Open top menu
Friday, May 23, 2014

මේ දවස්වල දේශපාලන ලෝකයේ සිද්ධවෙන දේවල් දිහා බැලුවාම කේ. ජයතිලකගේ චරිත තුනක් නවකතාව මතක් වේ. ඒකට හේතුව දේශපාලන ලෝකයේ මරු චරිත තුනක් මේ දවස්වල නිතරම කතාබහට ලක්වීමය.

කවුද ඒ චරිත තුන?
ඒ චරිත තුන නම් වෙන කවුරුවත් නොව මෝඩි, අනුර හා රනිල්ය.
ඉතින් මොකක්ද ඒ චරිත තුනේ තියෙන විශේෂත්වය?
ඒ චරිත තුනේ තියෙන විශේෂත්වය එකපාර කියනවාට වඩා චරිත තුන වෙන වෙනම අරගෙන විශ්ලේෂණය කරන එක වැඩිය හොඳය.
නරේන්ද්‍ර මෝඩි කියන්නේ මේ දවස්වල ඉන්දියාවේ සුපර් ස්ටාර්ය. හැමෝම කතා වෙන්නේ මෝඩි ගැනය. ඉන්දියාවේ මැතිවරණ ඉතිහාසයේ වාර්තාගත ජයක් ලැබූ මෝඩි ගැන කතා නොකර වෙන කවුරු ගැන කතා කරන්නද කියලා ඔබට නොහිතුණොත් පුදුමය.

මහ මැතිවරණ දෙකක් පැරදිලා නන්නත්තාර වෙලා හිටපු භාරතීය ජනතා පක්‍ෂයට ජයග්‍රහණයේ පුසුඹ ගෙනාවේ වෙන කවුරුවත් නොව නරේන්ද්‍ර මෝඩිය. නරේන්ද්‍ර මෝඩි භාරතීය ජනතා පක්‍ෂයේ නායකත්වයට පත්වෙන්න කලින් ඒ පක්‍ෂයේ නායකයා වෙලා හිටියේ ලාල් ක්‍රිෂ්ණ අද්වානිය. අද්වානිගේ නායකත්වය යටතේ භාරතීය ජනතා පක්‍ෂය 2009 මහ මැතිවරණය පැරැදුණේය. 2004 මහ මැතිවරණයත් පැරැදුණේය. ඒක හරියට රනිල්ගේ නායකත්වය යටතේ යූ.ඇන්.පී. එක 2010 මහ මැතිවරණයත් 2004 මහ මැතිවරණයත් පැරැදුණා වාගේය. එහෙම බලනකොට අද්වානි කියන්නේත් රනිල් කියන්නේත් එක ජාතියේ බඩු දෙකකි. රනිල් වාගේම අද්වානිත් නායකත්වයෙන් යන්න කැමැති වුණේ නැත. භාරතීය ජනතා පක්‍ෂය අද්වානිව පන්නලා මෝඩිට නායකත්වය දුන්නේ බලහත්කාරයෙන්ය. අද්වානි කිව්වේ යන්නම බෑ කියලාය. හැබැයි අද්වානිත් එක්ක 2014 මහ මැතිවරණයට ගියොත් පරාජය නියත බව දැනගත්ත භාරතීය ජනතා පක්‍ෂයේ නායකයෝ අද්වානිව එළවා දමා මෝඩිව නායකත්වයට ගෙනාවෝය.

භාරතීය ජනතා පක්‍ෂයට අලුත් නායකයකු ලැබුණාට පස්සේ බී.ජේ.පී. පාක්‍ෂිකයෝ ප්‍රීතියෙන් උදම් වූහ. බී.ජේ.පී. ආණ්ඩුවක් ගැන බලාපොරොත්තු ඇතිකර ගත්හ. අවසන් ප්‍රතිඵලය වුණේ ලෝක් සභාවේ මන්ත්‍රි ධුර 543න් 336ක් දිනාගෙන භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ප්‍රගතිශීලී සන්ධානය මහ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමය. භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ප්‍රගතිශීලී සන්ධානයට 2009 මහ මැතිවරණයේදී දිනා ගන්න පුළුවන් වුණේ පාර්ලිමේන්තු ආසන 159ක් පමණි. හැබැයි 2014දී ඒ ගණන 177කින් වැඩි විය. ප්‍රතිශතයක් විදියට බැලුවොත් මෝඩි නායකත්වයට පත් වුණාට පස්සේ භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ සන්ධානය 111%කින් තමන්ගෙ මන්ත්‍රි ධුර ගණන වර්ධනය කරගෙන තිබේ. අලුත් නායකත්වයකට පක්‍ෂයක මන්ත්‍රි ධුර ගණන ඩබල් කරවන්න පුළුවන් කියන එකට මීට වඩා උදාහරණ ඕනෑ නැත. නරේන්ද්‍ර මෝඩි ඒක හොඳටම ඔප්පු කරලා තිබේ.

නරේන්ද්‍ර මෝඩි නායකත්වයට පත්වෙලා එළවලා දැම්මේ 2004 ඉඳන් අවුරුදු 10ක් රට පාලනය කරපු කොංග්‍රස් ආණ්ඩුවය. කොංග්‍රස් ආණ්ඩුව පහුගිය කාලයේදී එකපිට එක මහ මැතිවරණ 2ක් ජයග්‍රහණය කළේය. ඒක හරියට එක්සත් ජනතා නිදහස් සන්ධානය එක පිට එක 2004 හා 2010 මහ මැතිවරණ ජයග්‍රහණය කළා වගේය. කොංග්‍රස් ආණ්ඩුව කියන්නේ ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවට හිතවත් ආණ්ඩුවකි. ඉන්දීය ජාතික කොංග්‍රසය හා ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂය අතර මේ හිතවත්කම ගොඩනැඟුනේ සිරිමාවෝගේ හා ඉන්දිරාගේ කාලයේදීය.

භාරතීය ජනතා පක්‍ෂය කියන්නේ සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්‍ෂයට හිතවත් පක්‍ෂයකි. එහෙම බලනකොට දැන් ඉන්දියාවේ බලයට ඇවිල්ලා තියෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයට හිතවත් ආණ්ඩුවකි. ඉතින් එක්සත් ජාතික පක්‍ෂයට හිතවත් ආණ්ඩුවක් ඉන්දියාවේ හැදෙනකොට එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් ලංකාවේ හැදෙන්න බැහැ කියලා කාටවත් කියන්න බැරිය. හැබැයි එහෙම හැදෙන්න නම් භාරතීය ජනතා පක්‍ෂය ඉන්දියාවේ කරපු දෙය එක්සත් ජාතික පක්‍ෂය ලංකාවේ කරන්න ඕනෑය.
භාරතීය ජනතා පක්‍ෂය ඉන්දියාවේ කළේ මොකද්ද?

භාරතීය ජනතා පක්‍ෂය ඉන්දියාවේ කළේ වෙන මොකක්වත් නොව පැරැදි පැරැදී බී.ජේ.පී. නායකත්වයේ කූඩැල්ලකු වගේ එල්ලිලා හිටපු අද්වානිව බලෙන්ම නායකත්වයෙන් අයින් කිරීමය. ඊට පස්සේ තිබ්බ පළමු මහ මැතිවරණයෙන්ම මන්ත්‍රි ධුර ගණන 159 ඉඳන් 336 දක්වා 111%කින් වැඩි කරගන්න භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට පුළුවන් වුණේය. ඉතින් එක්සත් ජාතික පක්‍ෂයත් කූඩැල්ලා වාගේ නායකත්වයේ එල්ලිලා ඉන්න රනිල්ව අයින් කරලා මෝඩි වාගේ පණ ඇති නායකයකු පත්කර ගත්තොත් භාරතීය ජනතා පක්‍ෂය වාගේම ආණ්ඩුවක් පිහිටුවන්න එක්සත් ජාතික පක්ෂයටත් පුළුවන්ය.
ඉන්දියාවේ එහෙම වුණා කියලා ලංකාවෙත් එහෙම වෙන්න පුළුවන්ද?
අලුත් නායකයෙක් පත්කර ගත්තාම බී.ජේ.පී. එකට මන්ත්‍රි ධුර ගණන 111%කින් වැඩිකර ගන්න පුළුවන් වුණාට ලංකාවේ දේශපාලන පක්‍ෂවලටත් ඒ දේ කරන්න පුළුවන්ද?

අද්වානිව එළවලා මෝඩිව පත්කරගෙන බී.ජේ.පී. එක ඡන්දය දිනුවාට රනිල්ව එළවලා වෙන කවුරුහරි පත්කරගෙන යූ.ඇන්.පී, එකට ඡන්දය දිනන්න පුළුවන්ද?
ඔන්න ඔය වාගේ ප්‍රශ්න අහන අයට සහ ඉන්දියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ කියන අයට කියන්න තියෙන්නේ ලංකාවෙත් එහෙම වෙනවා කියලාය. එහෙම වෙච්ච අවස්ථා ගැන ඕනෑනම් උදාහරණත් දෙන්න පුළුවන් කියලාය.

වැඩි අෑතට යන්න ඕනෑ නැත. පහුගිය දකුණු හා බස්නාහිර පළාත් සභා ඡන්දයම හොඳටම ප්‍රමාණවත්ය. 2014 පළාත් සභා ඡන්දයට කලින් තිබිච්ච 2009 පළාත් සභා ඡන්දයේදී ජනතා විමුක්ති පෙරමුණට නායකත්වය දුන්නේ අද්වානි වාගේම වයසක සෝමවංශ අමරසිංහය. සෝමවංශට දකුණෙන් හා බස්නාහිරෙන් ජනතා විමුක්ති පෙරමුණට අරන් දෙන්න පුළුවන් වුණේ ඡන්ද 1,28,763ක් පමණි. භාරතීය ජනතා පක්‍ෂය අද්වානි අයින් කරලා මෝඩි නායකත්වයට පත්කළා වාගේ ජනතා විමුක්ති පෙරමුණ සෝමවංශ අයින් කරලා අනුර නායකත්වයට පත් කළාම 2009දී ගත්ත ඡන්ද ගණන වාගේ දෙගුණයක් 2014දී අරගත්තේය. ජනතා විමුක්ති පෙරමුණේ පරණ නායකත්වය වෙනුවට අලුත් නායකත්වයක් පත්වුණාම 2009දී ගත්ත 1,28,763ක් වූ ඡන්ද ගණන 2014දී 2,65,240ක් දක්වා 106%කින් වැඩි වුණේය. ඒ කියන්නේ නායකත්වය වෙනස්වීමත් එක්ක ඡන්ද ගණන ඩබල් වෙලා තිබේ.

භාරතීය ජනතා පක්‍ෂය අද්වානි අයින් කරලා මන්ත්‍රි ධුර ගණන ඩබල් කරගත්තා වාගේ ජනතා විමුක්ති පෙරමුණ සෝමවංශ අයින් කරලා ඡන්ද ගණන ඩබල්කර ගත්තේය. ඉතින් එහෙම බලනකොට රනිල්ව අයින් කළොත් යූ.ඇන්.පී. ඡන්ද ගණන ඩබල් නොවෙයි කියලා කාටවත් කියන්න බැරිය. යූ.ඇන්.පී. ඡන්ද ගණන ඩබල් වෙලා යූ.එන්.පී. ආණ්ඩුවක් නොඑයි කියලාත් කාටවත් කියන්න බැරිය. මෝඩිගේ හා අනුරගේ උදාහරණ ඒකට හොඳටම ප්‍රමාණවත්ය.

මෝඩි හා අනුර අලුතෙන් පත්වෙලා 100%ක වර්ධනයක් තම තමන්ගේ පක්‍ෂවලට අරන් දෙද්දී 2009ට සාපේක්‍ෂව 2014දී රනිල්ට එක්සත් ජාතික පක්‍ෂය වර්ධනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ 0.47%කිනි. ඒ කියන්නේ දශම 4කිනි. අවුරුදු පහකටම පක්‍ෂයක් දශම 4කින් වර්ධනය කරන නායකයකු තවදුරටත් තියන් ඉන්නේ කාගේ කරුමයටද කියලා හිතාගන්න බැරිය. 2009ට සාපේක්‍ෂව 2014දී දකුණෙන් හා බස්නාහිරෙන් ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 1,36,477ක් වැඩි වෙද්දී එක්සත් ජාතික පක්‍ෂයට දකුණෙන් හා බස්නාහිරෙන් වැඩිවෙලා තියෙන්නේ ඡන්ද 4,680ක් පමණි. තිත්ත ඇත්ත ඔන්න ඕකය.
ඉතින් ජනතා විමුක්ති පෙරමුණෙන් බැරිනම් භාරතීය ජනතා පක්‍ෂයෙන්වත් මේ වෙලාවේ එක්සත් ජාතික පක්‍ෂය පාඩමක්

ඉගෙන ගන්න ඕනෑය. එහෙම ඉගෙන ගත්තොත් මන්මෝහන්සිං ගෙදර යැව්වා වාගේ මහින්දවත් ගෙදර යවන්න පුළුවන්ය. එහෙම නොවුණොත් තව අවුරුදු 6කට මැදමුලනට සින්දාබාද්ය.  තව අවුරුදු 6කට එක්සත් ජාතික පාක්ෂිකයන්ට හෘදයාබාද්ය.


සඳුන් ජීවන්ත
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

Popular Posts

Popular Posts