Header Ads

පැකර් ගියෙ ආණ්ඩුවෙ කොරහත් බිඳගෙනද?

මෙය වනාහි ශ්‍රී ලංකාව තුළ යුද්ධයෙන් පසු කාලයෙන් මතුවූ රට තුළින්ම ඇතිදැඩි වූ කර්මාන්තකාර හා මහා වෙළෙඳ පන්තියයි. මෙය තවමත් යෞවන වූත්, වාණිජ්‍ය උදේ‍යාගය ඇත්තා වූත්, ඕනෑම දෙයක් කරන්නට සූදානම් වූත් පන්තියකි. ඔවුන්ගේ දෙවියා සල්ලිය. ඔවුන් සොයන්නේ මුදලත් සමඟ එන බලයයි. ධනවාදය යටතේ දේශපාලන බලයත් මුදල් ගැරීමත් අතර ඇති සමාගමය ඔවුන්ට හොඳට අවබෝධ වී ඇති අතර එම නිසා ඔවුහු මුදල් ගැරීම සඳහා ඇති කෑදරකමින්ම දේශපාලන බලයද සොයති. එසේ එන එන අවස්ථාවලට සරිලන පරිදි ඔවුහු ඔවුන්ගේ පක්‍ෂපාතීකම තරගකාරී දේශපාලන පක්‍ෂ එකින් එකට මාරු කරති. ඔවුන්ගේ සහයෝගය ඒ පක්‍ෂ අතර බෙදාදීම පවා කරති. දැන් මුදලාලිලා යනුවෙන් හඳුන්වන්නේ මේ පන්තියයි.

සමඟි පෙරමුණු ආණ්ඩුවත්, අනතුරුව සමඟි පෙරමුණත් කැඩීමට එක ප්‍රධාන හේතුවක් වුණේ අගමැතිනිය කෙරෙහි කැරැල්ල ඇති වූ දිනවල සිට ඇයම ඇය වටා ගොඩනඟාගත් බල ව්‍යුහය කෙරෙහිද මුදලාලිලාගේ බලපෑම බව මට ප්‍රත්‍යක්‍ෂය. කැරැල්ල කාලයේදීත් ඉන් පසුවත් ආණ්ඩුව තුළ ආණ්ඩුවක් වැනි දෙයක්, හෙවත් විධිමත් හා නීත්‍යනුකූල බල මධ්‍යස්ථානයට සම්බන්ධ වී ඇත්තා වූද, නමුත් එයින් පිටස්තර වූද, බල මධ්‍යස්ථානයක් ගොඩනැඟී ඇති බව දැන් කලක සිට පෙනී ගොස් ඇත. මේ සමගම අගමැතිනියගෙන් සමන්විත මේ අවශ්‍ය බල මධ්‍යස්ථානය වටාත් ඊට පිටුපසිනුත් කිට්ටු කණ්ඩායමක් ගොඩනැඟී තිබේ. මෙය භයානක අනතුරක් වී තිබෙන්නේ සමඟි පෙරමුණේ නායිකාව හැටියට ඇය බලයට පත්කළා වූ පොදු ජනතාවගේ අභිලාෂවලට මොවුන් තුළ නොයෙක් අයගේ අවංක අනුකූලතාවක් හෝ හැඟීමක් නැතිකම නිසාය. එය බණ්ඩාරනායක මහත්මා අතින් නම් කවදාවත් නොවූ වරදකි. ඔහුගේ මිත්‍ර සම්බන්ධකම් සෑම විටම දේශපාලන මිත්‍ර සම්බන්ධකම් විය. අපේ දේශපාලනයේ මතුවී ඇති මේ අමුතු දෙය ගැන මෙරටත් පිටරටත් කතා ඇති වී තිබෙන නිසා විස්තර කිරීම මෙහිදී අවශ්‍ය නැත. එහෙත් කීම අවශ්‍ය වී ඇති කරුණක් තිබේ. අර කිට්ටු කණ්ඩායම තුළින් දේශපාලන ප්‍රසිද්ධියට එන්නාවූත්, තල්ලු කරනු ලබන්නාවූත්, පුද්ගලයා නම් අනුර බණ්ඩාරනායක මහත්මයාය. ඒ කියන්නේ මාද පියකු නිසා කියන්නට පුළුවනි අගමැතිනියගේ දයාබර පුත්‍රයාය."

1975 සැප්තැම්බර් 18 වැනි දින එවකට සමඟි පෙරමුණු ආණ්ඩුවේ හිටපු ඇමැති කොල්වින් ආර්. ද සිල්වා පාර්ලිමේන්තුවේදී කළ මේ කතාව කියවාගෙන යනකොට මතක් වන්නේ චම්පික රණවක, අතුරලියේ රතන හිමි අද කැසිනෝ පනත ගැන කියන කතාවය.
"අනාගතයේදී සමාජය, ආර්ථිකය අනිවාර්යෙන්ම දෙදරීමක් මේ කැසිනෝ හරහා සිද්ධ වෙනවා. අනාගතයේ දේශපාලන පෙරළි වන්නේ පක්‍ෂයේ නොවෙයි. ක්‍රවුන් කැසිනෝවලයි..."
මේ අතුරලියේ රතන හිමි කැසිනෝ පනත ගැන කී කතාවය.
කොල්වින් 1975දී කීවේ ව්‍යාපාරිකයන් ආණ්ඩුව ඇතුළට රිංගාගෙන ආණ්ඩුව විනාශ කරන බවය. අතුරලියේ රතන හිමි කියන්නේ අනාගතයේ දේශපාලන පෙරළි ක්‍රවුන් කැසිනෝවල සිදුවිය හැකි බවයි.

මේ කතාවම මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රිවරයකු ලෙස සිටියදී පාර්ලිමේන්තුවේදී කීවේය. ඔහු කීවේ ප්‍රේමදාස ආණ්ඩු කාලයේ ලංකාවට ආ ජෝසිම් ගැනය. ජෝසිම් වැනි ව්‍යාපාරිකයන්ගෙන් පරෙස්සම් වෙන්න යැයි කියමින් මහින්ද කීවේ මෙවැනි කතාවකි.
"කොහොම වුණත් මේ පිළිබඳ මෙවැනි සැකයක් ඇතිවීමට හේතු වූයේ මෙවැනි උදවිය ගෙන්වා ගැනීමේදී "විද්‍යාව, අධ්‍යාපනය, වෛද්‍ය විද්‍යාව, පුරාවිද්‍යාව, සංගීතය, සාහිත්‍යය, කෘෂිකර්මය හෝ විනෝද ක්ෂේත්‍රවලදී" කියා කොටසකුත් එකතු වී තියෙන නිසයි. මොකක්ද මේ විනෝදය? පසුගිය කාලයේ කැසිනෝව විනෝදාංශයක් වුණා. පසුගිය කාලවලදී ජොසිම්ට පුළුවන්කම තිබුණා ඉහළ පෙළේ දේශපාලනඥයන් සමඟ පින්තූරවලට පෙනී සිටින්න. (බාධා කිරීම්) තමුන්නාන්සේලාට වැරදිලා. තමුන්නාන්සේලා වෙන්න පුළුවන් අපි නොවෙයි. ඒ නිසා ඒ ගැන කතා කරන්න එපා. ජෝසිම් එක්ක හිටපු අයගේ ලැයිස්තුව ගැන මම කියන්න ගියොත් තමුන්නාන්සේලාට ටිකක් කෑගහන්න වේවි. මම කාටවත් අපහාස කරන්න කැමැති නැති නිසා ජෝසිම් එක්ක හිටපු අයගේ නම් ලැයිස්තුව කියවන්නේ නැහැ. නමුත් ජෝසිම්ලා වගේ උදවිය කැසිනෝ වැනි සූදු මේ රටට ගෙනැවිත් තායිලන්තයෙන් ගණිකාවන් මේ රටට ගෙනැවිත් මේ රටේ විශාල ව්‍යාපාරයක් ගෙන ගියා. එවැනි අයට අවුරුදු පහක් ඉන්න එකවත්, රුපියල් හැත්තෑපන් ලක්ෂයක් දීලා පුරවැසිභාවය ලබාගන්න එකවත් විශාල කාර්යයක් නෙවෙයි. එවැනි අය මේ රටට ශතයක්වත් ගේන්නේ නැතිව මේ රටේ මිනිසුන්ගේ සල්ලි සූරා කාලා, මේ රටේම ඉඳගෙන සල්ලි හම්බ කරලා කළු සල්ලි ඩොලර් බවට පත් කරලා ඕනෑ නම් ඒ සල්ලිවලින්ම මේ රටේ පුරවැසිකම ලබාගෙන දේශපාලනඥයනුත් ඒවාට හවුල් කරගන්නට මහන්සි ගත්තොත් ඒකෙන් වෙන්නේ විශාල පරිහානියක්ය කියන එක මම මතක් කළ යුතුව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ තත්ත්වය යටතේ ගණිකා වෘත්තිය, සමලිංගික සේවනය, ඒඩ්ස් රෝගය වැනි දේවල් ඔවුන් මේ රටට ගෙනෙන්නට පුළුවන්.

මාතර දිස්ත්‍රික්කයේ ගරු මන්ත්‍රිතුමාත් දන්නවා මාතර දිස්ත්‍රික්කයේ මුහුද අයිනේ තිබෙන ඉඩම් බොහොමයක් පිටරැටියන් අරගෙන තිබෙන බව. ඔවුන්ට පුරවැසිකම් දෙනවා නම් සල්ලි දීලා පුරවැසිකම ලබා ගන්නවා. දැන් ඔවුන් කරන්නේ ලංකාවේ කෙනකුගේ නමට ඉඩමක් අරගෙන, පසුව තමන්ගේ නමට "ඹ්ඥචඵඥ" කරගැනීමයි. එහෙම නැත්නම් උකස් බද්දක් අරගෙන තමන්ගේ ව්‍යාපාරය කරගෙන යනවා. මුහුද අයිනේ තිබෙන ඉඩම් ඔක්කෝම අරගෙන තිබෙන්නේ පිටරැටියන්. දැන් මේ විදියට මේ පුරවැසිකම් දෙසීය ලබාගෙන මෙවැනි ව්‍යාපාර ආරම්භ කරන්නට ගියොත් දේශීය නිෂ්පාදන, දේශීය අමුද්‍රව්‍ය උපයෝගි කරගන්නේ නැතිව වෙනත් ව්‍යාපාර ආරම්භ කරන්නට ගියොත් මේ රටේ විනාශයක් මිස සංවර්ධනයක් ඇති වන්නේ නැහැයි කියන එක මම මතක් කරන්නට ඕනෑ. ඒ විතරක් නෙවෙයි ඊටත් වඩා භයානක දෙයක් තිබෙනවා. මේ රටේ තිබෙන දේශපාලන පරිසරය අනුව පසුගිය කාලයේදී මේ රටේ ජනාධිපතිතුමා ඝාතනය වුණා. රන්ජන් විජේරත්න ඇමැතිතුමා ඝාතනය වුණා. ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි හමුදා නායකයන් ඝාතනය වුණා. ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා ඝාතනය වුණා. මෙවැනි තත්ත්වයක් පවතින විටදී සමහර විට මැරයන්, සල්ලිකාරයන්, හොර ජාවාරම්කාරයන් මේ රටට ඇතුළු වී අවසානයේ මේ රටේ දේශපාලනය හසුරුවන්නට එවැනි ඝාතන සැලැස්ම ආරම්භ කරන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් මීට වඩා පරෙස්සම් විය යුතුව තිබෙනවා. මොකද සල්ලි අරගෙන මේ රටට ඇවිත් සල්ලිවලට පුරවැසිකම් ගත් පසු මේ රටේ ආණ්ඩු වෙනස් කිරීම, අලුත් ආණ්ඩු ඇති කිරීම, රාජ්‍ය නායකයන් ඝාතනය කිරීම වැනි දේවල් පවා සිදුවීමට ඉඩ තිබෙනවා. එම නිසා මේ භයානක සෙල්ලම "මුදලට පුරවැසිකම දීම" නතර කළ යුතුයි."

දැන් බලාගෙන යනකොට පැකර් නිසා මහින්දගේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ මහින්ද කිව්ව කතාවමය. පැකර් අකුළාගෙන යන්න ගියත් ගිහින් ඇත්තේ ආණ්ඩුව කුඩුපට්ටම් කරගෙනය.
පනතට ඡන්දය විමසපු දිනයේ මැති ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රිවරුන් 48ක් සභා ගැබට ආවේ නැත. සමහරු සභා ගැබට ඇවිත් ඡන්දය නොදී නැඟිට ගියහ. චම්පික සහ අතුරලියේ රතන හිමි විරුද්ධව ඡන්දය දුන්හ. ඔවුන් දෙදෙනා සහ සභා ගැබේ නොසිටි මැති ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තුව බලනකොට ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 5ක් මේ අතර සිටී. පළමුවැන්න හෙළ උරුමයය, දෙවැන්න ජාතික නිදහස් පෙරමුණයය, තුන්වැන්න මුස්ලිම් කොංග්‍රසයය, හතරවැන්න සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, පස්වැන්න ලංකා කම්කරු කොංග්‍රසයය. ඒ වගේම එම මන්ත්‍රිවරු අතර එ.ජා.ප.යෙන් ආණ්ඩුවට ආ මන්ත්‍රිවරුන් හතරක් පමණ වූහ.
"ඒ කියන්නේ සන්ධානය හැලිලානේ..."

ඇත්තටම ලැයිස්තුව දිහා බලනකොට සන්ධානය කොටඋඩය.
"පැකර් පනත ගේන්න කියල ආණ්ඩුව කුලප්පු කරල ආණ්ඩුව ඇතුළ අවුල් කරල මඟඇරලා ගියාවත්ද...?"
ඒක කියන්න නම් බැරිය.
පැකර් කියන්නේ නිකම්ම නිකන් කැසිනෝකාරයෙක් නොවේ. ඕස්ට්‍රේලියාවේ ආණ්ඩු හදපු, ආණ්ඩු වට්ටපු දේශපාලන ගේම්කාරයෙකි. පැකර්ගේ තාත්තා කෙරී පැකර් මාධ්‍ය අධිරාජ්‍යයක් හිමි අයෙකි. ඔහු මාධ්‍ය හරහා ඕස්ට්‍රේලියාවේ දේශපාලන ගේම් ගහපු අයෙකි.
"පැකර්ගේ තාත්තා දන්නවා දේශපාලනඥයන් වශී කරන හැටි. දේශපාලනඥයන් අල්ලගන්න හැටි. ඒ වගේම දේශපාලනඥයන්ට කෙළින හැටි..."
මේ පැකර් පවුල ගැන එරට මාධ්‍යවේදියකු ලියූ කතාවකි.
"එතකොට පුතා ජේම්ස් පැකර්...?"
මේ පුතා ගැන ඒ මාධ්‍යවේදියා ලියූ කතාවය.

"පුතා බොහොම ඉක්මනට තාත්තාගේ මේ කලාව ඉගෙන ගත්තා. හැබැයි ටික කාලයක් ගියා. 1994දී ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ආණ්ඩුවකින් කැසිනෝ එකක් පටන්ගන්න ලයිසන් ඉල්ලලා දුන්නේ නැති වුණාම ඔහුට කේන්ති ගියා. ඔහු ආණ්ඩුවේ ඇමැතිට දුරකතනයෙන් කතා කරල මෙහෙම කිව්ව. "වයසක මිනිහා (පැකර්ගේ පියා) මට කිව්වා උඹට කතා කරන්න කියලා. මේකයි පණිවුඩය. අපිට ලයිසන් එක දුන්නේ නැත්නම් උඹලව අපි කම්බස් කරනවා..."
මේ පැකර්ගේ හැටිය. පැකර් ලංකාවේ ලයිසන් එක ගන්නත් මහින්දගේ ආණ්ඩුවට හොඳට කඩේ ගියේය. පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ලංකාවේ තියන්න ඕස්ට්‍රේලියාව කැමැති කර ගන්න ඔහු ගේම ගැහුවේය. එසේම ඕස්ට්‍රේලියානු අගමැති ඇබට්ව පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට ගෙනියන්නත් ඔහු බැහැලම ගේම ගැහුවේය. පොදුරාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සමුළුවට ආ පැකර් ලංකාවේ බය නැතිව සල්ලි ආයෝජනය කරන්න කියල පොදුරාජ්‍ය මණ්ඩල ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේය. ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති කෙවින් රඩ්ට පහර ගහමින් වත්මන් අගමැති ටෝනි ඇබට්ව නග්ගමින් ඔහු අගමැති එක්ක ජපානයේ, චීනයේ, දකුණු කොරියාවේ රවුම් ගහන්නේ කැසිනෝ රාජධානිය ආසියාවේ ව්‍යාප්ත කරන්නටය.
ඔහු ඇබට්ව පාවිච්චි කරලා පොදුරාජ්‍ය මණ්ඩලය හරහා ලංකාවටත් බැල්ම දැම්මේය. ඒත් ඔහුට වැඩේ වැරැදුනි. වැඩේ වැරැද්දුවේ ආණ්ඩුව ඇතුළෙන්මය.
"මම උඹලාව කම්බස් කරනවා..."
පැකර්ට මහින්දට එහෙම කියන්න බැරිය. හැබැයි කැසිනෝ පනතට ඡන්දය විමසපු දින පාර්ලිමේන්තුවට ආපු නැති 48 දිහා බලනකොට මහින්දගේ ආණ්ඩුව කම්බස් වෙන පාටක් පෙනෙයි.

"75 වගේ කැසිනෝ පනතින් සන්ධානය කැඩෙයිද?"
"මේ 48 දෙනා ඊළඟ ජනාධිපතිවරණයේදී මහින්දගේ කකුලෙන් ඇද්‍ෙදාත් කොහොමද...?"
"ඡන්දය දවසේ සභාගැබට නොආවා වගේ ඡන්දෙට ආසනේට නොගිහින් හිටියොත් කොහොමද...?"
මේ ගැන තාමත් මුකුත්ම කියන්න බැරිය. හැබැයි යන යකා කොරහත් බිඳගෙන යනවා කියන්නා සේ පැකර් ගිහින් තියෙන්නේ ආණ්ඩුව කම්බස් කරගෙනය.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

No comments

Powered by Blogger.