Open top menu
Saturday, May 10, 2014

ගෝලීය දරිද්‍රතාවයේ අනාගතය ගැන ඇගැයීම් දෙකක් ගිය සතියේ නිකුත්ව තිබුණි. එකක්, ලෝකයේ ධනවත්ම පුද්ගලයා යැයි සැළකෙන බිල් ගේට්ස්ගෙනි. අනික, දරිද්‍රතාව පිටුදැකීමට අදාළව ලෝකය පුරා විවිධ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන බි‍්‍රතාන්‍ය පුණ්‍යාධාර ව්‍යාපාරයක් වන ‘ඔක්ස්ෆෑම්’ සංවිධානයයි.

‘දි ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පතේ වාර්තාවකට අදහස් දක්වමින්, බිල්
ගේට්ස්, ඉතා ශුභවාදීව, වෙනත් දේවල් අතර මෙසේ ද කියයි: ‘‘දුප්පත් රටවල්, දුප්පත් විදිහටම ඉන්න ඉරණම් කෙටිලා නැහැ. මේ ගැන මගේ තියෙන්නේ ශුභවාදී ආකල්පයක්. ඒ සම්බන්ධයෙන් යම් අනාවැකියක් කියන්නත් මං කැමතියි. 2035 වෙනකොට, ලෝකයේ දුප්පත් කියලා රටවල් නැත්තටම වගේ නැති වෙලා යාවි. හැම රටක්ම වගේ, අද අපි කියන විදිහට ‘පහළ මැද ආදායම්’ රටවල් ගණයට හරි ධනවත් රටවල් ගණයට හරි අයිති වේවි. ඒක, ඉතා විශිෂ්ඨ සාර්ථකත්වයක්. මං උපදින කොට ලෝකයේ වැඩි රටවල් සංඛ්‍යාවක්, දුප්පත්. ඊළඟ දශක දෙක වෙනකොට, අන්ත දිළිඳු රටක් තිබුණොත්, ඒ හුඟාක් කලාතුරකින්. කෙලකෝටි ගණන් දුප්පත් මිනිස්සු ඒ තත්වෙන් ගොඩ ඒවි. මේක මගේ ජීවිත කාලෙදීම ඇති වෙයි කියන එක, මාව විස්මයට පත්කරවන කාරණයක්.’’

ඒකේ අනිත් පැත්ත උත්ප‍්‍රාසාත්මකව පෙන්නන්නේ ‘ඔක්ස්ෆෑම්’ ආයතනයෙන්: ‘‘ලෝකයේ ප‍්‍රභූ පැලැන්තිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනතුරට පත්කරමින්, ලෝකය පුරා අසමානත්වයේ විශාල පරතරයක් ඇති කරමින්, තමන්ගේ වාසියට නීති වෙනස් කරගෙන තියෙනවා. ඒ පරතරය කොච්චර ද කියනවා නම්, ලෝක ජනගහනයෙන් අඩකට අයිති ධනයට සමාන ධනයක් ලෝකයේ ඉන්න ඉහළම ධනපතියන් 85 දෙනෙකුට අයිති වෙනවා.’

‘ඔක්ස්ෆෑම්’ සංවිධානය මේ නිරීක්ෂණය කරන්නේ, ලෝක ආර්ථික සංවර්ධනයට අදාළ ප‍්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ලෝකයේ ධනවත්ම රටවල් එකතු වෙන, ඬේවෝස් නුවර ‘ලෝක ආර්ථික සමුළුව’ පසුබිමේ ය. මෙහි ඇති විශේෂත්වය වන්නේ, ධනපතියන් සහ දිළින්දන් අතර වර්ධනය වෙන පරතරය, ‘2014 දී ලෝකය මුහුණදෙන දරුණුම අවදානම, මෙසේ වර්ධනය වන ඇති=නැති පරතරය’ බව ‘ලෝක ආර්ථික සමුළුව’ විසින් ද පිළිගැනීමයි.

ලෝකයේ දරිද්‍රතාව සහ ඊට අදාළ ප‍්‍රශ්න පිළිබඳව ඉදිරිපත් කර ඇති මේ එකිනෙකට ප‍්‍රතිපක්ෂ නිරීක්ෂණ දෙකින් වඩාත් නිවැරදි කුමක් ද? පිළිගත හැකි පිළිතුරක් ඉල්ලා සිටින ගැටළුව එයයි.

ගේට්ස් තමන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට පෙර, ‘එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල’ එහි 2013 මානව සංවර්ධන වාර්තාව තුළ, සංවර්ධනය වෙමින් පවතින ලෝකය හෙවත් ගෝලීය දකුණ. ලෝකයේ සංවර්ධන අර්ධ ගෝලය වශයෙන් ඉස්මතු වන බව විස්තරාත්මකව පෙන්වා දුනි. එම වාර්තාවේ මූලික ස්ථාවරය වුණේ, ලෝක ආර්ථික බල තුලනය තීරණාත්මක ආකාරයෙන් දක්ෂිණ අර්ධ ගෝලයට මාරු වී ඇති බවත්, බි‍්‍රක්ස් සංවිධානයට අයත් සාමාජිකයන් (බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය) වැනි රටවල් ලෝකයේ සම්පත් ජනනයේ පෙරමුණ ගනු ඇති බවත් ය.

ඒ නිසා, එක්තරා ආකාරයකින්, ගේට්ස්ගේ පුරෝකථන නිවැරදි ය. ඉදිරි වසරවලදී, දරිද්‍රතාවයේ ගිලූණු රටවල්, එතෙක් අප දැන සිටි අර්ථයෙන්, තවදුරටත් තිබිය නොහැකිය. දකුණු අර්ධගෝලයේ ආර්ථික ඵලදායීතාව සහ වර්ධනය ව්‍යාප්ත වන තරම කෙතෙක් ද යත්, මෙම රටවල් ‘මධ්‍යම ආදායම් රටවල්’ වශයෙන් සුදුස්සන් වීමට තරම් ප‍්‍රමාණවත් වනු ඇත.

එහෙත්, අතීතයේ දෙයක් බවට පත්වනු ඇත්තේ ඇත්තෙන්ම කුමක් ද? දුප්පත් රටවල් ද, දුප්පත් ජජනතාව ද? අන්තර්ජාතික සංවිධාන සහ වෙනත් අදාළ ක්ෂේත‍්‍ර මේ විෂය සම්බන්ධයෙන් සළකා බැලෙන පොදු සාකල්‍යතා ගැන සළකා බැලීමේ දී, මේ දෙක එකක් වශයෙන් සැළකිය හැකි නොවේ. මෙහි දී පවා ගේට්ස් තරමක නිවැරදි පුරෝකතනයක සිටිනා බවක් පෙනේ. මන්ද යත්, මන්ද යත්, කෙලකෝටි ගණන් ජනතාව ඉදිරි වසරවලදී දරිද්‍රතාවෙන් ගොඩ එන පවට ඔහු අනාවැකි කියන බැවිනි. එහෙත්, ද්‍රරිද්‍රතාව මණින කෝදුව කුමක් ද?

මෙය ඉතා සංකීර්ණ ප‍්‍රශ්නයකි. මෑතක් වන තෙක් දරිද්‍රතාවයේ මිම්ම වුණේ, එක වැඩිහිටියෙක් දිනකට ඇමරිකානු ඩොලර් එක හමාරක් හෝ ඊට අඩු ආදායමක් ලබන තත්වයකි. දරිද්‍රතාවයේ කෝදුව තවමත් එයම ද? මේ ගැන පවතින සියලූ අනේකාර්ථ පැහැදිළි කිරීම ස්වකීය අනිවාර්ය වගකීමක් වශයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන සැළකිල්ලට ගත යුතුව තිබේ.

රටක් දුප්පත් ද පොහොසත් ද යන්න මැනෙන තීරණාත්මක සාධකය වශයෙන්, රටක ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය දැක්වීමට ගතානුගතික නිරීක්ෂකයන් පෙළඹෙනු ඇත. එහෙත් අහස උසට පිම්මේ යන උද්ධමනයක් ඇති මෙවන් අවදියක ප‍්‍රමාණවත් එක් පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයක් වශයෙන් සැළකිය හැක්කේ කුමක් ද? උදාහරණයක් වශයෙන් ශ‍්‍රී ලංකාව දැනට ඇමරිකානු ඩොලර් 2900 ක තරමේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයකට හිමිකම් කියයි. එම සංඛ්‍යාවන්ට අනුව එය, ‘මධ්‍යම පරිමාණයේ ආදායම්’ රටක් වශයෙන් වර්ග කෙරේ. එහෙත් රටේ වෙසෙන හතර දෙනෙකුගෙන් යුත් සෑම පවුලකටම මේ ආදායම ලැබෙති යි උපකල්පනය කළත්, පුද්ගලයෙකුගේ සහ පවුලක ආදායම කිසි දයාවකින් තොරව ඩැහැගන්නා උද්ධමනයට ඔරොත්තු දීමට ඒ ආදායම ප‍්‍රමාණවත් වෙයි ද?

මේ නිසා, විශේෂයෙන් වෙළඳපොළ ආර්ථිකයක් තුළ, පවුලකට හෝ පුද්ගලයෙකුට ‘සෑහීමකට පත්විය හැකි ආදායමක්’ වශයෙන් සැළකිය හැකි මුදල බෙහෙවින් සාපේක්ෂ අගයක් ගන්නා බව කිව යුතුය. වෙළඳපොළ බලවේගයන්ට නිදහසේ යන්නට දුන්නොත්, අද ප‍්‍රමාණවත් ආදායමක් වශයෙන් සැළකෙන මුදල, මාස කිහිපයකින් හෝ සති කිහිපයකින්, සොච්චමක් වන්නට පුලූවන. මේ නිසා, ගේට්ස් ඇතුළු වෙනත් ශුභවාදීන්, සෑහීමකට පත්විය හැකි අදායම මණින මිම්ම කුමක් දැ යි, පුද්ලයන් සහ පවුල් ඒකකවල දෘෂ්ටි කෝණයෙන් පැහැදිළි කර දිය යුතුය.

ලින් ඔකේර්ස්

|2014 ජනවාරි 29 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ What Bill Gates Could have Missed Out On නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts