Header Ads

රනිලුයි විමලුයි ඉන්නේ එක ඉත්තේ

"ශ්‍රී ලංකාව සමූහාණ්ඩුවක්ද" - පුවත්පතක් අසයි
"අධ්‍යාපනයට රටේ ආදායමෙන් 6%ක් වැය කරන්න"
- විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය (ජ්උඊඒ)
"මං බලයට ආවාම ඔය ධ්ර්ජ් ගිවිසුම ඉරා වීසි කරනවා" - රනිල්ගේ තවත් මෝඩ කතාවක්.
"ශ්‍රී ලංකන් එයාර් ලයින් බිලියන 25ක පාඩුවක්"

- පුවතක්.

මෑතකදී වේරිට් පර්යේෂණ ආයතනය අපූරු පර්යේෂණයක් සිද්ධකොට තිබෙනවා. ඔවුන් පර්යේෂණ සිදුකොට තිබෙන්නේ ලංකාව රටක් විදියට සමාජය වෙනුවෙන් කරන වියදම් ගැනයි.

අපි නමින් කියන්නේ සමාජවාදී සමූහාණ්ඩු රාජ්‍යයක් කියලයි. එවිට සමාජවාදී ආණ්ඩුවක් නම් වැඩියෙන් වියදම් කරන්න ඕනෑ තම සමාජය දියුණු කරන්න නොවේද? එහෙත් අපි වියදම් කරන්නේ කොහොමද? වේරිට් ආයතනය කියන විදියට අපේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්නේ ආදායමෙන් 1.8%යි. නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් වියදම් කරන්නේ 1.4%යි. අපි ධනවාදී රටවල් යැයි හංවඩු ගහන, විමල් වීරවංශ වැන්නෝ බෙරිහන් දෙමින් හෙළා දකින, බටහිර රටවල් දෙස දැන් බලමු. ඔවුන් තම රටේ අධ්‍යාපනය වෙනුවෙන් 5.3%ක්ද සෞඛ්‍ය වෙනුවෙන් 8.1ක්ද වියදම් කරනවා. වෙනකක් තබා ආසියාවේ අනෙක් දුප්පත් රටවල් පවා 2.9%ක් සහ 2.4%ක් අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරනවා. මෙසේ බලන විට ලෝකයේ අඩුම ප්‍රතිශතය වියදම් කරන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් අපි තමයි. එහෙත් ජනතාව මේ බව දන්නවාද? නැහැ. අපි හිතන්නේ අපි තමයි නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය අතින් ලෝකයේ ඉහළින්ම ඉන්නේ කියලා නොවේද?

• මෙහෙම වුණේ ඇයි?

මේ විදියට ආණ්ඩුව කාටත් හොරෙන්, අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට, දළ ආදායමේ ප්‍රතිශතය අඩු කිරීමට ප්‍රධාන හේතු දෙකක් වුණා. මීට අවුරුදු 10කට පෙර දළ ආදායමෙන් 3%ක් පමණ අපි අධ්‍යාපනයට වියදම් කරන විට, රටේ අධ්‍යාපනය නොමිලේ නිසා අපි මහ ලොකුවට කීවේ නිදහස් අධ්‍යාපනය කියලයි. එදා තිබුණු අවශ්‍යතාවලට එදා වියදම් කළ මුදලින් අපි පිරිමහ ගත්තා. එදා රුපියල ඩොලරයට සමාන්තරව ඉහළ තැනක තිබුණු නිසා එනම් රුපියල් සියයට අඩු නිසා අඩු පඩියක් දී ගුරුවරු වැඩට ගන්න පුළුවන් වුණා. එහෙත් අද? අද ගුරුවරුන්ට දෙන්නේ ඒ වැටුපමයි. එහෙත් ඔවුන්ට රුපියලේ අගය අඩු නිසා එම පඩියෙන් එදා ගත් භාණ්ඩ ගන්න බැහැ. ඒ නිසා අද වෙලා තියෙන්නේ ඔවුන් හැමෝම ටියුෂන් දෙනවා. ටියුෂන් දෙන විට ඒ මුදල් ගෙවන්නේ ආණ්ඩුවෙන් නෙවෙයි, මවුපියෝයි. ඒ නිසා තමයි අද මේ ටියුෂන් වසංගතය මේ තරම් පැතිරී තිබෙන්නේ. අවුරුදු 6 ළමයිනුත් හවස 6 වන තෙක් ටියුෂන් යනවා! පාසල් ළමයින්ට එදත් අදත් උගන්වන්නේ කළු ලෑල්ලෙන්. එසේ නැතිව දියුණු රටවල වගේ ක්‍රියාකාරකම් තුළින්වත් රසායනාගාරයෙන්වත් පරිගණකයෙන්වත් නෙවෙයි. කළු ලෑල්ලෙන් ඉගෙන ගන්න ළමයින්ට පුළුවන් වන්නේ වැඩිහිටියකු වෙලත් කළු ලෑල්ල ළඟට ඇවිල්ලා උගන්වන්න විතරයි. එසේ නැතිව නවීන ලෝකයට අවශ්‍ය විදියට නිර්මාණාත්මකව සිතන, අලුත් දේවල් කරන, රටේ ධනය නිෂ්පාදනය කරන පුද්ගලයෙක් වන්නේ නැහැ. එවැනි පුද්ගලයකු ඇති කරන්න නම් කළු ලෑල්ලට පිටස්තර අධ්‍යාපනයක් දෙන්න ඕනෑ. එසේ දෙන්න නම් ආණ්ඩුව මුදල් වැය කරන්න ඕනෑ. 1.8%ක් වියදම් කොට එය කරන්න බැහැ. ටියුෂන් පන්තිවලින් එය කළ නොහැකියි. ටියුෂන් පන්ති කියන්නෙත් පෞද්ගලිකව කරන කළු ලෑලි පන්තියක්. සෞඛ්‍යය ගැන කියන්න තිබෙන්නෙත් මෙයමයි.

• ආණ්ඩුවට ජොලි

ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය කියන බෙරේ හොඳට ගහනවා. ජනතාව මීට වඩා හොඳ දෙයක් දන්නේ නැති නිසා එම බෙර ගැහිල්ලට රැවටෙනවා. අපේ මවුපියන් තවම විශ්වාස කරන්නේ අර පරණ කතායි. ඒ කියන්නේ ඉපල් පහර කකා හෝ ළමයින් ඉගෙන ගත යුතු බවයි. නවීන සමාජයේ ඒ විදියට ඉපල් පහර කා ඉගෙන ගන්න බැහැ. එසේ ඉගෙන ගත්තේ රට ඉතා දුප්පත් කාලයේයි.
අද රට මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලැබෙන රටක්. එවැනි රටක ඉගෙනගන්න ඕනෑ නවීන ක්‍රම අනුවයි. සෞඛ්‍යයත් එහෙමම තමයි. සෞඛ්‍ය සේවාවන් නවීන කරන්න ඕනෑ. පෞද්ගලික වෛද්‍ය සේවාවේ යෙදී එය දියුණු කරන්න බැහැ. පෞද්ගලික ආරෝග්‍යශාලා ඇති කොට එය දියුණු කළ නොහැකියි. නවීන සෞඛ්‍ය සේවාවන්වලට ආණ්ඩුවේ මුදල් වැඩියෙන් යොදවන්න ඕනෑ. ඒ වගේම සාමාන්‍ය ජනතාවට පෞද්ගලික ආරෝග්‍යශාලාවලින් සේවා ලබාගන්න නම් සෞඛ්‍ය රක්‍ෂණ ඇති කරන්න ඕනෑ. එසේ නැතිනම් අපි සමාජයක් වශයෙන් එකම තැන ඉන්න වෙනවා. ඉතින් මෙය කරන්න නම් ජනතාවගේ ඇස් අරින්න ඕනෑ. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය උත්සාහ කරන්නේ ඒ කටයුත්ත කරන්න තමයි. තමන්ගේ රටේ තමන්ට අවශ්‍ය සේවය ලබාගන්න තමන් පත් කරගත් ආණ්ඩුවක් මඟින් අවශ්‍ය මුදල් වෙන් කර ගන්න කියන එක. එහෙත් එය සිදුවන්නේ නැහැ.

• රනිල්ගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ධ්ර්ජ්) කතාවේ ඇත්ත නැත්ත?

අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැය කරන වියදම් කපා හරිනවා යැයි ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ ගිවිසුමකට ආවේ නැහැ. එසේ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ප්‍රධානියායි. ආණ්ඩුව ඔය අධ්‍යාපනයෙන්, සෞඛ්‍යයෙන් කප්පාදු කරන ලද මුදල් ආයෝජනය කරන්නේ මොනවටද? ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම බිලියන 25ක් පාඩු ලැබුවා යැයි කී විට එම මුදල් හිලව් කරන්නේ ඔය කප්පාදු කළ මුදල්වලින්. ලංගම රුපියල් බිලියන 3ක් පාඩු ලැබුවා යැයි කී විට එම මුදල් හිලව් කරන්නේ අර කප්පාදු කළ මුදල්වලින්. එයින් වන එකම දේ තමයි ආණ්ඩුවට හිතවත් ලංගම සේවකයෝ හම්බ කරගන්නවා. කබල් ලංගම බස් දුම් පිට කරමින් පාරේ දුවනවා. ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සහ පෙට්ට්‍රෝලියම් සමාගමේ 2012දී පාඩුව බිලියන 150ක් යැයි ගණන් බලා තිබෙනවා. එම පාඩුව අපේ රටේ දළ ආදායමෙන් 2%ක් වෙනවා. එනම් එම පාඩුව අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට කරන වියදම්වලට වඩා වැඩියි!! මෙහෙම වෙන්නේ ඇයි? දේශපාලනය සහ පවුල් සංස්ථා පෝෂණය ඊට හේතුවයි. දේශපාලනය කියන්නේ තමන්ට අවශ්‍ය අයට මේ ආයතනවල රක්ෂා දෙන්න පුළුවන්. තමන්ගේ පවුලේ නෑදෑයන්ට මේ ආයතනවල මුල් පුටු දෙන්න පුළුවන්. එසේ නැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා නෙවෙයි, අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට මුදල් කප්පාදු කරන්නේ. ඔය ටිකවත් රනිල්ට තේරුම් ගන්න බැහැ නොවැ. ඉතින් ඔහු විරුද්ධ පක්‍ෂයේ නායකයා වන්නේ කොහොමද? විරුද්ධ පක්‍ෂයක් තිබෙන්නේ ජනතාව ආණ්ඩුවේ වැරැදි වැඩ ගැන දැනුම්වත් කරන්නයි. ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගන්න හදන එක ගැන ජනතාවට පෙන්වා දෙන්න. එසේ නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි විදේශ ආයතනවලට ඇඟිල්ල දිගුකොට බනින්න නෙවෙයි. විමල් වීරවංශ වැනි ආණ්ඩු ගැත්තෝ ඉන්නේ ඒකටයි. දැන් රනිලුත් එකයි, විමලුත් එකයි. දෙන්නම ඉන්නේ එක අත්තේ!

මිගාර

No comments

Powered by Blogger.