Header Ads

ඇවන්ගාඩ්ලා නිවපු තැටිය රත්වෙනවා හාමුදුරුවනේ

"තිලක් මාරපන අයින් වෙන්න දවස් දෙක තුනකට කලින් අයින් කර ගත්තා නම් සෝභිත හාමුදුරුවෝ තව සතියක් දෙකක් ජීවත් කරගන්න තිබුණ...."
මෙහෙම කිව්වේ සෝභිත හිමිගේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ අභීත සෙන්පතියකු වූ මහාචාර්ය සරත් විජේසූරිය ය. ඔහු එලෙස කියා තිබුණේ මාධ්‍යවේදියකුටය.
ඔහු කීවා හරිය. සෝභිත හිමි අපවත් වන විට හිටියේ දැඩි හිත් වේදනාවකින්ය. හේතුව තමන් හදපු ජනාධිපති සහ ආණ්ඩුව හොරු අල්ලන්නේ නැතිව හොරු ආරක්‍ෂා කරගන්න ගිහින් ජනතාව තමාට
ඇඟිල්ල දිගු කරයි කියන බයය. සෝභිත හිමිගේ අවසන් කතා කිහිපය දෙස බලන විට එය පැහැදිලිය.


'දැන් හොරුම කෑ ගහනවා. හොරුන්ට අමාරුයි. ඉන්ඩ බැරුව කෑ ගහනවා. අල්ලයි කියල බයේ කෑ ගහනවා. ඒත් අල්ලන්නේ නැහැ. මේක අපිට මහා බරපතළ ප්‍රශ්නයක්. මිනිස්සුන්ට ඕන කළේ මේ පරිප්පු ටිකක් ලාබෙට කන්න නෙවෙයි. මේ හොරු ටික අපේ ධනය ගසා කාපු හැටි බලන්න. ඒක දකින්ඩ ඕනකමින් හිටියේ...'
'මේ දින 60 තුළ දූෂණ, වංචා, හොර මැර ගැන දඬුවම් දෙන්න මැළිකමක් දක්වනවා. අපි නඟපු හඬ අපරාධයක්ද කියල හිතෙනවා...'
'වැඩක් නෑ. අපි කරපු වැඩේ කිසිම තේරුමක් නෑ. ප්‍රතිඵලයක් මුකුත් නෑ. අපරාදේ...'


සෝභිත හාමුදුරුවන්ගේ මේ වචන කියවන විට පැහැදිලි වන්නේ ආණ්ඩුව වැරැදි පාරේ යන එක ගැන මහා බරක් හාමුදුරුවන්ගේ ඔළුවේ තිබුණු බවය. එය හරියට අම්මා කෙනෙක් තම පුතා වැරැදි පාරේ යන විට විඳින වේදනාවට සමානය. තමා රටට ජාතක කළ දරුවා රටට වින කරන විට රට්ටුන්ගේ කයි කතන්දර අහන්න අම්මෙක් කැමැති නැත. සෝභිත හිමිගේ වේදනාවත් එයට සමානය. හැබැයි හාමුදුරුවෝ හදපු ආණ්ඩුව බිල්ලට දීලා ඇවන්ගාර්ඩ් පාවෙන අවි නැව ආරක්‍ෂා කරන්න කතා කරන තිලක් මාරපනව ගෙදර යවන්න ජනාධිපතිත් අගමැතිත් ගත් තීරණය සෝභිත හිමි දැන ගත්තා නම් උන්වහන්සේ සැනසුම් සුසුමක් හෙළා අවසන් හුස්ම පා කර හරින්න ඉඩ තිබිණි.
'මම රත් කරපු තාච්චියේ රස්නය නිවෙන්න යද්දී ආපහු ආණ්ඩුව ගිනි පිඹින්න පටන් ගත්ත. රොටිය පුච්චයි කියල බලාපොරොත්තුවක්වත් තියා ගන්න පුළුවන්.'
මාරපන ඉවත් කරපු සුබ ආරංචිය හාමුදුරුවන්ගේ කන වැකුණා නම් හාමුදුරුවන් මුමුණන්නේ ඔය වචනය. හේතුව හාමුදුරුවෝ අවසන් දින කිහිපයේ කීවේ මෙවැනි කතාවක්ය.


'වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් තැටිය රත් කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්න නොවේ.'
තිලක මාරපන ඉවත් වීමෙන් වුණේ මෛත්‍රි සහ රනිල් සෝභිත හිමිගේ තැටිය යළි රත් කරන්න ගිනි පිඹින බව රටට පෙන්වීමය. ඒත් ඇවන්ගාර්ඩ් ආරක්‍ෂා කරමින් එය නිවන්න දත කන අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ තවමත් යහතින්ය. ඔහු දැන් ඉස්කෝලේ පන්තියේ මැක්කාගේ කතාව වගේ අන්තිමට එන්නේ ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගන්න තමන් ඉඩ නොදෙන කතාවටය.


"අධිකරණ අමැතිගේ ලොකුම ජොබ් එක ගෝඨාභය හිරේට යන එක වැළැක්වීමද....?"
"ඔහුට ජනතාව ඡන්දය දුන්නේ ගෝඨාභය ආරක්‍ෂා කරන්නද...?"
"විජේදාස කතා කරන්නේ රාජපක්‍ෂ ආණ්ඩුවක ඇමැති කෙනෙක් වගේද නැතිනම් යහපාලන ආණ්ඩුවක ඇමැති කෙනෙක් වගේද?"
අද සෝභිත හිමි හිටියා නම් අහන්නේ ඔය ප්‍රශ්නය ය. විජේදාස කියන්නේ ගෝඨාභය අත්අඩංගුවට ගන්න කියන අය එසේ කියන්නේ වෛර පිරිමහන්න කියාය. විජේදාසගේ මේ කතාවට සෝභිත හිමිගේ කතාවකින්ම අපූරු උත්තරයක් තිබේ.
"හොරු වංචනිකයන් කිසිවෙක් තවම රඳවාගෙනවත් නැහැ. අපි හොරුන්ව අල්ලන්න කියන්නේ ඔවුන් සමඟ ද්වේෂයකින් වෛරයකින් නොවේ. එසේ නොකර සිටීම ජනතාවට කරන නිගාවක්"


තමන් වහන්සේ හොරු අල්ලන්න හොරුන්ව අත්අඩංගුවට ගන්න කියන්නේ වෛර පිරිමහන්න නොව ජනතාවට දුන්න පොරොන්දුව ඉෂ්ට කරන්න බව කියමින් සෝභිත හිමි කළ මේ කතාවම විජේදාසගේ ගෝඨා බේරා ගැනීමේ මෙහෙයුමට හොඳ උත්තරයකි. පසුගිය ආණ්ඩු කාලයේ රටට වැලඳී තිබුණු ගෝඨා බිය දැන් විජේදාස රාජපක්‍ෂට වැලඳිලාද දන්නේ නැත. නැත්නම් ඔහු තවමත් එම බියෙන් පෙළෙනවාද කියන්න දන්නේ නැත. කුමක් වෙතත් විජේදාස කියන විදියට හෙට ගෝඨාභය මිනියක් මැරුවත් විජේදාස ඔහුව අත්අඩංගුවට ගන්න ඉඩ නොදෙනු ඇත. හේතුව විජේදාස කියන්නේ ඔහු යුද්ධය දින්න නිසා ඔහුව අත්අඩංගුවට ගන්න ඉඩ නොදිය යුතු බවය.
"මෙවැනි අධිකරණ ඇමැතිවරයෙක් යටතේ නීතිපති දෙපාර්තමේන්තුවට යන කල කුමක්ද....?"


දූෂිත ඇවන්ගාර්ඩ් ගනුදෙනුවේ පමණක් නොව අනෙකුත් දූෂිත ගනුදෙනුවලද එක් කොනක් තියෙන්නේ පොලිසියේය. අනෙක් කොන තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේය. පොලිසිය භාර ඇමැති තිලක් මාරපනට ඇමැති ධුරයෙන් ඉවත් වෙන්න කීවේ ඇවන්ගාර්ඩ් ප්‍රසිද්ධියේම ආරක්ෂා කරන ඔහු යටතේ පොලිස් පරීක්ෂණ ගැන විශ්වාසයක් තබන්න බැරි නිසා නම් ඇවන්ගාර්ඩ් ප්‍රසිද්ධියේම ආරක්ෂා කරන විජේදාස යටතේ නීතිපති දෙපාර්තමේන්තුව අපක්ෂපාතීව පරීක්ෂණ කරයි කියා හිතන්නේ කෙසේද? එයටත් වඩා විජේදාස රාජපක්ෂ තමා යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුවට ගෝඨාභය සම්බන්ධ පරීක්ෂණයක් අපක්ෂපාතීව කරන්න ඉඩ දෙයිද කියන ප්‍රශ්නය මතුවේ.


අද ඔහු ඇවන්ගාර්ඩ් ආරක්ෂා කිරීම නිසා ගෝඨාභයගේ මහින්දගේ පමණක් නොව විමල්ලා ඇතුළු මහින්දවාදීන්ගේ වීරයා බවට පත්ව ඇත. විජේදාස ඇවන්ගාර්ඩ් ආරක්ෂා කරන්න පහර ගහන්නේ මහින්දට එරෙහි පළමු වෙඩි මුරය පත්තු කොට හිරේ විලංගුවට වැටුණු ෆොන්සේකාටය. මහින්දලාට එරෙහිව රටම සංවිධානය කළ ජ.වි.පෙ.ටය. මහින්දගේ ආණ්ඩුවෙන් එළියට ඇවිත් ආණ්ඩුව හොල්ලලා පොළොවේ ගහපු රාජිතලාට එරෙහිවය. අද විජේදාස මහින්දවාදීන්ගේ සුරතලෙකි. හේතුව මහින්දව ගෙදර යවපු අයට විජේදාස ගහන ගැහිල්ල නිසාය. මහින්ද කියන්නේ ඇවන්ගාර්ඩ් ගැන විජේදාස කියන කතාව ඇත්තක් බවත් ඒ අනුව බලන විට තමන්ට එරෙහිව නඟන අනෙකුත් චෝදනාවලටද විජේදාසගේ ප්‍රකාශය අදාළ වන බවත්ය. මහින්දලාට එරෙහිව මෛත්‍රිත් රනිල් සහ ආණ්ඩුව චෝදනා රාශියක් නඟා තිබේ. ඇවන්ගාර්ඩ් ඉන් එකකි. ඇවන්ගාර්ඩ් රාජපක්ෂලාගෙන් පෞද්ගලිකව පළිගන්න නඟන චෝදනාවක් යැයි රටේ අධිකරණ ඇමැති කියනවා නම් මෛත්‍රි සහ රනිල් ඇතුළු ආණ්ඩුව රාජපක්ෂලාට එරෙහිව නඟන අනෙක් චෝදනාද එලෙස පළිගන්න ඉදිරිපත් කරන චෝදනා යැයි මිනිස්සුන්ට හිතන්න පුළුවනි.


"ඒ කියන්නේ රාජපක්ෂ විරෝධී ආණ්ඩුව ඇතුළේ අධිකරණ ඇමැති රාජපක්ෂවාදී පුංචි ආණ්ඩුවක් හදාගෙනද?..."
ආණ්ඩුව ඇතුළේ රාජපක්ෂවාදී මෙම පුංචි ආණ්ඩුව හදලා දීලා තියෙන්නේ ඇවන්ගාර්ඩ්ය. ඇවන්ගාර්ඩ් ඉලක්කය යළි රාජපක්ෂලා බලයට ගෙන ඒමය. ඒකට ඇවන්ගාර්ඩ් රාජපක්ෂ විරෝධීන් බිලී බා ගන්න සල්ලි වීසි කරයි. ඇවන්ගාර්ඩ් හරියට ගාර්ඩ් කරගත්තේ නැති නම් මේ ආණ්ඩුව වට්ටවන්නේ ඇවන්ගාර්ඩ් බව ගුරු දින විග්‍රහය පෙන්වා දුන්නේ මාස කිහිපයකට ඉහතදීය. පහත දැක්වෙන්නේ 2015 මාර්තු 05 දින ගුරු දින විග්‍රහයේ පළ වූ එම ලිපියෙන් කොටසකි.


"පාවෙන අවි නැවෙන් ආණ්ඩුව පුපුරයිද?"
"එක් අතකින් ඇවන්ගාර්ඩ් දූෂණයට එරෙහිව ඡන්දය දුන් ජනතාව ඉදිරියේ ආණ්ඩුව අප්‍රසාදයට ලක් කරන අතර අනෙක් අතට යහපාලනයට එක්වූ සන්ධානයේ එකිනෙකා කොටවා අසමඟි කර ඇත. මෙම සමාගම ව්‍යාපාර කරගෙන යන්නේ අවි ආයුධ සහ හිටපු හමුදා නිලධාරීන් එක්කය. ඔවුන්ට යහමට මුදල්ද ඇත. භයානකකම ඒකය....."
අද මේ වෙන්නේ එදා ගුරුදින විග්‍රහය පළ කළ අනාවැකිය ය. ඇවන්ගාර්ඩ් සමාගම ඊළඟ ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට අලුත් නායකයකු හදමින් සිටී. ඒ ගෝඨාභය රාජපක්ෂය. විජේදාස, ගෝඨාභයට කඩේ යන්නේත් ගෝඨාභය සහ මාරපන එකිනෙකාගේ පිට කසා ගන්නේත් නිකම්ම නෙවේ. ඇවන්ගාර්ඩ් දැන් ආණ්ඩුව ඇතුළෙන්ම ගෝඨාභයවාදීන් නිර්මාණය කොට ඇත. විජේදාස මේ දවස්වල ගෝඨාගේ ප්‍රතිරූපයට හුළං ගසමින් පුම්බන්නේ මෛත්‍රි සහ රනිල්ගේ ප්‍රතිරූප වට්ටමින්ය. ඔහු මෛත්‍රිට සහ රනිල්ටවත් මෙහෙම චරිත සහතික දී නැත. ඒකාබද්ධ විපක්ෂය ඇවන්ගාර්ඩ් ආරක්ෂා කරන්නත් ඇවන්ගාර්ඩ් වෙනුවෙන් කතා කරන ආණ්ඩුවේ ඇමැතිවරුන් ආරක්ෂා කරන්නත් සැදී පැහැදී සිටින්නේ මේ මහා කුමන්ත්‍රණය දියත් කරන්නටය.


තව තවත් ඇමැතිවරුන් ඇවන්ගාර්ඩ් කුමන්ත්‍රණයට බිලි වෙන්න පෙර ආණ්ඩුවද ඇවන්ගාර්ඩ්ද කියන දෙකෙන් එකක් මෛත්‍රි සහ රනිල් තෝරාගත යුතුය.
මේ ආණ්ඩුව හදලා දෙන්න පළමුව පාරට බැස්සේ සෝභිත හිමිය. උන්වහන්සේගේ මරණය උන්වහන්සේගේ ජීවිතයටත් වඩා ප්‍රබල බව දැනෙන්නේ උන්වහන්සේ පණ අදින විට ආණ්ඩුවේ පණ යන තරමට මතුවූ ඇවන්ගාර්ඩ් සිද්ධිය නිසාය. සෝභිත හිමිගේ පණ ගියේය. ඒත් මාරපනගේ පණ නැති කොට ආණ්ඩුව පණ බේරා ගත්තේය. ඒත් ආණ්ඩුව ඇතුළේ ඇවන්ගාර්ඩ් තුවාලය එහෙමමය. මේ තුවාලය සුව කර ගත්තේ නැති නම් ජීවත්ව සිටි සෝභිත හිමිට වඩා අපවත් වූ සෝභිත හිමි බලවත් බව ආණ්ඩුවට තේරුම් යන්න වැඩිකල් නොයනු ඇත. 2002 රනිල්ගේ ආණ්ඩුව ගහගෙන ගියේ සෝම හිමිගේ අපවත් වීමෙන් මතුවූ සිංහල බෞද්ධ රැල්ලෙන්ය. සෝභිත හිමිගේ යහපාලන රැල්ල එයට වඩා බලවත් වනු ඇති බව නොකිවමනාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

No comments

Powered by Blogger.