Open top menu
Sunday, May 18, 2014

යුද්ධය නිමවීම සමග යුධ ජයග්‍රහණයෙන් මත්වී සිටි ‘සිංහල බෞද්ධ’ සමාජය සියල්ල තම සිතැ’ගි පරිදි ඉටුකරන භූමි පෙදෙසක් බවට ලංකා දූපත පත්කරනු ලබයි. වසර 25 ක පමණ කුරිරු යුද්ධයකට පසුව විනාශ වී ගිය රටත්, සමාජයත්, නැවත සුවපත් කිරීමට නැතනම් යහපාලනයක් කරා ගෙන ඒමට පැහැදිලි දේශපාලන
දැක්මක් සහ සංයමයකින් යුතු දේශපාලන මෙහෙයවීමක් අත්‍යවශ්‍යය. නමුත් යුධ ජයෙන් හිස් තෝන්තු කර ගන්නා පාලක කණ්ඩායම මෙන්ම අනුගාමික ‘සිංහල බෞද්ධ’ බලවේග තම ක්‍රියාවන් අරඹන්නේ මෙයට හාත්පසින්ම විරුද්ධ දිශාවකටයි.

යුධ නිමාවත් සමගම උද්දාමයෙන් නැටීමේ සිට අරඹන බලය පෙන්වීමේ අධිපතිබව එකින් එක ගමන් කරන්නේ තමනට ඉහලින් යා හැකි කිසිවෙකු මේ භූමිය තුල නොමැත යන මානසිකත්වය තුලිනි. යුද්ධයෙන් මහත් ලෙස පීඩාවිදි වන්නියේ දෙමළ සමාජය මත ඔවුන් එම පීඩනය පටවන්නේ රටක් ආක්‍රමණය කළ ආක්‍රමණිකයන් මෙනි. තම උපන් බිම තුලම අවතැන් වී සිටි දෙමළ ජනයා සතු, සාරවත් ඉඩකඩම්වල අයිතිය තමන් වෙත පවරා ගනිමින් විශේෂයෙන්ම හමුදාවන් සහ හමුදා නිලධාරීන්ගේ සහ රජයේ හිතවතුන් අතර බෙදා ගනිති. ඒ ප්‍රදේශයන්හි පැවති සොහොන් කොත් පවා කඩා බිද දමා සිංහල යුධ සෙබළුන්ගේ යුධ ස්මාරක ඒවා මත තනති. මෙතුලින් පීඩාවට පත්වී වේදනාවෙන් පෙලෙන දෙමළ ජනයාට තවත් වේදනාවක් ඇතිකරනවා මිස සහජීවනයට මගක් ඇති නොකරන බව පැහැදිලිය. කොහේ හෝ කැලයක හැදුණු බෝපැලයක් ළඟ පවා බුදු පිළිමයක් තබමින් තම අධිපති බව දෙමළ ජනයාට නිරන්තර සිහි කරවයි. එපමණකින් නොනැවතී මිනිස් සංහාරයක චෝදනා ලබා සිටින (හතුරු මනසකින්ද යුතු) සිංහල හමුදාවටම එම ප්‍රදේශ පාලනය භාරදෙනු ලබයි.

යුද්ධය ජය ගැනීම සමග ලංකා රජය (යුද්ධය නිසා කොතරම් හානි සිදුවී තිබුනා වුවත්) විනාශයකට මැදිව සිටි දෙමළ ජනයාට ජීවිත නැවත ගොඩ නගා ගැනීමට අවංකව, සහන සහ ආධාර දෙමින් යුද්ධය සහ යුද්ධය ඇතිවීමට හේතු වූ කරුණු ගැන අවංක පිලිවෙතක සිටිමින් මේ පෙදෙස්වල ජනයාට තම ජීවිත යථා තත්වයට ගෙන ඒමට සහන සැපයිමට හැකිව තිබිණ. නමුත් එවැන්නක් වෙනුවට එයට හාත්පසින්ම විරුද්ධ දෙයක් සිදුවන්නේ ඉඩම් කොල්ලකමින්, ඔවුන්ගේ සංස්කෘතිය යටපත් කරමින්, ආක්‍රමණික හමුදාවක් ලෙස සංස්කෘතික ආක්‍රමණයක් ද අරඹමිනි. එතුලින් සිදු වන්නේ යුද්ධයෙන් බෙදී තිබූ රට ජන කණ්ඩායම් වශයෙන් පැහැදිලි බෙදුමකට ලක්වීමයි. ලංකා රජයේ ප්‍රධානින් විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්වරයාගේ සිට හමුදා නායකයින් දෙමළ ජනයා ජීවත්වන පෙදෙස් වලදී කරන ප්‍රකාශයන් සහ හැසිරෙන ආකාරය හන්දිවල ‘චන්ඩි’ සිහි ගන්වනු ලබන එකකි.

යුද්ධය ජය ගැනීම සමග දකුණේ සමාජය තුල, එහි නායකයින් තුල අලුත්ම ජවයක බලෝන්මාදයක් ඇති කරනු ලබයි. තමන්ගේ හිසට ඉහලින් කපුටෙකු පියාඹා ගියාට ඔවුනට කූඩු සැදීමට ඉඩදිය නොහැකිය කියා කියන තරමට ඔවුන් උද්දාමයක ගිලී ගියහ. මෙම උද්දාමය ඇතිවීමට එක හේතුවක් නම් දෙමළ විමුක්ති කොටින් ශක්තිමත් අවදියේ කළ ක්‍රියාවන් සහ ඔවුන්ගේ බලය හමුවේ බෙලහීනව තිබූ තම මනස් යුධ ජයග්‍රහණය තුල නැවත ජවයක් ලබමින් නැගිටීමයි. මේ තුල සිදු වන්නේ මෙතෙක් තමා බියෙන් වෙලෙමින් සිටි ප්‍රධාන ප්‍රතිවාදියා එනම් එල්ටීටීඊය යුධ ජයග්‍රහණය තුල නැති කර දැමීමයි. එය තිබුනා නම් මේ අනුගාමික පිනුම් ගැසීම මේ අයුරින්ම සිදු නොවෙති. ඒ එවැන්නකට තරම් ගටක් ඔවුන් සතු නොවීමයි. මෙය පැහැදිලිව පෙන්වන්නේ යුධ ජයෙන් මත්වන කොළඹ යුධකාමීන් (යුධ බිමේ නොව) කිරිබත් කමින්, බයිලා කියන (පිරිත් නොවෙයි) මේ සිංහල බෞද්ධයින් වීදි පුරා නටමින් සැරිසරණ ආකරයයි. මින් පසුව හේමන්තයේ හතු පිපෙන්නාක් මෙන් තැන තැන විවිධ නම් වලින්, විවිධ නායකයින් යටතේ ‘සිංහල බෞද්ධ’ කණ්ඩායම් බිහි වන්නේ තරඟයකට මෙනි. මේ හැම කණ්ඩායමක්ම තමන්ගේ ජාතිය (සිංහල බෞද්ධ) ගලවා ගැනීමට සැදී පැහැදී සිටින ප්‍රධානම සාධකය ලෙස තමන්වම හදුන්වා ගනිමින්, එතුල තමන් සහ ජාතිය ගලවා ගැනීම අතර අනන්‍යතාවක් සමාජ ගත කිරීමට මාන බලති. මෙය සිංහල ඩයසේපෝරාව තුලද මේ ආකාරයෙන්ම මතුව එයි.

ඇත්තෙන්ම යුධ ජයග්‍රහණයට පෙර මොවුන් සිටි බවක්වත් සොයා ගත නොහැකි තරම්ය. යුධ ජයග්‍රහණයේ උද්දාමය තුල මෙම කණ්ඩායම් විවිධ සටන් පාඨ තුලින් මතුවේ. එක කණ්ඩායමක් කොටි ඩයස්පෝරාවට එරෙහිව හඬ නගන අතර තවෙකක් එන්ජීඕ ද්‍රෝහීන්ට එරෙහිව තම හඬ පතුරවති. තවත් කණ්ඩායමක් මුස්ලිම් ව්‍යාප්තවාදයට එරෙහිව පෙරළිකරන අතර තවත් කණ්ඩායමක් නැවත නැගෙමින් තිබෙන කොටි සන්නද්ධ බලයට එරෙහිව හඬ නගති. ‘අධිරාජ්‍යවාදයට එරෙහිව’ නගන ආණ්ඩුවේ හඬට මේ හැමකෙකුගේම හඬ එක්වෙති. නමුත් මේ හැමකෙකුගේම හඬ තුල ඇත්තේ ‘අපේ සිංහල බෞද්ධ රට දෙකඩ කිරීමට මාන බලන දෙස් විදෙස් සතුරාට එරෙහිව අපි අපේ ජීවිත දෙමින් සටන් කරන්නෙමු’ යන අර්ථයයි. මේ කියමන් නැග එන්නේ යුධ ජයග්‍රහණයෙන් පසුව මිස එල්ටීටීඊ සංවිධානය යුධමය වශයෙන් ශක්තිමත්ව පැවතුන අවධියේ නොවෙති. මෙය පාළු ගෙයි වළං බිදීමක් වැනිය. මේ හැම කණ්ඩායමකම හඬ තුල අඩංගු වන්නේ බලාධිකාරයේ සිතැ’ගි ඉටු කිරීමේ රාවයයි. පාලන බලාධිකාරයටත් ඉහළින් තම ජාතිය, ආගම ගැන පෙනී සිටින බවක් පෙන්වන මොවුන් (හතු කල්ලි) කිසිම විටක බලය හිමි අධිපති කල්ලියේ බලයට අභියෝග නොකරති. මොවුන්ගේ සියළු ක්‍රියාවන් සිදු වන්නේ බලය හිමි කල්ලියේ අනුමැතිය ඇතිව රාජ්‍ය බලඅනුග්‍රහය කෙලින්ම හෝ වක්‍රව ලබමිනි. ඇත්තනම් මොවුන්ගේ ව්‍යායාමය රාජ්‍ය බලය අත්කරගෙන රටේ සම්පත් කොල්ලකන කල්ලිය සමග සන්ධාන ගතවී තමනටත් එයින් කොටසක් හිමිකර ගැනීමයි. ඇත්තෙන්ම සැබෑ බලවේගයක් මොවුනට එරෙහිව ශක්තිමත්ව නැගී සිට අභියෝගයක් කලා නම් මොවුන් සරම්, සිව්රු කරටගෙන දුවන වේගය ලෝක වාර්තා බිද හෙලනු ඇත. නමුත් ප්‍රධාන චන්ඩියාගේ හෙවනැල්ල යට සරුවට වැඩෙන මොවුන් ඔහුගේ හෙවනැල්ල තුල ආරක්ෂාව තිබෙන තුරු චන්ඩීන් ලෙස සැරිසරනු ඇත.

යුධ ජයග්‍රහණය තුල මහින්ද රාජපක්ෂ පමණක් නොව ඔහුගේ මුළු සනුහරයම රජ පවුලක් ලෙස ගරු බුහුමනට ලක් කිරීමේ වැඩපිළිවෙලක් දියත් කර හරිනු ලැබීය. රජ කෙනෙකු හෝ රජ පවුලේ කෙනෙකු ප්‍රශ්න කිරීමට රාජ සමාජයක් තුල ඉඩක් නොමැත. ලංකා සමාජය මේ තත්වයේ සමාජයක් වෙත ආපස්සට ගමන් කිරීම යුධ ජයග්‍රහණය තුල ලංකාව ලබන විශාලම ඛේදවාචකය නැත්නම් පරාජයයි. යුද්ධයෙන් ඇතිවු විනාශයන් තුල පවා ජයග්‍රහණය, ලංකාව යහපාලනයක් ඇති සමාජයක් දෙසට යොමු කරවා එතුලින් රටතුල සාමකාමී සහජීවනයක් ඇති කිරීමට තිබූ ඉඩකඩ මේ ආපස්සට යාම විසින් අවුරා දමනු ලැබීය.

රජකෙනෙකු ඇතිවීම සහ රජ පවුලක බල තේජස රාජපක්ෂලාට ලැබීම සමගම ඔවුන්ගේ ආවතේවකරුවන්ද එම තේජසෙහිම කොටස්කරුවන් බවට පත්වේ. රාජපක්ෂලාට එරෙහිවීම, රාජ උදහසට ලක්වීමකි. රාජ උදහසට ලක්වූ අයෙකුට බොහෝ විට හිමි වන්නේ මරණ දණ්ඩනයයි. (අතුරුදහන්වීම, පැහැර ගෙන ගොස් අතපය කැඩෙනතුරු පහරදීම හෝ නොදන්නා අයෙකුගේ ගිනි උණ්ඩයකට ගොදුරු වීම). රජවරුන්ට දණගසා වැදිය යුතුය. කුමාරවරුන්ට ද එසේය. නිලමෙලාටත් දැන් දැන් වදිති. ප්‍රජාතන්ත්‍රවාදී මිනිසෙකුගේ ආත්මය මේ තත්වය තුල කොතරම් විලියකින් පෙළෙනු ඇත්ද?

ඇමතිවරයෙකු ප්‍රසිද්ධියේ ජාත්‍යන්තර ප්‍රජාවට අභියෝග කරන අතර ප්‍රසිද්ධ රැස්වීමක පිස්තෝල අමෝරා තමන්ට එරෙහි වන අයට අභියෝග කරති. නිලධරයන් ගස් බදින, මාධ්‍යවේදීන්ගේ කැමරා උදුරාගෙන ප්‍රසිද්ධියේ පහරදීම ආදී කැමති දෙයක් කිරීමේ අයිතිය රජ පවුලේ අනුගාමිකයින්ට හිමිවන වරප්‍රසාද වෙති. ලංකා ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන්ම සිටින්නේ මහජනයාට ඉහලිනි. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා නීතියට ඉහළින් සිටින අයෙකි. යුධ ජයග්‍රහණයෙන් පසුව 18වන ව්‍යවස්ථා සංශෝධනය තුලින් ජනාධිපතිවරයාට තිබූ කුඩා හෝ බාධක පවා ඉවත් කර දමනු ලබති.

අධිකරණයෙහි ස්වාධීනත්වය යුධ ජයග්‍රහණයේ නාමයෙන් අමු අමුවේ උල්ලංඝනය කරන්නේ අග්‍රවිනිශ්චයකාරවරිය නින්දිත අයුරින් ඇගේ සේවාවෙන් බලෙන් පහකරමිනි. එයින් නොනැවතී රස්තියාදු කාරයින් ලව්වා දිගින් දිගටම ඇයට පරිභව කරවීම මෙන්ම ඇයට එරෙහිව පැවති නඩු විභාගයන්ට පැමිණි හිතවතුනට රස්තියාදුකාරයින් ලව්වා පහරදීම්, හූ කිවීම් වැනි පහත් ක්‍රියාවන් තුලින් සිදු කරන්නේ රටේ අධිකරණ ක්‍රමයට ප්‍රසිද්ධියේ අපහාස කර එහි ස්වාධීනත්වය වල පල්ලට යැවීමකි. නවීන රාජ්‍යයක මෙවැනි සිදුවීමක් ඇති වන්නේ ෆැසිස්ට් කල්ලියක් බලයේ සිටින විටක පමණි.

එසේ නැතිනම් මධ්‍යතන යුගයේ රජ කෙනෙකු (ඔහුට ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලතල හිමි) මේ සියළු බලතල තනිමව හොබවයි. මේ සමගම රටේ පාලන බල කණ්ඩායමේ හිතවතෙකු හෝ කොටස් කරුවෙකු තමාට රිසි ලෙස රටේ දේපල, රටේ ජනයා, පරිහණය කිරීමේ නිදහස් අයිතිය ලබති. එය පෙන්වන ලක්ෂණ ප්‍රාදේශීය දේශපාලකයන් ප්‍රසිද්ධියේ මිනීමරණ ආකාරය, රාජ්‍ය දේපළ තමන් සතු කර ගන්නා ආකාරය, තමන් කැමති විටක යටහත් තරුණියකට බලහත්කාරකම් කරන ආකාරයෙන් පැහැදිලි වේ. මෙවැනි දේවල් ගැන ලංකා සමාජය තුල යුධ ජයග්‍රහණයෙන් පසු ගෙවී ගිය වසර 5 ක පමණ කාලය තුල වුවමනාවටත් වඩා උදාහරණ පිරී ඇත. දුමින්ද සිල්වා, ප්‍රේමචන්ද්‍ර ඇතුළු ආරක්ෂකයින් මරා දමන ආකාරය, මර්වින් සිල්වා දිගින් දිගට කරන නොපනත්කම්, තංගල්ල සභාපතිගේ කල්ලිය විදේශීය කතකට ප්‍රසිද්ධියේ බලහත්කාරකම් කරමින් ඇගේ සහකරු මරා දමන ආකාරය ආදී දේ මේවාට ප්‍රසිද්ධ උදාහරණයන්ය. රාජපක්ෂ රජ දරුවන්ට එංගලන්තයේ රැජිණගේ දරුවන්ටවත් නැති වරප්‍රසාද හිමිව ඇත. කුමාරයෙකුට රථවාහන තරඟ පැවැත්වීමට ආසාවක් ඇති වූ විට කොළඹ නගරයේ ප්‍රදේශයක් පුරා වීදි අවහිර කර හමුදා ආරක්ෂාව මැද රථ කෙලියේ යෙදිය හැක. ඔවුනට කැමති නම් ක්‍රීඩාවක් ලෙස අවි අයුධ පුහුණුවක් ලැබිය හැක.

යුධ ජයග්‍රහණයේ තවත් ප්‍රතිඵලයක් ලෙස මතුව එන නන්නත්තාර රදළෝන්මාදය නිසා අද වන විට ලංකාවේ ස්වාභාවික සම්පතක් වන වන සතුන්ද විනාශ කරමින් පවතී. කුමරුන් සහ අනුගාමිකයන්ට දඩ කෙලියට ලංකාවේ අභයභූමි විවෘතව ඇත. රටපුරා සිටින (පෙරදී කසිප්පු වෙළෙන්දන්, කුඩු වෙළදුන් සහ එවැනිම මනසකට හිමිකම් කියන චීවරධාරීන් කොටසක්) මෙම රදළෝන්මාදයෙන් පෙලෙන්නවුන් කණ්ඩායමක් තමන්ද අලියෙකු ඇතෙකු සතු කර ගැනීමේ උන්මාදයක ගිලී ඇත්තේ ඔවුන් ද රදළයෙකු වීමේ චේතනාවෙනි. (පෙර දා ලංකාවේ රදළයින්ට අලි ඇතුන් සිටි අතර ඔවුන්ගේ වටිනාකම් මනිනු ලැබුවේ ඔවුන් සතුව කොපමණ අලි ඇතුන් සිටිනවාද යන්න අනුවයි) අද මේ නන්නත්තාර ‘වෙන්න රදළයින්’ තම උන්මාදය නිසා වනයේ වෙසෙන අලින්ට වෙඩි තබා කුඩා පැටවුන් පැහැරගෙන විත් පුංචි ඉඩකඩක සිරකරගෙන තම ‘රදළ ආතල් එක‘ ගැනීමට වෙර දරති. මෙතුලින් සිදු වන්නේ රටේ වනජීවී සම්පත් අකාලයේ විනාශ කර දැමීමකි.

යුධ ජයග්‍රහණය තුල ‘සිංහල බෞද්ධ’ යුද්ධෝන්මාදය ලංකා සමාජයට මුළු එකක් වශයෙන් රටට කර ඇත්තේ මහත් විනාශයකි. යුධ ජයග්‍රහණය සමගම බලය හිමි කල්ලිය වටා රොක්වන ආවතේව කරුවන් කුලියට මිනී මරණ, කප්පම් ගැනීම, මත් ද්‍රව්‍ය ජාවාරම් තම මුදල් ඉපයීමේ මාර්ගය ලෙස යොදාගෙන සිටි කණ්ඩායමකි. තම බලය තහවුරු කර ගැනීමට තම විරුද්ධවාදීන් මැඩලීමට බලය හිමි කල්ලිය මොවුන් යොදා ගන්නා අතර ක්‍රමයෙන් බලයේ කොටස් කරුවන් බවට ඔවුන් පත්කරගැනීම තුල සිදුව ඇත්තේ රටෙහි බලය මාෆියා කල්ලියක් අතට පත්වීමයි. එමෙන්ම මේ කල්ලිය වැඩ වසම් රදළයින් වීමේ උන්මාදයකින්ද පෙලීම තුල ලංකා රාජ්‍ය පසුගාමී ෆැසිස්ට්වාදී කල්ලියක් අතට පත්ව ඇත. එය යුධ ජයග්‍රහණයේ එක් ප්‍රතිඵලයකි. යුධ ජයග්‍රහණයට වසර 5 ක් ගතවන විට රට තුල ඒවන විටත් විනාශයට ගොස් ඉතිරිව තිබූ ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණ ද එකින් එක විනාශ කර දමා ඇත.

ලංකාව ජාත්‍යන්තර තලයේ බුද්ධිමතුන් හිමිව සිටි රටක ( උදාහරණ – ගාමිනී කොරයා ) එමෙන්ම එක්සත් ජාතීන්ගේ මණ්ඩලය තුල ඇති ජාත්‍යන්තර ප්‍රඥ්ඥප්තීන් විශාල කොටසකට අත්සන තබා ඇති රටකි. පෙරදා ලංකාවට ජාත්‍යන්තර තලයේ පිළිගත් හොද නමක් පැවතුණි. එහෙත් එය යුද්ධය නිසා එක්තරා ප්‍රමාණයකට පළුදු කර ගත් අතර යුද්ධයෙන් පසුව ලංකාව තුල සිදුවන ක්‍රියාදාමය නිසාවෙන් නැතිකර ගනු ලැබීය. එපමණක් නොව එම පළුදු නැති කර ගැනීම සඳහා ජත්‍යන්තර තලයට යුද්ධයෙන් පසුව එවනු ලබන රාජ්‍ය කරවන කල්ලියේ හිතවතුන් ජාත්‍යන්තරය තුලද ලංකාවේ හැසිරෙන ආකාරයෙන් කරන, වනචාරී හැසිරීම් තුලින් රටම ලැජ්ජාසහගත තත්ත්වකට ඇද දමා ඇත. ජාත්‍යන්තර වශයෙන් ලෝකයේ නරකම රටවල් හැදින්වීමට ගන්නා උදාහරණ අතරට ලංකාව ද වැටී තිබීම මේවායේ ප්‍රතිඵලයකි.

යුද්ධයෙන් පසු පාලක කල්ලියේ හිතවතුන් රාජ්‍ය දේපළ තමන් සතුකර ගැනීම කරන ආකාරය සිදු වන්නේ රහසිගතව නොවෙති. රාජපක්ෂලා ඉතා සාමාන්‍ය මධ්‍යම පන්ති පවුලක් තත්ත්වයේ සිට ඉහළම ධනවතුන් බවට පත්වූයේ කෙසේද? ඉතා සාමාන්‍ය ජීවිතවලට හිමිකම් තිබූ මැති ඇමතිවරු සහ ඔවුන්ගේ හිතවතුන් විශාල දේපළ සහ වතු ආදියේ හිමිකරුවන් වන්නේ කෙසේද? මෙසේ රාජ්‍ය දේපළ කුට්ටි පිටින් තමන් සතු කරන දේශපාලනය තුල ඉක්මනින් පොහොසත්වීමේ තදියමක් මුළු ලංකා සමාජය අරක් ගෙන ඇත. මෙය පැහැදිලිව දැකිය හැකි කාරණයක් වන්නේ නිමක් නැතුව තැන නොතැන නොබලා නිදන් සොයමින් හැසිරෙන කොටස් තුලිනි. ක්‍රමක්‍රමයෙන් මුදල් ඉපයීමේ ක්‍රියාවකට ඉවසුම් නැති සමාජයක් මෙතුලින් බිහිව ඇති අතර දවසින් දෙකින් කෝටිපතියන් වීම බොහෝ දෙනෙකුගේ අභිලාශය වී ඇත. එසේ මුදල් ඉපයීම කළ හැකි වන්නේ හොරකම සහ වංචාව තුලින් පමනි.

රට තුල සෑම පැත්තකම පිරිහීමක් දැකිය හැකි අතර බොරුව, වංචාව සහ හොරකම මුළු සමාජ ආර්ථිකය තුලම පැතිර හමාරය. යුධ ජයග්‍රහණය සියළුම සමාජ ප්‍රවාහයන් දේශපාලන ආධිපත්‍යයට නතුකරගනු ලැබීය. එතුල ස්වාධීනව පවතින කිසිම ඒකකයක් (අඩුව තරමේ පුද්ගලයින්) පවා නැති තරම්ය. සාහිත්‍ය සහ කලාව යම් සමාජයක ඉදිරි ගමනට තල්ලුවක් දෙන නිදහස් ක්‍රියාදාමයකි. නමුත් ලංකාවේ යුධ ජයග්‍රහණය මෙයද තමන් යටතට ගෙන ඇති අයුරු කලා කරුවන් පාලක කල්ලියට ස්ත්‍රෝත්‍ර ගයන ආකාරය තුලින් පැහැදිලිව පෙන්නුම්කරයි. එයට ජාතිකත්වය, දේශප්‍රේමය, අපේ කම ආදී වචන කඩතුරාවන් ලෙස මේ කලාකරුවන් යොදා ගන්නා ආකාරය නින්දා සහතගය. මෙම සංවර්ධනය සමාජයක වැඩීමට විශාල හානියක් වන අතර එය ෆැසිස්ට් සමාජයක ලක්ෂණයන් සමගද පෑහේ.
රටේ සිදුවන මේ විපත ගැන බුද්ධිමතුන් කතා නොකරති. එක්කෝ ඔවුන් තම පටු වාසියට නිහඬය. නැත්නම් ඔවුන් බියවී සිටිති. අනෙක් අය රට හැර ගොස් ය.

රටක ඇතිවන සිවිල් යුද්ධයක් දේශපාලන ප්‍රශ්නයක් ලෙස හදුනා නොගැනීම තුල යුධ ජයග්‍රහණය වීරවත්වයට නැංවීමෙන් සිදුව ඇති මේ විනාශය ලංකාව රටක් වශයෙන් ආපස්සට ඇද දමා ඇති අතර සමාජයක් වශයෙන් වැඩවසම් මානසිකත්වයකට සියවසකටත් වඩා ආපස්සට ඇද දමා හමාරය. මෙයින් මිදීම ලෙහෙසි කාර්යයක් නොවන්නේ ලංකා සමාජය කුණු වී ඇත්තේ තැනින් තැනින් කොටස් නොවන අතර එය හිසේ සිටම කුනු වී ඇති හෙයිනි.

ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය, දේශපාලන ප්‍රශ්නයක් බව හදුනා ගැනීම තුලින් පමණක් මෙම විනාශයෙන් රට ගලවා ගැනීමට මාර්ග පාදා ගැනීමේ පලමු පියවර තැබිය හැක. ඉන්පසුව යුධ ජයග්‍රහණයෙන් උන්මාදයට පත්ව සමාජයක් ලෙස පිරිහී ඇති සියළු පැති, එකින් එක නිවැරදි මගකට ගෙන ඒමට තවත් විශාල මහන්සියක් දැරිය යුතු වන අතර එයට දීර්ඝ කාලයක් අවශ්‍ය වනු ඇත.

රංජිත් හේනායකආරච්චි | vikalpa -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts