Open top menu
Wednesday, May 7, 2014

ඊයේත් (07 දා) පොලිසිය ගැන ලියූ අපට අදත් පොලිසිය ගැන ලියන්නට සිදුව තිබේ. පෙරේදා අලුයම කුරුණෑගල නගරයේ රාජකාරි කළ කොස්‌තාපල්වරුන් දෙදෙනකු පැහැරගෙන ගොස්‌ දෙදෙනාම නිරුවත් කර, එක්‌ අයකුට වෙඩි තබා මරා දමා ඇත. අනෙක්‌ කොස්‌තාපල් මරණය දැක දැක පැනගොස්‌ තිබේ. ඔහු විලි වසා ගෙන ඇත්තේ ගෙයකින් සරමක්‌ ඉල්ලා ගෙන ය. දෙදෙනාම රාජකාරිය සඳහා ගොස්‌ ඇත්තේ ගිනි අවි නැතිව ය. පොලිසියට පිස්‌තෝල හත්දහසක්‌
නිකුත් කිරීමට රජය පසුගියදා තීරණය කළ අවස්‌ථාවේදී සිවිල් සමාජය නමැති සත පහකට වැඩක්‌ නැති දීන සමාජයේ නියෝජිතයන් යයි කියා ගත් බහුජන සංවිධාන රැසක්‌ එම තීන්දුවට එරෙහිව ඔලුවෙන් සිට ගත්හ. ලංකාව පොලිස්‌ රාජ්‍යයක්‌ බවට පත් කිරීමට උත්සාහයක්‌ තිබෙන බව කියමින් උගත්තු හඬා වැළපුනාහ. රතිඤ්ඤයක්‌ පත්තු වූ විට පවා මුලින්ම දිවගොස්‌ ඇඳ යටට රිංගන්නේ මේ උගත්තු ය. පිස්‌තෝලවල වටිනාකම දැන්වත් නො පෙනේද? දෙකෝටියක්‌ ජීවත් වන රටක පිස්‌තෝල හත්දහසකින් පොලිස්‌ රාජ්‍යයක්‌ ඇති කළ නො හැක. එසේම ආයුධ ලක්‍ෂ ගණනක හමුදා රාජ්‍යයකට වඩා පිස්‌තෝල හත්දහසක පොලිස්‌ රාජ්‍යයක්‌ හොඳ ය. වසර 2000 - 2002 අතර කාලයේදී පැවැති සටන් විරාම කාලයේ දී කන්කසන්තුරේ සහකාර පොලිස්‌ අධිකාරි ලක්‍ෂ්මන් කුරේ නමැති පාපතරයා විසින් කොටි සංවිධානයට පාවා දෙන ලදුව (කුරේ තවමත් හිරේ ය) දස වධ දී මරා දමන ලද යාපනේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චාල්ස්‌ විඡේවර්ධන ගැන මේ මොහොතේ දී අපට සිහිපත් වෙයි. චාල්ස්‌ විඡේවර්ධන ඝාතනය කළේ කොටින් විසින් මොට්‌ට ආයුධවලින් පහර දී, ඒවායින් අනිනු ලැබ ය. මෙබඳු විටෙක මරණය අතිශයින් ම වේදනා සහගත ය. යුද සමයේදී ප්‍රභාකරන් විසින් නැඟෙනහිර පළාතේ නිරායුධ පොලිස්‌ නිලධාරීන් හත්සියයක්‌ මැරූ හැටි මෙහිදී සාකච්ඡා නොකරමු. මන්ද අපි ඊයේත් (07 දා) එය සාකච්ඡා කළෙමු.

නිල ඇඳුමින් සිටින කොස්‌තාපල් කෙනෙකුට හෝ හමුදා සෙබළකුට අත තැබීම හොඳ සිහියෙන් සිටින පුතකුට කළ හැකි වැඩක්‌ වන්නේ නැත. මන්ද, රිටර්න් එක ඉතාම දරුණු ය. හෝටලයක්‌ තුළ ප්ලේන්ටි එකක්‌ සම්බන්ධයෙන් ඇති කර ගත් ප්‍රශ්නයක්‌ නිසා හමුදා ට්‍රක්‌ රථ දෙකක්‌ පුරවා පැමිණි රණවිරු කැළ කඩයක්‌ සමතලා කළ හැටි අපි අසා ඇත්තෙමු. කෝප ගැන් වූ කල පොලිසියේ තත්ත්වය ද මෙසේම ය.

කුරුණෑගල පොලිස්‌ කොස්‌තාපල් ඝාතනය කිරීමට සන්නද්ධ පිරිස පැමිණ ඇත්තේ වෑන් රියක ය. සන්නද්ධ කණ්‌ඩායම් වෑන් රථවල නැඟී රාත්‍රි කාලයේදී එහා මෙහා සංචාරය කරන්නේ නම් එය මහත් වුවමනාවෙන් විමසා බැලිය යුතු තත්ත්වයකි. 88 - 89 භීෂණ යුගය ප්‍රතිවාදනය කර පෙන්වීමට කිසියම් පිරිසකට වුවමනා වී තිබේ ද? මේ රටේ ඔය කියන තරම් ලොකු පාතාලයක්‌ නැත. පාතාලය යනු එක දහය කර පෙන්වන ෂෝ එකකි. මේ ෂෝ එක දිහා සමස්‌ත සමාජයම සන්ත්‍රාසයෙන් බලා හිඳින අතර, ගෙවල් බිඳීම, මං පැහැරීම, බැංකු කැඩීම, කුඩු ප්‍රවාහනය යනාදිය ඉතා නිදහසේ කළ හැකි ය. මිනිස්‌සු වුවමනාවට වඩා බියෙන් පසුවෙති. පාරේ යන බිය නමැති සාධකය රැගෙන ගෙදර සාලය මැද තබා ඇඳි වත ගලවා එයින් හිස වසාගෙන කෑ ගැසීමේ ප්‍රවණතාවක්‌ පෘථග්ජනයාට තිබේ. අපරාධ මර්දනය සඳහා ජනතාව ද සංවිධානය විය යුතු කාලය පැමිණ තිබේ. මෙය ග්‍රීස්‌ යකා ඇල්ලීම සඳහා සංවිධානය වූ මෝඩ ආකාරයට නොව යථාර්ථවාදීව විය යුතු සංවිධානයකි.

divaina -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts