Open top menu
Saturday, May 10, 2014

ප‍්‍රභාකරන් පරාජය කිරීමත් සමග නොසෙල්වන ගල් පර්වතයක තත්ත්වයකට පත්ව තිබූ ආණ්ඩුව පසුගිය පළාත් සභා ඡුන්දයත් සමග දියවෙන හිම කන්දක් බවට පරිවර්තනය වී නම් පැකර්ගේ ව්‍යාපෘතියට අදාළ පනත් සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡුන්ද විමසීමෙන් පසු එම හිම පර්වතය අසාමාන්‍ය තරමේ වේගයකින් දියවී යන හිම පර්වතයක් බවට පත්ව ඇතැ’යි කිව හැකිය. මෙම ඡුන්ද විමසීම් පැවැත්වෙන දින දෙකේ ආණ්ඩු පක්ෂයේ සියලූ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවට සහභාගිවීම ජනාධිපතිවරයා විසින් අනිවාර්ය කර තිබුණි. පළමු දිනයේදී පක්ෂව ඡුන්දය පාවිච්චි කළේ 113කු පමණය. බැලූ බැල්මට පෙන්නුම් කළේ 160කට ආසන්න පාර්ලිමේන්තු බලයක් තිබූ ආණ්ඩුව එක් වැඩි ඡුන්දයක් පමණක් තිබෙන ආණ්ඩුවක තත්ත්වයට පත්ව තිබෙන බවය. ඊළඟට ඇතිවූ බිහිසුණුම දේ වනුයේ ඊළඟ දිනයේ පැවති ඡුන්ද විමසීම් දෙකේද පක්ෂව ලැබෙන ඡුන්ද සංඛ්‍යාව 112ක් හා ඉන්පසු 109ක් දක්වා පහත බැසීමය.

ගරිල්ලා ප‍්‍රහාරයක්!

ජනාධිපතිවරයාට සිය මන්ත‍්‍රීවරුන් කෙරෙහි පාලනයක් තිබුණේ නම් පළමු දිනයේ පෙන්නුම් කළ දුර්වල තත්ත්වය ස්වාභාවික තත්ත්වයක් නොවන බව පෙන්නුම් කිරීම සඳහා දෙවැනි දිනයේදී පක්ෂව ඡුන්දය දෙන්නන්ගේ සංඛ්‍යාවේ විශාල වර්ධනයක් පෙන්නුම් කළ යුතුව තිබුණේය. දෙවැනි දිනයේදී පක්ෂව ලැබෙන ඡුන්ද සංඛ්‍යාවේ පහළයෑම තවදුරටත් ඉහළයෑමෙන් පෙන්නුම් කෙරෙන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බවය.

ඉන් පෙනෙන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම එල්ල වන හදිසි ගරිල්ලා ප‍්‍රහාරයකට හසුවී තිබෙන බවය. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතර ජනාධිපතිට කැමති නැති පිරිසක් සිටියේය. ඔවුන් සාමාන්‍යයෙන් සැලකුණේ කරදරකාරයන් හෝ කඩාකප්පල්කාරයන් ලෙසය. ඒ ගණයට නොවැටුණු අන් සියලූදෙනා සැලකුණේ අඩු වැඩි වශයෙන් හොඳ හා විශ්වාසදායක මන්ත‍්‍රීවරුන් වශයෙනි.

එහෙත් එම ඡුන්දයේදී කරදරකාරයන් හෝ කඩාකප්පල්කාරයන් ලෙස සැලකුණ සියලූ දෙනා එම පනත්වලට ඡුන්දය පාවිච්චි කළේය. පුදුමයට මෙන් ඡුන්දයදීමෙන් වැළකී සිටි අයගේ ගණයට අයත් වූයේ ඊට පෙර විශ්වාසය තැබිය හැකි ගණයට අයත්ව සිටි මන්ත‍්‍රීවරුන් පිරිසකි. එම තත්ත්වය ජනාධිපතිවරයා අන්දමන්ද නොකිරීමට හේතුවී නම් එය පුදුමයකි. පෙනෙන සතුරන්ට අතිරේකව නොපෙනෙන හතුරන්ද විශාල පිරිසක් ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතර සිටින බවට පළමුවරට ජනාධිපතිවරයා දැනගන්නට ඇත්තේ එදාය. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවකදී විය යුතුව තිබුණේ හතුරන් ලෙස සැලකුණු පිරිස ඡුන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමය. එහෙත් එහිදී සිදුවූයේ හංවඩු ඇති අය ආණ්ඩුවට පක්ෂව ඡුන්දය පාවිච්චි කිරීම හා හංවඩු නැති අය ඡුන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමය. මෙම නාටකය මුළුමනින්ම නොවෙතත් කිසියම් ප‍්‍රමාණයකට හෝ සැලසුම් කොට රඟදක්වන්නක් වී නම් කොතරම් බලය තිබුණත් ජනාධිපති ආණ්ඩුව තුළ අනාරක්ෂිත හා ඉතා අසරණ තත්ත්වයකට පත්ව සිටින බව ඉන් පෙන්නුම් කරයි.

එවැනි අභ්‍යන්තර ගරිල්ලා ප‍්‍රහාරයකට ලක්වූ ඕනෑම පාලකයකු ඔහු කොතරම් බලවත් පාලකයකු වුවද හොඳ සිහිය හා ආත්ම විශ්වාසය අහිමි කරගත් අන්දමන්ද තත්ත්වයකට පත්වීම නොවැළැක්විය හැකිය. එය අවසානයක ආරම්භය සංකේතවත් කරන ඉතාමත් විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
පාලකයා තුළ ඇතිවන අන්දමන්දභාවය පාලකයාට සමීපම කණ්ඩායම කෙරෙහිත්, ඉන්පසු දුරස්ත කණ්ඩායම් කෙරෙහිත්, ඊටත් පසුව මහජනයා කෙරෙහිත් බලපායි. සමහර සමීපයන් තුළ ඇතිවූ අන්දමන්දභාවය දැනටමත් ඔවුන් ප‍්‍රදර්ශනය කරන තැනකට පත්ව ඇතැ’යි කිවහැකිය.

ජනාධිපති පේ‍්‍රමදාස ඉතා බලවත් පාලකයකු විය. රාජ්‍යයේ දැති රෝදය කෙරෙහි පමණක් නොව හැම ඉස්කුරුප්පු ඇණයක් කෙරෙහි පවා ඔහුගේ අණසක බලපෑවේය. ඔහුගේ සමීප කණ්ඩායම ඔහු ගැන සිතුවේ නොසෙල්විය හැකි බලවත් පාලකයකු වශයෙනි. තමන්ට එරෙහිව කෙඳිරිගාන කිහිපදෙනකු සිටියත් තමන්ට එරෙහිව අභ්‍යන්තරයෙහි බලවත් කැරැුල්ලක් මතුවනු ඇතැ’යි කියා ඔහු විශ්වාස නොකළේය. එහෙත් තමන්ට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් කතානායකවරයාට භාරදී ඇති බව දැනගත් විට ඔහු අන්දමන්ද තත්ත්වයකට පත්විය. ඔහු දෝෂාභියෝගය ජයගත්තද එදා ඇතිවූ අන්දමන්දභාවය මැරෙන තෙක්ම ජයගැනීමට අසමත් විය. ඔහුගේ අසහාය බව අවසන් වූයේ ඒ අන්දමන්දභාවය ඇතිවූ මොහොතේ සිටය.
දේශපාලන අර්ථයෙන් ගත්විට ජනාධිපතිවරයා දැන් ඉන්නේ ලොකු සුළි සුළඟකින් නොව පුංචි මඳ සුළඟකින් වුවත් කඩා වැටිය හැකි අබල දුබල තත්ත්වයකය. අභ්‍යන්තරික වශයෙන් පමණක් නොව බාහිර වශයෙන්ද දුබලය. ජනාධිපතිවරයා හිමිකරගෙන තිබුණු ජනප‍්‍රියතාවද වේගයෙන් වාෂ්ප වී යන තත්ත්වයක් ඇතිවී තිබේ.

යෝධයකුගේ අඟුටුමිටි දැක්ම

ප‍්‍රභාකරන්ගේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කිරීමත් සමග මහජනයා ජනාධිපතිට ඕනෑවට වඩා ආදරය කළේය. ජනාධිපති කෙරෙහි ඕනෑවට වඩා බලාපොරොත්තු ඇතිකරගෙන තිබුණේය. ඔවුන්ට ජනාධිපති පෙනුණේ දේශයේ ගැලවුම්කාරයා වශයෙනි. ජනාධිපති යුද්ධයෙන් හිමිකරගත් ජයග‍්‍රහණය අන් සියලූ නායකයන් අඟුටුමිට්ටන් කොට ජනාධිපති පමණක් මහා යෝධයකු බවට පත් කළේය. එහෙත් ඒ යෝධයාට යෝධ දැක්මක් නොතිබුණේය. ඒ වෙනුවෙන් තිබුණේ අඟුටුමිට්ටෙකුට තිබෙන දැක්මකි. එම පරස්පරය ඔහුගේ ඉදිරි ගමන අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවීයැ’යි කිව හැකිය.

ඔහුට ප‍්‍රභාකරන් පරාජය කිරීමට අවශ්‍ය නිර්භීතභාවය තිබුණේය. ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය පරාජය කිරීම මගින් ඔහු වැදගත් ඓතිහාසික කාර්යභාරයක්ද ඉටු කළේය. එහෙත් ඔහු ප‍්‍රභාකරන් පරාජය කළේ ගණන්කාරයෙකු තවත් ගණන්කාරයෙකු පරාජය කරන ආකාරයට මිස රාජ්‍යතාන්ත‍්‍රිකයකු එය කරන ආකාරයට නොවේ. ඔහු රට පාලනය කළේද ගණන්කාර පාලකයකු රට පාලනය කරන ආකාරයට මිස රාජ්‍යතාන්ත‍්‍රිකයකු රට පාලනය කරන ආකාරයට නොවේ. ඔහු ජාත්‍යන්තරය සමග ගනුදෙනු කළේද ගණන්කාර පාලකයකු ලෙස මිස රාජ්‍යතාන්ත‍්‍රිකයකු ලෙස නොවේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නාමය ඉතිහාසයට එකතු කළ යුතුව තිබෙන්නේ කෙසේද යන ප‍්‍රශ්නය විමසා බැලෙන අවස්ථාවකදී ඔහු අතින් සිදුවී තිබෙන සියලූ පසුගාමී දේවල්වලට අතිරේකව ප‍්‍රභාකරන්ගේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ සංසිද්ධියට අතිරේකව රටේ යටිතල පහසුකම් නවීන කිරීමෙහිලා ඔහු අතින් සිදුවී තිබෙන අසමසම කාර්යභාරය සැලකිල්ලට ගනු ඇතැ’යි කිව හැකිය.

බාන්ස්ගේ අවතාරය

යටිතල පහසුකම් සංවර්ධනයෙහිලා ඇති කරන ලද ව්‍යාපෘති අතර කිසිදු ආර්ථික ඵලදායීතාවක් නැති නාස්තිකාර ව්‍යාපාරද තිබෙන්නේය. ඒ සමග යටිතල පහසුකම් නවීන කිරීම සඳහා වැය කොට ඇත්තේ විදේශ ණය වන බවද සත්‍යයකි. මෙම ව්‍යාපෘති සඳහා වැය කර තිබෙන මිල අසාමාන්‍ය තරමටම ඉහළ බව හා ඒවා තුළ විශාල ගසාකෑමක් ඇති බවද කියනු ලැබේ. ඒ සියලූ සීමාසහිතකම් තිබියදීත් බි‍්‍රතාන්‍ය යුගයෙන් පසුව සමස්ත මහා මාර්ග පද්ධතිය නවීන කෙරුණේ ඔහුගේ කාලයේදීය. අද රටේ සියලූම මහා මාර්ග කානු යොදා කාපට් ඇතුරූ නවීන මාර්ග බවට පත්කර ඇත්තේයැ’යි කිව හැකිය. බි‍්‍රතාන්‍ය යුගයේදී සර් එඞ්වර්ඞ් බාන්ස් පාරවල් ඉදිකිරීමට දක්වන ලද මහා උනන්දුවට සමාන උනන්දුවක් ඔහු මේ විෂයෙහි දක්වා ඇතැ’යි කිව හැකිය.
එහෙත් පාරවල් තැනීමෙහිලා සර් එඞ්වර්ඞ් බාන්ස් දක්වන ලද මහා උනන්දුව තුළ මෙම දිවයිනේ ආර්ථික දියුණුව සඳහා වන මහා ඉදිරි දැක්මක්ද තිබුණේය. එහෙත් යටිතල පහසුකම් නවීන කිරීමෙහිලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පෙන්නුම් කර තිබෙන මහා උනන්දුව තුළ තර්කානුකූල ආර්ථික ඉදිරි දැක්මක් තිබුණු බවක් පෙනෙන්නට නැත. නොතිබුණි. සරල දර්ශනයක් තිබුණා වුවත් ඒ තුළ තිබෙන එකිනෙක කොටස් අතර ඒකාග‍්‍රතාවක් නොතිබුණි. ඒවා අතර මහා පරස්පරභාවයක් තිබුණි. යටිතල පහසුකම් වර්ධනය කිරීමෙන් අපේක්ෂා කළේ විදේශ සංචාරක කර්මාන්ත වර්ධනය කරගැනීම හා විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීමය. එහෙත් සමහර ක‍්‍රියාකාරකම් එම දර්ශනයට පටහැනිවූ අතර සංචාරකයන් ආකර්ෂණය කරගන්නවා වෙනුවට ඔවුන් බිය ගැන්වූවේය. එසේම විදේශීය ආයෝජකයන්ද ආකර්ෂණය කරගන්නවා වෙනුවට ඔවුන්ද බියගැන්වූවේය.
පුංචි සංචාරක පුරවරයක් ලෙස සැලකිය හැකි ජනාධිපතිවරයාගේද නිවස පිහිටි තංගල්ලේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති සහචරයන් කණ්ඩායමක් සමග නත්තල් දින රාත‍්‍රියේ සංචාරක හෝටලයක නැවතුම් ගෙන සිටි කාන්තාවක් දූෂණය කොට ඇගේ පෙම්වතා ඝාතනය කළේය. බුදුපිළිමයක් සිපත්තේයැ’යි කියා ප‍්‍රංශ සංචාරකයන් තිදෙනකු රටින් පිටුවහල් කළේය. තොත්තු දීම හුදු ලිංගික ක‍්‍රියාවක් පමණක් නොව සමහර ජාතීන් ගෞරවය හා භක්තිය පුදකිරීම සඳහා යොදා ගන්නා ක‍්‍රියාවකි. ක‍්‍රිස්තුස්වහන්සේගේ පිළිරුවට සමහර ජාතීන් ගෞරවය පුද කරන්නේ වැඳීමෙන් නොව තොත්තු දීමෙනි. අතේ බාහුවේ බුදුරුවක් පච්චා කොටාගෙන පැමිණි බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කොට රටින් පිටුවහල් කිරීමේ සිද්ධිය ශ‍්‍රී ලංකාව කොහොමටත් විදේශ සංචාරකයන් සඳහා සුදුසු රටක් නොවේය කියන පණිවුඩය බලවත් ලෙස ලෝකයට ලබා දුන්්නේය. එක් අතකින් ආණ්ඩුව සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා මුළු වැර යොදා ක‍්‍රියාකරයි. අනෙක් අතට සංචාරකයන් බියගැන්වීමට හේතුවන වටාපිටාවක් පවත්වාගෙන යයි. විදේශ ආයෝජකයන් සඳහා ක‍්‍රියාත්මක වන්නේද මෙවැනි දෙබිඩි ප‍්‍රතිපත්තියකි. එම තත්ත්වය ආයෝජකයන්ගේ ඒම අධෛර්යමත් කර තිබෙනවා පමණක් නොව මෙහි සිටි පැරණි ආයෝජකයන්ද පලායන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. අනියම් ආයෝජනවල පලායෑම වේගවත් මුහුණුවරක් ගෙන ඇතැ’යි ද කිව හැකිය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යටිතල පහසුකම් වැඩපිළිවෙළ මේ මොහොතේ ආර්ථික වශයෙන් ඵලදායී නොවනවා විය හැකි වුවද ඊළඟට බලයට පත්වන පාලකයා ප‍්‍රඥාවන්ත කෙනෙකු වේ නම් යටිතල පහසුකම් නගා සිටුවීමේ ප‍්‍රශ්නය ගැන කරදර නොවී ඉතා සංකීර්ණ විය හැකි වුවත් විශාල වියදමක් දැරීමට අවශ්‍ය නොවන විසඳිය යුතුව තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්න දෙක ලෙස සැලකිය හැකි ඉරි තැලී තිබෙන ජාතිය ප‍්‍රතිසන්ධානය කිරීම හා මජර ගලන තරමට කුණුවී තිබෙන ආයතන ක‍්‍රමය ප‍්‍රතිසංවිධානය කිරීම යන ප‍්‍රශ්න දෙකට පූර්ණ අවධානය යොමු කිරීමේ හැකියාව ඔහුට ලැබෙනු ඇත.

වැඩ වරද්දා ගැනීම

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වැඩ වරද්දාගත් කේන්ද්‍රීය තැන ලෙස සැලකිය හැක්කේද එතැනය. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවති කෙළවරක් නැති ලේ වැගිරීම් හා ඒ නිසා රටේ රජ කළ අශීලාචාර වටාපිටාව නිසා බිහිසුණුම විනාශය සිදුවී තිබුණේ මිනිසුන්ටය. ඊළඟට ආණ්ඩුක‍්‍රමයට ඒ යටතේ ස්ථාපිත කර තිබූ ආයතන ක‍්‍රමයන්ටය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මිනිසුන්ට ඇතිව තිබුණු මහා විනාශය හා ආණ්ඩුක‍්‍රමයට හා ආයතන ක‍්‍රමයට ඇතිව තිබූ මහා විනාශය යන මහා සාධක දෙක මුළුමනින් නොසලකා පූර්ණ අවධානය යොමුකළේ බිඳවැටී තිබුණු යටිතල පහසුකම්වලටය.

ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය පරාජය කිරීම නිවැරදිය. එහෙත් තමන් අතින් පරාජය වූයේ දේශයේම තරුණ ජන කොටසක් මිස විදේශීය ආක‍්‍රමණික හමුදාවක් නොවන බව ජනාධිපතිවරයා තේරුම්ගත යුතුව තිබුණේය. අනෙක් අතට ත‍්‍රස්තවාදී මාවත තෝරාගත්තේ දෙමළ තරුණයන් පමණක් නොවේ. කලක් සිංහල තරුණයන්ද ඒ මාවතේ ගියේය. ප‍්‍රඥාවන්ත පාලකයකු වී නම් යුද්ධය අවසන් කරන මොහොතේදී මේ දෙවර්ගයට අයත් තරුණයන් යක්ෂාවේෂවී ක‍්‍රියාකරන තැනකට තල්ලූවූයේ ඇයිද යන්න බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුව තිබුණි. එසේ වී නම් ශ‍්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ නියම අක්මුල් තේරුම් ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි.

යුද්ධය අවසානයේ අනාථභාවයට පත්ව සිටි දෙමළ ජනයා යළි පදිංචි කිරීමෙන්, අත්අඩංගුවේ සිටි තරුණ තරුණියන් පුනරුත්ථාපනය කිරීමෙන්, ත්‍රෛභාෂික ප‍්‍රතිපත්තියක් ඇති කිරීමෙන් හා ඒ ප‍්‍රදේශවල බිඳ වැටී තිබුණු යටිතල පහසුකම් නගා සිටුවීමෙන් පමණක් දෙමළ වාර්ගික ප‍්‍රශ්නය අවසන් කළ නොහැකි බව තේරුම් ගතයුතුව තිබුණි. අපි ඔවුන්ට සලකා තිබුණේ සමාන මනුෂ්‍ය ගෞරවය ඇති මිනිසුන් පිරිසක් වශයෙන් නොව දෙවැනි පන්තියේ පුරවැසියන් පිරිසක් ලෙසය. ඔවුන්ගේ තරුණ පරපුර තෝරාගත් මාවත වැරදි හා සාහසික වුවත් එවැනි අන්තවාදී තත්ත්වයකට තල්ලූ කළේ අපය. අප අතින් ඔවුන්ට සිදුවී තිබෙන වැරදි බරපතළය. අප ඔවුන්ගෙන් සමාව ගන්නා අතර ඔවුන්ට අහිමි කර තිබෙන ගෞරවය ආපසු දිය යුතුය. ප‍්‍රතිසන්ධානය යථාර්ථයක් බවට පත්වන්නේ එවිටය.

සිවිල් යුද්ධයකින් පසු පරාජය කරනු ලැබූ ජනතාවක් ජයග‍්‍රාහී යුද හමුදාවකට භාරදීම තරම් අමනෝඥ වැඩක් තවත් තිබිය නොහැකිය. ප‍්‍රමාද වී හෝ උතුරු පළාත් සභාව සඳහා මැතිවරණයක් පැවැත්වීම හොඳ දෙයකි. ඒ හොඳ දෙයින් පවා ලබාගත යුතුව තිබුණු හොඳ ප‍්‍රතිඵල ලබාගැනීමට අවශ්‍ය ඉදිරි දර්ශනයක් ජනාධිපතිවරයාට නොතිබුණේය. ප‍්‍රභාකරන්ගේ ආධිපත්‍යය පැවති මුළු කාලය තුළම ජාතික ගීය ගායනා කිරීම තහනම් කර තිබුණි. දෙමළ ඩයස්පෝරාවේ සමහර සාමාජිකයන් ලංකාව කෙරෙහි ඇති කරගත් කෝපයෙන් යුරෝපයේ වීථි බසිමින් සිටින අවස්ථාවකදී දෙමළ සන්ධානයේ සමුළුව ආරම්භ කරන ලද්දේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීමෙනි. ප‍්‍රභාකරන්ගේ කාලයෙන් පසුව දෙමළ නිල උත්සවයකදී ජාතික ගීය ගායනා කළ පළමු අවස්ථාව එය විය. අපේ ජාතික ගීය එක්සත් ජාතියක් මූර්තිමත් කරන්නක් නොවූවත් එම ගීතය දෙමළ භාෂාවෙන් ගායනා කරවීම මගින් දෙමළ නායකයා සිංහල ජාතියට දුන්නේ සංකේතාත්මක පණිවුඩයකි. ඒ පණිවුඩය තේරුම් ගැනීමට අවශ්‍ය ප‍්‍රඥාව ජනාධිපතිට නොතිබුණේය.

උතුරු පළාතේ මහ ඇමතිකමට පත් විග්නේශ්වරන්ගේ දරු දෙදෙනාම විවාහ වී තිබුණේ සිංහලයන් සමගය. ඔවුන් එසේ කර තිබුණේ බරපතළ ගැටුම් නොතිබුණු අතීතයේදී නොව බරපතළ ගැටුම් තිබුණු කාලයේදීය. එවැනි පුද්ගලයෙකු උතුරේ මහ ඇමති වූ විට මොළේ ඇති ජාතියක් නම් සිංහලයන් ඒ ගැන සතුටු විය යුතුව තිබුණේය. ඔවුන් සමග සමඟියෙන් ඉදිරියට යන පිළිවෙත් අනුගමනය කරනවා වෙනුවට සිදුවූයේ ඒ සියලූදෙනාට කොටි ලේබල් ඇලවීමය.
දෙමළ ප‍්‍රශ්න අලූත් මුහුණුවරකින් වර්ධනයවෙමින් තිබූ වටාපිටාවක මුස්ලිම් ප‍්‍රශ්නයක්ද ඇතිකර ගනිමින් මුස්ලිම් ජනයාද භීතියට පත් කළේය. ඒ මගින් ප‍්‍රතිසංවිධානයක් ඇති කරගන්නවා වෙනුවට ජාතියේ ඇතිව තිබූ බෙදීම් උග‍්‍ර කරගත්තේය.

සමස්ත ආයතන ක‍්‍රමයේ ඇතිව තිබූ මහා කුණුවීම දැකීමට ජනාධිපතිවරයා අසමත් විය. යුද්ධය අවසන් වන අවස්ථාව වන විට සියලූම ආයතනවල ක‍්‍රියාකාරීත්වය හා කාර්යක්ෂමතාව උපරිම මට්ටමකට බිඳවැටී තිබුණි. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එකතු කරන බදු ආදායම පහළම තත්ත්වයකට ඇද වැටීම නිසා ආණ්ඩුව ඒ අඩුව සපුරාගත්තේ මහජනයා පරිහරණය කරන පාරිභෝගික භාණ්ඩවලට උපරිම ලෙස බදු පැනවීමෙනි. ඒ මගින් බදු ගෙවිය යුතු ජනතාව බදු ගෙවීමෙන් වැළකී සිටින්නට ඉඩ හැර බදු නොගෙවිය යුතු දුප්පත් ජනයා අනියම් ලෙස බදු ගෙවන ජනතාවක් බවට පත් කළේය. එය මහජනයා පීඩාවට පත් කරන මහා සාධකයක් ලෙස ක‍්‍රියා කළේය. සමස්ත ආයතන ක‍්‍රමයම එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට ඇද වැටී තිබුණේ මේ සමාන තත්ත්වයකටය. ගමන් බලපත‍්‍ර සඳහා පවත්වාගෙන යන දෙපාර්තමේන්තුව ඇද වැටී තිබෙන තත්ත්වය ඒ සඳහා දැක්විය හැකි තවත් නිදර්ශනයකි. ගමන් බලපත‍්‍රවල විශ්වාසදායකත්වය පිළිබඳව අලූතෙන්ම ජාත්‍යන්තර වශයෙන් කර තිබෙන වර්ග කිරීමක් අනුව විශ්වාසදායකත්වයේදී ශ‍්‍රී ලංකාවේ ගමන් බලපත‍්‍ර තිබෙන්නේ ලෝකයේ 93 වැනි ස්ථානයේය. එහි මුළු ලෝකයටම තිබුණේ ස්ථාන 94ක් පමණය.

සියලූම ආයතන ක‍්‍රම අතර තිබෙන වැදගත්ම හා ප‍්‍රමුඛම ආයතන ක‍්‍රමය ලෙස සැලකිය හැකි අධිකරණය තිබෙන්නේ විශ්වාසදායකත්වයේදී පහළම තැනකය. විශාල පරිහානියට ලක්ව තිබූ අධිකරණය සම්බන්ධයෙන් අනුගමනය කළ අමනෝඥ ප‍්‍රතිපත්ති අධිකරණයේ පරිහානිය උපරිම කොට රට නීතියක් නැති එක්තරා ප‍්‍රමාණයකට අරාජිකත්වට තල්ලූ කරනු ලැබූ රටක් බවට පත් කළේය.

අපනයනය සඳහා භාණ්ඩ නිපදවීම හා ඒ සඳහා කෙරෙන වෙළෙඳාම රටේ ඉතා වැදගත් ආර්ථික මාර්ගයක් වනවා සේ ම රටේ ආර්ථික දියුණුව සඳහා තිබෙන ප‍්‍රධානතම මාර්ගය ලෙසද සැලකිය හැකිය. ආණ්ඩුව අපේ අපනයන නිෂ්පාදනයක් මිලදී ගන්නා ප‍්‍රධාන රටවල් සමග රණ්ඩු කරන තැනකට යමින් ඒ මාර්ගයේ තිබුණු ඉදිරි ගමනද අඳුරු කරගත්තේය.

සංක‍්‍රාන්ති කාලය

යටිතල පහසුකම් විෂයෙහි නොකඩවා කෙරෙන සංවර්ධනයක් පවතී. ඒ සඳහා කෙරෙන ආයෝජකයන්ගේ ප‍්‍රමාණයද ඉතා විශාලය. ඒ සඳහා වැය කෙරෙන්නේ පොලියට ලබාගත් විදේශ ණය මුදල්ය. යටිතල විෂයෙහි මහා පරිමාණයෙන් කෙරෙන වැඩ කටයුතු නිසා බැලූ බැල්මට පෙනෙන සංවර්ධනයක් ඇතත් රටේ ආර්ථිකය තිබෙන්නේ ශක්තිමත් තැනක නොව දුබල තැනකය. ආණ්ඩුවේ දෛනික කටයුතු පවත්වාගෙන යන්නේ අමාරුවෙන් ගැට ගසාගෙන යන තත්ත්වයකය. පොහොර සහනාධාරය සඳහා පොහොර සමාගම්වලට ගෙවිය යුතු මුදල් අවුරුදු ගණනකින් ගෙවා නැත. විශ‍්‍රාම යන අයගේ ප‍්‍රසාද දීමනා පවා ගෙවන්නට බැරි තත්ත්වයක් ඇතිවීම නිසා එම ගෙවීම් කිරීමේ වගකීම රාජ්‍ය බැංකුවල වගකීමක් බවට පත්කර තිබේ. දැන් විශ‍්‍රාමිකයන්ට සිය ප‍්‍රසාද දීමනා ලබාගන්නට සිදුවී තිබෙන්නේ බැංකුවෙන් ලබාගන්නා ණය මුදලක් වශයෙනි. දියුණුවීමට අපේක්ෂා කරන රටක් ලොකුම ප‍්‍රමුඛතාව දෙන්නේ මානව සම්පත් සංවර්ධනය සඳහා වුවත් අද අප ඉන්නේ ඒ සඳහා කරන වියදම් නොකඩවා කපාහරින තැනකය.
බාහිර වශයෙන් පෙනෙන ආටෝපයක් ඇතත් හැම දෙයක්ම තිබෙන්නේ නරකතැනකය. හැම අංශයකම ක‍්‍රමවත් හා යහපත් පාලනයක් වෙනුවට දකින්නට තිබෙන්නේ හිතුවක්කාරී මහජනයා රැුවටීම අරමුණු කරගත් පාලනයකි. දේවල් සිදුවෙමින් තිබෙන්නේ කොයි මොහොතක හෝ මහා පිපිරීමක් ඇතිවිය හැකි ආකාරයටය.

ශ‍්‍රී ලංකාව දැන් තිබෙන්නේ එක් අශීලාචාර යුගයක් අවසන් කොට වඩා ශීලාචාර නව යුගයක් කරා පරිවර්තනය වෙන සංක‍්‍රාන්ති අවස්ථාවකය. විලිබරතා පැහැදිලිව පෙනෙන්නට ඇතත් නව උත්පත්තිය ඇතිවන්නට යන්නේ කවර ආකාරයකටද යන්න තවමත් පැහැදිලි නැත. අවසාන විග‍්‍රහයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජේ.ආර්. ඇති කළ අවලස්සන අවිධිමත් හා දූෂිත දේශපාලන ක‍්‍රමයක් ලෙස සැලකිය හැකි විධායක ජනාධිපති ක‍්‍රමයේ අන්තිමයා වන්නට යන බව නම් ඉතාමත් පැහැදිලිය. තුන්වැනි ධුර කාල සිහිනය සැබෑ කරගත නොහැකි සුන්දර සිහිනයක් පමණක් වීමද නොවැළැක්විය හැකිය.
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts