Header Ads

දැන් 'අවම බලයක්' නෑ තියෙන්නෙ 'අවශ්‍ය බලය'

ඉස්කෝලෙන් අයින් වුණාට පස්සෙ මොකක්හරි උද්ඝෝෂණයකට සම්බන්ධ වෙලා තියෙනවද...?
ඇත්තටම මට එහෙම අවස්ථාවක් ලැබුණෙ නෑ.

ඒ ජාතියෙ කිසිම අරගල අත්දැකීමක් නෑ එතකොට...?
නෑ... මාව විශ්වවිද්‍යාලෙට තේරුණාට මම ගියෙ නෑ. පොලිසියට බැඳුණා. ඒක නිසා උද්ඝෝෂණ කරන්න මට අවස්ථාවක් ලැබුණෙ නෑ.

ඔබේ පොලිස් ජීවිතය පටන් ගත්තෙ කොතැනින්ද...?
මම උප පොලිස් පරීක්‍ෂකවරයෙක් විදියට තමයි පොලිසියට බැඳුණෙ.

රාජකාරිමය මට්ටමෙන් උද්ඝෝෂණ මර්දනය කරපු අත්දැකීම් නම් ඇති...?
ඔව්, අනිවාර්යයෙන්ම. ඒවා පාලනය කරන්න, මර්දනය කරන්න මැදිහත් වෙලා තියෙනවා.

උද්ඝෝෂණයක් කරන්න මිනිසුන්ට අයිතියක් තියෙනවනෙ...?
අනිවාර්යයෙන්ම ඔව්.

පොලිසියට ඔවුන්ට ගහන්නත් අයිතියක් තියෙනවද...?
මෙහෙමයි, සාමකාමී උද්ඝෝෂණ කරන්න අයිතියක් තියෙනවා. මාර්ග අවහිර කරගෙන උද්ඝෝෂණ කරන්න කාටවත් බෑ.

ඇත්තටම ඇයි උද්ඝෝෂණවලට මිනිසුන්ටත් කලින් පොලිසිය යන්නෙ...?
අපිට පුළුවන් උද්ඝෝෂණය ඔහේ කරගෙන යන්න කියලා බැරැක්කෙට වෙලා ඉන්න. රටක් පවතිනවද එතකොට. කෝ නීතියක්?

 ඔය සාමකාමී උද්ඝෝෂණ කියන ඉර ගහගන්නෙ කොතැනින්ද...?
සාමකාමී කියන්නෙ තව අයට කරදරයක් නොවෙන්න කියන එක. අයිනකට වෙලා බෝඩ් ලෑල්ලක් උස්සගෙන පිකටින් කරන්න පුළුවන්. එහෙම නැතුව පාරට පැන්න හැටියෙ වාහන බ්ලොක් වෙනවා. ඒක ජනතාවට කරදරයක්.

සාමාන්‍යයෙන් ලංකාවෙ එහෙම උද්ඝෝෂණ කරපුවහම ඉල්ලීම් ඉටුවෙනවද...?
එහෙම උද්ඝෝෂණ කරලත් ඉල්ලීම් ඉටු කරගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි පාරට පැනලා උද්ඝෝෂණ කරන්න දෙන්න බෑ. එහෙම පාරට පැන්නා කියලා ඉල්ලීම් දිනාගන්න පුළුවන්ද කියන එකත් ප්‍රශ්නයක්. ඒක ඒගොල්ලො බලාගන්න ඕනෑ කාරණයක්.

 ඒගොල්ලො කියන්නෙ ආණ්ඩුවද...?
ඔව්.

අවම බලය කියන්නෙ මොකක්ද...?
අවම බලය කියලා නීතිමය සංකල්පයක් දැන් නීතියෙ නෑ. දැන් තියෙන්නෙ අවශ්‍ය බලය කියලා. 1984 අවුරුද්දෙ ලේන් විනිසුරුතුමා දීපු නඩු තීන්දුවකින් තමයි ඕක කිව්වෙ.

 හැබැයි අපේ නීති පොත්වල තවම අවම බලය කියන සංකල්පය තියෙනවනෙ...?
ඔව්. වර්තමාන ලෝකයේ ඒක පිළිගැනෙන්නෙ නෑ. අවශ්‍ය බලය නැත්නම් ඒ වෙලාවට යොදවන්න ඕනෙ බලය කියන එකයි දැන් පිළිගන්නෙ.

 ඒ කියන්නෙ සමහරවිට අවශ්‍ය බලය සමානයි උපරිම බලය වෙන්නත් පුළුවන්...?
නෑ. එතකොට අවශ්‍ය බලය ඉක්මවා යනවනෙ.

පුද්ගලයන්ගේ සහ කණ්ඩායම්වල තරාතිරම අනුවත් මේ රටේ අවශ්‍ය බලයේ සීමාව වෙනස් වෙනවා නේද...?
නෑ. එහෙම වෙන්නෙ නෑ. ඒක තෝරාගන්නෙ එතැනට සහභාගි වන දෙපාර්ශ්වය මත. තනි පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න පොලිස් නිලධාරීන් සීයක් ගිහිල්ලා අවශ්‍ය බලය පාවිච්චි කළා කිව්වට මිනිස්සු පිළිගන්නෙ නෑනෙ.

හරියට හරි. එතකොට මිනිස්සු පිළිගන්නෙ මොනවද...?
මිනිස්සු තුන්සීයක්-හාරසීයක් ඉන්න තැනකට නිලධාරීන් දහ දෙනෙක් ගියොත්, එතැන ඒගොල්ලන්ගෙ බලය වැඩියි. ඒත් සැකකරුවා දාලා එන්නද කියන්නෙ.

එතකොට සම සෞඛ්‍ය ශිෂ්‍යයන්ට පහර දීම ඔය දෙකෙන් කොයි එකටද අයිති...?
ඒගොල්ලො විශාල පිරිසක් බස් එකේ හිටියා. අපිට අවශ්‍ය සැකකාරයා ගන්න ගිය වෙලාවෙ ඒකට ඉඩ දෙන්නෙ නැත්නම් පොලිසිය නිකම්ම ආපහු යන්න ඕනෙද?

යුනිෆෝම් නිලධාරීන් නෙවෙයි එතැනට ගියෙ...?
නෑ. යුනිෆෝම් අයත් හිටියා. සිවිල් අයත් හිටියා.

ඒක බොරුවක්...?
ඇත්ත. කොහොමටත් යුනිෆෝම් නැතත් අයිඩෙන්ටි එක පෙන්නලා අත්අඩංගුවට ගන්න පොලිසියට පුළුවන්.

 ඒ සිවිල් නිලධාරීන් පෙන්නපු වරෙන්තුව තිබුණෙ වීරකැටිය පැත්තෙ වෙනත් කෙනකුගෙ නමට, මම හරිනෙ...?
වරෙන්තුවක් අවශ්‍ය වෙන්නෙ නෑ, අධිකරණ නියෝග පැහැර හැරපු කෙනෙක් අත්අඩංගුවට ගන්න.

එතකොට ශිෂ්‍යයන්ට පෙන්නුවා කියන වරෙන්තුව...?
ඒක කලින් සිද්ධියක්.

 නෑ. මේ සිද්ධියෙදි වැරැදි වරෙන්තුවක් පෙන්නලා තියෙනවා...?
මට ඒක හරියටම කියන්න බෑ. පොලිසියෙන් මට ආරංචි වුණු විදියට ඔය පුද්ගලයා අත්අඩංගුවට ගන්න ගියා. ඔහුට වරෙන්තුවක් තිබුණෙ නෑ. එහෙම අවශ්‍යත් නෑ.

 ඒ කතාව බොරු කියලා තහවුරු කරන්න පුළුවන්ද...?
මට ආරංචියි නමේ යම් ප්‍රශ්නයක් තිබුණා කියලා. ඒත් ඡායාරූපයකින් පොලිසිය ඔහුව අඳුරගෙන තියෙනවා.

ඊට පස්සෙ පොලිසිය ඉස්සරහට ගෙනාපු සරසවි සිසුන්ට ගැහුවා...?
පොලිසිය ඉස්සරහදි එයාව ගන්න දුන්නෙ නෑ, ඒගොල්ලො තල්ලු කළා. එතැනදි ඔය ඇහැට වදින්න ඇති. ඒ ගැන දැන් අපි විමර්ශනයක් කරගෙන යනවා.

ශිෂ්‍යයන්ට ගහපු ඔක්කොම සිවිල් ඇඳුමින් හිටියෙ...?
ඔව්.

 ඒක පිළිගන්නවා...?
එතැන යුනිෆෝම් අයත් හිටියා. සිවිල් අයත් හිටියා.

ගැහුවෙ සිවිල් කට්ටිය, සමහරවිට ඔවුන් පොලිසියෙ නොවෙන්නත් පුළුවන්...?
ගහපු කතාවක් මෙතැන නෑ. තමන් පොලිසියෙන් කියලා හැඳුනුම්පත් පෙන්නලා කිව්වට පස්සෙත් මෙයාව ගන්න දුන්නෙ නෑ. ඒක නිසා බලය පාවිච්චි කිරීමක් කළා.

තේරෙන භාෂාවෙන් කිව්වොත් පොලිසිය ඉස්සරහදි ගැහුවා...?
නෑ. ගහනවා කියන එකයි බලය පාවිච්චි කරනවා කියන එකයි දෙකක්නෙ.

බලය පාවිච්චි කරනකොටත් ඇස් එළියට පනිනවාද...?
තමුන්ට යම් ප්‍රහාරයක් එල්ල කරනකොට ඒකට ප්‍රතිරෝධය පෑම තමයි බලය පාවිච්චි කිරීම කියන්නෙ. ගහනවා කියන්නෙ එහෙම නෙවෙයිනෙ.

එතකොට පොලිසිය මිනිසුන්ට ගහන්නෙම නැද්ද...?
ගහපු අවස්ථා තියෙනවා. නමුත් මෙතැනදි බලය පාවිච්චි කිරීමක් කළා විතරයි.

 ඒ කියන්නෙ ශිෂ්‍යයො තමයි වැරැදිකාරයො, මුලින් ගහලා තියෙන්නෙ ඒ පැත්තෙන්...?
එහෙම තමයි සිද්ධිය ඇතිවෙලා තියෙන්නෙ.

හැබැයි ශිෂ්‍යයන්ගෙ ඇස් එළියට පැන්නට, ඔය විදියට ගුටි කාපු පොලිසියෙ අයගෙ ඇස් හොඳට තියෙනවා නේද...?
ඔය සිද්ධිය ගැන කරන විමර්ශනයෙන් පස්සෙ තමයි හරියටම ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්.

ඔය සිද්ධිය පටන් ගත්ත අය දැන් හඳුනාගෙන ඇති එහෙනම්...?
ඒ ගැන ස්වාධීන පරීක්‍ෂණයක් කරගෙන යනවා. එතැනදි පොලිසිය පැත්තෙන් බලය වැඩිපුර පාවිච්චි කිරීමක් වෙලා තියෙනව නම් අපි ඒකට එරෙහිව පියවර ගන්නවා.

 'අපිට අට පාස් කියපු නිසා ගැහුවා' කියලා පොලිසිය මහෙස්ත්‍රාත්වරයා ඉස්සරහ කිව්වලු නේද...?
මම නම් දන්නෙ නෑ ඒක. පොලිස් සටහන්වල තියෙන්නෙ බලය පාවිච්චි කිරීමක් කියලා.

 ඇයි ඔය ගැහුවා කියන වචනෙ පාවිච්චි කරන්න බැරි...?
ඒකට මම එකඟ නෑ. නීතියෙ තියෙන වචනෙ කියන්න එපැයි.

එතකොට ඔය 'බොදු බල සේනා, රාවණා බලය' වගේ සංවිධානවල උද්ඝෝෂණ, ආණ්ඩුව ජිනීවා යෝජනාවට එරෙහිව කරපු උද්ඝෝෂණවලදි බලය පාවිච්චි කළේ නැත්තෙ ඇයි, ඒවයෙදි ජනතාවට කිසිම පීඩාවක් වෙන්න නැතුව ඇති...?
මෙහෙමයි, කොහෙදිවත් පොලිසිය සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න ගියහම ඒකට මේ විදියට බාධා කළේ නෑ මෑතකදි. පොලිසියට එහෙම බාධා කරපු තැන්වලදි අපි ඔවුන්ව අත්අඩංගුවට අරන් තියෙනවා.

මම අහන්නෙ ඒ උද්ඝෝෂණවලදි ජනතාවට බාධා වුණේ නැද්ද කියලයි...?
ඒ වුණාට ඒවා පැය හයකට ඉස්සරවෙලා පොලිසියට දැනුම් දීලා අවසර අරගෙන, පාරෙ තනි ලේන් එකක් පාවිච්චි කරලා
ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරන්න බලපත්‍ර අරගෙනයි කළේ. මේවා එහෙම කරන උද්ඝෝෂණ නෙවෙයිනෙ. අධිකරණයෙන් තහනම් නියෝග දීපුවා.

ශිෂ්‍යයො එතකොට එහෙම අවසර ගත්තෙම නැද්ද...?
මෑත කාලෙ එහෙම අවසර අරගෙන උද්ඝෝෂණ කරපුවා අපි දැකලා නෑ.

 ඒ කියන්නේ ශිෂ්‍යයො හැම වෙලාවෙම උද්ඝෝෂණ කරලා තියෙන්නෙ නීතියට පටහැනිව...?
මට එහෙම කියන්න බෑ. මෑතකාලීනව ප්‍රශ්න ඇතිවුණේ ඒ වගේ නීතිය කඩකරපු තැන්වලදී.

 ආණ්ඩුව කරපු හැම උද්ඝෝෂණයම ඔය නීතිමය ප්‍රතිපාදනවලට යටත්වද කළේ...?
ඔව්, ජිනීවා උද්ඝෝෂණ කළේ නම් එහෙම තමයි.

එතකොට පොලිසියෙන් අවසර ගත්තහම මහජන පීඩාව කියන එක අදාළ නැති වෙනවා...?
මෙහෙමයි, ටවුන් හෝල්වල ඉඳලා කොල්ලුපිටියට යනකම් පාරවල් වහන්න වෙනකොට ඇතිවන මහජන පීඩාවයි, කොහෙහරි තානාපති කාර්යාලයක් ඉස්සරහා උද්ඝෝෂණයක් කරනකොට ඇති වන මහජන පීඩාවයි දෙකක්නෙ.

ආණ්ඩුවෙ ඇතැම් ඇමැතිවරු මෙහෙයවපු සමහර උද්ඝෝෂණත් කොළඹ වටේ ගියානෙ....?
ඒවා බොහෝ විට අවසර අරගෙන කරපු උද්ඝෝෂණ. අවසර අරගෙන කෙනකුට උද්ඝෝෂණයක් කරන්න පුළුවන්.

 වධහිංසා සම්මුතිය සහ 1994 අංක 22 දරන වධහිංසා පනත පොලිසි ඇතුළෙ හරියට ක්‍රියාත්මක වෙනවද...?
දැන් මේ පනත ඇවිල්ලා අවුරුදු විස්සක් වෙනවා. ඒ වුණාට මේ තාක් පොලිස් නිලධාරීන් පස් දෙනෙක්වත් ඒ පනත යටතේ නඩු පවරලා, වැරැදිකාරයො වෙලා නෑ. ඒ පනත හොඳින් ක්‍රියාත්මක වෙනවා කියන එකයි ඒකෙන් කියන්නෙ.

 එතකොට ඇයි මේ ආයුධ පෙන්නන්න යන සැකකරුවො මැරෙන්නෙ...?
ඕක එක... එක්කෙනාට ඕනෙ විදියකට අර්ථකථනය කරන්න පුළුවන්. සමහර ඒවා දියේ ගිලිලා මිය ගිහින්. නැත්නම් පොලිසියට අත්බෝම්බයක් ගහන්න ගියපු අවස්ථා. මේ හැම එකක්ම අධිකරණය මඟින් සාධාරණ යුක්ති සහගත මනුෂ්‍ය ඝාතනයක් කියල තීරණය කරලා තියෙනවා. ආයෙ බලන්න දෙයක් නෑනෙ.

කැටයම් චින්තකවත් එහෙමද...?
ඔව්,

ඔය මොනවා කිව්වත් අදාළ පොලිසියේ ස්ථානාධිපතිවරයාට මේ සැකකරුවන්ගෙ ජීවිත ගැන නීතිමය වගකීමක් තියෙනවා...?
ඒ වගකීමෙ මොනවා තිබුණත් මාංචු දාලා තිබුණද නැද්ද කියලා තර්ක තිබුණත් අධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. අධිකරණය මේ තීන්දුව දෙන්නෙ ඔය කරුණු සියල්ල කිරලා මැනලා.

ස්ථානාධිපති වගකියන්න ඕනෙද නැද්ද...?
අධිකරණය ඒක කියන්න ඕනනෙ එහෙනම්.

 ඔය සැකකරුවො ආයුධ පෙන්නන්න එක්ක යන්නෙ මාංචු දාලනෙ?
ඔව්.

මෙච්චර සිද්ධි වෙලා තියෙන හින්දා ඊළඟ පාරවත් පොලිසියට සැකකාරයට දැඩි ආරක්‍ෂාවක් දෙන්න වෙයි, හංගලා තියෙන බෝම්බ ගන්න බැරිවෙන විදියට...?
ඒවා ගැන බලලා, හිතලා තමයි පොලිසිය කටයුතු කරන්නෙ. මේ රටේ නමගිය මංකොල්ලකාරයො. උන් එහෙම තමයි, මරාගෙන මැරෙන්න ඉන්නෙ. පොලිසිය අවශ්‍ය පියවර අරන් තියෙන්නෙ.

 අධිකරණයෙ තීරණය පැත්තකින් තියලා අපි මහපොළොවෙ ඉඳගෙන මේක ගැන කතා කරමු...?
නෑ. අධිකරණයෙ තීරණය තමයි අවසාන තීරණය, වෙන කාටවත් ඒ ගැන තීරණ ගන්න බෑ.

ඒ කියන්නෙ පොලිසියට වඩා අපරාධකාරයො කොච්චර දක්‍ෂද නේද...?
ඒකත් තීරණය කරන්න ඕනෙ අධිකරණය. අධිකරණය තමයි තීරණය කරන්නෙ මෙතැනදී පොලිසියෙ අඩුපාඩුවක් තිබුණද, නැද්ද කියලා.

මාංචු දාගෙන ඉන්න අයට හංගපු බෝම්බ අරන් ගහන්න පුළුවන්, මාංචු දාගෙන ඉන්න අය ගිලිලා මැරෙනවා කියලා දැන - දැන වතුරට පනිනවා. මේක පුදුම රටක්...?
අධිකරණය පිළිඅරන් තියෙනවා. එහෙම කරන්න පුළුවන් කියලා. මට ඕනෙ නම් ඒ තීන්දුත් පෙන්නන්න පුළුවන්.

ශාලික විමලසේන

3 comments:

  1. මිනිහත් රජයේ රස්සාවක් නේ කරන්නේ. ඇත්ත කතා කරලා තමන් ගේ පවුල අමාරුවෙ දාගන්නෙ කොහොම ද? පව්...

    ReplyDelete
  2. කතා කරල තියෙන විදියට, මු කැම්පස් නොගිය එක ලොකු දෙයක්.

    ReplyDelete
  3. මේ වගේ මී හරක් තමයි පොලීසියේ නම්බුව කන්නේ. මොන ගොන් වැඩේ කලත් මු ආණ්ඩුවට සුදු හුණු ගැන වේසිගෙ පුතෙක් මෙහෙම පකයන්ට නියම පාඩම ආණ්ඩු මාරු උනාම ලැබේවි.

    ReplyDelete

Powered by Blogger.