Open top menu
Saturday, May 31, 2014

“කවුද පොදු අපේක්ෂකයා?”
දැන් හැමෝම කතා කරන්නේ පොදු අපේක්ෂකයා ගැනය. මොකද පොදු අපේක්ෂකයකු නැතිව මහින්දව පරද්දන එක ලේසි නැති බව දැන් හැමෝටම අවබෝධ වෙලා තිබේ. මේ නිසා 2015 ජනවාරි මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්න ඕන කියලා විපක්ෂයේ බොහෝ දෙනා කතා කරනවා මේ දවස්වල අහන්න දකින්න තිබේ.

ඒ වාගේම විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙන්න බොහෝ දෙනා
ට්‍රයි කරන ආකාරයකුත් මේ දවස්වල අහන්න දකින්න තිබේ. ඉතින් මේ විදියට පොදු අපේක්ෂකයා වෙන්න ට්‍රයි කරන අයට ඇත්තටම පොදු අපේක්ෂකයකු වෙන්න පුළුවන්ද කියන එක ගැන අවධානය යොමු කරලා බලන්න ඕනෑය. මොකද මහින්දට තරගයක් දෙන්න පුළුවන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් නොවුණොත් තව අවුරුදු 6කට මහින්දට කිසි ගේමක් නැතිව ගොඩ යන්න පුළුවන්ය.

“හරි. කවුද මහින්දව පරද්දන්න පුළුවන් පොදු අපේක්ෂකයා?”
මහින්දව පරද්දන්න පුළුවන් පොදු අපේක්ෂකයා ගැන කියන්න කලින් මහින්දව පරද්දන්න බැරි පොදු අපේක්ෂකයන් හෙවත් පොඩි අපේක්ෂකයන් කවුද කියලා හඳුනා ගන්න ඕනෑය.

පහුගිය දවස්වල රනිල් ඇමෙරිකාවේ ඉද්දී ජෝෂප් මයිකල් පෙරේරා කිව්වේ ජනාධිපතිවරණයට සුපර්ස්ටාර් කෙනකු ඉදිරිපත් කරන්න තමන් සූදානම් බවය. එහෙම කියලා පැය 24ක් යන්නත් කලින් රනිල් ඇමෙරිකාවේ ඉඳන් කිව්වේ තමන් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා කිව්වේ නැති බවය. එයින් රනිල් වක්‍රාකාරයෙන් කිව්වේ ඊළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වෙනවා කියලාය. එහෙම කියපු රනිල් ලංකාවට ඇවිල්ලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න අවශ්‍ය අඩුමකුඩුම ලෑස්ති කළේය.

ඉතින් දැන් තියෙන තත්ත්වය අනුව රනිල් හිතන් ඉන්නේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නය. හැබැයි විපක්ෂයේ පොදු අපේක්ෂකයා විදියට රනිල් ඉදිරිපත් වුණා කියලා ජනතා විමුක්ති පෙරමුණේවත්, සරත් ෆොන්සේකාගේවත් සහාය රනිල්ට ලැබෙන්නේ නැහැ කියන එක සියයට සියයක් ෂුවර්ය. ඉතින් එවැනි තත්ත්වයක් තුළ රනිල්ට ජනාධිපතිවරණය දිනන්න තියා හිතන්නවත් බැරිය. මොකද මහින්ද පරද්දන්න නම් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, සරත් ෆොන්සේකා කියන මේ තුන්ගොල්ලන්ම එකට එකතු වෙලා හැමෝටම පිළිගන්න පුළුවන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්න ඕනෑය. එහෙම නැතිව බෙදිලා හිටියොත් මහින්ද දිනන්නේ අත උඩින්ය.

රනිල් මේ දේශපාලන ගණන් හැදීම් නොදන්නවා කියලා හිතන්න බැරිය. ඉතින් එහෙම දැන දැනත් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්න හදනවා කියන්නේ මහින්දට ජයග්‍රහණය බන්දේසියක තියලා පිළිගන්වනවා කියන එකය. ඡන්ද 29ක් දැනටමත් පැරැදිලා ඉන්න රනිල්ගේ 31 වැනි පරාජය ඊළඟ ජනාධිපතිවරණය වෙන්න පුළුවන්ය. (ජනාධිපතිවරණයට කලින් උෟව පළාත් සභා ඡන්දය තියෙන නිසා එය රනිල්ගේ 30 වැනි පරාජය ලෙස සටහන් වනු ඇත.)
ඉතින් එහෙම බලනකොට රනිල් කියන්නේ ඊළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්න කිසිසේත්ම සුදුසු චරිතයක් නොවේ.  ඇත්තම කිව්වොත් රනිල් පොදු අපේක්ෂකයකු නොව පොඩි අපේක්ෂකයෙකි.

ඊළඟට පොදු අපේක්ෂකයා වෙන්න ඇහැ ගහගෙන ඉන්නේ වෙන කවුරුවත් නොව කරු ජයසූරියය. ජනාධිපතිවරණ අපේක්ෂකයකු වෙන්න කරු සිහින මවාගෙන හිටියේ මීට අවුරුදු ගණනාවකට කලින් ඉඳන්ය. කරුගේ එකම හීනය වෙලා තියෙන්නේ කොහොම හරි මේ රටේ ජනාධිපති වෙන එකය. හැබැයි රටේම ජනාධිපති වෙන්න හිතන් ඉන්න කරුට පහුගිය මහ මැතිවරණයේදී ගම්පහින්වත් පළමුවැනියා වෙන්න බැරි වුණේය. ගම්පහදී උපේක්ෂා කියන නිළියටත් පැරැදුණු කරුට පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වෙන්න කිසිම සුදුසුකමක් නැත. ජාතික ඇඳුම ඇඳි පළියටම ජාතික නායකයකු වෙන්නේ නැති බව කරු තවම අවබෝධ කරගෙන නැති බවකි පෙනෙන්න තිබෙන්නේ.

අනෙක් කාරණය මේ වනවිට කරු ඉන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකකම ගන්න ඕනෑම දේශපාලන කුමන්ත්‍රණයක් කරන්න සූදානම් තැනකය. එක්සත් භික්ෂු පෙරමුණ පොදු අපේක්ෂකයා ලෙස සෝභිත හිමියන්ව පත් කළ යුතු යැයි යෝජනා කරන්නේ එහි පළමු පියවර ලෙසය. කරුගේ අරමුණ වෙලා තියෙන්නේ මුලින්ම සෝභිත හිමියන්ව ඉස්සරහට දාලා ඉන්පසු සෝභිත හිමියන්ව එතැනින් අයින් කරලා තමන් එතැනට පත්වෙන එකය. කරු මේ දේශපාලන ගේම ගහන්නේ රනිල් වෙනුවට තමන්ගේ නම කොහොම හරි ජනාධිපතිවරණ අපේක්ෂක ලෙස යෝජනා කරවාගෙන ඊට පස්සේ පොදු අපේක්ෂක වෙන්නය. හැබැයි කරු ඒ කුමන්ත්‍රණය සාර්ථක කරගෙන පොදු අපේක්ෂකයා වුණත් ජනතා විමුක්ති පෙරමුණේ හා සරත් ෆොන්සේකාගේ සහාය කරුටත් ලැබෙන්නේ නැත. ඉතින් එවැනි තත්ත්වයක් තුළ කරුත් පොදු අපේක්ෂකයකු වෙන්නේ නැත. වෙන්නේ පරාජිත පොඩි අපේක්ෂකයකු විතරය.

මේ වනවිට ජනාධිපති ධුර අපේක්ෂකත්වය හිමිකර ගැනීම සම්බන්ධයෙන් රනිල් හා කරු අතර ඇති වී තිබෙන ගැටුම ඉදිරියේදී තවත් තීව්‍ර වන බවක් පෙනෙන්න තිබේ.
රනිල් හා කරු හැරුණු විට පොදු අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඊළඟට නම කියැවෙන්නේ චන්ද්‍රිකාගේය. චන්ද්‍රිකා පොදු අපේක්ෂිකාව කරන්න ලොකුම වුවමනාව තියෙන්නේ මංගලටය. මංගලට ඕනෑ වෙලා තියෙන්නේ චන්ද්‍රිකා ඉස්සරහට ගෙනැල්ලා යූ. ඇන්. පී. එකේ පිහිටෙන් ගොඩ ගිහිල්ලා ඊට පස්සේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලන්නය. ඉතින් වැරැදිලා හරි චන්ද්‍රිකා ආවොත් ඒකෙන් යහපතක් සිද්ධ වෙන්නේ මංගලට විතරය.

අනෙක් කාරණය, චන්ද්‍රිකා කියන්නේ දේශපාලන වශයෙන් කුණු වී ඕජස් ගලන මෘත ශරීරයකි. එවන් දේශපාලන චරිතයකට පොදු අපේක්ෂිකාවගේ භූමිකාව රඟ දක්වන්න කොහොමත් බැරිය. එසේම ජනතා විමුක්ති පෙරමුණේත්, සරත් ෆොන්සේකාගේත් සහාය ඇයට කිසිසේත්ම නොලැබෙනු ඇත. එසේම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සහාය ගැනීමත් ඇයට කිසිසේත්ම ලෙහෙසි පහසු දෙයක් නොවනු ඇත. ඇයගේ වත්මන් දේශපාලන භූමිකාව තුළ ඇයට ලෙහෙසියෙන්ම ගන්න පුළුවන් වෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය විතරය.

ඉතින් එහෙම බලනකොට රනිල් - කරු - චන්ද්‍රිකා කියන මේ තුන්දෙනාම මහින්දට පරද්දන්න තරම් හැකියාවක් තියෙන පොදු අපේක්ෂකයන් කියලා කියන්න බැරිය. මේ තුන්දෙනාම පොඩි අපේක්ෂකයෝ. ඒ නිසා ඊළඟ ජනාධිපතිවරණයේදී මහින්දට තරගයක් දෙන්න නම් යූ. ඇන්. පී., ජේ. වී. පී.,  ටී. එන්. ඒ., ෆොන්සේකා කියන මේ හැමෝගේම සහාය ගන්න පුළුවන් ලොකු අපේක්ෂකයකු කරළියට ගේන්න ඕනෑය.

ඒ කාරණයේදී මූලිකත්වය අරගන්න ඕනෑ වෙන කවුරුවත් නොව එක්සත් ජාතික පක්ෂයය. ඒත් මහින්දව පරාද කරන එක පැත්තක දමා තම තමන්ගේ තනතුරු ආරක්ෂා කර ගැනීමේ මෙහෙයුමක මේ වනවිට රනිල්ලා හා කරුලා නිරත වෙලා සිටිති. ඉතින් දියසේන කුමාරයා ඉපදෙනවා වාගේ මහින්දට එරෙහි පොදු අපේක්ෂකයා ඉබේ පහළ වනතුරු දෙවියන් යදිනවා හැරෙන්න අද එක්සත් ජාතික පාක්ෂිකයන්ට වෙන විකල්පයක් නැත.

සඳුන් ජීවන්ත
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

2 comments :

  1. ne ne chandrikata withrai dinanna puluwan

    ReplyDelete
  2. Anura kumara disanayaka tama hodama ekkena! wena katawat me rata goda ganna be!

    ReplyDelete

Popular Posts

Popular Posts