Header Ads

පැසිස්‌ට්‌ හමුදා ඝාතනය කළ ස්‌ටාලින්ගේ පුතා

"ස්‌ටාලින් සහෝදරය, මම කලක්‌ තිස්‌සේ ඔබෙන් අසන්නට සිතා සිටියේ ඔබගේ පුතා යාකොප් ගැනයි. ඔබට ඔහු ගැන යමක්‌ අසන්නට ලැබුණේද?"

දෙවන ජගත් මහා සංග්‍රාමය කෙරීගෙන යද්දී උත්තරීතර අණදෙන මූලස්‌ථානයේ කැඳවීමක්‌ කරණකොට ගෙන මාෂල් ජෝර්ඡ් ෂුකොව්, ස්‌ටාලින් බැහැදැකීමට ඔහුගේ ගම්බද නිවාසයට ගියේය. ඒ 1945 මාර්තු මාසයයි. ඉඩ ප්‍රස්‌ථාව ලද සැනින් ෂුකොව් එම පැනය සක්‌මනෙහි යෙදී සිටි ස්‌ටාලින්ගෙන් විමසා සිටියේය.

ස්‌ටාලින් එම පැනයට එක්‌වරම පිළිතුරු දුන්නේ නැත. පියවර සියයක්‌ පමණ තැබීමෙන් පසු පාලනය කරගත් ස්‌වරයකින් ඔහු පිළිතුරු දුන්නේය.

"යාකොප් නිදහස්‌කර ගැනීමට ඉඩක්‌ නැත. පැසිස්‌ට්‌වාදීන් ඔහුට වෙඩිතබා ඇත. අපට දැනගන්නට ලැබී ඇති දෙය නම් ඔහු අනෙකුත් යුද සිරකරුවන්ගෙන් වෙන්කොට තබා තම රටට ද්‍රෝහී වන ලෙස ඔහුට තදින් බලකර ඇති බවයි."

ස්‌ටාලින් මොහොතක්‌ නිහඬව සිට ස්‌ථිර ලෙස මෙසේද පැවසීය. "නෑ, ද්‍රෝහිවනවාට වඩා ඔහු කෙබඳු මරණයකට වුවද කැමති වේවි."

ස්‌ටාලින්ගේ පුත් අතුඅඩංගුවට ගත් මොහොත
ඔහු තම පුත්‍රයා ගැන බලවත් ලෙස ශෝක වන බව ෂුකොව්ට පැහැදලි විය. කෑම සඳහා හිඳගත් ඔහු දිගු වේලාවක්‌ නිහඬව සිටියා මිස ආහාර පොදකටවත් අත තැබුවේ නැත.

ඔහුගේ චිත්තාභ්‍යන්තරයේ වළිකන හැඟුම් මෙසේ කර්කශ ලෙස පිටකර හැරියේය.

"මොන විධියේ භයානක යුද්ධයක්‌ද? අපගේ මිනිසුන් කොපමණ ගණනක්‌ විනාශ වන්නට ඇත්ද? ඔවුන්ගේ ඥතියකු හිතවතකු හැරදා නොගිය පවුල් ඇත්තේ ඉතාමත් සුළු ගණනකි."

සෙන්පති මාෂල් ජී. ෂුකෝව්ගේ මතක සටහන්වල යාකොප් ගැන සඳහන් වන්නේ ඉහත සඳහන් පරිද්දෙනි.

ස්‌ටාලින්ගේ පුද්ගලික ජීවිතය ගැන තොරතුරු ඉතා අල්පය. ඔහුගේ චරිතාපදානය ලියූ අයිසැක්‌ ඩොයිට්‌සර් එහිලා පවසා ඇත්තේ ද එයයි. ස්‌ටාලින්ගේ පළමු විවාහය තරුණ කළ සිදුවූයේ එකටරිනා ස්‌වනිඩ්සේ නමැති කාන්තාව සමගය. යාකොප් (යාෂා) යනු ඇයගේ පුතාය. අකාලයේ ඇය මිය ඇදුනෙන් යාකොප් හැදී වැඩුණේ කොකේ-සස්‌හි ඔහුගේ සීයාගේ හා මිත්තනියගේ ඇසුරේය.

රොබට්‌ කොන්කුවෙස්‌ට්‌, සෝවියට්‌ දේශයේ මුල් වකවානුව අළලා ලියූ ග්‍රන්ථයෙහිලාද ස්‌ටාලින්ගේ පළමු බිරිඳගේ මරණය ගැන මෙසේ කියයි.

ඔහුගේ සගයකු සමග සොහොන් පිටියට ගිය ස්‌ටාලින් කියා සිටියේ තමාගේ ගල්හිත මෘදු කරන ලද මෙම තැනැත්තිය මියගියේ මිනිස්‌ වර්ගයා පිළිබඳවූ තමාගේ අවසන් උණුසුම් හැඟුම් සමගිනියි කියාය.
ස්‌ටාලින්ගේ පුත් අතුඅඩංගුවට ගත් මොහොත

යාකොප් ගැන කිසියම්වූ විස්‌තරයක්‌ දත හැක්‌කේ ස්‌ටාලින්ගේ දියණිය වන ස්‌විට්‌ලානා ඇලලුයේවාගේ ලිපි තුළිනි. ස්‌ටාලින්ගේ දෙවැනි විවාහයෙන් ලද වැසිලි නම් පුතකුද ස්‌ව්ට්‌ලානා නමැති දියණියද විය.

මව මියයන විට යාකොප්ට වසර දෙකකි. කුඩා කල ඔහු හැදී වැඩුනේ සීයා හා මිත්තනිය ඇසුරේය. ස්‌ටාලින්ගේ දෙවැනි විවාහයෙන් ලද වැසිලි නම් පුතකුද ස්‌විට්‌ලානා නමැති දියණියද විය.

මව මියයන විට යාකොප්ට වසර දෙකකි. කුඩා කල ඔහු හැදී වැඩුනේ සීයා හා මිත්තනිය ඇසුරේය. ස්‌ටාලින්ගේ දෙවැනි බිරිඳ යාකොප්ට වඩා සත් අවුරුද්දකින් වැඩිමහල්ය. ඈ ඔහුට ඉතා කාරුණිකව සළකා ඇත. යාකොප්ද ඇයට සැළකුවේ ඉතාමත් ගෞරවයෙනි. යාකොප් කුඩා කල උගත්තේ ටිබ්ලියේය. (ජෝජියාවේ) පසුව ඔහු මොස්‌කව්වලට පැමිණියේ වුවද ස්‌ටාලින් එයට වැඩි කැමැත්තක්‌ දක්‌වා නැත.

ස්‌විට්‌ලානාගේ විස්‌තරයකට අනුව යාකොප්ට තරහ ගොස්‌ ඇති බව ඈ දැක ඇත්තේ දෙවතාවකි. ඒ වතාවල් දෙකෙහිම ඔහුට තරහ ගොස්‌ ඇත්තේ ශිෂ්ටසම්පන්න නොවූ වදන් මගින් දිවිරීමේ පුරුද්දක්‌ ඇති වැසිලි නිසාය. දෙදෙනාම පොරබදමින් එකිනෙකාට පහර එල්ලකරගෙන ඇත.

බොහෝවිට ස්‌ටාලින් යාකොප්ගේ වරදවල් ගැන තදින් තරවටුකොට ඇත. වරක්‌ යාකොප්ටද තරහ ගොස්‌ ඔහුගේ කාමරයට යාබද මුළුතැන්ගෙයිදී වෙඩි තබා ගත්තේය. උණ්‌ඩය ඔහුගේ සිරුර පසාකරගෙන ගොස්‌ කලක්‌ රෝගාතුරව සිටීමටද ඔහුට සිදුවිය. ඉන්පසු ඔහුට වඩාත් අයහපත් ලෙස ස්‌ටාලින් සැළකුවේ යයි ස්‌විට්‌ලානාගේ කිරි මව පවසා ඇත.

යාකොප්ගේ පළමු විවාහය අසාර්ථක විය. පසුව ඔහු ඉතා සුරූපී කාන්තාවක වූ යුලියා විවාහ කරගති. ඇය යුදෙව් කාන්තාවක්‌ වූවාය. ඔවුන් යුවළට ජුලියා නම් දුවක්‌ද විය. යාකොප් ස්‌ටාලින්ගේ මතවලට හා අදහස්‌වලට ගරු කළේය. ඔහු යුද සෙබලෙකු වූයේ පියාගේ අදහසකට අනුවය, එහෙත් දෙදෙනා එකිනෙකාට වෙනස්‌වූ චරිත ලක්‍ෂණයන්ගෙන් හෙබියේ විය. වරක්‌ යාකොප් පවසා සිටියේ "තාත්තා කතාකරන්නේ කලින් සකස්‌කර ගත් සූත්‍රවලට අනුවය" කියාය.

1941 ජුනි මස 22 දා ජර්මනිය සෝවියට්‌ දේශය ආක්‍රමණය කළෙන්, සෝවියට්‌ දේශයට ද යුද්ධයට සහභාගි වීමට සිදුවිය. යුද්ධය ආරම්භයේදීම යාකොප් පෘන්ස්‌ හි යුද්ධ අභ්‍යාස ආයතනයේ උපාධි ලැබූ කණ්‌ඩායම සමග යුද පෙරමුණට ගියේය. ඔහුගේ සේනාංකය කෙලින්ම යවනු ලැබුවේ බිහිසුණු සටන් හා අවුල් වියවුල් පැවති ස්‌ථානයකටය. ඒ බටහිර බෛලෝරුසියාවේ බාරනොවිච්චියටය. කලක්‌ යනතුරුම කිසිම ආරංචියක්‌ ඔහු ගැන ලැබුණේ නැත.
මරා දමා තිබුන අයුරු

මේ කාලය තුළ යුලියාත් ජුලියාත් (යුලියාගේ දියණිය) නැවතී සිටියේ ස්‌විට්‌ලානා ජීවත් වූ නිවසෙහිය.

දිනක්‌ ස්‌විට්‌ලානා දුරකථනයෙන් පියාගෙන් අසා සිටියේ යාකොප් ගැන ආරංචියක්‌ නැත්තේ මන්දැයි යනුවෙනි. ඔහුගේ පිළිතුර වූයේ යාකොප් යුද සිරකරුවකු වී සිටිනා බවත්, මේ අවස්‌ථාවේදී ඔහුගේ භාර්යාවට ඒ බව දැනුම් නොදෙන ලෙසත්ය. ස්‌විට්‌ලානා මේ අවස්‌ථාවේදී ඒ බව යුලියාට පැවසුවේ නැත.

යාකොප්ගේ හැසිරීම ඉතාමත් සම්මානනීය බවත් ඔහු කිසිසේත් පැසිස්‌ට්‌වාදීන්ගේ ඉල්ලීම්වලට අවනත නොවූ බවත් පසුව නිදහස්‌ වී ආ යුද සිරකරුවෝ පැවසූහ. අනෙක්‌ අතට ස්‌ටාලින්ගේ පුතා තම ග්‍රහණයට ගත් කල්හි ජර්මානුවන් ඔහු ප්‍රචාරාත්මක අවියක්‌ කොට ගන්නට ඇත. කෙසේ වෙතත් ඔහුගෙන් අවශ්‍ය කරුණු කාරණා ඉටු නොවූයෙන් ඉතාමත් දරුණු වධ බන්ධනවලට ඔහු පමුණුවා ඇත. ඒ බවද යුද සිරකරුවන් වෙතින් ප්‍රකාශ කෙරී තිබේ.

ස්‌ටාලින්ග්‍රාඩ් (දැන් වොල්ගාග්‍රාඩ්) මහා සංග්‍රාමයෙන් පසු පියා හා ස්‌විට්‌ලානා හමුවූ එක්‌ අවස්‌ථාවකදී ස්‌ටාලින් මෙසේ පවසා තිබේ. "ජර්මන් සිරකරුවන් හුවමාරුවකට එකඟ වන්නේ නම් යාකොප් ආපසු දීමට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කරල තියනවා. ඒත් මං ඒක කරන්නේ නෑ. යුද්ධය යනු යුද්ධයමය." එසේ කියූ ස්‌ටාලින් බලවත් ලෙස කම්පනයට පත්ව සිට ඇත. වෙනත් වචනයකුදු ඔහු දොඩා නැත.

1945 ගිම්හානයේදී ස්‌ටාලින් තම දියණියට යාකොප් ගැන කීවේය. "ජර්මානු යාෂාට (යාකොප්ට) වෙඩි තිබ්බා" ඔහු කතා කළේ අපහසුවෙන් බව දියණිය පවසා ඇත. ඔහු ඒ ගැන වැඩි යමක්‌ කීමටද කැමැත්තක්‌ දක්‌වා නැත. පියාගේ නිවසේ ගෘහ පාලිකාවද ඇයට පවසා සිටියේ එවැන්නක්‌ වොරොෂිලොව්ද තමාට පැවසූ බවය. (ආරක්‍ෂක ඇමැති, යුද කොබ්සාර් ආදී වැදගත් තනතුරු දැරූ වොරොෂිලොව් පක්‍ෂයේ මෙන්ම ආණ්‌ඩුවේද ප්‍රබලයෙකි. මාෂල් ධුරයෙන්ද පිදුම් ලද්දෙකි.)

යාකොප් හැම විටම අවංකත්වයෙන් පිරි දිවි පෙවෙතක්‌ ගත කළ සරල මනුෂ්‍යයෙකි. වීරයකු ලෙස ඔහු අමරණීයත්වයට පත් කිරීමේ වෑයමක්‌ පසු කලකදී යෝජනා විය. ඒ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වූ චි අවුරේලිගේ අදහසකට අනුවය. ඒ බව ස්‌ටාලින්ට දැනුම් දුන්විට (එනම් ඔහුගේ චරිතය චිත්‍රපටයකට නගා යුද වීරයකු ලෙස නිරූපණයට) ඔහු ඊට කැමැති වී නැත. ඒ යාකොප්ට යුක්‌තිය ඉටු නොකිරීම සඳහා නොවන බවත්, ස්‌ටාලින් තම නෑදැ හිතවතුන් ඉදිරියට ගැනීමට බලවත්සේ නොකැමැත්ත දැක්‌වූ නිසා බවත් ඔහු දියණියට පවසා ඇත. (පොත පත ඇසුරෙනි)

ආරියපාල මුදලිගෙ

1 comment:

  1. ස්ටාලින් මෝඩයෙක්.පුතා වෙනුවෙන්ම හමුදා ක්‍රීඩා කණ්ඩායමක් නිර්මාණය කරලා ඔහු එහි නායකයා කරලා.ක්‍රෙම්ලින් මන්දිරයේම තියාගන්න තිබුනනේ.ස්ටාලින් සංවේදී,ආඩම්බොරකාර තාත්තෙක් නෙවෙයි.

    ReplyDelete

Powered by Blogger.