Header Ads

රාජා හෝ මා හෝ ගංගා හෝ

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රී ල.නි.ප.ය පිහිටුවා තරග කළ පළමු ඡන්දය වූ 1952 මහ මැතිවරණයෙන් ආසන 9ක් දිනා ගත්තේය. ආචාර්ය එන්.එම්. පෙරේරාගේ ල.ස.ස.ප.යද ඒ ඡන්දයෙන් ආසන 9ක් දිනා ගත්තේය. එහිදී විපක්‍ෂ නායකයා කවුද කියන එක ගැන ප්‍රශ්නයක් මතුවිය. එහිදී බණ්ඩාරනායකට විපක්‍ෂ නායකකම දෙන්න ඇන්. ඇම්. එකඟ විය. 1977දී මහ ඡන්දයෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අමිර්තලිංගම් විපක්‍ෂ නායක විය. ශ්‍රී ල.නි.ප.යට විපක්‍ෂ නායකකම අහිමි විය. 1983දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර අතහැර යද්දී විපක්‍ෂ නායක ලෙස පත් වූයේ අනුර බණ්ඩාරනායකය. මේ වන විට කොමියුනිස්ට් පක්‍ෂය ශ්‍රී ල.නි.ප.යේ මැතිනිය සහ අනුර කණ්ඩායමට එරෙහිව දේශපාලනය කළත් අනුරගේ පත් වීමට කොමියුනිස්ට් පක්‍ෂ මන්ත්‍රි මුත්තෙට්ටුවගම විරෝධයක් දැක්වූයේ නැත. හේතුව විපක්‍ෂ නායක ධුරය ප්‍රධාන විපක්‍ෂයට හිමි විය යුතු නිසාය. 1952දීත් 1983දීත් ශ්‍රී ල.නි.ප.ය. විපක්‍ෂ නායක ධුරය තම පක්‍ෂය තුළ තියාගන්න සටන් කළේ එලෙසය.


එහෙව් ශ්‍රී ල.නි.ප.යේ මහින්දවාදීන් අද කියන්නේ විපක්‍ෂ නායක ධුරය මන්ත්‍රි ආසන 140ක් නියෝජනය කරන ශ්‍රී ල.නි.ප.යට නොදී ආසන 3ක් නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණට දෙන්න කියාය.


"ශ්‍රී ල.නි.ප. මහින්දවාදීන් හදන්නේ පිහිය රත්තරන් කියලා පපුවට ඇන ගන්නද...?".
ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි අද ශ්‍රී ල.නි.ප. මහින්දවාදීන් හරහා පක්‍ෂය පාලනය කරන්න යන්නේ පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රි ධුරයක් හිමි විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාරය. දිනේෂ්ව විපක්‍ෂ නායක කළ යුතු යැයි කියන්නේ ඔවුන්ය. ශ්‍රී ල.නි.ප.යේ අගමැති අපේක්‍ෂකයා මහින්ද විය යුතු යැයි තීරණය කරන්නේ ඔවුන්ය.
වලිගය විසින් බල්ලා වනනවා යැයි ගමේ කතාවක් තිබේ. අද ශ්‍රී ල.නි.ප.යට වෙලා තියෙන්නේත් ඒකමය. 2001 මහ මැතිවරණයෙන් ශ්‍රී ල.නි.ප.ය ප්‍රමුඛ පොදු පෙරමුණු ආණ්ඩුව පරාජයට පත් වූ විට විපක්‍ෂ නායක ධුරයට පත් වූයේ රත්නසිරි වික්‍රමනායකය. ඒ වේලාවේ මහින්ද රාජපක්‍ෂ එවකට ජනාධිපතිනි සහ පක්‍ෂ නායිකා චන්ද්‍රිකාගෙන් විපක්‍ෂ නායක ධුරය ඉල්ලා සිටියේය. ඒ සඳහා ඔහුට එකල පක්‍ෂ මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේනද, ෆවුසි සහ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේද සහාය පළ කළහ. එහෙත් මහින්ද විරෝධී මංගල එකල පාර්ලිමේන්තුවේ ආසන 16ක් නියෝජනය කළ ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විමල් වීරවංශව අල්ලාගෙන මහින්ද විපක්‍ෂ නායක ධුරයට පත්වීම වැළැක්වීමේ ව්‍යාපාරයක් ගෙන ගියේය. විමල්ලා චන්ද්‍රිකාට කීවේ මහින්දව විපක්‍ෂ නායක ධුරයට පත් කළොත් තමන් ශ්‍රී ල.නි.ප.ය සමඟ පාර්ලිමේන්තුවේ එකට වැඩ නොකරන බවය.

ඒ වේලාවේ චන්ද්‍රිකාට මහින්ද එක්ක ප්‍රශ්න තිබුණත් විමල්ලාගේ ජ.වි.පෙ., ශ්‍රී ල.නි.ප.ය පාලනය කිරීමට උත්සාහ ගැනීම ඇයගේ කෝපයට හේතුවිය. ඇය මහින්දව විපක්‍ෂ නායක ධුරයට පත් කරන්න අකැමැත්තෙන් එකඟ වූයේ විමල්ලාගේ ජ.වි.පෙ. විපක්‍ෂ නායක විය යුත්තේ කවුද කියන එක තීරණය කරන්න ගත් උත්සාහය පරාජය කරන්නටය.
පසුව ශ්‍රී ල.නි.ප.ය සහ ජ.වි.පෙ. එක්ව සන්ධානයක් හදාගෙන 2004 මහ මැතිවරණයට යන විට අගමැති අපේක්ෂකයෙක් නම් කළේ නැත. පසුව ආණ්ඩුවක් පිහිටුවන්න යද්දී යළිත් විමල්ලාගේ ජ.වි.පෙ. මහින්දට අගමැති ධුරය දීමට විරෝධය පළ කළේය. මෙය මෛත්‍රිපාලගේ ඇත්තයි සත්තයි පොතෙහි සටහන් වන්නේ මෙසේය.


"උදේ 9.00ට පමණ හෙලිකොප්ටරයක් පොළොන්නරුවට පැමිණියේය. මෛත්‍රි ගුවන් මඟින් කොළඹට පැමිණ කෙළින්ම ගියේ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයටය. ඒ වන විට ලක්‍ෂ්මන් කදිරගාමර් සහ ජනාධිපති ලේකම් කුසුම්සිරි බාලපටබැඳි යන මහත්වරුද පැමිණ ජනාධිපතිනිය සමඟ කතා බහ කරමින් සිටියහ. මෛත්‍රි සිනාමුසු මුහුණින් පිළිගත් ජනාධිපතිනිය "ආ මෛත්‍රී එන්න වාඩි වෙන්න" කීවාය.
ඒ වන විට සියලුම මැතිවරණ කොට්ඨාසවල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී හමාරය. සන්ධානයට පැහැදිලි ජයග්‍රහණයක් ලැබී තිබිණි.


"අපි හෙට අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න ඕන. අගමැති, ඇමැති මණ්ඩලය දිවුරුම් දෙන්න ඕන." ජනාධිපතිනිය සාකච්ඡාවට මුල පිරුවාය.
"දැන් කවුද අගමැතිකමට පත් කරන්නේ" එතුමිය එක්වරම ඇසුවේ මෛත්‍රි දෙස බලමිනි. මෙය මෛත්‍රි අපේක්‍ෂා නොකළ ප්‍රශ්නයකි. ඔහු කදිරගාමර් මහතාගේ සහ ජනාධිපති ලේකම්වරයාගේ මුහුණු දෙස එක්වරම බැලුවේ, මෙවැනි ප්‍රශ්නයක් තමාගෙන් අහන්නේ ඇයිදැයි සිතාගත නොහැකිවය. මඳක් නිරුත්තරව සිට මෛත්‍රි කීවේ "අගමැති කවුද කියලා තීරණය කරන්නේ ඔබතුමියනෙ" කියාය. "දැන් සන්ධානය තුළ ජේ.වී.පී. එක ප්‍රබල වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ මන්ත්‍රිවරුන් 40ක් විතර පත් වෙලා ඉන්නවා. ජේ.වී.පී. එකේ ලේකම් ටිල්වින්ගේ අස්සනින් ලියුමක් එවලත් තියෙනවා. ඒගොල්ලන්ගේ දේශපාලන මණ්ඩලයේ තීරණයක් මත ප්‍රමුඛතාව දීලා, අගමැතිකමට පත් කරන්න නම් තුනක් යෝජනා කරලා" යැයි කියමින් ජනාධිපතිනිය ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් එවන ලද ලිපිය මෛත්‍රි අතට දුන්නේ ඔහුගේ ප්‍රතිචාරය කුමක්දැයි දැනගනු රිසියෙනි.


මෛත්‍රි ලිපිය ගෙන කියවන්නට විය. එහි අගමැතිකමට නම් තුනක් පිළිවෙළින් යෝජනා කර තිබිණි. එහි පළමු ඉල්ලීම ලෙස සටහන් කර තිබුණේ අගමැති ධුරය සඳහා ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා පත් කිරීමය. අගමැතිකමට කදිරගාමර් මහතා පත් කිරීමට බාධාවක් තිබේ නම් ඒ සඳහා අනුර බණ්ඩාරනායක මහතා පත් කරන්න යැයි දෙවැනි යෝජනාව ලෙස ඉල්ලා තිබිණි. එම දෙදෙනාගෙන් එක් අයකු සන්ධාන ආණ්ඩුවේ අගමැති ලෙස පත් කිරීම අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වන බව ජ.වි.පෙ. ලිපියෙන් අවධාරණය කර තිබිණි. මේ දෙදෙනාම පත් කිරීමට නොහැකි නම් තවත් විකල්පයක්ද යෝජනා කර තිබිණි. කදිරගාමර් සහ අනුර බණ්ඩාරනායක යන දෙදෙනාම පත් කළ නොහැකි නම් ජ.වි.පෙ. ඉල්ලීම වූයේ අගමැතිකමට ශ්‍රී ල.නි.ප. මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කළ යුතු බවටය. මෛත්‍රි ජ.වි.පෙ. ලිපිය දෙතුන් වරක්ම එක දිගට කියෙව්වේය. ඔහු කියන්නේ කුමක්දැයි ජනාධිපතිනියත් කදිරගාමර් සහ ජනාධිපති ලේකම්වරයාත් පුල පුලා බලා සිටියහ. ලිපිය ආපසු දුන් මෛත්‍රි දුන්නේ ඍජු පිළිතුරකි. "රටේ ජනතාව මේ වෙලාවේ අගමැති විදියට බලාපොරොත්තු වෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්මයා අගමැති විදියට පත් කිරීමයි" මෛත්‍රි කෙළින්ම කීවේය.


කොතෙකුත් තර්ක විතර්ක ඇති වුවද, අවසානයේ මෛත්‍රිගේ යෝජනාව පිළිගන්නට ජනාධිපතිනියට සිදුවිය. "අගමැතිකමට මහින්ද පත් කරනවා මිසක් මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැහැ" එතුමිය කීවේ වෙන කරන්නට දෙයක් නොමැතිවය. "ඒ තීන්දුව තමයි ඔබතුමියගේ නිවැරැදිම තීන්දුව" කියමින් මෛත්‍රිද රජ ගෙදරින් පිටව ගියේය. ඒ අනුව පසුවදා එනම් අප්‍රේල් මස 12 වැනිදා සන්ධාන ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාත්, අමාත්‍ය මණ්ඩලයත් ජනාධිපතිනිය ඉදිරියේ සුබ මොහොතින් දිවුරුම් දුන්හ."


ජ.වි.පෙ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ආසන 40ක් හිමි කරගෙන ශ්‍රී ල.නි.ප. ආණ්ඩුව ඕනෑම මොහොතක වට්ටවන්න හයියක් තිබියදී ශ්‍රී ල.නි.ප.යේ අගමැති කවුද කියා ජ.වි.පෙ. තීරණය කරන්න යෑම චන්ද්‍රිකා ඉවසුවේ නැත.
"චන්ද්‍රිකා ජ.වි.පෙ. මන්ත්‍රිවරුන් 40කට හිස නැමුුවේ නැත්නම් පක්‍ෂ දෙකක් නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙන්නකු කියන පළියට ශ්‍රී ල.නි.ප.ය විපක්‍ෂ නායකයි අගමැති අපේක්‍ෂකයි නම් කළ යුතුද...?"


අඩුම තරමේ ඔවුන් නිමල් සිරිපාල වෙනුවට ශ්‍රී ල.නි.ප.ය තුළින්ම වෙනත් අයෙක්ව විපක්‍ෂ නායක ධුරයට නම් කරනවා නම් කමක් නැත. නම් කරන්න කියන්නේ පිට පක්‍ෂයක මන්ත්‍රි ආසන තුනක් හිමි දිනේෂ්වය. නිමල් සිරිපාල කියන්නේ ප්‍රේමදාස ආණ්ඩු කාලයේ විපක්‍ෂයේ සිටි ප්‍රබල චරිතයකි. ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහි දූෂණ චෝදනා රටට ගෙන ගිය දෙතුන් දෙනා අතරින් ඔහු ප්‍රධානය. 1993 පොදු පෙරමුණ පිහිටුවද්දීත් 2004 සන්ධානය පිහිටුවද්දීත් ඔහු විශාල කාර්යභාරයක් ඉටු කළේය. කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතය බේරාගත් ශ්‍රී ල.නි.ප. නායකයන් අතර චන්ද්‍රිකාට දෙවැනි වන්නේ නිමල් සිරිපාලය. ඔහු චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේදී යාපනයේ සංචාරය කරද්දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්විය. ඔහුගේ හිසට සහ සිරුරට බරපතළ තුවාල සිදුවිය. නිමල් බේරුණේ අනූනවයෙනි. මාස කිහිපයක් ඔහුට ප්‍රතිකාර ගැනීමට සිදුවිය. නිමල්ට ශ්‍රී ල.නි.ප.යේ විපක්‍ෂ නායක වීමට සියලු සුදුසුකම් තිබේ. ඔහු විපක්‍ෂ නායක ධුරයට නුසුදුසු යැයි යමකු තර්ක කරනවා නම් සුදුස්සා තෝරාගත යුත්තේ ශ්‍රී ල.නි.ප.ය තුළින්ය. පිට පක්‍ෂවලින් නොවේ.

දිනේෂ් දක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයෙකි. හැබැයි ඔහු 1977න් වසර 17කට පසු ශ්‍රී ල.නි.ප.ය යළි ආණ්ඩු බලය ගන්න සූදානම් වූ 1994 මහ මැතිවරණයේදී වක්‍රව එ.ජා.ප.යට සහාය පළ කළේය. ඔහු එම මැතිවරණයේදී තම පක්‍ෂයට අපේක්‍ෂකයන් විශාල ප්‍රමාණයක් ඉල්ලා සිටියේය. චන්ද්‍රිකා එයට එකඟ නොවීය. ඒ වෙනකොටත් දිනේෂ් ශ්‍රී ල.නි.ප.ය තුළ හෙළ උරුමය නමින් වෙනම කල්ලියක් හදාගෙන අනුරව ජනාධිපති අපේක්‍ෂකයා කොට අගමැති වෙන්න සිහින මවමින් සිටියේය. චන්ද්‍රිකා 1994 දකුණු පළාත් සභාව දිනා ශ්‍රී ල.නි.ප.යට දිනන්න නම් සුළු ජාතික ඡන්ද අවශ්‍ය යැයි කියා සුළු ජාතික පක්‍ෂවල සහාය දිනා ගන්න උත්සාහ කරද්දී දිනේෂ් එයට එරෙහිව අනුර ඇතුළු හෙළ උරුමය කල්ලිය එ.ජා.ප.යට එකතු වීම සාධාරණීයකරණය කළේය. 1994දී චන්ද්‍රිකාත් ශ්‍රී ල.නි.ප.යත් පරදවන්න සපථ කළ දිනේෂ්, චන්ද්‍රිකා - ප්‍රභාකරන් සහ චන්ද්‍රිකා - අස්රෆ් හොර ගිවිසුමක් ගැන කියමින් එ.ජා.ප. කොන්ත්‍රාත්තුවක් ඉටු කළේය. එහෙත් දිනේෂ් 1994දී අන්ත පරාජයකට ලක්විය. ඔහුගේ මන්ත්‍රි ධුරයද ඔහුට අහිමි විය. පසුව තනියෙන් තරග කොට මන්ත්‍රි ධුරයක් දිනා ගත නොහැකි බව දැනගත් දිනේෂ් 2000 මහ මැතිවරණයේදී චන්ද්‍රිකාගේ නායකත්වය පිළිගෙන ශ්‍රී ල.නි.ප. කොන්දේසිවලට යටත්ව පොදු පෙරමුණෙන් තරග කළේය.


"එහෙව් දිනේෂ්වද මේ ශ්‍රී ල.නි.ප.යේ විපක්‍ෂ නායක කරන්න කියන්නේ...?"

එහෙම කියන්නේ මහින්ද රාජපක්‍ෂවත්, බැසිල් රාජපක්‍ෂවත්, නාමල් රාජපක්‍ෂවත් නොව රාජපක්‍ෂලා විසින් මෙහෙයවන එක මන්ත්‍රි ධුරයක් නියෝජනය කරන පක්‍ෂ දෙකකි. මේ පක්‍ෂ දෙක රාජපක්‍ෂලාට ශ්‍රී ල.නි.ප.යේ බිලි බෝයිස්ලා ටිකක් එකතු කර දී තිබේ. පසුගියදා රත්නපුර වේදිකාවට නැග්ගේ මේ මන්ත්‍රි බිලි බෝයිස්ලාය. බැසිල්වත්, නාමල්වත්, චමල්වත් අඩුම තරමේ මහින්දවත් මේ වේදිකාවට නැග්ගේ නැත. ඔවුන් පක්‍ෂ විනයට බයය. ඔවුන් හැංගී පාවිච්චි කරන්නේ බිලි බෝයිස්ලාය. 2013 හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයට බැසිල් හෝ නාමල් අස්සන් කළේ නැත. හැබැයි ඔවුහු ශ්‍රී ල.නි.ප. මන්ත්‍රිවරුන් බිලි බෝයිස්ලා කරගෙන අස්සන් බලෙන් ගත්හ.


අද වෙන්නේත් ඒකය. මේ රටේ තවදුරටත් එ.ජා.ප.ය හෝ ශ්‍රී ල.නි.ප.ය දෙපිල බෙදී අගමැති අපේක්‍ෂකයා නම් කරන්න කියා පක්‍ෂ නායකයාට අභියෝග කරමින් සුළු පක්‍ෂ එකට එකතු කරගෙන ප්‍රසිද්ධ රැස්වීම් පවත්වා නැත. විපක්‍ෂ නායක ධුරයට අස්සන් එකතු කරගෙනද නැත. ඒ තීන්දු තීරණ ගන්නේ එ.ජා.ප.යේ නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේය. ශ්‍රී ල.නි.ප.යේ නම් මධ්‍යම කාරක සභාවේය. ජනාධිපතිවරණ පරාජයට පසු මහින්ද තවම එකදු පක්‍ෂ මධ්‍යම කාරක සභාවකටවත් සහභාගි වී නැත. අගමැති අපේක්‍ෂක හෝ විපක්‍ෂ නායක පත් කරන තීරණ ගැන ඔහු සිය මතය කියන්න ඕන මධ්‍යම කාරක සභාවටය. මහින්ද බයගුල්ලෙකි. ඔහු පරාජය වූ විගස පක්‍ෂ නායකත්වය මෛත්‍රිට දුන්නේ පවුලට එරෙහි චෝදනා වහගන්නටය. පක්‍ෂ මධ්‍යම කාරක සභාවට නොයන්නේ මෛත්‍රිගේ නායකත්වය යටතේ එතැන උපදේශකයන් සඳහා වෙන්කර ඇති අසුනක අසුන් ගන්න තියෙන බය සහ ලැජ්ජාවටය.


"එහෙව් මහින්ද ජනාධිපති මෛත්‍රි යටතේ අගමැති වෙයිද...?"
ඒක අහන්න ඕන මහින්දගෙන්මය. අද මහින්දගේ දේශපාලන න්‍යාය පත්‍රයේ අංක එක රාජපක්ෂවරුන්ගේ ඔටුන්න හිමි කුමරා නාමල්ව ශ්‍රී ල.නි.ප.ය තුළ චරිතයක් කිරීමත්, සහෝදරයන්ව චෝදනාවලින් බේරා ගැනීමටත්ය. මහින්ද මේ හයිය පෙන්වන්නේ ඒකටය.


"මගේ පවුලට ආධාරකරුවන්ට හිරිහැර කරනකොට මට නිහඬව ඉන්න බැහැ...."
මේ මහින්ද හැම තැනම කියන කතාවය. නාමල් මහින්ද අගමැති කරන වේදිකාවට නොයන්නේ තමන්ට පක්ෂය තුළ තැනක් හදා ගන්න තම පියා මහින්දට මෛත්‍රිව එකඟ කරවා ගන්න ඉඩක් හදන්නටය. මෛත්‍රි එයට එකඟ වුවහොත් මහින්ද කඩේ වහලා දැම්මත් පුදුම විය යුතු නැත. මහින්ද මේ කඩේ කරන්නේත් රාජා හෝ මා හෝ ගංගා හෝ කියන්නැහේය. වෙනත් වචනවලින් කියනවා නම් නාමල් හෝ මා හෝ මෛත්‍රි හෝ කියන්නා වගේය.

උපුල් ජොසප් ප්‍රනාන්දු

No comments

Powered by Blogger.