Open top menu
Sunday, May 25, 2014

ජේ.ආර්. ජනාධිපති කාලයේ ජේ.ආර්.ගේ මේසය උඩට යන රහස් ඔත්තු සේවා වාර්තාවල නිතරම සඳහන් නමක් තිබුණා. ඒ මාදුළුවාවේ සෝභිත හිමි...'

මේ කතාව හිටපු පොලිස් ප්‍රධානියකු කීවේ ජ.වි.පෙ. සහ සෝභිත හිමි අතර ඉදිරි ජනාධිපතිවරණය සහ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධව පසුගිය සතියේ පැවැති සාකච්ඡාව ගැන පළ වූ පුවත් දැකලාය.

'ජේ.ආර්. ඉන්දු - ලංකා ගිවිසුම අස්සන් කරන්න හදන කොට නාරාහේන්පිට අභයරාමයේ තිබුණු රැස්වීම ගැන ආරංචි වුණාම ජේ.ආර්.ට හොඳටම කේන්ති ගියා...'

ඔහු කීවේය. නාරාහේන්පිට අභයරාමයේ රැස්වීම පවත්වන්න විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් අවසරය ලබා ගන්න සෝභිත හිමියෝ විශාල වැඩකොටසක් කළහ. එයට කලින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ හෙද වැඩවර්ජනය සාර්ථක කරගන්න සෝභිත හිමි ලොකු කාර්යභාරයක් කර තිබිණි. 1980 වැඩවර්ජනයෙන් ජේ.ආර්.ගේ ආණ්ඩුව වෘත්තීය සමිතිවල කොන්ද කැඩුවාට පසු ජේ.ආර්.ගේ ආණ්ඩුව දණ ගස්වපු වැඩවර්ජනයක් දියත් වූවා නම් ඒ හෙද වැඩවර්ජනයය. හෙද වැඩවර්ජනයට සහාය පතා හාමුදුරුවරුන් උපවාසයක් දියත් කළ වෙලාවේ ජේ.ආර්. එවකට විපක්‍ෂයේ විරෝධතා ම¾ඩින්න පාවිච්චි කළ පොලිස් නිලධාරී ගෆූර්ව ගෙන්වා උපවාසය නතර කර දෙන ලෙසට නියෝග කළේය. ගෆූර් උපවාසයේ යෙදී සිටි හිමිවරුන් පැහැරගෙන ගොස් බොරැල්ලේ කනත්තට දැම්මේය. මේ සිද්ධිය ආරංචිවූ විගස සෝභිත හිමියන් අති විශාල ජනකායක් කොළඹට රැස් කළේ ජේ.ආර්. මුළු කොළඹම මාර්ග බාධක දමා කැරැලි මර්දන බළඇණි දමා අවහිර කර තිබියදීය.

'මේවා කඩාගෙන තමුන්නාන්සේලා මාත් එක්ක ජනාධිපතිතුමාගේ ගෙදරට පෙළපාළියකින් යන්න ලෑස්තිද...?'
සෝභිත හිමියෝ මහජනතාවගෙන් ඇසූහ.

'ඔව්. අපි ලෑස්තියි...'
ජනතාව එක හ¾ඩින් කීහ. සෝභිත හිමි පෙරටු කර ගත් ජනතාව වෝඩ් පෙදෙසේ ජේ.ආර්.ගේ බි්‍රමාර් නිවෙස වැටලූය. ජේ.ආර්. බය වී හෙද ඉල්ලීම් ඉටු කළේය. 1987දී ජේ.ආර්. මැයි පෙළපාළි තහනම් කළ විට සෝභිත හිමියෝ අභයරාමයේ මැයි රැලියක් සංවිධානය කළහ. එයට මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ගේ ආශීර්වාදය ලැබුණි. රැලිය ගැන ආරංචි වූ විට ජේ.ආර්. ආරක්‍ෂක ප්‍රධානීන් කැඳවීය.

'අපි වෙඩි තියන්න ලෑස්තියි...'

ආරක්‍ෂක ප්‍රධානීහු කීහ. ජේ.ආර්. 'හ්ම්' කීවා විතරය. පොලිසිය පන්සල වටකොට වෙඩි තියද්දී සෝභිත හිමියෝ පොලිසියේ තුවක්කු කටකට පපුව තියා 'මාව මරපල්ලා අහිංසකයන් මරන්න එපා' කීහ. පොලිසිය සෝභිත හිමිගේ හඬට අවනත විය. හැබැයි ඒ වෙනකොටත් දෙදෙනකු ඝාතනය කොට තිබිණි.

සෝභිත හිමිගේත් මුරුත්තෙට්ටුවේ හිමිගේත් සටන් ඉතිහාසය එ් වගේය. ඒ ඉතිහාසයෙන් පන්නරය ලද සෝභිත හිමියෝ 1987දී ඉන්දු - ලංකා ගිවිසුම අස්සන් කරන්න යන වේලාවේ යකඩයක් මෙන් රත්වී සිටියහ. සෝභිත හිමි කැඳවූ අභයාරාමයේ රැස්වීමට දේශපාලනඥයකු ලෙස සහභාගි වූයේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රි විතරය.

'මේ වේලාවේ රට ජාතිය බේරා ගන්න නම් අපි සංඝ සභාවක් කැඳවමු...'
සභාවෙන් යෝජනාවක් ආවේය. යෝජනාව සෝභිත හිමියෝ අනුමත කළහ.
'සංඝ සභාව කැඳවන්න තැනක් හොයා ගන්නේ කොහොමද...?'

හැමෝම ප්‍රශ්න කළහ.
'ගිහින් මහබෝධියේ සභාපති හමුවෙලා මාලිගාකන්දේ අග්‍රශ්‍රාවක මහා විහාරයේ තියන්න අවසර ගන්න...'
සෝභිත හිමියෝ උපදෙස් දුන්හ. ඒ වෙලාවේ ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ ගාමිණී ජයසූරිය හිටියේ ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිවය.
'මම අවසර දෙන්නම්. ඊට කලින් ම¾ඩිහේ පඤ්ඤාසීහ නායක හාමුදුරුවන්ගේ උපදෙස් ගන්න...'
ගාමිණී ජයසූරිය කීවේය.
'මමත් සංඝ සභාවට වඩිනවා. රටේ හැම තැනින්ම හාමුදුරුවරු ගෙන්වන්න...'

හාමුදුරුවෝ කීහ. එතැනදිම පඤ්ඤාසීහ හාමුදුරුවෝ අස්ගිරි මහා නායක හාමුදුරුවන්ට දුරකතනයෙන් කතා කළහ. පඤ්ඤාසීහ හාමුදුරුවෝ අස්ගිරි හාමුදුරුවන්ට සංඝ සභාවට වඩින ලෙස ඉල්ලීමක් කළහ. ඊළඟ ප්‍රශ්නය වූයේ රටේ හැම තැනින්ම වැඩම කරන හාමුදුරුවරුන්ට නවාතැන් දෙන්නේ කෙසේද කියන ප්‍රශ්නයය. සෝභිත හිමි කැලණිය පිරිවෙනේ නවාතැන් සලසා ගන්නට මැදගොඩ සුමනතිස්ස හාමුදුරුවන්ගේ උදවු පැතීය. හාමුදුරුවෝ 10,000කට පමණ කැලණිය පිරිවෙනේ නවාතැන් දෙන්න පොරොන්දු වූහ.

'සංඝ සම්මේලනය කැලණිය පිරිවෙනේ තියමු. පහුවදාම මාලිගාකන්දේ ඉඳල කොටුවට පෙළපාළියෙන් ගිහින් සත්‍යග්‍රහ කරමු...'

සෝභිත හිමියෝ කීහ. කැලණිය පිරිවෙනේ සංඝ සභාවට 10,000ක පමණ හාමුදුරුවරුද අතිවිශාල ජනකායක්ද ආහ. අස්ගිරි නාහිමි මුලසුන දැරීය. මඩිහේ පඤ්ඤාසීහ හිමිද සහභාගි විය. නුවර පාරේ මහ ජනගඟක් ගලද්දී ශ්‍රී .ල.නි.ප. නායිකා බණ්ඩාරනායක මැතිනිය සහ අනුරද එයට සහභාගි වූයේ සෝභිත හිමි ඇතුළු සංවිධායකයන් මවිත කරවමින්ය. මන්ද සංඝ සභාවට සහභාගි වෙන්න පොරොන්දු වී සිටියේ දේශපාලනඥයකු ලෙස දිනේෂ් පමණය. ජේ.ආර්. ගම්පහ ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියකු වූ ඩග්ලස් පීරිස්ව ජනතාව පාලනය කරන්න යැව්වත් එය සාර්ථක නොවීය.

පසු දින කොටුවේ සත්‍යග්‍රහයට මහා ජන ගඟක් ආවේ සෝභිත හිමි පිරිවරාගෙනය. ජ.වි.පෙ. ඔළුව ඉස්සුවේ ඒ මහා සත්‍යග්‍රහයෙන්ය.
'සෝභිත හිමි නායකත්වය දුන්නාට කැලණියේ සංඝ සභාව පිටුපස ඉන්නෙ ජ.වි.පෙ....'

රහස් ඔත්තු සේවා ජේ.ආර්.ට වාර්තා කළේ එසේය. පසුදින කොටුවේ සත්‍යග්‍රහයෙන් ජේ.ආර්. පමණක් නොව රජීව් සහ ඉන්දියාවද හෙල්ලුනි.
'වහාම සෝභිත හිමි අත්අඩංගුවට ගන්න...

ජේ.ආර්. නියෝග කළේය. හදිසි නීති රෙගුලාසි යටතේ සෝභිත හිමි අත්අඩංගුවට ගන්න පොලිස් බළඇණි ඇවිත් පන්සල වට කළේ 1987 අගෝස්තු පළමුවැනි දිනය. ඒ වෙනකොටත් පන්සලට ආ දහස් ගණන් ජනතාව පොලිසියට පන්සල ඇතුළට එන්න ඉඩ නොදී මඟ අහුරා සිටියහ.

'මට ඉඩ දෙන්න...'
ටික වේලාවකින් පන්සල ඇතුළින් අයෝමය දේහධාරී සෝභිත හිමි ආවේ ජනතාව මැදින්ය.

'මම හිරගෙට නෙවේ මැරෙන්න වුණත් යන්න සූදානම්...'
සෝභිත හිමි එලෙස කියා පොලිස් ජීප් රථයට නැග්ගේය. සෝභිත හිමියෝ හරියට මාසයක් පොලිස් අත්අඩංගුවේ සිටියහ. ඒ කාලය තුළ රට ගිනි ගෙන තිබිණි.

'මේ පරණ කතාවයි. මෙදා ජ.වි.පෙ.යි සෝභිත හිමි හමුවයි අතර සම්බන්ධතාව මොකක්ද...?'
කවුරුන් හෝ අසන්නට පුළුවන.

'කඩුව හදන කොට මුවහත් කරන්න ගින්දරයි වතුරයි දෙකම ඕනෑ. සෝභිත හිමියි ජ.වි.පෙ.යි කියන්නේ ගින්දරයි වතුරයි වගේ...'
මේ 1987 කොටුවේ බෝධිය අබියස සත්‍යග්‍රහය ඇසින් දුටු සාක්‍ෂිකරුවකුගේ වචනය.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු.
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

  1. I dont know others.......but muruthtettuwe thero not mach for this story....

    ReplyDelete

Popular Posts

Popular Posts