Open top menu
Sunday, May 25, 2014

1925 වසරේ ඔක්‌තෝම්බර් විසි පස්‌ වෙනි දින බ්‍රිතාන්‍යයේ ලින්කෂයර් ප්‍රාන්තයේ ග්‍රැන්තම් ග්‍රාමයේ උපත ලද ඇය මාග්‍රට්‌ හිල්ඩා තැචර් නම් වූවාය. ඇයගේ පියා ඇල්ප්‍රඩ් රොබට්‌ නම් වූ සුළු ව්‍යාපාරිකයෙක්‌ විය. බාලේ පටන්ම මාග්‍රට්‌ වෙතින් ඉගෙනුම වෙනුවෙන් වූ හැකියාවන් ප්‍රදර්ශනය විය. ඇය මූලික අධ්‍යාපනය ලැබුවේ ග්‍රැන්තම්හි Huntingtower පාසලෙන් වූ අතර ද්විතියික අධ්‍යාපනය වෙනුවෙන් කෙස්‌ටවින්හි ග්‍රැන්තම් බාලිකා පාසලට ඇතුළු වූවාය. සරසවිය දෝතින්ම රැගත්
මාග්‍රට්‌ වයස අවුරුදු දහ අට සපිරෙත්ම, ඉහළ ප්‍රතිඵල සහ ශිෂ්‍යත්වයක්‌ද සමගින් ඔක්‌ස්‌ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධි අපේක්‌ෂිකාවක ලෙස තේරී පත් වූවාය.

ඇයගේ දේශපාලන පන්නරය වෙනුවෙන් අත් පොත් තැබුවේ මෙම සරසවි භූමියේදීය. කොන්සර්වේටිව් පක්‌ෂයේ ශිෂ්‍ය සංවිධානයේ ඇය ක්‍රියාකාරී ශිෂ්‍ය සාමාජිකාවක වූවාය. දේශපාලන මෙහෙවර වෙනුවෙන් ඇයගේ පිබිදීම කෙතෙක්‌ද යත් විශ්ව විද්‍යාලයෙන් පිටවෙන්නට ප්‍රථම මාග්‍රට්‌ මෙම කොන්සර්වේටිව් පක්‌ෂයේ ශිෂ්‍ය සංවිධානයේ සභාපතිනිය වූවාය. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන සමාගමක රසායන විද්‍යා පර්යේෂකවරියක ලෙස සේවය කරන අතරවාරයේදිත් ඇය සිය දේශපාලන ගමන්මග වෙනුවෙන් වූ මග සකසා ගත්තීය. චතුර කථිකත්වයෙන් ඇය ලබා ගත් ආලෝකය නිසාම කොන්සර්වේටිව් පක්‌ෂය තුළ ඇයට පිළිගැනීමක්‌ මෙන්ම කීර්තියක්‌ ලැබුනි. 1950 සහ 1951 වසරවලදී මාග්‍රට්‌ තැචර් මැතිවරණ වෙනුවෙන් ඉදිරිපත් වුනත් ආසනයක්‌ වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාවක්‌ දිනා ගැනීමට සමත් වූයේ නැත.

1951 වසරේදී ඩෙනික්‌ තැචර් සමග වූ විවාහයෙන් ඇය 1953 වසරේ අගෝස්‌තු 15 වෙනි දින මාක්‌ හා කැරල් නම් වූ නිවුන් දරුවන්ගේ මව් වරම ලද්දීය. විවාහයෙන් පසුවද ඉගෙනුම වෙනුවෙන් නැවතුම නොතැබූ තැචර් නීති විද්‍යාලයට ඇතුළත්ව බැරිස්‌ටර්වරියක ලෙසින් ඇය සුදුසුකම් ලැබුවේ 1953 වසරේදීය. මවක, බිරිඳක ලෙසින් සිය යුතුකම් වගකීම් සමග සිය සැමියාගේ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන්ද, දායකත්වය ලබා දුන් මෙම දිරිය කාන්තාව පක්‌ෂ දේශපාලනය ජයග්‍රහණය ලැබුවේ 1959 වසරේදීය. ඇය ෆින්ඩ්ලි අසුන වෙනුවෙන් තරග කිරීමෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය. 1970 වසරේ එඩ්වර්ඩ් හීත්ගේ රජයේ අධ්‍යාපන ඇමති ධුරය ලද තැචර්ගේ වඩාත්ම අභියෝගාත්මක පියවර වූයේ එළැඹි මැතිවරණයේදී එඩ්වඩ් හීත් සමග මැතිවරණ සටනට බැසීමේ දැවැන්ත වෑයමයි. 1970 වසරේ ඇය අධ්‍යාපන ඇමති ධූරය දරද්දී එඩ්වඩ් හීත් නියෝගයෙන් එතෙක්‌ පාසල් දරුවන්ට ලබා දුන් කිරි ආහාර වේල කප්පාදු කිරීමට සිදු විය. ඇය වෙත විවේචන එල්ල විය. ජනමාධ්‍ය සහ විපක්‌ෂය තැචර්ට නිර්දය ලෙස පහර දෙන්නට විය. මාග්‍රට්‌ තැචර් කිරි පැහැර ගන්නිය Margaret Thatcher : Milk Snatcher ලෙසින් ඇයගේ නම හංවඩු ගසන්නට විය.

1975 වසරේදී ඇය එක්‌සත් රාජධානියේ ප්‍රධාන පක්‌ෂයකට නායකත්වය ලබා දුන් ප්‍රථම කාන්තාව ලෙස එරට දේශපාලනයේ සලකුණක්‌ තබන්නට සමත් වූවාය.

මාග්‍රට්‌ තැචර් යකඩ ගැහැනිය ලෙසින් නම් පටබැඳීම සිදු වූයේ ඇය එකල ප්‍රබල කොමිනියුස්‌ට්‌ රාජ්‍ය වූ සෝවියට්‌ දේශය නිර්දය ලෙස විවේචනය කිරීම නිසාය.

සෝවියට්‌ දේශය නිරන්තරව තමන් ලෝකයට ලොක්‌කා සේ සැලකුවත්, ඔවුන් ලෝකය පාලනය කරන්නේ ආයුධ බලයෙන්.... ඒත්... අපි ආයුධ අතට ගන්නේ වෙනත් විකල්පයක්‌ නැත්නම් විතරයි... 1976 වසරේ ඇගේ ප්‍රකාශයත් කොමිනියුස්‌ට්‌ රාජ්‍යයේ බිඳ වැටීමත් අතර මනා සම්බන්ධතාවයක්‌ ඇති බව විචාරකයන් සඳහන් කරනවා. ඇයගේ නිර්දය කතාව නිසා සෝවියට්‌ සමුහාණ්‌ඩුවේ Red Star පුවත්පත් කතුවර කපිතාන් යුරී ගව්රිලොව් විසින් ඇය යකඩ ගැහැනිය යෑයි නම් කරනු ලැබුවා.

මේ අතර තැචර් තමන්ගේ නමට අන්වර්ථ ලෙසින්ම ක්‍රියාවද ගොඩ නගා නොගත්තා නොවේ. 1979 වසරේ මැයි මස තුන් වෙනි දින පැවැති මහ මැතිවරණයෙන් ජය ලද ඇය බ්‍රිතාන්‍යයේ අගමැති තනතුරෙන් පිදුම් ලද්දීය. මේ වන විටත් වැටුප් වෙනුවෙන් වූ වැඩවර්ජන රැල්ලක්‌ බ්‍රිතාන්‍ය පුරා පැතිරෙමින් තිබුණි. බලයට පත් මාග්‍රට්‌ තැචර් මේ සඳහා පෞද්ගලික ව්‍යාපාර සමග සාකච්ඡාවන් පවත්වා රට අභ්‍යන්තරයේ සුළු, මධ්‍යම සහ මහා පරිමාණ කර්මාන්ත ආරම්භ කිරීම වෙනුවෙන් පෞද්ගලික අංශයට පහසුකම් ලබා දෙන ලදී. මෙම කාලය වන විට ෆෝක්‌ලන්ත යුද්ධ ආරම්භ වීමේ අවස්‌ථාවට මුල පුරන ලද අතර තැචර් අවධාරණයෙන්ම කියා සිටියේ මම පරාජය කියන වචනයේ තේරුම දන්නේ නැති බවයි. ඇය වාග් ප්‍රහාරයෙන් නොව ක්‍රියාවෙන් සිය හැකියාවන් ප්‍රදර්ශනය කළ අතර ෆෝක්‌ලන්ත යුද්ධය ජයග්‍රහණය ඇයගේ නාමයට අමරණීයත්වය එක්‌ කරන්නට සමත් විය. 1982 වසරේදී ආර්ජන්ටිනාව අසල වූ බ්‍රිතාන්‍යයට අයක්‌ ෆෝක්‌ලන්ත දූපත අත්පත් කර ගන්නට ආර්ජන්ටිනාව ආක්‍රමණය කරන විට, බ්‍රිතාන්‍යයේ සිට සැතැපුම් 8000 ක්‌ දුරින් පිහිටි එම දූපත හමුදා ශක්‌තියෙන් මුදවා ගෙන නැවතත් බ්‍රිතාන්‍යයට පවරා ගැනීමට තැචර් කටයුතු කළාය.

1983 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ඇය දෙවැනි වරටත් අගමැතිනිsය ලෙස ජනතාවගේ පිළිගැනීමට පාත්‍ර වූයේය. 1984 පැවැති දීප ව්‍යාප්ත පතල් කම්කරුවන්ගේ වැඩ වර්ජනයේදී ඒ වෙනුවෙන් අනම්‍ය ස්‌ථාවරයක තැචර් සිටියෙන් යකඩ ගැහැනිය හමුවේ හිස ගසා ගෙන රිදවා ගත නොහැකි නිසාම පතල් කම්කරුවන්ට ඉල්ලීම් දිනා ගැනීමක්‌ නොමැතිවම සේවයේ යෙදෙන්නට සිදු විය.

වාමාශිංක සහ දක්‌ෂිණාංශික ලෙසින් ලෝකය පිල් දෙකකට බෙදුන කල්හි ඇය දක්‌ෂිණාංශික කඳවුරේ සෙන්පතිනිය වූවාය. ඇමරිකා එක්‌සත් ජනපදයේ රොනල්ඩ් රේගන් තැචර් ගරු කරන ලද චරිතයක්‌ වූවාය. ලෝකයේ ප්‍රබල වාමාංශික රාජ්‍ය වූ සෝවියට්‌ රුසියාවට එරෙහිව ඇය ඇමරිකාව සමග සම්බන්ධ වෙමින් සීතල යුද්ධය අපූරු ලෙසින් දියත් කළාය. නමුත් දකුණු චීනයේ හොංකොංහි අයිතිය 1997 වසරේ සිට චීනයට අයිති යෑයි කියන විටත් තැචර් ඒ වෙනුවෙන්ද අත්සන් තබන්නට මැලි වූයේද නැත. හොං කොං රාජ්‍යය චීන රජයට තෑග්ගක්‌ ලෙසින් ඇය පිළිගැන්වීම නිසාත් ආර්ජන්ටිනාවට ෆෝක්‌ලන්ත දූපත් අහිමි කිරීම වැනි ක්‍රියා පිළිවෙත නිසාත් එවක චීන අගමැති ඩෙං ෂියාඕ පිං කියා සිටියේ මාග්‍රට්‌ තැචර් යනු සැබෑ පරිත්‍යාශීලී කාන්තාවක්‌ බවයි. ශීS්‍රs ලංකාව වසර 133 ක්‌ පුරා බ්‍රිතාන්‍ය යටත් විජිතයක්‌ව පැවැති අතර එතෙක්‌ මෙතෙක්‌ ශ්‍රී ලංකාව ලද විශාලතම ආධාර මුදල වූයේ කඩිනම් මහවැලි ව්‍යාපාරය වෙනුවෙන් වූ වික්‌ටෝරියා ව්‍යාපෘතියට ලබා දුන් මුල්‍ය ආධාරයි.

රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කිරීමේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ බ්‍රිතාන්‍යයේ ජාතික ගුවන් සේවය වූ බ්‍රිටිෂ් එයාවේස්‌ ආයතනය පෞද්ලීකරණය වෙනුවෙන් ඇය තීරණ ගත්තාය. බ්‍රිතාන්‍ය වානේ නිෂ්පාදන ආයතනය පවුම් කෝටි ගණනක්‌ පාඩු ලබන විට පෞද්ගලීකරණයෙන් පසු යුරෝපයේ විශාල ලාබ උපයන ආයතන ලැයිස්‌තුවට මෙම වානේ නිෂ්aපාදන සංවිධානය එක්‌ විය. පෞද්ගලීකරණයට ප්‍රසිද්ධියේ පහර දෙන ඇතැම් වාමාංශික රජයන් සිය රජය අභ්‍යන්තරයේ රාජ්‍ය දේපළ පෞද්ගලීකරණයෙහි යෙදෙන්නට විය. නමුත් තැචර්ගේ ප්‍රතිපත්ති දෙබිඩි වූයේ නැත. ඇගේ තීන්දු තීරණ නිතරම සෘජු විය.

ඔබට යමක්‌ කීමට තිබෙනවා නම් පිරිමියෙකුට කියන්න.... ඔබට යමක්‌ කිරීමට තිබෙනවා නම් ගැහැනියකගෙන් උපදෙස්‌ ගන්න. කාන්තාව මුල් කර ගත් ප්‍රතිරූපය ලෝකය තුළ ස්‌ථාපිත කරන ලද්දේ ඒ අයුරින්ය. මේ අතර ලෝක ත්‍රස්‌තවාදය හිස ඔසවන යුගයේ ඇය ඉලක්‌ක කර ගෙන 1984 වසරේ බ්‍රින්ටන් හෝටලයේ බෝම්බයෙන් දිවි ගලවාගත්තාය. නමුත් තම හිතවාදීන් පස්‌ දෙනෙක්‌ මිය ගිය අතර තිස්‌ දෙනෙක්‌ තුවාල ලදහ. අයි. ආර්. ඒ. සංවිධානය සහ එහි දේශපාලන ඒකකය මෙම ප්‍රහාරයේ වගකීම බාර ගත් අතර තැචර් කියා සිටියේ අයි. ආර්. ඒ. සංවිධානය විසින්ම තමන්ගේ මග වරදවා ගත් බවයි. ඇය බලයේ සිටින තෙක්‌ මෙම සංවිධානයට කිසිදු බුරුලක්‌ ලැබුණේ නැත. මෙම සංවිධානයේ ක්‍රියාකාරිකයකු වූ බොබී සෑන්ඩ්ස්‌ ඇතුළු දස දෙනෙක්‌ බ්‍රිතාන්‍ය සිර කඳවුරකදි ආරම්භ කරන ලද උපවාසය වෙනුවෙන් තැචර්ගේ සහයෝගයක්‌ ලැබුණේ නැත. මේ නිසා වරක්‌ ජෙරී ඇඩම්ස්‌ ප්‍රකාශ කළේ අයර්ලන්තයට සහ බ්‍රිතාන්‍යයට වේදනා ගෙන දුන් තැනැත්තිය මාග්‍රට්‌ තැචර් බවයි.

දේශපාලනය තුළ වූ කීර්තිය දිගින් දිගටම රඳවා ගැනීම පහසු නැත. 1988 වසරේදී බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් ඇඟ බද්ද අය කිරීමට ගනු ලබන තීරණය ඇය වෙත අප්‍රසාදය ගෙන දුන් බව කිවහොත් නිවරැදිය. බදු බර, විරැකියාව, උද්ධමනය සමග ඇති වුන කැරලි සහ උද්ඝෝෂණ 1989 සහ 1990 කාලය වන විට උග්‍ර විය. ප්‍රචණ්‌ඩත්වය හිස ඔසවන විට 1990 දී මහජනතාවගේ කුපිත වීම් අතර රැඳෙනවා වෙනුවට ඇය අගමැති තනතුරෙන් ඉල්ලා අස්‌ වූවාය. 1990 වසරේ ඇයගෙන් හිස්‌ වුන අගමැති තනතුරට පත් ජෝන් මේකර් ඇඟ බද්ද ඉවත් කොට ඒ වෙනුවට ව්‍යාපාරිකයන්ට බර දෙන බද්දක්‌ පනවන ලදී. තැචර් ගැන අප්‍රසාදය ඇති කිරීමට වූ හේතු අතර ඇය ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් සමග දුරදිග දේශපාලන මිත්‍රත්වයක්‌ පවත්වා ගැනීමත් සමගම නෙල්සන් මැන්ඩෙලා ත්‍රස්‌තවාදියෙකුගේ නමින් හැඳින්වීමත් චිලිහි මිනිස්‌ ඝාතන සිදු කළ පිනෝවේගේ මරණ දඬුවමට එරෙහි වීම, ඇමරිකා න්‍යෂ්ටික මිසයිල බ්‍රිතාන්‍යයයේ ස්‌ථාපිත කිරීමට අවසර ලබා දීම වැනි විදේශ ප්‍රතිපත්තීන්ද බලපා ඇත.

නමුත් බ්‍රිතාන්‍ය ජාතියට ඇය විසින් ඉටු කරන ලද මෙහෙවර අමතක කිරීම එතරම් ලෙහෙසි පහසු වූයේ නැත. කෘතගුණ දන්නා නිසාදෝ 1992 වසරේ ඇය තැචර් කෙස්‌ටිවන්හි ආදිපාදවරිය යන ගෞරව නාමයෙන් පිදුම් ලැබුවාය. වතාවක ඇය වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රතිමාවක්‌ ඉදි කළ අතර තැචර් ඒ ගැන මහත් සතුටට පත් වූවාය. මේක යකඩයෙන්ම හැදුවා නම් හරි... ඇය කිව්වේ එය තමන්ගේ නාමයටම අන්වර්ථ වන නිසාය.

2003 වසරේදි ඇයගේ ජීවිත ගමන් ගමේ ප්‍රබල අත්වැල වූ ඩෙනිස්‌ තැචර්ගේ වියෝවත් සමග ඇගේ මානසික හා ශාරීරික ශක්‌තිය පිරිහෙන්න වූවාය. ඩිමෙන්සියා හෙවත් අමතක වීමේ රෝග තත්ත්වයෙන් පසු වුන මාග්‍රට්‌ තැචර්ගේ මරණයට මොලයේ ඇති වුණ ආඝාත තත්ත්වයක්‌ හේතු විය. 2013 අප්‍රේල් 8 වෙනි දින මාග්‍රට්‌ හිල්ඩා තැචර් නම් වූ යකඩ ගැහැනිය නිහඬ ලෙස ජීවිතයෙන් සමු ගත්තාය.

පුන්‍යා චාන්දනී ද සිල්වා
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts