Open top menu
Friday, May 9, 2014

කන්ද උඩරට රජකම් කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ විනෝදකාමියෙකි. ස්ත්‍රී ලෝලියෙකි. "සෙල්ලම් නිරිඳු" නාමය රජුට පටබැඳුණේ ඒ නිසාය. රූමත් ස්ත්‍රිය දුටුවිටෙක ඔහුට රජකමද අමතක වී යන්නේය.

අපේ ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාද සෙල්ලම් නිරිඳු මෙන් විනෝදකාමී ස්ත්‍රී ලෝලියකු බව ඔහුගේ ප්‍රකාශවලින් හැඟෙයි. විනෝදය හමුවේ ඔහුට සියල්ල අමතක කර දැමිය හැකිය. දින හතකට දුම්රිය අනතුරු හතරක් නොව දිනකට එක බැගින් අනතුරු සිදුවුවද ඔහුට කමක් නැත. එහෙත් අනතුරක් සිදුවූ වහාම සියලු
සෙල්ලම් පසෙක දමා එතුමා සරමේ කොනක් එක අතකින් උස්සාගෙන අනතුර වූ තැනට නිල රථයෙහි නැඟී ඉගිළයයි. සිදුවී ඇති විනාශය සියැසින්ම දැක බලා ගනී. ගේට්ටු යොදා නැති දුම්රිය හරස් මාර්ගයක සිදුවූ අනතුරක් නම් වහාම ගේට්ටුවක් සවි කිරීමට නිලධාරීන්ට උපදෙස් දෙයි. දුම්රිය අනතුරක් වූ විට සිද්ධියට හේතුව සොයා බැලීමට කමිටුවක් පත්කිරීමට වහාම නියෝග කරයි. ඇමැතිවරයාගේ කාර්යක්‍ෂමතාව ගැන සතුටු නොවී සිටිය හැකිද?

පැරැණි රජ දවස රජවරු යටත්වැසියන්ගේ දුක සැප සොයා බැලීමට වෙස් වළාගෙන රහසේ රට තොට ඇවිද ගියාසේ ප්‍රවාහන ඇමැතිවරයාද සුදු සරමකින් හා කමිසයකින් සැරැසී උදෑසන කාර්යාලයීය දුම්රියේ නැඟී හෝ බස් රථවල නැඟී හෝ මගී ජනතාවගේ ප්‍රශ්න දැන කියා ගැනීමට යයි. ඇමැතිවරයා මගී ජනතාවගේ ප්‍රශ්නවලට කන්දෙන අයුරු මාධ්‍ය මඟින් රටම දැනගනී.

අසල්වැසි ඉන්දියාව වැනි රටවල සිටින්නේ දුම්රිය අනතුරක් වූ විට ඉල්ලා අස්වන ඇමැතිවරුන්ය. දුම්රියක් පීලි පැන්න පමණින් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා නම්, දුම්රිය දෙකක් මුහුණට මුහුණලා හැපුණු විට ඇමැතිධූරයෙන් පමණක් නොව මන්ත්‍රි ධුරයෙන්ද ඉල්ලා අස්විය යුතුය. එවැනි ගොන්පාට් අපේ ඇමැතිවරුන් කරනවා තබා ඒ ගැන හීනෙකින් හිතන්නේවත් නැත. නිතර නිතර දුම්රිය දෙකක් එක පීල්ලේ ධාවනය වීම, රියැදුරකු රහිතව දුම්රිය එන්ජිමක් ධාවනය වීම වැනි ආශ්චර්යවත් දේ සිදුවෙද්දී ඇමැතිවරයා ඉල්ලා අස්වී කොහොමද? අනෙක ඉතිහාසයේ කිසිදු ප්‍රවාහන ඇමැතිවරයකු දුම්රිය අනතුරක් හෝ බස් රථ අනතුරක් හෝ නිසා ඉල්ලා අස්වී නැත. ඒ අනුව යමින් කටයුතු කිරීම වැරැද්දක් යැයි කාට කිව හැකිද? බස්රිය අනතුරක් වූ විට බස් අයිතිකාරයා වගකීම භාරගන්නේ නැත. ඒ නිසා ප්‍රවාහන ඇමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි කීම නරුම කතාවකි. කලකට ඉහත ප්‍රවාහන ඇමැතිවරියක් දුම්රියපොළකට ගොස් වේදිකාව අතුගෑ හැටි අපට මතකය. මේ ප්‍රවාහන ඇමැතිවරයා එවැනි බොළඳ වැඩ කරනවා තබා එවැනි දෑ ගැන සිතන්නේවත් නැත.

යතුරුපැදියේ සිට දුම්රිය එන්ජිමක් දක්වා ඕනෑම රථ වාහනයක් පැදවීමට ඇමැතිවරයාට හැකියාව ඇත. ගුවන් යානා පැදවීමට එතුමාට හැකි දැයි අප දන්නේ නැත. හිතුවොත් ඇමැතිවරයා එයද කරනවා සහතිකය. වාහනයේ කාබියුරේටරයෙන් රිංගා සයිලන්සරයෙන් එළියට ඒමට තමන්ට හැකි යැයි ප්‍රවාහන ඇමැතිවරයා වරෙක පවසා තිබිණි. ඒ නිසා එතුමාගේ ඇස් වසා 'ප්‍රවාහනයේ' කිසිවක් කිරීමට කිසිවකුටත් ඉඩක් නැත. රියැදුරකු නැතිව දුම්රිය එන්ජිමක් මාලිගාවත්තේ සිට ගාල්ල දෙසට ධාවනය වීම භූතයකුගේ වැඩක් විය හැකි යැයි එතුමා කියා සිටියේ ඒ නිසා විය හැකිය.

ප්‍රවාහන ඇමැතිවරයා ඇතුළු අපේ ඇමැතිවරුන් ටික නොවන්නට මේ රටට සුපුරුදු පරිදි නැඟෙනහිරින් හිරු පායනවා බොරුය. දුම්රිය දෙකක් එක පීල්ලේ හරි දුවන්න ප්‍රවාහන ඇමැතිවරයා සිටිය යුතුමය. එතුමා ඇමැතිකම හැර ගියොත් ප්‍රවාහනයට මොකකින් මොකක් වේදැයි දන්නේ දෙයියන් පමණි. දුම්රියේ ගමන් ගන්නා, මගීන්ට මෙන්ම බස් රථවල ගමන් ගන්නා මගීන්ටද නිතර ප්‍රවාහන ඇමැතිවරයා මතක් වුවද ඔවුන් මුවින් නොබැන සිටින්නේ ඇමැතිවරයාගේ ගුණ ගැයීමට සිංහල භාෂාවේ තිබෙන වචන ප්‍රමාණවත් නොවන නිසා විය හැකිය.
ලෝකයේ වෙනත් රටවල දුම්රිය අනතුරු සිදුවන්නේ කලාතුරකිනි. එහෙත් අපේ රටේ දුම්රිය අනතුරු සුලබ වෙමින් පවතී. එකම පීල්ලේ දුම්රිය දෙකක් ධාවනය කිරීම සිරිතක් බවට පත්වී ඇතිවා සේය. රේල් පීලි දෙකක් කිසිදා එකිනෙක හමුනොවන බව පැවසුණද ඕනෑම වේලාවක දුම්රිය දෙකක් මුහුණට මුහුණලා හමුවීමට ඉඩ ඇත්තේ අන් කිසි තැනකදී නොව ලංකාවේදීය. එවැනි රටක සිටින ප්‍රවාහන ඇමැතිවරයා යනු විස්මකර්මයකු යැයි ලෝකයා සිතීම පුදුමයක් නොවේ. එවැනි ප්‍රවාහන ඇමැතිවරුන් සිටින්නේ ලෝකයටම එකෙකි. ඒ ආඩම්බරයෙන් යුතුව ගුවන් කටයුතුත් ප්‍රවාහන ඇමැතිවරයාටම භාරදීමට අප යෝජනා කරන්නේ එවිට සියල්ල සම්පූර්ණ වන නිසාය.

ප්අඉසප් -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts