Open top menu
Thursday, May 8, 2014

ආදරණීය උතුමාණෙනි,

මගේ නම සිල්වා. ද සිල්වා. මං සාමාන්‍ය මිනිහෙක්. ඉතා සාමාන්‍ය මිනිහෙක්. කොච්චර ද කියනවා නං, හැම දාමත් මං ඡන්දය පාවිච්චි කරන්නේ උතුමාණන්ට සහ උතුමාණන්ගේ ආණ්ඩුවට. කොහොම වුණත්, මං මේ දෙන්නේ, මගේ නමේ පස්ස පැත්ත විතරයි. ඉස්සරහ පැත්ත, ආරක්ෂක හේතූන් මත රහසක් විදිහට තියාගන්නවා. ඒ වගේම, මගේ ඉංගිරිසිය ගැන උතුමාණෝ කමා
කරන්න කියලත් මං ඉල්ලා හිටිනවා. මං, ද සිල්වා. ද පීරිස් නෙවෙයි.

ඔක්කෝටම කලින් මේකත් තේරුම් ගන්න ඕනේ. ‘විවෘත කළ’ ලිපියක් කියලා කියන කොට මං ඒකෙන් අදහස් කරන්නේ, මේ කාලේ සමහර මෝඩ මිනිස්සු ලියනවා වගේ, මහජනතාවටත් කියවන්න පුලූවන් ලියුමක් කියන එක නෙවෙයි. ‘විවෘත කළ’ කියන කොට, මං ඇත්තෙන්ම අදහස් කරන්නේ, ‘ඇරපු’ කියන එකයි. මොකද, මං ලියන හැම ලියුමක්ම, මුද්දර අලවන්න කලින් මගේ ගෑනි අරිනවා. ඒකිට, වැඩිය කියවන්න බැහැ. පහේ කැලෑසියට විතරයි ගිහිං තියෙන්නේ. ඒක නිසා, සාහිත්‍ය ගැන ඇමති කෙනෙක් වෙන්නත් එයා සුදුසුයි කියලා සමහරු කියනවා. ඒක, පස්සේ දවසක, උතුමාණන් වහන්සේට සැලකිල්ලට ගන්න පුලූවන් දෙයක්. වෙන මිනිහෙක්ගේ ගෑනියෙකුට මං ලියුමක් ලියලා අහුවුණ දවසේ ඉඳලා, මේ සැරේ කාගේ ගෑනිට ද මං ලියන්නේ කියලා දැන ගන්න ඒකිට ඕනේ. ඒකයි, හැම ලියුමක්ම ඒකි ඇරලා බලන්නේ. කරුණාකරලා, මටත්, ඒකිටත් ඒ ගැන සමාවෙන්න. මොකද, මට ඉන්නේ එක ගෑනියි. ඒ තමයි, ඒ.

ඊළඟට, කරුණාකරලා මේකත් සැලකිල්ලට ගන්න. මේ ලියුමේ උතුමාණන් වහන්සේගේ ආණ්ඩුව ගැන විවේචනයක් වගේ පේන කිසි දෙයක් තිබුණොත්, ඒක ගැන මගේ වගකීමක් නැහැ. මං මේ කරන්නේ, අනිත් අය කියන දේවල් ලියන එක විතරයි. ඒක නිසා, කරන්ට් අල්ලන්න, මසාජ් කරන්න, වතුර සබ්බුව දෙන්න ඕනේ කරන මිනිස්සුන්ව අරගෙන යන්න, වෑන් එකක්, කාර් එකක් හරි, මිනිබස් එකක් හරි එවන කෙනෙක්ව දන්න කෙනෙක්ව උතුමාණන් වහන්සේත් දන්නවා නං, කරුණාකරලා එහෙම සංචාර සඳහා මට සුදුසුකම් නැති විත්තියත් සැලකිල්ලට ගන්න. උතුමාණන්ගේ ආණ්ඩුව ගැන මේ ලියුමේ කියන හැම දෙයක්ම, කටකතා විතරයි.

මට මේ ලියුම් ලියන්න ඕන කළේ අවුරුදු පහකට කලින්. ඒ කියන්නේ, ප‍්‍රභාකරන්ව මරලා, මුළු ලංකාද්වීපයම එක වහලක් යටට ගෙනල්ලා, රටට අලූත් යුගයක් බිහි කරපු දවසේ. කොච්චර අලූත් ද කියනවා නං, අපි ඒකට කියන්නේ ‘අපේ දෙවි පියාණන්ගේ අවුරුද්ද’ කියලා. ඒත්, තව අවුරුද්දක් දෙකක්, සමහරවිට අවුරුදු පහක් විතර බලාගෙන ඉන්න එක හොඳයි කියලා එදා සමහරු මාව පස්සට ඇද්දා. හැම අවුරුදු පහකට සැරයක්ම ආපස්සට හැරිලා බලන එක හොඳ හින්දයි දැන් ලියන්නේ. උදාහරණයක් විදිහට, පිළිකාවක් වගේ. එතකොට මට ටිකක් කේන්තිත් ගියා. මං ඇහැව්වා, අපේ උතුමාණන්ගේ ආණ්ඩුව පිළිකාවක් වගේ ද කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා, නැහැ, නැහැ අයිසේ, පිළිකාව තමයි ප‍්‍රභාකරන් කියලා. අපේ උතුමාණෝ, ඒ පිළිකාව පුච්චන විකිරණ වගේලූ. ඒත් එහෙම විකිරණ අල්ලන කොටත්, එක එක ලෙඩ එනවා. කොණ්ඬේ හැලෙනවා. දත් හැලෙනවා. සමහර වෙලාවට, හැලෙන්න ඕන දේවල් හරියට හැලෙන්නේ නැහැ. එක්කෝ, කොහෙත්ම හැලෙන්නේ නැහැ. ඒක නිසා, පොඞ්ඩක් බලං ඉන්න එක හොඳයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ.

දැන් අවුරුදු පහක් බලං හිටියට පස්සේ ඒ මිනිස්සු කියනවා, විකිරණ අල්ලපු එකෙන් ඇති වෙච්ච ප‍්‍රතිඵලේ හරි නරකලූ. මිනිස්සු ජීවත් වෙන්නේ බයෙන්ලූ. මිනිස්සු හොර ඇහෙන්ලූ බලන්නේ, මොකද, හමුදාව පස්සෙන් බලං ඉන්න නිසා. මුළු රටම හමුදාකරණය වෙලාලූ. සොල්දාදුවෝ හැම තැනම. එළවලූ මාරකැට් එකේ පොලූයි, පිපිඤ්ඤයි විකුණනවාලූ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැහැලූ. මිනිස්සුන්ගේ අයිතිවාසිකම් එකින් එක ගන්නවාලූ. නීතියක් නැහැලූ, සාමයක් නැහැලූ. දෙමල්ලූ විතරක් නෙවෙයි, හම්බයොත් දැන් සිංහලයන්ගේ හතුරෝලූ. රජ පවුල මිනිස්සුන්ගේ සල්ලි එක්ක සෙල්ලං කරනවාලූ. හෝටල් හදන්න, සංචාරක නිකේතන හදන්න ඒගොල්ලන්ගේ ගෙවල් ගන්නවාලූ, තනි අතෙන් යුද්ධෙ දිනපු උතුමාණන්ගේ මල්ලී ගෝඨා, එයා මණින භූමියේ භූ-පාලක කියලා ඒගොල්ලෝ හිනාවෙනවා. මොකද, එයාගේ වැඬේ ඉඩම් මණින එකලූ, ඒගොල්ලෝ ඔබතුමාගේ ආණ්ඩුවට කියන්නේ එන්.ජී. ඕ. කියලා. ඒ කියන්නේ, ‘ආණ්ඩු නොකරන සංවිධානයක්’ කියන තේරුමෙන්.

ඉස්සෙල්ලත් කිව්වා වගේ, මේවා මගේ අදහස් නෙවෙයි, අනිත් අය කියන දේවල්. සමහර විට, ඒගොල්ලෝ උතුමාණන්ගේ ආණ්ඩුව හෑල්ලූවට දාන්න, එන්.ජී. ඕ. සහ අධිරාජ්‍යවාදීන්ගෙන් අල්ලස් ගන්නවත් ඇති. උං කියන දේවල් මං නං තඹේකට විස්වාස කරන්නේ නැහැ. උං මොනවා කිව්වත්, ඔබතුමාගේ ආණ්ඩුව සාන්ත-දාන්තයි කියන්න මං මේ ලියුම ලියන්නෙත් ඒ හින්දා. පහු ගිය අවුරුදු පහ තිස්සේම ඔබතුමාගේ ආණ්ඩුව, මේ රට හතර වටේට කරකෝනවා. කොච්චර ද කියනවා නං, අපි කැරකෙන්නේ කොයි පැත්තට ද කියන එකවත් දැන් අපි දන්නේ නැහැ. කරුණාකරලා, ඒ ජයග‍්‍රහණයන් ගැන ටිකක් කියන්න මට ඉඩ දෙන්න.

මුලින්ම කියන්න ඕනේ, අර හැත්තට ඒ විදිහට අද විවේචනය කරන්න හරි ලැබිලා තියෙන්නේ, අපේ උතුමාණෝ අර තිරිසන් ප‍්‍රභාකරන්ව මරලා, මේ රට එක වහලක්, එක කුඩයක් යටට ගෙනාව නිසයි. බෝම්බ පිපිරිච්ච හැටි, මිනිස්සු මරාගත්ත හැටි උංට මතක නැද්ද? එහෙම දේවල් දැන් වෙනව ද? වෙඩිල්ලක් ඇහුණොත් දැන් ඇහෙන්නේ, අධිරාජ්‍යවාදී බලවේගවලට යට වෙච්ච මිනිස්සු, වැඩකට නැති පිරිසිදු වතුර වගේ සුඛෝපභෝගී දෙයක් ඉල්ලලා කෑගැහැව්වොත් විතරයි. එහෙම නැත්නං, තුවක්කු හංගපු තැන් පෙන්නන්න, ලොක්කෝ වගේ යනකොට විතරයි. එහෙමත් නැත්නං, හිරගෙයි වහලට නැගලා පුලූවන් නං වෙඩි තියපල්ලා කියලා චන්ඩි කං කළොත් විතරයි. බස්වල, සුපර් මාකට්වල, අද බෝම්බ නැහැ. ඒරොප්ලේන්වලින් ඉස්පිරිතාල උඩට (බැරිවීමෙන්) බෝම්බ වැටෙන්නෙත් නැහැ. සරණාගත කඳවුරු පැත්තට, අත්වැරැද්දෙන් මල්ටි බැරල් යන්නෙත් නැහැ. කඩලා දාන දෙයක් තියෙනවා නං, ඒ ගෝඨා ඉඩම් මණින කොට විතරයි. හෝටලයක් තියෙන්න ඕන තැනක පැල්පතක් තියෙන කොට, කඩන්නේ නැතුව පුලූවන් ද? ඒක නිසා, බුල්ඩෝසර් ඇරලා, ඒවා ෆ්ලැට් කරනවා. ඒක ඇත්ත.

මුළු රටම අද එක්සත්. හැම තැනකම පාරවල් යනවා. යන්න ඕනේ නැති තැන්වලත් පාරවල් යනවා. ඉස්සර භේද භින්න වැඩියි. කොච්චර පවුල් තිබුණා ද, බලය බෙදාගෙන කාපු. ඒත් දැන් උතුමාණන්ගේ පවුල විතරයි. ඉතිං, උතුමාණන්ට කැමති විදිහට, උතුමාණන්ට ආසා විදිහට බෙදනවා. බලන බලන හැම පැත්තෙම රාජපක්ෂ කෙනෙක් ඉන්නවා කාට හරි මොකක් හරි කරන. කවුරුවත් කිසි දෙයක් කියන්නේ නැහැ. මොකද කිව්වොත්, අස්ථානගත වෙලා හොයාගන්න බැරි වෙන නිසා. විපක්ෂ නායකතුමා ඉන්නෙත් ආණ්ඩුව එක්ක. ඒ වගේමයි, විපක්ෂ නායකයාට විපක්ෂ නායකයාත්. මාධ්‍යයත් අද උතුමාණන්ගේ උකුල උඩ හොඳටෝම එක්සත්. වෙලා. අපේ උතුමාණෝ මහ දවල් උපන් ඇඳුමෙන් ගියොත්, හැමෝම කියයි, බුදු අම්මෝ මේක ද ආසියාවේ ආස්චර්යේ අලූත්ම විලාසිතාව, අපිත් යනවා හෙලූවෙන් කියලා. ඒ, උතුමාණන් වගේ වෙන්න තියෙන ආසාව නිසා. දීප්තිමත් සූර්යා වගේ අපේ උතුමාණෝ හිනා වෙන කොට, පිටට තට්ටුවක් දාන කොට, මොන තරං චූන් එකක් ද?

හැම තැනම තියෙන්නේ, සන්තෝසය. මිනිස්සු සින්දු කියනවා. වැඩියත්ම, ජාතික ගීය. ඒකත් සිංහලෙන් විතරක් වුණාට, මිනිස්සු ගායනා කරනවා. ළමයි සෙල්ලම් කරනවා. හැබැයි, ඒ ඔබතුමාගේ ළමයි තමයි: නාමල්, යෝෂිත, එතකොට අනිත් ළමයා. ඒගොල්ලෝ, රග්බි බෝලෙට ගහනවා, ක‍්‍රීඩා විනිසුරුට ගහනවා, වෙසක් තොරණක් වගේ, රෑ දෙගොඩහරියේ මසුරන් කාර් පදිනවා. හැබැයි, තවත් ළමයිනුත් මේ සෙල්ලම්වලට එකතු වෙනවා. උදාහරණයක් විදිහට, ඇමතිවරුන්ගේ, පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ ළමයිනුත් මේ සෙල්ලම් පටන් ගන්නවා. කාගෙන්වත් කරදරයක් හිරිහැරයක් නැහැ. ප‍්‍රභාකරන් ජීවතුන් අතර හිටියා නං, ඒගොල්ලන්ට එහෙම සෙල්ලම් කරන්න පුලූවන් ද? මට හොඳටම විස්වාසයි, යම් දවසක අපිටත් පුලූවන් වෙයි, ඔබතුමාගේ දරුවන්ගේ සෙල්ලම්වලින් ඇවිස්සෙන දූවිල්ලේ සෙල්ලම් කරන්න.

ඒ වගේම, නීතිය හා සාමය ගැන මේ තරං කෑගහන්නේ ඇයි කියලත් මට තේරෙන්නේ නැහැ. ඔය නීතිරීති අපිට ඕනෑවටත් වැඩියි. සංඝ රත්නයත් දැන් එනවා මිනිස්සුන්ට නීති දාන්න. අඳින්න ඕනේ මොනවද, අඳින්න ඕනේ කොහොමද, කොච්චර දිගට ද වගේ දේවල්. මොන සත්තුන්ගේ මස් ද කන්න ඕනේ, මොන සත්තුන් ද පූජනීය වගේ දේවල්. බල්ලාගේ වැඬේ බූරුවා කරන කොට බලං ඉන්න පොලිස් නිලධාරින්ගේ මුහුණු හරි අපූරුයි. ඒගොල්ලන්ට තියෙන්නේ, යුනිෆෝම් ඇඳගෙන වටේ කැරකෙන එක. ආරක්ෂක අමාත්‍යාංශේ රක්ෂණ ප‍්‍රතිපත්තිවලින් ආවරණය නොවෙන මිනිස්සුන්ගේ ඔලූ පොඩිපට්ටම් කරන එක. මුස්ලිම් මිනිස්සුන්ට මේක ප‍්‍රශ්නයක් නං, ඒක මාර හිනා යන වැඩක්. ඒගොල්ලන්ගේ තලිබාන්ලා කරන්නෙත් මේ වගේ වැඩනේ. ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ, ඒගොල්ලෝ ඉන්නේ බෞද්ධ රටක විත්තිය. ඒගොල්ලන්ට මුස්ලිම් තලිබාන්ලා ඕනේ නං, මං කියනවා මුස්ලිම් රටකට යන්න කියලා. ඉස්ලාම් රටේ, ඉස්ලාම් තලිබාන්ලා. බෞද්ධ රටේ, බෞද්ධ තලිබාන්ලා.

එතකොට, මොකක් ද මේ දෙමළ මිනිස්සු සන්තෝසෙන් නැහැ කියන අපබ‍්‍රංසේ? අපේ උතුමාණෝ, ප‍්‍රභාකරන්ව පරද්දලා, මරලා, දැන් අශෝක රජ්ජුරුවෝ වගේ පසුතැවෙනවා. දැන්, දවසෙන් දවස, හැසිරීමෙන් ආකල්පෙන්, මරපු යක්ෂයා වගේ වෙන්න බලනවා. ඉස්සර ප‍්‍රභාකරන්ට වැඳපු දෙමල්ලූ සන්තෝස වෙන්න ඕනේ, අපේ උතුමාණන්ට අපි වඳිනවා වගේ උන්ටත් වඳින්න අවස්ථාව ලැබිලා තියෙන එක ගැන. ඒගොල්ලන්ට, අනිත් කෙනා වගේම වෙන කෙනෙක් දැන් ඉන්නවා. ශ‍්‍රී ලංකාවේ නූතන ඉතිහාසය හරිම සරළයි: ආරම්භයේ දී, ‘දෙයක්’ තිබුණා. ඒ ‘දෙය’, ප‍්‍රභාකරන්. ඊට පස්සේ, ‘වෙන දෙයක්’ එනවා. ඒකට කියන්නේ, ‘මහින්ද’ කියලා. ‘වෙන දෙය’ විසින් අර ‘දෙය’ නසනවා. දැන් අපිට ‘දෙයක්’ නැහැ, ‘වෙන දෙයක්’ තියෙනවා. අපේ භූමියේ කතාව ඒකයි. හැම දාම, එක්කෝ එකක්, නැන්තම් වෙන එකක්. දේවල් සරළ විදිහට තියාගන්න එක හොඳයි. ඉතිහාසය පවා. මේ රටේ ජීවත් වෙන්න ඕනේ නං කෙනෙක් ඒක පිළිගන්න ඕනේ. නැත්නං, ජිනීවා පලයල්ලා.

තව ද, ඒගොල්ලොත් එක්ක බලය බෙදාගන්නේ නැහැ කියලා, දෙමල්ලූ ඔබතුමාව ජාතිවාදියෙක් විදිහට හඳුන්නන එක හරි මෝඩ කතාවක්. උතුමාණන් හැම ජාතියකටම සළකන්නේ එක විදිහට. උතුමාණෝ තමන්ගේ බලය තමන්ගේ පවුලත් එක්ක මිසක් වෙන කිසි කෙනෙක් එක්ක බෙදාගන්නවා කවුරුවත් දැකලා තියෙනව ද? මං හිතන්නේ නැහැ. එතකොට, සිංහලයෝ ඒ ගැන කචල් දානව ද? මං හිතන්නේ නැහැ. සිංහලයෝ හාහූවක් නැත්නං, දෙමල්ලූන්ට තියෙන රුදාව මොකක් ද? මගේ පුංචි ඔලූවට, ඒක තමයි ජාතිවාදය කියන්නේ. ඒ කියන්නේ, වෙනම ජාතියකට විශේෂ සැලකිලි දැක්වීම.

එතකොට, මිනිස්සු බයෙන් ඉන්නවා කියන්නේ මොකක් ද? රට එක්සත් කළාට පස්සේ හමුදාකරණයක් එනවා කියන්නේ මොකක් ද? රටේ හුඟාක් දේවල් හමුදාව විසින් කරන බව ඇත්තයි, සත්තයි. පාරවල් හදන එක, පොල්ගෙඩි සහ පිපිඤ්ඤා විකුණන එක, රෑට තියෙන නාමල්ගේ කාර් රේස්වලට වැලි ගෝනි අදින එක. මේක, රට හමුදාකරණය කිරීමක් නෙවෙයි. සිහිබුද්ධිය තියෙන වැඩක්. රටක් පාලනය කරන්න ඉන්නේ තමන්ගේ පවුල විතරක් වෙනකොට, රටක් පාලනය කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක නිසයි, එදිනෙදා වැඩපොල ටිකක් කරලා දෙන්න කියලා උතුමාණන් වහන්සේ හමුදාවෙන් ඉල්ලා හිටින්නේ. උතුමාණන්ගේ පවුල කරන්නේ, යක්ෂයාගෙන් බේරාගන්න එක. පොල් ගෙඩි සහ වැලි ගෝනි උස්සං යන්නේ නැති වෙලාවට හමුදාව මිනිස්සු ගැන ඇහැ ගහගෙන ඉන්නවා නං, ඒ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි, මිනිස්සු ඇත්තෙන්ම සන්තෝසෙන් ඉන්නව ද කියලා බලන්නයි. මිනිස්සු බලන්නේ හොරැහින් බව ඇත්ත. ඒ, බයක් නිසා නෙවෙයි. හමුදාව හරියට වැඩ කරනව ද කියලා බලන්න. උතුමාණන් වහන්සේ දැන් නිර්මාණය කරමින් ඉන්න ඒ නූතන දේශය තුළ ඒකට කියන්නේ, පූර්ණ සුසංවාදය හෙවත් නිවීම කියලා: ඔයා මගේ පස්ස කසනවා, මං ඔයාගේ පස්ස කසනවා නෙවෙයි. ඔයා මගේ පස්සෙන් බලාගෙන ඉන්නවා, මං හොරැහින් බලාගෙන ඉන්නවා.

උතුමාණන්ගේ ආණ්ඩුවට විරුද්ධව ජිනීවා යෝජනා සම්මත වීම ගැන සමහරු ඉන්නේ, හරි සන්තෝසෙන්. ඉතිං, මොකෝ? මේක පළවෙනි වතාව නෙවෙයි. මීට ඉස්සර දෙවතාවක්ම එහෙම යෝජනා සම්මත වෙලා තියෙනවා. ඒත් අපේ උතුමාණෝ කොහේවත් ගියා ද? නැහැ. දවසින් දවස අපේ උතුමාණෝ නිර්භීතව, තමන්ට ඕන දේ, තමන්ට ඕන මිනිස්සුන්ට කරනවා. මේ රටේ මිනිස්සුන්ට විතරයි ආණ්ඩුව වෙනස් කරන්න පුලූවන් කියන එක උතුමාණෝ කියලා තියෙනවා. වෙන රටවල්වල ඉන්න එවුංට ඒක කරන්න බැහැ. මේ රටේ මිනිස්සු කෙලින් බලන්නේ නැති තාක් කල්, හමුදාව ඒ මිනිස්සුන්ගේ පස්සෙන් ඇහැගහගෙන ඉන්න තාක් කල්, අපේ උතුමාණන්ට බය වෙන්න දෙයක් නැහැ.

ඒක නිසා, ප‍්‍රභාකරන්ව පරාජය කරලා සමස්ත ජාතියම ජයගත් පස්වැනි අවුරුද්ද පිරෙන මේ මොහොතේ, අපේ උතුමාණන්ට හිත සැනසිල්ලේ ඉන්න පුලූවන්, දිනාගත්ත දෙයින් හොඳ වැඩක් කරගත්තා කියලා. වෑන් එකේ නොගිය මෝඩයෙක් දෙන්නෙක් ඉන්න පුලූවන්. බල්ලන්ට බුරන්න දෙන්න. උතුමාණෝ මුළු රටම හප කරන්න, මුළු රටම බඬේ පිරෙන කල්.

උතුමාණන්ගේ බඩයි, නොමග ගිය මිනිස්සුන්ගේ කන්කරච්චලූයි, අපේ උතුමාණන්ගේ ශ‍්‍රී මුඛයෙන් පිටවෙන රාමතෛලයක් විතරයි.

ඔබේ ආදරණීය සහ භක්තිවන්ත ද වන,
ද සිල්වා

|Groundviews වෙබ් අඩවියේ “Opened Letter to His Majesty Mahinda Rajapakse the Lord of Sri Lanka & the Universe Also” නමින් පළවු ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා‘
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

  1. ammo.. ban.. meka liyapu ekata... deiyangema pihitai.... ane.. ammmoooooooooooo...... mama nan.. meka baluwewath.... dakkewath nathooooooooooooooooooo

    ReplyDelete

Popular Posts

Popular Posts