Open top menu
Thursday, May 29, 2014

ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ වමේ ව්‍යාපාරය නියෝජනය කළ ප්‍රධාන ධාරාවේ පක්ෂයක්. මේ පක්ෂයේ විශේෂත්වය වන්නේ මෙහි නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා මේ පක්ෂය නිර්මාණය කරන්නේම දෙමුහුන් ආකාරයකට වීම නිසයි. මාක්ස්-ලෙනින්වාදී සිංහල බෞද්ධ පක්ෂයක් හදන එක තමයි විජේවීර සහෝදරයගේ අරමුණ වුණේ කියලා අපිට හිතන්න පුලුවන්. එහෙම නැත්තම් රුසියානු මොඩලයේ ලාංකේය විප්ලවාදී ව්‍යාපාරයක් හදන්න තමයි එයා මහන්සි ගත්තේ. ඔහුගේ විප්ලවාදී අරමුණ අපිට කිසිසේත්ම අවතක්සේරු කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉදන් බාහු,වාසු, සිංරිතුංග ගේ සිට ජන අරගල ව්‍යපාරය දක්වා හැමෝගෙම අපේක්ෂාව වුනේ සමාජවාදී සමාජයක්. ඒ කාලේ ප්‍රගති ප්‍රකාශන මන්දිරයෙන් තොග ගනන් විප්ලවාදී පොත් මුද්‍රණය කරලා ලංකාවට ලබා දුන්නා. ඒනිසා විප්ලවීය දේශපාලන න්‍යායන් සම්බන්ධයෙන් සමාජයේ පොදු කතිකාවක් ඇති වුනා. මේ සියලු කාරණා අතරින් ලංකේය වමේ ව්‍යාපාරය ඉදිරියට ගමන් කලා. නමුත් 90 දශකයේ මුල භාගයේ පටන් x කණ්ඩායම විසින් ලංකාවට නව චින්තන විධික්‍රමයක් හදුන්වලා දුන්නා. පශ්චාත්-නූතනවාදය කියන කාරණාව එක්ක පසු කාලින විශ්ව විද්‍යාලයීය බුද්ධිමතුන් ගැටෙන්නට පටන් ගත්තා. වමේ ව්‍යපාරය තක්කඩි ආකාරයට X  මතවාදය මගහැර යන්නට සමත් වුණා. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ X දේශපාලනය දෙස බැලවේ අවඥාවෙන්. කොටින්ම ඔවුන්ට මේ දේශපාලනය නොගිනිය හැකි තරම් දෙයක් වුණා. නමුත් අවසානයේ ජ.වි.පෙන් බෙදී වෙන්ව ගිය ජන අරගල ව්‍යාපරයට අපේ පක්ෂයේ නම නොගෙන තව දුරටත් දේශපාලනය කරන්නට නොහැකි තත්ත්වයක් උදාවුනා. ඒ කියන්නේ සවිඥාණිකව නැතත් අවිඥාණිකව මේ අය අපේ දේශපාලනය සමග බද්ද වෙලා ඉවරයි. අද වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළ ඇතිව තිබෙන අර්බුදය නිදහස ඉල්ලා කෑ මොර දෙන සජිත්වාදී පිල් බෙදීමක් බවට ඌණනය වී තිබෙනවා. ජ.වි.පෙන් වෙන්ව වසර දෙකක් යන විට යළි බෙදී වෙන්ව මග නොදැන යන අනුගාමිකයන් රැසක් නිර්මාණය කරන්නට මේ අයට පුලුවන් වුණේ කොහොමද? වසර 2004 දී X කණ්ඩායම දෙකඩ වුණු මොහොතේ මේ ආකාරයෙන්ම නිදහස ඉල්ලා එළියට ගිය පිරිස ගෙනා ප්‍රධාන චෝදනා වලට සමාන චෝදනා මේ වන විටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළ අර්බුදයට මුහුණ දී සිටින අයගෙන් අසන්නට ලැබෙනවා. මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය තුළ විධිමත් නායකත්වයක් යටතේ පක්ෂයේ විනය ආරක්ෂා කරන සහ ඊට ගරු කරන කේඩරයන් පිරිසක් නිර්මාණය කිරීම තමයි විප්ලවාදී පක්ෂයක මූලික ඉලක්කය විය යුතුතේ. පෞද්ගලික අනන්‍යතාවය වෙනුවට සාමූහික අනන්‍යතාවය පක්ෂය ප්‍රමුඛ කොට ලබා ගන්නට කැමති පිරිසකට විතරයි විප්ලවාදී දේශපාලන පක්ෂයක සමාජිකයන් වන්නට පුලුවන් වන්නේ. හේගල් කියන ආකාරයට සාමුහික ආත්මය පිළිබද අර්ථකථනය කියන්නේ මේකටයි. කොටින්ම තමන් ජීවිත කාලයක් පුරා ආඩම්බරයෙන් ආරක්ෂාකර ගත් අතිශයින්ම පෞද්ගලික යැයි තමන් සිතන මහා වැදගත්කමක් ඇතැයි තමන්ම උදම් අනන ආත්ම අභිමානය වැනි දේ පක්ෂයේ පොදු අරමුණ වෙනුවෙන් පවා දෙන්න පුලුවන් අයට විතරයි සැබෑ විප්ලවාදී ව්‍යපාරයක් වෙනුවෙන් සිය ජීවිතය සහ ආත්මය යෙදවිය හැකි වන්නේ.

දිගින් දිගටම ලංකාවේ වමේ ව්‍යාපාරය අසමත්භාවයට පත් වන්නේ මේ බහුතරයකට න්‍යාය සහ භාවිතය අතර තිබෙන අන්නෝන්‍ය සහ සම්බන්ධතාවය සංජානනය කරන්න බැරි නිසයි. මෙයට උදාහරණයක් ලෙස අපට ජ.වි.පෙ අමත්‍යාංශ තුනක් කළ වකවානුව සළකන්න පුලුවන්. ඒ මුලු කාලය පුරා ඔවුන් කලේ වැව් හාරපු එක, නිල් සිනමා පට තහනම් කරපු එක, වගේ දේවල් විතරයි. අඩුම තරමේ ඒ අයට බලය අරගෙන කරන්නට බැරි වුන ගොඩක් දේවල් මේ වන විටත් ගොඨාභය රාජපක්ෂ කරලා ඉවරයි. ඒ නිසා ලංකාවේ වමේ කියන ඕනම පක්ෂයක් බලයට පත් වුනත් කරන්නට තියෙන උපරිම ප්‍රතිසංස්කරණවාදී වැඩ වලින් කොටසක් තමයි මේ වන විටත් කොළඹ නගරය සහ අවට ප්‍රෙද්ශ වල සිදු වෙමින් තියෙන්නේ.

මිනිස්සු හතලිස් දහසක් මරපු රටක අපි ඒ ගැන කියපුවහම අයියෝ තාමත් ඔය ගැන කතා කරන්න පිස්සුද කියලා අහන මිනිස්සු ඉන්න එක තමයි ලොකුම ගැටලුව. මිනිස්සු දහස් ගනණක් මරා දමපු රටක හරක්ගේ ජීවිත බේරගන්න යතිවරුන් ගිණි තියා ගන්නවා. එහෙම බැලුවහම ඒ වගේ උදවිය මානසික රෝගීන් යැයි සිතා අනුකම්පා කරනවා හැර අපිට කරන්න දෙයක් නෑ. වියට්නාමයේ සයිගොන් නුවර භික්ෂුවක් ගිණි තියා ගැනීම නිසා ඇමෙරිකාව විශාල ගැටලු රාශියකට මුහුණ දුන්නා ඒ මරණය වියට්නාම් වැසියන්ගේ ජයග්‍රහනයක්.ඒත් මේ ගිණි තබාගත් හාමුදුරුවන් කියන්නේ මේ වන විටත් එක්තරා ආකාරයකින් විහිලුවක්. අනෙක් අතට ජේම්ස් පැකර් ලංකාවේ කැසිනෝ පටන් ගන්නවා නම් තමන් වහන්සේ සටනට බහින බව අස්ගිරි මහානායක හිමියන් පවසා තියෙනවා. උන්නාන්සෙම දැනටමත් ලංකාවේ කැසිනෝ හිමිකරුවන් උන්වහන්සේ මුණ ගැසෙන්නට ගියහම ආශිර්වාද කරනවා. ඒ කියන්නේ අපිට තියෙන්නේ කැසිනෝ සම්බන්ධ ප්‍රශ්ණයක් නෙමෙයි. අධිරාජ්‍යවාදී ජේමිස් පැකර් කැසිනෝ ගහන එක මිසක් සිංහල බෞදධ රවී විජේරත්නලා,ධම්මික පෙරේරලා කැසිනෝ ගහන එක කාටවත් ප්‍රශණයක් නෙමෙයි. අපි ජීවත් වෙන්නේ ධනවාදී සමාජයක කියලා දන්න ඕන මැට්ටෙක් දන්නවා වෙළෙද පොල සමබධන්තා ජාලයක් තුළ ජීවත් වන අය විදිහට අපට කැසිනෝ නතර කරන්නට බැරි බව. හරියට අහංසක මිනිහෙක් පාරේ සිගරට් එකක් බීලා අහුවුණාම ඒ මිනිහව උසාවියට ගෙනල්ලා රුපියල් 2000ක් දඩ ගහන ගමන් ආණ්ඩුව එක සිගරට් එකකින් රුපියල් විසි දෙකක බද්දක් අය කර ගන්නවා. අන්තිමට පාරේ සිගරට් එකක් බොන රජයට වැඩිම බදු මුදලක් ගෙවන මිනිහගෙන්ම ආණ්ඩුව රුපියල් 2000 දඩත් අය කර ගන්නවා. ඒ අතරම විදේශීය ආයෝජකයන්ට රුපිලයග් බිලියන ගනන් බදු සහන ලබා දෙනවා. ඒ නිසා මේ ප්‍රශ්ණය හුදු කැසිනෝ ප්‍රශ්ණයක් නෙවී. හේගල් කියන අකාරයට නයිට් එකට පසුව තමා ලයිට් එක එන්නේ. ඒ කියන්නේ අදුර නිසා තමයි ආලෝකය ඇති වන්නේ . ඒ විදිහට කල්පනා කලාම සමාජයක් සංවිධානය වන විට ඒ සමාජයේ අශ්ලීල යැයි හැමෝම පිළිකුල් කරන දේවල් නිසාම තමයි සභ්‍යයැයි කියන දෙවල් බැලන්ස් වෙලා තියෙන්නේ. දවල්ට ටයිකෝට් ඇදගෙන වැදගත් වැඩ කරන මහත්වරුන්ට රෑට හැසිරෙන අකාරය බලා ගන්න කැමති අයට Blue Velvet චිත්‍රපටිය බලන්න පුලුවන්.

මොස්කව් නගරය අලුතින් නිර්මාණය කිරීම සම්බන්ධව ලෙනින් පැවසූ අදහසක් තමයි පහත තියෙන්නේ.

අපේ සමහර සහෝදරවරු කඩා බිද දැමීමට බොහොම ආසයි. අපි ඒ ප්‍රශ්ණය සොයන්නට ඕන. කඩා දමන්න ඕන. ඒ වුනාට ප්‍රමාණය සහ ස්ථානය දැන ගන්න ඕන. මොස්කව් නගරය ප්‍රති නිර්මාණය කරන සැලැස්ම ඔහේ පටන් ගන්න. පැරණි ස්මාරක ගැනත්, රුසියානු ජනතාවගේ මහා ප්‍රඥාණව නිසා අපට ලැබී ඇති සංස්කෘතික උරුමය ගැනත්, අප දැක්විය යුතු ප්‍රතිපත්ති, හැම දෙයක්ම අවලස්සන කරන කඩ පෙළත්, කුණු රොඩු ගොඩ ගැසෙන තැනත් නැතිකර දමන්න ඕන. ක්‍රෙම්ලීනය, රතු චතුරස්ස්‍රය, ශුද්ධ වූ බැසිල්ගේ දේවස්ථානය වැනි තැන් වල වෙනස් කිරීම හොද නෑ. ඒවා අමරණීය කලා වස්තු. ඒ හන්දා ඒවා හැකි තරම් හොදට ආරක්ෂා කරන්න ඕන. තවත් එක ඉල්ලීමක්. ඉවාන් විලදිස්ලාචොච්වල මොස්කව් නගරය තුළ ගස් සිටුවා එය හැකි තරම් දුරට උද්‍යාන නගරයක් බවට හරවන්න ඕන… මොස්කව් නගර ප්‍රතිනිර්මාණ සැළැස්මේ එක මූල ධර්මයක් ලෙස එය ගණන් ගන්න. මේවාට නිදර්ශණ වල ලන්ඩන් වල හයිඩ් පාර්ක් එකද, පැරීසියේ එලිසෙයෙවි උයනද, වියානාවේ රින්ග් වැනි දැකුම් කළු උයන් වතුද ගන්නට පුලුවනි… මොස්කව් ගග දෙපස ඉවුර ගස් සිටුවා අලංකාර කිරීම ගැනත් කල්පනා කර බලන්න. අමිලකර වාතයෙන් පිරි පිරිසිදු වටපිටාවක් අපි මොස්කව් නගරයට ලබා දෙන්න ඕන.

ඉහත අදහස අනුව මේ වන විටත් නගර නිර්මාණය නාගරික සංවර්ධන අධිකාරිය විසින් අඩක් නිමකර අවසන්. කුමන වාමාංශික පක්ෂය බලයට ආවත් මීට වඩා වැඩි යමක් කරන්නට බැරි බව පැහැදිලියි. ලෙනින් මේ අදහස දෙන්නේ විප්ලවයෙන් පස්සේ මොස්කව් නගරය නිර්මාණය කළයුතු ආකාරය ගැනයි. නමුත් ලංකාවේ බොහෝ වාමාංහිකයන්ට සහ පක්ෂ වලට මේ කිසි දෙයක් ගැන අවබෝධයක් තියනවා කියලා හිතන්න බැහැ. සමාජ සංවර්ධනය පිළිබද කාල් මාක්ස් ගේ නීති සමාජය වෙනස් විය යුතු බව පෙන්වා දුන්නා. ධනපති ක්‍රමයේ වධ බන්ධන වලින් මිනිසා මුදවාලීම ඉක්මන් කරවනු සදහා සමාජවාදී විප්ලවය වෙනුවෙන් ලෙනින් ඇප කැප වී වැඩ කලා. නිදහස් සහ දීප්තිමත් ජීවිතයක් මිනිසාට ලබා දීම  ඔහුගේ පරමාර්ථය වුනා. ගොඨාභයගේ නගර නිර්මාණය සහ ලෙනින්ගේ මොස්කව් සැළසුම අතර ප්‍රධාන වෙනස මෙයයි.

3mana -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

  1. ඉහත ලිපියේ තිබෙන ආත්ම අභිමානය වගේ දේ ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් සෝවියට් දේශයේ හෙම නිර්මාණශිලිත්වය ආදී හැම දෙයක්ම පක්ෂය හා එහි නිලධාරීන් යටපත් කලා. පක්ෂය වෙනුවෙන් කියා ඉදිරිපත් කල දේ ඉහල නිලධරීන් හොරා ගත් අවස්ථා පවා තිබුන ඉහලට යන්නට. ඒ නිසා මම නම් කියන්නේ හැමෝගෙම අනන්‍යතාවයන් හා නිර්මනශිලිත්වයන් ආරක්ෂා කර ගත යුතුයි කියල පක්ෂයක් වශයෙන්. සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ වගේ අවස්ථාවාදීන්ට හා හොරුන්ට වැජඹෙන්න ඉඩ නැති වෙන්නේ එවිටයි. මේ ලිපියේ අත්දැකීම්විරහිත බොළඳ භාවයක් තම පෙනෙන්නේ.

    ReplyDelete

Popular Posts

Popular Posts