Header Ads

කුරුඳුවත්තෙන් තාමත් බලි තටු හමුවන දේශපාලන රහස |අශෝක හඳගම -

අශෝක හඳගම

මොහාන්  රාජ් මඩවලගේ නවකතා පිළිබඳ විචාර ලිපි රැගත් ත‍්‍රිමාන  කෘතිය එළිදැක්වීමේ අවස්ථාව වෙනුවෙන් පිළියෙළ කළ කතාව

මොහාන් (රාජ් මඩවල) වර්තමානයේ සිට ඉතිහාසය පරිකල්පනය කරන් නෙකුගේ සිට ඉතිහාසය තුළ සිට වර්තමානය දකින්නෙකු දක්වා පරිවර්තනය වී ඇති බව ඔහුගේ අලූත් ම නවකතාව වන ආදරණීය වික්ටෝරියා කියවනකොට මට පැහැදිලි වුණා. පහුගිය කාලයේ ජනප‍්‍රිය ඉතිහාස කතා රචකයන් සහ අඩු වැඩි වශයෙන් මොහානුත් කළේ ඒකෙ අනිත් පැත්ත. ඒ කියන්නේ අද කන්නාඩියෙන් අතීතය දකින එක. අදට වුවමනා විදියට අතීතය පරිකල්පනය කරමින් අර්ථගන්වා ගන්න එක.

මාගම් සෝලිය නවකතාවට අදාළව මොහාන්ට තිබුණු ප‍්‍රධාන විවේචනයක් තමයි වර්තමානයේ නාගරික ලිංගික ෆැන්ටසිය ඔහු කාලයෙන් අතීතයටත්, අවකාශයෙන් ඈත ගමටත් ගිහින් ඒ මිනිස්සුන්ගේ ජීවිතවලට ආරෝපණය කරන බව. අඩු වැඩි වශයෙන් මේ විවේචනයේ සත්‍යයක් තියෙනවා. ඒත් ඔහු ඔහුගේ ආදරණීය වික්ටෝරියා නවකතාවෙන් ඒ චෝදනාවෙන් ගැල වෙනවා. අද හෙවත් වර්තමානයේ ඉඳන් ඉතිහාසය ගොඩ නගනවා වෙනුවට මොහාන් ඉතිහාසයේ සිදුවීම් සහ සාක්ෂි පිළිවෙලට වෘතාන්තයකට ගළපා තියෙනවා වර්තමානය කියවා ගන්න.

මගේ අදහස් දැක්වීම මම වික්ටෝරියා නවකතාව කියවීමේදී මෙන්න මේ කාරණා ඔස්සේ මට සිතුණු සිතුවිලිවලට පමණක් සීමා කරන්නට කැමතියි. කිසිසේත්ම මෙය නවකතාව පිළිබඳ විචාරයක් නෙවෙයි. මම විචාරකයෙකු නොවන නිසා මට එහෙම කරන්න සදාචාරාත්මක අයිතියකුත් නැහැ.
මේ කථාව මට දැනෙන්නේ අද අපේ සමාජය පෙළන ව්‍යාධියේ නිධානය එළිදරවු කිරීමක් ලෙසයි. මේ එළිදරවුව මීට කලින් ආචාර්ය කුමාරි ජයවර්ධන සිය Nobodies to Somebodies කෘතියෙන්, ප‍්‍රමාණවත් සාක්ෂි සහ විශ්ලේෂණ වාර්තා සහිතව කරලා තියෙනවා. එතෙක්, ලංකාවේ ජනසමාජය පිළිබඳ කෙරුණු සමාජ විද්‍යාත්මක අධ්‍යයනයන් බොහෝ වෙලාවට නාභිගත වෙලා තිබුණේ, ‘කුල වශයෙන් වෙන්වුණු ගැමි සමාජය’ දෙස. එහෙම නැත්නම් ජනවර්ග අතර සමානතා හා විෂමතා දෙසට. පශ්චාත් නිදහස් ලංකාවේ පාලන බලය හිමිකරගත් ධනපති පන්තියේ බිහිවීම සහ විකාශය පිළිබඳ පරිසමාප්ත අධ්‍යයනයක් මේ කෘතිය.

නිර්මාණ කේෂේත‍්‍රයේ ඊට පෑහෙන වැදගත් කෘතියක් තමයි ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ ‘කඩුල්ල’ ටෙලි නාට්‍යය. මෙය තිලක් ජයරත්නගේ ගවේෂණාත්මක අධ්‍යයන යන්ගේ ප‍්‍රතිඵලයක්. මොහාන්ගේ වික්ටෝරියා, මේ අධ්‍යයන පසුබිමේ ඊට සමාන්තරව ලා පිහිටුවිය හැකි කෘතියක්.
ආදරණීය වික්ටෝරියා නවකතාව පටන් ගන්නේ 1867. සිලිං 5කුත් පැන්ස 2ක් අතේ තියාගන ඉන්න, කොළඹ – නුවර දුම්රිය මාර්ගය තනන්නට දහදිය වැගිරූ අවුරුදු 17- 18ක් වයසැති අන්දිරිස් නම් කොලූ ගැටයෙක්, නුවර සිට කොළඹ බලා යන්නට දුම් කරත්තය හෙවත් දුම්රිය එනතෙක් බලා ඉන්න මොහොතින්. කතාව අවසන් වෙන්නේ 1899, ඊට අවුරුදු 32කට පස්සේ ඔහු උන්මන්තකයෙකු වන තැනින්. මේ අවුරුදු 32ක කාල පරාසය තුළ, කිසි වැදගැම්මකට නැති Nobody හෙවත් සොක්කෙකුගේ සිට ගිනිය නොහැකි තරම් ධනයකට හිමිකාරත්වය දරන, තේ, පොල්, රබර් ආදි වතු සහ මිනිරන් පතල් හිමි somebody හෙවත් ලොක්කෙකු බවට පරිවර්තනය වෙනවා.

ආචාර්ය කුමාරි ජයවර්ධන පෙන්වා දෙන උදාහරණයකට අන්දිරිස්ගේ මේ පරිවර්තනය සමකළොත් පවුම් 38ක සුළු බද්දක් ගෙවමින් 1829, කඩුගන්නාවේ කුඩා අරක්කු තැබෑරුමක් පවත්වාගන යන ජෙරෝනිස් සොයිසා ඊට හත් වසරකට පසු මුළු මධ්‍යම පළාතේම සිල්ලර අරක්කු වෙළෙඳාමට තනි අයිතිය හිමි පවුම් 6800ක බද්දක් ගෙවමින්, 1860 වන විට ඒ කියන්නේ අවුරුදු 31කට පස්සේ අතිශය ධනවත් චරිතයක් බවට පරිවර්තනය වීමට සමාන කළ හැකියි.
මේ නෝබොඩියන් සම්බොඩියන් කළ ‘මහා වාසනාව’ ගෙනාවේ අරක්කු වෙළඳාම. නිදහසින් පස්සේ කාලේ රටේ පාලකයන් වුණේ මේ සම්බොඩියන් හෝ ඔවුන්ගෙන් පැවැත එන අය. වික්ටෝරියා නවකතාව අවසානයට පත් වෙන වෙලාවේ, 1899 ජනවාරි මාසේ සමාන්තර උපත් දෙකක් සිද්ධ වෙනවා. එකක්, අන්දිරිස්ගේ බැල්ල පැටියෙකු වදනවා. අස්සයෙකුගේත් බැල්ලක ගේත් විකෘතියක්. අනික ‘සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක’ උපදිනවා.
අන්දිරිස්ගේ කතාව ඇතුළේ නෝබොඩියන් සම්බොඩියන් වුණු කතාන්දරය තියෙනවා. මේ සම්බොඩියන් හෙවත් 19 වෙනි ශතවර්ෂයෙන් ඇරඹුණු ලංකාවේ ධනපති පංතියට නිෂ්පාදන ව්‍යවසායකත්ව හැකියාවක් තිබුණේ නැහැ. අරක්කු නිෂ්පාදනය සහ බෙදාහැරීමට අමතරව ඔවුන්ට තිබුණේ, කුලියක්, බද්දක් ගන්න හැකියාව. ඒ නිසාම මේ අය හැඳින්වුණේ රේන්දරාලලා කියලා. අන්දිරිස්ගේ ගෙදර වගේ මේ රේන්දරාලලාගේ ගෙවල්වල මැද මිදුලේ වළලා තියෙන විශාල තඹ කල්දේරම්වලින් උතුරා ගිය සල්ලිවලින් තමයි විශාල තේ, පොල් වතු, මිනිරන් පතල් මිලදී ගැනුණේ. අරක්කුවලින් වැවිලි අංශයට මාරු උණ, එහෙමත් නැත්නම් මේ අංශ දෙකෙහිම නියැලූණු මේ රේන්දරාලලාගේ දෙවෙනි පරම්පරාවට තමයි, නිදහසින් පස්සේ ලංකාවේ දේශපාලන බලය හිමි උණේ.

19 වෙනි ශත වර්ෂයේ දී නෝබොඩියන්ව සිට 20 සියවසේ මුල වන විට සම්බොඩියන් බවට පත් මේ රේන්ද රාලලාගේ දෙවෙනි පරම්පරාව, අරක්කු රේන්ද ව්‍යාපාරයන්ට අමතරව වැවිලි සහ පතල් කර්මාන්තය තුළත් සිය ආධිපත්‍යය පතුරුවා ගෙන තිබුණා. ඒ විතරක් නෙවෙයි, හොඳ ඉංග‍්‍රීසි අධ්‍යාපනයක් ද සහිත මේ දෙවෙනි පරම්පරාවට උතුරා යන්න තරම් සල්ලි තිබුණු නිසාම, කිසියම් පරාර්ථකාමී නැඹුරුවක් ද පෙන්නුම් කළා. ඒ නිසා ඔවුන් රටේ පොදු දියුණුවට ඉවහල් විය හැකි කටයුතුවලට සම්මාදම් වුණා.

එක් හොඳම උදාහරණයක් තමයි 20 වෙනි සියවසේ මුල් භාගයේ ප‍්‍රසිද්ධ පරාර්ථකාමී කාන්තාවක් වූ සෙලෙස්තිනා ඩයස්.
සෙල්ස්තිනා ඩයස් කියන්නේ පානදුරේ රොබෝසිංඤෝ රේන්ද රාළ ලෙස ප‍්‍රසිද්ධ ජෙරමියස් ඩයස්ගේ බිරිඳ. මේ ජෙරමියස් ඩයස් 19 වෙනි ශත වර්ෂයේ මුල නෝබොඩියකුව අරක්කු පෙරීම, කුලී ගැනීම සහ ඊට අදාළ අනෙකුත් ව්‍යාපාරයන්හි නියැලෙමින් සිටි පානදුරේ ප‍්‍රසිද්ධ ඩයස් පවුලේ පොන්නෙ හෙන්නෙදිගේ හරමානිස් ඩයස්ගේ පුතා. පොන්නෙහෙන්නෙදිගේ ඩයස් පරම්පරාව ගැන කුමාරි ජයවර්ධනගේ පොතේ හොඳින් විස්තර කරලා තියෙනවා.
ජෙරමියස් ඩයස් මිය යන කොට ඔහු මුළු බස්නාහිර පළාතේ වැඩිම ආදායමක් උපදන ලොකුම රේන්ද රාළලාගෙන් කෙනෙක්. 1902 ජෙරමියස් ඩයස් මිය ගියාට පස්සේ මේ ව්‍යාපාර බලාකියාගන්නේ සහ ඒවායේ හිමිකාරිත්වය හිමිවන්නේ ඔහුගේ කනවැන්දුම් බිරිඳ වන සෙලෙස්තිනා ඩයස්ට. සෙලෙස්තිනා ඩයස් 1917 දී ලංකාවේ බෞද්ධ කාන්තා අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් කොළඹ බෞද්ධ බාලිකා විද්‍යාලය නමින් ආරම්භකළ බාලිකා පාසල තමයි අද ලංකාවේ නොම්මර එකේ බාලිකා පාසල ලෙස අප හඳුනන විශාඛා විද්‍යාලය.

1948 ලංකාවට දේශපාලන නිදහස ලැබීම කියන්නේ අරක්කු ඇරෙන්න කිසි නිෂ්පාදන යක් නොකරන, කුලියක් වගේ නිකන් ගලා එන ධනයකට හිමිකම් කියූ මේ සම්බොඩියන්ට දේශපාලන බලය ලැබීම.
මේ සම්බොඩියන්ට සල්ලි ඇතිතරම් තිබුණත්, සමාජ තත්ත්වය සහ ආඩම්බරය වෙනුවෙන් පාරම්පරික රදළ පවුල් සමග ගැට ගැසීමේ නැඹුරුවක් පෙන්නුම් කළා. නෝබොඩියන් සම් බොඩියන් වීමේ පරිණාම ව්‍යාපෘතිය කෙළවර වුණේ එතැනින්. ඔවුනට ඇති තරම් සල්ලි තිබුණු නිසා දේශපාලනය කළේ සල්ලි හම්බ කරන්න නෙවෙයි. තමන් පරම්පරා දෙක තුනක් තිස්සේ අත්පත් කරගත් සල්ලි වියදම් කළේ, සමාජය තුළ පිළිගැනීමක් ඇති කරගන්න. පොදු වැඩවලට වියදම් කරන්න ඔවුන් නිර්ලෝභී වුණා.

ඒ එක්කම, ඉංග‍්‍රීසි ආණ්ඩුව යටතේ දේශපාලනයට එන්න (රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට) නීතිගරුක සහ ආචාරධාර්මික වීම, නීතිය සහ ඉංග‍්‍රීසි භාෂා දැන උගත්කම වගේ මූලික සුදුසකම් සපුරා ගත යුතුව තිබුණා. මේ නිසා මොවුන් දේශපාලනයට ආවාට පස්සේ සාපේක්ෂව කිසියම් විනයක්, ශික්ෂණයක් සහිතව සමාජය ඉදිරියට ඇදුණා. ශික්ෂිත සමාජයක පදනම වන පාර්ලිමේන්තුව, පාසල්, උසාවි ආදී ආයතන පද්ධතිය පිළිවෙලට පැවතුණා.
ගොවිගම කුලයේ සේනානායක පවුලේ දොන් ස්පෙටර් සේනානායක කියන්නේ අවුරුදු 18 දී මිනිරන් පතල් කර්මාන්තයෙන් සාර්ථකත් වයට පත් වෙලා එහි ලාභය පොල්, අරක්කු රේන්ද, සහ නාගරික ඉඩම්වල ආයෝජනය කළ සාර්ථක ව්‍යාපාරිකයෙක්. එවක සම්බොඩියන් වූ අනෙක් අයගෙන් සේනානායක වෙනස් වෙන්නේ කුමාරි ජයවර්ධන පෙන්වා දෙන පරිදි, ඔහු මිනිරන් කර්මාන්තයෙන් උපයාගත් ලාභය අරක්කු රේන්ද ව්‍යාපාරයේ ආයෝජනය කිරීම. අනෙක් අය අරක්කු රේන්ද ව්‍යාපාරයෙන් උපයා ගත් ලාභයයි වෙනත් අංශයන්හි ආයෝජනය කළේ. මේ සේනානායකගේ පුතුන් තමයි නිදහසින් පස්සේ දේශපාලනයට එන ලංකාවේ පළවෙනි අගමැති දොන් ස්ටීවන් සේනානායක, එෆ් ආර් සේනානායක සහ දොන් චාර්ල්ස් සේනානායක.
නිෂ්පාදන ආර්ථිකයක් විසින් තමයි සමාජයක් ශික්ෂණය කරන්නේ. ඓතිහාසිකව ලංකාව ශික්ෂණය වුණේ ගොවි සංස්කෘතියකින්. අපේ භාෂාව, සාරධර්ම, කලා ශිල්ප ඉවුම් පිහුම් හැම එකක් ම සැකසුණේ සහ හික්මැවුණේ වී ගොවිතැන ප‍්‍රමුඛ කෘෂි ආර්ථිකයක් වටා. ඉතිහාස කතාවේ ‘ඇසුරු සැණක්’ තරම් කෙටි කාලයකදී පොහොසත් වුණු රේන්දරාළලාගේ දෙවැනි පරම්පරාව වික්ටෝරියා කතාවේ එන අන්දිරිස්ගේ බැල්ලගේ පැටවා වගේ සංස්කෘතික විකෘතියක්.
නිෂ්පාදන ව්‍යව සායකත්ව හැකියාවක් නැතිව පොහොසත් උණ මේ අය, වැඩවසම් නිෂ්පාදන ක‍්‍රමයකින් ධනේශ්වර නිෂ්පාදන ක‍්‍රමයකට ක‍්‍රමිකව සංක‍්‍රමණය වුණු අය නොවන නිසා නිෂ්පාදනයත් සමග ඇති විය හැකි සංස්කෘතික පරිවර්තනය සහ සංවර්ධනය සිදු වුණේ නැහැ. ඒ නිසා ලංකාව තිබුණේ පූර්ණ වශයෙන් වැඩවසමුත් නොවන, ධනේශ්වරත් නොවන කුමාරි ජයවර්ධන හඳුන්වන පරිදි twilight zone එකක. ගොම්මන් කලාපයක. අතිරික්ත ධනය විසින් බටහිර දියුණු විද්‍යාව දෙසට තල්ලූ වන්නට බළකලාට සංස්කෘතිකව ඇදී ගැටගැසී තිබුණේ අතීතයට. (අපට තාමත් කුරුඳු වත්තෙන් රොස්මිඞ් ප්ලේස් එකෙන් බලි තටු හමු වෙන්නේ එකයි)

බණ්ඩාරනායක මේ සංස්කෘතික විකෘතියේ දේශපාලන කූටප‍්‍රාප්තිය.
සර් ජෝශප් වෙස්ට් රිජ්වේ ඉංග‍්‍රීසි ආණ්ඩුකාරයාගේ අතිශයින් විශ්වාසවන්ත කුළුපග සේවකයෙකු වූ කොළඹ මහා මුදලි වළව්වේ මහා මුදලි සොලමන් බණ්ඩාරනායකගේ බිරිඳ ඬේසි ඔබේසේකර සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ප‍්‍රසූත කරන තැනින් මොහාන් තමන්ගේ කතාව නවතනවා. එතනින් මෙහාට සමාජය ගමන් කෙරුණේ කොයි දිශානතියක් ඔස්සේද කියන එක අපටම කියවා ගන්නට ඉඩ හරිමින්. ඊට පස්සේ කතාව ගොතා ගන්න ඕනෑ කියවන අපි.

බණ්ඩාරනායක දේශපාලනයේදී කරන්නේ තමා සමගම අරගලයක්. මේ නවකතාවේ එන වික්ටෝරියා වගේ. අන්දිරිස් තම දියණිය වික්ටෝරියා රැජින කරන්න හදද්දී, අතීතයෙන් හොල්මන් කරන මහලූ ගොළු හොල්මන් මැහැල්ලක් සමග සමාගමයක් පවත්වනවා. මේ මැහැල්ල නොනවත්වා කරන්නේ මඩපුවක් කපන එක. වික්ටෝරියා මඩපුවක් ලෙලි ගඳ විඳිමින් ඒ පහස ලබමින් තම සිත සනසාගන්න හදනවා. වික්ටෝරියා බටහිර ඇඳුම් ඇඳගෙන කන්නාඩිය ඉස්සරහට ගියාම තමන්ගේම රූපයට බය වී ක්ලාන්ත වෙනවා. ඇය බටහිර පන්නයට ඇඳුම් ඇඳගත් තම රූපය දකින්නේ බියජනක විකාරයක් ලෙසට. තමාට තමාගේම විකෘති රූපය දකින්නට සලස්වන ගෙදර කන්නාඩි තියෙන එකට විරෝධය පානවා. ඇයව බටහිර ශිෂ්ටකම තුළ ශීලාචාර වන්නේ නැහැ.

බණ්ඩාරනායක ඉංග‍්‍රීසින්ට බය පක්ෂපාතී ‘සුද්දාගේ සපත්තුව’ වැළඳ බදා සිටි මුදලි හෙවත් මුඞ්ලියර් පරම්පරාවකින් පැවත එන කෙනෙක්. 1818 කැරැල්ලේදී ඉංග‍්‍රීසින්ට පෑ පක්ෂපාතීත්වයට කෘතවේදීත්වය පෑමක් ලෙස මුදලි පට්ටම්වලින් සමහර පවුල්වලට ඉංග‍්‍රීසි ආණ්ඩුව සංග‍්‍රහ කළා. පිය පාර්ශ්වයෙන් බණ්ඩාර නායක සහ මව් පාර්ශ්වයෙන් ඔබේසේකර පවුල්වලට දාවයි බණ්ඩාරනායක උපදින්නේ. ඔහුත් වික්ටෝරියා මුහුණ දෙන අනන්‍යතා අර්බුදයටම මුහුණ දෙනවා. ශතවර්ෂයකට අධික කාලයක් බි‍්‍රතාන්‍ය කිරීටයට යටත්ව ශික්ෂණය වෙමින් තිබු ජාතියක්, ආයෙත් ඉතිහාසයට ගැට ගහන්න යෑමෙන් බිහිවෙන්නේ අන්දිරිස්ගේ බැල්ල වැදූ පැටවා වගේ විකෘති සමාජයක්යක් බව ඒ මොහොතේ බණ්ඩාර නායකට වැටහෙන්න නැතුව ඇති. බණ්ඩාරනායක තමන්ගේ අනන්‍යතා අර්බුදය විසඳාගන්න දේශපාලනය පාවිච්චි කිරීමේ පරිප්පුව ජාතියක් හැටියට අපි ඇති තරම් කෑවා. තාමත් කනවා.
1977 දේශපාලන වෙනසින් පස්සේ ඇති වුණ තත්ත්වයන් තුළ නැවතත් මේ ආකෘතිය උඩු යටිකුරු වෙන්න පටන් ගත්තා. අරක්කු රේන්දරාළලාගේ දේශපාලන ගමන කුඩුකාරයන්, බුකිකාරයන්, කැසිනෝකාරයන්, ඞීල්කාරයන්, පිම්පියන්, පොදු දේපල කොල්ලකන්නන්ගෙන් විස්ථාපනය වුණු වර්තමාන පරිසරය නිර්මාණය වන්නේ එතැනින් පස්සේ. නිදහස් ආර්ථිකය පූර්ණ ධනේශ්වර නිෂ්පාදන ශික්ෂණයක් නැති සමාජයක් මතට උඩින් ආරෝපණය වුණාම රඟදැක්වෙන විකාර රූපී නාටකයේ උච්ච අවස්ථාව තමයි පහුගිය කාලයේ අපට අත් විඳින්න ලැබුණේ.

සංවිධිත නිෂ්පාදන ක‍්‍රමයක නීතිය, ආචාරධර්ම, සිරිත්විරිත් සහ පොදුවේ සංස්කෘතිය විසින් ශික්ෂණය කළයුතු සමාජයක් තිස් අවුරුද්දක් තිස්සේ ශික්ෂණය කෙරුණේ යුද්ධය විසින්. 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ තවදුරටත් සමාජය ශික්ෂණය කරන්න කිසි යාන්ත‍්‍රණයක් ඉතුරු උණේ නැහැ.
හරමානිස් ඩයස්ගේ පුත් ජෙරමියස් ඩයස්ගේ බිරිඳ විශාඛා විද්‍යාලය හැදුවාට අද ඉන්න කවුරුත් එහෙම කරන්නේ නැහැ. කරන ලොකුම පොදු වැඬේ, පන්සල්වල හාමුදුරුවන්ට කාමසුඛල්ලිකානු ජීවිතයක් ගෙවන්න පුළුවන් පහසුකම් හදලා දෙන එක. අසපු හදලා දෙන එක. මිථ්‍යාවන් වපුරන ටෙලිවිෂන් චැනල්, පත්තර පටන් ගන්න එක.

ඉස්සර නෝබොඩියන් සම්බොඩියන් උණේ අරක්කු රේන්ද ව්‍යාපාරයෙන්. එහෙම සම්බොඩියන් වුණු අයගේ දරුවෝ දේශපාලනයට ඇවිත් සමාජයේ පොදු යහපත වෙනුවෙන් කිසියම් වැඩ කොටසක් කළා. අද නෝබොඩියන් සම් බොඩියන් වෙන්නේ දේශපාලනයට ඇවිත්. රස්තියාදුකාර නිර්ධනයන් හම්බකරන්න පටන් ගන්නේ පාර්ලිමේන්තුවට ඇවිත්. නෝබොඩියෙකු වූ අන්දිරිස් සම්බොඩියෙක් වෙන්න අවුරුදු 20ක් තිහක් ගත වුණා. ඒත් අද පාර්ලිමේන්තුවට එන නෝබොඩියෙකු සම් බොඩියෙකු වෙන්න ගතවෙන්නේ අවුරුද්දයි දෙකයි. විලිලජ්ජා නැතිකමත් කට හැකරකමකුත් තිබුණාම වුවමනාවටත් වඩා ප‍්‍රමාණවත්. කිසිම ව්‍යාවසායකත්ව හැකියාවක් ඕනෑ නැහැ. ඉස්සර වගේම බාර් ලයිසන් එක ලැබෙනවා. කිරි පැකට් එකේ ඉඳන් කුඩු පැකට් එක වෙනකල් පගා ගන්න අවකාශ සැලසිලා තියෙනවා. ගමේ බෝක්කුවේ ඉඳන් හයිවේ ප්‍රොජෙක්ට් වෙනකල් කොමිස් ගහන්න අවකාශ සැලසිලා තියෙනවා. මේ කොමිස්වලින් සොච්චමක් පන්සලට දුන්නාම සියලූ පව් හේදිලා යන්න අනුශාසනාවක් ගන්න පුළුවන්.

‘මම රාජ කුමාරයෙක් නෙවෙයි. ගමේ කොල්ලෙක්.!’ කියලා සිරි පැරකුම් චිත‍්‍රපටයේ පොඩි එකා කියනවා ඇහුණාම අපේ ඇඟවල හිරිගඩු පිපෙන්නේ එකයි. ගමේ කොල්ලෝ රජවෙලා කළ, කරන කෙළිවල රඟ හොඳට දන්නා නිසා.

මොහාන් වර්තමානය තුළ ඉඳන් ඉතිහාසය ලියන්නේ නැතුව, ඓතිහාසික දත්ත සහ සාක්ෂි මත ඒ ඉතිහාසයම වෘත්තාන්තගත කළාම, අපට මොහාන් නවතන තැන ඉඳන් වර්තමානය දක්වා කතාවේ ඉතුරු ටික කියවාගන ලියාගන එන්න පුළුවන්කම ලැබෙනවා කියලා මම මුලින් ම කිවුවේ ඒ නිසා. අපේ කතාව අපටම ලියාගෙන කියවාගන්න පුළුවන් නිසා. අපට උණේ මොකක්ද කියන එක තේරුම් ගන්න අවකාශයක් ලැබෙනවා. මොහාන් ජනප‍්‍රිය ඉතිහාස කතාකරුවන්ගේ මග නොයා වෙනස් මගක යෑමට ගත තීරණය පිළිබඳ අපට සතුටු විය හැක්කේ ඒ නිසායි. ඔහු පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකි වන්නේත් මේ නිසායි.
රාවය

No comments

Powered by Blogger.