Open top menu
Thursday, May 8, 2014

අවසානයේදී සුදු වෑන් රියක් පොලිසිය සොයා පැමිණියේය. කුරුණෑගල නගරයේ රාත්‍රි කාලයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සුදු වෑන් රියකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන යනු ලැබූහ. දෙදෙනාටම පහරදී නිරුවත් කර මරා දැමීමට ගත් උත්සාහයේදී එක් නිලධාරියකුට දිවි ගලවා ගැනීමට හැකි වුවද අනෙක් නිලධාරියා මිනීමරුවන්ගේ වෙඩි
උණ්ඩයට ගොදුරු වී තිබේ.
සුදු (හෝ වෙනත් පැහැයෙන් යුත්) වෑන් රථයකින් (හෝ වෙනත් වාහනයකින්) පැමිණ ගිනි අවි පෙන්වා පුද්ගලයන් පැහැරගෙන ගොස් වධහිංසා පමුණුවා මහ මඟ දමා යෑම හෝ ඝාතනය කර දමා යෑම "සුදු වෑන් සංස්කෘතියක්" ගැන කියැවෙන තරමට බහුල වී ඇත. පුද්ගලයකු පැහැරගෙන ගොස් වෙඩි තබා මරා දැමීමේ සිද්ධියකට පොලිස් ලොක්කකු ඇතුළු නිලධාරීන් කිහිපදෙනකු සැක මත අත්අඩංගුවට ගෙන මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. අඟුලානේ තරුණයන් දෙදෙනකුට දරුණු ලෙස පහර දී ඔවුන් වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් වැරැදිකරුවන් වන බවට අධිකරණය තීන්දු කෙළේය.

සුදු වෑන්වලින් පැහැරගෙන ගියවුන් අතරින් දෙපයින් යළි නිවෙස් බලා පැමිණීමට වාසනාවන්ත වූවන් අතේ ඇඟිලි ගණනට අඩු මිස වැඩි නැත. පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණ සමයේ වනාතමුල්ලේදී සුදු වෑන් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන යනු ලැබූ පුද්ගලයකු සොයා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිසට පැය 48ක් ගතවීමට මත්තෙන් ඔහු සොයා දෙන බවට පොලිසිය පොරොන්දු විය. පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා නිරුපද්‍රිතව නිවෙස බලා පැමිණියේය. එහෙත් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගිය පොලිස් නිලධාරීන් බේරාගැනීමට පොලිසියට නොහැකි විය. එක් නිලධාරියකු දිවි ගලවා ගත්තේ ඔහුගේ දක්ෂතාව නිසාය.
පැහැරගෙන ගොස් ඝාතනය කර මහ මඟ දමා යෑමේ සිද්ධීන් දෙස ඇතැම් අවස්ථාවල සැහැල්ලුවෙන් බැලූ පොලිසියට සිය සහෝදර පොලිස් නිලධාරීන් දෙදෙනකු රාජකාරියේ යෙදී සිටියදී පැහැරගෙන ගොස් නිල ඇඳුම් ගලවා නිරුවත් කර එක් අයකු මරා දමා අනෙක් නිලධාරියාව මරාදැමීමට තැත් කිරීම සැහැල්ලුවෙන් සැලැකිය හැකි දෙයක් නොවේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කළ විස්තරයට අනුව මේ සිද්ධිය පොලිසියට මෙන්ම නීතියේ ආධිපත්‍යයටද කළ අභියෝගයකි. නිසැකයෙන්ම මෙය අභියෝගයක් ලෙස පොලිසිය භාරගත යුතුය. එසේ නොවුවහොත් 'කැලෑ නීතිය' රජ කරන චිකාගෝවක් බවට මෙරට පත්වීමට ඉඩ ඇති බැවිනි. නීතියේ ආධිපත්‍යයට ඇතැම් අවස්ථාවල අභියෝග එල්ල වී ඇත්තේ පොලිසියෙන්මය. සැක මත අත්අඩංගුවට ගන්නා ඇතැම් පුද්ගලයන් මාංචු සහිතව සිටියදී ආයුධ පෙන්වීමට ගොස් ඇතිවූ ගැටුමකදී පොලිස් වෙඩි පහරින් මිය ගිය බව කීම ඊට නිදසුනකි. අධිකරණයෙන් වැරැදිකරුවකු වනතුරු ඔහු හෝ ඇය නිවැරැදිකරුවෙකි. කැලෑ නීතියට අනුව ප්‍රශ්න විසඳීමට යන පොලිසියට අවසානයේ කැලෑ නීතියට මුහුණදීමට සිදුව ඇත. සියලු ගෙමිදුල් පසුකරගෙන පොලිසියේ මිදුලටද සුදු වෑන් රිය පැමිණ තිබේ.
තුන්නාන සිද්ධියේදී පොලිසිය හැසිරුණු ආකාරයට හාත්පසින්ම වෙනස් හැසිරීමක් හම්බන්තොට සෙල්ලම් පිස්තෝල සිද්ධියේදී දැකගන්නට ලැබිණි. බොදුබල සේනා වැනි සංවිධාන හමුවේ එකත්පස්ව සිටින පොලිසිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වැනි සංවිධාන හමුවේ පෙරමුණට පැමිණෙන අයුරු ජනතාව අනේකවාරයක් දැක ඇත. සිද්ධීන් ගැන පොලිසියේ නිල මතය ප්‍රකාශ කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා 'පිනෝකියෝ'ට සමාන කර කාටූන් ඇඳීමේ අරමුණ හාස්‍යය උලුප්පා දැක්වීමක් පමණක් නොවන බව පැහැදිලිය.

පොලිසියේ නිලධාරීන් දෙදෙනකු නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන යනු ලැබීම ගැන ජනතාව 'අනේ අපොයි' කියාවි යැයි සිතීම දුෂ්කරය. වසර විසි දෙකක සේවා කාලයකදී 'ප්‍රශංසා පදක්කම්' 54ක් ලබාගෙන ඇති පොලිස් නිලධාරියකු පැහැරගෙන ගොස් ඝාතනය කර තවත් නිලධාරියකු මරා දැමීමට තැත් කළ පිරිස කවුද, ඔවුන්ගේ වුවමනාව කුමක්ද යන්න සොයා රටට හෙළි කිරීමට නුදුරේදී පොලිසිය සමත් වුවද එය කෙලෙසී ඇති පොලිසියේ ගෞරවය පිළිසකර කරගැනීමට ප්‍රමාණවත් නොවනු ඇත.
මේ සිද්ධියෙන් පොලිසිය ඉගෙන ගත යුත්තේ අනුන් වෙත දමා ගැසූ දේ කවදා හෝ පෙරළා තමන් වෙත බූමරංගයක් සේ පැමිණෙනු ඇති බවය.

mawbima -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

  1. මෙවැනි ශෝක ජනක සිද්දි වෙන එක ගැන ගොඩාක් කාණගාටුදායකයි. ඇත්තෙන්ම

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete

Popular Posts

Popular Posts