Open top menu
Saturday, May 10, 2014

ත්‍රස්‌තවාදින් මගෙන් පලි ගන්න බිරිඳව පැහැරගෙන ගියා

පුරාවිද්‍යාත්මක ලක්‌ෂණ, නටබුන් ආදියෙන් තවමත් යාපනයේ බෞද්ධ උරුමය තහවුරු කරමින් සිටියි. බෞද්ධද්වීපයක්‌ ලෙස සමස්‌ත දේශයම පැවැති ඒ යුගය නිමාවන්නේ ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේය. උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල බෞද්ධ උරුමය නටබුන් බවට ශේෂ කරමින් එම ප්‍රදේශවල සිටි ජනතාව අතරින්ද බුදුදහම ඈත් වී ගියේය. දෙමළෙන් බණ පදයක්‌ දේශනා කරන්නට හිමි නමක්‌ තබා ගිහියෙක්‌වත්
සොයා ගන්නට බැරි කාලයක්‌ නිර්මාණය විය. ත්‍රස්‌තවාදයක්‌ වී නැඟිටින පරපුරකට මෛත්‍රිය, දයාව, බුදු දහමෙන් වදාරන්නට කිසිවෙකු නොසිටීමද වසර තිහක භීෂණයේ එක්‌ වගකිවයුතු සාධකයක්‌ වී තිබේ.

යුද ගිනි නිවී ගිය පසු උතුරේ සදහම් සුවඳ පතුරුවන්නට වෙරදරන මිනිසෙකු අහම්බයකින් අපට හමුවන්නේ මේ අතරේය. අරුනේම්චරත්තම් රවි කුමාර්, යාපනයේ මනිපායිහි පදිංචි වී සිටියි. උතුරු පළාත ත්‍රස්‌තවාදයෙන් රත්වන කාලයේ ඔහු ටියුෂන් ගුරුවරයකු ලෙස ජීවනෝපායේ යෙදී සිටියේය.

අපේ අම්මලා තාත්තලා සියලු දෙනාම යාපනයේ පදිංචි අයයි. මම ඉගෙන ගත්තේ බණ්‌ඩාරවෙල. දහය පන්තියට යනකං මම බණ්‌ඩාරවෙල ඉගෙනගෙන ආයෙත් මනිපායි වලට ආවා. 1979 මම මනිපායි එනකොට දේශපාලන වශයෙන් එම ප්‍රදේශවල තිබුණේ සුබදායි තත්ත්වයක්‌ නෙමෙයි.

රවි කුමාර් සිය කතාව අපට පවසන්නට පටන් ගත්තේය.

තමන් සමඟ සිටි සෙසු තරුණයන් අවි ආයුධ අතපත ගාන්නට පටන් ගෙන තිබේ. "කාලයේ උණ" බවට අවි අතගෑම පත්වී තිබේ. තරුණ රවි කුමාර්ට මේ තත්ත්වය දැනුනේ කොහොමද...?

මම බණ්‌ඩාරවෙල කාලයක්‌ හිටිය නිසා, සිංහල අය ගැන දැනගෙන හිටියා. මම වැඩිපුර ඒ කාලේ ආශ්‍රය කළෙත් සිංහල අය. ඒ නිසා සිංහල අය කවුද කියා මම තේරුම් අරගෙන හිටියා.

ඒ කාලය වෙනකොට යාපනය අමුතු වෙලා තිබුණා. දෙමළ පවුල් අතර මිත්‍රත්වය ගිලිහී ගිහිල්ලා තිබුණා. එක ගෙදරකින් අනිත් ගෙදරකට යන එක අඩුවුණා. කුල ප්‍රශ්නය වසංගතයක්‌ වගේ යාපනය පුරාම තිබුණා. යාපනයේ වෙහෙම වුණත් බණ්‌ඩාරවෙල එහෙම නැහැ. එහේ සිංහල, දෙමළ කියල නැහැ. හරියට යාළුවෝ වගේ ආශ්‍රය කළා. කුල ගැන සොයන්නේ නැහැ.

මගේ තාත්තා පොලිසියේ ඉන්ස්‌පෙක්‌ටර් කෙනෙක්‌. මම තාත්තාගෙනුත් මේ ගැන ඇහැව්වා. එතකොට මට දැන ගන්න පුළුවන් වුණා කල්ලි තිස්‌හයක්‌ ආයුධ අතට අරගෙන තියෙන බව. ඒ අය එක්‌ එක්‌කෙනාට විරුද්ධව රණ්‌ඩු වෙනවා. පුතායි, තාත්තයි කණ්‌ඩායම් දෙකක්‌ නිසා වෙඩි තියාගෙන තියෙන්නේ. මම උද්භිද විද්‍යාව උගන්වන්න ගත්තේ මේ වෙලාවේ.

ත්‍රස්‌තවාදීන් මට ඇවිල්ලා කියනවා පංතිය නතර කරන්න. මේ අයට අපි දේශන කරන්න ඕනේ කියලා. මම ඒකට විරුද්ධ වුණා. මේ කාලය වන විට ප්‍රභාකරන් එළියට ඇවිල්ලා. මගේ ගෙදරටත් ඇවිල්ලා. ළමයින්ට දේශපාලන මත උගන්වන්න කියලා බලකළා.

මේ අයත් එක්‌ක ඉන්න බැරි තැන මම ඉන්දියාවට ගියා. එතකොට මම විවාහකයි. දරුවාට අවුරුදු පහයි. මම තනියෙනුයි ගියේ. මරණ තර්ජන කරලා මට ලියුම් ආවාම මම කල්පනා කළා ජීවිතය බේරගන්න තමයි දැන් තියෙන්නේ කියලා. මම මුලින්ම තමිල්නාඩුවේ හිටියා. ඊට පස්‌සේ බොම්බායට ගියා. ට්‍රැවලර්ස්‌ ඒජන්ට්‌ කෙනෙක්‌ විදිහට රස්‌සාවක්‌ කළා.

රවි කුමාර්ගේ ජීවිතයම කඳුළින් පිරී යන්නට පටන් ගන්නේ මේ කාලයේදීය. දෙමළ ජනතාවට විමුක්‌තිය උදාකරදීමට කියමින් එකිනෙකා මරා ගන්නා කල්ලි වලින් බේරී උපන් බිම අතහැර එන රවි කුමාර්ගෙන් පලිගන්නට නොහැකි වූ තැන, ඔහුගේ බිරියගෙන් ඒ වාඩුව ගන්නට ත්‍රස්‌තයෝ කටයුතු කර තිබිණි.

"මේ කාලයේදී මට ආරංචි වුණා, මගේ බිරියව පැහැරගෙන ගියා කියලා. ඒකෙන් මගේ ජීවිතය තුළ ලොකු කලකිරීමක්‌ ඇතිවුණා..."

"එක දවසක්‌ මට හොඳ අත්දැකීමක්‌ තමිල්නාඩුවේදී ලැබුණා."

තිස්‌ වසරක අතීතයක්‌ රවි කුමාර් සිහිපත් කරමින් සිටියි. එය ඔහුගේ පෞද්ගලික කතාවක්‌ පමණක්‌ නොවේ. සමකාලීන සමාජ සිද්ධි සමඟද එය බැඳී තිබේ.

"එක දවසක තමිල්නාඩුවේදී ප්‍රභාකරන් ගිහිල්ලා තියනවා. උමා මහෙෂ්වරන්ව මරන්න. ඒ වෙලාවේ මේ දෙන්නාම ඒ තරම් ප්‍රසිද්ධ නැහැ. එම්. ජී. ආර්. තමයි, ඒ කාලේ මහ ඇමැති, එම්. ජී. ආර් මේ අයට කැමැති වුණාට එතකොට පොලිසියේ හිටපු ඩී. අයි. ජී. මෝහන්දාස්‌ මේ අයට කැමැති නැහැ. එයා ප්‍රභාකරන්ව ගිහිල්ලා අල්ල ගත්තා. ප්‍රභාකරන්ගේ අතේ පිස්‌තෝලයකුත් තිබුණා. තේනම්පෙට්‌ටේ වල තමයි, ප්‍රභාකරන්ව අල්ලලා කූඩුවේ දාලා තිබුණේ. ඒ වෙලාවේ මට මේක ආරංචි වෙලා. මම ප්‍රභාකරන්ව බලන්න ගියා. ඒත් කතා කරන්න හම්බු වුණේ නැහැ. එතකොට එම්. ජී. ආර් ගේ නියෝගයෙන් එයාව එළියට දැම්මා."

මේ කාලය වනවිට රවි කුමාර්ගේ හිස ගිනිගෙන තිබිණි. බිරිය අතුරුදන්වී තිබිණි. ප්‍රිය දියණිය ඥතීන් අතරේ හැදී වැඩෙමින් තිබිණි. තිබෙන තත්ත්වය අනුව උතුරු පළාතට යැමට කිසිම ඉඩක්‌ රවි කුමාර්ට නැත. සිතට සහනයක්‌ ලබා ගැනීම රවි කුමාර්ට තිබූ බලවත්ම අවශ්‍යතාව විය. ඒ සඳහා "සොයා පිළිසරණක්‌.." සිය තේමා පාඨය කර ගනිමින් ඔහු ඇවිදින්නට පටන් ගත්තේ ඒ අනුවය.

"බිරිය හා දරුවා ගැන හිත හිතා මම ඉන්න කොට ඒක හරිම වේදනාවක්‌ වුණා. ඒ අනුව ආගමික ජීවිතයක්‌ ගතකරන්න මට ඕනෑ වුණා. "හරේ රාමා හරේ ක්‍රිෂ්ණා" එකට මම ගියා. ඒකේ ටික කාලයක්‌ හිටියා. පෙන්තකොස්‌ත එකේ ටික කාලයක්‌ හිටියා. සික්‌ අයගේ පන්ජාබ් වල රත්රන් දේවාලයේ ටික කාලයක්‌ හිටියා. ඒකත් හරි ගියේ නැහැ.

දවසක්‌ මම දැක්‌කා බට්‌ටදීය කියලා භාවනා මධ්‍යස්‌ථානයක්‌. මම ඒකට ගිහිල්ලා දවස්‌ දහයක්‌ භාවනා කළා. මට ඒ ගැන කැමැත්තක්‌ ඇතිවුණා.

හරේ රාමා එකට ගියාම නටන්න ඕනේ. ඒක කරදරයි. මෙතැනදි බුදු හාමුරුවන් උගන්වපු ධර්ම මාර්ගයයි කියලා දෙන්නේ. ඒ අතරේ මම ආනාපානසති භාවනාව පුරුදුවුණා. මෙහෙම භාවනා පුරුදු කරලා මම එතැනම භාවනා ගුරුවරයෙක්‌ වුණා. සිංහල අය කොහොමත් සාමකාමී. ඒ අය අදහන්නේ විශ්වාස කරන්නේ බොහෝම ශාන්ත බුදුහාමුදුරුවන්. ඒත් හින්දු අය අදහන දෙවිවරු ප්‍රචණ්‌ඩයි. එහි බලන චිත්‍රපටත් එහෙමයි. ඒකත් දෙමළ අය ප්‍රචණ්‌ඩ වෙන්න බලපෑවා."

ඔහු බුදුදහමට සමීප වන්නේ එක්‌ එක්‌ තැන්වල අත්දැකීම් ලබා, තමන්ට දැනෙන දේ බුදු දහම වීම නිසාය. එතැන් සිට ඔහු යොමුවන්නේ බුදුදහමේ ශාන්තියෙන් තමා නිවෙන්නට පමණක්‌ නොවේ. සෙසු අයද නිවන්නටය.

"දැන් මම යාපනයේ දහම් පාසලක්‌ පටන් අරගෙන තියෙනවා."

ඒක නන්දාරාම දහම් පාසල. ඒ වගේම මම යාපන බෞද්ධ සංගමය පටන් අරගෙන තියෙනවා. දැන් දෙමළ අයට තියෙන්නේ. තමන්ගේ දරුවන් මේ දහම් පාසල් වලට එවන්න. දෙමළ දේශපාලනඥයන් දෙමළ අයට කිව්වේ "බෞද්ධ කියන්නේ, සිංහල ආගමක්‌ කියලයි" දෙමළ මිනිස්‌සු එහෙම කියලා පන්සලෙන් ඈත් කළා. දැන් ඒවාට රැවටෙන්න එපා.... දහම අත් දකින්න එන්න ඕනේ.

අනිත් පැත්තෙන් දෙමළ අයව ක්‍රිස්‌තියානි ආගමට හරවන්න පටන් ගත්තා. ත්‍රස්‌තවාදීන් අතර ක්‍රිස්‌තියානි අයට තැන දුන්නා. ඇන්ටන් බාලසිංහම් කවුද..? සමහර අයට ඕනේ වුණේ දෙමළ කට්‌ටිය ක්‍රිස්‌තියානි කරලා, ටැමිල් ඊළමක්‌ හදන්නයි. බෞද්ධ අය ඕගොල්ලන්ට විරුද්ධයි. ක්‍රිස්‌තියානි අය ඕගොල්ලන්ට පක්‍ෂයි, හිතවත් කියලා කිව්වේ ඒකයි. යාපනයේ 50% ක්‌ ක්‍රිස්‌තියානි. එතැනත් වැඩියෙන් ඉන්නේ පෙන්තකොස්‌ත වගේ කට්‌ටිය.

මම දහම් පාසල පටන් ගත්තාම සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කිව්වා, බෞද්ධ දහම් පාසල පටන් ගත්තේ දෙමළ සංස්‌කෘතිය නැති කරන්න කියලා. මම එයාගෙන් ඇහැව්වා, ඇමරිකන් මිෂන් ඇවිල්ලා කරන දේ ගැන. දෙමළ කාන්තාව ඇන්දේ සේද පාට පාට සාරි. ආභරණ හොඳට පැළැන්දා. ඒත් දැන් යාපනයේ කාන්තාවන් ඇමරිකන් මිෂන් එක අනුව සුදු අඳිනවා. සාමාන්‍යයෙන් දෙමළ කාන්තාව සුදු අඳින්නේ, ස්‌වාමියා මැරුණාට පස්‌සේ.

දැන් බලන්න කවුද දෙමළ සංස්‌කෘතිය නැති කළේ කියලා."

රවි කුමාර්ගේ වැඩපිළිවෙළ ඔහුගේ තනි ව්‍යායාමයකි. ඔහු සිය නිවසේ දහම් පාසල් ආරම්භ කර තිබේ. දෙමළ දරුවන් පනස්‌ දෙදෙනකු එහි ඉගෙනුම ලබමින් සිටී.

"හාමුදුරුවරුන්ගේ උපකාර මට ඕනේ. හාමුදුරුවරු ඇමරිකාවේ යුරෝපයේ ගිහිල්ලා සුද්දන්ට බණ කියන්න ඉස්‌සෙල්ලා යාපනයේ දෙමළ මිනිසුන්ට බණ කියන්න ඕනේ. යාපනයට එන්න. බය නැතුව ඇවිල්ලා මේ අයට බණ කියන්න.

මම යාපනයේ දෙමළ මිනිස්‌සුන්ට කියන්නේ බෞද්ධාගම දිහා සැකයෙන් බලන්න එපා. පන්සලට ගියාම එතැන දෙවියොත් ඉන්නවා. මේ යන විදියට ගියොත් යාපනයේ 80% ක්‌ ක්‍රිස්‌තියානියට යනවා. ඉතිරි 20% ඉස්‌ලාමයට යනවා. ඒකෙන් හින්දුත් නැති වෙනවා. බෞද්ධත් නැතිවෙනවා. අපි එක ගෙදර අය. අපි රණ්‌ඩු වුණොත් අල්ලපු ගෙදර අයට වාසියි.

මම කරන මේ වැඩේට යාපනයේ තරුණ අය, ළමයි කැමැතියි. මම හාමුදුරුවන්ට හා ආණ්‌ඩුවට කියන්නේ, මට මේකට උදව් කරන්න කියලා.

රවි කුමාර් උත්සාහයෙන් සටන් කරනු ලබන්නේ එක්‌තරා ආකාරයක මාර සේනාවක්‌ සමඟය. ඔහු ධර්ම යුද්ධයක්‌ සඳහා යාපනයේ ඉඩකඩ සොයමින් සිටියි. මේ වෙසක්‌ සඳ පායා එන්නේ මේ කුමාරලාගේ වෑයමට ආශිර්වාද කරමින් සේය. වසර ගණනාවක්‌ අන්ධකාරයේ තිබූ යාපන කලාපයට වෙසක්‌ සඳ එළිය පතුරුවන්නට සඳට පමණක්‌ බැරිය. ඒ සඳහා රවි කුමාර් වැනි මිනිස්‌සුද අවශ්‍යය.

මනෝඡ් අබයදීර
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts