Header Ads

13 නොදුන්නොත් මෝදි නවතින්නේ පෙඩරල් විසඳුමකින්!..--- දයාන් ජයතිලක

- ජිනිවා නුවර එක්‌සත් ජාතින්ගේ හිටපු ශ්‍රි ලංකා
තනාපති සහ නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක


ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදි චීනය සහ ඇමෙරිකාව සමඟ නව සබඳතාවකට මුල පුරා තිබෙනවා. පසුගිය ඉන්දීය රජය යටතේ මේ දෙරට සමඟම ඉන්දියාවට ප්‍රශ්න තිබුණා. ඉන්දියා නව අගමැති මේ දෙරට සමඟ ඇතිකර ගැනීමට යන සබඳතා කවර මුහුණුවරක්‌ ගනීද?

ඉන්දියාව සහ ලෝකයේ අනිත් රටවල් අතර පවතින සමීකරණයන්හි අද සිදුවෙමින් තිබෙන වෙනස බරපතල සහ විශාල එකක්‌ නොවුණත් එම සමීකරණයන්හි ශෛලියේ සහ ස්‌වභාවයේ කිසියම් වෙනසක්‌ සිදුවන බව නොඅනුමානයි. ඉන්දියාව සහ චීනය අතර පැවැති සමීකරණයේ නවතාවයක්‌ අද ඇතිවෙමින් තිබෙනව. ඉන්දියාවට වගේම චීනයටත් අවශ්‍ය වෙලා තිබෙනව ඉන්දියාවේ නව රජය සමඟ අලුත් සබඳතාවක්‌ ඇතිකර ගන්න. අද ඉන්දියාවේ විශාල පරිවර්තනයක්‌ සිදු වී ඇති බව චීනය දන්නව. ඉන්දියාව හා චීනය අතර දැනුත් දේශසීමා ප්‍රශ්න තියෙනව. චීනය ඉන්දියාවේ භූමි ප්‍රදේශ ආක්‍රමණකාරී ලෙස අත්පත් කර ගැනීමේ ක්‍රියාදාමයක නිරතව සිටින බවත් තමා ඊට ඉඩ නොදෙන බවත් මැතිවරණයට පෙර මොදි ප්‍රකාශ කර ඇතත් ඔහු කිසිසේත් චීනය සමඟ ගැටුමකට පෙළඹෙනු ඇතැයි මා සිතන්නේ නෑ. මෝදිට හැකි වුණොත් චීනය සමඟ ඇති මේ දේශසීමා ප්‍රශ්න සාකච්ඡාවෙන් විසඳා ගන්න එය සමස්‌ත ආසියාවටම විශාල සෙතක්‌ වේවි.

නමුත් මේ සමීකරණයේ තව පැත්තක්‌ තිබෙනවා. නරේන්ද්‍ර මෝදි චීනය සමඟ නව සබඳතාවකට මුල පිරුවත් ඔහු වැඩිපුරම ඇසුරු කරන්නට කැමැති ජපානයයි. චීනය හා ජපානය අතරත් වියට්‌නාමය, පිලිපීනය වැනි රටවල් සමඟත් පසුගිය අවුරුදු ගණනාවක සිට විවිධ පරස්‌පරතා මතුව තිබෙනව. ඒ නිසා නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා චීනය සමඟ විශේෂ හිතවත්කමක්‌ ඇතිකර ගනීවිද, එසේත් නැත්නම් චීනය සමඟ ඇති මිත්‍රත්වය සාමාන්‍ය මට්‌ටමකින් පවත්වාගෙන යන අතර කලාපය තුළ ප්‍රශ්න මතු වී ඇති ජපානය, වියට්‌නාමය වැනි රටවල් සමඟ සුවිශේෂ මිත්‍රත්වයක්‌ ඇතිකර ගනීද, එසේත් නැත්නම් මෝදිගේ මේ ආගමනය නිසා ඉන්දියාව සහ චීනයත්, ඉන්දියාව හා ජපානයත් අතර ඇතිවන තනි තනි මිත්‍රත්වයන් හේතු කරගෙන නව ආසියානු මිත්‍ර සබඳතා ජාලයක්‌ ඇතිවෙයිද කියන එක දැනට කියන්න බැහැ. නමුත් අලුත් යමක්‌ සිදුවෙමින් පවතින බව නම් නියතයි.

පසුගියදා ඇමරිකාව ඉන්දියාව සමඟ ඇතිකරගත් ප්‍රශ්නයේදී ඒ පිළිබඳ මෝදි පවසා තිබුණේ ඇමරිකාව ක්‍රියාකළේ ඉන්දියාවේ ආත්මගරුත්වය පළුදුවන ආකාරයට බවයි. තම රජයක්‌ යටතේ එවැනි දෙයකට කිසිසේත් ඉඩ නොදෙන බවත් ඔහු පවසා තිබුණා. නරේන්ද්‍ර මෝදිගේ ජාතික ආරක්‍ෂක උපදේශකයා හෝ විදේශ සබඳතා උපදේශකයෙක්‌ විය හැකි යෑයි බොහෝ දුරට ඉඩකඩ තිබෙන තානාපති හම්රිත් සිං පූරි මහතාට ඇමරිකාවේදී ඇති වූ සිද්ධියක්‌ මෙහිදී සුවිශේෂයි. එනම් ඇමරිකාවේ ගුවන් තොටුපළකදී පූරි මහතාගේ ජාතික තලප්පාව ගලවන ලෙස ආරක්‍ෂක නිලධාරීන් නියෝග කළ අවස්‌ථාවේ ඔහු එය තරයේ ප්‍රතික්‍ෂේප කළා. අන්තිමේදී ඇමරිකානු ආරක්‍ෂක නිලධාරීන්ට එම නියෝගය ඉවත්කර ගන්න සිදුවුණා. ඇමරිකාව, ඉන්දියාවට සහ ඉන්දියානුවන්ට සලකන ආකාරයේ වෙනසක්‌ සිදුවිය යුතු බව බී. ඡේ. පී. විදේශ කටයුතු භාර නිලධාරීන්ගේ මතය වී තිබෙනව. ඉන්දීය ජාතිවාදීන් ලෙස ඇමරිකාව දුටු බී.ඡේ.පී. සංවිධානය දෙස අලුත් ඇසකින් බලන්නට ඇමරිකාවට සිදුවේවි. මන්දá චීනයට එරෙහිව ඉන්දියාව මෙහෙයවීම ඇමරිකාවේ ප්‍රධාන අරමුණක්‌ නිසා. එය කොතෙක්‌ දුරට හරියාවි දැයි කියන්න බැහැ. නමුත් ඉන්දියාව චීනය සමඟ පමණට වඩා හිතවත් වීම ඇමරිකාවේ ඒ අරමුණට පටහැනියි. ඇමරිකාව පිළිබඳ මෝදි කවර මතයක්‌ දැරුවත් ඇමරිකාව මෝදිට කිට්‌ටුවෙන්න හදන්නෙ ඒ නිසයි. ඒ සඳහා ඇමරිකාව දැනටමත් ඔවුන්ගේ ඉන්දීය තානාපති ඉවත්කර ශ්‍රී ලංකාවටත් හොඳට හුරු පුරුදු රොබට්‌ බ්ලේක්‌ නව තානාපති ලෙස ඉන්දියාවට යවන්න සූදානම් කර හමාරයි. රොබට්‌ බ්ලේක්‌ තානාපතිවරයාටත් ඉන්දියාව අමුතු තැනක්‌ නෙමෙයි. ඔහු නියෝජ්‍ය තානාපති ලෙසත් ඉන්දියාවේ සේවය කර තිබෙනව. රොබට්‌ බ්ලේක්‌ තානාපති ලෙස ඉන්දියාවට යෑවීමෙන්ම ඇමරිකාවේ අරමුණ පැහැදිළියි.

මේ නව විදේශ සබඳතා ජාලය සමඟ ගොඩනැගෙන අලුත් ඉන්දියාව ශ්‍රී ලංකාවට ඇතිකරන බලපෑම කෙබඳුද?

අලුත් ඉන්දියාව ශ්‍රී ලංකාවට වාසිදායක වෙන්නත් පුළුවන්. අවාසිදායක වෙන්නත් පුළුවන්. නමුත් සිදු නොවන එක දෙයක්‌ තිබෙනව. කොංග්‍රස්‌ පක්‍ෂයේ දුර්වල පාලනය යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු කාලය සහ අවකාශය මෝදිගේ නව රජය යටතේ නොලැබේවි. නරේන්ද්‍ර මෝදිගේ ආණ්‌ඩුව එක්‌කො ඉතා ඉක්‌මනට ශ්‍රී ලංකාව සමඟ දැඩි ලෙස මිත්‍ර වේවි. එසේත් නැත්නම් සාපේක්‍ෂ වශයෙන් කෙටි විරාමයකින් පසුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තද ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරාවි. ඔහු ශ්‍රී ලංකාව සමඟ මැද මාවතේ දිගු ගමනක්‌ යැමට සූදානම් නොවේවි යන්න මගේ අදහසයි. එම නිසා ඔහුගේ ආගමනය ශ්‍රී ලංකාවට සුබදායක ලෙස හරවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය යුතුයි. එසේ නොවුණහොත් සිදුවන හානිය කොංග්‍රස්‌ රජයක්‌ යටතේ එවැනි දෙයකින් සිදුවන හානියට වඩා බරපතලයි. මන්දá මෝදි මහතාගේ ඉන්දියාව කොංග්‍රස්‌ පක්‍ෂයේ ඉන්දියාවට වඩා හාත්පසින්ම වෙනස්‌ ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ නිසා.

ඉන්දියාවේ සභාග ආණ්‌ඩු පරිච්ඡේදය මේ මැතිවරණ ප්‍රතිඵලය තුළින් අවසන් කර තිබෙනවා. ඒ නිසාම කොංග්‍රස්‌ රජයට තමිල්නාඩුව කළ බලපෑම් බී.ඡේ.පී. රජයට වලංගු වෙන්නෙ නෑ. එම නිසා තමිල්නාඩුව ශ්‍රී ලංකාවට කරන බලපෑමේ යම් ලිහිල් ස්‌වභාවයක්‌ ඇතිවේවිද?

එය කරුණු කීපයක්‌ මත රැඳී තිබෙන දෙයක්‌. බී.ඡේ.පී. ආණ්‌ඩුව විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කොංග්‍රස්‌ රජයට වඩා දැඩියි. එක්‌ අවස්‌ථාවක මෝදි මහතා ප්‍රකාශ කළා ශ්‍රී ලංකාව, පකිස්‌තානය, බංගලාදේශය වැනි සාපේක්‍ෂ වශයෙන් කුඩා රටවල් ඉන්දියාවේ ඇහැට ඇඟිල්ලෙන් අනිනව. ඒත් කොංග්‍රස්‌ රජය ඒ පිළිබඳ අනුගමනය කරන්නේ අබල දුබල ප්‍රතිපත්තියක්‌. බී.ඡේ.පී. ආණ්‌ඩුවක්‌ යටතේ එබඳු දේ කිරීමට ඉඩ දෙන්නේ නෑ කියල. මෝදි මහතා ඒ කතා කළේ ශ්‍රී ලංකාවේ දමිළ ප්‍රශ්නය ගැන නෙමෙයි. මෝදි මහතා ඒ ප්‍රකාශයෙන් ඉඟි කළේ ශ්‍රී ලංකාව පකිස්‌තානය හා චීනය සමඟ අනවශ්‍ය ලෙස සබඳතා ගොඩනගා ගැනීම ඉන්දියාවට රිදවීමක්‌ කියන එකයි. මේ ප්‍රශ්නයම අපට 1987 දී මතුවුණා. 1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන විට ඒ ගිවිසුමේ උපලේඛනවල තිබුණෙ දමිළ ප්‍රශ්නය ගැන නෙමෙයි. ශ්‍රී ලංකාවේ බාහිර සබඳතා ගැනයි. අදත් ඒ අනතුරු ඇඟවීම ඊට වඩා වෙනස්‌ මුහුණවරකින් තිබෙනව. එනම් තමුන්ගෙ අසල්වැසියො තමුන්ගෙ ආරක්‍ෂක 'රතු ඉරි' වලින් පරිබාහිරව කටයුතු කළොත් ඒ සඳහා යම් කිසි 'මිලක්‌' ඒ අසල්වැසියන්ට ගෙවන්නට වන බව. මෙය ඉන්දියාව පමණක්‌ නෙමෙයි රුසියාවේ පුටිනුත් යුක්‌රේනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්නෙ මේ ප්‍රතිපත්තියම තමයි.

තමිල්නාඩුව මෝදි මහතාට ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට අවශ්‍ය නැති වුණත් දශලක්‍ෂ හැත්තෑවකට අධික තමිල්නාඩු ජනතාව ඒ විදිහටම ඉන්නව. මේ මැතිවරණ ප්‍රතිඵල අනුවත් තමිල්නාඩුවේ ජයලලිතා විශාල ජයක්‌ ලබා තිබෙනව. ඉන්දියානු ජනමාධ්‍ය ජයලලිතා අමතන්නෙ සාරිය ඇඳගත් නරේන්ද්‍ර මෝදි විදිහටයි. ජයලලිතා ඉන්දියානු දේශපාලනයේ තවම බලවත් චරිතයක්‌. ඒ බලසම්පන්න බව තවත් වැඩිවෙලා.

අද මෝදි මහතාට රජයක්‌ පිහිටුවන්න ජයලලිතා අවශ්‍ය නැතත් ඔහුට ඇයව නොසලකා සිටින්නට බැරි ලෙස ඇය ඉන්දීය දේශපාලනය තුළ තහවුරු වෙලා තියෙනව. ඒ නිසා මෝදි මහතාගේ දේශපාලන දැක්‌ම සහ සැලැස්‌ම තුළ තමිල්නාඩුවට වඩා වැඩි වැදගත්කමක්‌ ශ්‍රී ලංකාවට ඇතැයි අප නොසිතිය යුතුයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයේ මෙතෙක්‌ පැවැති දෘෂ්ටි කෝණය බී.ඡේ.පී. ආණ්‌ඩුවක්‌ යටතේ වෙනස්‌වෙයිද?

විශාල වෙනසක්‌ ඇතිවෙයි කියල හිතන්න බෑ. මුලින් උණුසුම් මිත්‍රත්වයක්‌ ඇති වේවි. නමුත් ඊට පසු සිදුවිය හැකි දේ තීරණය වන්නේ ශ්‍රී ලංකාණ්‌ඩුවේ ක්‍රියාකාරිත්වය මතයි. ඒ මිත්‍රත්වය මත ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව කාරණා කිහිපයක්‌ ගැන යම් යම් සිහිකැඳවීම් හා ඉල්ලීම් කරාවි. එකක්‌ උතුරට පරිපූර්ණ වශයෙන් 13 වැනි සංශෝධනයේ බලතල බෙදීම. දෙවැනුව ශ්‍රී ලංකාවේ බාහිර සබඳතාවල සීමාවන් පිළිබඳව. ඒ සිහිකැඳවීම් සහ ඇවිටිලි කොංග්‍රස්‌ පක්‍ෂය සිදුකළ ආකාරයට සිදුවේ යෑයි බලාපොරොත්තු නොවිය යුතුයි. ඒ සංඥ හා ඉල්ලීම් ශ්‍රී ලංකාණ්‌ඩුව නොසලකා හැරියොත් බී.ඡේ.පී. ආණ්‌ඩුවේ නව ශෛලිය මුළු ආසියාවටම පෙන්වන්න ඔවුන් පසුබට වෙන එකක්‌ නෑ.

13 වැනි සංශෝධනය පිළිබඳ බී.ඡේ.පී. ආණ්‌ඩුව හා කොංග්‍රස්‌ ආණ්‌ඩුව අතර සමානකමක්‌ තිබෙනවද?

කොංග්‍රස්‌ ආණ්‌ඩුව ශ්‍රී ලංකාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම යන කඩඉමෙන් නතර වුණා. බී.ඡේ.පී. ආණ්‌ඩුවත් ඒ කඩඉමෙන් නතර කර ගන්න පුළුවන් වුණොත් එය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක්‌. ශ්‍රී ලංකාව සීමිත කාලයක්‌ තුළ 13 වැනි සංශෝධනය පරිපූර්ණව ක්‍රියාත්මක කළොත් මෝදිගේ සහයෝගයත් සහිතව ජිනීවා සටනට මූණ දීලා බටහිර අභියෝගයත් ජයගන්න හැකිවෙයි. 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක නොකළොත් කොංග්‍රස්‌ ආණ්‌ඩුව මෙන් ඒ ගැන ඇවිටිලි කරමින් නොසිට නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ මේ ප්‍රශ්නයට පෙඩරල් විසඳුමකටත් යොමු වීමට ඉඩ තිබෙනව. මන්ද නරේන්ද්‍ර මොදි ඉන්දියාවේ පෙඩරල් ක්‍රමය තුළ හැදී වැඩී සාර්ථකත්වයක්‌ ළඟා කරගත් මහ ඇමැතිවරයෙක්‌ බව අප අමතක නොකළ යුතුයි.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක

No comments

Powered by Blogger.