Open top menu
Sunday, May 4, 2014

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හා හෙද නිලධාරිනියන් අතර පවතින 'සූතිකා ගැටුම' ගැබිනි මවුවරුන් හා කිරිකැටියන්ගේ ජීවිත අවදානමේ හෙළන්නක් දක්වා දුරදිග යමින් පවතී.

දිනපතා 'මව්බිම' පසුගිය සිකුරාදා සිය මුල් සිරසින් අනාවරණය කර තිබුණේ කුරුණෑගල ශික්‍ෂණ රෝහලේදී මවකගේ දරු ප්‍රසූතියට සහාය වෙමින්
සිටි පවුල් සෞඛ්‍ය නිලධාරිනියකට හෙදියන් දෙදෙනකු කළ පහරදීමක් නිසා ඇය රෝහල් ගත කළ බවය. අතිශය කනගාටුදායක සිද්ධිය වන්නේ දරු ප්‍රසූතියේදී නිසි ප්‍රතිකාර නොලැබීමේ ප්‍රතිඵලයක් ලෙස අදාළ මවගේ ගර්භාෂය ඉවත් කිරීමට සිදුවීමත්, ඇය බිහි කළ දරුවා උපත් මාර්ගයේ සිරවීම නිසා එක් උරහිසක මස්පිඬු ඇඹරීමත් සිදුවී තිබීමත්ය. දරුවා නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතර මව ගිලන්ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය.
මේ සිද්ධිය පිළිකුල් සහගතය. එපමණටම නින්දා සහගතය.

හෙද නිලධාරිනියන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අතර වෘත්තීය ප්‍රශ්නයක් පැනනැඟී ඇති බව ඇත්තය. එහෙත් ඊට රෝහල්වල සිටින රෝගීන් අෑ¼දාගත යුතු නැත. විශේෂයෙන්ම දරු උපතකට සැරැසෙන මවකට මේ ආකාරයට සැලකීම කිසි ලෙසකින් හෝ සාධාරණීකරණය කිරීමේ හැකියාවක් මේ දෙපාර්ශ්වයටම නැත. දරුවකු මෙලොවට බිහිකරන මවක් උහුලා සිටින්නේ මනුෂ්‍යයකුට විඳිය හැකි දරුණුම වේදනාවකි. එවැනි අවස්ථාවක කාරුණික නොවී පසෙකට දමා ගුටි ඇන ගැනීම ගෙදර බුදුන් ලෙස සලකන මවුවරුන්ට අගෞරවයක් බව නොකිවමනාය. කාන්තාවක ලෙස තවත් කාන්තාවකට මෙවැනි අවස්ථාවකදී පිහිට නොවීම මුළුමහත් කාන්තා පරපුරටම අපහාසයකි.

දරු ප්‍රසූතියේදී මවක නොසලකා හැරි ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මෑතකදී පැවැති 20-20 ලෝක ක්‍රිකට් කුසලාන අවසාන මහා තරගය රූපවාහිනියෙන් නැරැඹීමට රෝහල් කාර්ය මණ්ඩලය යෑම නිසා අවශ්‍ය ප්‍රතිකාර නොලැබීමෙන් දරු ප්‍රසූතියට සූදානම්ව සිටි මවක මිය යෑමේ ශෝචනීය සිද්ධියක් වාර්තා වී තිබිණි. එවැනි සිදුවීම් ඕනෑතරම් රෝහල්වලින් සොයාගත හැකිය.
'සූතිකා' ප්‍රශ්නයේදී මස් රාත්තලම ඉල්ලන වෘත්තීය සමිති කිසි විටෙකත් සිය සාමාජිකයන්ගේ මෙවැනි අශීලාචාර හැසිරීම් පිළිබඳ අවධානය යොමු කර ඇත්ද යන්න සැක සහිතය. සිය රාජකාරිය උපරිමයෙන් ඉටුකරන ලෙස උපදෙස් දෙන වෘත්තීය සමිති ඇත්තේ අතළොස්සකි.

රාජකාරිය අකුරට ඉටු කළද නොකළද වැටුප් ඇතුළු සියලු අයිතිවාසිකම් ඇලපිල්ලක් පාපිල්ලක් නැතිව ලබාගැනීමට නම් බොහෝ රාජ්‍ය සේවකයෝ යුහුසුලු වෙති. සුළු හෝ වරදක් සිදුවුවහොත් වර්ජන විරෝධතාවලට සැරැසෙන රාජ්‍ය සේවකයන් විශේෂයෙන් රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන්ට සලකන ආකාරය ඇතැම් විට බලු නොවටී.
කුරුණෑගල සිද්ධිය පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් සොයා බැලුවද නැතද අදාළ වෘත්තීය සමිති බරපතළ ලෙස ඊට මැදිහත් විය යුතුය. අසාධාරණයට ලක් වූ මව හා දරුවාට සාධාරණය ඉටුකිරීම සඳහා සිද්ධිය පිළිබඳ අපක්‍ෂපාතී පූර්ණ පරීක්‍ෂණයක් පවත්වා වැරැදිකරුවන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතු අතර ඊට වෘත්තීය සමිති විරුද්ධ වීමෙන් වැළැකීම අනවශ්‍යය.

මේ සිද්ධියෙන් වැරැදිකරුවන්ට දඬුවම් ලබාදිය යුත්තේ මෙවැනි වැරැදි යළි ඉදිරියේදී වීමට ඉඩ තැබිය යුතු නැති නිසාය.
අනෙක් කාරණය වන්නේ දිගින් දිගටම ඇදී යන සූතිකා ප්‍රශ්නයට ඉක්මනින් විසඳුම් සොයා ගැනීමය. ඒ සඳහා අදාළ පාර්ශ්ව එක මේසයකට පැමිණිය යුතුය. වෘත්තීය ගරුත්වය රැකගත යුතුවා මෙන්ම රෝගීන්ගේ ජීවිතද ආරක්‍ෂා කිරීමේ වගකීම තමන්ට පැවැරී ඇති බව හෙද, පවුල් සෞඛ්‍ය හා වෛද්‍ය නිලධාරීන්ද සිහියේ තබාගැනීම කාගෙ කාගේත් ශරීර සෞඛ්‍යයට හිතකර විය හැකිය.

mawbima -
Tagged
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts