Open top menu
Wednesday, May 28, 2014

"මේ දේශපාලනයේ මට යන්න පුළුවන් දුර මෙච්චරයි. ඒ ගැන මම තෘප්තිමත්..."

මේ එස්.බී. තමන් හමුවෙන්න එන මිතුරන්ට නිතරම කියන කතාවය. එස්.බී. මේ කතාව පෞද්ගලිකවම මිතුරන්ට පමණක් නොව ප්‍රසිද්ධියේ මාධ්‍යයන්ට කියා තිබිණි.
හැබැයි මෙයට අවුරුදු පහකට කලින් එස්.බී. කිව්වේ මේ කතාව නොවේ.
"මම මේ රටේ රජ වෙනවා. මට රජ වෙන්න රාජයෝගයක් තියෙනවා..."

මේ එස්.බී. ඒ දවස්වල කී කතාවය. එස්.බී.ට රාජයෝගයක් තියෙනවා නම් ඒ රාජයෝගය එක පාරට අතුරුදන් විය නොහැකිය. සමහර විට එස්.බී., ඩී.බී. විජේතුංග අගමැතිකම ගන්න ප්‍රේමදාසට රාජයෝගය හංගාගෙන හිටියා වගේ මහින්දට රාජයෝගය හංගාගෙන ඉන්නවාද කියන්න දන්නේ නැත. එස්.බී. වගේම ඩී.බී.ත් නුවරය.
එස්.බී.ගේ මේ පරණ රාජයෝග කතාව මතක් වුණේ එස්.බී, විමල් වීරවංශලා එක්ක හැප්පෙන හැප්පිල්ල දිහා බලනකොටය.
"ඇයි එස්.බී. විමල් එක්ක හැප්පෙන්නේ....?"
එස්.බී. විමල් එක්ක හැප්පෙන්නේ රජ්ජුරුවන්ගේ පුරෝහිතකම ගන්නටය. 2005 සිට මේ තාක් මහින්දගේ පුරෝහිතකම කළේ විමල්ය. දැන් රජ්ජුරුවොයි පුරෝහිතයි ඇවිළෙන කොට හබන් කුකුළන්ට රජ මඟුල් කීවැහේ එස්.බී.ට රජ මඟුල්ය.
"මහින්දගේ පුරෝහිත වුණොත් එස්.බී.ට වරදියිද....?"

වරදින්නේ නැත. එස්.බී. ශ්‍රී ල.නි.ප.ය තුළත් රට තුළත් චරිතයක් වූයේ චන්ද්‍රිකාගේ පුරෝහිතකම අරගෙනය. චන්ද්‍රිකාගේ පුරෝහිතයා වෙද්දී එස්.බී. හිතුවේ චන්ද්‍රිකා එස්.බී.ව අගමැති කරයි කියලාය. 1999 චන්ද්‍රිකා රටේ ජනාධිපති වුණේත් 2000 ආණ්ඩුව හදා ගත්තේත් එස්.බී.ගේ ඡන්ද මැෂිමට පින් සිද්ධ වෙන්නටය. ඒත් චන්ද්‍රිකා එස්.බී.ට බය විය. ඇය එස්.බී.ට අගමැතිකම දුන්නේ නැත. මෙයින් එස්.බී. වැටුණි. චන්ද්‍රිකාට පුරෝහිතකම් කරන්න රනිල්ව හිර ගෙදරට යවන්න කතා කළ එස්.බී. වැටුණ වැටිල්ලේ තරම කොයිතරම්ද කියනවා නම් රනිල් එක්ක චන්ද්‍රිකාගේ ආණ්ඩුව පෙරළන්න හොර රහසේ සාකච්ඡා කෙළේය. එස්.බී.ගේ පළමු ඉලක්කය වූයේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවට බහුතරය නැති කිරීමය. චන්ද්‍රිකාගේ පුරෝහිතයා ලෙස පෙනී සිටිමින් එස්.බී. කෙළේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවට බහුතරය හදල දුන්න හකීම්ට ආණ්ඩුව ඇතුළේ ඉන්න බැරි වෙන විදියට වැඩේ සෙට් කිරීමය. හකීම් චන්ද්‍රිකාගෙන් ඉල්ලීම් ඉල්ලද්දී එස්.බී. ඒ ඉල්ලීම්වලට එරෙහි විය. එස්.බී,ගේ මතය වූයේ හකීම්ලා නැතිව ආණ්ඩුවට යන්න පුළුවන් කියලාය. චන්ද්‍රිකා හකීම්ව ඇමැති මණ්ඩලයෙන් ඉවත් කෙළේය. ආණ්ඩුවට බහුතරය නැති විය. එස්.බී. රනිල් එක්ක එකතු වී ආණ්ඩුව පෙරළුවේය. කොහොම හරි එස්.බී. 2001 යූ.ඇන්.පී.යට ආණ්ඩුවක් හදල දුන්නේය. එතැන් සිට එස්.බී. බැලුවේ රනිල්ව ජනාධිපති කරල රනිල්ගේ පුරෝහිතකම අරගෙන රනිල්ගේ අගමැති වී රාජයෝගයේ ඵල උදාකරගන්නටය. රනිල්ද එස්.බී.ට බය විය. රනිල් සහ යූ.ඇන්.පී.ය වෙනුවෙන් හිරේ විලංගුවේ ලැගල ආ එස්.බී. 2010 ජනාධිපතිවරණයට රනිල් තරග කරන්නේ නැතිනම් අපේක්ෂකත්වය තමාට දෙන්න යැයි ඉල්ලීමක් කෙළේය. රනිල් එස්.බී.ට අපේක්ෂකකම තියා පක්ෂයේ නියෝජ්‍ය නායකකමවත් දුන්නේ නැත. එයින් වැටුණු එස්.බී. මහින්දට එක් විය. එස්.බී. මහින්දට එක් වුණේත් නිකම්ම නොවේ. රනිල්ගෙන් තම රාජයෝගය ඉටු කරගන්න බැරි බව හිරෙන් එළියට ආ විගස තේරුම් ගත් එස්.බී. මහින්ද එක්ක හොර රහසේ සාකච්ඡා ආරම්භ කෙළේය. රනිල්ට එරෙහිව පක්ෂය තුළ කැරැල්ලක් ගසා කරු ජයසූරිය ඇතුළු 17ක් ආණ්ඩුවට යැව්වේ එස්.බී. ය. එස්.බී, හිතුවේ කරුගේ තැනට පත්වී රනිල් පන්නා නායකයා වෙන්නටය. ඒත් රනිල් එස්.බී.ටත් යන තැනටම වැඩේ සැලැස්සුවේය.

එස්.බී. මහින්ද ළඟට වී තෘප්තියෙන් සිටිනවා යැයි කියන කතාව පිළිගන්න බැරිය. එස්.බී. මහින්දටත් වඩා අති දක්ෂ දේශපාලන සතෙකි. දේශපාලන කපටි නුවණින් එස්.බී. මහින්දව 94දී පරාජය කෙළේය. 94දී මහින්ද අනුරව නායකත්වයට ගේන ගේම ගහද්දී එස්.බී. චන්ද්‍රිකාව නායකත්වයට ගේන ගේම ගැහුවේය. එස්.බී. දින්නේය. මහින්ද පරාජය විය. එස්.බී.ට මහින්දගේ පුරෝහිතයා වෙන්න තියෙන අමාරුව ඒකය. හැබැයි මහින්දගේ පුරෝහිතයා වුණොත් මහින්ද ලව්වා එස්.බී.ගේ රාජයෝගය සඵල කර ගන්නා හැටි එස්.බී.ට අමුතුවෙන් කියා දිය යුතු නොවේ. හේතුව විමල් මහින්දගේ පුරෝහිත වුණත් පිට මිනිහෙකි. එස්.බී. ශ්‍රී ල.නි.ප.ය ඇතුළේ හැදුන වැඩුණ අයෙකි. ශ්‍රී ල.නි.ප.යේ අද ඉන්නා ජේ‍යෂ්ඨයන් එකල එස්.බී.අත යට හිටි අයය.
අනෙක විමල් වගේම එස්.බී.ත් මහින්දට සේවයක් කළ අයෙකි. ජ.වි.පෙ.ට මහින්දව හිරකාරයෙක් කරගන්න බැරි වුණේ එස්.බී., කරු ඇතුළු 17ක් මහින්දට පූජා කළ නිසාය. අනෙක මහින්ද අද රටේ ජනාධිපති වෙලා ඉන්නේ එස්.බී.ගේ ඡන්ද මැෂිමෙන් ශ්‍රී ල.නි.ප.යට 1999 ජනාධිපතිවරණය දිනවල දුන්න නිසාය. ශ්‍රී ල.නි.ප. ජේ‍යෂ්ඨයන්ටත් ඒක අමතක කරන්න බැරිය.

මේ ඔක්කොම ඔළුවේ තියාගෙන දැන් එස්.බී. කියන්නේ විමල්ලා චම්පිකලාගෙන් වැඩක් නැහැ කියාය. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය තුනෙන් දෙකකින් දින්නාට පස්සේ විමල්ලා චම්පිකලා පන්නමු කියල මහින්දට බලපෑම් කරන ඇමැති කට්ටුවේ මුලින්ම ඉන්නේ එස්.බී.ය. මහින්ද ඉන්දියාවට ගිහින් ආ විගස මේ දෙන්නා පන්නමු කියන්න එස්.බී. ඇතුළු ඇමැතිවරු ඇඟිලි ගනිමින් සිටිති.
මේ කතාව අහනකොට මතක් වන්නේ බණ්ඩාරනායකගේ ආණ්ඩුවේ කොටස්කාරයකු වූ පිලිප් ගුණවර්ධනලාව පන්නන්න ඇමැතිවරුන් 10ක් ඇමැති මණ්ඩල රැස්වීම් වර්ජනය කරල අල්ලපු ජල්බරියය.
මේ ඒ ජල්බරිය ගැන ටී.බී. ඉලංගරත්න 'යුගයක ගමන' පොතෙහි කී කතාවය.

"නව රජයේ මේ ප්‍රගති ගමනට විරෝධය වඩාත් නැඟ ආවේ අඳකාරයෙන්ගේ සුරක්ෂිතතාවය සඳහා කුඹුරු පනතක් හා අඩු ආදායම් ඇත්තන්ගේ ණයගැති භාවය තුරන් කිරීමට ආ සුළු ව්‍යාපාරිකයන්ට ධෛර්ය දීමටත්, සමුපකාරයේ වර්ධනයටත් අභිනව සමුපකාර බැංකු පනතක්, පිලිප් ගුණවර්ධන ඇමැතිතුමා ඉදිරිපත් කළ විටය.
විප්ලවීය සමසමාජ පක්ෂය මහජන එක්සත් පෙරමුණ රජය තුළ "අධිරාජ්‍යයක්" මේ පනත් දෙක මඟිනුත් ගොඩනඟන්නට උත්සාහ දරන්නේ යැයි යන පදනම මත ඔහුට විරුද්ධව උද්ඝෝෂණයක් පාර්ලිමේන්තු කණ්ඩායම තුළත් ඉන් පිටතත් වර්ධනය විය.
කුඹුරු හිමියනුත් රජයේ ප්‍රගති ගමන නිසා වරප්‍රසාද අහිමිව යෑමෙන් කලකිරීමට පත්වූ බලවත්තුත්, බැංකු අධිකාරීහුත් පිලිප් විරෝධී මතය උග්‍ර කළහ.
ඒ අතර එකල පැවැති විදේශීය නෞකා සේවයට රජයේ නෞකා සේවයක් ආදේශ කිරීම වෙනුවට පෞද්ගලික ලාංකේය නැව් සමාගමක් ඇති කිරීමට රජය පොලඹවා ගත නොහැකි වූ නිසා උරණ වූ දේශපාලන ආත්මාර්ථකාමීහුද ඒ පිරිසට එක්වූහ.

නොබෝ දිනකින් විප්ලවීය සමසමාජ පක්ෂයට එරෙහිවීමේ මුවාවෙන් බණ්ඩාරනායක අගමැතිතුමාද තමා පැත්තට හරවා ගන්නා අටියෙන් ඇමැතිවරු දහ දෙනෙක් ඇමැති මණ්ඩල රැස්වීම්ද වර්ජනය කළහ.
එම වර්ජනයට ඇම්.ඩබ්ලිව්.එච්. ද සිල්වා අධිකරණ ඇමැතිතුමාත්, ඒ.පී. ජයසූරිය ඇමැතිතුමාත් මමත් සම්බන්ධ නොවූවෙමු.
පැන නැඟුණු මේ තත්ත්වය නිසා අගමැතිතුමා සිත් වේදනාවට පත්විය. ප්‍රජාතන්ත්‍රවාදයත් සමාජවාදයත් යථාර්ථවාදයත් එක්සත් කෙරෙන ආණ්ඩු ක්‍රමයක් මඟින් සමානාත්මතා සමාජයක් අරමුණු කරගත් අවංක පරාර්ථකාමී දේශපාලකයකු වූ බණ්ඩාරනායක අගමැතිතුමා තම සගයන් මැවූ මෙම අකෘතඥතා හා අසාධාරණ වාතාවරණය කිසිසේත් බලාපොරොත්තු නොවූවකි.

කුඹුරු පනතත් සමුපකාර බැංකු පනතත් තමන් ආරම්භ කළ ප්‍රගති ගමනට බෙහෙවින් අදාළ බව ඔහු දනී. ඒවා අගතිගාමී හෝ අතිගාමී නොවන නිසා එරෙහි වීමට හැකියාවක් තිබුණේ නැත.
අනුන්ගේ සැකයට, බියට ලක් නොවී යහපත් අරමුණු ළඟා කර ගැනීමට හැකි වන සේ පිලිප්ගේ හැසිරීම සංවර කිරීමද පහසු නොවීය.
ඇමැතිවරු දහ දෙනා අයින්කර වෙන දහ දෙනෙක් පත් කිරීමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙදරා යෑමට හේතු විය හැකිය.
මෙසේ දෙලොවක් අතර සිටින්නන් වෙන බලවේගයක් මත විසඳුම් සෙවීම ස්වභාවිකය. ඒ අනුවදෝ බණ්ඩාරනායක අගමැතිතුමා තමාගේ පෞද්ගලික ආශි්‍රතයන්ගේ උපදෙස් අනුව ඇමැති මණ්ඩලයේ වැඩිදෙනාගේ පැත්ත ගැනීමට අදහස් කරන බව ප්‍රකට විය.

නොබෝ දිනකින් කුරුණෑගලදී පවත්වන්නට යන පක්ෂ සම්මේලනයේදී පක්ෂ සභාපතිගේ කතාවට ප්‍රගති ගමන් වේගය අඩුවන අන්දමේ අදහස් අඩංගු කිරීමට යන බව මට ආරංචි විය. බද්ඉයුදීන් මාමුඩ් මහතා සමඟ අගමැතිතුමා හමුවට මා ගොස් එවැනි ආරංචියක් මට ලැබුණු බවත්, එය මා විශ්වාස නොකරන බව මා සඳහන් කළ බවත් මම කීවෙමි. මා එසේ කළේ එවැනි සභාපති කතාවකට මගේ විරෝධය ඇඟවීමටයි. අගමැතිතුමාද මගේ ඒ නිගමනය සනාථ කළේය.
සුපුරුදු චර්යාව අනුව සති අන්තයට මාගේ මැතිවරණ කොට්ඨාසය වූ ගලහ ආසනයේ ජනතාවගේ වුවමනාකම් ගැන සොයා බැලීමට ගොස් සිටියදී පිලිප් ගුණවර්ධන ඇමැතිතුමාගේ බලතල අඩුකිරීමට යන බවත් එය විප්ලවකාරී සමසමාජ පක්ෂයේ ඇමැතිවරු දෙදෙනකු වූ පිලිප් ගුණවර්ධන හා විලියම් සිල්වා නුරුස්සන බවත් විශ්වාසදායක මාර්ගයකින් මට දැනගන්නට ලැබිණි.
මේ අවාසනාවන්ත වර්ධනයෙන් මට හිත්තැවුල් ඇතිවිය. එම සතියේ රැස්වීම් කිහිපයකට සහභාගි වූ මගේ කතාවල ඒ කලකිරීම පිළිබිඹු කළෙමි.
මගේ ඒ ආකල්පය ආරංචි වීදෝ කොළඹ ආ වහාම අගමැතිතුමා හමුවන්නැයි ටෙලිපෝන් පණිවුඩයකින් මට දන්වා තිබිණි. ඔහුට අකීකරු වීම ප්‍රකාශ කිරීම සඳහාම හවස් වනතුරුම මම කොළඹ නොගොස් සිටියෙමි.

හොඳට හවස් වූ විට ශ්‍රාවස්තියට ළඟා වූ මට අගමැතිතුමාගේ ලිඛිත පණිවුඩයක් තිබිණි. මෙතෙක් මාගේ පැමිණීම එතුමා බලාපොරොත්තුවෙන් සිටිය බවත්, ආරාධිත රාත්‍රි භෝජනයකට යන බවත්, කිසිම තීරණයක් ගැනීමට පෙර ඔහු හමුවිය යුතු බවත්, ආපසු ඔහු ආ විට ටැලිෆෝනයෙන් කතා කරන බවත්, එහි සඳහන් විය.
ඒ අතර මා හා සමාන අදහස් දැරූ ඇම්.ඇස්. තේමිස්, හ්‍යු ප්‍රනාන්දු, නිමල් කරුණාතිලක, ‍ෙදාස්තර ඩී.ඩබ්. ද සිල්වා ආදී මන්ත්‍රිවරු කීපදෙනෙක් මා හමුවීමට පැමිණ සිටියහ.
අපේ සාකච්ඡාවෙන් පසු තීරණය කරන ලද්දේ පිලිප් හා විලියම් දෙදෙනා යථා තත්ත්වයෙන් ඇමැති මණ්ඩලය තුළ තබා ගැනීමට තැත් කිරීමටය.
අගමැතිතුමා ටැලිපෝනයෙන් කතාකර රෑ බෝවී තිබෙන නිසා කුරුණෑගලදී පසුවදා හමුවීමට යෝජනා කෙළේය.
මගේ ප්‍රතිචාරය එතුමාට පැහැදිලි කළෙමි. මා හා සමාන අදහස් දරන කීප දෙනකුගේම යෝජනාව ඇමැතිවරු දෙදෙනා යථා තත්ත්වයෙන්ම ඇමැති මණ්ඩලය තුළ තබාගත යුතුය යන්න බව කීවෙමි.
ඒ දෙදෙනාට ‍ෙදාර ඇර තිබෙන බවත් ඒ සම්බන්ධව අප ගන්නා පියවරට ඔහු විරුද්ධ නැති බවත් අගමැතිතුමා කීවේය.
එයින් ධෛර්යවත් වූ අපේ ක්‍රියාමාර්ගය ගැන තවදුරටත් සාකච්ඡා කර අවසානයේදී අපේ අරමුණු සාර්ථක කරගැනීම පිණිස පිලිප් හා විලියම් එකඟ කරවා ගැනීම සඳහා කෙනකු යැවීමට තීරණය කළෙමු.

ඒ අනුව එම කාර්යය සඳහා නිමල් කරුණාතිලක මාතලේ මන්ත්‍රිතුමා තෝරා ගන්නා ලදී. ඔහුට භාර වූ කාර්යය වූයේ ඇමැතිවරු දෙදෙන ඒ සඳහා සකස් කරගෙන එළිය වැටීමට පෙර අපට දැනුම්දීමය.
පසුවදා උදෑසනම - කුරුණෑගල සම්මේලනයට පිටත්ව යෑමට - පෙර ශ්‍රාවස්තියේදී මුණගැසීමට එකඟ වී විසිර ගියෙමු.
පසුවදා උදෑසනම නිමල් ආවේ හොඳටම පමා වී මනමාලයකු සේ ආයිත්තම්වෙලාය. ඔහු වාර්තා කළේ 'බණ්ඩා' දේශපාලනය අත්හැරිය යුතුය යන්නයි. එසේ කියා ඔහු නිකම්ම ගියේය. නිමල්ගේ ඒ පිළිතුරෙන් හා ආකල්පයෙන් අපි බොහෝ සේ කම්පා වීමු.
අපි වහාම කුරුණෑගල සම්මේලනය සඳහා පිටත්ව ගියෙමු. එහි ළඟාවන විට උත්සව පෙළහැර පටන්ගෙන තිබිණි.

මාරික්කාර් ඇමැතිතුමා අලියකු පිට නැඟී සිටියේය. අගමැතිතුමාත් කුරුණෑගල මන්ත්‍රි මොන්නෑකුලමත් විවෘත කාරයක සිටගෙන ගියෝය.
‍ෙදාස්තර ඩබ්ලිව්.ඩී. ද සිල්වාත් මමත් එම කාරය පිටුපස ගියෙමු. ඒ දුටු අගමැතිතුමා මටද කාරයට නඟින ලෙස ආරාධනා කළේය.
"අපි ඔබ පස්සෙන් තල්ලුකරගෙන යන්නම්" මම උපහාසයෙන් කීවෙමි. අගමැතිතුමා එය මවාගත් සිනාවකින් ඉවසුවේය.
නගර සභා ශාලාවේදී සභාපති දේශනය ආරම්භ විය. අපට ආරංචි වූ ලෙස ප්‍රගතිගමනට බාධා ඇතිවනසුලු වචන කිහිපයක් අගතිගාමීන්ගේ අත්පොළසන් මධ්‍යයේ ඔහු උච්චාරණය කළේය.
ඇමැති වර්ජනයට ප්‍රකාශිත නායකත්වය දුන් ස්ටැන්ලි සොයිසා ජයග්‍රාහක සිනාවකින් මුහුණ සරසාගෙන මා දෙස හැරී බැලුවේය. මම එය නොදැක්කා සේ සිටියෙමි.

සභාපති කතාව තවත් දුරට කරගෙන යමින් තවත් එවැනි වචන කිහිපයක් පිට කළේය. ඇමැති වර්ජනය පත් මඟින් වර්ජනය කළ ප්‍රසිද්ධ පත්‍ර කලාවේදී මෙනෙවියක්ද උද්දාම බැල්මක් මා වෙත හෙළුවාය.
මට ඉවසුම් නැති කෝපයෙන් බොළඳ වී දියකුටියට යන්නාසේ හඟවා එහි ‍ෙදාරටුව අසල සිටි ඇගේ හිසට මගේ හිස්වැසුම ලා සමච්චලයෙන් ඇගේ හිසකෙස් අවුල් වන සේ ආපසුගෙන මෑත්වීමි.
අගමැතිතුමාගේ ඒ කුරුණෑගල දේශනයෙන් පසු ලංකාවේ දේශපාලන කාලගුණයේ සෑහෙන වෙනසක් ඇතිවිය. රජය කෙරෙහි තිබුණු ප්‍රගතිශීලී ප්‍රසාදය හීනවී ගියේය.
සමාජවාදී රටවල් සමඟ ඇති කරගෙන තිබුණු මිත්‍ර සංගම්වල හිතවතුන්ද, සමානාත්මතා ගමන ඉක්මන් කරවා ගැනීමෙන් නැති බැරිකම් අඩුකරගෙන සහනයක් බලාපොරොත්තු වූවෝද පරාජිත වූ බලවතුන්ගේ පසු මැතිවරණ පළිගැනීම් අලුත්වැඩියා කරගැනීමෙන් පීඩා වින්දෝද එයින් කලකිරීමට පත්වූහ.

මෙතෙක් නව රජයේ ප්‍රගතිශීලී පියවර කෙරෙහි ප්‍රසාදය දක්වමින් සිටි විපක්ෂයේ ප්‍රගතිශීලී පක්ෂද රජය විවේචනය කිරීමට පටන් ගත්හ.
ඒ ජනතා කලකිරීම විප්ලවකාරී සමසමාජ පක්ෂ ඇමැති දෙපළගේ බලතල අඩුකිරීමට ප්‍රතිචාරයක් ලෙස බාරගෙන ඔවුහු වඩාත් දැඩි සිත් ඇති කරගත්හ.
පිලිප් හා විලියම් 1956 මැයි 19 වැනිදා ඇමැති මණ්ඩලයෙන්ද විප්ලවකාරී සමසමාජ පක්ෂය ආණ්ඩුවේ මන්ත්‍රි කණ්ඩායමෙන්ද අස්වූහ. ඒ සමඟම එම දෙදෙන පාර්ලිමේන්තු කණ්ඩායම තුළ තබාගැනීමට අප දැරූ ප්‍රයත්නයද ව්‍යර්ථ විය.

මම බොහෝ සේ කලකිරීමට පත්වීමි. එම නිසා රජයේ වැඩි බරක් තව දුරටත් දැරීමට පවා අකැමැති වීමි. පිලිප් ගුණවර්ධනගේ ඇමැති අංශය මට භාරගැනීමට කළ යෝජනාව ප්‍රතික්ෂේප කළා පමණක් නොව භාරධූර ඇමැති විෂයයක් වූ කම්කරු ඇමැතිකමද නව වාතාවරණය තුළ තවදුරටත් දැරීමට නොහැකි බවද අගමැතිතුමාට දැන්වීමි. අවසානයේදී ස්වදේශ භාර ඇමැතිකමට මම එකඟවීමි.
ඇම්.ඩබ්ලිව්.එච්. ද සිල්වා ද අධිකරණ ඇමැති ධුරයෙන් ජුනි එකළොස්වැනිදා අයින් විය."
"එස්.බී. අද අඳින්න යන්නේ ස්ටැන්ලි සොයිසාගේ චරිතයටද...?"

ඒක නම් කියන්න දන්නේ නැත. එදා ස්ටනැලි එක්ක ඇමැතිවරු 10ක් හිටියා නම් අද එස්.බී. ලා එක්ක විමල් සහ චම්පික ඉවත් කළ යුතුයි කියන තැන ඇමැතිවරු රාශියක් සිටී.
"මහින්ද කන් දෙන්නේ කාටද...?"
කාට කන් දුන්නත් එස්.බී.ලා ඇතුළු ඇමැති කට්ටුව වගේම විමල්ලා චම්පිකලා බලාගෙන ඉන්නේත් මහින්දගේ කනෙන් රිංගන්න වෙලාවක් එනතෙක්ය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts