Header Ads

අවම බලය සහ උපරිම පලය

"අවම බලය යොදවනවා" යනුවෙන් යෙදුමක්‌ ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුවෙහි තිබේ. අවම බලය යොදන අවස්‌ථාවකදී පාවිච්චි කළ හැකි උපරිම ආයුධය බැටන් පොල්ල ය. සැකකරුවකු හෝ කැරළිකරුවකු මර්දනය කිරීම සඳහා මුලින්ම පාවිච්චි කරන්නේ බැටන් පොල්ල ය. එසේ සැකකරු මර්දනය කරගත් පසු ජීප්රියට විසිවෙන්නට ඔහුට පයින් ගසනු ලැබේ. පොලිසියට ගෙන ගිය පසු සැකකාරයා එක්‌කෝ මේසයක්‌ යට දණ ගස්‌වනු ලැබේ. නැතහොත් වහළයේ එල්ලා තබා රාත්‍රි කාලයේදී පහර දෙනු ලැබේ. රෑට සිටින රාළහාමිලා කසිප්පු ගැසූ පසු සැකකරුගේ තරාතිරම බලන අවස්‌ථා දෙකක්‌ ඇත. පළමුවන අවස්‌ථාව නම් සැකකරු දේශපාලන නෑයකු හෝ නෑයකුගේ ගෝලයකු වීම ය. දෙවන අවස්‌ථාව නම් සැකකරු ධනයට සම්බන්ධයක්‌ ඇත්තකු වීම ය. නැත්නම් පොලිසියේ ඉහළ තැනකින් කෝල් එකක්‌ ලැබෙන විට ද සැකකරුවකුට පහර දෙනු නොලැබේ. එසේ නොවන අවස්‌ථාවලදී කිසිදු ජාති කුල ආගම් භේදයක්‌ නොසලකා සමානාත්මතාවයට මුල්තැන දෙමින් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංචමහා බලවේගයම වහළේ එල්ලීමට තරම් නිර්භීතකමක්‌, අපක්‍ෂපාතිsත්වයක්‌ සහ ආත්ම ධෛර්යයක්‌ පොලිසිය සතුව ඇත.

පොලිසිය, බැටන් පොල්ලට අවම බලය යන අර්ථකථනය දෙන්නේ එයින් වෙඩි තැබීමට බැරි නිසා ය. එහෙත් බැටන් පොල්ලෙන් ඔළුවට නෙළා සැකකරුවකු මැරිය හැකි ය. ඇසකට ඇන එය ඉගිලිය හැකි ය. එහෙත් පොලිසියේ මෙම අර්ථකථනය වැරදි බව කොටුව සහ අලුත්කඩේ යන උසාවි දෙකෙහි ගරු මහෙස්‌ත්‍රාත්වරුන් විසින් පෙරේදා (19 දා) විවෘත අධිකරණයේදී පෙන්වා දෙන ලදී. ඒ සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව තුන් අවුරුද්දකට සීමා නොකර සිව් අවුරුද්දකට සීමා කරන ලෙස ඉල්ලා යකා නැටූ සරසවි සිසුන් පිරිසක්‌ අත්අඩංගුවට ගත් පොලිසිය සිසුන්ගේ ඇස්‌ ඉදිමෙන තුරු අවම බලය උපරිමයෙන් පාවිච්චි කළ නිසා ය.

අන් සෑම රටකම මෙන්ම මේ රටේ සිසුහු ද උද්ඝෝෂණයක්‌ පවතින අවස්‌ථාවේදී ඔවුන් උද්ඝෝෂණයට එන්නේම පොලිසියෙන් "කන්නෙමැයි" කල්පනා කරගෙන ය. මන්ද, ගුටි කෑ තරමට කේස්‌ එක තද කරගෙන බහුජන අනුකම්පාවට පාත්‍ර වීමට ඔවුන්ට පුළුවන. මේ අතර සිසුන් උද්ඝෝෂණය කරන තැනට පොලිසිය ද එන්නේ "තලන්නෙමැයි" සිතාගෙන ය. මෙවැනි පාර්ශ්ව, උද්ඝෝෂණ පවතින අවස්‌ථාවලදී ගැටෙන හැටි අපි රූපවාහිනියෙන් දැක ඇත්තෙමු. ශිෂ්‍යයන්ගේ අරමුණ හැකි තරම් පොලිසිය කෝප ගැන්වීම ය. පොලිසිය කරන්නේ ශිෂ්‍යයන්ගේ අවශ්‍යතාව ඉටුවන පරිදි හැකි උපරිමයෙන් කෝප ගැනීම ය. මෙවැනි සිද්ධිවලදී සිසුන් කිහිපදෙනකු කූඩුවට යෑවිය යුතු බව පොලිසියේ යටි සිත කියයි. එවිට එම අදහස ඉටුකර ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන පොලිසිය විසින් සපයනු ලැබේ. කිසිම සිවිල් වැසියකුට පොලිස්‌ රාළහාමි කෙනකුගේ ඇඟට අත තැබීම තහනම් ය. එහෙත් උද්ඝෝෂණයකදී සිසුන් සහ පොලිසිය මුහුණට මුහුණලා ගැටෙන සිසුන්ගේ අත්පා පොලිස්‌ නිල ඇඳුමේ ඉබේටම ගෑවෙයි. සිසුවකු අත්අඩංගුවට ගැනීමට එයම ප්‍රමාණවත් ය. අවම බලය උපරිම ලෙස පාවිච්චි කර ඔළු පැලීම යනු මෙතැන් සිට ඇරඹෙන කතාව ය.

No comments

Powered by Blogger.