Header Ads

වලව්වට දෙපාරක්ම ගියත් ඇහැළේපොළ උඩරට ගිවිසුමට අත්සන් කළේ නැහැ කියලා ඩොයිලිගේ දිනපොතේ තියෙනවා

ඇහැළේපොළ මහ නිලමේතුමන් පිළිබඳව යමකු විමසුවහොත් බහුතරයක් පවසන කරුණ වන්නේ ඔහු ඉංග්‍රීසීන්ගේ උඩරට ගිවිසුමට අස්සන් කොට සිය ජාතිය ඉංග්‍රීසීන් හමුවේ පාවාදුන් අයකු බවයි. එහෙත් ඇහැළේපොළ නිලමේගේ ඥාතීන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ උදහසට ලක්වී ඉකුත් මැයි 18 වැනිදාට වසර 200ක් සපිරිණි. ඒ වෙනුවෙන් ඇහැළේපොළ ග්‍රාමයේ සංවිධානය කරන ලද උත්සවයකදී සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා නව මතයක් ඉදිරිපත් කළේය.

ඔහු පැවැසුවේ ඇහැළේපොළ නිලමේ ජාතිය පාවාදෙන්නකු ලෙස සමාජය පිළිගත්තද එය වැරැදි මතයක් බවයි. එමෙන්ම ඇහැළේපොළ නිලමේ ඉංග්‍රීසින්ගේ උඩරට ගිවිසුමට අස්සන් නොකළ බවද ඉංග්‍රීසින් විසින් ඔහුගේ අස්සන ව්‍යාජ ලෙස එහි යොදන ලද බවට සාධක පවතින බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. මෙම නව මතයෙහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීමේ අරමුණෙන් ඒ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අනුර මනතුංග මහතා හමුවීමට 'මව්බිම' අපි ගියෙමු. එම නව මතවාදයට පූර්ව කථනයක් දෙමින් මහාචාර්ය අනුර මනතුංග අපට මෙසේ පැවැසීය.
"ඇත්තටම සංස්කෘතික අමාත්‍යවරයාගේ මතයට මමත් එකඟයි. ඇහැළේපොළ මහ නිලමේතුමා ඉංගී්‍රසීන්ගේ උඩරට ගිවිසුමට අස්සන් කළේ නෑ. සත්‍ය වශයෙන්ම සිදු වුණේ ඇහැළේපොළ නිලමේ ගිවිසුමට අස්සන් නොකළ නිසා ඉංග්‍රීසීන් ඔහුගේ අස්සන ව්‍යාජ ලෙස යොදලා ඔහුගේ නමට අපකීර්තියක් එක් කරපු එක පමණයි."
ඇහැළේපොළ නිලමේ උඩරට ගිවිසුමට අස්සන් කළාද නොකළාද යන්න පිළිබඳ අධ්‍යයනය කිරීමට නම් ඔහු කෙබඳු පුද්ගලයකුදැයි විමසීම වටී. ඔහුගේ සමාජ වටපිටාව පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්ය මනතුංග මහතා මෙසේ පැවැසුවේය."

'ඇහැළේපොළ කියන්නේ උඩරට ප්‍රධාන පවුලකට අයත් රදලවරයෙක්. එතුමා අවසන් වරට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේ මහ නිලමේ පදවිය දැරුවා. මේ කාලෙ මහ නිලමේ කියන්නේ අද කාලෙ හැටියට රටේ අගමැතිවරයා. ඒ අනුව ඇහැළේපොළ නිලමේ තනතුරෙන් සහ ක්‍රියාවෙන් දෙවැනි වුණේ රජුට විතරයි.
මහ නිලමෙතුමාත් රාජසිංහ රජුන් අතර යම් යම් මතභේද ඇති වුණා කාලයක් යද්දි. ඒ මතභේද ඇති වීමට ප්‍රධානතම හේතුව වුණේ රජු සෑම විටම ඇහැළේපොළ නිලමෙව සැකකිරීම. රජු අප්‍රමාණ භීතියකින් පසු වුණා. ඇහැළේපොළ රජුගේ බලය ලබා ගන්න රජුට එරෙහිව කටයුතු කරයි කියලා. ඒ නිසාම ඇහැළේපොළ කරපු කිසිම හොඳ වැඩක් රජුගේ ප්‍රශංසාවට ලක් වුණේ නෑ. දෝෂයටම ලක් වුණා. උදාහරණයක් විදියට ගත්තොත් ඇහැළේපොළ මහ අදිකාරම තනතුරට අමතරව සබරගමුවේ දිසාපතිවරයා ලෙසත් කටයුතු කළා. ඔහු සබරගමු දිසාපතිවරයාව සිටියදී ඇලපාත නිලමේතුමාගේ අභාවය සිදු වුණා. රාජ නීතිය අනුව ඔහුගේ මරණයෙන් පස්සේ දේපොළ රාජ සන්තක විය යුතුයි. එය එසේ වුණා. නමුත් රාජසිංහ රජු සැක කළා ඒ දේපොළවලින් කොටසක් ඇහැළේපොළ තබා ගත්තා කියලා. ඔවුන් අතර විරසකයක් ඇතිවීමට ඒ හේතුවත් තදින් බලපෑවා.

තවත් කරුණක් තමයි ඇහැළේපොළ නිලමේ සබරගමුවේ ඉඳන් රජුට පිරිනමන්න රන් කඩුවක් සහ ඔටුන්නක් සෑදුවා. නමුත් රජු සිතුවා ඇහැළේපොළ රජ වෙන්න උත්සාහ කරනවා කියලා.
ඒ සියලුම ක්‍රියාදාමයන් නිසා රජු ඇහැළේපොළ නිලමේ ගැන දැඩි වෛරයකින් පසු වුණා. ඒ අතරතුරයි රජු විවාහ දිවියට පත් වුණේ. රජුගේ විවාහයේදී සියලුම රදලවරුන් රජුට මුදල් ත්‍යාග පිරිනැමුවත් ඇහැළේපොළ වෙනත් ත්‍යාගයක් පිරිනැමුවා. එයත් වරදකට ගත් රජු ඇහැළේපොළ තමාට අපකීර්තියට පත් කළා කියලා ඔහුට බැන වැදුණා.
එකී සියලුම හේතුන් මත රජු සහ ඇහැළේපොළ මහ නිලමේ අතර තිබූ විරසකය තව තවත් වැඩි වූ බව මහාචාර්යවරයා පවසයි. ඇහැළේපොළ නිලමේතුමා වටා විශාල ජනකායක්ද එක්ව සිටීම කෙරෙහි රජු බියවී සිටි අතර ඇහැළේපොළ කෙරෙහි මිනිසුන් තැබූ විශ්වාසය පලුදු කිරීමටද රජු දැඩි ලෙස උත්සාහ ගත් බව මනතුංග මහතා පැවැසුවේය.

"ඇහැළේපොළ වටා සාමාන්‍ය ජනතාව එක් රොක්වී සිටීම ගැනත් රජු පසු වුණේ තරමක සැකයකින්. ඒ නිසාම රජු ඇහැළේපොළගෙන් ජනතාව දුරස් කරන්න උපක්‍රමයක් කල්පනා කළා. ඒ අනුව රජු ඔහුට පැවැසුවා සබරගමුවේ බදු අය කිරීම පැරැණි පෘතුගීසි ලැයිස්තුවට අනුවම සිදු කරන්න කියලා. එය ප්‍රායෝගික නොවන දෙයක් බව රජු පවා දැන සිටියත් ඔහු රජ අණ නිසා එය පිළිපදීවි කියන අදහසකින් රජු පසු වුණා. එහෙත් ඇහැළේපොළ මෙය ප්‍රායෝගික දෙයක් නොවන බව රජුට පැවැසුවා. මිනිසුන් එයට අකැමැති බව පවසමින් ඔහු එය ප්‍රතික්‍ෂේප කළා. මේ වගේ තත්ත්වයන් මත ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඔහු කෙරෙහි උග්‍ර මතභේදයකින් පසු වුණා.
දිනක් ඇහැළේපොළ නිලමේ සබරගමුවේ සිටියදී රජු ඔහුව හදිසි හමුවකට කැඳෙව්වා. අත්‍යවශ්‍ය කාර්යයක් මත පැමිණිය නොහැකි බව පවසා ඔහු පණිවුඩකරුවකු අත තල් පතක් යැව්වා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. අතරමඟදී ඇහැළේපොළගෙ තරහකරුවන් පිරිසක් ලිපිය වෙනස් කළා කියලත් මතයක් තිබෙනවා. එයින් වුණේ රජු තව තවත් ඔහු කෙරෙහි උරණ වුණු එකයි."

රජුගේත් ඇහැළේපොළ නිලමේගේත් විරසක බව තේරුම්ගත් ඉංගී්‍රසීහු එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ඉටා ගත්හ. ඇහැළේපොළද ඒ වන විට රජු කෙරෙහි දැඩි අප්‍රසාදයකින් පසුවූ අතර ඉංග්‍රීසින්ගේ සහාය මැද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මරණයට පත් කොට සිංහාසනය ලබා ගැනීමට හෙතෙම ඉටා ගත් බවත් ඔහුට සිංහාසනය ලබා ගැනීමට උදව් කරන බවට දුන් පොරොන්දුව මත හෙතෙම ඉංග්‍රීසින් හා එක් වූ බවත් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය.
'ඇහැළේපොළ ඉංග්‍රීසින් සමඟ එක්වූ පුවත සැලවීමත් සමඟ රජු ඔහුව තනතුරෙන් පහ කළා. එයින් කෝපයට පත් වුණු සබරගමුව වැසියන් ඇහැළේපොළට සිදු කළ අසාධාරණයට නුවර රජුට එරෙහිව කැරලි ගැසුවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඒ කැරැල්ල පහසුවෙන් මැඬ පැවැත්වූයේ දරුණු අපරාධයක් කරලා. මොල්ලිගොඩ නිලමේ සබරගමුවට යවලා කැරැල්ලේ සිටි සබරගමු වැසියන් 47 දෙනකු උලතියා මරා කැරැල්ල මර්දනය කළා කියා ඉතිහාසයේ සඳහන් වෙනවා.

ඒ අවස්ථාවේ ඇහැළේපොළ පහතරට පිහිටි අවිස්සාවේල්ලට පැන ඇවිත් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ ඉංග්‍රීසි නියෝජිත ජෝන් ඩොයිලිගෙ පිළිසරණ පැතුවා. ඉන්පසු ඉංග්‍රීසින් ඇහැළේපොළට රජකම ලබා ගන්න උදව් කරන බවට පොරොන්දු දෙමින් ඔහු සමඟ සමීප සබඳතාවක් ගොඩනඟාගත්තා."
සිංහලයේ මහා ඛේදවාචකයක් වූ ඇහැලේපොළ පවුලේ ඝාතනය රජු විසින් සිදු කරන ලද්දේ ඉන් අනතුරුවයි. ඇහැළේපොළ ඉංගී්‍රසින් හා එක් වූ පුවත අසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දැඩි ලෙස කෝප වූ අතර ඇහැළේපොළ නිලමේගේ සමස්ත පවුලම අමානුෂික ලෙස ඝාතනය කළේය. කාන්තාවන් දියෙහි ගිල්වීමෙන්ද පිරිමින්ගේ හිස වෙන් කිරීමෙන්ද, කුඩා දරුවන් වංගෙඩියේ කෙටීමෙන්ද සිදු කළ එම ඛේදවාචකය හේතුවෙන් ඇහැළේපොළ නිලමේ රජු කෙරෙහි දැඩි ලෙස වෛරයක් ඇති කර ගත් බව මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.

තමන්ගේ පවුලේ පිරිස රජු විසින් ඝාතනය කරනු ලැබීම නිසා ඇහැළේපොළ හිටියේ රජු කෙරෙහි අධික වෛරයකින්. ඒ වගේම දැඩි සිත් තැවුලෙන්. ඒක අවස්ථාවක් කරගත් ඉංග්‍රීසින් රජු විනාශ කර ඔහුට සිංහාසනය ලබා දෙන බවට පවසමින් උඩරටට ඇතුළුවන මාර්ගය ඔහුගෙන් විමසුවා. තමන්ගේ පවුලේ පිරිස කෙරෙහි පැවැති ශෝකයත් රජු කෙරෙහි පැවැති වෛරයත් නිසා ඔහු ඉංග්‍රීසින්ට උඩරටට ඇතුළුවෙන මාර්ගය පෙන්වූවා. ඉන්පසු වර්ෂ 1815 ජනවාරි මාසයේ දිනයක ඉංග්‍රීසින් උඩරට බලා පිටත් වුණා. ඇහැළේපොළත් ඔවුන්ට මඟ පෙන්වූවා. ඔහු බලාපොරොත්තුවෙන් හිටියේ ඉංග්‍රීසින් රජු පන්නා දමා ඔහුට සිංහාසනය දේවි කියලා. නමුත් ඉංග්‍රීසින්ගෙ කපටි උපාය දැන සිටියේ ඔවුන්ම පමණයි."
ඒ අනුව වර්ෂ 1815 පෙබරවාරි මස 14 වැනි දින ඉංග්‍රීසින් විසින් මහනුවර යටත් කර ගන්නා ලදී. මහනුවර යටත් කර ගැනීම කොතෙක් පහසුවෙන් සිදු කළේද යත් එක් ඉංග්‍රීසි ජාතිකයකුගේ සටහනක් එයට කදිම නිදසුනක් බව මහාචාර්යවරයා පවසයි. එනම් ඉංග්‍රීසින්ගේ බඩු බාහිරාදිය ගෙන ගිය අශ්වයකුට හෝ කිසිදු සීරීමක්වත් නොවන අයුරින් ඔවුන් මහනුවර යටත් කර ගත් බව එම සටහනේ සඳහන් වන බව හෙතෙම පවසයි.

'ඉංග්‍රීසින් ඉතාම පහසුවෙන් මහනුවර යටත්කර ගැනීමෙන් පසු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පලා ගියා. ඉන්පසු ඇහැළේපොළ නිලමේගේ මිත්‍රයකු වන එක්නැලිගොඩ නිලමේ ඇතුළු පිරිසකගේ සහායෙන් 1815 පෙබරවාරි 18 වැනිදා මැද දුම්බර බෝමුරේ ගමේ උඩුපිටිය ආරච්චිගේ නිවෙසේ සැඟවී සිටියදී රජු අත්අඩංගුවට ගත්තා.
ඇහැළේපොළ නිලමේ කොයි තරම් උතුම් පුරුෂයෙක්ද කියලා පැහැදිලි වන ප්‍රධානතම කරුණක් මෙහි සඳහන් කළ යුතුයි. ඒ තමයි තමන්ගේ බිරිය, දරුවන්, නෑදෑයන් සියල්ලම ඝාතනය කළත් රජු හමු වුණොත් ඔහුගේ ජීවිතය නැති කරන්න එපා කියලා ඇහැළේපොළ සිය මිත්‍රයාට උපදෙස්දී තිබුණා කියලා ඉතිහාසයේත් සඳහන් වෙනවා. එවන් මානුෂීය පැත්තක් පවා හිතලා ඔහු සිංහාසනය තමාට ලබා ගන්න අරමුණු ඇතිව ඉංග්‍රීසින්ගෙන් පවා සහාය ගත්තෙ තමන්ගේ රට වැසියන්ට යහපත් පාලකයකු වී ඔවුන්ට යහපත් සමාජ වටපිටාවක් ගොඩනඟා ගැනීමේ උතුම් අරමුණෙන්. නමුත් රජු අල්ලා ගැනීමෙන් පසුව ඉංග්‍රීසින් ඇහැළේපොළට වූ පොරොන්දුව කඩකරන්න සැරසුණා. මේ ගැන අවබෝධ කර ගත්තට පසුව ඇහැළේපොළ ගොඩක් අසරණව බලාපොරොත්තු කඩවී දැඩි සිත් තැවුලකින් පසු වුණේ.
ඉන් පසුව එවකට ආණ්ඩුකාරවරයා වන රොබට් බ්‍රවුන්රිග් ඔහුගේ නියෝජිතයකු වන ජෝන් ඩොයිලි ලවා ගිවිසුමක් සකස් කළා. එහි සඳහන් වුණේ උඩරට පාලනය ඉංගී්‍රසින් විසින් සිදු කරනු ලබන බව සහ ගිවිසුමකට අනුකූලව ඔවුන් ක්‍රියාකරනවා යන ප්‍රතිඥාව. මේ ගිවිසුමේ සිංහල පිටපත සකස් කරන ලද්දේ ඒබ්‍රහම් ද සේරම් නමැති මුදලිතුමා විසින්.

නමුත් ඇහැළේපොළ රට වැසියාගේ යහපත වෙනුවෙන් රජකම අයැද සිටියත් ඉංග්‍රීසින් එයට කැමැති වුණේ නෑ. ඉංග්‍රීසින් ඔහුගෙන් ඉල්ලා සිටියා නැවතත් මහ නිලමේ තනතුර දරමින් ඔවුන් සමඟ රැඳී සිටින්න කියලා. නමුත් ඔහු ඒ අවස්ථාවේ පැවැසුවේ මට රජකමට වඩා පහළ කිසිම තනතුරක් එපා. මට නිලමේ තනතුරත් එපා කියලි. ඒ ප්‍රකාශයෙන්ම තේරෙනවා ඔහුට තිබුණේ බල තණ්හාවක් නෙවෙයි. තමන්ගෙ රට වැසියා වෙනුවෙන් හොඳ පාලකයන් වෙන්නයි ඔහුට අවශ්‍ය වුණේ.
නමුත් ඇහැළේපොළගේ බලාපොරොත්තු නැති කරමින් ඉංගී්‍රසින් සකස් කළ උඩරට ගිවිසුම 1815 වර්ෂයේ මාර්තු 02 මහනුවර මඟුල් මඬුවෙදි රදලවරුන් ඉදිරියේ ප්‍රකාශයට පත් කළා. සමාජයේ බැසගත් මිථ්‍යා මතයක් තිබෙනවා උඩරට ගිවිසුම මාර්තු 02 අස්සත් කළා කියලා. නමුත් එදින කළේ උඩරට ගිවිසුම රදලවරුන් ඉදිරියේ ප්‍රකාශයට පත් කළ එක පමණයි. උඩරට ගිවිසුමේ බුදු දහම රකින වගන්ති ඇතුළත් නෑ කියලා රදලවරු එයට විරුද්ධ වුණත් පසුව ඉංග්‍රීසින් බුදු දහම රකින වගන්තියක් එයට ඇතුළත් කළා. ඒ සියල්ලම කරලා 1815 මාර්තු 10 ඔවුන් උඩරට රදලවරු කැඳවූවා. එදින ඇහැළේපොළ පැමිණියේ නෑ. එදින ගිවිසුමට කිහිප දෙනකු අස්සන් කළා. අනෙක් පිරිස මඟ හැරියත් මාර්තු 18 වැනිදා හතර කෝරලයේ පිළිමතලාව නිලමේ, ගලගොඩ නිලමේ උඩරට ගිවිසුමට අස්සන් කළා. නමුත් ඇහැළේපොළ නිලමේ ගිවිසුම තැන්පත් කළ මහනුවර මඟුල් මඬුවටවත් පැමිණියේ නෑ. ඒ නිසාම ඉංග්‍රීසින් ඔහුගේ අස්සන ලබා ගන්න ඔහුගේ නිවෙසට දින දෙකක් උඩරට ගිවිසුම රැගෙන ගියත් ඔහු අස්සන් කළේ නෑ. ගිවිසුම නිවෙසට ගෙන ගියත් අස්සන් කළේ නෑ කියලා ජෝන් ඩොයිලිගේ දිනපොතේ පවා සඳහන් වෙනවා. එය ඇහැලේපොළ උඩරට ගිවිසුමට අස්සන් නොකළ බව පවසන්න තිබෙන හොඳ සාධකයක්.

කොහොම වුණත් ඇහැළේපොළ නමින් අස්සනක් උඩරට ගිවිසුමේ තිබෙනවා. සත්‍ය වශයෙන්ම මෙය ඉංගී්‍රසින් යෙදූ බොරු අස්සනක්. ඒ වගේම උඩරට ගිවිසුම හදපු ඉංග්‍රීසි නියෝජිත ජෝන් ඩොයිලිගේ දින පොතේ 18 වැනි දින වනතුරු ගිවිසුමට අස්සන් කළ රදලවරු ගැන සඳහන් වුණත් ඇහැළේපොළ ගැන සඳහනක් නෑ. ඔහුගේ නම සඳහන් කළ හිස් තීරුවේ ර්ථීඹ්ර්ණී යන කෙටි අක්ෂර ටිකක් පමණයි පවතින්නේ. එයින් තහවුරු වෙනවා උඩරට ගිවිසුමට සම්බන්ධ ඇහැළේපොළගේ සෑම දත්තයක්ම ඉංගී්‍රසින් හොරට හැදූ ඒවා කියලා. ඒ වගේම තමයි උඩරට ගිවිසුමේ අස්සන් කළ සෑම රදලවරයෙක්ගේම අස්සන පවතින්නේ ඔවුන්ගේ නමට ඉදිරියෙන් සඳහන් කරලා. නමුත් ඇහැළේපොළගෙ අස්සන තිබෙන්නේ ඔහුගේ නමක් සඳහන් කර නැති ගිවිසුමේ ඉහළින්ම කොනකට වෙන්න.
මේ වෙනකොට පුරාවිද්‍යාඥයන් පවා තහවුරු කරගත් මතයක් තමයි ඇහැළේපොළ නිලමේ සාමාන්‍ය ලේඛනවල කළ අස්සනේ සහ උඩරට ගිවිසුමේ සඳහන් ඔහුගේ යැයැ කියන අස්සනේ ලොකු පරස්පර තැන් පවතිනවා කියන කරුණ.'
සත්තකින්ම ඇහැළේපොළ උඩරට ගිවිසුම අස්සන් කළේ නැත. දැනට හමුවී ඇති සාධක හමුවේ හෙළි වන කරුණක් වන්නේ අසීමිත දේශප්‍රේමී බවකින් පසුවූ ඇහැළේපොළ නිලමේ ඉංග්‍රීසින්ගේ කපටිකම හමුවේ දේශද්‍රෝහියකු වී සිටින බවයි. ඉතිහාසගත වැරැදි මූලාශ්‍ර මත ඔහු දේශද්‍රෝහී ලැයිස්තුවේ තැබීම අප විසින් සිදු කරනු ලැබිය යුත්තක් නොවේ. සත්තකින්ම ඇහැළේපොළ නිලමේ වනාහි රටට ජාතියට ආදරය කළ දේශප්‍රේමී යුග පුරුෂයෙකි.

සමිත් මධුරංග

No comments

Powered by Blogger.