Header Ads

මහින්දව බය කරන මහින්දලා

පසුගිය සතියේ මහින්ද අපූරු කතා දෙකක් කීවේය. මේ පළමුවැනි කතාවය.

'මම ඒ කාලයේ විපක්‍ෂයේ ඉද්දී මුදල් ඇමැතිට ගැහුවා. හැබැයි ආණ්ඩුවට ආවාට පස්සේ ඇමැතිට ගහන්න බැරි හින්දා මමත් ගැහුවේ මුදල් ලේකම්ට...'
දෙවැන්න ඔහු කීවේ ඇමැති මණ්ඩලයේය. ඇමැති මණ්ඩලයේදී ඔහු කීවේ මෝඩිගේ ඇමැති මණ්ඩලය මෙන් කැබිනට් රහස් ආරක්‍ෂා කරන්න ඇමැති මණ්ඩලයේ දිවුරුම් ගත යුතු බවය.

මේ කතා දෙකෙන්ම පේන්නේ ආණ්ඩුව ඇතුළේ මහින්දලා හැදෙනවාට මහින්ද බිය වී ඇති බවය.
'කවුද මේ ආණ්ඩුව ඇතුළේ මහින්දලා...?'
මහින්ද හිතන්නේ මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ජයසුන්දරට විමල් වීරවංශ ගහන කොට විමල් තමන්ගේ ආණ්ඩුවේ මහින්ද කෙනෙක් වෙන්න දඟලනවා කියලාය.
හේතුව මහින්දත් චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ මුදල් අමාත්‍යංශයේ ලේකම් ඒ.එස්. ජයවර්ධනට ගැහුවේය. මේ ඒ ගැන මහින්ද රාජපක්‍ෂ චරිතාපදානය වන කුරහන් සාටකයේ සඳහන් වන ආකාරයය.
'එහෙත් පාද යාත්‍රා ගොස්, ජන ඝෝෂා කර තැනූ ආණ්ඩුවේ සිහිනෙකින්වත් බලාපොරොත්තු නොවූ දේවල්ම සිදු වෙමින් තිබිණ. මහින්ද රාජපක්‍ෂ සමඟ වැඩකිරීමත් සැපතක් යැයි කියා අමාත්‍යංශයේ උපදේශක සභාවට ආ වාසුදේව නානායක්කාර පසු කාලයේ කියූ පරිදි මහින්දලා හැදූ ආණ්ඩුව ජුන්ටාවකට යටවෙමින් තිබිණ.
මුලින්ම මේ ජුන්ටාව සමඟ ගැටෙන්නට සිදුවූයේ මහින්ද රාජපක්‍ෂටය.
ඒ එක්දහස් නවසිය අනූ හතරේ පෙරමුණේ ආණ්ඩුවේ මංගල අය - වැය සකසමින් තිබූ කාලයයි. මේ මංගල අය - වැය පිළිබඳ අදහස් ලබා ගැනීම සඳහා ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ජනාධිපතිනිය ජනාධිපති මන්දිරයට කැඳවා තිබිණ. මේ මංගල අය - වැයෙන් ඩීසල් වාහන සඳහා විශේෂ බද්දක් පනවන බව ජී.එල්. ජනාධිපති මන්දිරයට ආ මන්ත්‍රිවරුන්ට කීවේය.

ඩීසල් වාහන සඳහා බදු පැනවීමෙන් අමාරුවේ වැටෙන්නේ මධ්‍යම පන්තියේ ජනතාව බව මහින්ද රාජපක්‍ෂගේ අදහස විය. එබැවින් මහින්ද රාජපක්‍ෂ මෙසේ කියන්නට විය.
'ඩීසල් වාහනවලට බදු පැනෙව්වහම කව්ද අමාරුවෙ වැටෙන්නේ? මේ රටේ වෑන්වලින් සියයට අනූ පහක්ම දුවන්නේ ඩීසල්වලින්. කොහොමත් මධ්‍යම පන්තියේ මිනිස්සු පාවිච්චි කරන්නේ මේ ඩීසල් වාහන. ඉඳහිට වන්දනාවක යන්න, ටි්‍රප් එකක් යන්න, ස්කූල් සර්විස්වලට, ගමේ කඩේට බඩු අදින්න පාවිච්චි කරන්නේ ඩීසල් වාහන. දැන් අපේ රටේ පන්සල්වල වැඩිපුර පාවිච්චි කරන්නෙත් ඩීසල් වාහන. ඒ නිසා මේ ඩීසල් වාහනවලට බදු පැනෙව්වහම අමාරුවේ වැටෙන්නේ පොඩි මිනිස්සු. ඒ නිසා යූ.එන්.පී. ආණ්ඩු කාලෙත් ගේන්න හදපු මේ යෝජනාව දැන් නම් ගේන්න දෙන්න බෑ.
සාකච්ඡාව හමාර වී මුදල් අමාත්‍ය ජී.එල්. ඇතුළු මැති ඇමැතිවරු ජනාධිපති මන්දිරයෙන් පිටත්ව යමින් සිටියහ. මුදල් අමාත්‍යංශයේ ලේකම් ඒ.එස්. ජයවර්ධන පිටත්ව යන ජී.එල්. පීරිස් අමාත්‍යවරයා නතර කරගෙන ඔහුට ‍ෙදාස් නඟමින් සිටියේය.
'ගමේ ගොඩේ මුදලාලිලාව පරෙස්සම් කරන්නද හදන්නෙ?'

ඒ.එස්. ජයවර්ධන මුදල් අමාත්‍යවරයා නතර කරගෙන ඩීසල් බද්ද පැනවීම නතර නොකරන ලෙසට බල කරමින් සිටියේය. එතැනින් යන්නට ආ මහින්දටද ඇසෙන ලෙස ඒ.එස්. ජයවර්ධන, ජී.එල්.ට තදින් කතා කළේය. ගමේ ගොඩේ මුදලාලිලා පරෙස්සම් කරන්න හදන්නෙ ඇයි?' සංවාදය කෙරෙන තැනට ආ මහින්ද ඒ.එස්. ජයවර්ධනගේ ටයි පටියෙන් අල්ලා සොලවා තමන් වෙත ඇද ගත්තේය.
'උඹ කොහොමද ඡන්දෙන් පත්වෙලා ඉන්න මන්ත්‍රිවරුන්ට බලපෑම් කරන්නෙ? උඹලට ඕනෑ විදියටද අපි ආණ්ඩු කරන්න ඕනෑ'
ජී.එල්. ද, තවත් මන්ත්‍රිවරුද ඒ.එස්.ව ගලවා ගත්තේ මහත් වෑයමකිනි. එදා ඩීසල් බද්ද පැනවීම නතර කෙරුණද ජුන්ටාවේ වැඩ එතෙකින් නතර කෙරුණේ නැත.'
මහින්ද එදා ඒ.එස්. ජයවර්ධනට ගහලා වීරයෙක් වෙලා චන්ද්‍රිකාව දෙකේ කොළේට දැම්මේ එසේය. දැන් මහින්ද බය වෙලා ඉන්නේ විමල් ඒක කරලා වීරයා වෙලා තමාව දෙකේ කොළයට වට්ටයි කියලාය.

ඊළඟට ඇමැතිවරුන්ගෙන් කැබිනට් රහස් රකින්න දිවුරුමක් ගැනීමය. ලංකාවේ කැබිනට් රහසක් එළියට ගිය පළමු වතාව 1980 බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ඇමැති මණ්ඩලය ගත් තීරණය සති අත්ත ඉංග්‍රීසි පුවත්පතක පළවීමය. මේ ඒ පිළිබඳ ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය කියන කතාවය.
"ඔහු සැප්තැම්බර් මුලදී යළි ලක්දිවට ආපසු ආ නමුත් වාර්තාවේ පිටපත් 10 වැනි දින හෝ 17 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීම් සඳහා සූදානම්ව තිබුණේ නැත. සැප්තැම්බර් 24 වැනි දින රැස්වීම සඳහා යැවුණු ලේඛන සමඟ වාර්තාවේ පිටපත් අමාත්‍යවරුන්ට ලබාදී තිබුණු අතර එහිදී ඒ පිළිබඳ තීරණයක් ගත යුතුව තිබුණේය. එදින වාර්තාව සවිස්තර ලෙස සාකච්ඡා විය. කොමිසමේ සොයා ගැනීම් පිළිගැන්ම ගැන ඒකමතිකත්වයක් තිබුණු නමුත් කොමිසමක් ඉදිරියේ තබන ලද ප්‍රශ්නයක් අරබයා වරදකරුවූවන්ට සාමාන්‍යයෙන් පැනවෙන දඬුවම් බණ්ඩාරනායක මැතිනිය සඳහාද පැනවිය යුතුද යන්න ගැන අමාත්‍ය මණ්ඩලය තුළ බෙදීමක් විය. දඬුවම පැනවිය යුතු නැතැයි අමාත්‍යවරු හතර දෙනෙක් පවසා සිටියහ. ඉන් අදහස් වුණේ බණ්ඩාරනායක මැතිනියට ජනාධිපති සමාවක් දියයුතු බවයි. ඒ සිව් දෙනා නම් ගාමිණී දිසානායක, ආනන්ද තිස්ස ද අල්විස්, අධිකරණ අමාත්‍යවරයා නියෝජනය කළ ෂෙල්ටන් රණරාජා සහ ඇස්. තොණ්ඩමාන්ය. එක් එක් අයට මේ ස්ථාවරය ගැනීම ගැන තමන්ගේම හේතු තිබිණි. දඬුවම පැනවිය යුතුයැයි දැඩි සේ කියා සිටි අයද වූහ. බණ්ඩාරනායක මැතිනිය විසින් ජ.වි.පෙ. කැරැල්ලෙන් පසුව කිසිදු හේතුවක් නොදන්වා අත්අඩංගුවට ගනු ලැබ නඩු විභාගයකින් තොරව සිරගත කර සිටි අයකු වූ සී.පී.ජේ. සෙනවිරත්නද ඒ අතර වූයේය. මේ වධ හිංසාවට භාජන වීමෙන් පසුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තදබල ලෙස පිරිහී තිබිණි.

අන්තිමේදී දඬුවම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය ඒකච්ඡන්දයෙන් තීරණය කළේය. ඒ සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඔක්තෝබර් මසදී ඉදිරිපත් කර විවාදයකින් පසුව සම්මත කර ගැනීමට තීරණය විය.
සැප්තැම්බර් 24 වැනි දින අමාත්‍ය මණ්ඩලය රැස්වන විට කොමිසම විසින් බණ්ඩාරනායක මැතිනියට හානිකර වූ වාර්තාවක් ඉදිරිපත් කර ඇත යන ප්‍රවෘත්තිය පැතිර ගොස් තිබිණි. ජේ.ආර්. මෙවැන්නක් බලාපොරොත්තු වූයේ එබඳු, ප්‍රවෘත්තියක් පිටවීම වැළැක්විය නොහැකි බැවිනි. එහෙත් සැප්තැම්බර් 28 වැනිදා වීක්එන්ඩ් සන් පුවත්පතට එහි දේශපාලන ලියුම්කරු 'මිගාර' යන ආරූඪ නාමයෙන් ලියූ ලිපියක් මඟින් සැප්. 24 වැනි දින අමාත්‍ය මණ්ඩලයේ සිදුවූ සාකච්ඡාව හා තීරණය ගැන සාමාන්‍යයෙන් යථානුරූපී වූ විස්තරයක් ඉදිරිපත් කර තිබීම ගැන ජේ.ආර්. කැලඹීමට පත් විය. මේ පුවත අමාත්‍ය, මණ්ඩලයේ අභ්‍යන්තරයෙන්ම පිට වූවක් විය යුතු බව ඔහුට වැටහුණි.
මේ වන විට බණ්ඩාරනායක මැතිනිය වෙනුවෙන් පැමිණි දූතයන්ගෙන් ඔහු වෙත බලපෑම් එල්ල වෙමින් තිබුණේය. ඔවුන්ගේ අපේක්‍ෂාව වූයේ බණ්ඩාරනායක මැතිනියට ඇගේ ප්‍රජා අයිතිවාසිකම් හා පාර්ලිමේන්තු ආසනය අහිමි නොවන පරිදි ඔහුටද ඇඟ බේරාගත හැකි උපක්‍රමයක් යොදා ගැනීමට ඔහු පෙලඹවීමය. මේ ගැන ඔහු හමුවූවන් අතර බණ්ඩාරනායක මැතිනියගේ සුහුරන් වූ ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සොහොයුරියන්ගේ දරුවෝද, මැතිනියගේ සහෝදර මැකී රත්වත්තේ වෙනුවෙන් පැමිණියෝද වූහ. මැතිනිය මැයි 7 වැනි දින තමන් කොමිසමේ කටයුතුවලට සහභාගි නොවන බව පවසමින් කළ ප්‍රකාශනයේ පිටපතක්ද ඔවුහු රැගෙන ආහ. තවද ඇය වෙනුවෙන් ඉල්ලීමක් සර් ජෝන් කොතලාවල විසින්ද කරන ලදී. මේ හැම දෙනාටම ජේ.ආර්. දුන්නේ එකම පිළිතුරය. එනම් තමා අමාත්‍ය මණ්ඩල තීරණයක් වෙනස් කරන්නට අකැමැති බවය.

බණ්ඩාරනායක මැතිනිය වෙනුවෙන් සර් ජෝන් ඉදිරිපත් වීම ජේ.ආර්.ගේ හදවතට තදින් දැනුණු දෙයක් විය. මේ කාලයේදී සර් ජෝන්ගේ සෞඛ්‍ය අයහපත්ව තිබුණු අතර ඔහු නිවෙසෙන් බැහැර ගියේ කලාතුරකිනි. ජේ.ආර්.ට තම පැරැණි නායකයා හමුවූ අවසාන අවස්ථාව මෙය වූයේය. 1980 ඔක්තෝබර් 2 වැනි දින සර් ජෝන් අභාවප්‍රාප්ත විය. එම අභාවයන් සමඟ ජේ.ආර්.ට පැරැණි එ.ජා.ප.ය හා සමඟ තිබුණු අවසාන බැඳීමද අවසන් විය.
ඔක්තෝබර් 1 වැනි දින අමාත්‍ය මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී ජේ.ආර්. අසාමාන්‍ය පරිදි රණකාමී වෙසක් ගෙන සිටියේය. අමාත්‍ය මණ්ඩලය ඇතුළතින්ම ඔහුට දැනගන්නට ලැබුණු පරිදි 24 වැනි දින රැස්වීමෙන් පසුව ගාමිණී දිසානායක ශ්‍රී ල.නි.ප.යේ ප්‍රධානියකුවූ කොබ්බෑකඩුව හමුවී බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කිරීමේ තීරණය ගැන දැනුම්දී තිබුණැයි ආරංචි විය. මේ කාරණය ගැන නියෝජ්‍ය අමාත්‍ය පදවි දැරූ මන්ත්‍රිවරුන් දෙදෙනකු අතින් ලිඛිත ප්‍රකාශන ලබාගත් ජේ.ආර්. තමන් ඒ ගැන පරීක්‍ෂණයක් පවත්වන බව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නේය. ඒ සමඟම 'වීක්එන්ඩ් සන්' ලියුම්කරු 'මිගාරට' තොරතුරු පිටවීම ගැනත් පරීක්‍ෂණ පැවැත්වෙනු ඇති බව ඔහු දන්වා සිටියේය. මේ අමාත්‍ය මණ්ඩල පරීක්‍ෂණයෙන් කිසිවක් ඉටු වුණේ නැත. හේතුව ගාමිණී දිසානායක තමා හෙක්ටර් කොබ්බෑකඩුව හමුවූ බව ප්‍රකාශකර සිටීමය. එහෙත් එම හමුවීම සිදුවුණේ අමාත්‍ය මණ්ඩල රැස්වීම දින සවස නොව දින කීපයකට පසුව බව ඔහු කියා සිටියේය. දින වකවානු ගැන ප්‍රශ්නයක් තිබූ මුත් මේ වරද පිළිගැනීම ගැන ජේ.ආර්. සෑහීමට පත්විය. එබන්දක් යළි නොකරන ලෙසට කළ අවවාදයක් සමඟ ගාමිණී දිසානායකට සමාව ලැබිණි.
මෙහිදී වැදගත් කරුණ වන්නේ ජේ.ආර්. ගාමිණී දිසානායකගේ හැසිරීම ගැන විස්මයට පත්වූ බවය. දිසානායකගේ මේ අත්වැරැද්දට සාධාරණ හේතු ඇති බව ඔහුට වැටහුණි. ඔහු ප්‍රචණ්ඩ ක්‍රියා පැන නැඟෙනු ඇතැයි අවංකවම විශ්වාස කළ බව පෙනුණි. ඔහු මහත් කලබලයට පත්ව අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුව කොබ්බෑකඩුව වෙත දිව යෑමේ පුදුම සිද්ධියට හේතුව මෙය විය හැකිය යනු ජේ.ආර්.ගේ විශ්වාසය විය. ජේ.ආර්. මෙහිදී පක්‍ෂපාතීත්වය ගැන අමාත්‍ය මණ්ඩලයට දේශනයක් කළේය. දේශපාලන පක්‍ෂයක් තමන්ට පක්‍ෂපාතී පුද්ගලයන්ට කැමැති බවත් අමාත්‍යවරුන් තමා ඇසුරු කරන්නන් ගැන සැලකිලිමත් විය යුතු බවත් පැවැසූ ඔහු විපක්‍ෂ නායකයන් තම පෞද්ගලික මිතුරන් හෝ ඥාතීන් වුවත් ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වීමෙන් වැළකිය යුතු බවද කියා සිටියේය.
රජයේත් ජේ.ආර්.ගේත් ප්‍රතිචාරය වූයේ ජනාධිපති කොමිසමේ තීරණ ක්‍රියාවට නැංවීම කඩිනමින් කළ යුතු බවය. එහෙත් අගමැතිවරයා පිටරට සංචාරයකින් පසු පෙරළා එනතෙක් එය ප්‍රමාද කිරීමට ඔවුනට සිදුවිය. තීරණාත්මක පාර්ලිමේන්තු විවාදය යෙදී තිබුණේ 1980 ඔක්තෝබර් 16 වැනි දිනටය. එමඟින් දෙපක්‍ෂයටම ඊට සූදානම්වීම සඳහා සති දෙකක් කල් ලැබිණි.

තමා ගන්නට යන ක්‍රියාමාර්ගය රජයට කීප අතකින් වාසිදායක වන බව ජේ.ආර්.ගේ අදහස විය. කෙටි කාලීනව බලන විට බණ්ඩාරනායක මැතිනිය දේශපාලන කටයුතුවලින් ඉවත් කොට තැබීමෙන් එම පක්‍ෂයේ නායකත්වය සඳහා සිදු වන අරගලයේදී ශ්‍රී ල.නි.ප.ය තුළ ඇති බෙදීම් උග්‍ර වනු ඇත. මේ වන විටත් මැතිනියගේ අනුප්‍රාප්තිකයා පිළිබඳ ගැටුමක් හටගෙන තිබුණු අතර ඇගේ ආධාරකරුවන්ට පක්‍ෂය තුළ එතෙක් කල් පවත්වා ගෙන ආ දැඩි ග්‍රහණය එලෙසම තබාගත නොහැකි තත්ත්වයක් උද්ගතව තිබිණි. ඒ වනවිටත් බණ්ඩාරනායක පවුල පක්‍ෂයේ බල ඒකාධිකාරයක් පවත්වා ගෙන යෑම ගැන සෑහෙන නොරිස්සීමක් ඉස්මතුව පැවැතුණි. මැතිනිය යටතේ නියෝජ්‍ය නායකත්වය දැරූ.
පිටුව 319 - 322
මෙයින් පසු කැබිනට් රහස් එළියට යෑම ගැන ආන්දෝලනයක් ඇති වූයේ චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේය. එහිදී කැබිනට් රහස් මාධ්‍යයට දෙන රිපෝටර් ලෙස හංවඩු ගැසුවේ එකල ඇමැති මහින්ද රාජපක්‍ෂය. මේ 1998 ජුනි මස 3 වැනි දින චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුළ කතා බහ වුණ කැබිනට් රහස් එළියට යෑම මා විසින් ලංකාදීප පුවත්පතේ තිරය පිටුපස ලිපියේ ලියා පළ කළේ මෙසේය.

ඉස්සර රිපෝටර්ලා හිටියේ පුවත්පත්වලය. දැන් ආණ්ඩු පක්‍ෂයටත් රිපෝටර්ලා ඉන්නවාය. ආණ්ඩු පක්‍ෂයට පමණක් නොව විපක්‍ෂයටත් රිපෝටර්ලා ඉන්නවාය. රිපෝටර්ලා ඉන්න තරම කොතරම්ද කියනවා නම් රිපෝටර්ලා වෙනුවෙන් දැන් කර්තෘවරයකුත් නම් කළ යුතු තරමට වැහිවැහැලාය. පසුගිය ඇමැති හමුවේදී ඉන්දික ගුණවර්ධන ඇමැතිවරයා මේ රිපෝටර්ලා ගැන ප්‍රශ්නයක් ඇසුවේය. දැන් අපි මේ කතා කරන ඔක්කොම ඉරිදා පත්තරවල තියෙයි. ඔහු කීවේ රිපෝටර්ලාගේ තරම ජනාධිපතිනියට පෙන්වා දෙන්නටය. මෙපමණ කල් ආණ්ඩු පක්‍ෂයේ රිපෝටර් තනතුරට නම්කොට තිබුණේ මහින්ද රාජපක්‍ෂ ඇමැතිවරයාය. ඉන්දික ගුණවර්ධන ඇමැතිවරයාගේ කතාව ඔහුගේ හිතට ඇල්ලුවේ නැත.' ඔන්න ගිය සුමානේ නම් මම කැබිනට් මණ්ඩලයේ හිටියේත් නෑ. මම හිටියේ පිටරට. මම දැක්කා පාන් කතාවක් නම් පත්තරවල ගිහින් තිබුණා. කවුද දන්නේ නෑ දුන්නේ?' මහින්ද රාජපක්‍ෂ ඇමැතිවරයා ඇහුවේ ඇඟටපතට නොදැනෙන්නටය. 'ඒකත් හරි ගිය පාර ඇමැති මණ්ඩල රැස්වීමට මහින්ද ආවේත් නෑනේ. නේද? මංගල? ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරයා ඇසුවේය.' ඔව්, ඔව්, දැන් බලාගෙන ගියාම මෙතැන තව රිපෝටර්ලා ඉන්නවා. 'මංගල සමරවීර ඇමැතිවරයා කීවේ කාට කාටත් දැනෙන්නටය. 'ඔන්න දැන් මගේ රිපෝටර් ජොබ් එක ඉවරයි. දැන් මම එඩිටර්. දැන් තව රිපෝටර්ලා ඉන්නවානේ. ඔන්න ජනාධිපතිතුමියනි ඔබතුමිය බයවෙන්න එපා. ඔබතුමියට අවාසි දේවල් ඔක්කොම කපල කරල පත්තරවලට දෙන්නම්' මහින්ද රාජපක්‍ෂ ඇමැතිවරයා කීවේ අලුත් කර්තෘ තනතුරට තමා විසින්ම තමා නම්කර ගනිමිනි. ජනාධිපතිතුමියට ඒ කතාවට හිනා ගියාය. හිනාවෙමින්ම ඇය ඒ කතාවට තවත් අලුත් යමක් එකතු කළාය. 'මහින්ද එහෙම කිව්වට හරියන්නේ නෑ. මේ පාර ඇමැති මණ්ඩලයේ තියෙන්නේ මහින්දට අවාසි වෙන ඒවා. ඒවා අර සතිඅන්ත පත්තරයේ කර්තෘවරයාගේ ගෙදරටම ගිහිල්ලා දෙන එක්කෙනෙක් ඉන්නවා.' ඇය කියද්දි කවුරුත් එකිනෙකාගේ මුහුණවල් බලා ගත්තේ ඒ කවුදැයි සොයන්නට මෙන්ය. අනේ අපි නම් නෙවෙයි. කියන්නාසේ කවුරුත් කා දිහාත් බලා සිනාසුණාහ.

ආණ්ඩුවේ රිපෝටර්ලා සහ එඩිටර්ලා
07.06.1998
ලංකාදීප

දැන් මහින්ද බය වෙලා තියෙන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මහින්ද වගේ රිපෝටර්ලා ගණනාවක් තමන්ගේ ආණ්ඩුව ඇතුළේ බිහිවී ඇතැයි කියාය.
ඇත්තටම චන්ද්‍රිකාගේ 1994 - 2001 යන ආණ්ඩු කාලයේ ආණ්ඩුවට එරෙහි විවේචනයක් කළ ඇමැතිවරයකු හිටියා නම් ඒ මහින්ද රාජපක්‍ෂ විතරය. ඒත් අද එහෙම නෙවෙයි. අද ආණ්ඩුව විවේචනය කරන ඇමැතිවරුන් වැහි වැහැලාය.
බස්නාහිරින් හා දකුණෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරල තියෙනවා...
නිමල් සිරිපාල ද සිල්වා.
'මේ ආණ්ඩුව පෙරළන්න පුළුවන්...'
චම්පික රණවක
'ආණ්ඩුවේ ලේ නරක් වෙලා...'
රෙජිනෝල්ඩ් කුරේ
'මේක යූ.ඇන්.පී. ආණ්ඩුවක්...'

අතුරලියේ රතනහිමි
'ආණ්ඩුව යන තාලේ වැරැදියි...'
විමල් වීරවංශ
'මම ඕනෑ වෙලාවක විපක්‍ෂයට යන්න ලෑස්තියි...'
රාජිත සේනාරත්න
මේ ආණ්ඩුව ඇතුළේ ඉඳන් ආණ්ඩුව විවේචනය කරන මැති ඇමැතිවරු සහ මන්ත්‍රිවරු කිහිපයකි. වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණද ගහන්නේ ආණ්ඩුවටය.
මේ ඔක්කොම හදන්නේ මහින්දගේ මහින්දලා වෙන්නටය 'වේලා....?'
මහින්දව චන්ද්‍රිකාට අන්දවල ගෙදර යවන්නටය.


උපුල් ජෝශප් ප්‍රනාන්දු

No comments

Powered by Blogger.