Open top menu
Monday, July 6, 2015
අශූචිවලින් පහරදීම -  වික්ටර් අයිවන්

රාවය සහයෝගිතා ව්‍යාපාරය රාවය පාඨකයන් සමග එකතු වී මට දක්වන ලද ප‍්‍රණාමය ගැන ලියන ලද සටහනේ තීන්ත වේලෙන්නටත් පළමුව දැන් මට ලියන්නට සිදුවී තිබෙන්නේ මට එල්ල කර තිබෙන අශූචි ප‍්‍රහාරයක් ගැනය. මා පොදු යහපත වෙනුවෙන් සමාජ විරෝධී භාවිතයක් ඇති බලවත් පුද්ගලයන්ට එරෙහිව පෑනෙන් පහරදීම් කරන ලද පුද්ගලයකු වනවා සේ ම එවැන්නන්ගෙන් එල්ල වන ප‍්‍රතිප‍්‍රහාරයන්ට මුහුණ දුන් පුද්ගලයකු ලෙසද සැලකිය හැකිය. එසේම මා බලවත් පුද්ගලයන් සෝදිසියට ලක් කොට ඇති පුද්ගලයකු වනවා සේ ම විවිධ පුද්ගලයන් අතින් විටින් විට සෝදිසියට ලක්ව ඇති පුද්ගලයකු ලෙසද සැලකිය හැකිය. අනුන් විවේචනයට ලක් කරන පුද්ගලයන් ප‍්‍රතිවිවේචනයන්ටද මුහුණ දිය යුතුය.

මෙවර මට අසූචිවලින් පහර දෙන්නන් බවට පත්ව සිටිනුයේ එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින්, මගෙන්ද, රාවයෙන්ද විවිධ ඵල ප‍්‍රයෝජන ලබාගෙන ඇති පුද්ගලයන් දෙපළකි. එක් අයෙක් ජනමාධ්‍යවේදියකු ලෙස පෙනී සිටින්නකු වන අතර අනෙකා නීතිඥයෙකි. ජනමාධ්‍යවේදියා ලසන්ත වික‍්‍රමතුංගගේ ඝාතනය හේතුවක් කරගනිමින් ආත්මාර්ථකාමී අරමුණින් රටින් පලා ගොස් එක්සත් රාජධානියේ දේශපාලන රැුකවරණය මත ජීවත් වන්නෙකි. නීතිඥයා හිටපු රේගු නිලධාරියෙකි. රේගු නිලධාරි සුජිත් ප‍්‍රසන්න ඝාතන සිද්ධියේදී එක්සත් රාජධානියට පලා ගොස් නීති වෘත්තිකයකු බවට පත්වී එහි පුරවැසිකම ලබාගත්තෙකි.

ජනමාධ්‍යවේදියා

ජනමාධ්‍යවේදියා කලක් නිදහස් ලේඛකයකු ලෙස රාවයේද වැඩ කර තිබෙන්නෙකි. හැම කලකදීමත් ජනමාධ්‍ය වේදීන්ගේ හාස්‍යයට හා අවිශ්වාසයට හේතුවූ ගුප්ත චරිතයක් ඇති පුද්ගලයෙකි. රටින් පලා යන අවස්ථාව වන විට ඔහු වැඩ කළේ රාජ්‍ය නොවන සංවිධානයකය. ඒ වනවිට අපකීර්තියක් ඇති කිරීමට හේතුවන නඩුවක වගඋත්තරකරුවකු වන අතර වගඋත්තරකරු රටේ නොසිටීම හේතු කොටගෙන එම නඩුව දැන් තිබෙන්නේ බහා ලූ තත්ත්වයකය. ඔහු රටින් පලා ගිය වහාම වගේ ඔහු කිසියම් වෙබ් අඩවියකට ලියන ලද ලිපියක් මට කියවන්නට ලැබුණි. එහි මාතෘකාව වූයේ ලසන්තගේ ඝාතනයට වගකිවයුත්තේ අන් කවුරුවත් නොව මහින්ද රාජපක්ෂ බවය. බැලූ බැල්මට එම මාතෘකාව අනුව නිර්භීතව ලියන ලද්දක් ලෙස කියවන්නන්ට හැෙඟන්නට ඇතත්, ඔහුගේ යටි අරමුණ වූ බව මට පෙනුණේ එක්සත් රාජධානියෙන් ආපසු ලංකාවට නොඑන තත්ත්වයක් ඇතිකර ගැනීමය.
මෙම ජනමාධ්‍යවේදියා හා නීතිඥයා සහයෝගයෙන් එකට එකතු වී ක‍්‍රියාකරන මිත‍්‍රයන් ලෙස සැලකිය හැකිය. මා කෙරෙහි වෛරසහගත ආකල්පයක් ඇතිකර ගැනීමට ඒ දෙදෙනාට බලපා තිබෙන හේතුද එක සමාන බවද පෙනෙන්නේය. ජනමාධ්‍යවේදියා ලංකාවෙන් තෝරාගත් පුද්ගලයන් ගණනාවකට සිය වෙබ් අඩවියෙන් පහර දුන්නේය. ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය රාධිකා කුමාරස්වාමි, ජයන්ත ධනපාල හා ජේ.සී. වැලිඅමුණ ඔහුගේ පහරදීම්වලට ලක්වූ පුද්ගලයෝ් වූහ.

මෙම පුද්ගලයා දුරකතනයෙන් කරන කතා අසන්නට මා කැමති නැතත් ඔහු හෙළිදරව් කිරීම්වල නාමයෙන් ඉහත කී පුද්ගලයන්ට ඔවුන් වෙන් වෙන්ව ගෙන පහර දුන් හැම අවස්ථාවකදීම ඒවා ඔහුගේ වෙබ් අඩවියේ පළකිරීමෙන් පසු සිරිතක් වශයෙන් මට දුරකතනයෙන් කතා කළේය. ඔහුගේ දුරකතන කතාබහට ඇහුම්කන්දීම ප‍්‍රියජනක කාරණයක් නොවූවද මට දුරකතනයෙන් කතා කරන ඕනෑම කෙනෙකුට ඇහුම්කන්දීම මාගේ සාමාන්‍ය පුරුද්දක් වීම නිසාම බොහෝවිට ඔහු බීමත්ව දුරකතනයෙන් කරන කතාබහට ඇහුම්කන්දීමට මට සිදුවිය. ඔහු ඒ හැමවිටම උත්සාහ කළේ ඔහු කරන හෙළිදරව් කිරීම්වලට රාවය සම්බන්ධ කරගැනීමය. තමන් කරන හෙළිදරව් කිරීම් ඉංග‍්‍රීසි වෙබ් අඩවියක පළවීම ප‍්‍රමාණවත් නොවන බවත් ඒවා රාවයේ පාඨකයන්ටද දැනගන්නට සැලැස්වීම ඉතා වැදගත් බවත් කියමින් ඔහු සිරිතක් වශයෙන් හැමවිටම ඉල්ලා සිටියේ තමන් කරනු ලබන හෙළිදරව් කිරීම්වලට රාවයෙන් ආවරණයක් ලබාදෙන ලෙසය.

මා සාමාන්‍යයෙන් යුක්තිය සඳහා සටන් කරන්නකුට උදව් කරන පුද්ගලයකු වුවත් ඔහුගේ අවංකභාවය ගැන මට ප‍්‍රශ්න තිබුණු නිසාත්, ඔහු සටන් කරන ක‍්‍රමය සදාචාර විරෝධී බව මගේ පිළිගැනීම වී තිබුණු නිසාත් මා ඔහු කරන දේවලට ආවරණයක් ලබාදෙන තැනකට ගියේ නැත. ඔහු හෙළිදරව්වක් කරන හැම අවස්ථාවකදීම පාහේ සිරිතක් වශයෙන් මට කතා කළේය. ඔහුගේ සමහර ලිපි ලේඛන මගේ ඊමේල් ලිපිනයට එව්වේය. ඔහුගේ ඊනියා හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් මා අනුගමනය කරමින් සිටි නිහඬව බලා සිටින පිළිවෙත වෙනස් කිරීමට ඔහු සමත් වූයේ නැත. ඔහු මා පිළිබඳව ලොකු ද්වේෂයක් ඇතිකර ගන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය.

නීතිඥයා

නීතිඥයා ඉහත කී පුද්ගලයා වැනි අධම පුද්ගලයකු ලෙස සැලකිය නොහැකිය. ඔහු රටින් පලායෑමෙන් පසු මා දන්නා තරමින් ලංකාවට ආවේ මහින්ද රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුවය. මට දුරකතනයෙන් කතා කොට ජනාධිපතිගේ ඉල්ලීම පරිදි රේගුව සකස් කරන ලද විශේෂ වාර්තාවක් සකස් කොට ජනාධිපති වෙත යවන ලද බවත් තමා රේගුවේ උසස් තනතුරකට පත්කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබෙන බවත් ඔහු කීවේය. ඔහු එම ගනුදෙනුවේදී අතරමැදියා බවට පත්කරගෙන සිටියේ ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස ක‍්‍රියා කළ ගාමිණී සෙනරත්ය. තෝරාගෙන සිටින අතරමැදියා නම් එතරම් හොඳ කෙනකු නොවන බව මම ඔහුට කීවෙමි. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා දෙවරක් හෝ තුන්වරක් ලංකාවට පැමිණියද ඔහුට එම අරමුණ ඉටුකර ගැනීමට හැකිවූයේ නැත. ඔහු ලංකාවේ නඩු කියන නීතිඥයකු බවට පත්වූයේ ඉන් තවත් කලකට පසුවය.

ඔහු කියන ලද නඩු අතුරින් දේශපාලන වැදගත්කමක් ඇති නඩුවක් ලෙස මට පෙනුණේ රේගු නිලධාරියකු වෙනුවෙන් පෙනී සිටිමින් කොළඹ ඩොක් යාඞ් සමාගමට එරෙහිව පවරන ලද නඩුව පමණය. ඒ නඩුවට නීතිපති ධුරයටත් පසුව අගවිනිසුරු ධුරයටත් පත්වූ මොහාන් පීරිස් ද පැටලී සිටියේය. ඔහුද එම නඩුවේ වගඋත්තරකරුවෙක් විය. මෙම නඩුවලට අදාළ සියලූ තොරතුරු ඔහු මගේ ඊමේල් ලිපිනයට එවා තිබුණි. ඊට මාධ්‍ය ආවරණයක් ලබාදෙන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියත් මා ඊට මාධ්‍ය ආවරණයක් ලබා දුන්නේ ඔහු ඉල්ලා සිටි වහාම නොව ප‍්‍රශ්නය කරළියට ගැනීමට හොඳම අවස්ථාව ලෙස මට පෙනුණු අවස්ථාවකදීය. එනම් මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයට පත්කිරීමට සැලසුම් කර තිබූ අවස්ථාවකදීය. එය අවදානම් සහගත ගණයට වැටෙන වාර්තාවක් ලෙස සැලකිය හැකි අතර ඒ ගැන මා ලියන ලද ලිපියේදී නඩුවට පෙනී සිටින නීතිඥයා වශයෙන් ඔහුගේ නම හිතාමතාම සඳහන් කිරීමෙන් වැළකී සිටින ලදි. මා එසේ කළේ නඩුවක් කියන නීතිඥයකුගෙන් ලබාගන්නා තොරතුරු මත පළකරන වාර්තාවකින් නීතිඥයාට ප‍්‍රසිද්ධියක් ලබාදීම සදාචාර විරෝධී ක‍්‍රියාවක් වේයැ’යි සැලකූ නිසය.

ඉන්පසුත් ඔහු තමන් කරන දේවල් ගැන මට දුරකතනයෙන් කතා කොට කීවේය. අදාළ තොරතුරු මගේ ඊමේල් ලිපිනයට එවීය. ඒ හැමවිටමත් ඔහු මාධ්‍ය ආවරණයක් ලබාගැනීමට උනන්දුවක් දැක්වීය. ඉහත කී අවස්ථාවේ හැර ඔහු කරන සටන් ආවරණය කිරීමක් මා අතින් සිදු නොවීය.

අතිධාවනකාරී සටන්

එහෙත් ඔහු නොකඩවා මට කතා කළේය. ඔහු කරන සටන්වලට මාධ්‍ය ආවරණයක් ඉල්ලා සිටියේය. නිදර්ශනයක් වශයෙන් ශිරාණි බණ්ඩාරනායක අර්බුදයේදී ඔහු අධිකරණ භූමියේ ඒකපුද්ගල සත්‍යග‍්‍රහයක් කළේය. ඔහු කරන්නට යන සටන ගැන මට විස්තර කියා ඡුායාරූප ශිල්පියකු එවා ඊට මාධ්‍ය ආවරණයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් මා ඔහුගේ එම ඉල්ලීම ඉටු කළේ නැත.

මේ අතර ඔහු කරන සමහර අරගලවලදී මාගෙන් උපදෙස් ලබාගත් අවස්ථාද තිබෙන්නේය. මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුද ඔහු වගඋත්තරකරුවකු කරමින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට ගන්නට ඔහු උත්සාහ කළේය. එහෙත් අධිකරණය ඊට ඉඩ දුන්නේ නැත. ඔහු මට දුරකතනයෙන් කතා කොට තමාගේ ජීවිතය අනතුරුදායක තත්ත්වයක තිබෙන බව කීවේය. සටන් කරන අවස්ථාවලදී අඩියක් පස්සට ගන්නට සිදුවන අවස්ථා තිබෙන බවත් එසේ කිරීමට හික්මීම නැති සටන්කරුවන් විනාශ වන බවත් කියා මේ මොහොතේ අඩියක් පස්සට ගන්නා ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. ඔහු මගේ අදහස පිළිගනිමින් ටික කලකට රටින් පිටවී සිටියේය.

පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු ජනාධිපතිවරණයට තහනම් නියෝගයක් ඉල්ලා නඩුවක් කීවේය. ඔහුගේ පෙත්සම විභාගයට ගැනීමට තීරණය කෙරුණේ නාමයෝජනා භාරගැනීමෙන් පසු ජනාධිපතිවරණය ජනාධිපති රාජපක්ෂගේ අවාසියට හැරී තිබුණු අවස්ථාවකදීය. ඔහු ඒ ගැන මට කතා කළ විට මම ඔහුට දොස් කීවෙමි. නඩුව විභාගයට ගැනීමට ඉඩ නොලැබෙන පරිදි වහාම පෙත්සම ඉල්ලා අස්කරගන්නා ලෙස ඉල්ලා සිටියෙමි. ඔහු පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට එකඟ වූවා පමණක් නොව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් පසු ඒ බව මට දුරකතනයෙන් දැනුම් දීමක්ද කළේය.

ඒ සියල්ල එසේ සිදුවෙමින් තිබියදීත් රාවයෙන් මාධ්‍ය ආවරණයක් ලබාගැනීම සඳහා ඔහු පෙන්නුම් කරන ලද උනන්දුව ඔහු අත්හැරියේ නැත. ජනාධිපතිවරණයෙන් පසුත් ඔහු කිහිප අවස්ථාවකදීම මට දුරකතනයෙන් කතා කොට පුවත්පත සමග කරන සම්මුඛ සාකච්ඡුාවකට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. දැන් මා රාවයේ අන්තර්ගතය පාලනය කරන හෝ තීන්දු කරන පුද්ගලයා නොවන බව කියමින් ඒ ගැන මම රාවයට කතා කරන බව කීවෙමි. මා ඔහුට රාවයට සම්මුඛ සාකච්ඡුාවක් ලබාදෙන බවට පොරොන්දු වී තිබුණේ නැතත්, එවැන්නක් සඳහා මා පොරොන්දු වී තිබූ ආකාරයට තමාට සම්මුඛ සාකච්ඡුාවක් ලබා නොදුන්නේ ඇයිදැයි මේ මෑත දිනකදී ඔහු මගෙන් ප‍්‍රශ්න කළේය.

ඔහු හිතන මතන විදිය ගැන මට කාලයක් තිස්සේ ප‍්‍රශ්න තිබුණි. ඔහුට හරි ඉදිරි දැක්මක් නොතිබුණු අතර ඔහු කරන සමහර සටන්වල අතිධාවනකාරී බවක්ද තිබුණි. තමන් එක සතයක්වත් හොරකම් කර නැතත්, සොරකම් ඇල්ලීමෙන් ලොකු ධනයක් උපයාගෙන ඇති බව ඔහු රේගුවේ සිටින කාලයේදී වරක් මා සමග කීවේය. රේගු සේවයේදී හොරකම් නොකර හොරකම් ඇල්ලීමෙන් සොරකමින් උපයන ධනයට වඩා ලොකු ධනයක් උපයා ගතහැකි බව තමන් තම රේගු නිලධාරීන්ට කියන බවද ඔහු කීවේය. මම ඔහුගේ එම දර්ශනය විවේචනයට ලක් කළෙමි. රේගුවේ සිදුවන වංචාවන් අල්ලා ගත්විට ඒ සඳහා පනවන දඩ මුදලෙන් තුනෙන් එකක් යන්නේ ඔත්තුකරුට හා වංචාව අල්ලන ලද නිලධාරියාටය. ඔත්තුකරුගේ නම රහසක් ලෙස තබාගැනීමේ අයිතිය රේගු නිලධාරියා සතුය. ඔත්තුකරුවකු නැතිවද ඔත්තුකරුවන් සිටින බව ව්‍යාජ ලෙස මවා පෙන්වමින් ඒ සම්පූර්ණ මුදල තමන් වෙත හිමිකර ගැනීමේ හැකියාව රේගු නිලධාරීන්ට ලැබී තිබෙන්නේය.

මෙම ක‍්‍රමය සමාජ විරෝධී හා සදාචාර විරෝධී ක‍්‍රමයක් බව මගේ මතය විය. එවැනි දූෂිත ක‍්‍රමයක් ඇතිවිට රේගු නිලධාරීන් නීතිය ක‍්‍රියාත්මක කරන්නේ සමාජ වගකීමක් ලෙස සඳහා නොව මුදල් උපයා ගැනීමේ අරමුණිනි. දූෂණ ඇල්ලීමෙන් ලොකුවට ධනය උපයාගත හැකි නම් එවැනි නිලධාරීන් කැමති වනු ඇත්තේ දූෂණය රජකරන රේගු සේවයකට මිස දූෂණයෙන් තොර රේගු සේවයකට නොවේ. එහිදී හොරකම් කරන අයගේ සේ ම සොරකම් අල්ලන අයගේද අරමුණ එක සමානය. දෙයාකාරයෙන්ම අපේක්ෂා කරන්නේ මුදල් උපයා ගැනීමය. මාගේ එම විවේචනය ඒ කාලයේදී වුවත් ඔහුගේ සතුටට හේතුවූයේ නැත.

සදාචාර විරෝධී බව

ඔහු නීතිඥ වෘත්තියට එකතුවීමෙන් පසුව නෛතික තලයේ අරගල කරන්නකු බවට පත්වුවද මීට පෙරද සඳහන් කර තිබෙන ආකාරයට ඔහු කරන සටන්වල ආත්මාර්ථකාමී තත්ත්වයක් තිබුණා සේ ම එම සටන්වල ඉදිරි දැක්මේද අවුල්සහගතභාවයක් තිබුණේය. මෙම නීතිඥයාට නීතිය ගැන සේ ම දේශීය වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් පිළිගත් නීතිඥ ගුණධර්ම ගැනද හරි අවබෝධයක් නොතිබුණේයැ’යි සිතමි. එවැනි අවබෝධයක් තිබුණේ නම් විද්‍යුත් කැලෑ පත්තරයක ගණයෙහිලා සැලකිය හැකි වෙබ් අඩවියක් සමග එකට එකතු වී වැඩ කරන කෙනකුගේ තත්ත්වයට පත්විය නොහැකිය.

මෙම වෙබ් අඩවියේ ජනප‍්‍රියම අංගයක් වී ඇත්තේ ලංකාවේ විවිධ පුද්ගලයන් ගැන කරන හෙළිදරව් කිරීම්ය. එය ලංකාවේ නොව එක්සත් රාජධානියේ සිට පවත්වාගෙන යන වෙබ් අඩවියකි. ඒ නිසා වෙබ් අඩවිය විසින් කරන කවර බරපතළ වරදකදී වුවත් වෙබ් අඩවියට එරෙහිව නීති මගින් ක‍්‍රියාකිරීම ඉතාමත් දුෂ්කරය. ඒ නිසා නීතියෙන් එල්ල විය හැකි අභියෝගයන්ට බිය නොවී නීති විරෝධී නොසණ්ඩාල දේවල් කිරීමේ හැකියාව මෙම වෙබ් අඩවියට ලැබී ඇත්තේය. වෙබ් අඩවියේ භූමිකාව සැඟවී සිට ගල් ගසන්නකුට සමානය. නැතහොත් එය විද්‍යුත් ස්වරූපයකින් පළකෙරෙන කැලෑ පත්තරයක් ලෙස සැලකිය හැකිය. නීතිඥයකු එවැනි කැලෑ පත්තරයක හවුල්කරුවකු ලෙස ක‍්‍රියාකිරීම නීතියට පටහැනි වනවා සේ ම නීතිඥ සදාචාරයටද පටහැනිය.

මෙම වෙබ් අඩවිය මා ගැන පළ කර තිබෙන ප‍්‍රවෘත්තිය වී ඇත්තේ රාවයට එකතු කරන ලද අමුදල්වලින් රුපියල් මිලියන 5ක් මා පික් පොකට් ගසා ඇති බවය. මෙම ප‍්‍රවෘත්තිය සකස් කරන්නට පෙර වෙබ් අඩවිකාරයා රාවය සහයෝගිතා ව්‍යාපාරයේ ප‍්‍රධානීන් දෙදෙනකු ලෙස සැලකිය හැකි ගාමිණී වියන්ගොඩට හා කුසල් පෙරේරාට කතා කොට දීර්ඝ වශයෙන් කරුණු විමසා ඇතත් මෙම අවමන්සහගත ප‍්‍රවෘත්තිය පළකොට ඇත්තේ ඔවුන් දෙදෙනා විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීම් මුළුමනින් නොසලකාය.

එම වෙබ් අඩවියේ පළවූ එම ප‍්‍රවෘත්ති කියවූ හා එය පවත්වාගෙන යන්නාද දන්නා පුද්ගලයන් තිදෙනකුම මට කීවේ එය මුළුමනින් නොසලකා හැරිය යුතු ප‍්‍රවෘත්තියක් මිස පිළිතුරු දිය යුතු ප‍්‍රවෘත්තියක් නොවන බවය. එහෙත් එය මගේ ප‍්‍රතිපත්තිවලට පටහැනිය. ඒ ගැන වන මගේ මතය පාඨකයන්ට දැනගන්නට සැලැස්විය යුතුය.

මගේ භූමිකාව

රාවයේ මගේ භූමිකාව එක දේකට සීමාවූ භූමිකාවක් ලෙස සැලකිය නොහැකිය. එය බහුවිධ භූමිකාවක් වීයැ’යි කිව හැකිය. රාවයේ නිර්මාණ සැලැස්ම මගේය. එම සැලැස්ම මෙහෙයවන්නා වූයේද මාය. ප‍්‍රතිපත්ති සම්පාදකයා වූයේද මාය. එය ව්‍යවසායක් ලෙස සැලකිය හැකි වුවද සාමාන්‍ය ව්‍යවසායකයට වඩා වෙනස් විය. එහි පැවැත්ම මුළුමනින් රඳා පැවතියේ අලෙවිය මතය. එහෙත් අලෙවිය වැඩිකර ගැනීමට හෝ වැඩිපුර ලාභ ලැබීමට මහජනයාගේ හිත දූෂණය කරන දේවලට බර නොතැබීය. තමන්ගේ පැවැත්ම තරමට පොදු යහපතට බර තබන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. පොදු යහපත වෙනුවෙන් සාමාන්‍යයෙන් පුවත්පතක් නොකරන දේවල්ද කළේය. තවත් සමහරවිට පොදු යහපත සඳහා පැවැත්ම පරදුවට තබන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය.
ලංකාවේ වෙනත් කිසිම පුවත්පතකට නැති රාවයට පමණක් ආවේණික විශේෂ සම්පතක් ලෙස සැලකිය හැක්කේ රාවය නොකඩවා කියවන, රාවයෙන් ඉගෙන ගන්නා, රාවය වෙනුවෙන් හඬ නගන නිත්‍ය පාඨක පිරිසක් රාවයට සිටීමය. ව්‍යාපාරික අර්ථයෙන් සලකතොත් රාවය සැලකිය හැක්කේ පදික වෙළෙඳාමෙන් ආරම්භ කොට මහා සාප්පු සංකීර්ණයක් බවට පත්වූ ව්‍යාපාරයක් ලෙසය.

මා රාවයේ රඟපෑ භූමිකා අතර හිමිකාර භූමිකාවක්ද රඟපෑවා වුවත් මාගේ එම භූමිකාවද සාමාන්‍ය හිමිකරුවකුගේ භූමිකාවට වඩා වෙනස් විය. මෙම ව්‍යාපාරය විශාල ලෙස ධනය උපයන ව්‍යාපාරයක් බවට පත්කිරීමට මට අවශ්‍ය නොවීය. මා ආයතනයෙන් ලබාගන්නේ මට ලැබෙන වැටුප හා අනෙකුත් පහසුකම් පමණය. රටේ අනෙකුත් පුවත්පත් කතුවරුන්ට ගෙවන වැටුප් සමග සසඳන විට මගේ වැටුප සැලකිය හැක්කේ සොච්චම් වැටුපක් ලෙසය. මා විශ‍්‍රාම යන අවස්ථාව වනවිට මට ලැබුණු වැටුප රුපියල් 62,000ක් විය. ආයතනයේ හිමිකරුවා ලෙස සැලකිය හැක්කේ මා වුවද සේවකයන්ටද කොටස් හිමිකමක් තිබිය යුතු බව මගේ මතය විය. එය බාහිරෙන් එල්ල වූ බලපෑම අනුව සිදුවූවක් නොවීය. මගේම අදහසක් අනුව නීතිගත කර තිබූ සංකල්පයක් විය. සමාගම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කොට තිබෙන ආකාරයට සමාගම සතු මුළු කොටස් සංඛ්‍යාව 238900කි. ඉන් කොටස් 137500ක් මා සතු වන විට ඉතිරි කොටස් සංඛ්‍යාව හිමි සේවකයන්ටය.

මා මගේ ආයතනයේ සේවකයන්ට සිත් පිත් නැති දරදඬු පාලකයකු ලෙස ක‍්‍රියාකර නැත. වැරදි කරන අයට දඬුවම් කළ අවස්ථා ඇතත් උපරිම මානුෂික ආකල්පයකින් ක‍්‍රියාකර ඇතැ’යි කිව හැකිය. සේවකයන්ට ගෙවන වැටුප් සමහර ජනමාධ්‍ය ආයතනවල තරම් ඉහළ මට්ටමක නැතත්, ඔවුන්ගේ වැටුප් නීතියෙන් නියම කර තිබෙන මට්ටමට වඩා ඉහළ මට්ටමක පවතින්නේයැ’යි කිව හැකිය. සමහර ජනමාධ්‍ය ආයතනවලට ඉහළ වැටුප් ලබාදීමට හැකිවී තිබෙන්නේ එම ආයතනවලින් උපයන ආදායමෙන් නොව හිමිකරුවා වෙනත් මාර්ගවලින් එම ආයතනවලට පොම්ප කරන ධනය නිසාය. මාගේ ආයතනයේ වැටුප්වල තරම තීන්දු කරනු ලැබුවේ ආයතනය උපයන ආදායමේ තරමය. අර්ථසාධක අරමුදල් ප‍්‍රමාදයකින් හෝ හිඟයකින් තොරව ගෙවා තිබෙන අතර අස්වී යන සේවකයන්ට ලැබිය යුතු ප‍්‍රසාද දීමනාද ප‍්‍රමාදයකින් තොරව ගෙවා තිබේ. කොටස් නිකුතුවෙන් පසුව එක් සේවකයකුට ලැබී තිබෙන කොටස් අයිතියේ වටිනාකම ඔවුන් විශ‍්‍රාම යනවිට අර්ථ සාධක අරමුදල හා සේවා නියුක්ති අරමුදල යන අරමුදල් දෙකෙන් ලැබෙන මුදල් ප‍්‍රමාණයට වඩා වැඩිය.

මට මගේම වන ජීවන දර්ශනයක් තිබෙන්නේය. ධනය ඉපැයීම කවදාවත් මගේ වැදගත් අරමුණක් වී නැත. ධනය අවශ්‍ය වන්නේ ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය ප‍්‍රමාණයට මිස ගොඩගසා ගැනීම සඳහා නොවේ. මා අගහිඟකම්වලින් පිරුණු දුක්ඛදායක ජීවිතයකට කැමති නැතත් වියදම් අධික නාස්තිකාර ජේත්තුකාර ජීවිතයකටද කැමති නැත. මා විවිධ දේ කරන අතර පවුල් ජීවිතයේදී මා අතින් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් නොපිරිහෙළා ඉටු කළ කෙනෙකු ලෙසද සැලකිය හැකිය. මා මාගේ දරුවන්ට වියදම් අධික සුඛෝපභෝගී ජීවිතයක් ලබාදී නැතත්, අගහිඟකම්වලින් පිරුණු දුක්ඛිත ජීවිතයක්ද ලබාදී නැත. මා ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදී තිබෙන අතර ඔවුන් ජීවත් වන තරගකාරී ලෝකයේ ගුණධර්මද ආරක්ෂා කරගනිමින් ආත්ම විශ්වාසයකින් ජීවත්වීමට අවශ්‍ය දැනුම හා ශික්ෂණය ඔවුන්ට ලබාදී තිබෙන්නේයැ’යි කිව හැකිය.

මා විශ‍්‍රාමිකයන්ගේ විශ‍්‍රාම ජීවිතය යහපත් හා ප‍්‍රීතිමත් තත්ත්වයක තබාගැනීමට අවශ කරන මගපෙන්වීම් ලබාදී තිබෙන පුද්ගලයෙකි. ඒ නිසා මට මගේ විශ‍්‍රාම ජීවිතය සඳහා සැලැස්මක් තිබීම පුදුමයට හේතුවන දෙයක් විය යුතු නැත. මට කිසිවෙකු විශ‍්‍රාම යෑමට බල කළේ නැත. මට අවශ්‍ය වී නම් මැරෙන තෙක් රාවයේ වැඩ කළ හැකිව තිබුණි. රාවය බදාගෙන හැමදාමත් ජීවත් විය යුතු නැති බව මගේ මතය විය. රාවයේ අලූත් පරපුරට වගකීම් භාරදී මා විශ‍්‍රාම යායුතුයැ’යි කියන අදහස මා ඇති කරගෙන තිබුණේ කලකට පෙරය. විශ‍්‍රාම යෑමෙන් පසු මැරෙන තෙක් කළ යුතු වැඩ ගැනද මට දළ අදහසක් තිබුණි. විශ‍්‍රාම යෑමෙන් පසු මට රාවයෙන් වැටුප් ලබාගැනීමේ හැකියාවක් නැත. එම සංක‍්‍රමණික කාලයේ මා ජීවත් විය යුතු අතර මගේ බිරිඳද ජීවත් කළ යුතුය. දරුවන්ගෙන් යැපෙන්නට කැමති නැති බව මා ලියා ඇත්තේ මීට බොහෝ කලකට ඉහතදීය. විශ‍්‍රාම යන්නේ නම් කිසිවකුට අත නොපා ජීවත්වීමට යම් අරමුදලක් තිබිය යුතුය. එම අරමුදල සොයාගත හැකි හොඳම මාර්ගය ලෙස මා දැක්කේ මට හිමි කොටස්වලින් කිසියම් පංගුවක් විකිණීමය. විශ‍්‍රාම යන අවස්ථාවේදී රාවයට අවසන් වශයෙන් කළ යුතු දේවල් කිහිපයක්ද තිබුණේය. රාවයේ එක් ගොඩනැගිල්ලක වහල අබලන් වී එය පැවතියේ ජරාජීර්ණ තත්ත්වයකය. කාර්ය මණ්ඩලය පාවිච්චි කරන මේස පුටු හා ගෘහභාණ්ඩ තිබුණේ ජරාජීර්ණ තත්ත්වයකය. මාගේ වියදමෙන් ඒ සියල්ල වෙනස් කොට කාර්යාලය ප‍්‍රසන්න තත්ත්වයට ගතයුතුයැ’යි කියන අදහසක්ද මගේ සිතේ තිබුණි. රාවයේ අනාගත සුරක්ෂිතභාවයට හානියක් නොවන ලෙස මට හිමි කොටස්වලින් කිසියම් පංගුවක් විකුණා ඒ සිහින දෙකම ඉටුකර ගැනීමට මට අවශ්‍ය වී තිබිණි.

මාගේ සිහිනය සැබෑකර ගැනීම සඳහා මගේ කොටස් අයිතියෙන් කිසියම් පංගුවක් මිලදී ගැනීමට මිලින්ද මොරගොඩ එකඟ වී තිබූ අතර ඒ සඳහා කේපීඑම්ජී සමාගම ආයතනය පිළිබඳ විගණනයක් හා වටිනාකම පිළිබඳ තක්සේරුවක්ද කරන ලදි. මිලින්දට කරන අලෙවියට විරෝධයක් එල්ල වන්නට වූ අතර රාවය සහයෝගිතා ව්‍යාපාරය බිහිවූයේ එම සංවාදය ආශ‍්‍රයෙනි.

එම ව්‍යාපාරයේ මතය වූයේ මිලින්දට විකුණන්නට යන පංගුව ඔවුන්ට විකිණිය යුතු බවය. මා ඔවුන්ගේ යෝජනාවට මුලදී එක පයින් එකඟ නොවූවද ඒ සියලූදෙනා රාවයට ආදරය කරන පිරිසක් වීම නිසාත්, එවැනි පිරිසක් රාවයේ පංගුකාරයන් වීම රාවයේ යහපතට හේතුවනු ඇතැ’යි පෙනුණු නිසාත් අවසානයේදී එම යෝජනාවට එකඟවීමට මට සිදුවිය. මාගේ කොටස් අයිතියෙන් සියයට 20ක් සහයෝගිතා ව්‍යාපාරයට විකිණීමෙන් මට ලැබුණු ආදායම රුපියල් ලක්ෂ 100කි. මා ඉන් ලක්ෂ 50ක් මගේ අනාගත සුරක්ෂිතතාව සඳහා තබාගනිමින් ඉතිරි ලක්ෂ 50 රාවය ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කොට රාවයට අවශ්‍ය ගෘහභාණ්ඩ මිලදී ගැනීමට වැය කළෙමි. මා මට ලැබුණු ආදායමෙන් කරන්නට යන දේ රාවය සහයෝගිතා ව්‍යාපාරයට හෝ මාගේ කාර්ය මණ්ඩලයට රහසක් නොවූ අතර රාවය සහයෝගිතා ව්‍යාපාරය සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුමටද ඒ කාරණා ඇතුළත්ව තිබුණි. ඒ හැමදෙයක්ම සිදුවූයේ නිතියට අනුකූලවය. ලක්ෂ 50ක ස්ථිර තැන්පතුවකට ලබාගත හැකි මාසික ආදායම රුපියල් 29666ක් පමණය. මාගේ එම ක‍්‍රියාව නීතියට පමණක් නොව සදාචාරයටද අනුකූලය.
Read more

Popular Posts

Popular Posts