Header Ads

පංචායුධය එල්ලා ගැනීමටවත් බෙල්ල නැතිවන වීරවංශ

රටේ "පංචායුධය" ලෙස ඔහුම හඳුන්වාගත් "ජාතික නිදහස් පෙරමුණේ" නායක අමාත්‍ය විමල් වීරවංශට සත්‍ය අවබෝධ වෙමින් තිබෙනවා සේ පෙනේ. එදා 2005 ජනාධිපතිවරණ වේදිකාවේ වීරවංශ නැතුවම බැරි කථිකයෙකු විය. ජනතා විමුක්ති පෙරමුණේ පන්නරය හා ශක්තිය මත කාගේත් අවධානයට ලක් වූ ඔහු, පසුව ඉන් ඉවත් වී 2010 දී සන්ධාන ආණ්ඩුවේ
ප‍්‍රබල අමාත්‍ය ධුරයක් ලබාගෙන තවමත් එහි රැඳී සිටී.

ලේ උරාබොන කූඩැල්ලෙකු මෙන් සන්ධාන ආණ්ඩුවේ ලගිමින්, සිය
පක්ෂය ව්‍යප්ත කර ගැනීමට හා තම හිතවතුන්ට විවිධ තනතුරු ලබා ගැනීමට ඔහු උපක‍්‍රමශීලී විය. සන්ධානයේ වෙනත් පක්ෂවල ජ්‍යෙෂ්ඨයන්ද අභිබවා ජනාධිපතිවරයාගේ හිත දිනාගත් වීරවංශ, ජනාධිපතිගේ "ලොකුම පුතා" ලෙසද සමහරු හැඳින්වූහ. ගස් නැති තැන එඬරු ගසත් ගසක් වූවා සේ වීරවංශ සිය කට උපරිමයෙන් පාවිච්චි කරමින් මහා පණ්ඩිතයෙකු ලෙස පෙනී සිටියේය.

ආණ්ඩුවේ කැසිනෝ සූදු යෝජනාව හෙවත් ක‍්‍රමෝපාය සංවර්ධන පනතට එරෙහිව ඡන්දය නොදී එළියේ සිට ඒ විවේචනය කිරීම දැන් දුර යමින් තිබේ. මේ රටේ සමස්ත ජනතාවගෙන් 40%ක ප‍්‍රමාණයකගේ දෛනික ආදායම රුපියල් 250ක් බව ඔහු ප‍්‍රකාශ කළේ ඊයේ පෙරේදාය. යුධ ජය පෙන්වමින්, රට සංවර්ධනය කර ආශ්චර්යයට ගෙන යනවා කියමින් ගිය මගේ අවසානය මෙයදැයි පෙරළා ඔහුගෙන් ප‍්‍රශ්න කළ යුතුව ඇත. රාජපක්ෂ ආණ්ඩුවේ මහා වික‍්‍රමයක් ලෙස මෝඩ දේශපාලඥයින් හුවා දක්වන මාගම් පුර රාජපක්ෂ වරායද අසාර්ථක ව්‍යාපෘතියක් බවට ඔහු මත ඉදිරිපත් කර තිබේ. සිය දේශපාලන ගමන් මගේ මඟ වරද්දා ගත් වීරවංශට අවසාන මොහොතේ හෝ සත්‍යය පසක් වීම ගැන අපි සතුටු වෙමු.

යුද්ධයෙන් පසු හමුදාපති හිරගෙදර ගාල් කර, ත‍්‍රිවිධ හමුදාව රටට ඔරොත්තු නොදෙන ආකාරයට වැඩි කරමින්, සිවිල් පරිපාලනය, විදේශ සේවය ආදී සෑම අංගයක්ම හමුදාකරණයට ලක් කරන විට වීරවංශට ඒ බව නොපෙනුනේද?

රටේ නීතිය කණපිට පෙරළා, 18 වන සංශෝධනය අනුමත කරවාගෙන, අගවිනිසුරුවරිය තක්කඩි ආකාරයට ඉවත් කර දමන විට රට අයාලේ යන බව ඔහුට නොදැනුනේද?

පාර්ලිමේන්තුවේ බලය උත්තරීතරයි කියමින්, ජනතා පරමාධිපත්‍ය සරම අස්සේ දාගෙන, ආණ්ඩුව පත් කළ මන්ත‍්‍රී විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු ලෙස ශිරාණි බණ්ඩාරනායකට අපහාස උපහාස කරන විට, එක රැයකින් පිටු දහස් ගණනක චෝදනා ගොනු කර එයට අත්සන් තබන විට, මේ රට යන්නේ වැරදි දිශානතියකට බව වීරවංශට නොවැටහුනේද?

විදුලිය, ජලය, ප‍්‍රවාහණය පමණක් නොව උප්පැන්න සහතිකය- විවාහ සහතිකය- මරණ සහතිකය වෙනුවෙන් අය කරන බද්දද ඉහළ දමා, ඉඳිකටුවේ සිට ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු වැඩි කර ජනතාව දුකට පත් කරන විට ඔහු සිටියේ කොහිද?

එදා කටුනායකදී කම්කරුවෙකු ඝාතනය කරන විට, හලාවතදී ධීවරයන් ඝාතනය කරන විට, රතුපස්වලදී වතුර ඉල්ලූ ජනතාවට පහර දී වෙඩි තබා තිදෙනෙකු මරන විට, මාධ්‍යවේදීන් 11 දෙනෙකු පමණ ඝාතනය කර විශාල පිරිසක් අතුරුදහන් කරන විට, ගොනා හැරෙන්නේ පොල් පැළය කෑමට බව වීරවංශට නොසිතුණාද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, චීනයට මහා පරිමාණයෙන් ණය වී රටේ දරුවන් පවා එකෙකු ලක්ෂ 4ක් පමණ ලෝකයට ණයකරුවන් කරන විට, ඒ මුදල් වලින් කොමිස් ගසා, සංවර්ධනය නාමයෙන් අසාර්ථක ව්‍යාපෘතිවල යෙදෙමින්, පුංචි එකාගේ ගෙල බැඳි පංචායුධය පවා උගස් කිරීමට කටයුතු සැළසෙන විට රටේම පංචායුධයේ හිමිකරුට මේ නොතේරුණේද?

එදා ආණ්ඩු කීපයක්ම වැරදිමගේ ගෙනගොස්, මේ ආණ්ඩුව කාලයේදීම අධිකරණ තීන්දුවකින් වැරදිකරු වී, කිසිදු රජයේ තනතුරක් දැරීමට නුසුදුස්සකු ලෙස නම් කරනු ලැබූ පී. බී. ජයසුන්දර ආර්ථික ඝාතකයෙකු ලෙස හඳුන්වාදෙමින් ඔහු දරන මතවාදය අනුමත කළත්, අධිකරණ තීන්දුව පවා බාල්දුවට ලක් කරමින් ඒ තැනැත්තාට තනතුරු ලබා දුන් සහ ඔහු නියෝජනය කරන අමාත්‍යාංශයේ කැබිනට් ඇමතිවරයා ලෙස ක‍්‍රියාකරන තැනැත්තා මත පැටවෙන වරද වීරවංශ විග‍්‍රහ නොකිරීම විහිළුවක් නොවේද?

යුගයක ඉතාම අහිංසක ලෙස "සීගිරියේ වත් ගියේ නෑ" කියූ ඔබ ජනාධිපතිවරයා සමඟ ටයිකෝට් දමාගෙන විදෙස් රටවල කුමාරයෙකු සේ සංචාරය කරනු අප දුටුවෙමු. 2005 දී මුල් පාර්ලිමේන්තු කාලයේදී ඔබගේ බිරිඳ, දරුවන් හා පාර්ලිමේන්තු කැන්ටිමේදී ආහාර ගන්නා අයුරු දුටු අප, ඔබගේ පෞද්ගලික දිවි පෙවෙත ගැන උපේක්ෂාවෙන් බැලූවෙමු. බොහෝ ආර්ථික සම්පත් නොතිබූ ඔබ බිරිඳගේ පුංචි කොමියුනිකේෂන් එක ගැන කියද්දී අනේ අපොයි කියා සිතුවෙමු. ඇමති වූ පසු කෝටි ගණනක නිවසක් ඉදි කරන බවට කට කථා ඇහෙන විට, දූ දරුවන් විනෝද වීමට ඩිස්නිලන්තයට යන පුවත් ඇසෙන විට, කොණේඩෙ, රැවුල නඩත්තු කිරීමට සුවිශාල වියදමක් දරන බව කියන විට, තව තවත් දේපළ වත්කම් ගැන ඇසෙන විට මේවා විරුද්ධවාදීන්ගේ මඩ ප‍්‍රචාර ලෙස සලකා ඉවත දැමීමු.

ලංකා බැංකුවේ සභාපති ධුරයට කාරියවසම් කෙනෙකු පත් වනවිට, ඔබ වටා සිටි අයට විවිධ තනතුරු ලැබෙන විට, රාජපක්ෂවරුන් සතුයැයි පැවසෙන සිංහ එෆ්. එම්. හි තනතුරු ඔබේ පාක්ෂිකයන්ට ලැබෙන විට, රට පුරා නිවාස සංවර්ධන අධිකාරිවල රැකියා ඔබගේ පක්ෂයේ අයට ලැබෙන විට, ඉඩම් ඔවුන්ට ලැබෙන විට, අපට සිතුනේ ඔබ හැබෑවටම මේ ආණ්ඩුවේ ඉන්නා ශූරම මිනිහා බවය.

එදා අධිරාජ්‍යවාදයට එරෙහිව උගුරේ නහර ඉලිප්පී එන තුරු කෑ ගැසූ ඔබ, කොළඹ තාප්ප ගානේ කොකාකෝලා ගූගල් වර්ජනය කරන්නට ලියන විට, කැමරා අටවාගෙන ලෙමන් පෆ් පෙට්ටි ළඟ තබාගෙන තානාපති කාර්යාල අසළ උපවාස කරන විට, අප සිතුවේ ඇමරිකාව ලංකාවේ තානාපති කාර්යාලයත් ඉවත් කරගෙන යයි කියාය. යුගයක ලෝක බැංකුවේ ප්ලග් ගලවන්නට කතා කළ ඔබ, දැන් වර්තමාන ආණ්ඩුවේ ආර්ථික ක‍්‍රියාකාරිත්වය ගැන දෙන අර්ථකථනය කුමක්දැයි දැන ගැනීමට ආශාවෙන් සිටිමු.

අද රට පස්පවින්ම හොඳටම පිරුණු, ජාතිවාදයේ, ආගම්වාදයේ කරවටක්ම ගිලුණ, රටක් වී ඇත්තේ ඔබගේ දායකත්වයද ලබමින් බව කීමට සිදු වී තිබේ.

එදා "ඔහොම යං, ඔහොම යං" කියමින් ජනාධිපතිද ඇදගෙන ගිය ඔබ ගියේ වැරදි අගාධයකට බව අමුතුවෙන් කිව යුතුද? අද ආණ්ඩුවේ විනාශය ඇස් ඉදිරියේ පෙනෙද්දී යෝජනාවලියක් අටවාගෙන "මෙහෙම යං මෙහෙම යං" කියමින් කෑ මොර දෙන්නේ, හතර අතට පහර දෙන්නේ ඔබම වරක් කියා තිබූ පරිදි "නෙල්ලිකැලේ බුරියාගේ" චරිතය දැන් ඔබම රඟපාන නිසාද? ඔබගේ සද්දය හොඳ වුණත් වැඩ බාල බව අද කවුරුත් වටහාගෙන සිටිති.

අර මුසාමිල්ට මුදල් අල්ලස් දුන්නා යයි කියූ නාඩගම අවස්ථාවේ සිට මෑතක් දක්වා වූ ඔබේ රංගනය චිත‍්‍රපටයක වීරයාගේ චරිතයට සමානය. ක‍්‍රමයෙන් දියාරු වෙමින් ආ රංගන කුසලතාව දැන් විකටයාගේ භූමිකාවට එළඹ තිබේ. විජිත හේරත් මන්ත‍්‍රීවරයා කියන ආකාරයට එය කශේරුකාවේ ප‍්‍රශ්නයක්දැයි අප නොදනිමු. ජනතාව රැවටීමට ගොස් ඔබ රැවටුණා යැයි කීමට අප ඉක්මන් නොවෙමු. නමුත් සිදුවෙමින් පවතින්නේ එයම බව පෙනේ. ඌව පළාත් සභාවේ ඔබේ මන්ත‍්‍රීවරු දෙපළක් ගාල කඩාගෙන දෙපැත්තකට ගියේ මේ සෙල්ලම ඉදිරියේදී ඇස් රතුවන ලෙල්ලමක් වන බව ඔවුන් අවබෝධ කරගත් නිසාදැයි සාධාරණ සැකයක් අප තුළ උපදී. ඔබගේ රාජයෝගය ඔවුන්ට විශ්වාස නැත.

මේ යන තත්ත්වයේ හැටියට ජනතාවට පොරොන්දු වූ නිවාස ලක්ෂ ගණනාවක ව්‍යාපෘති අවසන් කරන්නේ කවදාද? බණ්ඩාරනායක ආණ්ඩු හා පේ‍්‍රමදාස ඉදිකළ මහල් නිවාස ව්‍යාපෘතිවල පිළිසකර කිරීම් නිම කර, පාට උලා, යළි ඔබගේ නම ගසා විවෘත කිරීමට හෝ තිබූ අවස්ථාව ඔබම අහිමි කරගත් බව අපගේ අදහසයි. මේ ඔබගේ මත්ද්‍රව්‍ය විරෝධී නාටකය නිසා සුභ සහ යස කථාවට නව අර්ථකථනයක් දෙමින්, මේ රටේ ජනතාවට විකාරරූපී නාටකයක් දැක බලා ගැනීමට ලැබෙනු ඇත. සන්ධානය යටතේ මිස තනිවම ගොස් දේශපාලන අනන්‍යතාවක් ගොඩනගාගෙන ජය ගැනුම යනු විහිළුවක් පමණකි. එහිදී සිදුවන්නේ අලියාගේ තරමට පිම්බීමට ගිය ගෙම්බාට සිදු වූ දෙයමය.

අප සිතන ආකාරයට වීරවංශට ගත හැකි ක‍්‍රියාමාර්ග දෙකක් ඇත. එකක් ආණ්ඩුවේ මෙතෙක් ආ ගමන්මග පිළිබඳ අවංක විවේචනයක යෙදී ඇමතිකම දමා ගෙදර යෑමය. නැතිනම් මේ විරෝධාකල්ප චරිතය රඟපාමින් ආණ්ඩුව තුළම එල්ලී සිට, බොරු විවේචන මඟින් සැබෑ විවේචන යටපත් කොට, අවසානයේ ජනාධිපතිගේ ජයග‍්‍රහණයට පාර කැපීමය. ඒ ගොංපාට් එකට මේ රටේ ජනතාව යළි නොරැවටෙනු ඇත. පළමුවෙන් අප දැක්වූ ක‍්‍රියාදාමයට ඔහු ගියහොත් අද නැගෙමින් පවතින ජනතා විරෝධයේ අංශු මාත‍්‍රයක් හෝ ඔහුට සවන් දෙනු ඇත. මේ දෙකෙන් මොන විසඳුමට ගියද වීරවංශගේ දේශපාලන ගමන්මගේ මේ සළකුණු වන්නේ අනාථ වීමේ ලකුණය. ආණ්ඩුවෙන් ඉවත් වූ විගස අද රෙද්දපල්ලේ ගලා යන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බූවල්ලාගේ අඬු බඬු ඔහු පසුපස එළවනු ඇත. දැනටමත් රාජ්‍ය මාධ්‍ය අවි අමෝරමින් සිටී. අල්ලස් කොමිසම, සී. අයි. ඬී.ය සීරුවෙන් සිටිති. අර ලක්ෂයේ විදුලි බිලම ඔවුන්ට ප‍්‍රමාණවත්ය. එවිට හොඳ හොඳ දේවල් ජනතාවට එළිදරව් වනු නොඅනුමානය. ඔහුගේම කැබිනට් සගයන් ඔහුට එරෙහිව නැගී සිටින ආකාරය රටට දැක ගැනීමට ලැබෙනු ඇත. අද අපි දකින යථාර්ථය ඔහුට හැබෑවටම පසක් වනු ඇත්තේ එවිටය.

වීරවංශ ඇමති සමඟ එක විවේචනයේ යෙදුණ හෙළ උරුමයේ පාඨලී චම්පික ඇමතිවරයා නම් ගියරය මාරුකර ඇති බව දැනේ. පසුගියදා විශ්වාසභංගයට පක්ෂ හෝ විපක්ෂ නොවූවත් ඔහු කියන්නේ මේ ආණ්ඩුව පෙරළා දැමීමට ඉඩ නොදෙන බවයි. එසේ නම් ඔහු මේ බහුභූත නටන්නේ ජනතාව ගොනාට ඇන්දවීමට විය යුතුය. ඔහුට අනුව නම් රැවුළයි කැඳයි දෙකම ඔහුට අවශ්‍යය. මේ කරන්නේ ජනතා බුද්ධියට නිගා කිරීමක් නොවේද? චම්පිකගේ දේශපේ‍්‍රමී කථා කැසිනෝ ජාවාරම්කාර ජේම්ස් පැකර්ගේ කථාවලටත් වඩා පහත්ය. පැකර් කෙළින් කියන දේ කීවත් චම්පිකලා ආගමට දේශපේ‍්‍රමයට මුවා වී ඉරටෙන් ආඳා මාළු කයි.

අපට පෙනෙන ආකාරයට නම් මේ දෙදෙනාම ඔන්චිලි පදින්නේ සාටකයේ දෙපැත්තේය. මේ වසර 10ක කාලයට මේ සියළු දෙනාම එක් වී රට තල්ලු කර තිබෙන්නේ යළි ගොඩගත නොහැකි අගාධයකටය. අද නීතිය බල්ලාට ගොස් ඇත. ආගම, සදාචාරය, සංස්කෘතිය අන්තවාදීන් අත කෙළිබඩුවකි. මහා නාහිමිවරුම කියන පරිදි පංච මහා බලවේගයම මහ පාරේය. ආණ්ඩුවේ සියළු ජනතද්‍රෝහී කටයුතුවලට උඩගෙඩි දී, ආණ්ඩුව රකින මැති ඇමතිවරු එළියේදී කියන්නේ වෙන වෙන කථාය. විවේචනය ජනතාවාදීය. ක‍්‍රියාකාරකම් ජනතාද්‍රෝහීය. මේ යන සංවර්ධනය අවසානයේදී ජනතාවට කන්නට සිදුවන්නේ අඩු ප‍්‍රමිතියෙන් යුත් කාපට්ය. තාරය. කොන්ක‍්‍රීට්ය. ලෝකයම අප සමඟ අමනාප වී සිටින්නේ ආණ්ඩුවේ බොරුව, වංචාව, අහංකාරකම නිසාය. මහ රජාණන්ගේ උද්ධච්චභාවය රාජ්‍යතාන්ත‍්‍රික කි‍්‍රයාවන්හිදීත් යොදා ගන්නා බැවිනි. මේ ආකාරයට ඉතිහාසය සනිටුහන් කළ ඒකාධිපති දුෂ්ඨ නායකයන්ට හා ඔවුන්ගේ හෙංචයියන්ට සිදු වූ, අදත් සිදුවෙමින් පවතින දෑ අපේ අයට නොපෙනීම ඔවුන්ගේ අවාසනාවය. ජනතා පරමාධිපත්‍ය සත්‍ය වශයෙන්ම සදාකාලිකව ඇත්තේ ජනතාව ළඟ බව මේ රටේ ජනතාවද අනාගතයේදී පසක් කරගනු ඇත. එය ඇත්තේ අධිකරණයේ, පාර්ලිමේන්තුවේ හෝ විධායකයේ යයි සිතා සිටින, එසේ වරක කියූ වීරවංශලාට සැබෑ ජනතා පරමාධිපත්‍යයේ බලය වටහා ගැනීමට කාලය එළඹෙමින් ඇත්තේය.

ජනතාවගේ අදහස් උදහස් වටහා නොගෙන, ජනතාව රවටා බලය ලබා ගෙන, ඒ බලයෙන් යළි ජනතාවම පෙළන පාලකයන්ට, දේශපාලුවන්ට අත්වන්නේ කුණුබක්කිය පමණකි. වරෙක ඇමති එස්. බී. කීවා සේ කනත්තේ දොරකඩට ගොස් ආපසු හැරී ඒමට ඇමති විමල්ට ශක්තියක්, ඥාණයක් ඇත්දැයි අපි නොදනිමු. කෙසේ වෙතත් දැන් වීරවංශ රඟන නාටකයේ අධ්‍යක්ෂණය මහින්ද රාජපක්ෂගේ බව ජනතාව දනිති. පවතින කරුණු කාරණා අනුව වීරවංශ ඇමතිට පංචායුධය තබා එය එල්ලා ගැනීමට බෙල්ලවත් බේරා ගැනීමට හැකිවේදැයි සැක සහිතය.

උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය

No comments

Powered by Blogger.