Header Ads

යහපාලනය හිරුණිකාට බයය

බලය නම් රාජ්‍යය යන්න තරමක්‌ පැරණි සම්භාවනීය දේශපාලන මතයකි. හේගල් වැනි දාර්ශනිකයන් පවා දැරූ න්‍යායකි. මෙය විශ්වාස කළ අයත් නොකළ අයත් ඉදිරියේ රාජ්‍යයන් බිඳවැටෙන විට කාටත් වැටහුණු පොදු සත්‍යය වූයේ බලය යන්න රාජ්‍යය වශයෙන් හඳුන්වනවාට වඩා බලය යන්න ජනතාව වශයෙන් හැඳින්වීම යුක්‌ති සහගත බවය.

මක්‌නිසාද ජනතාව යනු රාජ්‍යයන් ගොඩනඟන්නන් සේම, රාජ්‍යයන් බිඳහෙලන්නන්ද වන බවට දැන් සැකයක්‌ ඇත්තේම නැති නිසාය. පසුගිය වසරේ ජනවාරි 08 වැනිදා එතෙක්‌ ශ්‍රී ලංකාවේ පැවැති රාජ්‍යයට වැඩේ දුන්නේ ජනතාවය. ඇතැමුන් අර්ථ දක්‌වන පරිද්දෙන් ඒ සඳහා බොහෝ දේශීය බලවේගවල සහාය තිබෙන්නට ඇත. එසේම, තවත් සමහරුන් අර්ථ දක්‌වන පරිද්දෙන් ඒ සඳහා බොහෝ විදේශීය බලවේගවල ද සහාය තිබෙන්නට ඇත. එහෙත් පැවැති රාජ්‍යය (ආණ්‌ඩුව) දඩාස්‌ ගා බිම දැම්මේ ජනතාවය. ජනතාව විසින් එදා පැවැති රජයට එබඳු දරුණු දඬුවමක්‌ ලබාදුන්නේ ඒ රජය එළවළු මිල වැඩි කළ නිසා හෝ පාන් මිල වැඩි කළ නිසා හෝ මාර්ග දියුණු කළ නිසා හෝ නගර අලංකරණය කළ නිසා හෝ එදාත් තරමක්‌ කියෑවුණු සහ අද එදාටත් වඩා කියෑවෙන වෙනත් දහසකුත් එකක්‌ වැරදි නිසාමත් නොවේ. ඒ පාලනයේ සිටි ඇතැම් කැබිනට්‌ අමාත්‍යවරුන්ගේ පටන් ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන් දක්‌වා වූ පිරිස්‌ ජනතාවට පෙන්වූ ගඳ ෂෝ නිසාය.

මාධ්‍ය ආයතනවලට කඩා පැන චාටර් වීම, ඉන්පසු තමන්ගේ සපෝටර්ලා ලවා ඒවාට ගිනි තැබ්බවීම, දේශ භක්‌තියෙන් යුතුව විදේශීය කාන්තාවන් දූෂණය කිරීම, කන්‍යා දඩයම පමණක්‌ නොව ඒවායේ ශතක සැමරුම් සඳහා සුපිරි සාද පැවැත්වීම, කුඩා ආර්ථික සමාජ තුළ පවා ගෝඩ්µdදර්ලා බිහිකිරීම, සුදු වෑන් නමින් සංස්‌කෘතියක්‌ බිහිකිරීම වැනි අසම-ජාතිකම් හැමදාමත් ඉවසන මිනිසුනුත් රටක සිටිය හැකිද?

ශ්‍රී ලංකාව කාලිංග මාඝ යුගයට නොව, බලංගොඩ මානවයාටත් එහා ගල් යුගයට ගෙනගිය ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය නැත්තටම නැති කළ මහින්ද රාජපක්‍ෂගේ ආණ්‌ඩුව රාජපක්‍ෂ රෙජීමය වශයෙන් වූ නින්දා ලාපයකින් හැඳින්වීමට යෙදුණේත්, එයම පදනම් කරගනිමින් රටේ අසංස්‌කෘතික හෝදාපාළුවන්ට දේශීයකමට ස්‌වෛරීකමට, ස්‌වාධීනකමට පහර දීමට කදිම මාර්ගයක්‌ පෑදුණේත් ඒ නිසාය.

මනුෂ්‍යයා බඩ සුද්දවීමට බෙහෙත් බොන්නේ ආමාශගත නරක දැ බැහැර කරවීමට මිස බඩ බොකුවැලුත් බහිශ්‍රාවය කිරීමට නොවේ. එසේම, තිබුණු අජීර්ණය වෙනුවට වෙනත් ලෙඩක්‌ හදාගැනීමට ද නොවේ. අහෝ අපි ඒවා පසු වෙලාවක කතා කරමු.

කෙසේ වුවත් පසුගිය ආණ්‌ඩුව ඒ ආරක්‍ෂා කළ නපුරට එරෙහිව මිනිසුන් ඉල්ලා සිටියේ එක්‌ වැදගත් දෙයක්‌ බව දැන් හොඳටම පැහැදිලිය. ඒ නව ප්‍රජාතන්ත්‍රවාදයක්‌ මිස අනෙකක්‌ නොවේ. එක්‌තරා ආකාරයක අන්තගාමී ප්‍රජාතන්ත්‍රවාදයත් (Extreem Democracy) නොවන පැරණි ප්‍රජාතන්ත්‍රවාදයත් නොවන මේ නව ප්‍රජාතන්ත්‍රවාදය කොයි කවර දේශයකින් අනුප්‍රාණය ලැබුව ද ආභාෂය ලැබුව ද එය යහපාලනය නමින් හැඳින්වීම යුක්‌ති යුක්‌තය. අර්ථවත්ය.

එහෙත්, ප්‍රශ්නය නම් ඒ යහපාලනයේ පරමාර්ථයන් හා අපේක්‍ෂාවන් අප දෑස්‌ ඉදිරියේ දැන් දිස්‌වන්නේ ද යන්නය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ ආරක්‍ෂකයෝ පසුගියදා මිනිසකු පැහැරගෙන ගියෝය. වත්මන් රජය බලයට පත්වූ පසු රජයට අනුබද්ධ සමහර දේශපාලනඥයන් පසුගිය වසර තුළ ක්‍රියාකර ඇති නරක ආකාරය සමඟ සසදා බලන විට මේ වූ කලී එහි ඉදිරිගාමී පියවරක්‌ වශයෙන් පමණක්‌ සලකා නිහඬවීමට පුළුවන්කමක්‌ නැත. මිනිසුනට බයෙන් සලිතවීමට ද හේතුවක්‌ එය ඉතිරි කරයි.

එනම් එහි සියලු තතු අතිශය ප්‍රකටව තිබියදීත් පොලිසිය මෙම සිදුවීමට අදාළ කර්තෘවරිය අත්අඩංගුවට නොගැනීමය. රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගිය බ්‍රහස්‌පතින්දා "දිවයින" පුවත්පතට ප්‍රකාශ කළේ එම තැනැත්තිය යහපාලන ආණ්‌ඩුව දොවාගත් කිරි කළයට ගොම එකතු කළ බව සහ පොලිසිය තවමත් දේශපාලනඥයන්ට බය බවය.

ඉස්‌සර පොලිසිය දේශපාලනඥයන්ට බිය වූයේ දේශපාලනය නිසාය. දැනුත් පොලිසිය දේශපාලනඥයාට බිය දේශපාලන නිසාම නම් ඊට යහපාලනය යන විශිෂ්ට නම යෙදීමේ තේරුමක්‌ නැත. අපට මෙහිදී වැටහෙන එකම තේරුම ලබාගත හැක්‌කේ තුන් තේරවිල්ලකිනි. ඒ, මෙසේයá පොලිසිය පිට පළාත්වලදී පොඩි කොල්ලෙකුටවත් බය නැත. (ඇඹිලිපිටිය) පොලිසිය කොළඹදී යහපාලනයට බයය. යහපාලනය හිරුණිකාට බයය.

No comments

Powered by Blogger.