Open top menu
Sunday, May 11, 2014

පසුගිය සතියෙහි අන්තර් ජාලයෙහි කියවන්නට ලැබුනු රංජිත් හෙන්නායක විසින් ලියන ලද ලිපියක රටෙහි නායකයින්ට වැද වැටී නමස්කාර කරන දේශපාලන සංස්කෘතිය ප්‍රශ්ණ කර තිබුණි. ඔහු සඳහන් කර තිබුණේ වත්මන් ශ්‍රී ලංකාවෙහි දේශපාලන පිරීහීම සනිටුහන් කරන එක් වර්ධනයක් මෙම නමස්කාර දේශපාලනය බවයි.

පවිත්‍රි දේවී වන්නි ආරච්චි ඇමැතිවරිය මැයි දින වේදිකාවෙහි ජනාධිපති රාජපක්ෂයට වැද වැටී නමස්කර කරන ජායාරූපය ද අන්තර් ජාලයෙහි සංසරණය වෙයි. දෙනෝ දහසක් ඉදිරිපිට ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියා ගන්නා රටක රාජ්‍ය නායකයාට මෙලෙස ඔහුගේ අමැතිවරයක විසින් දණ නමා වැඳ නමස්කාර කරන ජායාරූපයක් දැකිය හැකි එකම රට ශ්‍රී ලංකාව විය හැකි ය.

මෙයට පෙර කුප්‍රසිද්ධ ඇමැතිවර මර්වින් සිල්වා ඇමැති ධුරයෙහි දිව්රුම් දීමෙන් පසු ජනාධිපති රාජපක්ෂගේ පය පාමුල, රාජකීය යෙදුමකින් පවසන්නේ නම්, "බලු ගැත්තරයකු" සේ සිටින නිවට නියාලු ජායාරූපය ලෝක ප්‍රසිද්ධියට පත්විය.

මෑත කාලයෙහි අන්තර් ජාලයෙහි ඊටත් වඩා සැරි සැරි ජායාරූපයක් නම් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණෙහි නායක වාසුදේව නානායක්කාර මහතා දෙකට තුනට නැවී ජනාධිපති රාජපක්ෂට වැඳ නමස්කාර කරන ජායාරූපය යි.

මෙම ජායාරූප වත්මන් ලෝකයෙහි ශ්‍රී ලංකාවට ගරුත්වයක් අත් කර දෙන ඒවා නොව ලැජ්ජාවට පත් කැරෙන ඒවා ය. මන්ද යත් මෙවැනි ගති සිරිත් අගය කළ රාජ්‍ය නායකයින් සිටියේ වැඩවසම් යුගයේ දී නිසා ය. වත්මන් ලෝකයේ මෙවැනි පුද්ගලාභිවාදන දේශපාලනය පවතින්නේ අන්ත ඒකාධිපති රටවල පමණි. මෙම ජායාරූප ඇත්ත වශයෙන් ම නම් ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සංස්කෘතිය ලෝකයටම පෙන්වන අපූරු සංකේත වෙත්..

ජනාධිපතිතුමාට කොන්ද දෙකට නමා වැදීම සාධාරණ කිරීමට වාසුදේව නානායක්කාර මහතා ලංකා හෙරල්ඩ් වෙබ් අඩවියට මෙසේ කියා තිබුණි " මේ පුද්ගලයාට මං බො‍හොම ආදරෙයි. මෙයාව තමයි අපි තියාගන්න ඕන රාජ්‍ය නායකයා හැටියට පාර්ලිමේන්තු තුළත්. මොකද මෙයාට වඩා හොඳ කෙනෙක් නෑ ලංකාවේ. ඒක මම සිය පාරක් වුණත් කියනවා."

වචනයට පෙරළු වැඳ නමස්කාරය හරියට ම හරිය: "මෙයාට වඩා හොඳ කෙනෙක් නෑ ලංකාවේ" හරියට බෝධි සත්වයකු ගැන කතා කරනවා වැන්න! වැදීමේ දේශපාලන අර්ථය ඊට වඩා හොදින් දැක්විය නොහැක.

(මෙම වැදීම සිදුවන්නේ මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති නිසා මිස ආදරය නිසා නොවේ. ඇත්ත වශ‍යෙන් ම නම් මහින්ද රාජපක්ෂ සටන්කාමියකු ලෙස කල් ගෙවූ සමයේ නානායක්කාර මහතා රාජපක්ෂ නම් දේශපාලනඥයාට කොන්ද නමා වැන්දේ නැත. එකළ දෙදෙනා සමානයෝ වූහ.)

එපමණක් නොව ජනාධිපති රාජපක්ෂ විසින් පොලීසිය, අධිකරණය, මානව හිමිකම් කොමිසම, යනාදියට සිය කැමැත්ත පරිදි කරනු ලබන පත්වීම් සාධාරණ කරමින් නානායක්කාර මහතා මෙසේ ද කියා තිබුණි. " පොලීසිය රජය විසින් පවත්වාගෙන යා යුතු දෙයක්. ඒක ස්වාධීන කොමිසමකින් පත් කරගෙන ගෙනියන්න බෑ. රජය තමයි ආණ්ඩු කරන්නෙ. ඉතිං ආණ්ඩු කරන්න බෑ පොලීසිය නීතිය ..... . යොදන්නෙ නැතිව. ඒකට ස්වාධීනව ක්‍රියාකරන්න දෙන්න බෑ. ඒ නිසා ඔය ස්වාධීන කොමිසන් කතාව නිකම් ‍අපි අපේ මනසේ මවා ගන්නා වූ පරමාදර්ශයක් පමණයි. ඒක මහ පොළොවේ පිහිටුවන්න පුළුවන් එකක් නෙමෙයි."

මෙම කියමන වැඳ නමස්කාර කිරීමේ සංස්කෘතියේ හරි මැදට අප කැදවාගෙන යයි‍. එනම් ප්‍රයෝගික අර්ථයෙන් රජතුමා ( මෙහි දි විධායක ජනාධිපතිවරයා ) අත සියළු බලතල තිබිය යුතු බව අතවැස්සන් විසින් පිළිගත යුතු බව ය. මහින්ද රාජපක්ෂ මහ රාජානන් ලෙස ගීතයෙන් අභිෂේක කළ තරුණ ගායිකාවකගේ නමින් පාරක් වෙන් කැරෙන තරමට රාජකීය මහිමය බලගතු ය. මෙවැනි රාජකීය මහිමයක් පාලකයාට ආරූඩ වු කළ පාලකයා සර්ව නිර්දෝශී සහ සර්ව බලධාරී බවට පත්වෙයි. පාලකයා පමණක් නොව පාලකයාගේ සනුහරයම එම බලය ආරෝපන කරගනී. ඉහත කී රංජිත් හෙන්නායකගේ ලිපිය ගැන ස්කයිප් දොඩමළුවක‍ට ගොඩ වූ ප්‍රදේශීය දේශපාලනඥයකු කීවේ මෑත පැවැති උත්සවයකට පැමිණි නාමල් රාජපක්ෂ (නම් කොලු ගැටයා - ඔහුගේ වචන) හමූයේ ආන්ඩුවේ මැති ඇමැතිවරු පෙන් වූ බැගෑපත් විලාසය තමන්ට ආත්ම අනුකම්පාවක් ද මහත් ලැජ්ජාවක් ඇති කළ බව යි.

ජනාධිපතිවරයා හමූයේ වැඳ නමස්කාර කිරීමේ ජායාරුප සහ ගැති බාවයේ අනෙක් ප්‍රකාශණ රට තුල අතවැස්සන්ට මර්දනයේ දේශපාලන පණිවිඩයක් බවට පත් වෙයි. ඉන් කියැවෙන්නේ ප්‍රශ්ණ නොකළ යුතු රාජකීය මහිමය යි.

ජනාධිපති රාජපක්ෂ විසින් සිය අබිමතය පරදි වරදානයන්ගෙන් සජ්ජිත කරනු ලැබූ දේශපාලනඥයින්, නිලධරයින් සහ ඥාති ගනයා කොතෙක් වෙත් ද? රජකුට හැර මෙළෙස සාකේතාත්මක ගම්වර ලියාදිය හැක්කේ කවරකුට ද?

ජනාධිපතිවරයාගේ ප්‍රත්‍ර රත්නයක් අතින් වැරදිමකින් සිදුවන රිය අනතුරක්වත් වාර්තා කිරීම‍ට ජනමාධ්‍ය මැලි වන්නේ එනිසා ය. ජනාධිපති ආර්යාවගේ මළනුවෝ ශ්‍රී ලංකා ගුවන් යානයක් සිය පුද්ගලික අවශ්‍යතාවය මත සිංගප්පූරුවට ගොඩ බස්සවා ගැනීම ජනමාධ්‍යයේ ප්‍රධාන පුවතක් බවට පත් නොවන්නේ එනිසා ය. මෑතම උදාහරණයක් වූ ජනාධිපති ප්‍රත්‍ර රත්න විසින් නායකත්වය දෙන ශ්‍රී ලංකා රගර් ක්‍රීඩකයින්ට ක්‍රීඩා රණකාමය ඇති කිරීමට අවි ආයුධ පුහුණුවක් දීම රාවය පුවත් පතට හැර අන් කිසිදු පුවත් පතකට (අන්තර් ජාලය හැරුණ විට) පුවතක් නොවෙන්නේ ඒ නිසා ය. ( රගර් ක්‍රීඩාවෙහිදී රාජපක්ෂ ප්‍රත්‍රයන් විසින් කළැයි යාන්තමට වාර්තා වූ ප්‍රචන්ඩත්වයන් ගණනාවක්ම වෙත්.)

මිනිසුන් ඝාතනයට යොදා ගන්නා අවි ආයුධ අභ්‍යාස මගින් ක්‍රීඩා රණකාමිත්වය ඉහළ නැංවිය හැක්කේ " වරෙව් මරව් " යනාදී සිතුවිල්ලකින් පමණ ය. විශේෂයෙන් ම දරුණූ යුද්ධයක විපාක වශයෙන් දස දහස් ගනන් මියෑදී ඇති රටක එවැනි යුද අභ්‍යාස අදාළ වන්නේ ක්‍රීඩාවේ ජීව ගුණයට නොව මැරිල්ලට ය. මෙම අභ්‍යාසයේ යෙදුණු ක්‍රීඩකයින්ගෙන් තමන් ඉදිරිපිට මවා ගත් සතුරා කවරෙක්දැයි ඇසුවේ නම් කුමණ පිලිතුරක් ලැබෙන්නට ඉඩ තිබුනි ද? හම්බන්තොට දී නම් එජාප මංත්‍රීවරුන් ය. රතුපසුසැල්ලෑවේ දී නම් පිරිසිදු වතුර ඉල්ලූ ජනයා ය. උතුරෙහිදී නම් සැකකාර දෙමළු ය.

ප්‍රජාතන්ත්‍රවාදී රටකදී නම් මේ නරැම පුහුණුව ගැන අදාළ බලධාරීන් සමාව ගත යුතු ය‍.

මෙවැනි වෙඩි කතාවක් කළකට පෙර අසන්නට ලැබුණේ ඔලිම්පික් තරඟාවළියට සහභාගි වූ උතුරු කොරියානු ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයකුගෙනි. ජයග්‍රහනයෙන් පසු ජනමාධ්‍යවේදීන් හමුවේ ඔහු කියා සිටියේ තමා සතුරන්ට වෙඩි තබන්නේයැයි සිතමින් ඉලක්කයට වෙඩි තැබූ බව යි. මේ ප්‍රකාශය ඹලිම්පික් තරඟාවලිය කම්පනයට පත් කළ එකක් බවට පත් විය. මන්ද යත් ඔහුගේ සතුරන් වූයේ දකුණූ කොරියානුවන් වන නිසා ය. එම ප්‍රකාශය සාහාසික ප්‍රකාශයක් බවට එකඟ නොවූ අයෙක් නැති තරම් විය.

මේ උතුරු කොරියානු කතාව අපට තවත් අතකින් වැදගත් ය. ( උතුරු කොරියාව සමාජවාදී රටක් ලෙස සලකමින් ලංකාවේ ද සමාජවාදය ඇති කිරීමට ක්‍රියා කරන අපගේ මිතුරන් උරණ නොවේ වා! ) මන්ද යත් උතුරු කොරියාවෙහි ඇති නායක පුදගලාභිවාදනය සමඟ අත්වැල් බඳගත් දැරුණු ඒකාධිපත්වය නිසා ය. එරට දින දර්ශණය ආරම්භ වන්නේ වත්මන් නායක කිම් ජොන් උන් ගේ සීයා වන කොරියානු විප්ලවයේ නායක කිම් ඉල් සුං ගේ උපන් දිනයෙනි. හරියට ක්‍රිස්තු වර්ශ සහ බුද්ධ වර්ශ කියන්නාක් මෙනි. එරට ව්‍යවස්ථාවට ම අනුව කිම් ඉල් සුං උතුරු කොරියාවේ සදාකාලික නායකයා ය. අද එරට සියළු සරසවි සිසුන් සිය කොන්ඩය කැපිය යුත්තේ නායක කිම් ජොන් උන්ගේ මෝස්තරය අනුව ය. පුද්ගලාභිවාදනය කොතරම් නරුම අන්තයන් කරා යා හැකි දැයි පෙන්වන බියකරු තත්කාලීන උදාහරණය උතුරු කොරියාව යි.

පුද්ගලාභිවාදනය සෑම විටම ඒකාධිපතිත්වය සමඟ අත්වැල් බැඳගනී. එය උගන්ඩාවට ය, උතුරු කොරියාවට ය, ශ්‍රී ලංකාවට ය කියා වෙනසක් නැත. පුරාණ ලෝකයේ මෙන් නොව වර්ථමනයෙහි පුද්ගලාභිවාදනය නූතන සන්නිවේදන ආශ්‍රයෙන් ගොඩ නගා ගැනේ. ජනමාධ්‍ය, ජායාරෑප, ගී සින්දු, තැන තැන සවි කැරෙන දැවැන්ත පින්තූර යනාදිය මගින් සිය ප්‍රතිරූපය වීරයකු සහ ගැලවුම්කරුවකු බවට පත් කර ගැනීමට ඒකාධිපති නායකයෝ පියවර ගනිති. කෙටියෙන් පාලකයා වීර වන්දනාවක සංකේතය බවට පත් වෙයි.

මෙවැනි පසුගාමී සහ වැඩවසම්වාදී දේශපාලන සංස්කෘතියකට විකල්ප විය හැක්කේ සැබැ ලෙසම ප්‍රජාතන්තුවාදී වූ සිවිල් සහ දේශපාලන භාවිතාවකට ය. එනමුත් දේශපාලනයේ ඉන්නේ නායකතුමන්ලා ය. 1980 ගනන් හි සිවිල් සමාජ සංවිධානයන්හි පැවැති සමානාත්මතා සංස්කෘතිය වෙනුවට අද රාජ්‍ය ‍නොවන ක්ෂේත්‍රයේ වැඩ වාසය කරන්නේ ද සර්ලා, මැඩම්ලා සහ හාමුලා ය.

- රාවය -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts