Open top menu
Sunday, May 18, 2014

වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ හිත දිනා ගත් මාධ්‍යවේදිනියක ලෙස ප්‍රකට ඉන්දීය මාධ්‍යවේදිනී අනීතා ප්‍රතාප් කලකට ඉහත දී අපූරු කතාවක් කීවාය.

"1983දී මට මදුරාසියෙදි ජේ‍යාතිර්වේදියෙක් හමුවුණා. ඔහුගේ නම ඩී.වී. ක්‍රිෂ්ණා. ඔහු ආයතන නාම, සංකේත (ලෝගෝ) ගැන අනාවැකි පළකරන කෙනෙක්. මම ඒ කාලේ වැඩ කරපු සඟරාව ප්‍රකාශයට පත්කරපු ආයතනයේ නම නිසා එම සඟරාව වහන්න වෙනවා කියලා අනාවැකියක්
පළ කළා. ඒ ආයතනය සුන්නත්දූලි වෙලා යනවා කියලා ඔහු කීවා. ඔහු කීව දේ හරි ගියා. ආයතනය වැහුවා. මට රස්සාවත් නැතිව ගියා. ඒ වේලාවේ ඔහු තව අනාවැකියක් කීවා. ඒ ලංකාවේ ජාතික කොඩිය ගැන. ලංකාවේ ජාතික කොඩියේ ඉන්න සිංහයා කකුල් තුනකින් හිටගෙන එක කකුලකින් කඩුවක් අමෝරාගෙන සිටීම රටට අසුබයි කියලා කීවා. එයින් රට හැමතිස්සෙම අස්ථාවර බවත්, ලේ විලක් වෙන බවත් කීවා...."

මේ ඇය කී කතාවය. මෙයට වෙනස් කතාවක් ඉන්දියාවේ ජේ‍යාතිර්වේදීන්ගේ අනාවැකි අහන්න ගිය මෙරට විපක්ෂයේ දේශපාලනඥයෙක් කීවේය.
"ඔබ හිතන්නෙ ප්‍රභාකරන් ඝාතනය වූයේ ඔබේ රටේ හෝ ජනාධිපතිගේ ග්‍රහ බලයට කියලද...?"
ජේ‍යාතිර්වේදියා ලංකාවේ දේශපාලනඥයාගෙන් අසා තිබිණි.
"මම හිතන්නෙ එහෙමයි...."
ලංකාවේ දේශපාලනඥයා කියා තිබිණි.


"සත්තකින්ම නැහැ..."
මේ ජේ‍යාතිර්වේදියා දේශපාලනඥයාගේ මතය බොරු කළ හැටිය.
"ඔබ දන්නවාද ඔබේ රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂගෙ ග්‍රහ බලයයි, අපේ සෝනියා ගාන්ධි මැතිනියගෙ ග්‍රහ බලයයි දෙකම හොඳට ගැළපෙනවා කියලා. ඇය බලයට ආපු 2004දී තමයි මහින්ද ඔබේ රටේ අගමැති වෙන්නේ. 2004 ඇයට ලැබෙන්නෙ සුළු බලයක්. මහින්ද 2005 ගත්තෙත් සුළු බලයක්. ප්‍රභාකරන් ඔබේ රටේ ජනාධිපති මහින්දගේ හතුරෙක් වෙන්නේ 2005ට පස්සේ. හැබැයි රජිව් ගාන්ධි ඝාතනය කරපු දවසේ ඉඳල ප්‍රභාකරන් සෝනියා ගාන්ධිගෙ හතුරෙක්. ඇයගේ දෛවය ප්‍රභාකරන්ට දඬුවම් දෙන්න සිංහයෙක් හොයනවා. 2004දී ඇගේ වෙලාව හොඳ වෙනකොටම ඒ සිංහයා ලංකාවෙන් මතු වෙනවා, ඔහු මහින්ද. 2005 ඔහු රජ වෙනවා. ඔහු සෝනියා ගාන්ධිගෙ අරමුණ ඉෂ්ට කරනවා. ඒ 2009 මැයි 18. හරියටම ඉන්දියාවේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙන්නෙත් ඒ දවස්වල. මහින්ද ප්‍රභාකරන්ව විනාශ කරනවා. සෝනියා ගාන්ධි මහා බලයකින් ආණ්ඩුව පිහිටුවනවා. 2010 මහින්දත් මහා බලයකින් ජනාධිපති වෙලා ආණ්ඩුව පිහිටුවනවා..."
මේ ජේ‍යාතිර්වේදියා දේශපාලනඥයාට කියා තිබූ කතාවය. මේ කතාව ඔහු කියා තිබුණේ කලකට ඉහතදීය.


"සෝනියා ගාන්ධිගේ වැටීම ගැන ඔහු මුකුත් කීවේ නැද්ද...?"
2014 ඉන්දීය මහ මැතිවරණ සටන අතරතුර මාධ්‍යවේදියකු විපක්ෂයේ දේශපාලනඥයාගෙන් අසා තිබිණි.
"නෑ. ඔහු කීවේ මේ හඳහන් දෙක එකට යන හඳහන් දෙකක් කියලයි. හරියට බණ්ඩාරනායක මැතිනියගෙයි ඉන්දිරා ගාන්ධිගේ වගෙයි..."
මේ දේශපාලනඥයාගේ උත්තරයය.


ඇත්තටම ඉන්දිරා ගාන්ධිගේ දේශපාලනයත්, බණ්ඩාරනායක මැතිනියගේ දේශපාලනයත් අතර පුදුම සමානකමක් තිබේ. දෙදෙනාගේම නැඟිටීම 60 දශකයේය. මේ දෙදෙනාගේම බල සම්පන්න කාලය 70 දශකයය. ඇත්තටම ඉන්දියාවේ ගාන්ධිවරුන්ගේ කොංග්‍රස් පාලනයත්, ලංකාවේ බණ්ඩාරනායකවරුන්ගේ ශ්‍රී ල.නි.ප. ප්‍රමුඛ සන්ධාන පාලනයත් අතර පුදුම සමානකම් තිබේ. ඒ වාගේම ලංකාවේ යූ.ඇන්.පී. පාලන කාලයත්, ඉන්දියාවේ ගාන්ධි විරෝධී කොංග්‍රස් විරෝධී ජනතා පක්ෂ සහ භාරතීය ජනතා පක්ෂ පාලන කාලයත් අතර බොහෝ සමානකම් තිබේ. 70-77 බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණු ආණ්ඩුවට ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධිගේ කොංග්‍රස් ආණ්ඩුවේ සහාය ලැබිණි. එවකට විපක්ෂ නායක ජේ.ආර්. ඉන්දිරා ගාන්ධිව තදින් විවේචනය කළේ ඇය ලංකාවේ මැතිනියගේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පසසමින් ඇගේ ආණ්ඩුවට සහාය පළකරන නිසාය. ඇත්තටම 1977දී ඉන්දිරා ගාන්ධි මහ මැතිවරණයට යද්දීම බණ්ඩාරනායක මැතිනියත් මහ මැතිවරණයකට යන්න තීරණය කළාය. දෙදෙනාම පරාජයට පත්විය.


1977 ජේ.ආර්.ගේ යූ.ඇන්.පී.ය බලයට එද්දී ඉන්දියාවේ මොරාජ් දේශායිගේ පක්ෂය බලයට ආවේය. මේ දෙදෙනා ගජ මිතුරන් වූහ. මේ ගජ මිතුරුකම ඉන්දිරා ගාන්ධි මෙන්ම බණ්ඩාරනායක මැතිනියද ඉවසුවේ නැත. ඉන්දිරා යළි ඉන්දියාවේ අගමැතිනිය වී ජේ.ආර්.ගේ යූ.ඇන්.පී. ආණ්ඩුව බලයෙන් පහකරන්න උතුරේ යුද්ධය නිර්මාණය කළේ එහෙයිනි. ජේ.ආර්. සහ යූ.ඇන්.පී.යේ වැටීම පටන් ගත්තේ ඉන්දිරා ගාන්ධි නිර්මාණය කරපු යුද්ධයේ අංගවිකල දරුවා ප්‍රභාකරන් අතින්ය.
1994දී බණ්ඩාරනායකවරුන්ගේ ශ්‍රී ල.නි.ප.ය යළි බලයට ගේන්නේ ප්‍රභාකරන්ය. 1998 දී ඉන්දියාවේ කොංග්‍රස් ආණ්ඩුව බලයෙන් වීසි වී එන්නේ යූ.ඇන්.පී, හිතවාදී භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවය. 1994 බලයට ආ චන්ද්‍රිකාගේ ආණ්ඩුවට ඉන්දියාවේ කොංග්‍රස් ආණ්ඩුව සහාය පළ කළත් 98දී බලයට එන භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව චන්ද්‍රිකාගේ ආණ්ඩුව සමඟ ගැටුම් ඇතිකරගනී. එම ගැටුමේ ප්‍රතිඵලය ලංකාවේ යූ.ඇන්.පී. ආණ්ඩුවක් බලයට ඒම දැයි මා 2000 ජුනි 15 වැනි දින ලියපු ගුරුදා විග්‍රහයෙන් උපුටා ගත් කොටසක් පහත දැක්වේ.


"ඉන්දිරා ගාන්ධි අගමැතිනිය ලෙස දිවුරුම් දුන් විගස කාඕට කතා කොට ශ්‍රී ලංකා මෙහෙයුම නමින් මෙහෙයුමක් දියත් කරන්න භාරදුන්නේ ඒ නිසාය. කාඕ කියන්නේ වෙනත් කවුරුවත් නොවේ. ඉන්දිරා ගාන්ධි ඉන්දියාවේ ප්‍රථම අගමැතිනිය ලෙස දිවුරුම් දුන්නායින් පසු 1968දී ඉන්දියාවේ විශේෂ ඔත්තු සේවයක් හදන්නට තෝරාගත් රාජ්‍ය නිලධාරියාය. ඔහු යළි කැඳවා ශ්‍රී ලංකා මෙහෙයුම නම් වූ මෙහෙයුමක් භාරදුන්නේ තර්ඩ් ඒජන්සි නමින් වෙනම ඒකකයක් පිහිටුවලාය. එහි අරමුණ ශ්‍රී ලංකාවේ උතුරු නැඟෙනහිර වාර්ගික යුද්ධයක් නිර්මාණය කොට ඉන්දියාව ඊට මැදිහත්වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමය.


ඉන්දිරා ගාන්ධි වෙනුවෙන් කාඕ නිර්මාණය කළ ඒ ශ්‍රී ලංකා මෙහෙයුම නිසා ශ්‍රී ලංකාවේ ජේ.ආර්. ජයවර්ධනටත් ගෙදර යන්නට සිදුවූයේය. රණසිංහ ප්‍රේමදාසට මහමඟ මියයන්නට සිදුවූයේය. ඇතුලත්මුදලිලාට වෙඩි කන්නට සිදුවූයේය. ගාමිණී දිසානායකට මරාගෙන මැරෙන බෝම්බයකින් මියයන්නට සිදුවිය. ඒ විතරක් නොවේ මහ භාරතය නම් ඉතිහාස පොතෙහි ගාන්ධිලාගේ උරුමය ලෙයින් අකාමකා දමමින් රජීව් ගාන්ධිට මරාගෙන මැරෙන බෝම්බයකින් මරු වැලඳගන්නට සිදුවිය. ගාන්ධිලා නිර්මාණය කළ ශ්‍රී ලංකා මෙහෙයුම ගාන්ධිලාටම එරෙහිව පාරාවළල්ලක් වූයේ එසේය.
ගාන්ධිලා වෙනුවෙන් ශ්‍රී ලංකා මෙහෙයුම නිර්මාණය කළේ ඇයිද යන්නට කාඕ උත්තර දුන්නේ නැති වුණත්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මැදිහත් වීම නම් වූ ග්‍රන්ථයට ඔහු අපූරු කතාවක් කියා තිබුණේය. ඔහු කියා තිබුණේ ගාන්ධි මැතිනිය හා බණ්ඩාරනායක මැතිනිය අතර තිබුණේ පුදුමාකාර බැඳීමක් කියාය. ඔහු නොකියා කීවේ බණ්ඩාරනායක මැතිනිය යළිත් ශ්‍රී ලංකාවේ බලයට ගෙනෙන්නට ගාන්ධි මැතිනියට ඕනෑවී තිබුණු බවය. ඔහු ඒ බව අඟවා තිබුණේ ගාන්ධි මැතිනියගේ ශ්‍රී ලංකා මෙහෙයුම බණ්ඩාරනායක මැතිනිය බලයට ගෙන ඒමේ මෙහෙයුමක් බව නොඅඟවමින්ය.


කොහොම වුණත් ඒ බණ්ඩාරනායක මැතිනියගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියට අද මුහුණ දෙන්නට සිදුවී ඇත්තේත් එදා ගාන්ධිලා වෙනුවෙන් කාඕ පටන්ගත්ත ඒ ශ්‍රී ලංකා මෙහෙයුමටය. අද කාඕලා නැත. ගාන්ධිලාත් නැත. අද ඉන්නේ එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දිනකර පත්තරයෙන් බණ්ඩාරනායක මැතිනියත් බමුණු මාල්ලන් ලෙස ඒකාධිපතියන් ලෙස, දුෂ්ටයන් ලෙස හඳුන්වනු ලැබූ ජනතා පක්ෂ ආණ්ඩුවේ හිටපු විදේශ ඇමැතිවරයාය.
1977 මහ මැතිවරණයේදී හැත්තෑදාහකට වැඩි ඡන්ද ගණනකින් දිනාගත් ආසනය 80 මහ මැතිවරණයේදී හත්දාහකින් යන්තම් රැක ගත්තා යැයි දිනකර පත්තරය කියූ විදේශ ඇමැති වජ්පායි ඔහුය. ජනතා පක්ෂයේ කෑලි එකට එකතුකරගෙන බොහොම අමාරුවෙන් භාරතීය ජනතා පක්ෂය හැදුවේ ඔහුය. අද ඉන්දියාවේ අගමැති ඔහුය. ඔහුගේ රජයේ ආරක්ෂක ඇමැති ෆර්ඩිනන්ඩිස් 1977 - 80 ජනතා රජයේ හිටපු දුම්රිය භාර ඇමැතිවරයාය. අද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයට ගනුදෙනු කරන්නට සිදුවී ඇත්තේ එදා බමුණු මාල්ලන් ලෙස හඳුන්වන ලද 1977-80 ජනතා රජයේ ඇමැතිවරුන් එක්කය. ඉතිං ශ්‍රී ලංකාවේ අද උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳ ඉන්දීය රජයේ ස්ථාවරය ගැන තමන් කනස්සල්ලෙන් ඉන්නවා යැයි ජනාධිපතිනිය විදේශ මාධ්‍යවේදීන්ට පැවැසීම පුදුමයට කරුණක් නොවේ. ඉන්දීය රජය මේ ප්‍රශ්නයට මැදිහත් කරගත යුතු යැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ උදේ හවා කීවද පුදුමයට කරුණක් නොවේ. ඔහු එසේ කියන්නේ ඔහු විදේශ නියෝජ්‍ය ඇමැති ධුරය දරපු කාලයේ ඉන්දියාවේ විදේශ ඇමැති ධුරය දැරූ වජ්පායි අද ඉන්දියාවේ අගමැති වී සිටින නිසාය. ඉන්දියාවේ ස්ථාවරය ගැන තමන් කනස්සල්ලෙන් සිටිනවා යැයි අද චන්ද්‍රිකා ජනාධිපතිනිය කියන විට ඉන්දියාවේ ස්ථාවරය ගැන තමන් කනස්සල්ලෙන් සිටිනවා යැයි එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කී කතාව ඔහුට මතක් නොවුණානම් පුදුමය. එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එහෙම කියද්දී ඉන්දියාවේ තිබුණේ බණ්ඩාරනායක හිතවාදී කොංග්‍රස් ආණ්ඩුවකි. අද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය එහෙම කියද්දී ඉන්දියාවේ තියෙන්නේ එ.ජා.ප. හිතවාදී ජනතා පක්ෂයෙන් නිර්මාණය වූ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවකි. එකම වෙනස එපමණය."


තිත්තයාගේ වාරය 15.06.2000 ගුරුදා විග්‍රහය
මා පෙන්වා දුන් ලෙසම හරියටම වසරක් ගතවන විට චන්ද්‍රිකාගේ ආණ්ඩුවට බහුතරය අහිමි විය. 2001 දෙසැම්බරයේ යූ.ඇන්.පී. ආණ්ඩුවක් බලයට පත් විය. 2004 දී යූ.ඇන්.පී. ආණ්ඩුව වැටෙද්දීම ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව වැටුණි.
2004 සෝනියා ගාන්ධි මතුවූවා වාගේ මහින්ද මතුවූවා යැයි ජේ‍යාතිර්වේදියා කීවේ ඒ අනුවය. දැන් සෝනියා ගාන්ධි ඉවරය. කොංග්‍රස් ආණ්ඩුවත් ඉවරය. ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය යළි බලයට පැමිණ ඇත.
එතකොට යූ.ඇන්.පී.ය?
යූ.ඇන්.පී.යට බලයට එන්න මෝඩි කෙනකු අවශ්‍යය. රනිල් භාරතීය ජනතා පක්‍ෂය 2004දිත් 2009දිත් පරද්දපු අවාසනාවන්ත අද්වානි වගේය. රනිල්ට භාරතීය ජනතා පක්‍ෂයේ සම්බන්ධකම් තිබුණේ වජ්පායි සහ අද්වානි සමගය. මෝඩි අලුත් නායකයෙකි. යූ.ඇන්.පී.යට බලයට එන්න අවශ්‍ය මෝඩි කෙනෙකි. ඉන්දියාවට
සෙම්ප්‍රතිෂ්‍යාව හැදෙනකොට ලංකාවට උණ ගැනෙනවා යැයි කතාවක් තිබේ. ඉන්දියාවේ භාරතීය ජනතා
පක්‍ෂය වගේ ලංකාවේ යූ.ඇන්.පී.යට මෝඩි කෙනකු මතුවෙයිද?
එහෙම වුණොත් මහින්දට මොකක් වෙයිද?

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

Popular Posts

Popular Posts