Open top menu
Sunday, January 31, 2016
සෝරෝස් ඩාවෝස් සහ ලාස්ට් චාන්ස්  --  උපුල් ජෝසප් ප්‍රනාන්දු.

"සෝරෝස් කියන්නේ මැලේසියාව වට්ටපු පට්ටා හොරෙක්. සී.අයි.ඒ. කුමන්ත්‍රණකාරයෙක්. මේ හොරුන්වද මේ රටට ගෙන්වන්නේ...?"
"ඩාවෝස් කියන්නේ ලෝකයේ ධනපතියන්ගේ ගුබ්බෑයමක්. ඒ ගුබ්බෑයමටද ලංකාව විකුණන්න යන්නේ...?"
මේ සෝරෝස් මෙහි පැමිණ පවත්වපු ආර්ථික සමුළුවත්, රනිල් ගිය ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් සමුළුවත් දිහා බලල මහින්දවාදීන් කියන කතාවය.
"ඕවා ඔක්කොම කතා සාප්පු. බලන්නකෝ සෝරෝස් දෙන දෙයකුත් නෑ. ඩාවෝස්වලින් වෙන දෙයකුත් නැහැ.."


මහින්දවාදීන් හිතන්නේ එහෙමය.
යුද්ධවලින් අර්බුදවලින් ජය ගත් රටවල්වලට අත දෙන්න ලොව බලවත් රටවල් කැමැතිය. දෙවැනි මහා ලෝක යුද්ධයෙන් විනාශ වූ පසු ජපානය නැඟිට්ටේ ලොව හොඳ හිත දිනාගෙනය. යුද්ධයෙන් පසු ලංකාවටත් ඒ අවස්ථාව ලැබිණි. ඒත් මහින්දට ඕනෑ වුණේ ජපානය වගේ ලොව හොඳ හිත දිනාගෙන ලොවෙන් ආධාර ගෙන රට හදන සැලසුමක් සකස් කරන්න නොව තමාට තෙවැනි වරට ජනාධිපතිවරණයට තරග කරන්න තියෙන බාධාව ඉවත් කර ගන්න 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නටය. දකුණේ අධිවේගී මාර්ගයට ව්‍යාපෘති වාර්තාව හැදුවේ ප්‍රේමදාස ආණ්ඩුවය. කටුනායක අධිවේගය කඩිනම් කළේ චන්ද්‍රිකාය.
යුද්ධය අවසන් වූ විගස මහින්ද මහරජාට ඇඳ හදිසි ජනාධිපතිවරණයක් පවත්වා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්න සැලසුම් හදන විට රනිල් යුද්ධයේ අවසන් වන දිනවල හිටියේ ඔස්ලෝ නුවරය.


ඔහු එහි සිට කොළඹ සිය කාර්යාලයට දැනුම් දුන්නේ ලංකාවේ ආර්ථික සහ සංඛ්‍යාලේඛන වාර්තා තමා එන විට සූදානම් කර තබන්න කියාය. ඔහු ඔස්ලෝ සිට යුද්ධයෙන් පසු ලංකාව ගොඩනැඟිය යුතු ආකාරය සහ මෙවැනි යුද්ධ අත්දැකීම්වලට මුහුණ දුන් රටවල් ගොඩ ආ හැටි පිළිබඳ පොත් පිංචක් ලියන්න කටු සටහනක් ගහගෙන ආවේය. 2009 අග "අනාගත අභියෝග" නමින් ඔහු නව දර්ශනයක් සේ ඒ පොත් පිංච එළියට දමා ඒ ගැන රට පුරා සංවාදයක් ඇති කරද්දී ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී පොදු අපේක්‍ෂකයෙක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු යැයි ඔහුට බලපෑම් එල්ල විය. "අනාගත අභියෝග" පොත එතැනින්ම යටපත් විය.


ජේ.ආර්. ද මෙලෙස ඡන්දයකට කලින් සිට රට හදන සැලසුම් සකස් කළ නායකයෙකි.
1977 බලයට ආ විගස ජේ.ආර්. කළේ මුදල් ඇමැති රොනී ඩී මෙල්ව ලන්ඩන් නුවරට සහ වොෂින්ටනයට පිටත් කර හැරීමය. ආණ්ඩුව ආවේ ජූලියේය. සැප්තැම්බර් වෙනකොට රොනී ලන්ඩන් නුවරට සහ වොෂින්ටනයට ගියේය. රොනී ලන්ඩන් යද්දී ජේ.ආර්. එවකට බි්‍රතාන්‍ය අගමැති ජේම්ස් කැලහැන්ට දෙන්න කියා ලිපියක් දුන්නේය. බි්‍රතාන්‍ය අගමැතිවරයා වහා ඒ ලිපියට ප්‍රතිචාර එවීය. රොනී වොෂින්ටනයට ගොස් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද, ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ද හමුවිය. රොනී ලංකාවට ආවේ බලාපොරොත්තු පොදි බැඳගෙනය.

ජේ.ආර්. ආර්ථිකයේ මහා යෝධ පිම්මක් ගන්න ව්‍යාපෘති තුනක් හඳුනා ගත්තේය. පළමුවැන්න කඩිනම් මහවැලිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘතියය. දෙවැන්න මහ කොළඹ ආර්ථික කොමිසමය. තුන්වැන්න නිවාස සහ නාගරික සංවර්ධන ව්‍යාපෘතියය. මෙම ව්‍යාපෘති තුන සඳහා ණය ආධාර ගන්න පෙර ජේ.ආර්. සිංගප්පූරුවේ නියෝජ්‍ය අගමැතිවරයා වූ කෙං ස්වී ට ලංකාවේ ආර්ථිකයේ ලෙඩ සහ ඒවා සුව කළ හැකි අන්දම ගැන වාර්තාවක් සකස් කිරීමේ කාර්යය පැවැරීය. මහවැලියට ණය ආධාර ගන්න ජේ.ආර්. ඉඩම් ඇමැති ගාමිණීව යුරෝපයට පිටත් කළේ ඉන් පසුවය. පළමුව බි්‍රතාන්‍යයට සහ ජර්මනියට ගිය ගාමිණී ස්වීඩනයට ගිය ගමන ජේ.ආර්.ගේ චරිතාපදානයේ දක්වා තිබෙන්නේ මෙසේය.


'ස්වීඩනය කොත්මලේ ජලාශය හදන්න භාර ගැනීම ගාමිණී දිසානායකගේ පැත්තෙන් බලන විට අගනා තේරීමකි. කොත්මලේ හා සම්බන්ධ බලශක්ති නිෂ්පාදන ප්‍රමාණය අනුව මෙන්ම එමඟින් අනුරාධපුරයටත්, පොළොන්නරුවටත් ජලය සපයන පොල්ගොල්ල වේල්ල සඳහා ජලය ගබඩා වීමත් මෙහිදී වැදගත් විය. දිසානායක මෙය දුරකතන මාර්ගයෙන් ජේ.ආර්.ට දැන්වීය.'


මෙලෙස ලංකාවේ මහවැලි ව්‍යාපාරයේ විශාලතම ව්‍යාපෘතියක් වූ කොත්මලේ හදන්න භාරගත් ස්වීඩනයේ විදේශ ඇමැති යුද්ධයේ අවසන් කාලයේ ලංකාවට එන්න හදද්දී මහින්දගේ ආණ්ඩුව විදේශ ඇමැතිට වීසා දීම ප්‍රතික්‍ෂේප කළේය. එයින් දැඩි සේ කලකිරුණු ස්වීඩනය ලංකාවේ තානාපති කාර්යාලය වසා දැම්මේය. ස්වීඩනය කියන්නේ එ.ජා.ප. ආණ්ඩු කාලයේ පමණක් නොව ශ්‍රී ලනිප ආණ්ඩු කාලයේද ලංකාවට විශාල වශයෙන් ආධාර කළ රටකි. එතැන් පටන් ස්වීඩනය ලංකාව කියා රටක් තියෙනවාදවත් හොයන්න බලන්න ගියේ නැත.


රනිල් පසුගියදා ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවරට ගිය වේලාවෙ ස්වීඩන් අගමැති හමුවිය. ඔහු යළිත් ලංකාවට ආධාර කරන්න කැමැත්ත පළ කළේය.
රනිල් 2015 අගමැති වූ විගස අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති ලෙස පත්කළේ ඔහු රනිල්ගේ මිත්‍රයෙක් නිසා නොවේ. අර්ජුන් මහේන්ද්‍ර සිංගප්පූරුවේ ප්‍රකට ආර්ථික විශේෂඥයෙකි. ලොව ආර්ථික වෙනස්වීම් ගැන සිංගප්පූරුවේ රාජ්‍ය මාධ්‍ය වන චැනල් නිවුස් ඒෂියා විශ්ලේෂණය කරගත්තේ ඔහුගෙනි. ඔහු සිංගප්පූරු බැංකු උපදේශකවරයෙකි. ඩුබායිහි බැංකුවල ප්‍රධාන තනතුරු දරපු අයෙකි. ඔහුට තිබෙන ජාත්‍යන්තර ආර්ථික සබඳතාවලින් ප්‍රයෝජන ගන්න රනිල් හිතුවා විය හැකිය.


ඔහු රවීව මුදල් ඇමැති ධුරයට පත්කළේත් රවීට ලෝක ආර්ථික ජාලයට ඇති සබඳතා නිසාය. රනිල්ද අගමැති වූ විගස අර්ජුනව සහ රවීව ලන්ඩනයට, වොෂින්ටනයට සහ බ්‍රසල්ස් නුවරට පිටත් කර හැරියේය. මෛත්‍රි චීනයට ගියේය. රනිල් ඉන්දියාවට සහ ජපානයට ගියේය. ජපානය ලංකාවට ආධාර කළ ප්‍රබලතම රටකි. එහෙත් ජපාන අගමැති ලංකාවට ආ විට චීන සබ්මැරීන්වලට ලංකාවට එන්න ඉඩ දුන් නිසා ජපානයට මහින්දගේ ආණ්ඩුව තිත්ත විය. ජපානය හිතුවේ එය තම රටට කළ අවමානයක් ලෙසය. ඒත් රනිල් ජපානයට ගොස් පරණ මිතුදම අලුත් කර ගත්තේය. ලංකාවේ ගුවන් තොටුපොළ අධිවේගී මාර්ග, ප්‍රවාහන සේවය දියුණු කරන ව්‍යාපෘති රාශියකට ආධාර කරන්න ජපානය කැමැති විය. ඉන්පසු සිංගප්පූරුවට ගිය රනිල් මෙගා පොලිස් නගර ව්‍යාපෘතියේ සැලැස්ම හදන්න සිංගප්පූරුවට භාර දුන්නේය. හරියටම 2014 දෙසැම්බර් 9 අන්ද්‍රා ප්‍රාන්තයේ මහ ඇමැති චන්ද්‍ර බාබු නායිදු එහි නගරය සිංගප්පූරුවේ මරීනා බේ වාගේ හදන සැලැසුම හැදීම සිංගප්පූරුවට භාර දුන්නේය. එයට ඉන්දීය මධ්‍යම රජයේද අනුමැතිය ලැබිණි. අන්ද්‍රා ඉන්දියාවේ දියුණුම ප්‍රාන්තයය. ඉන්දියාවේ තාක්‍ෂණ විප්ලවය ඇති වූයේ එහිය.


ජේ.ආර්. මෙන්ම රනිල්ද ලංකාව යෝධ සංවර්ධන පිම්මකට යන ව්‍යාපෘති තුනකට ඉව අල්ලන බව පෙනේ. ජේ.ආර්.ගේ මහ කොළඹ ආර්ථික කොමිසම වෙනුවට නව ලොවට ගැළපෙන කොළඹ ජාත්‍යන්තර ආර්ථික මධ්‍යස්ථානය පළමුවැන්නය. ජේ.ආර්. නිදහස් වෙළෙඳ කලාප හදල රැකියා නිර්මාණය කළේ මේ ආර්ථික කොමිසම හරහාය. දෙවැන්න ජේ.ආර්.ගේ නිවාස සහ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවට මෙගා පොලිස් බස්නාහිර නගර ව්‍යාපෘතියය. තෙවැන්න රැකියා දස ලක්‍ෂයක් හදන්න විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමය.


ඔහු සෝරෝස් වැනි ලොව ප්‍රකට ව්‍යාපාරිකයන් ගෙන්වා ගත්තේ රැකියා දසලක්‍ෂයේ හීනය සැබෑ කර ගන්නටය. සිංගප්පූරුව වගේ දියුණු වෙන්න මැලේසියාව සහ තායිලන්තය අරමුදල් සහ ආයෝජන හොයා ගත්තේ සෝරෝස්ගෙන්ය. මැලේසියාව සහ තායිලන්තය දියුණු වුණේ සෝරෝස්ගේ සල්ලිවලිනි. වරක් ආසියාවේ ආර්ථික අර්බුදයක් ඇතිවී මැලේසියාවේ ආර්ථිකය කඩාගෙන වැටිණි. සෝරෝස් මැලේසියාවට ආයෝජනය කළ සල්ලි ඇදල ආර්ථිකය කඩාවැටුණා යැයි එකල මැලේසියානු අගමැති සෝරෝස්ට චෝදනා කළේය. ඒත් විකිපීඩියා වෙබ් අඩවියේ සඳහන් වන්නේ මහතීර් 2006දී සෝරෝස්ව හමුවී තමා අගමැති ධුරය දරන කාලයේ කළ ප්‍රකාශයට සමාව ඉල්ලපු බවය. එය තමන් වැරැදි වැටහීමක සිට කළ ප්‍රකාශයක් යැයි ඔහු කීවේය.


සෝරෝස්ට තියෙන සල්ලිවලට සහ කීර්තියට ඔහුට ලංකාවට එන්න රුදාවක් නැත. ඔහුව ගෙන්වා ගන්න ලොව රටවල් පොරකයි. තායිලන්තය සහ මැලේසියාව ඔහුව ගෙන්වාගත්තේද වැඳලාය. මහින්දගේ ආණ්ඩුව අවුරුදු 10ක් අඬල අඬල ගෙන්වා ගත්තේ කැසිනෝ රජා පැකර්වය. ඔහුට සෝරෝස්ට අලගු තියන්නවත් බැරිය. රනිල්ට ඩාවෝස්හිදී හමුවුණු මයිකේ‍රාසොෆ්ට් සභාපතිත් ඒ වගේය. ඔහු ලංකාව සමඟ තාක්‍ෂණික ගිවිසුමකට එකඟ වීම විශාල ජයග්‍රහණයකි.
ඉන්දියාව කියන්නේ සුද්දාට වඳින රටක් නොවේ. ඒත් සුද්දා නැතිව රට දියුණු කරන්න බැරි බව ඉන්දියාව දනී. මයිකේ‍රාසොෆ්ට් හිමිකරු බිල් ගේට්ස් වරක් ඉන්දියාවේ සංචාරය කළ විට අන්ද්‍රා ප්‍රාන්ත මහ ඇමැති නායිදු ඔහුව හමුවීමට වේලාවක් ඉල්ලීය. බලවත් පෙරැත්තයකට පසු දුන්නේ විනාඩි 10කි. ඔහු විනාඩි 10ට ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කොට ඔහුගේ හිත දිනාගත්තේය. අන්ද්‍රා ඉන්දියාවේ තාක්‍ෂණික විප්ලවයේ මර්මස්ථානය වූයේ එසේය.
පසුගියදා ඩාවෝස් නුවරදී රනිල්ට චන්ද්‍රබාබු නායිදු හමු විය. ඔහුට ඩාවෝස් සමුළුවට ආරාධනා කළේ ඔහු ප්‍රාන්තයේ කරපු විප්ලවය නිසාය. රනිල්ට ආරාධනා කරන්න ඇත්තේත් නායිදු වගේ විප්ලවයක් ඔහු ලංකාව තුළ කරයි කියා හිතාගෙන විය යුතුය.


ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පසුගියදා ලංකාවට පැමිණ කිව්වේ ලංකාවට ආධාර කිරීම සඳහා වූ ඇමෙරිකානු - ශ්‍රී ලංකා ද්වී පාර්ශ්වික සාකච්ඡා මෙම වසරේ පෙබරවාරියේ වොෂින්ටනයේ ඇරැඹෙන බවය. ප්‍රකට ඉතිහාසඥයෙක් සහ දේශපාලන විචාරකයෙක් වන මයිකල් රොබට්ස් පවසා තිබුණේ කෙරීගේ ප්‍රකාශයෙන් පසු සෝරෝස් මෙහි ආවේ ඇමෙරිකාවේ බලපෑම නිසා බවය. ඇමෙරිකාව විසින් හසුරුවන ලොව ප්‍රකට ව්‍යාපාරිකයන්ට ලංකාවේ ආයෝජනය කරන ලෙසට ඇමෙරිකාව බලපෑම් කරන බවය.


2002 රනිල්ගේ ආණ්ඩුව බලයට ආ විටත් ඔස්ලෝ ආධාර සමුළුව සහ ටෝකියෝ ආධාර සමුළුව හරහා ඇමෙරිකාව ලංකාවට ආධාර කරන්න ලොව ධනවත් රටවල් සහ ව්‍යාපාරිකයන් මෙහෙයවීය. ටෝකියෝ ආධාර සමුළුවේදී ලංකාවට ඩොලර් බිලියන 4 කට වඩා ආධාර දෙන්න ඇමෙරිකාව, බි්‍රතාන්‍ය ප්‍රමුඛ යුරෝපා රටවල් පොරොන්දු විය. ඒ මුදල් ලැබුණොත් රනිල්ගේ ආණ්ඩුව පෙරළගන්න බැරිවෙයි කියා බයේ චන්ද්‍රිකා ආණ්ඩුව විසුරුවා හැරියාය.
1977දී ලංකාව සිංගප්පූරුව අභිභවා යන්න ජේ.ආර්. සකස් කළ යෝධ සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කළේ ඉන්දියාවය. ඒ කොටින්ට කිරි පොවලාය. එකල සෝවියට් ගැති ඉන්දියාව ලංකාව ඇමෙරිකාව අල්ලාගෙන බලවත් වෙනවාට බය විය. එකල මුදල් ඇමැති රොනී පසු කලෙක කීවේ 1983 යුද්ධයක් ඇති නොවුණා නම් අද ලංකාව ආසියාවේ ධනවත් සහ බලවත්ම රට වන බවය.


දැන් ජේ.ආර්.ගේ බෑනා රනිල්ට 1983 ජේ.ආර්.ටත්, 2003 තමාටත් අහිමි වූ අවස්ථාව යළි ලැබී තිබේ. 2003 රනිල්ගේ සැලසුම කඩාකප්පල් කළ චන්ද්‍රිකාත් රනිල්ව අගමැති කරන්න ලොකු විප්ලවයක් කළාය. ශ්‍රී ල.නි.ප. 2003 චන්ද්‍රිකා මෙන් නොව ශ්‍රී ල.නි.ප. නායක මෛත්‍රිපාල රටේ ජනාධිපති ලෙස රනිල්ට ඒ සඳහා අවස්ථාව ලබා දී තියෙනවා පමණක් නොව රනිල්ගේ ආණ්ඩුවට අවශ්‍ය බහුතරය ගන්න ශ්‍රී ල.නි.ප. සහායද ලබාදී තිබේ. යූ.ඇන්.පී.කාරයන් රනිල්ට ඡන්ද දිනන්න බැහැ කියා බැන්නත් රනිල්ට රත්තරන් මොළයක් තියෙනවා කියා පසුගිය වසර 20 දීම කයිවාරු ගැසීය. ඒ මොළෙන් වැඩ පෙන්වන්න රනිල්ට ලැබිලා තියෙන අන්තිම චාන්ස් එක මෙයය.

උපුල් ජෝසප් ප්‍රනාන්දු.
Read more
Saturday, January 30, 2016
ජාතිකත්වය දේශපාලනය හා කම්කරු ව්‍යාපාරය – ආචාර්ය කුමාරි ජයවර්ධන

මධ්‍යස්ථවාදීන් වශයෙන් නම් කොට ඇති අය තම ආර්ථික අතිරික්තය පරිභෝජනය කරනු වෙනුවට යළි ආයෝජනය කරන ඡායමාන ධනපති  පන්තියකට සුපුරුදු ධනවාදී  ආකල්ප ඇති පුද්ගලයෝය. එක්තරා  ප්‍රමාණයක ආර්ථික සමෘද්ධියක් අත් කර ගැනීමෙන් පසු මොව්හු දේශපාලන  බලය ලබා ගැනීම සිය අරමුණ කොටගත්හ.



එහෙත් ඔව්හු, පරිපාලන  සේවා ක්‍ෂේත්‍රයේ  උසස් තනතුරු දරමින් මෙරට පාලනය කළ එමෙන්ම වාර්ගික වශයෙන් තනිකරම බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන්  සෑදුණ පාලන පද්ධතිය විවර කිරීමේ කාර්යයට මුහුණ පෑහ. ලංකාවේ  ජාතික ව්‍යාපාරයේ  ඉතිහාසයෙන්  ලාංකීය  මධ්‍යම පන්තිය දේශපාලන බලය අත්පත් කොට ගැනීමේ ක්‍රියා විස්තර කැරෙයි. හැම අවධියකදීම  ව්‍යවස්ථානකූල ක්‍රම  මගින් කර ගෙන යන ලද, දේශපාලන  නියෝජිතත්වය,  අදහස් පළ  කිරීමේ නිදහස හා වාර්ගික  තුල්‍යතාව යනාදී ප්‍රජාතන්ත්‍රවාදී  අයිතිවාසිකම් සඳහා වූ   මේ සටන මධ්‍යස්ථවාදීන් විසින් මෙහෙය වන ලදී. රැඩිකල්වාදීහු ඊට සහයෝගය දුන්හ.



එහෙත් මධ්‍යම පන්තියේ රැඩිකල්වාදී කොටස දේශපාලන හා කම්කරු ප්‍රශ්න සම්බන්ධයෙන් දැරූ මතය  මධ්‍යස්ථවාදීන්ගේ මතයට වඩා වෙනස් විය. මධ්‍යස්ථවාදීන්ගේ ප්‍රතිපත්තිය පෙරට වඩා දේශපාලන  බලයක් ලබා මධ්‍යම පන්තියට දෙන යම්යම් ප්‍රතිසංස්කරණවලට සීමා වූ අතර. රැඩිකල් වාදීහු සටන ඉන් ඔබ්බට ගෙන යමින් සම්පූර්ණ ස්වරාජ්‍යයද, පූර්ණ වෘත්තීය සමිති අයිතිවාසිකම් ද, සර්වජන ඡන්ද බලය ද ඉල්ලා සිටියහ. 1915 ට පෙර කාලයේ වුව, මේ ප්‍රවණතා දෙක වෙන් වශයෙන්  දක්නට තිබුණ ද, ඒ වර්ෂයෙන් පසුව භේදය  ඊට වඩා  බොහෝ පැහැදිලි විය.1915 ට කලින් කම්කරු ව්‍යාපාරය හා සම්බන්ධ  ප්‍රශ්නවලට පටලැවී  සිටි මධ්‍යස්ථවාදීන්   සහ රැඩිකල්   වාදීන් යන මේ දෙකොටසම, ආගම ද, අමද්‍යප ව්‍යාපාරයද, ප්‍රාරම්භක ජාතිකවාදී   ඉල්ලීම්ද හා සම්බන්ධ වූ සටන් ව්‍යාපාරවල ක්‍රියාශීලී වූහ. ලංකාවේ  ප්‍රථම වෘත්තීය සමිතියේ  ආරම්භකයන් වූ ඒ. ඊ. බුල්ජෙන්ස් සහ දොස්තර ලිස්බෝ පින්තු ක්‍රිස්තු භූක්තිය හැරදා  ඊට විරුද්ධව  සටන් කළ අය වූහ. බෞද්ධ පුනර්ජීවනයේ   ප්‍රමුඛ පුද්ගලයන් වූ අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර සහ ඒ. ඊ. බුල් ජෙන්ස් කම්කරු පන්ති උද්ඝෝෂණයේ ආධාරකරුවෝ වූහ. දොස්තර ලිස්බෝ  පින්තු හා ජෝන් කොතලාවල ඇතුළු මේ සියලු නායකයෝ විවිධ අමද්‍යප  සංවිධානවලට අයත් වූහ. 1912 දී පවා සී. බටුවන්තුඩාවේ, ආතර් වී දියෙස් සහ ඩී. සී. සේනානායක ආදී අලුත්  මධ්‍යස්ථවාදී කම්කරු නායකයෝ අමද්‍යප  හා සමාජ සේවා ව්‍යාපාරවල ක්‍රියාශීලී වූ ජාතිකවාදීහු වූහ.



1915 සහ 1933 අතර කාලයේදී දේශපාලනය හා ආගම අතර වූ සම්බන්ධකම් ලිහිල් වීමට පටන් ගනී. ආගම ලාංකීය දේශපාලනයේ  සදා පැවති හා වරින් වර ඉස්මතු වූ සාධකයක්  බැව් නොකිවමනාය. එහෙත්  1915 කල කෝලාහලවලින් පසු ආගමික උද්ඝෝෂණ පසු බිමට තල්ලු වී ආගමික නොවූ ජාතිකවාදය ඒ තැන ගත්තේය. ජාතිකවාදීන්ට සිය දේශපාලන  දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම සඳහා ආගමික වාග් සම්ප්‍රදායක්  පාවිච්චි කිරීම තව දුරටත් අවශ්‍ය නොවීය. අමද්‍යප  උද්ඝෝෂණය තරමක් යල් පැන ගිය දේශපාලන සටන්ක්‍රමයක් බවට පත්විය. ක්‍රිස්තියානි විරෝධී උද්ඝෝෂණවල  යෙදීම තව දුරත් ජාතිකවාදී මත ඉදිරිපත් කිරීමේ  ප්‍රධාන ක්‍රමය නොවීය.  1915 දී සියලු දේ  අනිත්‍යය යන බෞද්ධ  මතය පළ කරමින් පාසල් ශිෂ්‍යයකු විසින් සඟරාවකට ලියන ලද ලිපියක් බ්‍රිතාන්‍ය පාලනයට  විරුද්ධ ප්‍රහාරයක්  ලෙස ‍පොලීසිය විසින් සලකන  ලද නමුත්, නව සිය විසි ගණන් වන  විට ජාතික වාදී සිසුන්ට ආගමික  පාඨවල සහාය  නොමැතිව තම දේශපාලන මත ප්‍රකාශ  කිරීමට පුළුවන්කම තිබිණ.



නවසිය විසි ගණන්වලදී ලංකාවේ  බටහිර පන්නයට හැඩ ගැසුණු මධ්‍යම පන්තියේ රැඩිකල්වාදී හා මධ්‍යස්ථවාදී කොටස් අතර නිරන්තර ගැටුමක් පැවතිණ. ලංකාවේ ජාතිකවාදී ව්‍යාපාරය  තුළ රැඩිකල්වාදීන්. සංඛ්‍යාව අතින් කුඩා වූ බැවින්ද ප්‍රධාන බලවේගයක් නොවූ බැවින්ද, මුලදී ඔවුන් කෙරෙහි  දක්වන ලද්දේ අල්ප අවධානයකි. ඔවුන්ගේ වැදගත්කම පැහැදිලි වන්නේ කම්කරු ව්‍යාපාරය ගැන අධ්‍යයනය කිරීමේදී පමණකි. ඔවුන්ගේ සංඛ්‍යාව සුළු වුවද, අනුගාමිකත්වය කුඩා වුවද, ඔවුන්ගේ බල පෑම තම සංඛ්‍යා ශක්තියට වඩා බෙහෙවින් විශාල විය. 19 වැනි ශත වර්ෂයේදී   රැඩිකල්වාදීන් සහ මධ්‍යස්ථවාදීන් යන දෙගොල්ලෝ ම දේශපාලන තීරණ ගැනීමේ   ක්‍ෂේත්‍රයෙන්  පිට මං කරනු ලැබ සිටියහ. එසේ වුවද, නව සිය විසි ගණන් වන විට  මධ්‍යස්ථවාදීන් හා රැඩිකල්වාදීන් අතර ප්‍රධාන වෙනස වූයේ,  මධ්‍යස්ථවාදීන් ක්‍රමයෙන් පාලක පන්තියේ කොටසක් බවට පත් වෙමින් සිටීමයි. රාජ්‍ය මන්ත්‍රණ  සභාවට තේරී පත් වුණු  මන්ත්‍රීවරුන් අතරෙන් මධ්‍යස්ථවාදී  දේශපාලනඥයන්ගෙන් සමන්විත ලාංකීය  ඇමැති මණ්ඩලයක් තෝරා ගන්නා ලද 1931 දී ඔවුහු අර්ධ වශයෙන් එම තත්ත්වය අත් පත් කොට ගත්හ. බ්‍රිතාන්‍යයන්  සමග සමගි සම්මුතියකට එළඹීමේ ප්‍රතිපත්තිය තුළින් පාලක පන්තියේ  කොටසක්  බවට පත්  වීම මධ්‍යස්ථවාදීන්ගේ  අපේක්ෂාව වූ බැවින් රැඩිකල්වාදීන් හා මධ්‍යස්ථවාදීන් අතර භේද උත්සන්න වීම අනිවාර්ය විය.



1915 න් පසු දේශපාලන ප්‍රශ්න හා වෘත්තීය සමිති ව්‍යාපාරය පිළිබඳව   රැඩිකල්වාදීන් හා මධ්‍යස්ථවාදීන් අතර මත භේද  වර්ධනය වී නවසිය විසි ගණන් වන විට පරතරය උග්‍ර විය. මධ්‍යස්ථවාදීන් එවකට විශාලම දේශපාලන සංවිධානය වූ ලංකා ජාතික  සංගමය මෙහෙය වූ අතර රැඩිකල්වාදීහු  ප්‍රධානම කම්කරු  සංවිධානය වූ ලංකා කම්කරු සංගමය  තුළ ප්‍රබල වූහ. ඒ අතර මධ්‍යස්ථවාදීන්ට ලංකා කම්කරු සම්මේලනය නමින් තමන්ගේම  වූ  වෘත්තීය සමිති සංවිධානයක් තිබිණ. රැඩිකල්වාදීහු  තරුණ ලංකා සංගමය සහ ලංකා කම්කරු පක්ෂය වැනි කුඩා නමුත් සංක්ෙෂප වශයෙන්  සටන්කාමී දේශපාලන කණ්ඩායම්වලට අයත් වූහ. ප්‍රතිසංස්කරණ සඳහා වූ  දේශපාලන ව්‍යාපාරයත්, නාගරික කම්කරුවන්ගේ උද්ඝෝෂණ සහ වැඩ වර්ජනත්, සම්බන්ධයෙන් මේ කොටස් දෙක අතර නිතර නිතර ගැටුම් ඇතිවිය. මත භේද ඇති වූයේ සටන් ක්‍රම මුල් කර ගෙනය. මධ්‍යස්ථවාදීහු “ඉවසීම, සන්සුන් පැවතුම්, අවංක භාවය හා සකසුරුවම්කම” යනාදීයෙහි යහපත්කම ගැන කම්කරුවන්ට කියා දෙමින් ප්‍රවේසමෙන් යුතුව හා හික්මීමෙන් යුතුව ක්‍රියා කරමින් දේශපාලන හා කම්කරු  ප්‍රශ්න සමාදානයෙන් විසඳා ගත යුතු බැව් කියා සිටියහ.  ඒ අතර රැඩිකල්වාදීන්ගේ වෑයම වූයේ  සටන්කාමී ජාතිකවාදී උද්ඝෝෂණ හා කම්කරුවන්ගේ බලගතු ආක්‍රමණික සටන් වර්ධනය   කිරීමයි. දේශපාලන  කටයුතුවලදී මධ්‍යස්ථවාදීන් සීමාසහිත  ඡන්ද බලය මත පදනම් වූ ප්‍රතිසංස්කරණ ටිකින් ටික ලබා ගැනීමට බලා‍පොරොත්තු වූ  අතර රැඩිකල්වාදීහු වහාම  සර්ව ජන ඡන්ද බලය සහිත ස්වරාජ්‍ය  ඉල්ලා සිටියහ.  තීරණාත්මක දේශපාලන උරගා බැලීම  කෙරුනේ  සර්වජන ඡන්ද බලය පිළිබඳ ප්‍රශ්නය  උඩයි. මේ ප්‍රශ්නය මුල් කරගෙන රැඩිකල්වාදීහු ලංකා ජාතික සංගමයෙන් කැඩී වෙන් වී  ලංකා කම්කරු පක්ෂය  පිහිටු වූහ. කම්කරු  ප්‍රශ්න ගැනද  මත භේදය  ඒ සමානම තියුණු විය.



තමන් ආභාෂය ලැබුවේ කුමන විදේශීය ව්‍යාපාරයන්ගෙන්ද යන්න මධ්‍යස්ථවාදීන් හා රැඩිකල්වාදීන් අතර පැවැති තවත් වෙනසකි.  මධ්‍යස්ථවාදීන්  බ්‍රිතාන්‍ය  ලිබරල්වාදය හා ඉන්දීය ජාතිකවාදී ව්‍යාපාරයේ ගතානුගතික  අංශය ගුරු කොට  සැලකූ අතර රැඩිකල්වාදීහු  ඉන්දීය “සීමාන්තිකයන්”  හා බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය  ගුරු කොට ගත්හ. ඇත්ත වශයෙන්, තම දේශපාලන හා වෘත්තීය  සමිති වැඩකටයුතුවලදී පමණක් නොව තම මුළු දෘෂ්ටිය සම්බන්ධයෙන්ද ලාංකීය   රැඩිකල්වාදීන් කෙරෙහි බලපෑවේ බ්‍රිතාන්‍ය  කම්කරු පක්ෂය   සමග වූ මේ  සම්බන්ධයයි. ආසියාවේ   බොහෝ ප්‍රදේශවල  මාක්ස්වාදයට අනුගාමිකත්වයක් වැඩි වැඩියෙන් ලැබෙමින් පැවති වකවානුවකදී නව සිය විසි ගණන්වල ලාංකීය රැඩිකල්වාදීහු ප්‍රධාන වශයෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදීමය දර්ශනයක රැඳී සිටියහ. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සමග වූ සිය සබඳකම් ලංකාවේ කම්කරු  ව්‍යාපාරයට  හා එහි නායකයන්ට ප්‍රයෝජනවත් විය.



නව සිය විසි ගණන්වල රැඩිකල්වාදී වෘත්තීය සමිති නායකයන්  ඊට පෙර කාලයේ එබඳු නායකයන්ට වඩා වෙනස් වූයේ මොන අන්දමින්ද? එක් කැපී පෙනෙන වෙනසක්  නම්, දේශපාලනය පමණක් නොව දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය ද ආගම වෙන් කිරීමයි. නව සිය විසි ගණන් වන විට, ඊට කලින් වකවානුවකදී  නාගරික  කම්කරු ව්‍යාපාරයේ පුරෝගාමීන් වූ බෞද්ධ  නායකයන්ගේ ස්ථානය  අලුත් පරම්පරාවක  රැඩිකල්වාදීන්  විසින් ගෙන තිබුණි. ඒ. ඊ. ගුණසිංහ සහ ජෝර්ජ් ඊ. ද සිල්වා වැනි ඉන් ඇතැමෙක් බෞද්ධයෝ වූහ. එහෙත් වික්ටර් කොරෙයා, සී. එච්. ඉසැඩ්  ප්‍රනාන්දු  සහ වැලන්ටයින්  පෙරේරා වැනි  තවත් අය ක්‍රිස්තු  භක්තිකයෝ වූහ. අපරදිග නොවන ආගම තව දුරටත් දේශපාලනයේ රැඩිකල්වාදය පිළිබඳ එක් මිනුම් දණ්ඩක් නොවූ වද එය ශක්තිමත්   ගාමක බලයක් ලෙස පැවතිණ. නව සිය  විසි ගණන්වල කම්කරු ව්‍යාපාරයේ  ඉතාම ජංගමශීලී පුද්ගලයා වූ ඒ. ඊ. ගුණසිංහ බෞද්ධ අධ්‍යාපනික  පසුබිමක් තිබූ තැනැත්තෙකි. ඔහු කම්කරු  සටන්වල   උග්‍ර අවස්ථාවල දී පවා නගරබද  කම්කරුවන්ගේ බෞද්ධ හැඟීම් ඇවිස්සුවේය. නවසිය  විසි ගණන්වල වතුකරයේ කම්කරු නායකයා ද හින්දු ආගමික නැඹුරු වීමක් ඇතිව සිටි පුද්ගලයෙකි. එහෙත් තම නායකත්වය අනුගමනය කළ කම්කරුවන්ගේ ආගම්වලට අනුරූපි වූ ආගමික විශ්වාසයන්  ඇතිව සිටි ඒ. ඊ. ගුණසිංහ සහ කේ. නාකේස් අයියාර්, ප්‍රධාන වශයෙන්ම ආගමික  අභිවෘද්ධියට හෝ ක්‍රිස්තියානි විරෝධී ප්‍රචාරයට වඩා ජාතිකවාදී  දේශපාලනය හා වෘත්තීය සමිති ව්‍යාපාරය ගැන සැලකිලිමත්වූ, ලෞකික නායකයෝ වූහ.



ඉඩම් හිමියන් වූද, වෘත්තීය බුද්ධීමතුන් වූද,  එමෙන්ම බ්‍රිතාන්‍යයන්ගේ අයිතිවාසිකම  සමග නොගැටුණු  ආර්ථික අයිතිවාසිකම් ඇතිව සිටියා වූද,  ලාංකීය මධ්‍යස්ථවාදීන්  බොහෝ විට රැඩිකල්වාදීන්ට විරුද්ධව පාලන අධිකාරීන්ගේ පැත්ත ගත් බැව් සඳහන් කිරීම ප්‍රයෝජනවත්ය.  සටන්කාමී වෘත්තීය සමිති කටයුතුවලට විරුද්ධව තම අදහස් පළ කළ මධ්‍යස්ථවාදී නායකයෝ “වගකීමෙන් තොර” රැඩිකල්වාදීන්  ගැන චෝදනා  මුඛයෙන් කථා කළහ.



එසේ වුවද, අධිරාජ්‍යවාදය කෙරෙහි වූ ආකල්ප අතින් මත භේද  තිබුණද රැඩිකල්වාදීන් සහ මධ්‍යස්ථවාදීන්  යන දෙගොල්ලන්ම ධනවාදී   රාමුව පිළිගත් බැව් සඳහන් කළ යුතුය. රැඩිකල්වාදීහු විකල්ප  සමාජ සංවිධානයක්   වශයෙන් සමාජවාදය  ඉදිරිපත් නොකළහ. ලංකා කම්කරු පක්ෂය  කිසිදාක සමාජවාදී   පක්ෂයක් ලෙස ඉස්මතු නොවීය. 1930  ගණන් දක්වා   ධනවාදී  ක්‍රමය බිඳහෙළිය  යුතුය යන්න කම්කරුවන්ට අවබෝධ  නොවූයේ එතෙක්  ඔවුන්ගේ පන්ති හැඟීම දියුණු නොවී තිබූ නිසාය.  එහෙත් මේ  කාලයේදී,  ධනවාදීන්ගේ වුවමනාවනට පටහැනිව තම පන්ති අයිතිවාසිකම් වෙනුවෙන්  නැගී සිටීම අතින් නගරබද  කම්කරු පන්තිය විශාල ඉදිරි පිම්මක් පැන්න බැව් සැලකිල්ට ගැනීම වැදගත්ය.



1933 දක්වා වූ කාලයේදී පන්ති හැඟීම  ප්‍රදර්ශනය වූයේ කෙසේද? 1933  දක්වා අවුරුදුවලදී හටගත් වැඩවර්ජන හා සටන්, පන්ති හැඟීම අනුව තේරුම්  කළ නොහැකි  හුදකලා සිද්ධීන් යයි පෙන්වීමට අද ඇතැම් ප්‍රතිගාමී  ඉතිහාසඥයෝ වෑයම් දරති. ලංකාවේ කම්කරු  පන්තිය, ජාති, භාෂා, ආගම් හා කුල අනුව බෙදී සිටි බැව්ද, එම නිසා  ඔවුනොවුන් සමග ප්‍රතිඵලදායී   ලෙස එක්සත් වීමට හෝ වෙනත්  ජාතියක නැත්නම් කුලයක   පුද්ගලයකුගේ  නායකත්වය යටතේ එක්සත්   වීමට හෝ නුපුළුවන් වූ බැව් ද  ඔව්හු  තර්ක කරති.  නමුත් සත්‍යය කුමක්ද? කම්කරු  පන්තියට මේ සියලු භේද  අබිභවා ගෙන වෘත්තීය සමිති තුළ  එක්සත් වීමට පුළුවන් වූ විශිෂ්ට අන්දම  ඒ මුල් කාලයේ  කම්කරු පන්ති ව්‍යාපාරයේ  ඉතිහාසයෙන් වුව පෙන්නුම් කරන බවයි.



ලබා ගත හැකි හැම සාක්ෂියකින්ම ඔප්පු කැරෙන්නේ විසි ගණන්වලදී කම්කරු පන්ති සහයෝගිතාව හා පන්ති හැඟීම පුදුමාකාර  ලෙස සංවර්ධනය  වූ  අන්දමයි. මේ කාලයේදී, පුද්ගලික අංශයේත් රාජ්‍ය අංශයේත්  සියලු ජාතීන්ට  අයත් නාගරික  කම්කරුවෝ විශාල සංඛ්‍යාවක්  ලංකා කම්කරු සංගමයට   බැඳුනෝය. ආර්ථිකයේ ප්‍රධාන අංශවල, එනම් (දුම්රිය, ට්‍රැම්රථ, මෝටර්කාර් යනාදී) ප්‍රවාහන සේවයේත්, වරායේත් කොළඹ නගරයේ ප්‍රධාන කර්මාන්ත ශාලාවලත් කම්කරුවන් අතර බලගතු  සමිති ව්‍යාපාරයක් වර්ධනය වනු දක්නට තිබිණ. එමෙන්ම, ඉංජිනේරු කම්කරුවන්, මුද්‍රණ  කම්කරුවන් හා හෝටල්  සේවකයන්ද, ආණ්ඩු දෙපාර්තමේන්තුවල, නගර සභාවේ හා පුද්ගලික  අංශයේ ෙදෙනික වැටුප් ලබන කම්කරුවන්ද, යනාදීන් අතරට වෘත්තීය සමිති ව්‍යාපාරය පැතිරෙනු දක්නට තිබිණ.



කම්කරුවන් අතර පන්ති හැඟීම වර්ධනය කිරීමෙන් ඔවුන්ගේ  අයිතිවාසිකම් දිනා  ගැනීම  සඳහා පන්ති සංවිධාන  ගොඩ නැගීම් අවශ්‍යතාව අවබෝධ  කර ගැනීමට ඒ. ඊ. ගුණසිංහ සමත් වූ බවයි. මේ අනුව බලන කල කම්කරු පන්තිය විසින්  ඓතිහාසික ජයග්‍රහණ රැසක් ලබා ගන්නා ලද විසි ගණන්වල ආර්ථික අරගල  සාර්ථක ලෙස මෙහෙය වීමට ඔවුන් සමත් වී ඇත. කම්කරු පන්තියේ  වර්ධනයේ  එක්තරා මට්ටමකදී. එනම් තමන් ධනපති පන්තියේ වුවමනාවනට පටහැනි පන්තියක්ය  යන්න කම්කරුවන් අවබෝධකර ගන්නා අවධියේ දී ඔහු කම්කරු  පන්තියේ අපේක්ෂාවන්   සාර්ථක ලෙස නියෝජනය කළේය.



එහෙත් ඔහු සමත් වූයේ මේ අවධිය  කරා සටන ගෙන යාමට පමණකි. පැවති තත්ත්වය වෙනස් වූ විට කම්කරුවන් විප්ලවීය ශක්‍යතාවක් දැක්වීමට  පටන් ගත් විට හා ධනවාදී ආර්ථික  අර්බුදය  කරණ කොට ගෙන රට දරිද්‍රතාවට මුහුණ පෑ විට – නිවැරදි න්‍යායික  නායකත්වය සැපයීමට ගුණසිංහ අ‍පොහොසත්  විය. තම පීඩනයට  නිධාන වූ මූලික හේතුව  කුමක්ද  යන්නත්, අධිරාජ්‍යවාදයට  හා ධනවාදී  සූරාකෑමට විරුද්ධ අරගලයේදී තමන්ගෙන් ඉටු විය යුතු ද්විත්ව  කාර්යය කුමක්ද යන්නත් කම්කරුවන්ට පෙන්වා දීමට ඔහු  අසමත් විය.  අර්බුදයකට මුහුණ පෑ  ඔහු ඉන් මිදීමට  තැත් කළේ කම්කරුවන්  ජාතිභේදවාදී  මගකට යොමු කිරීම මගිනි.  මේ වැරදි ප්‍රතිපත්තියේ ඵලවිපාක  භූක්ති වීඳීමට  ඔහුට සිදු විය. සූරාකෑමෙන් යුතු ආර්ථීක ක්‍රමයක් බිඳ හෙලීම සඳහා දේශපාලනමය වශයෙන් කම්කරුවන් සංවිධානය කිරීමට ඔහු අසමත් විය. එමෙන්ම ඔවුන්ට   සමාජවාදය සඳහා සටන්  කිරීමේ අවශ්‍යතාව  පෙන්වා දීමට ද ඔහු අසමත් විය.



කම්කරු හා දේශපාලන ව්‍යාපාරවල මුල් කාලයේ සංවර්ධනයක් පසු කාලයේ සිද්ධීන්ගේ රටාව කෙරෙහි   තීරණාත්මක ලෙස බල පා ඇත.  නිදසුනක් වශයෙන්. අට සිය අසූ ගණන්වල ආගමික පුනර්ජීවය, බෞද්ධ අධ්‍යාපන ව්‍යාපාරය  සහ නව සිය විසි ගණන් වල දේශපාලන හා වෘත්තීය සමිති අරගල  යන මේවා ඉන් පසු වකවානුවලදී නොයෙකුත් ප්‍රථිඵල බිහි කළ සිද්ධීන් විය.  දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයනට හුරුපුරුදු වීම, දේශපාලන හා වෘත්තීය   සමිති සටන් ව්‍යවස්ථානුකූල, මාර්ග  ඔස්සේ කර ගෙන යෑම, ලිබරල්වාදී දෘෂ්ටියේ බලපෑම, ආගම හා දේශපාලනය  අතර සමීප සබඳකම්  යන මේවා. 1930  න් පසු කාලයේ ශ්‍රී ලංකාවේ   දේශපාලන ඉතිහාසයේ ලක්ෂණයන්ගෙන් කීපයකි.  එබැවින් වඩා සමකාලීන  ඉතිහාසය ලියැවෙන දිනෙක, ආගම, දේශපාලනය හා කම්කරු ව්‍යාපාරය අතර අන්තර්  සම්බන්ධය  පිළිබඳව කලින් වකවානුවකදී පැවති රටාවන් කිසියම් වැදගත්  කමකින් යුතු වනු ඇත.
Read more
Thursday, January 28, 2016
පොලිසියට කීර්තිමත් ඉතිහාසයක්‌ තිබේ

ඇඹිලිපිටිය ඒ. එස්‌. පී සහ ඕ. අයි. සී ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්න යෑයි ඇඹිලිපිටිය අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර තිබිණි. ඊයේ (28දා) සියලුම පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රධාන පුවත බවට පත්ව තිබුණේද එයයි. ඇඹිලිපිටිය සිදුවීම රටේම අවධානයට ලක්‌ව තිබුණු ආන්දොaලනාත්මක සිදුවීමක්‌ වී තිබීම ඊට හේතුවිය. කොහොමත් පොලිසිය සම්බන්ධයෙන් ලැබෙන ප්‍රවෘත්ති ගැන රටේ ජනතාව මේ දිනවල බොහෝ සෙයින් උනන්දුය.

පොලිසිය ඇදගෙන නොව කුණු වළකටම බැස හිතේ හැටියට නාගන්නා බව පෙනේ. මේ නා ගැනීමේ නොව පොලිසිය තුළම කැත කිරීමේ අසමඡ්ජාතිකම බොහෝ දුර අතීතයක සිට ක්‍රමයෙන් ව්‍යාප්ත වූවකි.

එහෙත් ආසන්නතම මතක ඇති සිදුවීම් අතර මෙහිදී කොරළවැල්ල ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමේ වරදට මරණ දඬුවම හිමිවූ පොලිස්‌ නිලධාරීන් පිරිසගේ සිද්ධිය රටම හෙල්ලූ වග කිව යුතුය. පොලිසියේ උදවිය එම සිදුවීමෙන් හෝ පාඩමක්‌ ඉගෙන ගෙන නැති බව කිව යුතුය. පොලිසියේම සමහර උදවිය මෙවැනි නසරානි අන්දමට මිනිසුන්ට චණ්‌ඩිකම් පෙන්වන්නේ ඇයිදැයි යන්න නිවැරදිව තෝරාබේරා ගැනීමට හැකියාවක්‌ නැත. දුටුතැන පොලිසියට පහර දෙන්නට වුව රටේ ජනතාව පෙළඹී සිටින්නේ පොලිසියම හත්පොලේ ගාගෙන ඇති නිසාය.

ඊයේ තවත් සිදුවීමක්‌ වාර්තා වී තිබිණි. ඒ, නවුත්තුඩුව කටුගහහේන ප්‍රදේශයේ පෙරේදා (26දා) සවස රිය අනතුරක්‌ සිදුකර පලා යමින් සිටි පොලිස්‌ නිලධාරියකු ගම්වාසීන් විසින් අල්ලා මතුගම පොලිසියට බාරදීමය. වයස අවුරුදු 79 ක වයෝවෘද්ධ කාන්තාවක එම පොලිස්‌ නිලධාරියාගේ යතුරු පැදියේ ගැටී ඇති අතර, ඔහු එය නොසලකා හරිමින් පලා යද්දී ගම්වාසීන් විසින් එම කොස්‌තාපල්වරයා ලුහුබැඳ අල්ලාගෙන තිබිණි. එම පොලිස්‌ නිලධාරියා ඒ අවස්‌ථාවේ හිඳ ඇත්තේ බීමතිනි. මේ නීතිය හා සාමය රකින, ආසන්නතම සිදුවීම්වලින් හෝ පාඩම් ඉගෙනගන්නේ නැති පොලිසියේ රාලහාමිලාගේ තරමය.

දැන් දැන් ලංකාවේ පොලිසිය හින්දි චිත්‍රපටවල පොලිස්‌ කතන්දර තරමටම නරක තැනකට පැමිණ තිබේ. හින්දි චිත්‍රපටවල වීරයා සමඟ සටනට එන "දුෂ්ටයාට" සපෝට්‌ කරන්නේ පොලිසියයි. ලංකාවේ පොලිසිය දුෂ්ටයාට සපෝට්‌ කරන අතරේම දුෂ්ටයාට අඳිති. එහෙත් දුෂ්ටයාට අඳින පොලිසිය සිතා සිටින්නේ තමන් වීරයන් බවය. මේ කාඩ්බෝඩ් වීරයන්ට රටේ ජනතාව පෙනෙන්නේ දුෂ්ටයන් හැටියටය. පසුගිය ආණ්‌ඩු සමයේ මිලිටරි රාජ්‍යයකට බියවී සිටි බොහෝ දෙනෙක්‌ මේ පොලිස්‌ රාජ්‍ය ගැන කිසිවක්‌ නොකියති. කාකි නිල ඇඳුම යනු රැස්‌විහිදුවන ගෞරව සම්ප්‍රයුක්‌ත එකක්‌ බවට පත්ව තිබූ යුගය අහෝසි කරන්නට පෙරමුණ ගෙන සිටින්නේ කාකි නිල ඇඳුම අඳින පිරිසක්‌ම වීම කනගාටුවට කරුණකි. පොලිසියේ සමහර නිලදරුවන් එක හොඳ වැඩක්‌ කර පොලිසිය පොලිෂ් කරන විට කාකි ඇඳුම අඳින අශිෂ්ටයන් පිරිසක්‌ එක්‌ව අශූචි බාල්දියක්‌ ගෙන ඒ මත තවරා හොඳ නම කැත කරති. ඒ නිසා නමගිය අපරාධකරුවන්, කොල්ලකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ස්‌ත්‍රී දූෂකයන් තොග පිටින් අත්අඩංගුවට ගත්තත් ඇඹිලිපිටිය වැනි සිද්ධි ඒ සියල්ලට වඩා නරක අන්දමින් ඉස්‌මතු වී පෙනේ. හොඳම උදාහරණය කොටදෙනියාවේ දැරියගේ ඝාතනයයි. අපරාධකරුවා අත්අඩංගුවට ගැනීමට පෙර සැකකරුවන් කිහිපදෙනකුම අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඉන් දෙදෙනකුට "බඩකට පුරා" සලකා තිබිණි. ඒ දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා නිර්ණායක ලෙස සලකා තිබුණේ අසල්වැසි නිවෙස්‌වල පදිංචිව සිටීම, ලැප්ටොප් පරිගණක භාවිත කිරීම, අවමංගල්‍යයට සහභාගි නොවීම වැනි කාරණාය.

ඊයේ වාර්තා වී තිබෙන ආකාරයට කොටදෙණියාවේ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා මාරුකර යවා තිබේ. පොලිසියේ සමහරු රාජකාරි කරන්නේ එහෙමය.

පොලිසිය යනු ලොවම පිළිගත් සංකල්පයකි. පුරාතනයේ ශ්‍රී ලංකාවේ "නගර ගුත්තික" යනුවෙන් නිලයක්‌ තිබී ඇත. ඊට අයත්ව තිබී ඇත්තේද පොලිස්‌ රාජකාරියට අයත් ඇතැම් වපසරියන්ය. ලන්දේසි යුගයේ එනම් 1602 සිට 1796 දක්‌වා කාලයේ මෙරට පොලිස්‌ ක්‍රමවේදයක්‌ තිබී නැත. 1796 - 1948 කාලයේ ඉංග්‍රීසි යුගයේදී ක්‍රමවත්ව පොලිස්‌ සේවය ස්‌ථාපිත කර ඇත. 1865 අංක 16 දරන ආඥපනත මගින් පොලිස්‌ දෙපාර්තමේන්තුව 1866 දී ආරම්භ කර තිබේ. පොලිස්‌ ඉතිහාසය එබඳුය. ඒ කාලය තුළ කීර්තිමත් පොලිස්‌ ඉතිහාසයක්‌ සනිටුහන් කර ඇති බවද අපි අමතක නොකරමු. එහෙත් අප විශ්වාස කරන්නේ මේ වනවිට පොලිසිය, ඒ ඉතිහාසය ඉක්‌මවමින් ශිෂ්ටාචාරය නොදියුණු යුගයේ පැවැති වනචාරී තත්ත්වයක්‌ දක්‌වා දිවගොස්‌ ඇති බවය. දැන් අපට නැවතත් ඒ තත්ත්වයෙන් මිදුණු පොලිසිය සොයා ගැනීමට වුවමනා වී තිබේ.

divaina -
Read more
Wednesday, January 27, 2016
රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇඳරිය දෑස වසනවා

-රත්තනදෙණියේ මේධානන්ද හිමි -

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා
අවන්හලේ දෙදෙනෙකි.කෙනෙකු මැදි වියේය .අනෙකා මැදිවිය ඉක්මවූ වැඩිමල් කෙනෙකි. සුපුරුදු පරිදි අදුරත් සමග වැඩිමලා අවන් හලට එන්නේ ගත වෙහෙස නිවා ගැනීමටයි. ඔහුගේ දෑස මීවිත අදිරියෙන් වැසෙත්ම අවන්හලට අනෙක් රුව ඇදෙයි. ඔහු මැදිවියේ තරුණයකි. ඔහු එන්නේද හද පොදී බැදී දුක දියකර පාකර ගැනීමටය. සුරාවෙන් මත් වූ කල්හි මේ දෙනෙනාගේම ලෝකය එක සමානය.මීට පෙර එකිනෙකා නාදුනන්නේ වුවද මේ දෙදෙනා කතා බහ කරයි. එකිනෙකා හදුනා ගනී. මැදිවියේ තරුණයාගෙන් ඔහු එක පැනයක් විමසයි.
සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
කිම තොල මීවිත පොඟවන්නේ
සුන්දර යොවුන් විය මුල සිටම ඔබ මේ ආකාරයෙන් මත් පැනට අම්බැහි වීමට හේතුව කුමක්ද ?
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නේ
ප්‍රේමය ගැන බලාපොරොත්තු කඩවී නුරා විරහවේ ගිනි නිවා ගැනීමට මත්පැන් තොල ගාන බව කියයි. බොහෝ ප්‍රශ්න වලට මත්පැනින් විසදුම් සොයන සමාජයට මෙය අමුත්තක් නොවේ. නමුත් මදු විතෙන් සිදුවන්නේ තවත් විරහ ගින්න දළුලා වැඩි වීමයි.
නැගුණු නුරා ගිනි මී පොද වැටිලා
හතර අතින් දළු ලා එනවා
අවන් හලේ මී විත තනි කරලා
වරෙන් මලේ පියවර නගලා
එබැවින් අවන්හලෙන් මී විත තනි කර ඔහුට වරෙන් මලේ යයි සහෝදරාත්මක බැදීමකින් ඔහු ඉන් මුදවාලීමට කටයුතු කරයි. මේ සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳම මත් පැන් තොලගා නාස්ති කරගත යුතු නැති බව වැඩිහිටියා ගේ උපදෙසයි. මේ නම් පාප මිත්‍රයකු නොව හොද කල්‍යාණ මිතුදමකි. මේ බැදීම සමලිංගික ඇසුරක් යයි හිතන මනෝ විකෘති වූ සමහරුද සිටිති. ඔවුන් කරන්නේ ගීතයේ මේ අපූරත්වය කෙළසා විකෘති අර්ථ ගැන්වීමකි.
මේ ගීය සංගීතවත් කොට ගයන වැඩිහිටි මිත්‍රයා කපුගේය. බාලයා දිවුල්ගනේය. ගී පද මහින්ද දිසානයකගේය.
-රත්තනදෙණියේ මේධානන්ද හිමි -
Read more
Tuesday, January 26, 2016
චින්තන ධර්මදාසව මරාගෙන කෑම හා දේශානුරාගය..

Samanola Wijayarathna
අප කවුරුත් දන්නා දුටුගැමුණු රජු පිළිබඳව චින්තන ධර්මදාස Chinthana Dharmadasa විසින් කරන ලද විග්‍රහය දේශප්‍රේමීන් කෝපාවිෂ්ඨ කොට චිනතකගේ ජාතකයටම පරුෂ වචනයෙන් ආමන්ත්‍රණය කොට චින්තනව මරංකන තැනට පැමිණ තිබේ. ඔහුගේ ඔය ප්‍රකාශය මා ද නැරඹුව අතර ඔහුව මරං කනවාට වඩා ඒ පිළිබඳ විචාර බුද්ධියෙන් බැලිය යුතු බව හැඟිණ.
අතිශය උදාර සිතුවිලි ජනනය කරන මුලසිට අගටම කරුණාව මෛත්‍රි වෑහෙන සම්බුද්ධ දර්ශනය සුරකිනුවස් ඇඳිවත ද කරට ගෙන මරාගෙන මැරෙන සටනට බසින සෙයියාවේ ඇති යතාර්ථය යළිත් ඔහුගේ ප්‍රකාශයෙන් ඉස්මතු කෙරිණ.
දුෂ්ඨ ගාමිණී හෙවත් දුටුගැමුණ චරිතය සමාජය තුළත් ජනතාව අතරත් ඇතිකර ඇති චිත්‍රයට වඩා ඒ තුළ වූ නොපෙනුනු අඳුරු පැති ගැන චින්තන අමුවෙන්ම පහදයි. දුෂ්ඨ පුද්ගලයකු ලෙස නම් දරා සිටි දුටු ගැමුණු, යහපත් පාලකයකු වූ එළාරව මරා දමා රජකම ගත් පසු යුධයේ දී තමන් අතින් මියගිය මිනිසුන්ගේ රැධිරයෙන් දැඩි ආත්මීය කම්පනයකට ගොදුරුවන ඔහු, ඔහුගේ පාපය ගොඩ ගැසුවේ රුවන් වැලි සෑය ලෙස බව කියයි. එසේම ඔහු මතු කළ වැදගත්ම කාරණාව වන්නේ බුදු දහම නොව කවර කාරණය උදෙසා හෝ මිනී මැරීම බුදදහමට අනුව බරපතල සාංසාරිකව විදවන පාපයක්ම වන බව අවසානයේ දී දුටු ගැමුණු විසින් අවබෝධ කොට ගත්ත ද දැන් ඉන්නා එවුන් ඒ ගැන අබමල් රේණුවකින් තරම් හෝ අවබෝධ කර ගෙන නොමැති බවයි.
මෙහිදී දේශවාතසල්‍යෙයන් ඔද්දල් වූ පිරිස් රුවන්වැලි සෑයටත් දුටුගැමුණු උදාර චරිතයටත් පරිභව කොට විනාස කලා යැයි කුපිත වී සිටිති. එහෙත් බුදු දහමට අනුව ගැඹුරින් කල්පනා කළ විට ඔහුගේ ප්‍රකාශයෙන් සම්බුද්ධ ශාසනයට හෝ රුවන් වැලි සෑයට හෝ දුටු ගැමුණුට කිසිදු හානියක් වී නැත. හානිය සිදු වී ඇත්තේ සමහර දේශානුරාගීන්ගේ සිත්වල වැඩ විසූ බුද්ධාගම, රුවන්වැලි සෑය සහ දුටුගැමුණුටය. මේ දෙක දෙකකි. චින්තනගේ ප්‍රකාශයෙන් අපේ හිත්වල විරාජමාන ප්‍රතිරූප දෙදරුව ද ඉන් ඔබ්බෙහි වූ යතාර්ථ බුදු දහම හෝ රන්වැලි සෑය දුටුවේ නැත. කට්ටියම නැට්ට කරට ගෙන චින්තන සමග ලේ කෝප වී සටනට බැස තිබේ. එද මුළාවකි. පන්සිල් පදයක්වත් නොරකින උපතින් සිංහල බෞද්ධයෝ බුද්ධාගම හෝ ජාතිය රැකීම පිණිස ජිහාඩ් බෞද්ධයින් වී ඇති සෙයකි.
සම්බුද්ධ දේශනාවට අනුව මිනිසුන් එසේ හැසිරෙන තාක් උතුම් සදහම් වළාකුලින් වැසුනු සඳ මඬල මෙන් වැසී යනු ඇත. එවැනි අඳුරු වලා පට බිඳ හෙළීමට ඉඳහිට හෝ මෙවැනි අකුණක් ගැසීම වැදගත් බව නිකමට මෙන් සිතේ.
Samanola Wijayarathna -

Read more
Monday, January 25, 2016
'යුගයේ ගායිකාව සහ යුගයේ එළදෙන'

සුදේශ් කරුණාතිලක
(පසුගිය සතියේ සිරස සුපර් ස්ටාර් වැඩසටහනේ ගීයක් ගැයූ යුවතියක 'යුගයේ ගායිකාව ලෙස' හඳුන්වා දුන්නේ යුගයේ එළදෙනකි. මේ ඒ ගැන කෙටි සහ සරල විරෝධයකි)
ජාතියේ යශෝරාවය වූ නන්දා මාලනියගේ ගීතයක් උමාරා, උමාරියා ස්ටයිල් එකට ගයලා, පොඩි චේගුවෙරා ඇක්සන්ට් එකක් දාලා, ගීතයේ වචන ටික ලංසි ප්‍රනවුන්සේෂන් එකක දාලා පොඩ්ඩක් තුප්පහි කරලා, ඇස් පොඩි කරලා කට උල් කරලා කිව්ව ගමන් මේ ගායිකාව යුගයේ ගායකාව කරපු යුගයේ එළදෙනකට මුලින්ම මාගේ දැඩි විරෝධය පළ කරමි.
මෙවැනි ප්‍රසිද්ධ වේදිකාවක ආධුනික ශිල්පියකු විසින් ගයන ගීතයක හොඳ නරක කියා දෙන්නට සංගීතය විෂයෙහි දැනුමක් හැදැරීමක් ඇති කෙනෙක් විනිශ්චය මණ්ඩලයට පත් නොකොට 'ලස්සනට වචන ගැලපීම පමණක්' සුදුසු කමක් කොට ගත් නිවේදිකාවකට භාර දීම පිළිබඳව සිරසටද විරෝධය පළ කරමි.
අනික ජනතාවගේ SMS මනාපයෙන් සුපිරි තරු තෝරන තරඟයක යුගයේ ගායිකාව තරඟ වදිනකොට අනෙක් තරඟ කරුවන්ට යන කළ දසාව කුමක්ද? මේ නොකියා කියන්නේ අනිත් එවුන් පැත්තකට දාලා යුගයේ ගායිකවට SMS යවපල්ලා කියලා නොවේද
භාෂි මධුභාෂිණී තරඟකාරිය, යුවතිය ගැන විවාදයක් නෑ. ඇය දක්ෂයි. ස්ටාර් පෙරහැර වේදිකාවේ සිට ඇය ජනතාවට අලුත් ට්‍රෙන්ඩ් එකක් හඳුන්වා දෙනවා විරෝධාකල්ප ගී සහ ගීය ගැයුමෙන් අනතුරුව ඇය ප්‍රකාශ කරන කළින් සකසා ගත් හිතට දැනෙන වචන කීපයක් හරහා. අනිත් තරඟ කරුවන් ගීතය ගයනවා හැරෙන්න එහෙම වචන මාකට් කරන්න උත්සාහයක් ගන්නවා පෙනෙන්නට නැහැ.
නන්දා මාලනිලා, කපුගේලා, ජයතික බණ්ඩාරලා මීට අවුරුදු විස්සකට කළින් දහසකුත් එකක් තර්ජන මැද්දේමේ විරෝධාකල්ප ගී ගයද්දී රෝම කූප කෙළින් කරන් අහං හිටපු අපිට මේවා අරුමයක් නොවුනාට අද පරපුරට මේක අලුත් වැඩක්. ඔවුන් ඉතා විමසිළිමත්ව මේ දිහා බලං ඉන්නවා. ඒ හින්දාම මේ ගායිකාවන් උස්සා තියන්න භාවිතා කරන වචන ගැන විනිශ්චය මණ්ඩල වල සාමාජිකයින් හැටියට ඉන්න අය සහ මෙවැනි විනිශ්චය මණ්ඩල වලට එන මිනිස්සු වග කියන්නට ඕනේ.
නන්දා මාලිනියගේ ගීතය පොඩි තුප්පහි ස්ට්යිල් එකක් දාල කියපු මේ විසේකාර කෙල්ල යුගයේ ගායිකාව කරපු 'යුගයේ එළදෙන' එතකොට නන්දා මාලනිය හඳුන්වන්නේ යුගයේ කවුරු කියලද...?
ඇය මීළඟ වැඩසටහනේදී මේ ප්‍රශ්ණෙට උත්තර දිය යුතුයි...
මේ වගත් එසේම,
සුදේශ් කරුණාතිලක ~ ෆේස්බුක් -අඩවිය -
-----------------------------------------------------------
පසුව ලියමි: පහත ලින්ක් ඔස්සේ ගී දෙකම අහන්න විඳ ගන්න.
ඔබටත් ජාතියේ ගායිකාව වීමට අවශ්‍ය නම් තුප්පහි ස්ට්යිල් එකට සිංදු කියන්න පටන් ගන්න.

-----------------------------------------------------------
නන්දා මාලනිය විසින් මීට වසර ගණනාවකට පෙර ගැයූ 'හන්තාන අඩවියේ'




---------------------------------------------------------------
භාෂි මධුභාෂිණි ගැයූ නන්දා මාලනියගේ 'හන්තාන අඩවියේ'

Read more
Friday, January 22, 2016
එපා කඩන්න පක්ෂ  --  උපුල් ජෝසප් ප්‍රනාන්දු

"පක්ෂ කඩල තුන්වැනි බලවේග හදපු ලංකාවේ කිසිම නායකයෙක්ට හරි ගියේ නැහැ..."
මාධ්‍යවේදියෙක්ට මෙහෙම කීවේ ජේ‍යාතිෂවේදියෙක් එහෙම නොවේ. පරණ දේශපාලනඥයෙකි.


"ඇයි ඒ...?"
මාධ්‍යවේදියා ආපිට ඇසුවේය.
"ඒක මටත් හිතාගන්න බැහැ..."
ඔහු කීවේය. ඔහු කී කතාව ඇත්තය. ලංකාවේ පළමු වරට පක්ෂයක් කඩල තුන්වැනි බලවේගයක් හැදුවේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකය. ඔහු ශ්‍රීල.නි.ප.ය හැදුවේ එ.ජා.ප.ය කඩාගෙන ගිහින්ය. ඔහු ශ්‍රීල.නි.ප.ය හදනකොට මෙරට ප්‍රධාන පක්ෂ දෙකක් තිබිණි. එකක් ආණ්ඩු බලය හිමි එ.ජා.ප.යය. අනෙක විපක්ෂයේ සමසමාජ පක්ෂයය. බණ්ඩාරනායක ශ්‍රීල.නි.ප.ය හැදුවේ තුන්වැනි බලවේගයක් ලෙසය. බණ්ඩාරනායක ශ්‍රීල.නි.ප.යෙන් ආණ්ඩුවක්ද පිහිටෙව්වේය. හැබැයි නොසිතූ වෙලාවක නොසිතූ විදියට ඝාතනයට ලක් විය.


ඉන්පසු ශ්‍රීල.නි.ප.ය කඩාගෙන ගිහින් බණ්ඩාරනායක වගේම ප්‍රබල පක්ෂයක් හැදුවේ විජය කුමාරණතුංගය. ඔහු ශ්‍රීල.නි.ප.යේ දක්ෂ රැඩිකල් නායකයන් සහ ප්‍රබලයන් එක්කරගෙන මහජන පක්ෂය හදල ල.ස.ස.ප.ය, කො.ප.ය ඇතුළු වමේ පක්ෂ එකතු කරගෙන එක්සත් සමාජවාදී පෙරමුණ හැදුවේය. විජය ජේ.ආර්.ගේ ආණ්ඩු කාලයේ මින්නේරිය අතුරු මැතිවරණයට තරග කොට දෙවැනි තැන ගෙන ශ්‍රීල.නි.ප.ය තුන්වැනි තැනට දැම්මේය. ඔහු 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටියදී ඝාතනයට ලක් විය.


යළිත් බණ්ඩාරනායක සහ විජය වගේ පක්ෂයක් කඩාගෙන ගොස් තුන්වැනි බලවේගයක් හැදුවේ ලලිත් සහ ගාමිණීය. ඒ එ.ජා.ප.ය කඩාගෙන ගොස්ය. එ.ජා.ප.ය කඩාගෙන ගොස් ලලිත් සහ ගාමිණී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ හැදූහ. අලියා වෙනුවට රාජාලියා තෝරා ගත්හ. ඔවුහු එ.ජා.ප.යේ සිටි තරුණ රැඩිකල් කොටස් ප්‍රේමදාසගේ නායකත්වයට එරෙහිව ප්‍ර.එ.ජා.පෙ. වටා එකතු කළහ. 1993 පළාත් සභා මැතිවරණයේදී ඔවුහු ඡන්ද ලක්ෂ 10ක් පමණ කැඩූහ. හැබැයි ඊට පෙර ලලිත් ඝාතනය විය. පසුව ගාමිණී ඝාතනය විය.


ෂන්මුගදාසන්ගේ කොමියුනිස්ට් පක්ෂයෙන් කැඩිලා ගොස් තුන්වැනි බලවේගයක් හදපු රෝහණ විජේවීරත් ඝාතනය විය.
"පක්ෂ කඩල තුන්වැනි බලවේග හදන නායකයන්ට මොකක්ද මේ පල දෙන අපලය..."


එය අබිරහසකි. ලංකාවේ පක්ෂ කඩල තුන්වැනි බලවේග හදපු නායකයන් ජනප්‍රිය නායකයන්ය. බණ්ඩාරනායක එ.ජා.ප.ය කඩාගෙන යන විට ඔහු ඒ ආණ්ඩුවේ ජනප්‍රිය නායකයෙකි. විජය ශ්‍රීල.නි.ප.ය කඩාගෙන යන විට එවකට ලංකාවේ ජනප්‍රියතම නායකයෙකි. විජයට ශ්‍රීල.නි.ප.ය විනාශ කොට මහජන පක්ෂය ප්‍රධාන විපක්ෂය කරගත හැකි වනු ඇතැයි හැමෝම සිතූහ. හෙක්ටර් කොබ්බෑකඩුව, ටී.බී. ඉලංගරත්න, පී.ඩබ්ලිව්. කුලරත්න වැනි ප්‍රබල ශ්‍රීල.නි.ප.යේ ජේ‍යෂ්ඨ නායකයන්, පීටර් කෙනමන්, බර්නාඩ් සොයිසා වැනි වාමාංශික පක්ෂවල පතාක යෝධයන් විජය වටා එක්වූයේ විජය ජේ.ආර්.ට සටනක් දිය හැකි විකල්ප නායකයා කියා හිතාගෙනය. විජය මින්නේරිය අතුරු මැතිවරණයට තරග කරන්න ගියේ ජේ.ආර්.වත් මැතිනියත් දෙදෙනාගේම නායකත්වය පරාජය කොට රටේ ජනතාව ඉල්ලන නායකයා වෙන්නටය. එකල විජය යන යන තැන මහජනයා එක්රොක් වූයේ මී මැසි පොදියක් මෙනි. ජේ.ආර්. ද එයට බය විය. ඔහු විජයව නැක්සලයිට් චෝදනා එල්ල කොට සිරගත කළේ එහෙයිනි. එහෙත් විජය ගැන විජය වටේ එකතු වූවන්ට අධි තක්සේරුවක් තිබූ බව විජය සමඟ මහජන පක්ෂයට ගිය ශ්‍රීල.නි.ප.යේ නියෝජ්‍ය සභාපති ටී.බී. ඉලංගරත්න සිය 'යුගයක ගමන' ග්‍රන්ථයේ සඳහන් කොට ඇත. එය හෙළිවූයේ මින්නේරිය අතුරු මැතිවරණයෙන් බව ඔහු ලියා ඇත. පහත දැක්වෙන්නේ එම කොටසය.


'ශ්‍රීල.නි.ප.යේ නව නායකත්වයේ අගතිගාමීත්වය කෙරෙහි කලකිරුණු ප්‍රගතිශීලී මධ්‍යම කාරක සභිකයන් ඇතුළු බොහොමයක් හා තරුණ නවකයෝ රාශියක් ප්‍රගතිශීලී දේශපාලන ගමන යථා පරිදි යළිත් යෑම සඳහා නව පක්ෂයක් ඇති කිරීමට පසුබිම් හා සංවිධාන සකස් කර එම ව්‍යාපාරයට මඟ පෙන්වීමට මටද ඇවිටිලි කළහ.
උදේ‍යාගිමත් නවකයන්ට ඔවුන් ගන්නා ඒ පියවරේ බැරෑරුම්කම පැහැදිලි කර දුනිමි. ඒ සියල්ලටම ඔවුන් සූදානම් බව කීවෙන් මම ආරාධනය පිළිගතිමි.
මගේ සමකාලීන සගයෝ බොහෝ දෙනෙක් මා අධෛර්ය කළත් මගේ සන්ධ්‍යා සමයේදී ටික කලක්වත් යොවුන් වෑයමට යෙදවීමට තීරණය කළෙමි.
ඒ අනුව ශ්‍රී ලංකා මහජන පක්ෂය නමින් නව පක්ෂයක් ජනවාරි 22දා පෙරවරුවේ නිල වශයෙන් කොළඹ නව නගර ශාලාවේදීද පස්වරුවේ උත්සවාකාරයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා භූමියේදී ද මෙවැනි අවස්ථාවක් පෙර නුදුටු විරූ තරම් මහ ජනතාවක් මධ්‍යයේ පිහිටුවන ලදී.
මම ආරම්භක සභාපති වශයෙන්ද පත් කරනු ලදිමි. මා කළ ආරම්භක දේශනයට අඩංගු වූ අදහස් කීපයක් උපුටන වශයෙන් උප ග්‍රන්ථයට ඇතුළත් කර ඇත.
ප්‍රතිපත්ති පදනමේ ප්‍රථම වගන්තිය මෙහි සඳහන් කිරීම ප්‍රයෝජනය.


"ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රගතිශීලී මහජන රජය පිහිටුවන ලද අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ නායකත්වයෙන් ආරම්භ වූ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී මහජන ගමන ආත්මාර්ථකාමීත්වයෙන් හා ඒකාධිපති පුද්ගලවාදයෙන් නිදහස් කර, ප්‍රගතිගාමීන්ගෙන් මෙන්ම අගතිගාමීන්ගෙන්ද ආරක්ෂා කර, යථානුරූපව ඉදිරියට ගෙන යමින් ජාතික ස්වාධීනත්වය තුළින් ශ්‍රී ලංකාවේ ඒකීයභාවයද, ජාතික සමඟියද ඇතිකර හැම කෙනකුටම තෘප්තිමත් ජන ජීවිතයක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අරමුණ වන්නේය"


ශ්‍රී ලංකා මහජන පක්ෂයේ වගකීම වශයෙන් පිළිගන්නා ලද්දේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකත්වය ඇතුළු ප්‍රගතිගාමීත්වයට එරෙහිව 1951 ප්‍රකෘති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන් ප්‍රගතිශීලී දේශපාලන පක්ෂවලට හා බලවේගයන්ට පොදු වේදිකාවක් ඉදිකර සමානාත්මතා සමාජය ගොඩනැංවීමේ මාර්ගය ක්‍රමවත් කිරීමය.


නව පක්ෂයේ ඒ අභිලාෂයන් කෙරෙහි විශ්වාසය තබා ඉතා සතුටුදායක ප්‍රතිචාරයක් ප්‍රගතිශීලී පක්ෂවලින් ආරම්භයේ සිටම ලැබීම මහත් ධෛර්යයක් විය.
වාමාංශික පක්ෂ සමඟ නැවතත් හාදකම් ඇති කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උපක්‍රමශීලීව වෙර වඩද්දී එය ප්‍රතික්ෂේප කර ප්‍රගතිශීලී පක්ෂ එසේ මහජන පක්ෂය සමඟ එක්වී ඒ සාමූහික ප්‍රගතිශීලී ඉදිරි ගමන කෙරෙහි ජනතා විශ්වාසය වර්ධනය වීමටද මහත් ආධාරයක් විය.
ආරම්භයේ සිටම ශ්‍රී ලංකා මහජන පක්ෂයට දක්වන ලද මහා ජනතා ප්‍රසාදය විශේෂයෙන්ම නවකයන්ගේ අභිනන්දනයට හේතු විය. එය පුද්ගල අභිවාදන ලෙස සිතා ගන්නටද ඇතැමුන්ට සාධක සේ පෙනිණි. මේ ආදී හේතූන් නිසා ඇතැම් යෞවනයෝ තම දේශපාලන ශක්තිය සම්බන්ධ අධි තක්සේරුවක් ඇති කරගත්හ.
"සටන කොතැනද එතැන ශ්‍රී ල.ම. පක්ෂය සටන් කළ යුතුය" යන අදහස ප්‍රකාශ කරන්නට තරම් සමහරු වේගවත්ද වූහ. එම අදහසට එකඟ නොවූවන් දේශපාලන අලසයන් ලෙසද බියසුල්ලන් ලෙසද සැලකූහ.


මේ අභියෝගාත්මක වේගය රුවාගෙන අතුරු මැතිවරණ සියල්ලටම තරග කළ යුතුය යන සිතිවිල්ලද ඇති කරගත්හ. මෙම අතිධාවන ආකල්පයට හිතවතුන් ලෙස පෙනී සිටි පාක්ෂික නොවන ඇතැමුන්ගේ දිරි ගැන්වීමද යහමින් ලැබිණි. එයද ඔවුහු පදනමක් කර ගත්හ.
රජය නියම කළ පළමු අතුරු මැතිවරණ දෙකටම තරග කිරීමට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට කළ බලකිරීම නොඉවසා සිටින්නට මධ්‍යම කාරක සභාවට නුපුළුවන් විය. දේශපාලන පක්ෂයකට අවශ්‍ය විනය සාමූහික වගකීම හා පන්නරය ආදිය අතින් ශ්‍රීල.ම.ප. තවමත් ළදරු වියේ සිටි නිසාය.
අනතුරුව එවක සිටි ඉතාමත්ම ජනප්‍රිය පාක්ෂිකයන් වශයෙන් ආකර්ෂණ ශක්තියක් තිබූ විජය කුමාරණතුංග ප්‍රධාන ලේකම්තුමා මින්නේරියටත් මහනුවර නාථ දේවාලයේ බස්නායක තනතුර දැරූ මහින්ද සේනානායක කුණ්ඩසාලයටත් ඉදිරිපත් වූහ.


ඒ ඡන්ද ව්‍යාපාර දෙකේම ශ්‍රී ලංකා මහජන පක්ෂ වේදිකාවේ ප්‍රමුඛත්වය දෙන ලද්දේද එතරම් දේශපාලන ප්‍රසිද්ධ යටගියාවක් නොමැති එහෙත් මුඛරි වේගවත් තරුණ කථිකයන්ටය. ඒ අතුරු මැතිවරණ සටන් දෙකම යෞවන ව්‍යායාම බවටද පරිවර්තනය කර ගත්හ.
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකත්වය විසින් ජනමත විචාරණ සමයේදී 'නැක්සලයිට්' යැයි හංවඩු ගසනු ලැබූ සමහර අපේක්ෂකයන් වශයෙන් මෑතදී පැවැත්වූ අතුරු මැතිවරණ පහළොවේදී ඉදිරිපත් වූ විට 'නීතිමුක්ත' ජනාධිපතිතුමාගේ ප්‍රකාශ හා එ.ජා.ප. තැරැව්කාරයන්ගේ උපක්‍රම මාර්ගයෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂය දෙවැනි තැනටත් ජාති, ආගම් භේද අවුස්සමින් පළමුවැනි වරට ඡන්ද සටන මෙහෙයවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තෙවැනි තැනටත් හෙළමින් මින්නේරිය ආසනය විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් එ.ජා.ප.ය ජය ගත්තේය.


කුණ්ඩසාලයේදී විශාල අඩු ඡන්ද සංඛ්‍යාවකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙවැනි තැන ලබාගත් අතර ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ඇපයත් රාජසන්තක විය.
විශේෂයෙන්ම මින්නේරි සටන ශ්‍රීල.ම.ප.යේ බලමහිමය දක්වන 'විජිතපුර සටන' ලෙස ජනතාව අතර ප්‍රසිද්ධව තිබුණු හෙයින් පක්ෂයේ ජනප්‍රිය බලවතා වශයෙන් වර්ධනය කරනු ලැබූ විජය කුමාරණතුංගගේ එම පරාජය නිසා නව පක්ෂයේ ශීඝ්‍ර පිරිහීම ආරම්භ වූ අතර ප්‍රගතිශීලී දේශපාලන සන්ධානයටද සෑහෙන පසුබැස්මකට මුහුණපාන්නට සිදු විය.


මේ පරාජයන් නිසා දේශපාලන නවකයන්ට එක්තරා පන්නරයක් ලැබුණු අතර නව පක්ෂයේ ජනතා තක්සේරුව සම්බන්ධයෙන් ද පුද්ගල අභිවාදනය දේශපාලන භූමියේ එතරම් බලපෑමක් නොවන බවටද මනා අවබෝධයක් ඇති විය.
එහෙත් දේශපාලන පන්නර දුර්ග මාර්ගයේ වැටකඩුලු බොහෝ නිසා සෑහෙන කාලයක්ද අවශ්‍ය වන්නේය.
අනපේක්ෂිත බාධාවන් හා අපහසුකම් කීපයක් දෙවැනි වසරේ මැද හරිය තෙක්ම මඟහරවා ගත නොහැකි වූ නිසා මගේ නිලයෙන් නිහඬව අයින් වී අවස්ථාවෝචිත අයකුට නායකත්වය භාරගැනීමට ඉඩ සලසා දීමට තැත් කළෙමි. එයට දේශපාලන මණ්ඩලයේ බොහෝ දෙනෙක් අසතුටු වූ නිසා තෙවැනි වසරේ සම්මේලනයෙන් පසු එසේ කිරීමට ප්‍රතිඥාවක් දී තෙවැනි වසරටද ඒකච්ඡන්දයෙන් මා සභාපතිත්වයට තේරීමද භාර ගතිමි.
මාස කීපයක් ඒ අනුව සභාපතිත්වය දරද්දී ඉහත සඳහන් බාධාවන් හා අපහසුකම්වලට අමතරව මගේ මඟ පෙන්වීම හා නායකත්වය එතරම් අවශ්‍ය නොමැති බව මට හැඟෙන අන්දමේ පැහැදිලි තත්ත්වයක් උදා විය.


ඒ නිසා මා දුන් ප්‍රතිඥාව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඒ බව දේශපාලන මණ්ඩලයේ ඇතැමුන්ට ඇඟෙව්වෙමි. එසේ නොකරන ලෙස මට නැවතත් ඇවිටිලි කළහ.
එහෙත් වගකිව යුතු පළල් දේශපාලන පක්ෂයකට අත්‍යවශ්‍ය විනය, සාමූහික වගකීම, සාමාජිකයන් අතර සමානාත්මතාව ආදී ගුණාංග යෞවන පරම්පරාවට තහවුරු කරගැනීමට මගේ ඉවත්වීමෙන් වඩාත් උචිත වාතාවරණයක් සැලසේය යන අපේක්ෂාවද පදනම් කරගෙන ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් මම විශ්‍රාම ගතිමි."
අද මහින්දගේ නායකත්වයෙන් වෙනම පක්ෂයක් පිහිටුවිය යුතුය යන මතය දරන හැමෝටම හැදිලා තියෙන ලෙඩේ මේ ටී.බී. ඉලංගරත්න කියන පුද්ගලාභිවාදන ලෙඩේය.


"මහින්ද නැතිව බැහැ... මහින්ද නැත්නම් අපි ඉල්ලන්නේ නැහැ... මහින්ද තමයි ජනප්‍රිය... මහින්ද වටෙයි සෙනඟ ඉන්නේ..."
එදා විජය ගැන ශ්‍රීල.නි.ප. පාක්ෂිකයන් සහ වාමාංශික පක්ෂ කියපු කතාවම අද මහින්ද සම්බන්ධයෙන් ශ්‍රීල.නි.ප.යේ මහින්දවාදීන් සහ විමල්ලාගේ, දිනේෂ්ලාගේ, වාසුදේවලාගේ පක්ෂ කියති. එදා. ල.ස.ස.ප. සහ කො.ප.ය, ශ්‍රීල.නි.ප. ජේ‍යෂ්ඨයන් සහ පාක්ෂිකයන් ඇවිස්සුවේත් මෙලෙසය. මැතිනි සහ අනුර එ.ජා.ප.යේ කොන්ත්‍රාත්තුවක් කරන බව කියමින් ඊළඟ ආණ්ඩුව පිහිටුවන්න පුළුවන් විජයට යැයි කීහ. ඔවුන් එසේ කීවේ මැතිනිය සහ අනුර තමන්ට තැනක් නොදෙන බව දැනගෙනය. 1977 මහ මැතිවරණයෙන් කුජීත ලෙස පරාජය වූ කො.ප.ය සහ ල.ස.ස.ප.ය තේරුම් ගත් සත්‍ය වූයේ මින් පසු මැතිනිය ඔවුන්ගේ නියම ශක්තිය දන්නා නිසා ඔවුන් ඉල්ලන ආසන තනතුරු දී සන්ධාන නොහදන බවය. එම නිසා ඊළඟ මහ මැතිවරණයෙන් තමන්ට පාර්ලිමේන්තුවට රිංගා ගන්න ශ්‍රීල.නි.ප.ය දෙකඩ කර ගෙන තමන්ට අවනත නායකයෙක් පත් කරගත යුතු යැයි සිතූහ. ඔවුන් විජයව පාවිච්චි කළේ ඒකටය. අද විමල්ලා, දිනේෂ්ලා, වාසුලා කරන්නේත් ඒකමය.

තමන්ට මෛත්‍රි ළඟ චරිත වෙන්න බැරි බව දන්නා ඔවුන් මහින්ද පාවිච්චි කොට ශ්‍රීල.නි.ප.ය දෙකඩ කර තම දේශපාලන පැවැත්ම ආරක්ෂා කර ගන්න දත කයි. එදා ඉලංගරත්නලා, කොබ්බෑකඩුවලා වැනි ශ්‍රීල.නි.ප. පතාකයන් ල.ස.ස.ප., කො.ප. උගුලට හසු වූවා සේ අද ශ්‍රීල.නි.ප. ප්‍රබලයන්ද විමල්, දිනේෂ්, වාසුලාගේ උගුලට හසු වී ඇත. එදා ඉලංගරත්න විජයවාදීන් ගැන කී අති ධාවන කතාව අද මහින්දවාදීන්ටද අදාළය. පක්ෂ කඩාගෙන ගිහින් තුන්වැනි බලවේග හදපු හැමෝම අති ධාවනකාරීන්ය. ඔවුන් එක් ජනප්‍රිය නායකයෙක් වටා ගොනු වී අන්ධ වී යන්නේ අති ධාවන ගමන්ය. එය ලලිත්ට සහ ගාමිණීටත් අදාළය. මේ රේස් එක ඉවර වන්නේ මහ අනතුරකින් බව තුන්වැනි බලවේග හදපු නායකයන්ගේ ඉරණම කියවන විට පැහැදිලිය.
Read more
අපේ පේ‍්‍රම කතාව මම චිත‍්‍රකතාවක් විදිහට ඇන්දා | අශෝක හඳගම

නිමල් අබේසිංහ

ඔබ අශෝක හඳගම වුණත් ක්ෂේත‍්‍රය තුළ ජනප‍්‍රිය වන්නේ හඳයා විදිහට. හඳයාගේ ඉතිහාසය මතක් කරමුද?

ඉස්කෝලේ යන කාලේ යාළුවෝ තමයි මුලින්ම හඳයා කිව්වේ. ඉස්කෝලේ යන්නත් ඉස්සර හඳයා කියන වචනය ගෙදර භාවිත වෙලා තියෙනවා. ඒ මගේ තාත්තට. තාත්තගේ යාළුවෝ තාත්තාට කියලා තියෙන්නේ හඳයා කියලා. තාත්තාගේ සහෝදරයන්ට කවුරුත් හඳයා කියලා නැහැ. හැබැයි ගොඩක් අය මට හඳයා කියලා කියන්නේ. චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට ආවාම ස්වර්ණා මල්ලවආරච්චි, ජයලත් මනෝරත්න වගේ අය මට අශෝක කියලා කතා කළා. ඒ විදිහට සමහරු අතරේ මම අශෝක විදිහට හැඳින්වුණා. විදෙස් රටකදි බොහෝ දෙනා අමතන්නේ අශෝක කියලා. කොහොම වුණත් අශෝක කිව්වත් හඳයා කිව්වත් මමම තමයි.

පාසලේදී ඕල්රවුන්ඩර් කෙනෙක් කියලයි ආරංචි.

ඔව්ෟ මම පාසලේ හිටපු ජනප‍්‍රියම චරිතයක්. මම ක‍්‍රිකට් ගැහැව්වා. ඇත්ලටික් කළා. ශිෂ්‍යභට බලකායේ සාජන් වෙලාත් හිටියා. ඒ අතරේ නාට්‍යවලටත් සම්බන්ධ වුණා. මේ හැමදේම කරන අතරේ ඉගෙනීමත් හොඳට කළා. ඒ නිසා පාසල් කාලේ මම ජනපි‍්‍රය චරිතයක්. කොතැන බැලූවත් මගේ නම කියැවුණා.

ඔබ පාසල් කාලයේදී ඉදිරියට යන්නේ මොන ක්ෂේත‍්‍රයෙන්ද කියලා බලාපොරොත්තුවක් තියෙන්න ඇති.

ඔව්ෟ තිබුණා. මම ඔබට කිව්වා. පාසල් ශිෂ්‍යභට බලකායේ සාජන් කෙනෙක් කියලා. ඉතින් එදා මගේ හීනේ වුණේ හමුදාව. හමුදාවට බැඳෙනවා කියන තැන තමයි මම හිටියේ. කොටින්ම ඒ ලෙවල් ඉවරවෙලා ඩිෆෙන්ස් ඇකඩමියට යන්න ඇප්ලිකේෂන් දාලා පළමුවැනි ඉන්ටර්වීව් එකටත් ගියා. ඒ ඉන්ටර්වීව් එකේ මම පළමුවැනියාටත් තේරුණා. ඒ එක්කම මාව විශ්වවිද්‍යාලයට තෝරගත්තා කියලා පණිවිඩය ආවා. මම හමුදාව පැත්තකට දාලා විශ්වවිද්‍යාලය තෝරගත්තා.

හමුදාව අත ඇරුණු එක ගැන ඔබ අද සතුටුද?

ඔව්ෟ අද නෙමෙයි විශ්වවිද්‍යාලයට ගිය කාලෙම හමුදාව එපා වුණා. කොටින්ම පස්සේ කාලෙකදි මට හමුදා නිලඇඳුමක් දකිනකොටත් පොඩි අපුුලක් දැනෙන්න ගත්තා. කැඩෙටිං කරන කාලේ ආසාවෙන් අල්ලපු තුවක්කුව අතගාන්නවත්, ඒ දිහා බලන්නවත් පිළිකුල් තරමට මට එපා වුණා.

මම අහලා තියෙනවා ඔබ චිත‍්‍ර ශිල්පියටත් දස්කම් පෑවා කියලා.

පුංචි කාලේ ඉඳලා චිත‍්‍ර ඇන්දා. ඒ කාලේ චිත‍්‍ර කතා හරි ජනප‍්‍රියයි. ජනක රත්නායක, බන්දුල හරිශ්චන්ද්‍ර, බලන්ගොඩ සරත්මධු අපේ වීරයෝ. මටත් ඔය චිත‍්‍ර කතා බලන පිස්සුව තදින්ම තිබුණා. මට මතකයි මම ඉස්කෝලෙදි යාළුවන්ගේ පොත් අරගෙන ඒවායේ දේදුනුගේ, යුනිකෝගේ, ටෝගාගේ චිත‍්‍ර අඳිනවා. ඒ කාලේ චිත‍්‍රකතාවල හිටපු වීර චරිත තමයි ඒවා. මට චිත‍්‍ර අඳින්න පුළුවන් කියලා හිතුණේ එහෙමයි. හැබැයි දවසක් ගණිතය සර් උගන්වනකොට මම සර්ව ඇන්දා. ඕක යාළුවෝ දැක්කා. යාළුවෝ අතර මම චිත‍්‍ර ශිල්පියෙක් වුණේ එහෙම. එදා සර්ගේ චිත‍්‍රය යාළුවෝ දැක්කට සර් දැක්කේ නැහැ.

ඔබ මොන දේ කළත් අධ්‍යාපනයට මුල් තැන දුන්නා කියලා ඔබම කියනවා.

ඔබ හරි. ඒ වාගේම මට එදා ඉදලාම තිබුණා පුරුද්දක් එක වැඩක් කරන ගමන් තවත් වැඩක් ගැන හිතන්න. මම අද හිතනවා මගේ වැඩවල රහසත් ඒකම තමයි කියලා. ගණිතය සර් උගන්වනකොට ඔහුව චිත‍්‍රයට නැඟුවාට මම ගණන් අතපසු කළේ නැහැ. ඒ මගේ හැටි. මම දැන් ඔබත් එක්ක කතා කරනවා. ඒ අතර මගේ රාජකාරියට අදාළ දේවලූත් මම හිතනවා. ඒක මට උපතින්ම ආපු දෙයක්. මම අත් දෙකෙන්ම එකවර පෝස්ටර් අඳින්න පුළුවන් කෙනෙක්. ඇත්තටම මට එකවර වැඩ දෙකක් තුනක් කරන්න පුළුවන්. ඉගෙන ගන්න අතරේ උගන්වනවා. ඒ මගේ ක‍්‍රමය. පාසල් කාලෙත් මම අනෙක් අයට පාඩම් කියලා දෙන ගමන් මමත් ඉගෙන ගන්නවා.

අපි නාට්‍ය ගැන කතා කරමු. ඔබ නාට්‍යවලට ඇදෙන්නේ කොහොමද?

අපේ ඉස්කෝලේ හිටියා බොකලවෙල කියලා සර් කෙනෙක්. සර් නාට්‍යයක් කළා. මම ඒකට සම්බන්ධ වුණා. එතකොට මම නාට්‍යයක් බලලා තියා ඒ ගැන අහලාවත් තිබුණේ නැහැ. ඒත් ඒක මට ලොකු අත්දැකීමක් වුණා. කලාවට නැඹුරු වෙන්න ඒක මට තල්ලූවක් වුණා. ඒකත් එක්ක මගේ ඔලූවට එන සිතුවිලි අකුරු කරන්නත් මම පටන් ගත්තා. මට හිතිච්ච දේ ලිව්වා. නාට්‍යයක හැසිරීම, නාට්‍යයක පළමුව නිදහස් වන වචනය මොන තරම් වටිනවාද, ඒක නේද නාට්‍යයේ ලය තීරණය කරන තැන කියලා මම එදා තේරුම් ගත්තා. ඒ වගේම ඕඩියන්ස් එක කොහොම ප‍්‍රතිචාර දක්වයිද කියන එකත් එදා මම බරපතළ විදිහට හිතුවා. මේවා පොත්වල තියෙන ඒවාද දන්නේ නැහැ. ඒත් මේ එදා මට දැනුණ හැටි. ඒ ආභාසයන් කොහෙන්වත් ලැබුණාද දන්නේ නැහැ. පළමුවැනි එක කළාට පස්සේ තමයි මේ හැමදේම දැනුණේ. ඒ පාර දිගේ මම හුඟක් දුර ගියා.

එහෙම ආ ඔබ ‘හඳගම මුද්‍රාවත්’ තබනවා.

ඒක මේ නිසාම වුණා කියලා මට කියන්න බැහැ. අනෙක මම මාව මුද්‍රාවක් විදිහට සමාජගත කරලාද කියන එකත් මට තීන්දු කරන්න බැහැ. කොහොම වුණත් මගේ වැඩවල අවසානය සලකලා බලනකොට මට හිතෙනවා එහෙම වුණේ සමහරවිට මගේ එක්ස්පොසර් එක අඩුකම හින්දාද කියලා. කොහොම හරි මම රූපවාහිනී නාට්‍යයක් කරනකොට මම නාට්‍යයක ෂූටින් එකක්වත් දැකලා තිබුණේ නැහැ. මම ඉගෙන ගත්තේ කාර්මික ශිල්පීන් එක්ක මගේ ඔළුව ඇතුළේ තියෙන දේත් ගළපලයි. මම හිතනවා මට අනන්‍ය යමක් කරන්න මට පුළුවන් වුණේ මේ අවිධිමත්කම හින්දමයි. කොහොමත් මම විධිමත් ධාරාවක ඉගෙන ගත්තේ නැහැ. එහෙම වුවමනාවක් මට තිබුණේත් නැහැ. ඒ අතර ජවිපෙ දේශපාලනයට විවෘත වීමත් මට යම් පිටිවහලක් වුණා. මේ සියලූ සංකලන අස්සේ කුඩා කල සිටම ගණිතයට මා තුළ තිබූ සහජ දක්ෂතාව මාව හැම අංශයෙන්ම ගොඩක් දුර ගෙනාවා කියලා මම හිතනවා.

ඔබ ගණන්කාරයෙක් වෙන විදිහ මතක් කරමුද?

මම ගණිතය විෂය ධාරාව ගත්තේ අනෙක් විෂයන් තෝරගත්තා නම් අනිවාර්යයෙන් ප‍්‍රැක්ටිකල් යන්න වෙලාවක් හොයාගන්න බැරිවෙන හින්දයි. ඒත් ඒ තෝරාගැනීම හොඳයි. අද මහ බැංකුවට මම එන්නේත් ඒ තෝරා ගැනීම හින්දයි. කොහොම හරි ඔතැනත් අමතක නොවන කතාවක් තියෙනවා. කැම්පස් එකේ මගේ ගණිත ගුරුවරයා ප්‍රොෆෙසර් වික‍්‍රමසූරිය. ඔය කාලේ මම නාට්‍යවලටයි අරවටයි මේවටයි දුව දුව ඉන්නවා. විශ්වවිද්‍යාලයට යන්නේ නැහැ. විශ්වවිද්‍යාලයේ විභාගය ලියන්න නම් පැමිණීමත් අනිවාර්යයි. සියයට අසූවක් ඕනෑමයි. දවසක් මට ප්‍රොෆෙසර් කතා කරලා කියනවා ‘හඳගම තමුසේ ටිකක් පරිස්සම් වෙනවා. මොකද තමුසේ නාවාට තමුසේ ආපු බවට මෙහේ ගැහැනු ළමයෙක් තමුන්ගේ අත්සන ගහනවා’ කියලා. මොනවා වුණත් ඔහු එදා මුකුත් කළේ නැහැ. ඔහුට එදා ඇක්ෂන් එකක් ගන්න තිබුණත් ගත්තේ නැහැ. ඒ මොනවා වුණත් මම ඒ අවුරුද්දේ බැච් ටොප් වුණා.

ජවිපෙ දැඩි මතධාරියකුව හිටපු ඔබ එයින් ඉවත් වුණේ ඇයි?

2002 මැතිවරණය කාලේ ජවිපෙට තිබුණු විවේචනය ජවිපෙ අත්අරින්න මට දැඩිව බලපෑවා. ජවිපෙ ප‍්‍රතික්ෂේප වෙන්න ඒක එක හේතුවක්. ඒ වගේම උතුරේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ජවිපෙ දැක්වූ ප‍්‍රතිචාරයත් යුද්ධයයි. මගේ ස්ථාවරය නිතරම පැවතියේ යුද්ධයට විරුද්ධවයි. මේ සියලූ නොගැළපීම් මට ජවිපෙ අතඅරින්න හේතු වුණා. ඒත් එදා වගේම අදටත් ඒ පක්ෂයට තිබුණු ආදරය මා තුළ තියෙනවා. ඒකේ වෙනසක් නෑ. මම තවමත් හිතනවා මොකක් හරි වෙනසකට යනවා නම් ඒ සඳහා විභවයක් ජවිපෙට අදටත් තියෙනවා කියලා.

අපි ඔබගේ පාසල් කාලයේ කෙරුම් ගැන කතා කළා. ඒත් පාසල් පේ‍්‍රමය අත ඇරුණා කියලා මට හිතෙනවා. ඒක මතක් කරමුද?
ඒක හරි. කතාවට මඟ ඇරුණාට ඒ කාලේ එහෙම දේවල් මග ඇරුණේත් නෑ. හැම පැත්තෙන්ම සුන්දරයි. කෙල්ලත් එහෙමයි. පේ‍්‍රමයත් එහෙමයි. කෙල්ල අල්ලපු ඉස්කෝලේ හිටපු ලස්සනම කෙල්ල. ලස්සනම කෙල්ල දිනාගන්න පුළුවන් වෙනවා කියන්නේම ඒ කාලේ පොඩි පහේ වීරකමක්ද? හැමදේකින්ම වගේ එතැනදිත් දින්නා. කතාව අතරේ පුංචි දෙයක් කියන්න ඕනෑ. මට තිබුණා දක්ෂකමක්. ඒ තමයි මොනවා හරි ලබාගන්න ඕනෑ කියලා හිතුණොත් ඒක කොහොම හරි දිනාගන්න පුරුද්දක්. මේකත් ඒ පුරුද්දෙම කොටසක්. කෙල්ලගේ හිත දිනා ගත්තා. මෙන්න ඒ එක්කම මම කවියෙක් වෙන්න පටන් ගත්තා. මම එක දිගට කවි ලියනවා. කොටින්ම අපේ පේ‍්‍රම කතාව චිත‍්‍රකතාවක් විදිහටත් ඇන්දා. එතකොට මම නවයේ පන්තියේ. අපේ පන්තියෙන් ඉස්සර වෙලාම කෙල්ලෙක් යාළු කරගත්තෙත් මම. එතැනත් වීරයා මම. ඒක කාලයක් පැවතුණා. ඕලෙවල් කරනකොට එක ප‍්‍රශ්න පත‍්‍රයකට ලියලා දෙවැනි එක ලියන්න දෙන විවේකයේදී අපි යාළුවෝ ටික ඒ පාසලට යනවා. ඒක තිබුණේ අපේ පාසල ඉදිරිපිටමයි. ඉතින් ගිහින් ඒ කාලේ ප‍්‍රදර්ශනය වුණු ජනක සහ මංජු චිත‍්‍රපටයේ ‘රන්කඳ පෙම් හඬ ගුම් දිදී’ කියන ගීතය කිය කිය ගස් වටේ දුව දුව නටනවා. හැබැයි විශ්වවිද්‍යාලයට ආවාට පස්සේ ඒ සියල්ල වෙනස් වුණා. පේ‍්‍රමයට යොමු වෙන්න තිබුණු කාලය ඇහිරුණා. කොටින්ම ඒක චොයිස් එකක් නොවන තැනට පත්වුණා. පේ‍්‍රමය චොයිස් එකක් නොවුණ හින්දම අපි දෙවැනි විකල්පයක් හෙව්වා. ඒ හම්බ වුණ දේ තමයි ජවිපෙ දේශපාලනය.

ජවිපෙ වෙනුවෙන් දිවි පරදුවට තබලා කරපු වැඩ ඇති.

තිබුණා. මගේ නාට්ටි රට පුරා රැුගෙන යන බසයේ තමයි විජේවීරගේ කතා අන්තර්ගත කැසට්පටත් අරගෙන යන්නේ. ඒ වගේම ජවිපෙ ලීෆ්ලට් අරගෙන ගියෙත් ඒකේ. එදා ඒවා අහුවුණා නම් ඉතින් ගස්ම තමයි.

අද නම් දරා සිටින ඔබගේ පාසල් සමකාලීනයෝ ඉන්නවාද?

ඔව්. එක පන්තියේ නොවුණට රංජිතම් ගුණරත්නම්, කුමාර් ගුණරත්නම්, මහාචාර්ය ලලිත් සමරකෝ්න්, රූකාන්ත ගුණතිලක මගේ සමකාලීනයෝ. අපි එක එක ක්ෂේත‍්‍රවලින් මතුවුණා. රංජිතම් හිටියා නම් ජේවිපී එකේ ගමන් මඟ වෙනස් වෙන්න පවා තිබුණා. කුමාර් පවා හරිම සංවේදී මිනිසෙක්. සැබැවින්ම දක්ෂයෙක්.

සිනමාගමනය පිළිබඳ කතා කරමු.

අපි හැදෙන්නේ වැඩෙන්නේ නිදහසින් පස්සේ ඇති වුණ එක්තරා යුගයක. අධ්‍යාපනය ඇතුළෙත් අපි ඉස්සරහට එන්නෙම විවිධ ප‍්‍රතික‍්‍රියා හා ප‍්‍රතිචාර දක්වමින්. අපි දක්වපුු ප‍්‍රතිචාර හැමවෙලේම දේශපාලනිකයි. එහෙම වටපිටාවක අපේ සිනමා ප‍්‍රකාශන හැදෙන්නෙත් මේ දේශපාලන යථාර්ථය තුළමයි. ඒ නිසාම ඒ හරහා ප‍්‍රකාශ වන දේ මොන විදිහකින්වත් ඒ යථාර්ථයෙන් වියුක්ත වෙන්නේත් නෑ. ඒ තුළ අපිට සිද්ධ වෙනවා වෙනම විදිහකට අරගලයක යෙදෙන්න. සමාජය ඇතුළේ කිසියම් කම්පනයක් ඇති කරන්න. මම හිතනවා එදා ඒ කම්පනය පේ‍්‍රක්ෂකයන්ට දැනුණා. මම ‘ඉනිඅවන්’ දක්වා එනකොට ඒක ටිකක් වෙනස් වෙනවා. මොකද එතැනදි මම ඒ මොහොතේ මතවාදයට වඩා ඒක ප‍්‍රශ්න කරන තැනකට එනවා. මේ සියල්ලේ එකතුවෙන් තමයි ඔබ කලින් කිව් ලකුණ, මුද්‍රාව මා තුළ සටහන් වෙනවා ඇත්තේ.

ඔබට මේ මොහොතේ දේශපාලනය ගැන කියවීමක් ඇති. ඒක එළියට දානවට මම කැමතියි.

මගේ කියවීම නම් මේ මොහොතේ සිස්ටම් එක කඩා වැටිලා. අපි හිතනවා පුද්ගලයෙක් මාරු කරලා සිස්ටම් හදන්න පුළුවන් කියලා. ඒත් ඒක එහෙම බෑ කියලා තහවුරුයි. ඒ මොකද පුද්ගලයොත් මේ සිස්ටම් එකේම ගොදුරු වෙනවා. මේක විෂම වක‍්‍රයක්. මේක වෙනස් කරන එක විශාල අභියෝගයක්. අපි එකෙක් නරකයි කියලා එකෙක් ගෙනාවාම ටික දවසකින් හිතෙනවා හිටපු එකා හොඳයිනේ කියලා. ඒත් පසුගිය කාලේ සිදුවුණ පරිවර්තනය දිහා බලපුවාම හිතෙනවා යම් දෙයක් හරි දිනාගත්තා කියලා. ඒ ටිකවත් හදාගන්න වෙනවා. රටක් ඉදිරියට යන්න නම් පුද්ගලයන්ගේ හිතුමනාපයට වෙනස් කරන්න බැරි සිස්ටම් එකක් ආයේ හදන්න වෙනවා.

පේ‍්‍රමය සහ විවාහය ගැන අද ඔබගේ කියවීම කොහොමද?

පේ‍්‍රමය තමයි ජීවිතයක පදනම. මිනිස්සු ජීවත් කරවන්නේ පේ‍්‍රමය. මම හැමදාමත් ආදරය කරන්න කැමතියි. ඒත් විවාහය කියන එක ඊට හාත්පසින්ම වෙනස්. විවාහය කියන්නේ ද්‍රව්‍යමය බැඳීමක්. මම අද හිතනවා විවාහය ඇතුළේ පදනම වෙන්නෙ පුද්ගලික දේපළ කියලා. විවාහය කියන්නේ හැමවිටම පේ‍්‍රමය මත පදනම් වෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා මම විවාහයට වඩා පේ‍්‍රමයට කැමතියි.

ඩි‍්‍රන්ක් එකක් එක්කත් ගොඩක් දුර යන්න පුළුවන් නේද?

ඇත්තටම. ඒක සමාජ ආශ‍්‍රයක්. මට තනියම බොන්න බෑ. මට බොනවා කියන එක තනි වැඩක් නෙමෙයි, ලොකු ඇසුරක්. ඒ තුළ මිතුරු සමාගමක් තියෙනවා. ඒ තුළ බොහෝ දුර යන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ ඒ දුර යන්න පුළුවන් ශික්ෂණය ඇති කරගන්න එකයි. මධුවිතක් ඇතුළේ වින්දනයක් තියෙනවා. ඒක සෝෂල් වැඩක්. මම ඒකට කැමතියි.

ravaya
Read more
Sunday, January 17, 2016
කුරුඳුවත්තෙන් තාමත් බලි තටු හමුවන දේශපාලන රහස |අශෝක හඳගම -

අශෝක හඳගම

මොහාන්  රාජ් මඩවලගේ නවකතා පිළිබඳ විචාර ලිපි රැගත් ත‍්‍රිමාන  කෘතිය එළිදැක්වීමේ අවස්ථාව වෙනුවෙන් පිළියෙළ කළ කතාව

මොහාන් (රාජ් මඩවල) වර්තමානයේ සිට ඉතිහාසය පරිකල්පනය කරන් නෙකුගේ සිට ඉතිහාසය තුළ සිට වර්තමානය දකින්නෙකු දක්වා පරිවර්තනය වී ඇති බව ඔහුගේ අලූත් ම නවකතාව වන ආදරණීය වික්ටෝරියා කියවනකොට මට පැහැදිලි වුණා. පහුගිය කාලයේ ජනප‍්‍රිය ඉතිහාස කතා රචකයන් සහ අඩු වැඩි වශයෙන් මොහානුත් කළේ ඒකෙ අනිත් පැත්ත. ඒ කියන්නේ අද කන්නාඩියෙන් අතීතය දකින එක. අදට වුවමනා විදියට අතීතය පරිකල්පනය කරමින් අර්ථගන්වා ගන්න එක.

මාගම් සෝලිය නවකතාවට අදාළව මොහාන්ට තිබුණු ප‍්‍රධාන විවේචනයක් තමයි වර්තමානයේ නාගරික ලිංගික ෆැන්ටසිය ඔහු කාලයෙන් අතීතයටත්, අවකාශයෙන් ඈත ගමටත් ගිහින් ඒ මිනිස්සුන්ගේ ජීවිතවලට ආරෝපණය කරන බව. අඩු වැඩි වශයෙන් මේ විවේචනයේ සත්‍යයක් තියෙනවා. ඒත් ඔහු ඔහුගේ ආදරණීය වික්ටෝරියා නවකතාවෙන් ඒ චෝදනාවෙන් ගැල වෙනවා. අද හෙවත් වර්තමානයේ ඉඳන් ඉතිහාසය ගොඩ නගනවා වෙනුවට මොහාන් ඉතිහාසයේ සිදුවීම් සහ සාක්ෂි පිළිවෙලට වෘතාන්තයකට ගළපා තියෙනවා වර්තමානය කියවා ගන්න.

මගේ අදහස් දැක්වීම මම වික්ටෝරියා නවකතාව කියවීමේදී මෙන්න මේ කාරණා ඔස්සේ මට සිතුණු සිතුවිලිවලට පමණක් සීමා කරන්නට කැමතියි. කිසිසේත්ම මෙය නවකතාව පිළිබඳ විචාරයක් නෙවෙයි. මම විචාරකයෙකු නොවන නිසා මට එහෙම කරන්න සදාචාරාත්මක අයිතියකුත් නැහැ.
මේ කථාව මට දැනෙන්නේ අද අපේ සමාජය පෙළන ව්‍යාධියේ නිධානය එළිදරවු කිරීමක් ලෙසයි. මේ එළිදරවුව මීට කලින් ආචාර්ය කුමාරි ජයවර්ධන සිය Nobodies to Somebodies කෘතියෙන්, ප‍්‍රමාණවත් සාක්ෂි සහ විශ්ලේෂණ වාර්තා සහිතව කරලා තියෙනවා. එතෙක්, ලංකාවේ ජනසමාජය පිළිබඳ කෙරුණු සමාජ විද්‍යාත්මක අධ්‍යයනයන් බොහෝ වෙලාවට නාභිගත වෙලා තිබුණේ, ‘කුල වශයෙන් වෙන්වුණු ගැමි සමාජය’ දෙස. එහෙම නැත්නම් ජනවර්ග අතර සමානතා හා විෂමතා දෙසට. පශ්චාත් නිදහස් ලංකාවේ පාලන බලය හිමිකරගත් ධනපති පන්තියේ බිහිවීම සහ විකාශය පිළිබඳ පරිසමාප්ත අධ්‍යයනයක් මේ කෘතිය.

නිර්මාණ කේෂේත‍්‍රයේ ඊට පෑහෙන වැදගත් කෘතියක් තමයි ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ ‘කඩුල්ල’ ටෙලි නාට්‍යය. මෙය තිලක් ජයරත්නගේ ගවේෂණාත්මක අධ්‍යයන යන්ගේ ප‍්‍රතිඵලයක්. මොහාන්ගේ වික්ටෝරියා, මේ අධ්‍යයන පසුබිමේ ඊට සමාන්තරව ලා පිහිටුවිය හැකි කෘතියක්.
ආදරණීය වික්ටෝරියා නවකතාව පටන් ගන්නේ 1867. සිලිං 5කුත් පැන්ස 2ක් අතේ තියාගන ඉන්න, කොළඹ – නුවර දුම්රිය මාර්ගය තනන්නට දහදිය වැගිරූ අවුරුදු 17- 18ක් වයසැති අන්දිරිස් නම් කොලූ ගැටයෙක්, නුවර සිට කොළඹ බලා යන්නට දුම් කරත්තය හෙවත් දුම්රිය එනතෙක් බලා ඉන්න මොහොතින්. කතාව අවසන් වෙන්නේ 1899, ඊට අවුරුදු 32කට පස්සේ ඔහු උන්මන්තකයෙකු වන තැනින්. මේ අවුරුදු 32ක කාල පරාසය තුළ, කිසි වැදගැම්මකට නැති Nobody හෙවත් සොක්කෙකුගේ සිට ගිනිය නොහැකි තරම් ධනයකට හිමිකාරත්වය දරන, තේ, පොල්, රබර් ආදි වතු සහ මිනිරන් පතල් හිමි somebody හෙවත් ලොක්කෙකු බවට පරිවර්තනය වෙනවා.

ආචාර්ය කුමාරි ජයවර්ධන පෙන්වා දෙන උදාහරණයකට අන්දිරිස්ගේ මේ පරිවර්තනය සමකළොත් පවුම් 38ක සුළු බද්දක් ගෙවමින් 1829, කඩුගන්නාවේ කුඩා අරක්කු තැබෑරුමක් පවත්වාගන යන ජෙරෝනිස් සොයිසා ඊට හත් වසරකට පසු මුළු මධ්‍යම පළාතේම සිල්ලර අරක්කු වෙළෙඳාමට තනි අයිතිය හිමි පවුම් 6800ක බද්දක් ගෙවමින්, 1860 වන විට ඒ කියන්නේ අවුරුදු 31කට පස්සේ අතිශය ධනවත් චරිතයක් බවට පරිවර්තනය වීමට සමාන කළ හැකියි.
මේ නෝබොඩියන් සම්බොඩියන් කළ ‘මහා වාසනාව’ ගෙනාවේ අරක්කු වෙළඳාම. නිදහසින් පස්සේ කාලේ රටේ පාලකයන් වුණේ මේ සම්බොඩියන් හෝ ඔවුන්ගෙන් පැවැත එන අය. වික්ටෝරියා නවකතාව අවසානයට පත් වෙන වෙලාවේ, 1899 ජනවාරි මාසේ සමාන්තර උපත් දෙකක් සිද්ධ වෙනවා. එකක්, අන්දිරිස්ගේ බැල්ල පැටියෙකු වදනවා. අස්සයෙකුගේත් බැල්ලක ගේත් විකෘතියක්. අනික ‘සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක’ උපදිනවා.
අන්දිරිස්ගේ කතාව ඇතුළේ නෝබොඩියන් සම්බොඩියන් වුණු කතාන්දරය තියෙනවා. මේ සම්බොඩියන් හෙවත් 19 වෙනි ශතවර්ෂයෙන් ඇරඹුණු ලංකාවේ ධනපති පංතියට නිෂ්පාදන ව්‍යවසායකත්ව හැකියාවක් තිබුණේ නැහැ. අරක්කු නිෂ්පාදනය සහ බෙදාහැරීමට අමතරව ඔවුන්ට තිබුණේ, කුලියක්, බද්දක් ගන්න හැකියාව. ඒ නිසාම මේ අය හැඳින්වුණේ රේන්දරාලලා කියලා. අන්දිරිස්ගේ ගෙදර වගේ මේ රේන්දරාලලාගේ ගෙවල්වල මැද මිදුලේ වළලා තියෙන විශාල තඹ කල්දේරම්වලින් උතුරා ගිය සල්ලිවලින් තමයි විශාල තේ, පොල් වතු, මිනිරන් පතල් මිලදී ගැනුණේ. අරක්කුවලින් වැවිලි අංශයට මාරු උණ, එහෙමත් නැත්නම් මේ අංශ දෙකෙහිම නියැලූණු මේ රේන්දරාලලාගේ දෙවෙනි පරම්පරාවට තමයි, නිදහසින් පස්සේ ලංකාවේ දේශපාලන බලය හිමි උණේ.

19 වෙනි ශත වර්ෂයේ දී නෝබොඩියන්ව සිට 20 සියවසේ මුල වන විට සම්බොඩියන් බවට පත් මේ රේන්ද රාලලාගේ දෙවෙනි පරම්පරාව, අරක්කු රේන්ද ව්‍යාපාරයන්ට අමතරව වැවිලි සහ පතල් කර්මාන්තය තුළත් සිය ආධිපත්‍යය පතුරුවා ගෙන තිබුණා. ඒ විතරක් නෙවෙයි, හොඳ ඉංග‍්‍රීසි අධ්‍යාපනයක් ද සහිත මේ දෙවෙනි පරම්පරාවට උතුරා යන්න තරම් සල්ලි තිබුණු නිසාම, කිසියම් පරාර්ථකාමී නැඹුරුවක් ද පෙන්නුම් කළා. ඒ නිසා ඔවුන් රටේ පොදු දියුණුවට ඉවහල් විය හැකි කටයුතුවලට සම්මාදම් වුණා.

එක් හොඳම උදාහරණයක් තමයි 20 වෙනි සියවසේ මුල් භාගයේ ප‍්‍රසිද්ධ පරාර්ථකාමී කාන්තාවක් වූ සෙලෙස්තිනා ඩයස්.
සෙල්ස්තිනා ඩයස් කියන්නේ පානදුරේ රොබෝසිංඤෝ රේන්ද රාළ ලෙස ප‍්‍රසිද්ධ ජෙරමියස් ඩයස්ගේ බිරිඳ. මේ ජෙරමියස් ඩයස් 19 වෙනි ශත වර්ෂයේ මුල නෝබොඩියකුව අරක්කු පෙරීම, කුලී ගැනීම සහ ඊට අදාළ අනෙකුත් ව්‍යාපාරයන්හි නියැලෙමින් සිටි පානදුරේ ප‍්‍රසිද්ධ ඩයස් පවුලේ පොන්නෙ හෙන්නෙදිගේ හරමානිස් ඩයස්ගේ පුතා. පොන්නෙහෙන්නෙදිගේ ඩයස් පරම්පරාව ගැන කුමාරි ජයවර්ධනගේ පොතේ හොඳින් විස්තර කරලා තියෙනවා.
ජෙරමියස් ඩයස් මිය යන කොට ඔහු මුළු බස්නාහිර පළාතේ වැඩිම ආදායමක් උපදන ලොකුම රේන්ද රාළලාගෙන් කෙනෙක්. 1902 ජෙරමියස් ඩයස් මිය ගියාට පස්සේ මේ ව්‍යාපාර බලාකියාගන්නේ සහ ඒවායේ හිමිකාරිත්වය හිමිවන්නේ ඔහුගේ කනවැන්දුම් බිරිඳ වන සෙලෙස්තිනා ඩයස්ට. සෙලෙස්තිනා ඩයස් 1917 දී ලංකාවේ බෞද්ධ කාන්තා අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් කොළඹ බෞද්ධ බාලිකා විද්‍යාලය නමින් ආරම්භකළ බාලිකා පාසල තමයි අද ලංකාවේ නොම්මර එකේ බාලිකා පාසල ලෙස අප හඳුනන විශාඛා විද්‍යාලය.

1948 ලංකාවට දේශපාලන නිදහස ලැබීම කියන්නේ අරක්කු ඇරෙන්න කිසි නිෂ්පාදන යක් නොකරන, කුලියක් වගේ නිකන් ගලා එන ධනයකට හිමිකම් කියූ මේ සම්බොඩියන්ට දේශපාලන බලය ලැබීම.
මේ සම්බොඩියන්ට සල්ලි ඇතිතරම් තිබුණත්, සමාජ තත්ත්වය සහ ආඩම්බරය වෙනුවෙන් පාරම්පරික රදළ පවුල් සමග ගැට ගැසීමේ නැඹුරුවක් පෙන්නුම් කළා. නෝබොඩියන් සම් බොඩියන් වීමේ පරිණාම ව්‍යාපෘතිය කෙළවර වුණේ එතැනින්. ඔවුනට ඇති තරම් සල්ලි තිබුණු නිසා දේශපාලනය කළේ සල්ලි හම්බ කරන්න නෙවෙයි. තමන් පරම්පරා දෙක තුනක් තිස්සේ අත්පත් කරගත් සල්ලි වියදම් කළේ, සමාජය තුළ පිළිගැනීමක් ඇති කරගන්න. පොදු වැඩවලට වියදම් කරන්න ඔවුන් නිර්ලෝභී වුණා.

ඒ එක්කම, ඉංග‍්‍රීසි ආණ්ඩුව යටතේ දේශපාලනයට එන්න (රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට) නීතිගරුක සහ ආචාරධාර්මික වීම, නීතිය සහ ඉංග‍්‍රීසි භාෂා දැන උගත්කම වගේ මූලික සුදුසකම් සපුරා ගත යුතුව තිබුණා. මේ නිසා මොවුන් දේශපාලනයට ආවාට පස්සේ සාපේක්ෂව කිසියම් විනයක්, ශික්ෂණයක් සහිතව සමාජය ඉදිරියට ඇදුණා. ශික්ෂිත සමාජයක පදනම වන පාර්ලිමේන්තුව, පාසල්, උසාවි ආදී ආයතන පද්ධතිය පිළිවෙලට පැවතුණා.
ගොවිගම කුලයේ සේනානායක පවුලේ දොන් ස්පෙටර් සේනානායක කියන්නේ අවුරුදු 18 දී මිනිරන් පතල් කර්මාන්තයෙන් සාර්ථකත් වයට පත් වෙලා එහි ලාභය පොල්, අරක්කු රේන්ද, සහ නාගරික ඉඩම්වල ආයෝජනය කළ සාර්ථක ව්‍යාපාරිකයෙක්. එවක සම්බොඩියන් වූ අනෙක් අයගෙන් සේනානායක වෙනස් වෙන්නේ කුමාරි ජයවර්ධන පෙන්වා දෙන පරිදි, ඔහු මිනිරන් කර්මාන්තයෙන් උපයාගත් ලාභය අරක්කු රේන්ද ව්‍යාපාරයේ ආයෝජනය කිරීම. අනෙක් අය අරක්කු රේන්ද ව්‍යාපාරයෙන් උපයා ගත් ලාභයයි වෙනත් අංශයන්හි ආයෝජනය කළේ. මේ සේනානායකගේ පුතුන් තමයි නිදහසින් පස්සේ දේශපාලනයට එන ලංකාවේ පළවෙනි අගමැති දොන් ස්ටීවන් සේනානායක, එෆ් ආර් සේනානායක සහ දොන් චාර්ල්ස් සේනානායක.
නිෂ්පාදන ආර්ථිකයක් විසින් තමයි සමාජයක් ශික්ෂණය කරන්නේ. ඓතිහාසිකව ලංකාව ශික්ෂණය වුණේ ගොවි සංස්කෘතියකින්. අපේ භාෂාව, සාරධර්ම, කලා ශිල්ප ඉවුම් පිහුම් හැම එකක් ම සැකසුණේ සහ හික්මැවුණේ වී ගොවිතැන ප‍්‍රමුඛ කෘෂි ආර්ථිකයක් වටා. ඉතිහාස කතාවේ ‘ඇසුරු සැණක්’ තරම් කෙටි කාලයකදී පොහොසත් වුණු රේන්දරාළලාගේ දෙවැනි පරම්පරාව වික්ටෝරියා කතාවේ එන අන්දිරිස්ගේ බැල්ලගේ පැටවා වගේ සංස්කෘතික විකෘතියක්.
නිෂ්පාදන ව්‍යව සායකත්ව හැකියාවක් නැතිව පොහොසත් උණ මේ අය, වැඩවසම් නිෂ්පාදන ක‍්‍රමයකින් ධනේශ්වර නිෂ්පාදන ක‍්‍රමයකට ක‍්‍රමිකව සංක‍්‍රමණය වුණු අය නොවන නිසා නිෂ්පාදනයත් සමග ඇති විය හැකි සංස්කෘතික පරිවර්තනය සහ සංවර්ධනය සිදු වුණේ නැහැ. ඒ නිසා ලංකාව තිබුණේ පූර්ණ වශයෙන් වැඩවසමුත් නොවන, ධනේශ්වරත් නොවන කුමාරි ජයවර්ධන හඳුන්වන පරිදි twilight zone එකක. ගොම්මන් කලාපයක. අතිරික්ත ධනය විසින් බටහිර දියුණු විද්‍යාව දෙසට තල්ලූ වන්නට බළකලාට සංස්කෘතිකව ඇදී ගැටගැසී තිබුණේ අතීතයට. (අපට තාමත් කුරුඳු වත්තෙන් රොස්මිඞ් ප්ලේස් එකෙන් බලි තටු හමු වෙන්නේ එකයි)

බණ්ඩාරනායක මේ සංස්කෘතික විකෘතියේ දේශපාලන කූටප‍්‍රාප්තිය.
සර් ජෝශප් වෙස්ට් රිජ්වේ ඉංග‍්‍රීසි ආණ්ඩුකාරයාගේ අතිශයින් විශ්වාසවන්ත කුළුපග සේවකයෙකු වූ කොළඹ මහා මුදලි වළව්වේ මහා මුදලි සොලමන් බණ්ඩාරනායකගේ බිරිඳ ඬේසි ඔබේසේකර සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ප‍්‍රසූත කරන තැනින් මොහාන් තමන්ගේ කතාව නවතනවා. එතනින් මෙහාට සමාජය ගමන් කෙරුණේ කොයි දිශානතියක් ඔස්සේද කියන එක අපටම කියවා ගන්නට ඉඩ හරිමින්. ඊට පස්සේ කතාව ගොතා ගන්න ඕනෑ කියවන අපි.

බණ්ඩාරනායක දේශපාලනයේදී කරන්නේ තමා සමගම අරගලයක්. මේ නවකතාවේ එන වික්ටෝරියා වගේ. අන්දිරිස් තම දියණිය වික්ටෝරියා රැජින කරන්න හදද්දී, අතීතයෙන් හොල්මන් කරන මහලූ ගොළු හොල්මන් මැහැල්ලක් සමග සමාගමයක් පවත්වනවා. මේ මැහැල්ල නොනවත්වා කරන්නේ මඩපුවක් කපන එක. වික්ටෝරියා මඩපුවක් ලෙලි ගඳ විඳිමින් ඒ පහස ලබමින් තම සිත සනසාගන්න හදනවා. වික්ටෝරියා බටහිර ඇඳුම් ඇඳගෙන කන්නාඩිය ඉස්සරහට ගියාම තමන්ගේම රූපයට බය වී ක්ලාන්ත වෙනවා. ඇය බටහිර පන්නයට ඇඳුම් ඇඳගත් තම රූපය දකින්නේ බියජනක විකාරයක් ලෙසට. තමාට තමාගේම විකෘති රූපය දකින්නට සලස්වන ගෙදර කන්නාඩි තියෙන එකට විරෝධය පානවා. ඇයව බටහිර ශිෂ්ටකම තුළ ශීලාචාර වන්නේ නැහැ.

බණ්ඩාරනායක ඉංග‍්‍රීසින්ට බය පක්ෂපාතී ‘සුද්දාගේ සපත්තුව’ වැළඳ බදා සිටි මුදලි හෙවත් මුඞ්ලියර් පරම්පරාවකින් පැවත එන කෙනෙක්. 1818 කැරැල්ලේදී ඉංග‍්‍රීසින්ට පෑ පක්ෂපාතීත්වයට කෘතවේදීත්වය පෑමක් ලෙස මුදලි පට්ටම්වලින් සමහර පවුල්වලට ඉංග‍්‍රීසි ආණ්ඩුව සංග‍්‍රහ කළා. පිය පාර්ශ්වයෙන් බණ්ඩාර නායක සහ මව් පාර්ශ්වයෙන් ඔබේසේකර පවුල්වලට දාවයි බණ්ඩාරනායක උපදින්නේ. ඔහුත් වික්ටෝරියා මුහුණ දෙන අනන්‍යතා අර්බුදයටම මුහුණ දෙනවා. ශතවර්ෂයකට අධික කාලයක් බි‍්‍රතාන්‍ය කිරීටයට යටත්ව ශික්ෂණය වෙමින් තිබු ජාතියක්, ආයෙත් ඉතිහාසයට ගැට ගහන්න යෑමෙන් බිහිවෙන්නේ අන්දිරිස්ගේ බැල්ල වැදූ පැටවා වගේ විකෘති සමාජයක්යක් බව ඒ මොහොතේ බණ්ඩාර නායකට වැටහෙන්න නැතුව ඇති. බණ්ඩාරනායක තමන්ගේ අනන්‍යතා අර්බුදය විසඳාගන්න දේශපාලනය පාවිච්චි කිරීමේ පරිප්පුව ජාතියක් හැටියට අපි ඇති තරම් කෑවා. තාමත් කනවා.
1977 දේශපාලන වෙනසින් පස්සේ ඇති වුණ තත්ත්වයන් තුළ නැවතත් මේ ආකෘතිය උඩු යටිකුරු වෙන්න පටන් ගත්තා. අරක්කු රේන්දරාළලාගේ දේශපාලන ගමන කුඩුකාරයන්, බුකිකාරයන්, කැසිනෝකාරයන්, ඞීල්කාරයන්, පිම්පියන්, පොදු දේපල කොල්ලකන්නන්ගෙන් විස්ථාපනය වුණු වර්තමාන පරිසරය නිර්මාණය වන්නේ එතැනින් පස්සේ. නිදහස් ආර්ථිකය පූර්ණ ධනේශ්වර නිෂ්පාදන ශික්ෂණයක් නැති සමාජයක් මතට උඩින් ආරෝපණය වුණාම රඟදැක්වෙන විකාර රූපී නාටකයේ උච්ච අවස්ථාව තමයි පහුගිය කාලයේ අපට අත් විඳින්න ලැබුණේ.

සංවිධිත නිෂ්පාදන ක‍්‍රමයක නීතිය, ආචාරධර්ම, සිරිත්විරිත් සහ පොදුවේ සංස්කෘතිය විසින් ශික්ෂණය කළයුතු සමාජයක් තිස් අවුරුද්දක් තිස්සේ ශික්ෂණය කෙරුණේ යුද්ධය විසින්. 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ තවදුරටත් සමාජය ශික්ෂණය කරන්න කිසි යාන්ත‍්‍රණයක් ඉතුරු උණේ නැහැ.
හරමානිස් ඩයස්ගේ පුත් ජෙරමියස් ඩයස්ගේ බිරිඳ විශාඛා විද්‍යාලය හැදුවාට අද ඉන්න කවුරුත් එහෙම කරන්නේ නැහැ. කරන ලොකුම පොදු වැඬේ, පන්සල්වල හාමුදුරුවන්ට කාමසුඛල්ලිකානු ජීවිතයක් ගෙවන්න පුළුවන් පහසුකම් හදලා දෙන එක. අසපු හදලා දෙන එක. මිථ්‍යාවන් වපුරන ටෙලිවිෂන් චැනල්, පත්තර පටන් ගන්න එක.

ඉස්සර නෝබොඩියන් සම්බොඩියන් උණේ අරක්කු රේන්ද ව්‍යාපාරයෙන්. එහෙම සම්බොඩියන් වුණු අයගේ දරුවෝ දේශපාලනයට ඇවිත් සමාජයේ පොදු යහපත වෙනුවෙන් කිසියම් වැඩ කොටසක් කළා. අද නෝබොඩියන් සම් බොඩියන් වෙන්නේ දේශපාලනයට ඇවිත්. රස්තියාදුකාර නිර්ධනයන් හම්බකරන්න පටන් ගන්නේ පාර්ලිමේන්තුවට ඇවිත්. නෝබොඩියෙකු වූ අන්දිරිස් සම්බොඩියෙක් වෙන්න අවුරුදු 20ක් තිහක් ගත වුණා. ඒත් අද පාර්ලිමේන්තුවට එන නෝබොඩියෙකු සම් බොඩියෙකු වෙන්න ගතවෙන්නේ අවුරුද්දයි දෙකයි. විලිලජ්ජා නැතිකමත් කට හැකරකමකුත් තිබුණාම වුවමනාවටත් වඩා ප‍්‍රමාණවත්. කිසිම ව්‍යාවසායකත්ව හැකියාවක් ඕනෑ නැහැ. ඉස්සර වගේම බාර් ලයිසන් එක ලැබෙනවා. කිරි පැකට් එකේ ඉඳන් කුඩු පැකට් එක වෙනකල් පගා ගන්න අවකාශ සැලසිලා තියෙනවා. ගමේ බෝක්කුවේ ඉඳන් හයිවේ ප්‍රොජෙක්ට් වෙනකල් කොමිස් ගහන්න අවකාශ සැලසිලා තියෙනවා. මේ කොමිස්වලින් සොච්චමක් පන්සලට දුන්නාම සියලූ පව් හේදිලා යන්න අනුශාසනාවක් ගන්න පුළුවන්.

‘මම රාජ කුමාරයෙක් නෙවෙයි. ගමේ කොල්ලෙක්.!’ කියලා සිරි පැරකුම් චිත‍්‍රපටයේ පොඩි එකා කියනවා ඇහුණාම අපේ ඇඟවල හිරිගඩු පිපෙන්නේ එකයි. ගමේ කොල්ලෝ රජවෙලා කළ, කරන කෙළිවල රඟ හොඳට දන්නා නිසා.

මොහාන් වර්තමානය තුළ ඉඳන් ඉතිහාසය ලියන්නේ නැතුව, ඓතිහාසික දත්ත සහ සාක්ෂි මත ඒ ඉතිහාසයම වෘත්තාන්තගත කළාම, අපට මොහාන් නවතන තැන ඉඳන් වර්තමානය දක්වා කතාවේ ඉතුරු ටික කියවාගන ලියාගන එන්න පුළුවන්කම ලැබෙනවා කියලා මම මුලින් ම කිවුවේ ඒ නිසා. අපේ කතාව අපටම ලියාගෙන කියවාගන්න පුළුවන් නිසා. අපට උණේ මොකක්ද කියන එක තේරුම් ගන්න අවකාශයක් ලැබෙනවා. මොහාන් ජනප‍්‍රිය ඉතිහාස කතාකරුවන්ගේ මග නොයා වෙනස් මගක යෑමට ගත තීරණය පිළිබඳ අපට සතුටු විය හැක්කේ ඒ නිසායි. ඔහු පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකි වන්නේත් මේ නිසායි.
රාවය
Read more
Wednesday, January 13, 2016
මහගමසේකරයන් ගැන ඔහුගේ දියණිය නිරූපමා හෙළි කළ මතක සටහන්

මහගමසේකරයන් මෙන්ම කේ. ජයතිලකයන්ද අද ජීවතුන් අතර නැත. මේ දෙදෙනාම පාසල් වේදිකාවේ එකට රඟපා ඇති බව මේ දෙදෙනාගේම රසිකයන් වැඩි දෙනෙකු නොදන්නා කරුණක් යයි සිතමි. ඔවුන් මෙසේ එකට රඟපා  ඇත්තේ මීට වසර හැත්තෑ පහකට පමණ පෙරය. මේ පිළිබඳව ඔවුන් මා සමග විස්තර කළේ 1975 දෙසැම්බර් මාසයේ ‘සරසවිය’ පුවත්පතට මා ලියූ ලිපියක් සඳහාය. එදා මගහමසේකරයන් මට ඒ සිද්ධිය විස්තර කළේ මෙසේය.
“මම උපන්නේ 1929 අප්‍රේල් 07 වෙනිදා රදාවාන ගමේ. මම පවු‍ලේ එකම දරුවා. පුංචි කා‍ලේ ඉඳලම කලාවට ඇළුම් කළා. රදාවානේ පිරිමි පාස‍ලේ මා සමග එකට ඉගෙන ගත් යාළුවෙක් තමයි කේ. ජයතිලක.  අපි අතරේ ඥාති සම්බන්ධයකුත් තිබුණා. අපි දෙන්නා “විජයාවතරණය” කියන නාට්‍යයේ රඟපාලත් තියෙනවා. මම රඟපෑවේ ඇමැති කෙනකුගේ චරිතයක්. ජයතිලක රඟපෑවේ තාපසයෙකුගේ චරිතය. එතකොට අපි දෙදෙනාටම වයස අවුරුදු 12ක් විතර ඇති. මේ නාට්‍යයේ තවත් චරිතයක් රඟපෑ යාලුවෙක් තමයි දො.ඩ. ඩයස්. ඔහු පසුව රදාවාන මහා විද්‍යාලයාධිපති ධුරය දරා සිළුමිණ කර්තෘ මණ්ඩලයේත් සේවය කළා.”
සේකර, ජයතිලක හා ඩයස් පාස‍ලේ පුස්තකාලයේ තිබූ ‍පොත් සියල්ලම පාහේ කියවා තිබුණි. සාහිත්‍ය කලාවට ලැදි මේ තිදෙනාට පමණක් සීමා වූ “සාහිත්‍ය සංසදයක්”ද විය. ජයතිලක හා සේකර අතර නෑ කමක්ද විය. ජයතිලකගේ සීයා (මවගේ පියා)ත්, සේකරගේ මවත් සහෝදර සහෝදරියෝ වූහ.
චිත්‍ර ඇඳීමට, කවි ලිවීමට, කතා ගෙතීමට දස්කම් පෑ සේකරයන් පාස‍ලේ සිටි හොඳම ගණන්කාරයාය. ගණන්කාරයා කීවේ චණ්ඩියකු වූ නිසා නොව ගණිතය විෂයයට ඔහු තුළ තිබූ විශේෂ දක්ෂතාව නිසාය. සාමාන්‍යයෙන් කලාවට ලැදි අය ගණිතය වැනි විෂයයන්ට දස්කම් නොදක්වන බවට මතයක් තිබුණද සේකරට එය අදාළ නොවීය. ගණිතයට මෙන්ම ක්‍රීඩා අංශයෙන්ද ඔහු පාස‍ලේ කැපී පෙනුණු ශිෂ්‍යයෙකි. හැඩිදැඩි, උස සිසුවෙකු වූ ඔහු වොලිබෝල් ක්‍රීඩාවෙහිද කැපී පෙනුණේය. සේකරගේ ප්‍රියතම ‘ඩෑෂ්’ පහර දැකීමට පාස‍ලේ සිසුවන් මෙන්ම ක්‍රීඩා ලෝලීන් ප්‍රිය කළේය. වයසින් වැඩුණු සේකර හා සමග වොලිබෝල් පිටියේ ප්‍රති පිළේ දක්ෂ “ඩෑෂ්” ප්‍රහාරකයා වූයේ පසුව චිත්‍රපට නළුවකු, චිත්‍රපට කතා රචකයකු වූ මියගිය සේනාධීර රූපසිංහය.
සේකර දක්ෂ ගායකයකු ලෙසද ප්‍රතිභාවක් දැක්වුවද එය වර්ධනය කර නොගත්තේ මඳක් ලැජ්ජාශීලීවූ නිසාය. පරණ නාඩගම්, නූර්ති ගී රැසක් ඔහුට කටපාඩම් තිබුණි. මේ අත්දැකීම් ඇතුළත් සිද්ධි කිහිපයක් ඔහුගේ “තුංමං හන්දිය” චිත්‍රපටයේ වෙයි. ටීටර් ආභාසයෙන් ඔහු විසින්ම ලියනු ලැබූ දුටුගැමුණු කුමරුගේ සිංදුව විජේරත්න වරකාගොඩ ලවා ගායනා කොට, එම චරිතයද ඔහු ලවාම ගමේ ටීටර් මඩුවක රඟදැක්වෙන අවස්ථාවකට ඇතුළත් කළේය.
චිත්‍රපටයේ එන කුඩා සිරිසේන මේ අවස්ථාව අනුගමනය කරමින් කොස් කොළවලින් ඔටුන්නක් හිසේ පැළඳ ඒ ගීතය ගයන දර්ශනය තමාගේ කුඩා කාලය පිළිිබඳ මතකයන් ඇසුරෙන් නිර්මාණය කෙරුණක් යයි සේකර පවසා ඇත.
සේකරයන්ගේ බාප්පා ගමේ නාට්‍ය ශාලාවක් ගොඩනගා කොළඹිනුත්, මීගමුවෙනුත් නාට්‍ය කණ්ඩායම් ගෙන්වා ප්‍රදර්ශනය කර තිබේ. මේ ටීටර්වල බෙන්ජමින් ප්‍රනාන්දු හා සෙබස්තියන් පීරිස් ගැයූ ගීතවලට තමා බෙහෙවින් ඇළුම් කළ බව සේකරයන් අපට එදා විස්තර කළේය.
“මේ ටීටර්වල ගැයූ ගීත, විශේෂයෙන් “මේ කය මගේ ‍පොහොර වේවා ඡන්ම භූමි” ගීතය මගේ සිත තුළ ගීත රචනය පිළිබඳව ආසාවක් ඇති කළා. පිටින් නාට්‍ය ගෙන්වා රසිකයන් පින වූ බාප්පා ඊට පසු තාත්තාත් හවුල් කරගෙන නාට්‍ය හදා ගමේ පෙන්නුවා. තාත්තාත් මේ නාට්‍යවල රඟපෑවා. මේ නාට්‍යවල සභාවේ ගීතය ගායනා කළේ එවකට අවුරුදු 11ක් පමණ වූ මම. ප්‍රධාන අමුත්තා පිළිගනිමින්

“සැරදේ ලොව පාලන සුරනා” යනුවෙන් මා ගැයූ ගීතය මට අදත් මතකයි. මේ නාට්‍යවල ‍පෝස්ටර්වල “අද රෑ හොඳ රෑ” කියලා උඩින්ම ලියන්න කියලා බාප්පා මතක් කළා” සේකරයන් එදා කීවේය.
ගීත රචනයට සම්මාන රැසකින් පුද ලැබූ සේකරයන් අමරදේව, නන්දා මාලිනී, වික්ටර්, සනත්, අමරා, දයාරත්න වැනි ගායක ගායිකාවන්ට ගීත රචනය කළ අතර තමාට ගීත රචනා කිරීමට නොහැකි වූ ටී.එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ, රෝහණ බැද්දගේ, අබේවර්ධන බාලසූරිය ආදීන්ට ගීත ලිවීමට ආසාවෙන් සිටියේය. මේ සියලු ගායකයන්ගේ ප්‍රතිභාව අගය කළ ඔහු ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි, එම්.එස්. ප්‍රනාන්දු ගායකයන් ගැන අසීමිත ලෙස අගය කළේය. විශේෂයෙන් එම්.එස්. ගේ ගීත රචනා ඔහු අගය කළේ ඒවා ගයමින් උදාහරණද සපයමිනි. මේ හතර දෙනාටම ගීත ලිවීමට සේකර සැදී පැහැදී සිටියේය.  නමුත් ඒ සඳහා ඔහුට අවස්ථාවක් ලැබුණේ නැත.
සේකරයන් මියයාමට පෙර, අවසන් වරට හමු වූ අවස්ථාවේ  ඔහු අපට කියා සිටියේ තමා ලියූ “ප්‍රබුද්ධ කාව්‍යය”  (අත්පිටපත පෙන්වමින්) සිනමාවට නගන බවය. “මගේ අලුත්ම චිත්‍රපට කතාව කවියෙන් ලියලා ළඟදීම රූපගත කරනවා. කවියෙන් ලියලා තියෙන්නේ චිත්‍රපටයකට නගන ආකාරයටමයි“ ඔහු අප සමග කීවේය.
සේකරයන් වියෝවී වසර 38 ක් පිරෙන මොහොතක ඔහුගේ දියණිය නිරූපමා සමග කතා බහ කිරීමේ අවස්ථාවද අපට උදා විය. සිවිල් ඉංජිනේරු සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයකු වන ආනන්ද බණ්ඩාර වීරසූරිය සමග විවාහ වී සිටින ඇය පදිංචිව සිටින්නේ කිරුළපන හින්දු කෝවිල ආසන්නයේ ඇති ‘හැව්ලොක් සිටි’ අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ ය. නිරූපමා කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන්නීය.
“තාත්තා මියයන විට මට අවුරුදු අටක් විතර ඇති. මගේ ලොකු අක්කාත් බාල මල්ලීත් සමග අම්මාත් තාත්තාත් සමග ගත කළ ජීවිතය අපේ ජීවිතේ කිසිදා අමතක වෙන්නේ නෑ. තාත්තා අපට කවදාවත් දඬුවම් කළේ නෑ. පාසල් නිවාඩුවට අපි තාත්තාගේ මොරිස් මයිනර් කාර් එකෙන් විනෝද ගමන් ගිය හැටි මට තවම මතකයි. නෑ ගෙවල්වල ගියා.
තාත්තාට ගීත රාශියක් කටපාඩම්. ඒ වගේම ලස්සනට ගීත ගයන්නත් පුළුවන්. තාත්තා ගැයූ ගීත අතර “අන්න බලන් සඳ”, “සුවද පද්ම ඕලු ආදි”, “ප්‍රේමයෙන් මන රංජිත වේ”, “කවාලා විළඳ ජාති”, “සාන්ත ජෝන්ගේ වීදියේ කඩේ” ගීත අපටත් පාඩම් තිබුණා. ඒ කා‍ලේ අපි පදිංචි වෙලා හිටියේ ගම්පහ ශ්‍රී බෝධි පාරේ ගෙයක. මේ ගෙදර ඉඳලා තාත්තාගේ මහ ගෙදර (කන්නිමහර) ඉන්න ආතාත්, ආච්චිත් බලන්න නිතර ගියා. ආතාත් (ජෝන් අප්පුහාමි) ආච්චිත් අපිට ගොඩක් ආදරෙයි. ආතා ‍පොත් කියවන්න රුසියෙක්, තාත්තා වගේම තමයි. ආතයි, ආච්චියි මියගියේ අසූව දශකයේ.”
නිරූපමා කියන විදිහට තම පියා කෑම මේසය ළඟ පුටුවක ඉඳගෙන රෑ වනතුරු ‍පොත් කියවා ඇත. තම පියා හැම විෂයයකම
‍පොත් කියවූ බවයි ඇගේ මතකය.
“තාත්තා චිත්‍රයක් අඳින විට අපි දඟ කළොත් උපායශීලීව අපවත් චිත්‍ර අඳින්න පුරුදු කරනවා. ඒ වෙලාවට ඩේ‍රා්වින් ‍පොත් දීලා පාට පැන්සල්, පැස්ටල් දීලා අප අවට තියෙන දේ අඳින්න කියනවා. තාත්තා කවියක්, ගීතයක් හෝ ලිපියක් ලියන විට කඩදාසි අපට දීලා අවට තියෙන දේවල් ගැන රචනා ලියන්න කියනවා. අනියම් ලෙස  අපිව රස විඳින්න පුරුදු කළේ එහෙම. මේ උපක්‍රම නිසා තාත්තාට තාත්තාගේ වැඩේ කරගන්නත් විවේකය ලැබෙනවා අපේ කරදරවලින් මිදිලා. මේ ආකාරයෙන් මමත් මල්ලිත් චිත්‍රවලටත්, අක්කා කවි ලියන්නත් පෙළඹුණා. අවසන්වරට පට්ටි‍පොළට අපි විනෝද ගමනක් ගිය හැටි මතක් වෙනවා. තාත්තා අවට සොබා සෞන්දර්යය චිත්‍රයට නැගුවා. අක්කා කවි ලිව්වා. මල්ලියි මමයි චිත්‍ර ඇන්දා.”
තම මව කුසුමලතා සුරවීර පියාගේ වැඩ කටයුතුවලට දිරිදුන් අයුරුත්, පියාගේ සාර්ථක නිර්මාණ කටයුතුවලදී මව සෙවනැල්ලක් සේ පිටුපසින් සිටි අයුරුත් නිරූපමා සිහිපත් කළාය. කුසුමලතා මේ දිනවල අසනීපයෙන් තම දියණියගේ නිවසේ පසුවන්නීය.
“තාත්තාට අම්මා මුණගැසී ඇත්තේ අපේ පුංචි අම්මා නිසා. ඇගේ නම ඉන්දුමතී සුරවීර. පුංචි අම්මාත් තාත්තාත් ඒ කා‍ලේ සේවය කළේ ගුවන් විදුලියේ. පුංචි අම්මා සමහරවිට තාත්තාට අම්මාව යෝජනා කරන්න ඇති. පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වූ අම්මා ගුරුවරියක් හැටියට ගම්පහ රත්නාවලියෙත්, අපි කොළඹ ආවම බොරැල්‍ලේ රත්නාවලියෙත් ඉගැන්නුවා. අම්මාට හොඳ රස විඳීමේ ශක්තියක් තිබුණා. විශ්වවිද්‍යාලයේදී අම්මා සිංහල, පාලි, සංස්කෘත ඉගෙනගත් නිසා සාහිත්‍යය විෂයය රහට උගන්වන්න පුළුවන් වෙන්න ඇති. අම්මගෙ ගෝලයෝ කියනවා අපිට කුසුමලතා
ටීචර් සාහිත්‍ය උගන්වන කොට අහගෙන ඉන්න ආසයි කියලා. ඒක මට තේරුණේ අම්මා මට ගෙදරදී උසස් පෙළට සාහිත්‍ය උගන්වනකොට”
නිරූපමා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, දේවි බාලිකාව හා විශාඛා විදුහල යන පාසැල්වල  අධ්‍යාපනය ලබා ඇත. ඇගේ සොයුරිය පාඨලී දිගටම ඉගෙනගෙන ඇත්තේ විශාඛාවේය. ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ කථිකාචාර්යවරියකි. ඇගේ සැමියා ආචාර්ය උපාධියට ඉගෙනීම ලබන නිසා ඇය මේ දිනවල නවසීලන්තයේ පදිංචිව සිටින්නීය. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මල්ලි (රවින්ද) පරිගණක ඉංජිනේරුවෙකි.
පවු‍ලේ තුන්වැනි පරපුර නියෝජනය කරමින් නිරූපමාගේ බාල දියණිය සුඛන්යා වීරසූරිය මෑතදී “බෝල පූසා’ නමින් ළමා ‍පොතක් නිකුත් කළාය. විශාඛා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය එහි චිත්‍රද ඇඳ ඇත. ඇගේ වැඩිමහල් දියණිය සුලක්ණාද විශාඛාවේ උසස් පෙළ හදාරයි.
“මගේ තාත්තා ළමා ‍පොත් දෙකක් ලියලා තියෙනවා. ‘පුංචි අයට කයි කතන්දර’ හා ‘සරු ‍පොළොවක් අපට ඇතේ’ කියලා. සීයාගේ උරුමය ලබලාද කොහේද පුංචි මිනිබිරියත් චිත්‍ර ඇඳලා කතා ලිවීමට පෙළඹිලා. දුවගේ ‍පොතේ පිටපත් නොමිලයේ විශාඛාවේ 1 ශ්‍රේණියේ දරුවන්ට ඇය පිරිනැමුවේ ලොකු සතුටකින්” නිරූපමා කීවාය.
තම පියා අවසාන කාලයේ වැඩිපුර ඇසුරු කළේ මහාචාර්ය ජෝතිය ධීරසේකර (පසුව පැවිදි විය), බන්දුල ජයවර්ධන, කේ. ජයතිලක, එච්.එම්. මොරටුවගම වැනි අයයි. තාත්තා අන්තිම කා‍ලේ බෞද්ධ ‍පොතපත ගොඩක් කියෙව්වා. ධම්මපදය, ත්‍රිපිටකය විශේෂයි. තාත්තා “ප්‍රබුද්ධ” ලියන කා‍ලේ ඉඳිගොල්ල පන්ස‍ලේ භාවනා කළා. මට මතකයි වෙසක්දාට අපි එක්ක ලස්සන වෙසක් කූඩු හදලා රෑට පහන් දල්වා ඒ දෙස භාවනා කරනවා වගේ බලන් ඉන්නවා.  අදටත් හැම වෙසක් ‍පෝයකටම මට මේ දර්ශනය  මැවිලා පෙනෙනවා” නිරූපමා කීවාය.

ඒ.ඩී. රන්ජිත් කුමාර
Read more
නාමල්ගේ සමාගම විකුණා කළුසල්ලි සුදු කළාද? ස්ථාවර ගිණුමට ඩොලර් 58,000ක් ආවේ කොහෙන්ද?

ලසන්ත රුහුණගේ

නාමල්ගේ සමාගම සැක ගනුදෙනුවල’ මැයෙන් පසුගිය සතියේ ලියූ ලිපිය අවසන් කරන ලද්දේ ‘මෙම සැකය තවදුරටත් වර්ධනය කරන්නේ නාමල් රාජපක්ෂගේ NR කන්සල්ටන්ට්ස් සමාගමේ නාමල් රාජපක්ෂ සතු රුපියල් 10ක එක් කොටසක් වූ එම සමාගමේ කොටස් අයිතිය 2013 ඔක්තෝබර් 25 දින බංග්ලාදේශයේ ඩකා නගරයේ අහමඞ් අල් ෂමාස් නමැත්තකුට පවරාදීම නිසාය. ඉහත කරුණු සැලකිල්ලට ගෙන ඒ ඇයිද යන්න ආපස්සට සෙවීම දූෂණ වංචා සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක ආයතනවල වගකීම බව අපි අවධාරණය කරමු’ යනුවෙන් අවධාරණය කරමින්ය.

මේ ගැන හොයන දූෂණ වංචා සෙවීමේ ආයතනවලට ඒ පරීක්‍ෂණ සඳහා පහසුවිය හැකි තොරතුරු තවදුරටත් අපට සොයා ගැනීමට හැකිවී ඇත. සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති භඍ කන්සල්ටන්ට්ස් ලිපිගොනුව අනුව මේ බංග්ලාදේශ ජාතිකයාගේ නම හා ලිපිනය සඳහන්වන්නේAhammad Al Zaman, House No 18, Road No 9, Baribbara Gulsman, Dhaka, Bangladesh යනුවෙන්ය.

මෙම කොටස් අයිතිය අත්හැරීම වෙනුවෙන් විදේශ ගනුදෙනුවක් සිදුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව පවතී. ඉහත එම බංග්ලාදේශ ජාතිකයාට නාමල් රාජපක්ෂ ඔහුගේ රුපියල් 10ක් වූ නාමික කොටස් අයිතිය පවරා ඇත්තේ රුපියල් මිලියන 50ක් හෙවත් රුපියල් කෝටි 5කටය. මේ විදේශ ගනුදෙනුව වෙනුවෙන් නාමල් රාජපක්ෂ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එවකට පැවති 0.5%ක මුද්දර ගාස්තු අගය අනුව රුපියල් දෙලක්ෂ පනස්දාහක මුදලක් ගෙවා තිබේ.

ප‍්‍රශ්නය ඇත්තේ එම මුද්දර ගාස්තු ගෙවීම හා ඊට අදාළ විදේශ ගනුදෙනුව තුළය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අපගේ ආරංචි මාර්ග ප‍්‍රකාශ කරන්නේ, අදාළ මුද්දර ගාස්තු ලබාගැනීම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප‍්‍රතික්‍ෂෙප කළ බවය. එහෙත්, ඉහළ බලපෑමක් මත අදාළ මුද්දර ගාස්තු ගෙවීම එම දෙපාර්තමේන්තුවට එම කාලයේදී අනුමත කරන්නට සිදුවූ බවය.

මුද්දර ගාස්තු ලබාගැනීම ප‍්‍රතික්‍ෂෙප කිරීම සඳහා එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන හේතු කිහිපයකි. එකක් මෙවැනි විදේශ මුදල් ගනුදෙනුවක් සිදුවිය යුත්තේ ශ‍්‍රී ලංකා මහ බැංකුව දැනුවත්ව ඔවුන් හරහා වීමය. ඒ අනුව විදේශයකින් මෙවැනි ගනුදෙනුවකට මුදල් එන්නේ නම් මුලින්ම එම මුදල් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ගිණුමකට බැරවී පසුව ශ‍්‍රී ලාංකික හිමිකරුවාට ලැබිය යුතුය. අනෙක දේශීය සමාගමක කොටස් අයිතිය විදේශිකයෙකු සතු වෙනවා නම් එම පුද්ගලයා කවුද යන්න තානාපති කාර්යාලය හරහා තහවුරු කරගෙන තිබිය යුතුය.

එහෙත් මෙම රුපියල් කෝටි 5ක ගනුදෙනුවේදී ඒ කිසිවක් සිදුවී තිබුණේ නැත. මුදල් ඇවිත් තිබුණේ කෙලින්ම නාමල් රාජපක්ෂටය. ශ‍්‍රී ලංකා මහ බැංකුව හරහා එය සිදුවී තිබුණේ නැත. නාමල් රාජපක්ෂ පෑන් ඒෂියා බැංකුවේ ඇති ඔහුගේ ගිණුම්වල එම මුදල් තැන්පත් කරගෙන ඇත. (NRකන්සල්ටන්ට්ස් සමාගම සිය බැංකු කටයුතු පවත්වාගෙන ගොස් ඇත්තේ පෑන් ඒෂියා බැංකුව සමගය. එහි කූප‍්‍රකට අයිතිකරුවා වන්නේ ධම්මික පෙරේරාය. පහසුවෙන්ම හඳුනා ගැනීමට කිවහොත් කැසිනෝ හිමි ධම්මික පෙරේරාය. මහින්ද රාජපක්ෂ විසින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්කමට පත්කරන ලද ධම්මික පෙරේරාය. ඔහුගේ බැංකුව තුළ නාමල් රාජපක්ෂට කළ නොහැකි ගනුදෙනුවක් නොමැති බව අමුතුවෙන් කිවයුතු නැත.) ඒ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ කිසිදු අනුදැනුමකින් හෝ අවසරයකින් තොරවය. සමහරවිට මෙම ගනුදෙනුව ගැන මහින්ද රාජපක්ෂ හිතෛෂී, නාමල් රාජපක්ෂ පසුපස ගිය එවක මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පෞද්ගලිකව දන්නවා ඇත.

අනෙක මෙම කොටස් අයිතිය පැවරීමේදී ඒවා ලබාගත් බංග්ලාදේශ ජාතිකයා සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රයේ ඡුායා පිටපතක් පමණය. සාමාන්‍ය පටිපාටිය අනුව නම් එම පුද්ගලයා භෞතිකව හඳුනා ගැනීමක් හෝ තානාපති කාර්යාල හරහා හඳුනා ගැනීමක් සිදුවිය යුතුය. එහෙත් ඒ කිසිවක් සිදුවී නැත. අනෙකුත් කොටස් හුවමාරු විදේශ ගනුදෙනුවලදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ පුද්ගලයා භෞතිකව හඳුනා ගැනීමෙන් පසුවය.

නාමල් රාජපක්ෂගේ  NR කන්සල්ටන්ට්ස් පෞද්ගලික සමාගමේ කොටස් අයිතිය, ලියවිලි අනුව එනම් බංග්ලාදේශ ජාතිකයකුට මාරු වූවාට රාජපක්ෂවරුන්ට එහි ප‍්‍රශ්නයක් නොවන බව පෙනෙන්නේ කරුණු කිහිපයක් නිසාය.

එකක් NR කන්සල්ටන්ට්ස් සමාගමේ එක් අධ්‍යක්ෂවරියක වශයෙන් කටයුතු කරන සුදර්ශා බණ්ඩාර ගනේගොඩගේ ලිපිනය වශයෙන් සඳහන්වන්නේ අංක 175/2, පරණ කැස්බෑව පාර, මිරිහාන, නුගේගොඩ යන මහින්ද රාජපක්ෂගේ ලිපිනය වීම නිසාය. අනෙක NR කන්සල්ටන්ට්ස් සමාගමේ ලේකම්වරුන් වශයෙන් 2015 ජනවාරි 16 දින සිට ගවර්ස් සෙක‍්‍රටේරියල් සර්විසස් නමැති ආයතනයක් පත්වන නිසාය.

මේ ගවර්ස් සෙක‍්‍රටේරියල් සර්විසස් සමාගම ගවර්ස් කෝපරේට් සර්විසස් පෞද්ගලික සමාගමේම අනුබද්ධ සමාගමක් බව පෙනේ. සමාගම් මැදුරේ ඇති ලියවිලි අනුව ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම සමාගම් ලේකම්වරුන් වශයෙන් කටයුතු කිරීම සඳහා ඔවුන්ගේ අරමුණු වෙනස් කරන්නේ 2013 නොවැම්බර් 25 දිනය. ඒ බංග්ලාදේශ ජාතිකයා හා සිදුවූ ගනුදෙනුවෙන් පසුය. මෙම ගවර්ස් කෝපරේට් සර්විසස්හි එක් අධ්‍යක්ෂවරියක වන්නේ අංක 66, උයන, මොරටුවෙහි නිත්‍යා සේනානි සමරනායකය. ඇය භඍ කන්සල්ටන්ට්ස්හිද අධ්‍යක්ෂවරියකි. එමෙන්ම ගවර්ස් කෝපරේට්හි රුපියල් 10/-ක නාමික අගයෙන් යුත් කොටස් 100හි හිමිකරුවා වන්නේ නාමල් රාජපක්ෂගේ NR කන්සල්ටන්ට්ස් සමාගමය.

ඒ අනුව ලියවිලිවල සඳහන් පරිදි සැබෑ ලෙසම මෙම ගනුදෙනු සිදුවී තිබුණේ නම් නාමල් රාජපක්ෂගේ NR කන්සල්ටන්ට්ස්ට කොටස් අයිතිය තිබූ ගවර්ස් කෝපරේට්හි අයිතියද ඉහත කී බංග්ලාදේශ ජාතිකයාට හිමිවී තිබිය යුතුය. ඒ වත්මනේ නොව 2013 වර්ෂයේ ඔක්තෝබර් 25 දින සිටමය. එම කාලය තුළ භඍ කන්සල්ටන්ට්ස් මෙන්ම ගවර්ස් කෝපරේට් ශ‍්‍රී ලංකාව තුළ සිදුකළ ගනුදෙනු හෝ ක‍්‍රියාකාරකම්වලින් උපයා ගත් ලාභය එක්කෝ එම සමාගම්හි ගිණුම්වල තිබිය යුතුය. නැත්නම් ලියකියවිලිවල සඳහන් අයිතිකරු වූ බංග්ලාදේශ ජාතිකයා සතු දේශීය ගිණුමක හෝ තිබිය යුතුය. එසේත් නැතිනම් එම බංග්ලාදේශ ජාතිකයා එම මුදල් නීත්‍යනුකූලව මෙරටින් රැුගෙන ගිය බවට ශ‍්‍රී ලංකා මහ බැංකුව සතුව සාක්ෂි තිබිය යුතුය.

මෙම කරුණු සොයා ගැනීම මූල්‍ය අපරාධ පිළිබඳ පරීක්ෂණ පවත්වන ආයතනවලට අමාරු නැත. වුවමනා වන්නේ සැබෑ වුවමනාවක් පමණය. නාමල් රාජපක්ෂගේ NR කන්සල්ටන්ට්ස් විසින් පෑන් ඒෂියා බැංකුව තුළ පවත්වාගෙන ගිය බැංකු ගිණුම් කිහිපයක තොරතුරු අප සතුව පවතී. එම බැංකු ගිණුම් අංක වන්නේ 033693242113, 033693240215 හා 033693240118 යන ඒවාය. මෙම බැංකු ගිණුම් හරහා දේශීය වශයෙන් සිදුකළ රුපියල් ගනුදෙනු පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් සිදුකළ ඩොලර් ගනුදෙනුද සිදුවී ඇති බව සැකකරන්නට හේතුවූ කරුණුද අප සතුව පවතී. ඒ NR කන්සල්ටන්ට්ස් සතුව තිබූ ඇමරිකානු ඩොලර් 58000ක ස්ථාවර තැන්පතුවක් ගවර්ස් කෝපරේට් සමාගමේ ඇමරිකානු ඩොලර් ස්ථාවර තැන්පතුවට මාරු කරන ලෙසට NR කන්සල්ටන්ට්ස් සමාගම විසින් පෑන් ඒෂියා බැංකුවට කරන ලද ලිඛිත දැනුම්දීමය. එම දැනුම්දීම සිදුකර ඇත්තේ 2013 ජූනි 12 වැනි දින සහිතවය. දේශීය වශයෙන් සිදුවන ගනුදෙනුවලදී (දේශීය පුද්ගලයන්ට සේවා සැපයීමේදී) හුවමාරුවන්නේ ශ‍්‍රී ලංකා රුපියල් වන අතර ඇමරිකානු ඩොලර් ලැබීමට නම් එම ගනුදෙනු ජාත්‍යන්තර ගනුදෙනු විය යුතුය. ඇමරිකානු ඩොලර් ස්ථාවර ගිණුම් පිළිබඳ ඉහත සඳහන් ලිපිය හුවමාරු වන්නේ NR කන්සල්ටන්ට්ස් සමාගමේ නාමල් රාජපක්ෂ සතු රුපියල් 10ක නාමික අගය සහිත කොටස රුපියල් කෝටි පහක මුදලකට බංග්ලාදේශ ජාතිකයාට විකිණීමට පෙර වන අතර ඒ අනුව ඔහු ඇමරිකානු ඩොලර්වලින් එම මුදල් ගෙව්වත් ස්ථාවර තැන්පතුවල ඇති ඇමරිකානු ඩොලර් එම මුදල් විය නොහැකිය. මන්ද එම මුදල රුපියල් කෝටි පහකට වඩා අඩු මුදලක් වන බැවින්ය.

විදේශීය ආයතනයක් හෝ පුද්ගලයකු සමග නාමික ගනුදෙනු සිදුවන්නේ කළු සල්ලි සුදුකිරීම සඳහා මෙතෙරින් එතෙරට යැවීමට හෝ එතෙරින් මෙතෙරට එවීම සඳහා වන අතර ලංකාවේ ඇති ශ‍්‍රී ලාංකිකයන් පවා නොදන්නා නීති උපදේශන සමාගමක් බංග්ලාදේශ ජාතිකයකුට මිලදී ගැනීමට වුවමනා වන්නේ අහවල් කෙංගෙඩියටද යන ප‍්‍රශ්නය අපට එහිදී පැන නගී. එම නිසා මෙම ගනුදෙනුව කළු සල්ලි සුදුකර එතෙර මෙතෙර කිරීමේ ජාවාරමක නාමික ලියවිලි වෙනස් කිරීමක් යන්නද බැහැර කළ නොහැකි සැකයකි.

එම නිසාම නාමල් රාජපක්ෂගේ NR කන්සල්ටන්ට්ස් පිළිබඳව හා ඒ ආශ‍්‍රිතව සිදුවී ඇති ගනුදෙනු පිළිබඳව පරීක්ෂණ සිදුකිරීම අත්‍යවශ්‍ය වන අතර එහිදී එම විදේශ මුදල් ගනුදෙනු සිදුවද්දී පෑන් ඒෂියා බැංකුව මෙන්ම ශ‍්‍රී ලංකා මහ බැංකුවද එම ගනුදෙනු නොදැක්කා සේ කටයුතු කර තිබීම ගැනද පරීක්ෂණ සිදුකිරීම අත්‍යවශ්‍යය.

ravaya -
Read more
කුඩු සහ තවත් බඩු

වත්තල මීගමුව ප්‍රදේශවලින් කොළඹට මහා පරිමාණයෙන් හෙරොයින් බෙදා හැරීම සඳහා ගෙන එන සමූහ ජාවාරම්කරුවන් හතර දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ඊයේ වාර්තා වී තිබිණි.

එමෙන්ම මීගමුවටම සම්බන්ධ තවත් මත් කතාවක්‌ද ඊයේ වාර්තා වී තිබිණි. ඒ, සමාජ ශාලාවල රහසිගතව විකුණනු ලබන ප්‍රංශයේ සිට රැගෙන ආ රුපියල් ලක්‍ෂ 8 1/2 ක්‌ වටිනා "මත් පෙති" තොගයක්‌ද අත්අඩංගුවට ගත් බවය.

පසුගිය කාලය පුරාම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ මෙවැනි තොරතුරු තොග පිටින් වාර්තා වූ බවද නැවත සිහිපත් කිරීමට අවශ්‍ය නැත. වෙලේ සුදාට මරණීය දණ්‌ඩනය හිමිවීමේ සිදුවීම තවමත් උත්කර්ෂයට නංවමින් සිටින අපට විටින් විට රටේ තැන් තැන්වලින් මතුවන මේ කුඩු කතන්දර ගැන එතරම් සිහියට එන්නේ නැත. එහෙත් රටේ ප්‍රධාන පෙළේ කුඩු ජාවාරම්කාරයන් වැඩි දෙනෙක්‌ අත්අඩංගුවට පත්ව සිටින මොහොතකත් කුඩු ජාවාරම යහමින් සිදුවීමම තත්ත්වයෙහි නරක බව පෙන්වන්නේය.

ඒ අනුව රටේ ප්‍රධාන නගර බොහොමයක "කුඩු පොට්‌" අරක්‌කු තැබෑරුම් ගාණට ඇති බව පෙනී යයි. කුඩු බිස්‌නස්‌ කරන අය අත්අඩංගුවට ගන්නා විට පෙනෙන තවත් වැදගත් කරුණක්‌ නම් එය පවුලේ ව්‍යාපාරයක්‌ හැටියට පවත්වාගෙන යන බවය. ප්‍රධාන නගරවල කුඩු ජාවාරමේ යෙදෙන සියලුම අයියලාට පාරිභෝගිකයන් සොයා ගැනීමේ ප්‍රශ්න මතු නොවේ. එක්‌වරම ජාවාරමේ තදයකු කොටු වූ විට ජාවාරම ටික දිනක්‌ ඇනහිටි විට මතුවන එකම ප්‍රශ්නය ඇත්තේ කුඩු සික්‌ එක හැදුණු අපතයන්ගෙන් පමණය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වටලා බුරුතු පිටින් අත්අඩංගුවට ගන්නා විට කුඩු ජාවාරමේ යෙදෙන කාලකණ්‌ණියෝ ප්‍රධාන නගරවලින් පිට ගම් පළාත්වලට පසු බසිති. වෙලේ සුදාගේ නැගණිය "බිස්‌නස්‌" ජයටම කර තිබුණේ මිනුවන්ගොඩ ආශ්‍රිතව බව ඒ දිනවල වාර්තා වී තිබිණි. ඒ එක්‌ නිදසුනකි.

මේ "මත්" කතා දෙකම මතුවන්නේ මීගමුව කේන්ද්‍ර කර ගනිමිනි. මීගමුව නොව ලංකාවේ හතර දිග්භාගයේ කවර ගමක වුව කුඩු ජාවාරමේ යෙදෙන වුන්ට අවශ්‍ය වන්නේ කෙසේ හෝ තම "කුඩු" සමාජයට යවා අතිශයවේගයෙන් පාරිභෝගිකයන් පිරිසක්‌ නිර්මාණය කර ගැනීමත් ඉක්‌මන් අලෙවියත්ය. කොළඹ ආශ්‍රිතව අලුත් පාරිභෝගිකයන් සෑදීමේ අවශ්‍යතාවක්‌ මතු නොවේ. දැනට කොළඹ විසිරි පැතිරී සිටින පාරිභෝගිකයෝම අලුත් පාරිභෝගිකයෝ "බෝ කිරීමේ" කටයුත්ත අපූරුවට සිදුකරති. ඉන් වාසිය සැලසෙන්නේ ජාවාරම්කරුවන්ටය.

සියලුම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඉලක්‌කය වන්නේ ගැටවර වියෙහි පාසල් දරුවන්ය. පසුගිය කාලයේ සංඛ්‍යා ලේඛනවලින් හෙළිව තිබූ කරුණු කාරණා අනුව මත්ද්‍රව්‍ය භාවිත කර අසු වූ අය අතර අවුරුදු 16 සිට 24 දක්‌වා පිරිස්‌ බහුල බවය.

විටින් විට හසුවන කුඩු තොගවලින් හෙළිවන්නේ ඒ ජාවාරමට අදාළ ගැනුම්කරුවන්ගේ පිරිස අඩුව නැතිs බවය. කුඩු ජාවාරම සාරෙට පැතිර යන්නේ ඊට දේශපාලනඥයන්ගේ සේම තවත් බොහෝ ඇති හැකි පිරිසකගේ "හයිය" ලැබෙන නිසා බව අමුතුවෙන් කිව යුතු නැත.

පසුගිය කාලයේ කුඩු ඇල්ලූ තරමට, කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා තරමට ගණන් හදා බැලුවොත් මේ වන විට ලංකාවේ කුඩු තබා ලී කුඩු හෝ ඉතිරිව තිබිය නොහැක. කුඩුකාරයන්ට එරෙහිව දෙන ලද තීන්දු සැලකූ විට අද වන විට කුඩුකාරයකු තබා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවා ඉතිරිව නැත. එය එසේ නොවන්නේ මන්දැයි අපි වගකිව යුත්තන්ගෙන් අසන්නේ ද්වේශයෙන් නොවේ. ජාත්‍යන්තරව විහිදී පැතිරී ඇති ප්‍රශ්නයක්‌ එසේ ලෙහෙසියෙන් තුරන් කිරීමට නොහැකි බව අපි තේරුම්ගෙන සිටින්නෙමු. එහෙත් ප්‍රශ්නය වන්නේ කුඩු සමගම තවත් "මත්වන" බොහෝ දේද රටට ගලා එන විටත් තත්ත්වය භයානක බව බොහෝ දෙනෙක්‌ තේරුම් නොගැනීමය.
Read more
Sunday, January 10, 2016
යහපාලනය හිරුණිකාට බයය

බලය නම් රාජ්‍යය යන්න තරමක්‌ පැරණි සම්භාවනීය දේශපාලන මතයකි. හේගල් වැනි දාර්ශනිකයන් පවා දැරූ න්‍යායකි. මෙය විශ්වාස කළ අයත් නොකළ අයත් ඉදිරියේ රාජ්‍යයන් බිඳවැටෙන විට කාටත් වැටහුණු පොදු සත්‍යය වූයේ බලය යන්න රාජ්‍යය වශයෙන් හඳුන්වනවාට වඩා බලය යන්න ජනතාව වශයෙන් හැඳින්වීම යුක්‌ති සහගත බවය.

මක්‌නිසාද ජනතාව යනු රාජ්‍යයන් ගොඩනඟන්නන් සේම, රාජ්‍යයන් බිඳහෙලන්නන්ද වන බවට දැන් සැකයක්‌ ඇත්තේම නැති නිසාය. පසුගිය වසරේ ජනවාරි 08 වැනිදා එතෙක්‌ ශ්‍රී ලංකාවේ පැවැති රාජ්‍යයට වැඩේ දුන්නේ ජනතාවය. ඇතැමුන් අර්ථ දක්‌වන පරිද්දෙන් ඒ සඳහා බොහෝ දේශීය බලවේගවල සහාය තිබෙන්නට ඇත. එසේම, තවත් සමහරුන් අර්ථ දක්‌වන පරිද්දෙන් ඒ සඳහා බොහෝ විදේශීය බලවේගවල ද සහාය තිබෙන්නට ඇත. එහෙත් පැවැති රාජ්‍යය (ආණ්‌ඩුව) දඩාස්‌ ගා බිම දැම්මේ ජනතාවය. ජනතාව විසින් එදා පැවැති රජයට එබඳු දරුණු දඬුවමක්‌ ලබාදුන්නේ ඒ රජය එළවළු මිල වැඩි කළ නිසා හෝ පාන් මිල වැඩි කළ නිසා හෝ මාර්ග දියුණු කළ නිසා හෝ නගර අලංකරණය කළ නිසා හෝ එදාත් තරමක්‌ කියෑවුණු සහ අද එදාටත් වඩා කියෑවෙන වෙනත් දහසකුත් එකක්‌ වැරදි නිසාමත් නොවේ. ඒ පාලනයේ සිටි ඇතැම් කැබිනට්‌ අමාත්‍යවරුන්ගේ පටන් ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන් දක්‌වා වූ පිරිස්‌ ජනතාවට පෙන්වූ ගඳ ෂෝ නිසාය.

මාධ්‍ය ආයතනවලට කඩා පැන චාටර් වීම, ඉන්පසු තමන්ගේ සපෝටර්ලා ලවා ඒවාට ගිනි තැබ්බවීම, දේශ භක්‌තියෙන් යුතුව විදේශීය කාන්තාවන් දූෂණය කිරීම, කන්‍යා දඩයම පමණක්‌ නොව ඒවායේ ශතක සැමරුම් සඳහා සුපිරි සාද පැවැත්වීම, කුඩා ආර්ථික සමාජ තුළ පවා ගෝඩ්µdදර්ලා බිහිකිරීම, සුදු වෑන් නමින් සංස්‌කෘතියක්‌ බිහිකිරීම වැනි අසම-ජාතිකම් හැමදාමත් ඉවසන මිනිසුනුත් රටක සිටිය හැකිද?

ශ්‍රී ලංකාව කාලිංග මාඝ යුගයට නොව, බලංගොඩ මානවයාටත් එහා ගල් යුගයට ගෙනගිය ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය නැත්තටම නැති කළ මහින්ද රාජපක්‍ෂගේ ආණ්‌ඩුව රාජපක්‍ෂ රෙජීමය වශයෙන් වූ නින්දා ලාපයකින් හැඳින්වීමට යෙදුණේත්, එයම පදනම් කරගනිමින් රටේ අසංස්‌කෘතික හෝදාපාළුවන්ට දේශීයකමට ස්‌වෛරීකමට, ස්‌වාධීනකමට පහර දීමට කදිම මාර්ගයක්‌ පෑදුණේත් ඒ නිසාය.

මනුෂ්‍යයා බඩ සුද්දවීමට බෙහෙත් බොන්නේ ආමාශගත නරක දැ බැහැර කරවීමට මිස බඩ බොකුවැලුත් බහිශ්‍රාවය කිරීමට නොවේ. එසේම, තිබුණු අජීර්ණය වෙනුවට වෙනත් ලෙඩක්‌ හදාගැනීමට ද නොවේ. අහෝ අපි ඒවා පසු වෙලාවක කතා කරමු.

කෙසේ වුවත් පසුගිය ආණ්‌ඩුව ඒ ආරක්‍ෂා කළ නපුරට එරෙහිව මිනිසුන් ඉල්ලා සිටියේ එක්‌ වැදගත් දෙයක්‌ බව දැන් හොඳටම පැහැදිලිය. ඒ නව ප්‍රජාතන්ත්‍රවාදයක්‌ මිස අනෙකක්‌ නොවේ. එක්‌තරා ආකාරයක අන්තගාමී ප්‍රජාතන්ත්‍රවාදයත් (Extreem Democracy) නොවන පැරණි ප්‍රජාතන්ත්‍රවාදයත් නොවන මේ නව ප්‍රජාතන්ත්‍රවාදය කොයි කවර දේශයකින් අනුප්‍රාණය ලැබුව ද ආභාෂය ලැබුව ද එය යහපාලනය නමින් හැඳින්වීම යුක්‌ති යුක්‌තය. අර්ථවත්ය.

එහෙත්, ප්‍රශ්නය නම් ඒ යහපාලනයේ පරමාර්ථයන් හා අපේක්‍ෂාවන් අප දෑස්‌ ඉදිරියේ දැන් දිස්‌වන්නේ ද යන්නය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ ආරක්‍ෂකයෝ පසුගියදා මිනිසකු පැහැරගෙන ගියෝය. වත්මන් රජය බලයට පත්වූ පසු රජයට අනුබද්ධ සමහර දේශපාලනඥයන් පසුගිය වසර තුළ ක්‍රියාකර ඇති නරක ආකාරය සමඟ සසදා බලන විට මේ වූ කලී එහි ඉදිරිගාමී පියවරක්‌ වශයෙන් පමණක්‌ සලකා නිහඬවීමට පුළුවන්කමක්‌ නැත. මිනිසුනට බයෙන් සලිතවීමට ද හේතුවක්‌ එය ඉතිරි කරයි.

එනම් එහි සියලු තතු අතිශය ප්‍රකටව තිබියදීත් පොලිසිය මෙම සිදුවීමට අදාළ කර්තෘවරිය අත්අඩංගුවට නොගැනීමය. රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගිය බ්‍රහස්‌පතින්දා "දිවයින" පුවත්පතට ප්‍රකාශ කළේ එම තැනැත්තිය යහපාලන ආණ්‌ඩුව දොවාගත් කිරි කළයට ගොම එකතු කළ බව සහ පොලිසිය තවමත් දේශපාලනඥයන්ට බය බවය.

ඉස්‌සර පොලිසිය දේශපාලනඥයන්ට බිය වූයේ දේශපාලනය නිසාය. දැනුත් පොලිසිය දේශපාලනඥයාට බිය දේශපාලන නිසාම නම් ඊට යහපාලනය යන විශිෂ්ට නම යෙදීමේ තේරුමක්‌ නැත. අපට මෙහිදී වැටහෙන එකම තේරුම ලබාගත හැක්‌කේ තුන් තේරවිල්ලකිනි. ඒ, මෙසේයá පොලිසිය පිට පළාත්වලදී පොඩි කොල්ලෙකුටවත් බය නැත. (ඇඹිලිපිටිය) පොලිසිය කොළඹදී යහපාලනයට බයය. යහපාලනය හිරුණිකාට බයය.
Read more

Recent Posts

Popular Posts

Popular Posts