වය හෙළිකරනවා.

"නැහැ. මම ඔයාව බඳිනවාමයි. ඒ තමයි ෙ-සන්ගේ ස්‌ථිර වචනය. සිය බිරියට දරු ඵල නැති බව දැනගත් විට ග්‍රීසියේ ඔටෝ රජතුමා දැරූ විශිෂ්ට ස්‌ථාවරයත් මෙයම වෙන්නට ඇති.

අන් කතකගේ ගර්භාෂයකින් දරුවන් ලැබීමේ ක්‍රමය ලොව පුරා බෙහෙවින් පරිහරණය වන බව චෙරිල් දැන ගන්නේ විවාහයෙන් වසර 8 කට පස්‌සේ. මේ ගැන සිය සොයුරිය උනන්දු වන බව දුටු ලින්ඩ්සේ තම ගර්භාෂය ඇයට පරිත්‍යාග කරනවා. ඒ වන විටත් ලින්ඩ්සේට අවුරුදු 6 ක දියණියක්‌ සිටිනවා. ඇගේ නම ඊවා.

ලින්ඩ්සේට මුහුණ පෑමට සිදුවන ලොකුම ප්‍රශ්නය වන්නේ ඇගේ කුසේ සිටි 'මල්ල' ගෙදර ගෙන එන්නේ නැත්තේ ඇයිද යන්න ඊවාට තේරුම් කිරීමයි. ලොකු මහත් වී දැනුමින් පිරිපුන් යුවතියක වූ පසු ඊaවා ඇත්ත කතාව දැන ගෙන තම අම්මාට තව තවත් ආදරය කිරීමට පටන් ගන්නවා ඇති.

ලින්ඩ්සේ දරු ප්‍රසූතිය සිදු කරන්නේ සිය නැඟණිය වූ චෙරිල්ගේ දැතටයි. එය එසේ විය යුතු බව කියන්නේ දරු ප්‍රසූතිය මෙහෙය වූ වින්නඹු මාතාවයි.

මෙය කොතරම් ලස්‌සන ඇත්ත කතාවක්‌ද?

එහෙත් අපට මෙතැනින් නවතින්න බැහැ. මේ වර්ගයේම තවත් කතාවක්‌ දැනට එංගලන්තයේ සිදුවෙමින් පවතිනවා. මෙතැන් සිට එය කියවමු.

අග්නිදිග ලන්ඩනයේ පිහිටි බෙකම් නමැති නගරය වාසභූමිය කරගත් Siobhan (සියොබාන්) සහ Ellieැ එලී අක්‌කයි නංගියි. සියොබාන්ට වයස අවුරුදු 31 යි. එලීට වයස 33 යි. අක්‌කා විවාහක වන අතර නංගී අවිවාහකයි. ඇය හෘද ශල්‍ය වෛද්‍යවරියක ලෙස සීමාවාසික කාලයක්‌ ගත කරමිනුයි ඉන්නේ.

සියොබාන් විවාහ වී සිටින්නේ තමාට වඩා වසර 20 ක්‌ වැඩිමහලු ඩීන් ටෙරී සමගයි. මේ යුවළට තුන් හැවිරිදි දියණියක්‌ සිටිනවා. මේ අතර තවත් දරුවකු බිහිකිරීමට ඔවුන් සැලසුම් කරනවා. ඒ සඳහා කළ වෛද්‍ය පරීක්‍ෂණයේදී හෙළිවන්නේ සියොබාන්ට ගැබ් ගෙල පිළිකාවක්‌ තිබෙන බවයි.

ඒ අනුව ගර්භාෂය ඉවත් කර ඇගේ ජීවිතය බේරා ගත යුතු බව දොස්‌තරවරු යෝජනා කරනවා. එහෙත් සියොබාන් කියන්නේ සිය දියණියට මල්ලී කෙනෙකු හෝ නංගී කෙනෙකු ලබා දී (තවත් දරුවෙකු ප්‍රසූත කර) ගැබ්ගෙළ පිළිකාවෙන් මියයන බවයි. දරුවකු ගැබෙහි සිටින විට ගැබ්ගෙල පිළිකාවට ප්‍රතිකාර කරන්න බැහැ. එය දරුවාට හානිකරයි. මේ අනුව ඉතා සතුටින් මරණය කරා යන්නට සියොබාන් තීරණය කරනවා.

මෙය දැනගත් වහාම ඇගේ අක්‌කා වූ එලී ඉදිරිපත්ව නළ දරු උපතක්‌ සඳහා තම ගර්භාෂය නැගණිය වන සියොබාන්ට ලබා දෙනවා.

ඒ අනුව ඩීන් සහ සියෝබාන්ගේ ඩිම්බ සහ ශුක්‍රාණු විද්‍යාගාරයක්‌ තුළදී පරීක්‍ෂණ නළයක වර්ධනය කර එලීගේ ගර්භාෂයේ තැන්පත් කරනවා. දියග මුද්‍රණයට යන අවස්‌ථාවේදී එලී දරු ප්‍රසූතියට සූදානමින් සිටියා. දරුවා ප්‍රසූත කරන දිනය හැටියට නම් කෙරී තිබුණේ මැයි 1 වැනිදායි.

"මට ලොකු ප්‍රශ්නයක්‌ තිබුණා. ඒ මගෙ කුසින් බිහි කළ දරුවා නංගිට දෙන්නේ කොහොමද කියන එකයි. එහෙත් සැබෑ තත්ත්වය ගැන කල්පනා කිරීමේදී දරුවා පිළිබඳ වැඩි අයිතිය තිබෙන්නේ නංගිට බව මට තේරුණා. ඒ අනුව මා හිත හදා ගත්තා.

ඒ තමයි එලීගේ අදහස.

ඉහත සඳහන් පුවත් දෙකෙන්ම කියෑවෙන්නේ ආදරය සහ කැපවීම පිළිබඳ උත්තම කතන්දරයයි. මොන තරම් වාසනාවක්‌ද? එක දරුවකුට අම්මලා දෙන්නෙක්‌·

Mail Online/Mirror www.jostrust/org.uk/wikipedia
.* * * * *  අනුර සොලමන්ස්‌
Read more
Wednesday, May 28, 2014
පුරෝහිත සටන

"මේ දේශපාලනයේ මට යන්න පුළුවන් දුර මෙච්චරයි. ඒ ගැන මම තෘප්තිමත්..."

මේ එස්.බී. තමන් හමුවෙන්න එන මිතුරන්ට නිතරම කියන කතාවය. එස්.බී. මේ කතාව පෞද්ගලිකවම මිතුරන්ට පමණක් නොව ප්‍රසිද්ධියේ මාධ්‍යයන්ට කියා තිබිණි.
හැබැයි මෙයට අවුරුදු පහකට කලින් එස්.බී. කිව්වේ මේ කතාව නොවේ.
"මම මේ රටේ රජ වෙනවා. මට රජ වෙන්න රාජයෝගයක් තියෙනවා..."

මේ එස්.බී. ඒ දවස්වල කී කතාවය. එස්.බී.ට රාජයෝගයක් තියෙනවා නම් ඒ රාජයෝගය එක පාරට අතුරුදන් විය නොහැකිය. සමහර විට එස්.බී., ඩී.බී. විජේතුංග අගමැතිකම ගන්න ප්‍රේමදාසට රාජයෝගය හංගාගෙන හිටියා වගේ මහින්දට රාජයෝගය හංගාගෙන ඉන්නවාද කියන්න දන්නේ නැත. එස්.බී. වගේම ඩී.බී.ත් නුවරය.
එස්.බී.ගේ මේ පරණ රාජයෝග කතාව මතක් වුණේ එස්.බී, විමල් වීරවංශලා එක්ක හැප්පෙන හැප්පිල්ල දිහා බලනකොටය.
"ඇයි එස්.බී. විමල් එක්ක හැප්පෙන්නේ....?"
එස්.බී. විමල් එක්ක හැප්පෙන්නේ රජ්ජුරුවන්ගේ පුරෝහිතකම ගන්නටය. 2005 සිට මේ තාක් මහින්දගේ පුරෝහිතකම කළේ විමල්ය. දැන් රජ්ජුරුවොයි පුරෝහිතයි ඇවිළෙන කොට හබන් කුකුළන්ට රජ මඟුල් කීවැහේ එස්.බී.ට රජ මඟුල්ය.
"මහින්දගේ පුරෝහිත වුණොත් එස්.බී.ට වරදියිද....?"

වරදින්නේ නැත. එස්.බී. ශ්‍රී ල.නි.ප.ය තුළත් රට තුළත් චරිතයක් වූයේ චන්ද්‍රිකාගේ පුරෝහිතකම අරගෙනය. චන්ද්‍රිකාගේ පුරෝහිතයා වෙද්දී එස්.බී. හිතුවේ චන්ද්‍රිකා එස්.බී.ව අගමැති කරයි කියලාය. 1999 චන්ද්‍රිකා රටේ ජනාධිපති වුණේත් 2000 ආණ්ඩුව හදා ගත්තේත් එස්.බී.ගේ ඡන්ද මැෂිමට පින් සිද්ධ වෙන්නටය. ඒත් චන්ද්‍රිකා එස්.බී.ට බය විය. ඇය එස්.බී.ට අගමැතිකම දුන්නේ නැත. මෙයින් එස්.බී. වැටුණි. චන්ද්‍රිකාට පුරෝහිතකම් කරන්න රනිල්ව හිර ගෙදරට යවන්න කතා කළ එස්.බී. වැටුණ වැටිල්ලේ තරම කොයිතරම්ද කියනවා නම් රනිල් එක්ක චන්ද්‍රිකාගේ ආණ්ඩුව පෙරළන්න හොර රහසේ සාකච්ඡා කෙළේය. එස්.බී.ගේ පළමු ඉලක්කය වූයේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවට බහුතරය නැති කිරීමය. චන්ද්‍රිකාගේ පුරෝහිතයා ලෙස පෙනී සිටිමින් එස්.බී. කෙළේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවට බහුතරය හදල දුන්න හකීම්ට ආණ්ඩුව ඇතුළේ ඉන්න බැරි වෙන විදියට වැඩේ සෙට් කිරීමය. හකීම් චන්ද්‍රිකාගෙන් ඉල්ලීම් ඉල්ලද්දී එස්.බී. ඒ ඉල්ලීම්වලට එරෙහි විය. එස්.බී,ගේ මතය වූයේ හකීම්ලා නැතිව ආණ්ඩුවට යන්න පුළුවන් කියලාය. චන්ද්‍රිකා හකීම්ව ඇමැති මණ්ඩලයෙන් ඉවත් කෙළේය. ආණ්ඩුවට බහුතරය නැති විය. එස්.බී. රනිල් එක්ක එකතු වී ආණ්ඩුව පෙරළුවේය. කොහොම හරි එස්.බී. 2001 යූ.ඇන්.පී.යට ආණ්ඩුවක් හදල දුන්නේය. එතැන් සිට එස්.බී. බැලුවේ රනිල්ව ජනාධිපති කරල රනිල්ගේ පුරෝහිතකම අරගෙන රනිල්ගේ අගමැති වී රාජයෝගයේ ඵල උදාකරගන්නටය. රනිල්ද එස්.බී.ට බය විය. රනිල් සහ යූ.ඇන්.පී.ය වෙනුවෙන් හිරේ විලංගුවේ ලැගල ආ එස්.බී. 2010 ජනාධිපතිවරණයට රනිල් තරග කරන්නේ නැතිනම් අපේක්ෂකත්වය තමාට දෙන්න යැයි ඉල්ලීමක් කෙළේය. රනිල් එස්.බී.ට අපේක්ෂකකම තියා පක්ෂයේ නියෝජ්‍ය නායකකමවත් දුන්නේ නැත. එයින් වැටුණු එස්.බී. මහින්දට එක් විය. එස්.බී. මහින්දට එක් වුණේත් නිකම්ම නොවේ. රනිල්ගෙන් තම රාජයෝගය ඉටු කරගන්න බැරි බව හිරෙන් එළියට ආ විගස තේරුම් ගත් එස්.බී. මහින්ද එක්ක හොර රහසේ සාකච්ඡා ආරම්භ කෙළේය. රනිල්ට එරෙහිව පක්ෂය තුළ කැරැල්ලක් ගසා කරු ජයසූරිය ඇතුළු 17ක් ආණ්ඩුවට යැව්වේ එස්.බී. ය. එස්.බී, හිතුවේ කරුගේ තැනට පත්වී රනිල් පන්නා නායකයා වෙන්නටය. ඒත් රනිල් එස්.බී.ටත් යන තැනටම වැඩේ සැලැස්සුවේය.

එස්.බී. මහින්ද ළඟට වී තෘප්තියෙන් සිටිනවා යැයි කියන කතාව පිළිගන්න බැරිය. එස්.බී. මහින්දටත් වඩා අති දක්ෂ දේශපාලන සතෙකි. දේශපාලන කපටි නුවණින් එස්.බී. මහින්දව 94දී පරාජය කෙළේය. 94දී මහින්ද අනුරව නායකත්වයට ගේන ගේම ගහද්දී එස්.බී. චන්ද්‍රිකාව නායකත්වයට ගේන ගේම ගැහුවේය. එස්.බී. දින්නේය. මහින්ද පරාජය විය. එස්.බී.ට මහින්දගේ පුරෝහිතයා වෙන්න තියෙන අමාරුව ඒකය. හැබැයි මහින්දගේ පුරෝහිතයා වුණොත් මහින්ද ලව්වා එස්.බී.ගේ රාජයෝගය සඵල කර ගන්නා හැටි එස්.බී.ට අමුතුවෙන් කියා දිය යුතු නොවේ. හේතුව විමල් මහින්දගේ පුරෝහිත වුණත් පිට මිනිහෙකි. එස්.බී. ශ්‍රී ල.නි.ප.ය ඇතුළේ හැදුන වැඩුණ අයෙකි. ශ්‍රී ල.නි.ප.යේ අද ඉන්නා ජේ‍යෂ්ඨයන් එකල එස්.බී.අත යට හිටි අයය.
අනෙක විමල් වගේම එස්.බී.ත් මහින්දට සේවයක් කළ අයෙකි. ජ.වි.පෙ.ට මහින්දව හිරකාරයෙක් කරගන්න බැරි වුණේ එස්.බී., කරු ඇතුළු 17ක් මහින්දට පූජා කළ නිසාය. අනෙක මහින්ද අද රටේ ජනාධිපති වෙලා ඉන්නේ එස්.බී.ගේ ඡන්ද මැෂිමෙන් ශ්‍රී ල.නි.ප.යට 1999 ජනාධිපතිවරණය දිනවල දුන්න නිසාය. ශ්‍රී ල.නි.ප. ජේ‍යෂ්ඨයන්ටත් ඒක අමතක කරන්න බැරිය.

මේ ඔක්කොම ඔළුවේ තියාගෙන දැන් එස්.බී. කියන්නේ විමල්ලා චම්පිකලාගෙන් වැඩක් නැහැ කියාය. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය තුනෙන් දෙකකින් දින්නාට පස්සේ විමල්ලා චම්පිකලා පන්නමු කියල මහින්දට බලපෑම් කරන ඇමැති කට්ටුවේ මුලින්ම ඉන්නේ එස්.බී.ය. මහින්ද ඉන්දියාවට ගිහින් ආ විගස මේ දෙන්නා පන්නමු කියන්න එස්.බී. ඇතුළු ඇමැතිවරු ඇඟිලි ගනිමින් සිටිති.
මේ කතාව අහනකොට මතක් වන්නේ බණ්ඩාරනායකගේ ආණ්ඩුවේ කොටස්කාරයකු වූ පිලිප් ගුණවර්ධනලාව පන්නන්න ඇමැතිවරුන් 10ක් ඇමැති මණ්ඩල රැස්වීම් වර්ජනය කරල අල්ලපු ජල්බරියය.
මේ ඒ ජල්බරිය ගැන ටී.බී. ඉලංගරත්න 'යුගයක ගමන' පොතෙහි කී කතාවය.

"නව රජයේ මේ ප්‍රගති ගමනට විරෝධය වඩාත් නැඟ ආවේ අඳකාරයෙන්ගේ සුරක්ෂිතතාවය සඳහා කුඹුරු පනතක් හා අඩු ආදායම් ඇත්තන්ගේ ණයගැති භාවය තුරන් කිරීමට ආ සුළු ව්‍යාපාරිකයන්ට ධෛර්ය දීමටත්, සමුපකාරයේ වර්ධනයටත් අභිනව සමුපකාර බැංකු පනතක්, පිලිප් ගුණවර්ධන ඇමැතිතුමා ඉදිරිපත් කළ විටය.
විප්ලවීය සමසමාජ පක්ෂය මහජන එක්සත් පෙරමුණ රජය තුළ "අධිරාජ්‍යයක්" මේ පනත් දෙක මඟිනුත් ගොඩනඟන්නට උත්සාහ දරන්නේ යැයි යන පදනම මත ඔහුට විරුද්ධව උද්ඝෝෂණයක් පාර්ලිමේන්තු කණ්ඩායම තුළත් ඉන් පිටතත් වර්ධනය විය.
කුඹුරු හිමියනුත් රජයේ ප්‍රගති ගමන නිසා වරප්‍රසාද අහිමිව යෑමෙන් කලකිරීමට පත්වූ බලවත්තුත්, බැංකු අධිකාරීහුත් පිලිප් විරෝධී මතය උග්‍ර කළහ.
ඒ අතර එකල පැවැති විදේශීය නෞකා සේවයට රජයේ නෞකා සේවයක් ආදේශ කිරීම වෙනුවට පෞද්ගලික ලාංකේය නැව් සමාගමක් ඇති කිරීමට රජය පොලඹවා ගත නොහැකි වූ නිසා උරණ වූ දේශපාලන ආත්මාර්ථකාමීහුද ඒ පිරිසට එක්වූහ.

නොබෝ දිනකින් විප්ලවීය සමසමාජ පක්ෂයට එරෙහිවීමේ මුවාවෙන් බණ්ඩාරනායක අගමැතිතුමාද තමා පැත්තට හරවා ගන්නා අටියෙන් ඇමැතිවරු දහ දෙනෙක් ඇමැති මණ්ඩල රැස්වීම්ද වර්ජනය කළහ.
එම වර්ජනයට ඇම්.ඩබ්ලිව්.එච්. ද සිල්වා අධිකරණ ඇමැතිතුමාත්, ඒ.පී. ජයසූරිය ඇමැතිතුමාත් මමත් සම්බන්ධ නොවූවෙමු.
පැන නැඟුණු මේ තත්ත්වය නිසා අගමැතිතුමා සිත් වේදනාවට පත්විය. ප්‍රජාතන්ත්‍රවාදයත් සමාජවාදයත් යථාර්ථවාදයත් එක්සත් කෙරෙන ආණ්ඩු ක්‍රමයක් මඟින් සමානාත්මතා සමාජයක් අරමුණු කරගත් අවංක පරාර්ථකාමී දේශපාලකයකු වූ බණ්ඩාරනායක අගමැතිතුමා තම සගයන් මැවූ මෙම අකෘතඥතා හා අසාධාරණ වාතාවරණය කිසිසේත් බලාපොරොත්තු නොවූවකි.

කුඹුරු පනතත් සමුපකාර බැංකු පනතත් තමන් ආරම්භ කළ ප්‍රගති ගමනට බෙහෙවින් අදාළ බව ඔහු දනී. ඒවා අගතිගාමී හෝ අතිගාමී නොවන නිසා එරෙහි වීමට හැකියාවක් තිබුණේ නැත.
අනුන්ගේ සැකයට, බියට ලක් නොවී යහපත් අරමුණු ළඟා කර ගැනීමට හැකි වන සේ පිලිප්ගේ හැසිරීම සංවර කිරීමද පහසු නොවීය.
ඇමැතිවරු දහ දෙනා අයින්කර වෙන දහ දෙනෙක් පත් කිරීමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙදරා යෑමට හේතු විය හැකිය.
මෙසේ දෙලොවක් අතර සිටින්නන් වෙන බලවේගයක් මත විසඳුම් සෙවීම ස්වභාවිකය. ඒ අනුවදෝ බණ්ඩාරනායක අගමැතිතුමා තමාගේ පෞද්ගලික ආශි්‍රතයන්ගේ උපදෙස් අනුව ඇමැති මණ්ඩලයේ වැඩිදෙනාගේ පැත්ත ගැනීමට අදහස් කරන බව ප්‍රකට විය.

නොබෝ දිනකින් කුරුණෑගලදී පවත්වන්නට යන පක්ෂ සම්මේලනයේදී පක්ෂ සභාපතිගේ කතාවට ප්‍රගති ගමන් වේගය අඩුවන අන්දමේ අදහස් අඩංගු කිරීමට යන බව මට ආරංචි විය. බද්ඉයුදීන් මාමුඩ් මහතා සමඟ අගමැතිතුමා හමුවට මා ගොස් එවැනි ආරංචියක් මට ලැබුණු බවත්, එය මා විශ්වාස නොකරන බව මා සඳහන් කළ බවත් මම කීවෙමි. මා එසේ කළේ එවැනි සභාපති කතාවකට මගේ විරෝධය ඇඟවීමටයි. අගමැතිතුමාද මගේ ඒ නිගමනය සනාථ කළේය.
සුපුරුදු චර්යාව අනුව සති අන්තයට මාගේ මැතිවරණ කොට්ඨාසය වූ ගලහ ආසනයේ ජනතාවගේ වුවමනාකම් ගැන සොයා බැලීමට ගොස් සිටියදී පිලිප් ගුණවර්ධන ඇමැතිතුමාගේ බලතල අඩුකිරීමට යන බවත් එය විප්ලවකාරී සමසමාජ පක්ෂයේ ඇමැතිවරු දෙදෙනකු වූ පිලිප් ගුණවර්ධන හා විලියම් සිල්වා නුරුස්සන බවත් විශ්වාසදායක මාර්ගයකින් මට දැනගන්නට ලැබිණි.
මේ අවාසනාවන්ත වර්ධනයෙන් මට හිත්තැවුල් ඇතිවිය. එම සතියේ රැස්වීම් කිහිපයකට සහභාගි වූ මගේ කතාවල ඒ කලකිරීම පිළිබිඹු කළෙමි.
මගේ ඒ ආකල්පය ආරංචි වීදෝ කොළඹ ආ වහාම අගමැතිතුමා හමුවන්නැයි ටෙලිපෝන් පණිවුඩයකින් මට දන්වා තිබිණි. ඔහුට අකීකරු වීම ප්‍රකාශ කිරීම සඳහාම හවස් වනතුරුම මම කොළඹ නොගොස් සිටියෙමි.

හොඳට හවස් වූ විට ශ්‍රාවස්තියට ළඟා වූ මට අගමැතිතුමාගේ ලිඛිත පණිවුඩයක් තිබිණි. මෙතෙක් මාගේ පැමිණීම එතුමා බලාපොරොත්තුවෙන් සිටිය බවත්, ආරාධිත රාත්‍රි භෝජනයකට යන බවත්, කිසිම තීරණයක් ගැනීමට පෙර ඔහු හමුවිය යුතු බවත්, ආපසු ඔහු ආ විට ටැලිෆෝනයෙන් කතා කරන බවත්, එහි සඳහන් විය.
ඒ අතර මා හා සමාන අදහස් දැරූ ඇම්.ඇස්. තේමිස්, හ්‍යු ප්‍රනාන්දු, නිමල් කරුණාතිලක, ‍ෙදාස්තර ඩී.ඩබ්. ද සිල්වා ආදී මන්ත්‍රිවරු කීපදෙනෙක් මා හමුවීමට පැමිණ සිටියහ.
අපේ සාකච්ඡාවෙන් පසු තීරණය කරන ලද්දේ පිලිප් හා විලියම් දෙදෙනා යථා තත්ත්වයෙන් ඇමැති මණ්ඩලය තුළ තබා ගැනීමට තැත් කිරීමටය.
අගමැතිතුමා ටැලිපෝනයෙන් කතාකර රෑ බෝවී තිබෙන නිසා කුරුණෑගලදී පසුවදා හමුවීමට යෝජනා කෙළේය.
මගේ ප්‍රතිචාරය එතුමාට පැහැදිලි කළෙමි. මා හා සමාන අදහස් දරන කීප දෙනකුගේම යෝජනාව ඇමැතිවරු දෙදෙනා යථා තත්ත්වයෙන්ම ඇමැති මණ්ඩලය තුළ තබාගත යුතුය යන්න බව කීවෙමි.
ඒ දෙදෙනාට ‍ෙදාර ඇර තිබෙන බවත් ඒ සම්බන්ධව අප ගන්නා පියවරට ඔහු විරුද්ධ නැති බවත් අගමැතිතුමා කීවේය.
එයින් ධෛර්යවත් වූ අපේ ක්‍රියාමාර්ගය ගැන තවදුරටත් සාකච්ඡා කර අවසානයේදී අපේ අරමුණු සාර්ථක කරගැනීම පිණිස පිලිප් හා විලියම් එකඟ කරවා ගැනීම සඳහා කෙනකු යැවීමට තීරණය කළෙමු.

ඒ අනුව එම කාර්යය සඳහා නිමල් කරුණාතිලක මාතලේ මන්ත්‍රිතුමා තෝරා ගන්නා ලදී. ඔහුට භාර වූ කාර්යය වූයේ ඇමැතිවරු දෙදෙන ඒ සඳහා සකස් කරගෙන එළිය වැටීමට පෙර අපට දැනුම්දීමය.
පසුවදා උදෑසනම - කුරුණෑගල සම්මේලනයට පිටත්ව යෑමට - පෙර ශ්‍රාවස්තියේදී මුණගැසීමට එකඟ වී විසිර ගියෙමු.
පසුවදා උදෑසනම නිමල් ආවේ හොඳටම පමා වී මනමාලයකු සේ ආයිත්තම්වෙලාය. ඔහු වාර්තා කළේ 'බණ්ඩා' දේශපාලනය අත්හැරිය යුතුය යන්නයි. එසේ කියා ඔහු නිකම්ම ගියේය. නිමල්ගේ ඒ පිළිතුරෙන් හා ආකල්පයෙන් අපි බොහෝ සේ කම්පා වීමු.
අපි වහාම කුරුණෑගල සම්මේලනය සඳහා පිටත්ව ගියෙමු. එහි ළඟාවන විට උත්සව පෙළහැර පටන්ගෙන තිබිණි.

මාරික්කාර් ඇමැතිතුමා අලියකු පිට නැඟී සිටියේය. අගමැතිතුමාත් කුරුණෑගල මන්ත්‍රි මොන්නෑකුලමත් විවෘත කාරයක සිටගෙන ගියෝය.
‍ෙදාස්තර ඩබ්ලිව්.ඩී. ද සිල්වාත් මමත් එම කාරය පිටුපස ගියෙමු. ඒ දුටු අගමැතිතුමා මටද කාරයට නඟින ලෙස ආරාධනා කළේය.
"අපි ඔබ පස්සෙන් තල්ලුකරගෙන යන්නම්" මම උපහාසයෙන් කීවෙමි. අගමැතිතුමා එය මවාගත් සිනාවකින් ඉවසුවේය.
නගර සභා ශාලාවේදී සභාපති දේශනය ආරම්භ විය. අපට ආරංචි වූ ලෙස ප්‍රගතිගමනට බාධා ඇතිවනසුලු වචන කිහිපයක් අගතිගාමීන්ගේ අත්පොළසන් මධ්‍යයේ ඔහු උච්චාරණය කළේය.
ඇමැති වර්ජනයට ප්‍රකාශිත නායකත්වය දුන් ස්ටැන්ලි සොයිසා ජයග්‍රාහක සිනාවකින් මුහුණ සරසාගෙන මා දෙස හැරී බැලුවේය. මම එය නොදැක්කා සේ සිටියෙමි.

සභාපති කතාව තවත් දුරට කරගෙන යමින් තවත් එවැනි වචන කිහිපයක් පිට කළේය. ඇමැති වර්ජනය පත් මඟින් වර්ජනය කළ ප්‍රසිද්ධ පත්‍ර කලාවේදී මෙනෙවියක්ද උද්දාම බැල්මක් මා වෙත හෙළුවාය.
මට ඉවසුම් නැති කෝපයෙන් බොළඳ වී දියකුටියට යන්නාසේ හඟවා එහි ‍ෙදාරටුව අසල සිටි ඇගේ හිසට මගේ හිස්වැසුම ලා සමච්චලයෙන් ඇගේ හිසකෙස් අවුල් වන සේ ආපසුගෙන මෑත්වීමි.
අගමැතිතුමාගේ ඒ කුරුණෑගල දේශනයෙන් පසු ලංකාවේ දේශපාලන කාලගුණයේ සෑහෙන වෙනසක් ඇතිවිය. රජය කෙරෙහි තිබුණු ප්‍රගතිශීලී ප්‍රසාදය හීනවී ගියේය.
සමාජවාදී රටවල් සමඟ ඇති කරගෙන තිබුණු මිත්‍ර සංගම්වල හිතවතුන්ද, සමානාත්මතා ගමන ඉක්මන් කරවා ගැනීමෙන් නැති බැරිකම් අඩුකරගෙන සහනයක් බලාපොරොත්තු වූවෝද පරාජිත වූ බලවතුන්ගේ පසු මැතිවරණ පළිගැනීම් අලුත්වැඩියා කරගැනීමෙන් පීඩා වින්දෝද එයින් කලකිරීමට පත්වූහ.

මෙතෙක් නව රජයේ ප්‍රගතිශීලී පියවර කෙරෙහි ප්‍රසාදය දක්වමින් සිටි විපක්ෂයේ ප්‍රගතිශීලී පක්ෂද රජය විවේචනය කිරීමට පටන් ගත්හ.
ඒ ජනතා කලකිරීම විප්ලවකාරී සමසමාජ පක්ෂ ඇමැති දෙපළගේ බලතල අඩුකිරීමට ප්‍රතිචාරයක් ලෙස බාරගෙන ඔවුහු වඩාත් දැඩි සිත් ඇති කරගත්හ.
පිලිප් හා විලියම් 1956 මැයි 19 වැනිදා ඇමැති මණ්ඩලයෙන්ද විප්ලවකාරී සමසමාජ පක්ෂය ආණ්ඩුවේ මන්ත්‍රි කණ්ඩායමෙන්ද අස්වූහ. ඒ සමඟම එම දෙදෙන පාර්ලිමේන්තු කණ්ඩායම තුළ තබාගැනීමට අප දැරූ ප්‍රයත්නයද ව්‍යර්ථ විය.

මම බොහෝ සේ කලකිරීමට පත්වීමි. එම නිසා රජයේ වැඩි බරක් තව දුරටත් දැරීමට පවා අකැමැති වීමි. පිලිප් ගුණවර්ධනගේ ඇමැති අංශය මට භාරගැනීමට කළ යෝජනාව ප්‍රතික්ෂේප කළා පමණක් නොව භාරධූර ඇමැති විෂයයක් වූ කම්කරු ඇමැතිකමද නව වාතාවරණය තුළ තවදුරටත් දැරීමට නොහැකි බවද අගමැතිතුමාට දැන්වීමි. අවසානයේදී ස්වදේශ භාර ඇමැතිකමට මම එකඟවීමි.
ඇම්.ඩබ්ලිව්.එච්. ද සිල්වා ද අධිකරණ ඇමැති ධුරයෙන් ජුනි එකළොස්වැනිදා අයින් විය."
"එස්.බී. අද අඳින්න යන්නේ ස්ටැන්ලි සොයිසාගේ චරිතයටද...?"

ඒක නම් කියන්න දන්නේ නැත. එදා ස්ටනැලි එක්ක ඇමැතිවරු 10ක් හිටියා නම් අද එස්.බී. ලා එක්ක විමල් සහ චම්පික ඉවත් කළ යුතුයි කියන තැන ඇමැතිවරු රාශියක් සිටී.
"මහින්ද කන් දෙන්නේ කාටද...?"
කාට කන් දුන්නත් එස්.බී.ලා ඇතුළු ඇමැති කට්ටුව වගේම විමල්ලා චම්පිකලා බලාගෙන ඉන්නේත් මහින්දගේ කනෙන් රිංගන්න වෙලාවක් එනතෙක්ය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු
Read more
මඩත් කමු, මුදලුත් ගෙවමු!.............ඇය බුදු රුව කොටා ගත්තේ කකුලේ නොව අතේය.

පොලිසියේ උඩඟු බූරුවන් කිහිප දෙනකු සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නූගත් මෝඩයන් කිහිප දෙනකු එක්‌වී, සිය දකුණු බාහුවේ බුදුරුවක්‌ පච්ච කොටාගෙන මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්‌ අත්අඩංගුවට ගැනීමෙන් කළ ගොන් ක්‍රියාව දැන් පලදීමට පටන් ගෙන තිබේ. අත්අඩංගුවට පත්වීමෙන් පසු හිරගෙදර රඳවා සිටි දෙදිනක කාලය තුළ බන්ධනාගාර නිලධාරියක ඇයට ලිංගික බලපෑම් කළ බවද බන්ධනාගාර නිලධාරිනියක්‌ රුපියල් 2000 ක අල්ලසක්‌ ලබාගත් බව ද කියමින් ඇය නඩුවක්‌ පවරා තිබේ. එහිදී තමාට වූ කායික හා මානසික හානිය වෙනුවෙන් ඇය රුපියල් කෝටියක වන්දියක්‌
Read more
Tuesday, May 27, 2014
දැන් 'අවම බලයක්' නෑ තියෙන්නෙ 'අවශ්‍ය බලය'

ඉස්කෝලෙන් අයින් වුණාට පස්සෙ මොකක්හරි උද්ඝෝෂණයකට සම්බන්ධ වෙලා තියෙනවද...?
ඇත්තටම මට එහෙම අවස්ථාවක් ලැබුණෙ නෑ.

ඒ ජාතියෙ කිසිම අරගල අත්දැකීමක් නෑ එතකොට...?
නෑ... මාව විශ්වවිද්‍යාලෙට තේරුණාට මම ගියෙ නෑ. පොලිසියට බැඳුණා. ඒක නිසා උද්ඝෝෂණ කරන්න මට අවස්ථාවක් ලැබුණෙ නෑ.

ඔබේ පොලිස් ජීවිතය පටන් ගත්තෙ කොතැනින්ද...?
මම උප පොලිස් පරීක්‍ෂකවරයෙක් විදියට තමයි පොලිසියට බැඳුණෙ.

රාජකාරිමය මට්ටමෙන් උද්ඝෝෂණ මර්දනය කරපු අත්දැකීම් නම් ඇති...?
ඔව්, අනිවාර්යයෙන්ම. ඒවා පාලනය කරන්න, මර්දනය කරන්න මැදිහත් වෙලා තියෙනවා.

උද්ඝෝෂණයක් කරන්න මිනිසුන්ට අයිතියක් තියෙනවනෙ...?
අනිවාර්යයෙන්ම ඔව්.

පොලිසියට ඔවුන්ට ගහන්නත් අයිතියක් තියෙනවද...?
මෙහෙමයි, සාමකාමී උද්ඝෝෂණ කරන්න අයිතියක් තියෙනවා. මාර්ග අවහිර කරගෙන උද්ඝෝෂණ කරන්න කාටවත් බෑ.

ඇත්තටම ඇයි උද්ඝෝෂණවලට මිනිසුන්ටත් කලින් පොලිසිය යන්නෙ...?
අපිට පුළුවන් උද්ඝෝෂණය ඔහේ කරගෙන යන්න කියලා බැරැක්කෙට වෙලා ඉන්න. රටක් පවතිනවද එතකොට. කෝ නීතියක්?

 ඔය සාමකාමී උද්ඝෝෂණ කියන ඉර ගහගන්නෙ කොතැනින්ද...?
සාමකාමී කියන්නෙ තව අයට කරදරයක් නොවෙන්න කියන එක. අයිනකට වෙලා බෝඩ් ලෑල්ලක් උස්සගෙන පිකටින් කරන්න පුළුවන්. එහෙම නැතුව පාරට පැන්න හැටියෙ වාහන බ්ලොක් වෙනවා. ඒක ජනතාවට කරදරයක්.

සාමාන්‍යයෙන් ලංකාවෙ එහෙම උද්ඝෝෂණ කරපුවහම ඉල්ලීම් ඉටුවෙනවද...?
එහෙම උද්ඝෝෂණ කරලත් ඉල්ලීම් ඉටු කරගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි පාරට පැනලා උද්ඝෝෂණ කරන්න දෙන්න බෑ. එහෙම පාරට පැන්නා කියලා ඉල්ලීම් දිනාගන්න පුළුවන්ද කියන එකත් ප්‍රශ්නයක්. ඒක ඒගොල්ලො බලාගන්න ඕනෑ කාරණයක්.

 ඒගොල්ලො කියන්නෙ ආණ්ඩුවද...?
ඔව්.

අවම බලය කියන්නෙ මොකක්ද...?
අවම බලය කියලා නීතිමය සංකල්පයක් දැන් නීතියෙ නෑ. දැන් තියෙන්නෙ අවශ්‍ය බලය කියලා. 1984 අවුරුද්දෙ ලේන් විනිසුරුතුමා දීපු නඩු තීන්දුවකින් තමයි ඕක කිව්වෙ.

 හැබැයි අපේ නීති පොත්වල තවම අවම බලය කියන සංකල්පය තියෙනවනෙ...?
ඔව්. වර්තමාන ලෝකයේ ඒක පිළිගැනෙන්නෙ නෑ. අවශ්‍ය බලය නැත්නම් ඒ වෙලාවට යොදවන්න ඕනෙ බලය කියන එකයි දැන් පිළිගන්නෙ.

 ඒ කියන්නෙ සමහරවිට අවශ්‍ය බලය සමානයි උපරිම බලය වෙන්නත් පුළුවන්...?
නෑ. එතකොට අවශ්‍ය බලය ඉක්මවා යනවනෙ.

පුද්ගලයන්ගේ සහ කණ්ඩායම්වල තරාතිරම අනුවත් මේ රටේ අවශ්‍ය බලයේ සීමාව වෙනස් වෙනවා නේද...?
නෑ. එහෙම වෙන්නෙ නෑ. ඒක තෝරාගන්නෙ එතැනට සහභාගි වන දෙපාර්ශ්වය මත. තනි පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න පොලිස් නිලධාරීන් සීයක් ගිහිල්ලා අවශ්‍ය බලය පාවිච්චි කළා කිව්වට මිනිස්සු පිළිගන්නෙ නෑනෙ.

හරියට හරි. එතකොට මිනිස්සු පිළිගන්නෙ මොනවද...?
මිනිස්සු තුන්සීයක්-හාරසීයක් ඉන්න තැනකට නිලධාරීන් දහ දෙනෙක් ගියොත්, එතැන ඒගොල්ලන්ගෙ බලය වැඩියි. ඒත් සැකකරුවා දාලා එන්නද කියන්නෙ.

එතකොට සම සෞඛ්‍ය ශිෂ්‍යයන්ට පහර දීම ඔය දෙකෙන් කොයි එකටද අයිති...?
ඒගොල්ලො විශාල පිරිසක් බස් එකේ හිටියා. අපිට අවශ්‍ය සැකකාරයා ගන්න ගිය වෙලාවෙ ඒකට ඉඩ දෙන්නෙ නැත්නම් පොලිසිය නිකම්ම ආපහු යන්න ඕනෙද?

යුනිෆෝම් නිලධාරීන් නෙවෙයි එතැනට ගියෙ...?
නෑ. යුනිෆෝම් අයත් හිටියා. සිවිල් අයත් හිටියා.

ඒක බොරුවක්...?
ඇත්ත. කොහොමටත් යුනිෆෝම් නැතත් අයිඩෙන්ටි එක පෙන්නලා අත්අඩංගුවට ගන්න පොලිසියට පුළුවන්.

 ඒ සිවිල් නිලධාරීන් පෙන්නපු වරෙන්තුව තිබුණෙ වීරකැටිය පැත්තෙ වෙනත් කෙනකුගෙ නමට, මම හරිනෙ...?
වරෙන්තුවක් අවශ්‍ය වෙන්නෙ නෑ, අධිකරණ නියෝග පැහැර හැරපු කෙනෙක් අත්අඩංගුවට ගන්න.

එතකොට ශිෂ්‍යයන්ට පෙන්නුවා කියන වරෙන්තුව...?
ඒක කලින් සිද්ධියක්.

 නෑ. මේ සිද්ධියෙදි වැරැදි වරෙන්තුවක් පෙන්නලා තියෙනවා...?
මට ඒක හරියටම කියන්න බෑ. පොලිසියෙන් මට ආරංචි වුණු විදියට ඔය පුද්ගලයා අත්අඩංගුවට ගන්න ගියා. ඔහුට වරෙන්තුවක් තිබුණෙ නෑ. එහෙම අවශ්‍යත් නෑ.

 ඒ කතාව බොරු කියලා තහවුරු කරන්න පුළුවන්ද...?
මට ආරංචියි නමේ යම් ප්‍රශ්නයක් තිබුණා කියලා. ඒත් ඡායාරූපයකින් පොලිසිය ඔහුව අඳුරගෙන තියෙනවා.

ඊට පස්සෙ පොලිසිය ඉස්සරහට ගෙනාපු සරසවි සිසුන්ට ගැහුවා...?
පොලිසිය ඉස්සරහදි එයාව ගන්න දුන්නෙ නෑ, ඒගොල්ලො තල්ලු කළා. එතැනදි ඔය ඇහැට වදින්න ඇති. ඒ ගැන දැන් අපි විමර්ශනයක් කරගෙන යනවා.

ශිෂ්‍යයන්ට ගහපු ඔක්කොම සිවිල් ඇඳුමින් හිටියෙ...?
ඔව්.

 ඒක පිළිගන්නවා...?
එතැන යුනිෆෝම් අයත් හිටියා. සිවිල් අයත් හිටියා.

ගැහුවෙ සිවිල් කට්ටිය, සමහරවිට ඔවුන් පොලිසියෙ නොවෙන්නත් පුළුවන්...?
ගහපු කතාවක් මෙතැන නෑ. තමන් පොලිසියෙන් කියලා හැඳුනුම්පත් පෙන්නලා කිව්වට පස්සෙත් මෙයාව ගන්න දුන්නෙ නෑ. ඒක නිසා බලය පාවිච්චි කිරීමක් කළා.

තේරෙන භාෂාවෙන් කිව්වොත් පොලිසිය ඉස්සරහදි ගැහුවා...?
නෑ. ගහනවා කියන එකයි බලය පාවිච්චි කරනවා කියන එකයි දෙකක්නෙ.

බලය පාවිච්චි කරනකොටත් ඇස් එළියට පනිනවාද...?
තමුන්ට යම් ප්‍රහාරයක් එල්ල කරනකොට ඒකට ප්‍රතිරෝධය පෑම තමයි බලය පාවිච්චි කිරීම කියන්නෙ. ගහනවා කියන්නෙ එහෙම නෙවෙයිනෙ.

එතකොට පොලිසිය මිනිසුන්ට ගහන්නෙම නැද්ද...?
ගහපු අවස්ථා තියෙනවා. නමුත් මෙතැනදි බලය පාවිච්චි කිරීමක් කළා විතරයි.

 ඒ කියන්නෙ ශිෂ්‍යයො තමයි වැරැදිකාරයො, මුලින් ගහලා තියෙන්නෙ ඒ පැත්තෙන්...?
එහෙම තමයි සිද්ධිය ඇතිවෙලා තියෙන්නෙ.

හැබැයි ශිෂ්‍යයන්ගෙ ඇස් එළියට පැන්නට, ඔය විදියට ගුටි කාපු පොලිසියෙ අයගෙ ඇස් හොඳට තියෙනවා නේද...?
ඔය සිද්ධිය ගැන කරන විමර්ශනයෙන් පස්සෙ තමයි හරියටම ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්.

ඔය සිද්ධිය පටන් ගත්ත අය දැන් හඳුනාගෙන ඇති එහෙනම්...?
ඒ ගැන ස්වාධීන පරීක්‍ෂණයක් කරගෙන යනවා. එතැනදි පොලිසිය පැත්තෙන් බලය වැඩිපුර පාවිච්චි කිරීමක් වෙලා තියෙනව නම් අපි ඒකට එරෙහිව පියවර ගන්නවා.

 'අපිට අට පාස් කියපු නිසා ගැහුවා' කියලා පොලිසිය මහෙස්ත්‍රාත්වරයා ඉස්සරහ කිව්වලු නේද...?
මම නම් දන්නෙ නෑ ඒක. පොලිස් සටහන්වල තියෙන්නෙ බලය පාවිච්චි කිරීමක් කියලා.

 ඇයි ඔය ගැහුවා කියන වචනෙ පාවිච්චි කරන්න බැරි...?
ඒකට මම එකඟ නෑ. නීතියෙ තියෙන වචනෙ කියන්න එපැයි.

එතකොට ඔය 'බොදු බල සේනා, රාවණා බලය' වගේ සංවිධානවල උද්ඝෝෂණ, ආණ්ඩුව ජිනීවා යෝජනාවට එරෙහිව කරපු උද්ඝෝෂණවලදි බලය පාවිච්චි කළේ නැත්තෙ ඇයි, ඒවයෙදි ජනතාවට කිසිම පීඩාවක් වෙන්න නැතුව ඇති...?
මෙහෙමයි, කොහෙදිවත් පොලිසිය සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න ගියහම ඒකට මේ විදියට බාධා කළේ නෑ මෑතකදි. පොලිසියට එහෙම බාධා කරපු තැන්වලදි අපි ඔවුන්ව අත්අඩංගුවට අරන් තියෙනවා.

මම අහන්නෙ ඒ උද්ඝෝෂණවලදි ජනතාවට බාධා වුණේ නැද්ද කියලයි...?
ඒ වුණාට ඒවා පැය හයකට ඉස්සරවෙලා පොලිසියට දැනුම් දීලා අවසර අරගෙන, පාරෙ තනි ලේන් එකක් පාවිච්චි කරලා
ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරන්න බලපත්‍ර අරගෙනයි කළේ. මේවා එහෙම කරන උද්ඝෝෂණ නෙවෙයිනෙ. අධිකරණයෙන් තහනම් නියෝග දීපුවා.

ශිෂ්‍යයො එතකොට එහෙම අවසර ගත්තෙම නැද්ද...?
මෑත කාලෙ එහෙම අවසර අරගෙන උද්ඝෝෂණ කරපුවා අපි දැකලා නෑ.

 ඒ කියන්නේ ශිෂ්‍යයො හැම වෙලාවෙම උද්ඝෝෂණ කරලා තියෙන්නෙ නීතියට පටහැනිව...?
මට එහෙම කියන්න බෑ. මෑතකාලීනව ප්‍රශ්න ඇතිවුණේ ඒ වගේ නීතිය කඩකරපු තැන්වලදී.

 ආණ්ඩුව කරපු හැම උද්ඝෝෂණයම ඔය නීතිමය ප්‍රතිපාදනවලට යටත්වද කළේ...?
ඔව්, ජිනීවා උද්ඝෝෂණ කළේ නම් එහෙම තමයි.

එතකොට පොලිසියෙන් අවසර ගත්තහම මහජන පීඩාව කියන එක අදාළ නැති වෙනවා...?
මෙහෙමයි, ටවුන් හෝල්වල ඉඳලා කොල්ලුපිටියට යනකම් පාරවල් වහන්න වෙනකොට ඇතිවන මහජන පීඩාවයි, කොහෙහරි තානාපති කාර්යාලයක් ඉස්සරහා උද්ඝෝෂණයක් කරනකොට ඇති වන මහජන පීඩාවයි දෙකක්නෙ.

ආණ්ඩුවෙ ඇතැම් ඇමැතිවරු මෙහෙයවපු සමහර උද්ඝෝෂණත් කොළඹ වටේ ගියානෙ....?
ඒවා බොහෝ විට අවසර අරගෙන කරපු උද්ඝෝෂණ. අවසර අරගෙන කෙනකුට උද්ඝෝෂණයක් කරන්න පුළුවන්.

 වධහිංසා සම්මුතිය සහ 1994 අංක 22 දරන වධහිංසා පනත පොලිසි ඇතුළෙ හරියට ක්‍රියාත්මක වෙනවද...?
දැන් මේ පනත ඇවිල්ලා අවුරුදු විස්සක් වෙනවා. ඒ වුණාට මේ තාක් පොලිස් නිලධාරීන් පස් දෙනෙක්වත් ඒ පනත යටතේ නඩු පවරලා, වැරැදිකාරයො වෙලා නෑ. ඒ පනත හොඳින් ක්‍රියාත්මක වෙනවා කියන එකයි ඒකෙන් කියන්නෙ.

 එතකොට ඇයි මේ ආයුධ පෙන්නන්න යන සැකකරුවො මැරෙන්නෙ...?
ඕක එක... එක්කෙනාට ඕනෙ විදියකට අර්ථකථනය කරන්න පුළුවන්. සමහර ඒවා දියේ ගිලිලා මිය ගිහින්. නැත්නම් පොලිසියට අත්බෝම්බයක් ගහන්න ගියපු අවස්ථා. මේ හැම එකක්ම අධිකරණය මඟින් සාධාරණ යුක්ති සහගත මනුෂ්‍ය ඝාතනයක් කියල තීරණය කරලා තියෙනවා. ආයෙ බලන්න දෙයක් නෑනෙ.

කැටයම් චින්තකවත් එහෙමද...?
ඔව්,

ඔය මොනවා කිව්වත් අදාළ පොලිසියේ ස්ථානාධිපතිවරයාට මේ සැකකරුවන්ගෙ ජීවිත ගැන නීතිමය වගකීමක් තියෙනවා...?
ඒ වගකීමෙ මොනවා තිබුණත් මාංචු දාලා තිබුණද නැද්ද කියලා තර්ක තිබුණත් අධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. අධිකරණය මේ තීන්දුව දෙන්නෙ ඔය කරුණු සියල්ල කිරලා මැනලා.

ස්ථානාධිපති වගකියන්න ඕනෙද නැද්ද...?
අධිකරණය ඒක කියන්න ඕනනෙ එහෙනම්.

 ඔය සැකකරුවො ආයුධ පෙන්නන්න එක්ක යන්නෙ මාංචු දාලනෙ?
ඔව්.

මෙච්චර සිද්ධි වෙලා තියෙන හින්දා ඊළඟ පාරවත් පොලිසියට සැකකාරයට දැඩි ආරක්‍ෂාවක් දෙන්න වෙයි, හංගලා තියෙන බෝම්බ ගන්න බැරිවෙන විදියට...?
ඒවා ගැන බලලා, හිතලා තමයි පොලිසිය කටයුතු කරන්නෙ. මේ රටේ නමගිය මංකොල්ලකාරයො. උන් එහෙම තමයි, මරාගෙන මැරෙන්න ඉන්නෙ. පොලිසිය අවශ්‍ය පියවර අරන් තියෙන්නෙ.

 අධිකරණයෙ තීරණය පැත්තකින් තියලා අපි මහපොළොවෙ ඉඳගෙන මේක ගැන කතා කරමු...?
නෑ. අධිකරණයෙ තීරණය තමයි අවසාන තීරණය, වෙන කාටවත් ඒ ගැන තීරණ ගන්න බෑ.

ඒ කියන්නෙ පොලිසියට වඩා අපරාධකාරයො කොච්චර දක්‍ෂද නේද...?
ඒකත් තීරණය කරන්න ඕනෙ අධිකරණය. අධිකරණය තමයි තීරණය කරන්නෙ මෙතැනදී පොලිසියෙ අඩුපාඩුවක් තිබුණද, නැද්ද කියලා.

මාංචු දාගෙන ඉන්න අයට හංගපු බෝම්බ අරන් ගහන්න පුළුවන්, මාංචු දාගෙන ඉන්න අය ගිලිලා මැරෙනවා කියලා දැන - දැන වතුරට පනිනවා. මේක පුදුම රටක්...?
අධිකරණය පිළිඅරන් තියෙනවා. එහෙම කරන්න පුළුවන් කියලා. මට ඕනෙ නම් ඒ තීන්දුත් පෙන්නන්න පුළුවන්.

ශාලික විමලසේන
Read more
Monday, May 26, 2014
විමල්ගේ කැරැල්ල යන්නේ කොහිද?

කේ. ඩබ්ලිව්. ජනරංජන
කේ. ඩබ්ලිව්. ජනරංජන
කේ. ඩබ්ලිව්. ජනරංජන
කේ. ඩබ්ලිව්. ජනරංජන
කේ. ඩබ්ලිව්. ජනරංජන
 --- කේ. ඩබ්ලිව්. ජනරංජන
මැයි 21වැනිදා සවස පැවැති ආණ්ඩුවට එරෙහි විශ්වාස  භංග යෝජනාව පිළිබඳ ඡුන්ද විමසීමේදී ඇමති විමල්  වීරවංශගේ හා චම්පික රණවකගේ ආණ්ඩු විරෝධය නැවතත් තහවුරු විය. ඇමතිවරුන් දෙදෙනාගේ පක්‍ෂ දෙකෙහි විසම්මුතිකයන් වන එල්ලාවල මේධානන්ද හිමි හා අචල ජාගොඩ ආණ්ඩුව සමග එක්ව ඡුන්දය දුන් නමුත් ඇමතිවරු දෙදෙනා ඡුන්දය දීමෙන් වැළකී සිටියහ. ‘කැසිනෝවලට විරුද්ධ නමුත් ආණ්ඩුව කඩාවැටෙන නිසා හෝ එජාපය ගෙනෙන නිසා හෝ විශ්වාස භංගයට විරුද්ධ වෙනවා’ වැනි ඇමති වාසුදේව නානායක්කාර පන්නයේ
Read more
Sunday, May 25, 2014
ඇත්තටම මේ මෝදි මොන වගේ මිනිහෙක්‌ද?

වීරයා:          ස්‌වාමි විවේකානන්
අදහන්නේ:   කාලි මාතාව
ලග්නය:       වෘශ්චික
නිතරම: 1    හිස පීරනවා
නිතරම: 2    කණ්‌ණාඩියෙන් බලනවා
යාළුවෝ:      විශේෂ කවුරුත් නෑ

මෝදිගේ සම්පූර්ණ නම නරේන්ද්‍ර ද මෝදර් දාස්‌ මුල්චාන්ද් මෝදිය. මෝගල් අධිරාජ්‍යයකු වන අක්‌බාර් දුර්බාර්ගේ පාලනයට යටත්ව පැවැති ගුජරාටි ප්‍රාන්තයේ වද්නගර් මෝදිගේ උපන් ගමය.

හින්දු සහ බෞද්ධාගම මිශ්‍රව පවතින වද්නගර් භාරතයේ ජනප්‍රිය ගායක යුවළක්‌ වූ දුමිතානා සහ රිරීගේ උපන් ගමද වේ. මෝදි උපන්නේ 1950 සැප්තැම්බර් 17 වැනිදාය. ඔහුට සහෝදරයන් හතරදෙනකු සහ සහෝදරියක සිටී. මෝදි විවාහ වූයේ ජසෝදබෙන් චන්මෙන්ලාල් සමඟය. නමුත් ඔවුන් විවාහයෙන් පසු වෙන්විය.

මෝදි ඉතා පිරිසිදුව පිළිවෙළට ඇඳුම් ඇඳීමට ප්‍රිය කරන්නෙකි. තැලුණු පොඩිවුණු ඇඳුම් ඇඳීමට ඔහු අකමැතිය.

ඉතා දිළිඳු පවුලක උපන් මෝදි තරුණ වියේදී තම ඇඳුම් මැදගැනීම සිදුකළේ පිත්තල සෙම්බුවකට උණු වතුර පුරවා එහි උණුසුමිනි.

මෝදි ලස්‌සනට ඇඳුම් ඇඳීමට කොතරම් ප්‍රිය කරන්නේ ද කියා වටහාගත හැක්‌කේ ගෙවුණු වසර දෙක තුළ ඔහු සියයකට අධික කුර්තා ප්‍රමාණයක්‌ මිලදී ගෙන තිබීමෙනි. ඔහු මහජනයා අතරට යන්නට පෙර තමා අඳින්නේ කුමන වර්ගයේ කුර්තාවක්‌ ද එහි වර්ණය කුමක්‌ විය යුතුද කියා විමසිලිමත් වේ. මෝදි අත් ඔරලෝසු පැළඳීමට සහ සෙරෙප්පුවලට ඉතා ප්‍රියකරන්නෙකි.

ඔහු ඉතා පිරිසිදුව සිටීමට පමණක්‌ නොව තමා ජීවත්වන නිවස හා අවට පරිසරය ද පවිත්‍රව තබාගැනීමට මහත් උනන්දුවක්‌ දක්‌වන්නෙකි. ඔහු තමා පරිහරණය කරන මේසය ඉතා පිරිසිදුව සහ පිළිවෙළකට තබාගැනීමට උත්සාහ ගනී.

මෝදි ප්‍රසිද්ධ දේශනයක්‌ පැවැත්වීමේදී දර්ශන තිර භාවිත කිරීමට ඉතා කැමැතිය. එමගින් තොරතුරු සහ වාර්තා ඉදිරිපත් කරමින් පැහැදිලි කරදීම්වලට ඔහුට ප්‍රිය කරයි.

ඔහු මුදල් වංචාවට අකමැතිය. වැය කරන සෑම මුදලක්‌ම නිසි ආර්ථික වටිනාකමක්‌ සහිත විය යුතු බව සිතයි.

මෝදි වැඩි වේලාවක්‌ සිටගෙන සිටින විට ඔහුගේ කොඳුඇටපෙළ පෙදෙසේ වේදනාවක්‌ මතුවේ. දෙපා ඉදිමුමට ලක්‌වේ. බටහිර පන්නයට අකමැති වුවත් ඔහු බටහිර අත් ඔරලෝසු කෙරෙහි දැඩි ගිජුකමක්‌ දක්‌වයි.

මෝදිට හොඳින් ඉංග්‍රීසි දැනුම ඇත. නමුත් චතුර ලෙස කතා කළ නොහැකිය. දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකි. වෘශ්චික ලග්නය හිමි මෝදිට 2014 සැප්තැම්බර් වනතුරු රාහු අන්තර් දශාවේ පවතී. එය ඔහුගේ දේශපාලන දිවියට යහපත්ය. සෑම වසරකම නව රාත්‍රි උත්සවයේ දින නමයම චාරිත්‍රානුකූලව ගතකරන මෝදි එම දිනවල ආහාරයට ගන්නේ පලතුරු පමණි.

මෝදි කාලි මාතාව කෙරෙහි දැඩි භක්‌තියකින් පසු වේ.

රුපියල් කෝටි 70 ක්‌ වැයකර කාලි මාතාව වෙනුවෙන් ගබ්බාර් කඳුවැටියේ "ශක්‌තිපීත්" ආශ්‍රමයක්‌ ඉදිකර ඇත.

සෑම උදෑසනකම මෝදි අන්තර්ජාලය සමඟ සම්බන්ධ වෙමින් තමා වෙත එවා ඇති අන්තර්ජාල පණිවුඩ විමසා බැලීමට හුරුව සිටී.

මෝදි තීන්දු තීරණ ගැනීමේදී සෘජු බවක්‌ දක්‌වයි. තමා විසින් තීන්දු ගැනීම මිස අන් අයගේ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට ප්‍රිය නොකරයි. මෝදිට විශ්වාසවන්ත සමීප යාළුවෙක්‌ නැත. ඔහු හුදකලා දිවියක්‌ ගෙවයි. තම ආරක්‍ෂකයන් ගැන දැඩි අවධානයක්‌ දක්‌වයි.

රාජකාරියටම කැප වූ මෝදි සිය රාජකාරි කටයුතු ආරම්භ කරන්නේ පෙරවරු 7.00 ටය. රාත්‍රි 10 පමණ වනතුරු රාජකාරි කටයුතුවල නිරත වේ. මෝදි කණ්‌ණාඩිය ඉදිරිපිට වැඩි වේලාවක්‌ ගතකරමින් තම සිරුර ගැන වෙහෙසේ. එහිදී ඔහු නිරූපණ ශිල්පියකු මෙන් හැසිරේ. කාර්යාලයෙන් පිටත යැමට පෙර කණ්‌ණාඩිය ඉදිරියට ගොස්‌ තම ඇඳුම් පැළඳුම් ගැන විමසා බලයි.

වසර කිහිපයක සිට මෝදි ඉතා තද වර්ණ ඇඳුම් පැළඳුම් භාවිතයට යොමුවී ඇත. ඔහුගේ සාක්‌කුවේ නිතරම පනාවක්‌ තිබේ. තම මෝටර් රථයේ විවිධ වර්ණයන්ගෙන් යුත් සාටක ඇත. ජනතාව ඉදිරියට යැමේදී එම අවස්‌ථාවට ගැලපෙන සාටකයක්‌ පැළඳ හොඳින් කොණ්‌ඩය පීරා මෝටර් රථයෙන් පිටතට පැමිණේ.

මෝදි නිදාගන්නේ පැය පහකට අඩු කාලයකි. ඔහු නින්දට ගියේ කුමන වේලාවක වුව අලුයම 5.00 හෝ 5.30 වන විට අවදි වේ. මෝදි කවි ලිවීමට දක්‍ෂය. නමුත් එම කවි ගුණාත්මක බවින් අඩුය. මෝදිගේ වීරවරයා ස්‌වාමි විවේකානන්දය.

මෙලෙස ඉන්දීය නව අගමැතිවරයාගේ ගතිගුණ සහ දින චර්යාව ගැන තොරතුරු පළවුවත් කෝටි සියයකට අධික ජනගහනයක්‌ පාලනය කිරීමේ වගකීම අද (26 වැනිදා) සිට සිය දෑතට පවරා ගත් පසු මෙම චර්යාවන් සහ ගතිගුණ නොවෙනස්‌ව පවතීදැයි කියා අනාවැකි පළ කළ නොහැකිය.

නරේන්ද්‍ර මෝදි යනු ඉතා දුප්පත් පවුලක උපත ලැබුවෙකි. පදික වේදිකාවේ තේ කොළ විකුණමින් ද ආපනශාලාවල තේ සකසමින් ද මුදල් උපයාගෙන අරමුදලක්‌ ආරම්භ කළ මෝදි තමා ඉගෙනුම ලැබූ අහමබාද් විදුහල වටා තාප්පයක්‌ ඉදිකළේය. එවිට ඔහුගේ වයස අවුරුදු 20 කි. අද ඔහුගේ වයස අවුරුදු 64 කි. එනිසා නරේන්ද්‍ර මෝදි යනු අරමුණුවලින් පොහොසත් අධිෂ්ඨානශීලී තමා උපන් රටට අසීමිතව ආදරය කරන පුද්ගලයෙකි.

උපාලි ද සේරම්
Read more
ගින්දර සහ ජලය ............'අපි වෙඩි තියන්න ලෑස්තියි...'  ආරක්‍ෂක ප්‍රධානීහු කීහ. ජේ.ආර්. 'හ්ම්' කීවා විතරය.

ජේ.ආර්. ජනාධිපති කාලයේ ජේ.ආර්.ගේ මේසය උඩට යන රහස් ඔත්තු සේවා වාර්තාවල නිතරම සඳහන් නමක් තිබුණා. ඒ මාදුළුවාවේ සෝභිත හිමි...'

මේ කතාව හිටපු පොලිස් ප්‍රධානියකු කීවේ ජ.වි.පෙ. සහ සෝභිත හිමි අතර ඉදිරි ජනාධිපතිවරණය සහ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධව පසුගිය සතියේ පැවැති සාකච්ඡාව ගැන පළ වූ පුවත් දැකලාය.

'ජේ.ආර්. ඉන්දු - ලංකා ගිවිසුම අස්සන් කරන්න හදන කොට නාරාහේන්පිට අභයරාමයේ තිබුණු රැස්වීම ගැන ආරංචි වුණාම ජේ.ආර්.ට හොඳටම කේන්ති ගියා...'

ඔහු කීවේය. නාරාහේන්පිට අභයරාමයේ රැස්වීම පවත්වන්න විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් අවසරය ලබා ගන්න සෝභිත හිමියෝ විශාල වැඩකොටසක් කළහ. එයට කලින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ හෙද වැඩවර්ජනය සාර්ථක කරගන්න සෝභිත හිමි ලොකු කාර්යභාරයක් කර තිබිණි. 1980 වැඩවර්ජනයෙන් ජේ.ආර්.ගේ ආණ්ඩුව වෘත්තීය සමිතිවල කොන්ද කැඩුවාට පසු ජේ.ආර්.ගේ ආණ්ඩුව දණ ගස්වපු වැඩවර්ජනයක් දියත් වූවා නම් ඒ හෙද වැඩවර්ජනයය. හෙද වැඩවර්ජනයට සහාය පතා හාමුදුරුවරුන් උපවාසයක් දියත් කළ වෙලාවේ ජේ.ආර්. එවකට විපක්‍ෂයේ විරෝධතා ම¾ඩින්න පාවිච්චි කළ පොලිස් නිලධාරී ගෆූර්ව ගෙන්වා උපවාසය නතර කර දෙන ලෙසට නියෝග කළේය. ගෆූර් උපවාසයේ යෙදී සිටි හිමිවරුන් පැහැරගෙන ගොස් බොරැල්ලේ කනත්තට දැම්මේය. මේ සිද්ධිය ආරංචිවූ විගස සෝභිත හිමියන් අති විශාල ජනකායක් කොළඹට රැස් කළේ ජේ.ආර්. මුළු කොළඹම මාර්ග බාධක දමා කැරැලි මර්දන බළඇණි දමා අවහිර කර තිබියදීය.

'මේවා කඩාගෙන තමුන්නාන්සේලා මාත් එක්ක ජනාධිපතිතුමාගේ ගෙදරට පෙළපාළියකින් යන්න ලෑස්තිද...?'
සෝභිත හිමියෝ මහජනතාවගෙන් ඇසූහ.

'ඔව්. අපි ලෑස්තියි...'
ජනතාව එක හ¾ඩින් කීහ. සෝභිත හිමි පෙරටු කර ගත් ජනතාව වෝඩ් පෙදෙසේ ජේ.ආර්.ගේ බි්‍රමාර් නිවෙස වැටලූය. ජේ.ආර්. බය වී හෙද ඉල්ලීම් ඉටු කළේය. 1987දී ජේ.ආර්. මැයි පෙළපාළි තහනම් කළ විට සෝභිත හිමියෝ අභයරාමයේ මැයි රැලියක් සංවිධානය කළහ. එයට මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ගේ ආශීර්වාදය ලැබුණි. රැලිය ගැන ආරංචි වූ විට ජේ.ආර්. ආරක්‍ෂක ප්‍රධානීන් කැඳවීය.

'අපි වෙඩි තියන්න ලෑස්තියි...'

ආරක්‍ෂක ප්‍රධානීහු කීහ. ජේ.ආර්. 'හ්ම්' කීවා විතරය. පොලිසිය පන්සල වටකොට වෙඩි තියද්දී සෝභිත හිමියෝ පොලිසියේ තුවක්කු කටකට පපුව තියා 'මාව මරපල්ලා අහිංසකයන් මරන්න එපා' කීහ. පොලිසිය සෝභිත හිමිගේ හඬට අවනත විය. හැබැයි ඒ වෙනකොටත් දෙදෙනකු ඝාතනය කොට තිබිණි.

සෝභිත හිමිගේත් මුරුත්තෙට්ටුවේ හිමිගේත් සටන් ඉතිහාසය එ් වගේය. ඒ ඉතිහාසයෙන් පන්නරය ලද සෝභිත හිමියෝ 1987දී ඉන්දු - ලංකා ගිවිසුම අස්සන් කරන්න යන වේලාවේ යකඩයක් මෙන් රත්වී සිටියහ. සෝභිත හිමි කැඳවූ අභයාරාමයේ රැස්වීමට දේශපාලනඥයකු ලෙස සහභාගි වූයේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රි විතරය.

'මේ වේලාවේ රට ජාතිය බේරා ගන්න නම් අපි සංඝ සභාවක් කැඳවමු...'
සභාවෙන් යෝජනාවක් ආවේය. යෝජනාව සෝභිත හිමියෝ අනුමත කළහ.
'සංඝ සභාව කැඳවන්න තැනක් හොයා ගන්නේ කොහොමද...?'

හැමෝම ප්‍රශ්න කළහ.
'ගිහින් මහබෝධියේ සභාපති හමුවෙලා මාලිගාකන්දේ අග්‍රශ්‍රාවක මහා විහාරයේ තියන්න අවසර ගන්න...'
සෝභිත හිමියෝ උපදෙස් දුන්හ. ඒ වෙලාවේ ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ ගාමිණී ජයසූරිය හිටියේ ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිවය.
'මම අවසර දෙන්නම්. ඊට කලින් ම¾ඩිහේ පඤ්ඤාසීහ නායක හාමුදුරුවන්ගේ උපදෙස් ගන්න...'
ගාමිණී ජයසූරිය කීවේය.
'මමත් සංඝ සභාවට වඩිනවා. රටේ හැම තැනින්ම හාමුදුරුවරු ගෙන්වන්න...'

හාමුදුරුවෝ කීහ. එතැනදිම පඤ්ඤාසීහ හාමුදුරුවෝ අස්ගිරි මහා නායක හාමුදුරුවන්ට දුරකතනයෙන් කතා කළහ. පඤ්ඤාසීහ හාමුදුරුවෝ අස්ගිරි හාමුදුරුවන්ට සංඝ සභාවට වඩින ලෙස ඉල්ලීමක් කළහ. ඊළඟ ප්‍රශ්නය වූයේ රටේ හැම තැනින්ම වැඩම කරන හාමුදුරුවරුන්ට නවාතැන් දෙන්නේ කෙසේද කියන ප්‍රශ්නයය. සෝභිත හිමි කැලණිය පිරිවෙනේ නවාතැන් සලසා ගන්නට මැදගොඩ සුමනතිස්ස හාමුදුරුවන්ගේ උදවු පැතීය. හාමුදුරුවෝ 10,000කට පමණ කැලණිය පිරිවෙනේ නවාතැන් දෙන්න පොරොන්දු වූහ.

'සංඝ සම්මේලනය කැලණිය පිරිවෙනේ තියමු. පහුවදාම මාලිගාකන්දේ ඉඳල කොටුවට පෙළපාළියෙන් ගිහින් සත්‍යග්‍රහ කරමු...'

සෝභිත හිමියෝ කීහ. කැලණිය පිරිවෙනේ සංඝ සභාවට 10,000ක පමණ හාමුදුරුවරුද අතිවිශාල ජනකායක්ද ආහ. අස්ගිරි නාහිමි මුලසුන දැරීය. මඩිහේ පඤ්ඤාසීහ හිමිද සහභාගි විය. නුවර පාරේ මහ ජනගඟක් ගලද්දී ශ්‍රී .ල.නි.ප. නායිකා බණ්ඩාරනායක මැතිනිය සහ අනුරද එයට සහභාගි වූයේ සෝභිත හිමි ඇතුළු සංවිධායකයන් මවිත කරවමින්ය. මන්ද සංඝ සභාවට සහභාගි වෙන්න පොරොන්දු වී සිටියේ දේශපාලනඥයකු ලෙස දිනේෂ් පමණය. ජේ.ආර්. ගම්පහ ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියකු වූ ඩග්ලස් පීරිස්ව ජනතාව පාලනය කරන්න යැව්වත් එය සාර්ථක නොවීය.

පසු දින කොටුවේ සත්‍යග්‍රහයට මහා ජන ගඟක් ආවේ සෝභිත හිමි පිරිවරාගෙනය. ජ.වි.පෙ. ඔළුව ඉස්සුවේ ඒ මහා සත්‍යග්‍රහයෙන්ය.
'සෝභිත හිමි නායකත්වය දුන්නාට කැලණියේ සංඝ සභාව පිටුපස ඉන්නෙ ජ.වි.පෙ....'

රහස් ඔත්තු සේවා ජේ.ආර්.ට වාර්තා කළේ එසේය. පසුදින කොටුවේ සත්‍යග්‍රහයෙන් ජේ.ආර්. පමණක් නොව රජීව් සහ ඉන්දියාවද හෙල්ලුනි.
'වහාම සෝභිත හිමි අත්අඩංගුවට ගන්න...

ජේ.ආර්. නියෝග කළේය. හදිසි නීති රෙගුලාසි යටතේ සෝභිත හිමි අත්අඩංගුවට ගන්න පොලිස් බළඇණි ඇවිත් පන්සල වට කළේ 1987 අගෝස්තු පළමුවැනි දිනය. ඒ වෙනකොටත් පන්සලට ආ දහස් ගණන් ජනතාව පොලිසියට පන්සල ඇතුළට එන්න ඉඩ නොදී මඟ අහුරා සිටියහ.

'මට ඉඩ දෙන්න...'
ටික වේලාවකින් පන්සල ඇතුළින් අයෝමය දේහධාරී සෝභිත හිමි ආවේ ජනතාව මැදින්ය.

'මම හිරගෙට නෙවේ මැරෙන්න වුණත් යන්න සූදානම්...'
සෝභිත හිමි එලෙස කියා පොලිස් ජීප් රථයට නැග්ගේය. සෝභිත හිමියෝ හරියට මාසයක් පොලිස් අත්අඩංගුවේ සිටියහ. ඒ කාලය තුළ රට ගිනි ගෙන තිබිණි.

'මේ පරණ කතාවයි. මෙදා ජ.වි.පෙ.යි සෝභිත හිමි හමුවයි අතර සම්බන්ධතාව මොකක්ද...?'
කවුරුන් හෝ අසන්නට පුළුවන.

'කඩුව හදන කොට මුවහත් කරන්න ගින්දරයි වතුරයි දෙකම ඕනෑ. සෝභිත හිමියි ජ.වි.පෙ.යි කියන්නේ ගින්දරයි වතුරයි වගේ...'
මේ 1987 කොටුවේ බෝධිය අබියස සත්‍යග්‍රහය ඇසින් දුටු සාක්‍ෂිකරුවකුගේ වචනය.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු.
Read more
ඇයට යකඩ ගැහැණිය කිව්වේ ඇයි ?  ( 2013 අප්‍රේල් 8 ජිවිතයෙන් සමුගැනීම)

1925 වසරේ ඔක්‌තෝම්බර් විසි පස්‌ වෙනි දින බ්‍රිතාන්‍යයේ ලින්කෂයර් ප්‍රාන්තයේ ග්‍රැන්තම් ග්‍රාමයේ උපත ලද ඇය මාග්‍රට්‌ හිල්ඩා තැචර් නම් වූවාය. ඇයගේ පියා ඇල්ප්‍රඩ් රොබට්‌ නම් වූ සුළු ව්‍යාපාරිකයෙක්‌ විය. බාලේ පටන්ම මාග්‍රට්‌ වෙතින් ඉගෙනුම වෙනුවෙන් වූ හැකියාවන් ප්‍රදර්ශනය විය. ඇය මූලික අධ්‍යාපනය ලැබුවේ ග්‍රැන්තම්හි Huntingtower පාසලෙන් වූ අතර ද්විතියික අධ්‍යාපනය වෙනුවෙන් කෙස්‌ටවින්හි ග්‍රැන්තම් බාලිකා පාසලට ඇතුළු වූවාය. සරසවිය දෝතින්ම රැගත්
Read more
Saturday, May 24, 2014
13 නොදුන්නොත් මෝදි නවතින්නේ පෙඩරල් විසඳුමකින්!..--- දයාන් ජයතිලක

- ජිනිවා නුවර එක්‌සත් ජාතින්ගේ හිටපු ශ්‍රි ලංකා
තනාපති සහ නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක


ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදි චීනය සහ ඇමෙරිකාව සමඟ නව සබඳතාවකට මුල පුරා තිබෙනවා. පසුගිය ඉන්දීය රජය යටතේ මේ දෙරට සමඟම ඉන්දියාවට ප්‍රශ්න තිබුණා. ඉන්දියා නව අගමැති මේ දෙරට සමඟ ඇතිකර ගැනීමට යන සබඳතා කවර මුහුණුවරක්‌ ගනීද?

ඉන්දියාව සහ ලෝකයේ අනිත් රටවල් අතර පවතින සමීකරණයන්හි අද සිදුවෙමින් තිබෙන වෙනස බරපතල සහ විශාල එකක්‌ නොවුණත් එම සමීකරණයන්හි ශෛලියේ සහ ස්‌වභාවයේ කිසියම් වෙනසක්‌ සිදුවන බව නොඅනුමානයි. ඉන්දියාව සහ චීනය අතර පැවැති සමීකරණයේ නවතාවයක්‌ අද ඇතිවෙමින් තිබෙනව. ඉන්දියාවට වගේම චීනයටත් අවශ්‍ය වෙලා තිබෙනව ඉන්දියාවේ නව රජය සමඟ අලුත් සබඳතාවක්‌ ඇතිකර ගන්න. අද ඉන්දියාවේ විශාල පරිවර්තනයක්‌ සිදු වී ඇති බව චීනය දන්නව. ඉන්දියාව හා චීනය අතර දැනුත් දේශසීමා ප්‍රශ්න තියෙනව. චීනය ඉන්දියාවේ භූමි ප්‍රදේශ ආක්‍රමණකාරී ලෙස අත්පත් කර ගැනීමේ ක්‍රියාදාමයක නිරතව සිටින බවත් තමා ඊට ඉඩ නොදෙන බවත් මැතිවරණයට පෙර මොදි ප්‍රකාශ කර ඇතත් ඔහු කිසිසේත් චීනය සමඟ ගැටුමකට පෙළඹෙනු ඇතැයි මා සිතන්නේ නෑ. මෝදිට හැකි වුණොත් චීනය සමඟ ඇති මේ දේශසීමා ප්‍රශ්න සාකච්ඡාවෙන් විසඳා ගන්න එය සමස්‌ත ආසියාවටම විශාල සෙතක්‌ වේවි.

නමුත් මේ සමීකරණයේ තව පැත්තක්‌ තිබෙනවා. නරේන්ද්‍ර මෝදි චීනය සමඟ නව සබඳතාවකට මුල පිරුවත් ඔහු වැඩිපුරම ඇසුරු කරන්නට කැමැති ජපානයයි. චීනය හා ජපානය අතරත් වියට්‌නාමය, පිලිපීනය වැනි රටවල් සමඟත් පසුගිය අවුරුදු ගණනාවක සිට විවිධ පරස්‌පරතා මතුව තිබෙනව. ඒ නිසා නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා චීනය සමඟ විශේෂ හිතවත්කමක්‌ ඇතිකර ගනීවිද, එසේත් නැත්නම් චීනය සමඟ ඇති මිත්‍රත්වය සාමාන්‍ය මට්‌ටමකින් පවත්වාගෙන යන අතර කලාපය තුළ ප්‍රශ්න මතු වී ඇති ජපානය, වියට්‌නාමය වැනි රටවල් සමඟ සුවිශේෂ මිත්‍රත්වයක්‌ ඇතිකර ගනීද, එසේත් නැත්නම් මෝදිගේ මේ ආගමනය නිසා ඉන්දියාව සහ චීනයත්, ඉන්දියාව හා ජපානයත් අතර ඇතිවන තනි තනි මිත්‍රත්වයන් හේතු කරගෙන නව ආසියානු මිත්‍ර සබඳතා ජාලයක්‌ ඇතිවෙයිද කියන එක දැනට කියන්න බැහැ. නමුත් අලුත් යමක්‌ සිදුවෙමින් පවතින බව නම් නියතයි.

පසුගියදා ඇමරිකාව ඉන්දියාව සමඟ ඇතිකරගත් ප්‍රශ්නයේදී ඒ පිළිබඳ මෝදි පවසා තිබුණේ ඇමරිකාව ක්‍රියාකළේ ඉන්දියාවේ ආත්මගරුත්වය පළුදුවන ආකාරයට බවයි. තම රජයක්‌ යටතේ එවැනි දෙයකට කිසිසේත් ඉඩ නොදෙන බවත් ඔහු පවසා තිබුණා. නරේන්ද්‍ර මෝදිගේ ජාතික ආරක්‍ෂක උපදේශකයා හෝ විදේශ සබඳතා උපදේශකයෙක්‌ විය හැකි යෑයි බොහෝ දුරට ඉඩකඩ තිබෙන තානාපති හම්රිත් සිං පූරි මහතාට ඇමරිකාවේදී ඇති වූ සිද්ධියක්‌ මෙහිදී සුවිශේෂයි. එනම් ඇමරිකාවේ ගුවන් තොටුපළකදී පූරි මහතාගේ ජාතික තලප්පාව ගලවන ලෙස ආරක්‍ෂක නිලධාරීන් නියෝග කළ අවස්‌ථාවේ ඔහු එය තරයේ ප්‍රතික්‍ෂේප කළා. අන්තිමේදී ඇමරිකානු ආරක්‍ෂක නිලධාරීන්ට එම නියෝගය ඉවත්කර ගන්න සිදුවුණා. ඇමරිකාව, ඉන්දියාවට සහ ඉන්දියානුවන්ට සලකන ආකාරයේ වෙනසක්‌ සිදුවිය යුතු බව බී. ඡේ. පී. විදේශ කටයුතු භාර නිලධාරීන්ගේ මතය වී තිබෙනව. ඉන්දීය ජාතිවාදීන් ලෙස ඇමරිකාව දුටු බී.ඡේ.පී. සංවිධානය දෙස අලුත් ඇසකින් බලන්නට ඇමරිකාවට සිදුවේවි. මන්දá චීනයට එරෙහිව ඉන්දියාව මෙහෙයවීම ඇමරිකාවේ ප්‍රධාන අරමුණක්‌ නිසා. එය කොතෙක්‌ දුරට හරියාවි දැයි කියන්න බැහැ. නමුත් ඉන්දියාව චීනය සමඟ පමණට වඩා හිතවත් වීම ඇමරිකාවේ ඒ අරමුණට පටහැනියි. ඇමරිකාව පිළිබඳ මෝදි කවර මතයක්‌ දැරුවත් ඇමරිකාව මෝදිට කිට්‌ටුවෙන්න හදන්නෙ ඒ නිසයි. ඒ සඳහා ඇමරිකාව දැනටමත් ඔවුන්ගේ ඉන්දීය තානාපති ඉවත්කර ශ්‍රී ලංකාවටත් හොඳට හුරු පුරුදු රොබට්‌ බ්ලේක්‌ නව තානාපති ලෙස ඉන්දියාවට යවන්න සූදානම් කර හමාරයි. රොබට්‌ බ්ලේක්‌ තානාපතිවරයාටත් ඉන්දියාව අමුතු තැනක්‌ නෙමෙයි. ඔහු නියෝජ්‍ය තානාපති ලෙසත් ඉන්දියාවේ සේවය කර තිබෙනව. රොබට්‌ බ්ලේක්‌ තානාපති ලෙස ඉන්දියාවට යෑවීමෙන්ම ඇමරිකාවේ අරමුණ පැහැදිළියි.

මේ නව විදේශ සබඳතා ජාලය සමඟ ගොඩනැගෙන අලුත් ඉන්දියාව ශ්‍රී ලංකාවට ඇතිකරන බලපෑම කෙබඳුද?

අලුත් ඉන්දියාව ශ්‍රී ලංකාවට වාසිදායක වෙන්නත් පුළුවන්. අවාසිදායක වෙන්නත් පුළුවන්. නමුත් සිදු නොවන එක දෙයක්‌ තිබෙනව. කොංග්‍රස්‌ පක්‍ෂයේ දුර්වල පාලනය යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු කාලය සහ අවකාශය මෝදිගේ නව රජය යටතේ නොලැබේවි. නරේන්ද්‍ර මෝදිගේ ආණ්‌ඩුව එක්‌කො ඉතා ඉක්‌මනට ශ්‍රී ලංකාව සමඟ දැඩි ලෙස මිත්‍ර වේවි. එසේත් නැත්නම් සාපේක්‍ෂ වශයෙන් කෙටි විරාමයකින් පසුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තද ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරාවි. ඔහු ශ්‍රී ලංකාව සමඟ මැද මාවතේ දිගු ගමනක්‌ යැමට සූදානම් නොවේවි යන්න මගේ අදහසයි. එම නිසා ඔහුගේ ආගමනය ශ්‍රී ලංකාවට සුබදායක ලෙස හරවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය යුතුයි. එසේ නොවුණහොත් සිදුවන හානිය කොංග්‍රස්‌ රජයක්‌ යටතේ එවැනි දෙයකින් සිදුවන හානියට වඩා බරපතලයි. මන්දá මෝදි මහතාගේ ඉන්දියාව කොංග්‍රස්‌ පක්‍ෂයේ ඉන්දියාවට වඩා හාත්පසින්ම වෙනස්‌ ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ නිසා.

ඉන්දියාවේ සභාග ආණ්‌ඩු පරිච්ඡේදය මේ මැතිවරණ ප්‍රතිඵලය තුළින් අවසන් කර තිබෙනවා. ඒ නිසාම කොංග්‍රස්‌ රජයට තමිල්නාඩුව කළ බලපෑම් බී.ඡේ.පී. රජයට වලංගු වෙන්නෙ නෑ. එම නිසා තමිල්නාඩුව ශ්‍රී ලංකාවට කරන බලපෑමේ යම් ලිහිල් ස්‌වභාවයක්‌ ඇතිවේවිද?

එය කරුණු කීපයක්‌ මත රැඳී තිබෙන දෙයක්‌. බී.ඡේ.පී. ආණ්‌ඩුව විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කොංග්‍රස්‌ රජයට වඩා දැඩියි. එක්‌ අවස්‌ථාවක මෝදි මහතා ප්‍රකාශ කළා ශ්‍රී ලංකාව, පකිස්‌තානය, බංගලාදේශය වැනි සාපේක්‍ෂ වශයෙන් කුඩා රටවල් ඉන්දියාවේ ඇහැට ඇඟිල්ලෙන් අනිනව. ඒත් කොංග්‍රස්‌ රජය ඒ පිළිබඳ අනුගමනය කරන්නේ අබල දුබල ප්‍රතිපත්තියක්‌. බී.ඡේ.පී. ආණ්‌ඩුවක්‌ යටතේ එබඳු දේ කිරීමට ඉඩ දෙන්නේ නෑ කියල. මෝදි මහතා ඒ කතා කළේ ශ්‍රී ලංකාවේ දමිළ ප්‍රශ්නය ගැන නෙමෙයි. මෝදි මහතා ඒ ප්‍රකාශයෙන් ඉඟි කළේ ශ්‍රී ලංකාව පකිස්‌තානය හා චීනය සමඟ අනවශ්‍ය ලෙස සබඳතා ගොඩනගා ගැනීම ඉන්දියාවට රිදවීමක්‌ කියන එකයි. මේ ප්‍රශ්නයම අපට 1987 දී මතුවුණා. 1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන විට ඒ ගිවිසුමේ උපලේඛනවල තිබුණෙ දමිළ ප්‍රශ්නය ගැන නෙමෙයි. ශ්‍රී ලංකාවේ බාහිර සබඳතා ගැනයි. අදත් ඒ අනතුරු ඇඟවීම ඊට වඩා වෙනස්‌ මුහුණවරකින් තිබෙනව. එනම් තමුන්ගෙ අසල්වැසියො තමුන්ගෙ ආරක්‍ෂක 'රතු ඉරි' වලින් පරිබාහිරව කටයුතු කළොත් ඒ සඳහා යම් කිසි 'මිලක්‌' ඒ අසල්වැසියන්ට ගෙවන්නට වන බව. මෙය ඉන්දියාව පමණක්‌ නෙමෙයි රුසියාවේ පුටිනුත් යුක්‌රේනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්නෙ මේ ප්‍රතිපත්තියම තමයි.

තමිල්නාඩුව මෝදි මහතාට ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට අවශ්‍ය නැති වුණත් දශලක්‍ෂ හැත්තෑවකට අධික තමිල්නාඩු ජනතාව ඒ විදිහටම ඉන්නව. මේ මැතිවරණ ප්‍රතිඵල අනුවත් තමිල්නාඩුවේ ජයලලිතා විශාල ජයක්‌ ලබා තිබෙනව. ඉන්දියානු ජනමාධ්‍ය ජයලලිතා අමතන්නෙ සාරිය ඇඳගත් නරේන්ද්‍ර මෝදි විදිහටයි. ජයලලිතා ඉන්දියානු දේශපාලනයේ තවම බලවත් චරිතයක්‌. ඒ බලසම්පන්න බව තවත් වැඩිවෙලා.

අද මෝදි මහතාට රජයක්‌ පිහිටුවන්න ජයලලිතා අවශ්‍ය නැතත් ඔහුට ඇයව නොසලකා සිටින්නට බැරි ලෙස ඇය ඉන්දීය දේශපාලනය තුළ තහවුරු වෙලා තියෙනව. ඒ නිසා මෝදි මහතාගේ දේශපාලන දැක්‌ම සහ සැලැස්‌ම තුළ තමිල්නාඩුවට වඩා වැඩි වැදගත්කමක්‌ ශ්‍රී ලංකාවට ඇතැයි අප නොසිතිය යුතුයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයේ මෙතෙක්‌ පැවැති දෘෂ්ටි කෝණය බී.ඡේ.පී. ආණ්‌ඩුවක්‌ යටතේ වෙනස්‌වෙයිද?

විශාල වෙනසක්‌ ඇතිවෙයි කියල හිතන්න බෑ. මුලින් උණුසුම් මිත්‍රත්වයක්‌ ඇති වේවි. නමුත් ඊට පසු සිදුවිය හැකි දේ තීරණය වන්නේ ශ්‍රී ලංකාණ්‌ඩුවේ ක්‍රියාකාරිත්වය මතයි. ඒ මිත්‍රත්වය මත ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව කාරණා කිහිපයක්‌ ගැන යම් යම් සිහිකැඳවීම් හා ඉල්ලීම් කරාවි. එකක්‌ උතුරට පරිපූර්ණ වශයෙන් 13 වැනි සංශෝධනයේ බලතල බෙදීම. දෙවැනුව ශ්‍රී ලංකාවේ බාහිර සබඳතාවල සීමාවන් පිළිබඳව. ඒ සිහිකැඳවීම් සහ ඇවිටිලි කොංග්‍රස්‌ පක්‍ෂය සිදුකළ ආකාරයට සිදුවේ යෑයි බලාපොරොත්තු නොවිය යුතුයි. ඒ සංඥ හා ඉල්ලීම් ශ්‍රී ලංකාණ්‌ඩුව නොසලකා හැරියොත් බී.ඡේ.පී. ආණ්‌ඩුවේ නව ශෛලිය මුළු ආසියාවටම පෙන්වන්න ඔවුන් පසුබට වෙන එකක්‌ නෑ.

13 වැනි සංශෝධනය පිළිබඳ බී.ඡේ.පී. ආණ්‌ඩුව හා කොංග්‍රස්‌ ආණ්‌ඩුව අතර සමානකමක්‌ තිබෙනවද?

කොංග්‍රස්‌ ආණ්‌ඩුව ශ්‍රී ලංකාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම යන කඩඉමෙන් නතර වුණා. බී.ඡේ.පී. ආණ්‌ඩුවත් ඒ කඩඉමෙන් නතර කර ගන්න පුළුවන් වුණොත් එය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක්‌. ශ්‍රී ලංකාව සීමිත කාලයක්‌ තුළ 13 වැනි සංශෝධනය පරිපූර්ණව ක්‍රියාත්මක කළොත් මෝදිගේ සහයෝගයත් සහිතව ජිනීවා සටනට මූණ දීලා බටහිර අභියෝගයත් ජයගන්න හැකිවෙයි. 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක නොකළොත් කොංග්‍රස්‌ ආණ්‌ඩුව මෙන් ඒ ගැන ඇවිටිලි කරමින් නොසිට නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ මේ ප්‍රශ්නයට පෙඩරල් විසඳුමකටත් යොමු වීමට ඉඩ තිබෙනව. මන්ද නරේන්ද්‍ර මොදි ඉන්දියාවේ පෙඩරල් ක්‍රමය තුළ හැදී වැඩී සාර්ථකත්වයක්‌ ළඟා කරගත් මහ ඇමැතිවරයෙක්‌ බව අප අමතක නොකළ යුතුයි.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක
Read more
තමිල් සෙල්වන්ගේ බිරිඳ ළමයි ප්‍රංශයෙන් මතුවෙයි

හිටපු එල්.ටී.ටී.ඊ දේශපාලන නායක සුප්පයියා පරමු තමිල් සෙල්වන්ගේ බිරිය සසිරේඛා, දියණිය අලෙයිමගල් සහ පුත‍්‍රයා වන ඔලිවේන්තන් පසුගිය අපේ‍්‍රල් 24 දා ප‍්‍රංශයට පැමිණීම පිළිබඳ ගෝලීය ඩයස්පෝරාවේ සාමාජිකයන් මහත් සතුටට පත්ව තිබේ. මොවුන් ප‍්‍රංශයට පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිටය. යුරෝපීය කොටි කල්ලි මෙම සිදුවීම පිළිබඳ කිසිදු ප‍්‍රකාශයක් මෙතෙක් සිදු කර නොමැති අතර දැනට රහසිගතව යුරෝපය පුරා ගෙන යන අරමුදල් රැුස්කිරීමේ කටයුතු සඳහා තමිල් සෙල්වන් පවුල උපයෝගී කර ගනිමින් කිසියම් ප‍්‍රචාරයක් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණය.

ගෝලීය කොටි කල්ලි සසිරේඛාගේ ආගමනය පිළිබඳ ඉමහත් සතුටට පත්ව සිටින අතර 2009 මුල්ලවෙල්ලි වයික්කාල්හි සිදුවීම සැමරීම සඳහා පවත්වන මහජන හමුවේදී ඇය ජනතාව අතරට කැඳවීමට නියමිත බැව් පැවසේ.
සසිරේඛා, කොටි දේශපාලන වේදිකාවක පෙනී සිටීමට හෝ කොටි ඩයස්පෝරාවේ දේශපාලනික අරමුණුවලට සහාය දැක්වීමට හෝ කැමැත්තක් නොමැති බවත් ඇයගේ එකම අරමුණ තම දරු දෙදෙනාට උසස් අධ්‍යාපනයක් ලබා දෙමින් ප‍්‍රංශයේ සාමකාමී ජීවිතයක් ගත කිරීම බවත් තමිල්සෙල්වම් පවුලේ ඥාතියකු ප‍්‍රකාශ කොට ඇත.
යාපනයේ චුලිපුරම්හි උපත ලද සසිරේඛා එල්.ටී.ටී.ඊ සාමාජිකාවක වූ අතර එකල ඇය හැඳින්වූයේ ඉසිචෙල්වි නමිනි. තමිල් සෙල්වන් සමග විවාහයෙන් පසු සංවිධානයෙන් සමුගත් ඇයට අලෙයි මගල් නමින් 14 හැවිරිදි දියණියක හා ඔලිවේන්තන් නමින් දස හැවිරිදි පුත‍්‍රයකු සිටී.
එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන නායක ලෙස 12 වසරක් කටයුතු කළ තමිල් සෙල්වන්ට එල්.ටී.ටී.ඊ සංවිධානය ලබා දී තිබූ නාමය වූයේ ඩිනේෂ් යන්නයි. ඔස්ලෝ සාමසාකච්ඡුා පැවැති 2001-2005 අතර කාලයේ තමිල් සෙල්වන් ජාත්‍යන්තර වශයෙන් කැපී පෙනෙන චරිතයක් වූයේය.
1967 මද්දුවිල් ග‍්‍රාමයේ උපත ලද තමිල් සෙල්වන් යුද්ධයේදී ඇති වූ තුවාල හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූයේය. එහෙයින් ඔහුට ගමන් කිරීමට සිදුවූයේ  සැරයටියක ආධාරයෙනි. තමිල් සෙල්වන් හා සසිරේඛා අතර විවාහය සිදුවුයේ එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් විසින් හඳුන්වා දුන් යෝජිත විවාහ සංකල්පය අනුවය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ පිරිමි සාමාජිකයන් හට වඩාත් ගැළපෙන සහකාරියන් එල්.ටී.ටී.ඊ සාමාජිකාවන් අතරින් තෝරා ඔවුන් විවාහ කරවීමට ප‍්‍රභාකරන් කටයුතු කළේය. දෙමළ සමාජයේ බහුතර විවාහයන් සිදුවූයේ යෝජිත විවාහ මගිනි. එල්.ටී.ටී.ඊ සාමාජික සාමාජිකාවන් අතර සිදුවූ යෝජිත විවාහ මහා පරිමාණයෙන් සිදුවූයේය.  කුලභේදය මකා දැමීම මෙම විවාහයන්හි එක් අරමුණක් වූයේය.
තමිල් සෙල්වන් හට විවාහය පිණිස සසිරේඛා යෝජනා කළේ ප‍්‍රභාකරන් විසිනි. යාපනයේ කුලවත් පවුලක දියණියක වූ සසිරේඛාගේ පියා විශ‍්‍රාමික රජයේ සේවකයකු වූ අතර බම්බලපිටිය ප‍්‍රදේශයේ ව්‍යාපාර ගණනාවක් ඔහු සතු විය. 1983 කළු ජූලියෙන් පසු තම සියලූ ව්‍යාපාර විකුණා දැමූ ඔහු යළි යාපනයට ගියේය.
තමිල් සෙල්වන් හා සසිරේඛා අතර විවාහයේදී ප‍්‍රභාකරන් හා මදිවදනි මනාලයාගේ දෙමව්පියන් ලෙස ද ඇන්ටන් බාලසිංහම් හා ඇඩෙල් මනාලියගේ මාපියන් ලෙසද පෙනී සිටි අතර බ‍්‍රාහ්මණ චාරිත‍්‍රවලින් තොරව විවාහය සිදුවූයේය.
තමිල් සෙල්වන්ගේ මව වාසය කළේ කැනඩාවේය. අවසන් මොහොත වන තෙක් මෙම විවාහය පිළිබඳ කිසිවක් ඇය දැන නොසිටියාය. කලින් තමා දැනුම්වත් නොකළේ මන්දැයි ඇය තම පුත‍්‍රයාගෙන් විමසූ විට විවාහය පිළිබඳ තමා දැනගත්තේද දින හතරකට ඉහතදී බැව් තමිල් සෙල්වන් මවට පවසා තිබිණි.
2007 නොවැම්බර් 2 දින භූගත බංකරයක නිදිසුව විඳිමින් සිටි තමිල් සෙල්වන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය වූයේය. එම මරණයෙන් ප‍්‍රභාකරන් දැඩි ලෙස කම්පාවට පත් වූයේය. එය තමාට පෞද්ගලිකවම සිදුවූ අලාභයක් බැව් ඔහු ප‍්‍රකාශ කළේය. මරණින් පසු තමිල් සෙල්වන් ‘‘බි‍්‍රගේඩියර්’’ තනතුරට උසස් කෙරිණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ ‘‘බි‍්‍රගේඩියර්’’ තනතුරට පත් ප‍්‍රථම සාමාජිකයා වූයේ තමිල් සෙල්වන්ය.

තමිල් සෙල්වන් මිය යන විට ඔහුගේ දරු දෙදෙනා වූ අලෙයිමගල් සහ ඔලිවේන්තන් පසුවූයේ අට හැවිරිදි හා සිව් හැවිරිදිවය. 2009 ජනවාරියේ හමුදාව කිලිනොච්චිය අත්පත් කර ගන්නා තෙක් සසිරේඛා කිලිනොච්චියේ වාසය කළාය. ඉන්පසු මුලතිව් ප‍්‍රදේශයට ගිය ඇය 2009 මැයි මාසයේදී මුලතිව් ප‍්‍රදේශය හමුදා අතට පත්වීමෙන් පසු සිවිල් වැසියන් ලෙස හමුදාවට බාර වූවාය. වවුනියා දිස්ත‍්‍රික්කයේ එල්.ටී.ටී.ඊ නායකයන්ගේ පවුල් වෙනුවෙන් ඉදිකර තිබූ විශේෂ කඳවුරට ඔවුන් රැුගෙන යනු ලැබිණි. පසුව එල්.ටී.ටී.ඊ.යේ නැගෙනහිර ප‍්‍රදේශය බාරව සිට පසුව රජයට සම්බන්ධ වූ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් ‘‘කර්නල්’’ කරුණාගේ ඉල්ලීම මත ඔවුන් පනාගොඩ හමුදා කඳවුරේ විශේෂ නිවස්නයක රඳවනු ලැබිණි.
වසර දෙක හමාරකට ආසන්න කාලයක් පනාගොඩ රැුඳවුම්භාරයේ පසුවූ සසිරේඛා සහ දරු දෙදෙනාට ඔවුන්ගේ සමීපතම ඥාතීන් සමග සබඳතා පැවැත්වීමට අවසරය හිමිවිය. පසුව හමුදා නිලධාරියෙකු ඉදිරිපිට ඔවුන් හමුවීමටද අවස්ථාව සලසා දෙනු ලැබීය.
2011 මැයි මාසයේ ඔවුන් කොන්දේසි කීපයකට යටත්ව නිදහස් කරනු ලැබීය. සසිරේඛා දෙහිවල වාසය කළ තම දෙමව්පියන් සමඟ ජීවත්වන්නට කැමැත්ත පළ කළාය. පවුලේ බොහෝ ඥාතීන් සමඟ පැවැති සබඳතා අත්හැර දැමුවද ඇය විදේශ ගත ඥාතීන් කීපදෙනෙකු හා සබඳතා පැවැත්වූවාය.
තම දරු දෙදෙනාට කොළඹදී හොඳ අධ්‍යාපනයක් ලබා දීමේ අසීරුතාව ඇයට වැටහිණි. මේ බැව් ඇය ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ට දැනුම් දුන්නාය. ඇයගේ ඉල්ලීම අනුව ඉන්දියාවේ පදිංචියට යාම සඳහා බලධාරීන්ගෙන් අවසර ලැබිණි.
නිත්‍යානුකූල අයුරින් සසිරේඛා ඉන්දියාව බලා පිටත්ව ගියාය. ඒ සඳහා බි‍්‍රතාන්‍යයේ වාසය කරන ඇගේ සොහොයුරා  මුදලින් ආධාර කොට තිබිණි. ඉන්දියාවේ නෙදුමරන්, වයිකෝ, සීමන්, කෝලකූර් මනි වැනි එල්.ටී.ටී.ඊ හිතවාදීන් තම අනන්‍යතාව හඳුනාගනිතැයි ඇය බිය වූවාය. තමාට හා තම දරුවන්ට ඉන්දියාවේ නිදහස් සාමකාමී ජීවිතයක් ගත කිරීමට ඇති අසීරුතාව ඇය වටහා ගත්තාය. එහෙයින් යුරොපයේ පදිංචියට යාමට ඇය තීරණය කළාය. බි‍්‍රතාන්‍යයේ වාසය කළ තම සොහොයුරා හා නැන්දණියගේද ප‍්‍රංශයේ වාසය කරන තමිල් සෙල්වන්ගේ මවගේ සොහොයුරියගේද සහායෙන් පසුගිය අපේ‍්‍රල් 24 දින සසිරේඛා ප‍්‍රංශයට ළඟා වූවාය.
ඇයගේ සමීපතම ඥාතීන් ප‍්‍රකාශ කරන ආකාරයට කිසිදු දේශපාලන ක‍්‍රියාවලියකට සම්බන්ධ නොවී තම දරු දෙදෙනා යහපත් පුරවැසියන් ලෙස හදා වඩා ගැනීම ඇගේ එකම අරමුණ වී තිබේ. එහෙත් ඇතැම් එල්.ටී.ටී.ඊ ක‍්‍රියාකාරීන් ඇයට ප‍්‍රංශයේ ස්ථීර පදිංචිය ලබා ගැනීමට උපකාර කිරීම වෙනුවෙන් නැවත දේශපාලනයට එක්විය යුතු බවට බලපෑම් කර ඇති බව පැවසේ.
වාර්තා වන අන්දමට ඇතැම් එල්.ටී.ටී.ඊ ක‍්‍රියාකාරීන් සසිරේඛාට ප‍්‍රංශයට පැමිණීම සඳහා ක‍්‍රියාකළ නියෝජිතයන්ට ගෙවීමට සිදුව ඇතැයි පවසමින් මුදල් එකතු කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කොට තිබේ. ඇය ශ්‍රී ලංකා රජයේ අවසරය ඇතිව ඉන්දියාවට ගියද මෙම පිරිස ඇය ශ්‍රී ලංකා රජයේ ග‍්‍රහණයෙන් පළා ආ තැනැත්තියක ලෙස හුවා දක්වන්නට උත්සාහ ගන්නා බවද පෙනී යයි.
ඥාතීන් සඳහන් කරන ආකාරයට නොවැම්බරයේ ප‍්‍රංශයේ පැවැත්වෙන තමිල් සෙල්වන් අනුස්මරණ උළෙලට ඇය සහභාගි වනු ඇත.  තමිල් සෙල්වන්ගේ උඩුකය පිළිරුවක් මෙහිදී නිරාවරණය කිරීමට සැලසුම් කර තිබේ.
සසිරේඛා කොටි දේශපාලන කටයුතු වලින් ඈත්ව තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවීමට ගෙන ඇති තීරණය එලෙසට පවත්වාගෙන යාමට කොටි ඩයස්පෝරාවෙන් ඇයට ඉඩ සැලසේද යන්න සැක සහිතය. ඔවුන් සසිරේඛාගේ ආගමනය එල්.ටී.ටී.ඊ.යට නැවත ප‍්‍රචාරයක් ලබා ගැනීමට හා අරමුදල් රැුස්කිරීමට දෙවියන් ලබා දුන් ත්‍යාගයක් ලෙස සලකති.
‘‘සුළඟ වෘක්ෂයකට නිසලව සිටින්නට ඉඩ තබන්නේ නැතැයි’’ යන්න ප‍්‍රකට චීන පිරුලකි. දෙමළ ඩයස්පෝරාවද සසිරේඛාට නිසලව සිටින්නට ඉඩ නොතබනු ඇත.

Read more

Popular Posts

Popular Posts