Open top menu
Saturday, May 31, 2014



"ජනාධිපතිවරණයක් තිබ්බොත් මහින්ද උඩින් ගහන්නේ..."

මේ බස්නාහිර සහ දකුණු පළාත් සභාවට කලින් මිනිසුන් කී කතාවය.
"ජනාධිපතිවරණයක් තිබ්බොත් මහින්දට ලේසි නෑ...."
"දිනයි හැබැයි ලොකු ගාණකින් නොවේ..."
"සෝභිත හිමි, චන්ද්‍රිකා, ශිරාණි වගේ පොදු අපේක්ෂකයෙක් ආවොත් මහින්ද පරදියි..."
මේ මිනිසුන් දැන් කියන කතාවය.
"ඇත්තටම ජනාධිපතිවරණයක් තිබ්බොත් මහින්ද දිනයිද...?"
මේ ප්‍රශ්නයට උත්තර හොයන්න වෙන්නේ ඉලක්කම්වලින්ය.

මේ රටේ දැනට ජනාධිපතිවරණ 6ක් පවත්වා තිබේ. යූ. ඇන්. පී. ජනාධිපතිවරයකු යටතේ ජනාධිපතිවරණ තුනක් පවත්වා තිබේ. සන්ධාන ජනාධිපතිවරයකු යටතේ ජනාධිපතිවරණ තුනක් පවත්වා තිබේ. මේ රටේ පළමු ජනාධිපතිවරණය පැවැතියේ 1982දීය. ඒ ජේ. ආර්. ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති අපේක්ෂක ලෙස තරග කරමින්ය. ජේ. ආර්. 1978 ජනාධිපති වුයේ ජනාධිපතිවරණයකට තරග කරමින් නොවේ. ඒ වෙලාවේ ජේ. ආර්. ජනාධිපති ධුරයට පත් වුණේ 1977 මහ මැතිවරණ ප්‍රතිඵලයෙන්ය. 1977 මහ මැතිවරණයෙන් ජේ. ආර්. ගේ නායකත්වයෙන් එජාපය 50.92%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. 1982 ජනාධිපතිවරණයෙන් එය 52.91%ක් දක්වා වැඩිකර ගත්තේය. ඒත් 1988 ජනාධිපතිවරණයට ව්‍යවස්ථාව වෙනස් කොට ජේ. ආර්. තරග කළොත් පරදියි යැයි පක්ෂය තීන්දු කළේය. ඒ අනුව අලුත් අපේක්ෂකයකු ලෙස ප්‍රේමදාස ඉදිරිපත් කළේය. ඒත් ප්‍රේමදාස ගත්තේ 50.43%කි. ඒ කියන්නේ

ජේ. ආර්. 82දී ගත්තාට වඩා ඡන්ද ප්‍රතිශතය අඩුය. ජ.වි.පෙ. ඡන්ද වර්ජනය එයට හේතු වූවා යැයි කිව හැකි වුවත් බලයේ සිටින ආණ්ඩුවල ජනාධිපති අපේක්ෂකයන්ගේ ඡන්ද සංඛ්‍යාව අඩු වීමේ රැල්ලක් එයින් පෙනේ. ජේ. ආර්. 1977ට වඩා 82 ඡන්ද වැඩිකර ගත්තේ අසාමාන්‍ය තත්ත්වයක් යටතේය. 1982 ජේ. ආර්. ගේ ප්‍රතිවිරුද්ධ අපේක්ෂිකාව වූ බණ්ඩාරනායක මැතිනියට තරග කරන්න නොහැකි විය. ශ්‍රී ල.නි.ප. යෙන් ඉදිරිපත් කළේ දුර්වල අපේක්ෂකයෙකි.
1994 ජනාධිපතිවරණයට තරග කරන්න ජනාධිපති විජේතුංග බය විය. දැම්මේ ගාමිණීවය. ගාමිණී ඝාතනය වී ශ්‍රී මා දිසානායක අපේක්ෂිකාව වූවාය. පොදු පෙරමුණෙත් තරග කළ අපේක්ෂිකාව චන්ද්‍රිකා ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා කළාය. ඇය 62.28%ක ඡන්ද ප්‍රතිශතයක් ගත්තාය. ඒත් 1999 ජනාධිපතිවරණයේදී ඇය 94 ගත් ඡන්ද ප්‍රතිශතය 51.12%ක් දක්වා අඩුකර ගත්තාය. ඇය එසේ ඡන්ද අඩුකර ගත්තේ එල්. ටී. ටී. ඊ. බෝම්බ ප්‍රහාරයකින් දිවි ගලවාගෙන ඇසක් අහිමි කරගෙන ජනතා අනුකම්පාව දිනාගෙන සිටින වේලාවකය. එවැනි අසාමාන්‍ය අවස්ථාවක ඡන්ද අඩු වෙන්න හේතුව බලයේ සිටින පක්ෂයේ අපේක්ෂකයාගේ ඡන්ද අඩු වීමේ රැල්ලය. 2005 චන්ද්‍රිකාට ව්‍යවස්ථා බාධාව නිසා තරග කරන්න බැරි විය. 2005ට මහින්දව අලුත් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කළේය. ඔහු 50.29%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. එය 1999 චන්ද්‍රිකා ගත්තාට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකි. එයිනුත් පෙනෙන්නේ බලයේ සිටින ආණ්ඩුවේ අපේක්ෂකයන්ට ඡන්ද අඩුවෙන රැල්ලය.

මහින්ද යළි 2010 ජනාධිපතිවරණයට තරග කරන්නේ අසාමාන්‍ය අවස්ථාවකය. වසර ගණනාවක් තිබූ යුද්ධය අවසන්කොට ඔහු ජනතා ආකර්ෂණය දිනාගෙන ජනාධිපතිවරණයට ආවේය. යුද්ධය දිනා ගත නොහැකිව ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම් පරදින්න වුවද ඉඩ තිබිණි. 77දී ජේ. ආර්. 82 ප්‍රතිවිරුද්ධ අපේක්ෂිකාවට තරග කළ නොහැකි අසාමාන්‍ය අවස්ථාවක ඡන්දය තියා ඡන්ද ප්‍රතිශතය වැඩිකර ගත්තා සේ මහින්ද යුද්ධය දිනපු අසාමාන්‍ය අවස්ථාවක ඡන්දය තියා ඡන්ද ප්‍රතිශතය 57.88% දක්වා වැඩි කර ගත්තේය.
අද ඇත්තේ එවැනි අසාමාන්‍ය අවස්ථාවක් නොව සාමාන්‍ය අවස්ථාවකි. මහින්ද 2010 ගත් ඡන්ද ප්‍රතිශතය මෙවර මහින්දට ලැබෙන්නේ නැත. එයට හොඳම නිදසුන පහුගිය බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද ප්‍රතිඵලයය. ආණ්ඩුව 2009 බස්නාහිරින් සහ දකුණින් ගත් ඡන්ද සංඛ්‍යාවට වඩා ඡන්ද ලක්ෂ තුනහමාරක් පමණ අඩු විය. සාමාන්‍යයෙන් පළාත් සභා ඡන්දවලදී ආණ්ඩුවට ඡන්ද වැඩි වේ. 2004 පළාත් සභා ඡන්දයේදී චන්ද්‍රිකාගේ සන්ධාන ආණ්ඩුව මහින්ද, අගමැති ලෙස සිටියදී 57.68%ක ඡන්ද ප්‍රතිශතයක් ගන්න සමත් විය. ඒත් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද ගත්තේ 50.29%කි. එ.ජා.ප.ය 2004 පළාත් සභා ඡන්දයේදී ගත්තේ 37.68%කි.
එ.ජා.ප.ය 2005 ජනාධිපතිවරණයේදී එය 48.43% දක්වා වැඩිකර ගන්න සමත් විය. සාමාන්‍යයෙන් පළාත් සභා ප්‍රාදේශීය සභා ඡන්දවලදී ආණ්ඩු වෙනස් කරන්න බැරි නිසා ආණ්ඩු විරෝධී ඡන්දදායකයන් ඡන්ද පොළට නොයයි. එහෙත් ජාතික මැතිවරණවලදී උදෙන්ම යති. මේ නිසා ජාතික මැතිවරණවලදී විපක්ෂයේ අපේක්ෂකයා ගන්නා ඡන්ද සංඛ්‍යාව වැඩි වේ.

කොහොමත් මෙවර බස්නාහිර සහ දකුණු ඡන්ද ප්‍රතිඵලය දිහා බලන විට ආණ්ඩුව ගත්තේ 2,063,083කි. එ.ජා.ප.ය, ජ.වි.පෙ., ෆොන්සේකාගේ පක්ෂය මනෝ ගනේෂන්ගේ පක්ෂය යන විපක්ෂයේ සියලු පක්ෂවල ඡන්ද එකතු කළ විට 1,585,652කි. මෙයට පළාත් සභාවලට වෙනම තරග කළ ආණ්ඩුවෙන් ඉවත් වෙන බවට තර්ජනය කරන මුස්ලිම් කොංග්‍රසය ඡන්දද එකතු කළ විට 1,636,586කි. ඒ කියන්නේ ආණ්ඩුවට වඩා අඩු ඡන්ද 426,497කි. පසුගිය ජනාධිපතිවරණයේදී ආණ්ඩුවත් විපක්ෂයත් අතර රටේම ලබාගත් ඡන්ද සංඛ්‍යාවේ වෙනස 1,842,749කි. උෟව හැර පසුගිය 2013 - 2014 පළාත් සභා ඡන්ද ප්‍රතිඵල සියල්ල එකතු කළ විට ආණ්ඩුව 4,594,666ක් ලබාගෙන තිබේ. විපක්ෂයේ ඡන්ද ලෙස එ.ජා.ප., ජ.වි.පෙ., ෆොන්සේකාගේ පක්ෂය, දමිළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය වගේම තොණ්ඩමාන්ගේ පක්ෂයත් විපක්ෂයට එක්වේ යැයි අනුමාන කොට ගතහොත් ඡන්ද සංඛ්‍යාව 3,754,538කි. වෙනස 840,128ක්. ඒ කියන්නේ උෟව පළාත හැරුණු විට ආණ්ඩුවට වාසිදායක විපක්ෂයට අවාසිදායක පළාත් සභා ඡන්දයෙන් 2010 ආණ්ඩුවත් විපක්ෂයත් අතර තිබුණ 1,842,749ක වැඩි ඡන්ද සංඛ්‍යාව මහ පරිමාණයෙන් අඩුකර ගෙන තිබේ. උෟවෙන් ආණ්ඩුව දිනන ඡන්ද එකතු කළත් පරතරය විශාල ප්‍රමාණයෙන් අඩු වී තිබේ. ආණ්ඩු විරෝධී ඡන්දදායකයන් ඡන්දපොළට යන ජනාධිපතිවරණයකදී මේ ඡන්ද පරතරය ජය ගැනීම විපක්ෂයට එතරම් අමාරු නැත. 2004 පළාත් සභාවලදී 2,197,892ක් ගත් එ.ජා.ප.ය 2005 ජනාධිපතිවරණයේදී එය 4,706,366කට වැඩි කර ගත්තේය. ඒ කියන්නේ ලක්ෂ 2,508,474ක වැඩි වීමකි. 2004 පළාත් සභා ඡන්දයෙන් චන්ද්‍රිකාගේ ආණ්ඩුවත් එජාපයත් අතර තිබූ ඡන්ද පරතරය 1,166,347කි. 2005 ජනාධිපතිවරණයේදී එය 180,786කට අඩු විය. එම නිසා 2013 - 2014 පළාත් සභා ඡන්ද ප්‍රතිඵලයේ ආණ්ඩුව ගත් වැඩි ඡන්ද ජනාධිපතිවරණයකදී අඩුකර ගැනීම අමාරු නැත.

අනෙක ආණ්ඩුවේ මතය රටට ගෙන ගිය හෙළ උරුමය සහ විමල් වීරවංශගේ පක්ෂය ආණ්ඩුව තුළ කැරැලි ගහන්න පටන් ගත්තේ බස්නාහිර - දකුණු ඡන්දයෙන් පසුවය. ශ්‍රී ල.නි.ප. මැති ඇමැතිවරුන් එළිපිට ආණ්ඩුව විවේචනය කරන්නේ දැන්ය. මෙයින් තව තවත් ආණ්ඩුවේ ඡන්ද අඩු වෙනවා මිස වැඩි වන්නේ නැත.
විපක්ෂයට අවශ්‍ය අද දේශපාලනයේ නැති ජනතා ආකර්ෂණය දිනා ගත හැකි අලුත්ම අලුත් "බ්‍රෑන්ඩ් නිව්" පොදු අපේක්ෂකයකු සහ විපක්ෂයේ සියලුම පක්ෂවලට එකඟවිය හැකි වැඩපිළිවෙළකි. විපක්ෂය එහෙම එනවා නම් මහින්ද පරාජය කිරීම අමාරු නැත. මේ අවුරුදු 20ක් පරණ ආණ්ඩුවකි. මහින්ද අවුරුදු 9ක් පරණ ජනාධිපතිවරයෙකි. ඉන්දියාවේ මෝඩි වගේ වෙනසකට ලංකාවේ දේශපාලන පස හොඳට පෝෂණය වී තිබෙන වේලාවකි මේ.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts