Header Ads

අපේ පේ‍්‍රම කතාව මම චිත‍්‍රකතාවක් විදිහට ඇන්දා | අශෝක හඳගම

නිමල් අබේසිංහ

ඔබ අශෝක හඳගම වුණත් ක්ෂේත‍්‍රය තුළ ජනප‍්‍රිය වන්නේ හඳයා විදිහට. හඳයාගේ ඉතිහාසය මතක් කරමුද?

ඉස්කෝලේ යන කාලේ යාළුවෝ තමයි මුලින්ම හඳයා කිව්වේ. ඉස්කෝලේ යන්නත් ඉස්සර හඳයා කියන වචනය ගෙදර භාවිත වෙලා තියෙනවා. ඒ මගේ තාත්තට. තාත්තගේ යාළුවෝ තාත්තාට කියලා තියෙන්නේ හඳයා කියලා. තාත්තාගේ සහෝදරයන්ට කවුරුත් හඳයා කියලා නැහැ. හැබැයි ගොඩක් අය මට හඳයා කියලා කියන්නේ. චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට ආවාම ස්වර්ණා මල්ලවආරච්චි, ජයලත් මනෝරත්න වගේ අය මට අශෝක කියලා කතා කළා. ඒ විදිහට සමහරු අතරේ මම අශෝක විදිහට හැඳින්වුණා. විදෙස් රටකදි බොහෝ දෙනා අමතන්නේ අශෝක කියලා. කොහොම වුණත් අශෝක කිව්වත් හඳයා කිව්වත් මමම තමයි.

පාසලේදී ඕල්රවුන්ඩර් කෙනෙක් කියලයි ආරංචි.

ඔව්ෟ මම පාසලේ හිටපු ජනප‍්‍රියම චරිතයක්. මම ක‍්‍රිකට් ගැහැව්වා. ඇත්ලටික් කළා. ශිෂ්‍යභට බලකායේ සාජන් වෙලාත් හිටියා. ඒ අතරේ නාට්‍යවලටත් සම්බන්ධ වුණා. මේ හැමදේම කරන අතරේ ඉගෙනීමත් හොඳට කළා. ඒ නිසා පාසල් කාලේ මම ජනපි‍්‍රය චරිතයක්. කොතැන බැලූවත් මගේ නම කියැවුණා.

ඔබ පාසල් කාලයේදී ඉදිරියට යන්නේ මොන ක්ෂේත‍්‍රයෙන්ද කියලා බලාපොරොත්තුවක් තියෙන්න ඇති.

ඔව්ෟ තිබුණා. මම ඔබට කිව්වා. පාසල් ශිෂ්‍යභට බලකායේ සාජන් කෙනෙක් කියලා. ඉතින් එදා මගේ හීනේ වුණේ හමුදාව. හමුදාවට බැඳෙනවා කියන තැන තමයි මම හිටියේ. කොටින්ම ඒ ලෙවල් ඉවරවෙලා ඩිෆෙන්ස් ඇකඩමියට යන්න ඇප්ලිකේෂන් දාලා පළමුවැනි ඉන්ටර්වීව් එකටත් ගියා. ඒ ඉන්ටර්වීව් එකේ මම පළමුවැනියාටත් තේරුණා. ඒ එක්කම මාව විශ්වවිද්‍යාලයට තෝරගත්තා කියලා පණිවිඩය ආවා. මම හමුදාව පැත්තකට දාලා විශ්වවිද්‍යාලය තෝරගත්තා.

හමුදාව අත ඇරුණු එක ගැන ඔබ අද සතුටුද?

ඔව්ෟ අද නෙමෙයි විශ්වවිද්‍යාලයට ගිය කාලෙම හමුදාව එපා වුණා. කොටින්ම පස්සේ කාලෙකදි මට හමුදා නිලඇඳුමක් දකිනකොටත් පොඩි අපුුලක් දැනෙන්න ගත්තා. කැඩෙටිං කරන කාලේ ආසාවෙන් අල්ලපු තුවක්කුව අතගාන්නවත්, ඒ දිහා බලන්නවත් පිළිකුල් තරමට මට එපා වුණා.

මම අහලා තියෙනවා ඔබ චිත‍්‍ර ශිල්පියටත් දස්කම් පෑවා කියලා.

පුංචි කාලේ ඉඳලා චිත‍්‍ර ඇන්දා. ඒ කාලේ චිත‍්‍ර කතා හරි ජනප‍්‍රියයි. ජනක රත්නායක, බන්දුල හරිශ්චන්ද්‍ර, බලන්ගොඩ සරත්මධු අපේ වීරයෝ. මටත් ඔය චිත‍්‍ර කතා බලන පිස්සුව තදින්ම තිබුණා. මට මතකයි මම ඉස්කෝලෙදි යාළුවන්ගේ පොත් අරගෙන ඒවායේ දේදුනුගේ, යුනිකෝගේ, ටෝගාගේ චිත‍්‍ර අඳිනවා. ඒ කාලේ චිත‍්‍රකතාවල හිටපු වීර චරිත තමයි ඒවා. මට චිත‍්‍ර අඳින්න පුළුවන් කියලා හිතුණේ එහෙමයි. හැබැයි දවසක් ගණිතය සර් උගන්වනකොට මම සර්ව ඇන්දා. ඕක යාළුවෝ දැක්කා. යාළුවෝ අතර මම චිත‍්‍ර ශිල්පියෙක් වුණේ එහෙම. එදා සර්ගේ චිත‍්‍රය යාළුවෝ දැක්කට සර් දැක්කේ නැහැ.

ඔබ මොන දේ කළත් අධ්‍යාපනයට මුල් තැන දුන්නා කියලා ඔබම කියනවා.

ඔබ හරි. ඒ වාගේම මට එදා ඉදලාම තිබුණා පුරුද්දක් එක වැඩක් කරන ගමන් තවත් වැඩක් ගැන හිතන්න. මම අද හිතනවා මගේ වැඩවල රහසත් ඒකම තමයි කියලා. ගණිතය සර් උගන්වනකොට ඔහුව චිත‍්‍රයට නැඟුවාට මම ගණන් අතපසු කළේ නැහැ. ඒ මගේ හැටි. මම දැන් ඔබත් එක්ක කතා කරනවා. ඒ අතර මගේ රාජකාරියට අදාළ දේවලූත් මම හිතනවා. ඒක මට උපතින්ම ආපු දෙයක්. මම අත් දෙකෙන්ම එකවර පෝස්ටර් අඳින්න පුළුවන් කෙනෙක්. ඇත්තටම මට එකවර වැඩ දෙකක් තුනක් කරන්න පුළුවන්. ඉගෙන ගන්න අතරේ උගන්වනවා. ඒ මගේ ක‍්‍රමය. පාසල් කාලෙත් මම අනෙක් අයට පාඩම් කියලා දෙන ගමන් මමත් ඉගෙන ගන්නවා.

අපි නාට්‍ය ගැන කතා කරමු. ඔබ නාට්‍යවලට ඇදෙන්නේ කොහොමද?

අපේ ඉස්කෝලේ හිටියා බොකලවෙල කියලා සර් කෙනෙක්. සර් නාට්‍යයක් කළා. මම ඒකට සම්බන්ධ වුණා. එතකොට මම නාට්‍යයක් බලලා තියා ඒ ගැන අහලාවත් තිබුණේ නැහැ. ඒත් ඒක මට ලොකු අත්දැකීමක් වුණා. කලාවට නැඹුරු වෙන්න ඒක මට තල්ලූවක් වුණා. ඒකත් එක්ක මගේ ඔලූවට එන සිතුවිලි අකුරු කරන්නත් මම පටන් ගත්තා. මට හිතිච්ච දේ ලිව්වා. නාට්‍යයක හැසිරීම, නාට්‍යයක පළමුව නිදහස් වන වචනය මොන තරම් වටිනවාද, ඒක නේද නාට්‍යයේ ලය තීරණය කරන තැන කියලා මම එදා තේරුම් ගත්තා. ඒ වගේම ඕඩියන්ස් එක කොහොම ප‍්‍රතිචාර දක්වයිද කියන එකත් එදා මම බරපතළ විදිහට හිතුවා. මේවා පොත්වල තියෙන ඒවාද දන්නේ නැහැ. ඒත් මේ එදා මට දැනුණ හැටි. ඒ ආභාසයන් කොහෙන්වත් ලැබුණාද දන්නේ නැහැ. පළමුවැනි එක කළාට පස්සේ තමයි මේ හැමදේම දැනුණේ. ඒ පාර දිගේ මම හුඟක් දුර ගියා.

එහෙම ආ ඔබ ‘හඳගම මුද්‍රාවත්’ තබනවා.

ඒක මේ නිසාම වුණා කියලා මට කියන්න බැහැ. අනෙක මම මාව මුද්‍රාවක් විදිහට සමාජගත කරලාද කියන එකත් මට තීන්දු කරන්න බැහැ. කොහොම වුණත් මගේ වැඩවල අවසානය සලකලා බලනකොට මට හිතෙනවා එහෙම වුණේ සමහරවිට මගේ එක්ස්පොසර් එක අඩුකම හින්දාද කියලා. කොහොම හරි මම රූපවාහිනී නාට්‍යයක් කරනකොට මම නාට්‍යයක ෂූටින් එකක්වත් දැකලා තිබුණේ නැහැ. මම ඉගෙන ගත්තේ කාර්මික ශිල්පීන් එක්ක මගේ ඔළුව ඇතුළේ තියෙන දේත් ගළපලයි. මම හිතනවා මට අනන්‍ය යමක් කරන්න මට පුළුවන් වුණේ මේ අවිධිමත්කම හින්දමයි. කොහොමත් මම විධිමත් ධාරාවක ඉගෙන ගත්තේ නැහැ. එහෙම වුවමනාවක් මට තිබුණේත් නැහැ. ඒ අතර ජවිපෙ දේශපාලනයට විවෘත වීමත් මට යම් පිටිවහලක් වුණා. මේ සියලූ සංකලන අස්සේ කුඩා කල සිටම ගණිතයට මා තුළ තිබූ සහජ දක්ෂතාව මාව හැම අංශයෙන්ම ගොඩක් දුර ගෙනාවා කියලා මම හිතනවා.

ඔබ ගණන්කාරයෙක් වෙන විදිහ මතක් කරමුද?

මම ගණිතය විෂය ධාරාව ගත්තේ අනෙක් විෂයන් තෝරගත්තා නම් අනිවාර්යයෙන් ප‍්‍රැක්ටිකල් යන්න වෙලාවක් හොයාගන්න බැරිවෙන හින්දයි. ඒත් ඒ තෝරාගැනීම හොඳයි. අද මහ බැංකුවට මම එන්නේත් ඒ තෝරා ගැනීම හින්දයි. කොහොම හරි ඔතැනත් අමතක නොවන කතාවක් තියෙනවා. කැම්පස් එකේ මගේ ගණිත ගුරුවරයා ප්‍රොෆෙසර් වික‍්‍රමසූරිය. ඔය කාලේ මම නාට්‍යවලටයි අරවටයි මේවටයි දුව දුව ඉන්නවා. විශ්වවිද්‍යාලයට යන්නේ නැහැ. විශ්වවිද්‍යාලයේ විභාගය ලියන්න නම් පැමිණීමත් අනිවාර්යයි. සියයට අසූවක් ඕනෑමයි. දවසක් මට ප්‍රොෆෙසර් කතා කරලා කියනවා ‘හඳගම තමුසේ ටිකක් පරිස්සම් වෙනවා. මොකද තමුසේ නාවාට තමුසේ ආපු බවට මෙහේ ගැහැනු ළමයෙක් තමුන්ගේ අත්සන ගහනවා’ කියලා. මොනවා වුණත් ඔහු එදා මුකුත් කළේ නැහැ. ඔහුට එදා ඇක්ෂන් එකක් ගන්න තිබුණත් ගත්තේ නැහැ. ඒ මොනවා වුණත් මම ඒ අවුරුද්දේ බැච් ටොප් වුණා.

ජවිපෙ දැඩි මතධාරියකුව හිටපු ඔබ එයින් ඉවත් වුණේ ඇයි?

2002 මැතිවරණය කාලේ ජවිපෙට තිබුණු විවේචනය ජවිපෙ අත්අරින්න මට දැඩිව බලපෑවා. ජවිපෙ ප‍්‍රතික්ෂේප වෙන්න ඒක එක හේතුවක්. ඒ වගේම උතුරේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ජවිපෙ දැක්වූ ප‍්‍රතිචාරයත් යුද්ධයයි. මගේ ස්ථාවරය නිතරම පැවතියේ යුද්ධයට විරුද්ධවයි. මේ සියලූ නොගැළපීම් මට ජවිපෙ අතඅරින්න හේතු වුණා. ඒත් එදා වගේම අදටත් ඒ පක්ෂයට තිබුණු ආදරය මා තුළ තියෙනවා. ඒකේ වෙනසක් නෑ. මම තවමත් හිතනවා මොකක් හරි වෙනසකට යනවා නම් ඒ සඳහා විභවයක් ජවිපෙට අදටත් තියෙනවා කියලා.

අපි ඔබගේ පාසල් කාලයේ කෙරුම් ගැන කතා කළා. ඒත් පාසල් පේ‍්‍රමය අත ඇරුණා කියලා මට හිතෙනවා. ඒක මතක් කරමුද?
ඒක හරි. කතාවට මඟ ඇරුණාට ඒ කාලේ එහෙම දේවල් මග ඇරුණේත් නෑ. හැම පැත්තෙන්ම සුන්දරයි. කෙල්ලත් එහෙමයි. පේ‍්‍රමයත් එහෙමයි. කෙල්ල අල්ලපු ඉස්කෝලේ හිටපු ලස්සනම කෙල්ල. ලස්සනම කෙල්ල දිනාගන්න පුළුවන් වෙනවා කියන්නේම ඒ කාලේ පොඩි පහේ වීරකමක්ද? හැමදේකින්ම වගේ එතැනදිත් දින්නා. කතාව අතරේ පුංචි දෙයක් කියන්න ඕනෑ. මට තිබුණා දක්ෂකමක්. ඒ තමයි මොනවා හරි ලබාගන්න ඕනෑ කියලා හිතුණොත් ඒක කොහොම හරි දිනාගන්න පුරුද්දක්. මේකත් ඒ පුරුද්දෙම කොටසක්. කෙල්ලගේ හිත දිනා ගත්තා. මෙන්න ඒ එක්කම මම කවියෙක් වෙන්න පටන් ගත්තා. මම එක දිගට කවි ලියනවා. කොටින්ම අපේ පේ‍්‍රම කතාව චිත‍්‍රකතාවක් විදිහටත් ඇන්දා. එතකොට මම නවයේ පන්තියේ. අපේ පන්තියෙන් ඉස්සර වෙලාම කෙල්ලෙක් යාළු කරගත්තෙත් මම. එතැනත් වීරයා මම. ඒක කාලයක් පැවතුණා. ඕලෙවල් කරනකොට එක ප‍්‍රශ්න පත‍්‍රයකට ලියලා දෙවැනි එක ලියන්න දෙන විවේකයේදී අපි යාළුවෝ ටික ඒ පාසලට යනවා. ඒක තිබුණේ අපේ පාසල ඉදිරිපිටමයි. ඉතින් ගිහින් ඒ කාලේ ප‍්‍රදර්ශනය වුණු ජනක සහ මංජු චිත‍්‍රපටයේ ‘රන්කඳ පෙම් හඬ ගුම් දිදී’ කියන ගීතය කිය කිය ගස් වටේ දුව දුව නටනවා. හැබැයි විශ්වවිද්‍යාලයට ආවාට පස්සේ ඒ සියල්ල වෙනස් වුණා. පේ‍්‍රමයට යොමු වෙන්න තිබුණු කාලය ඇහිරුණා. කොටින්ම ඒක චොයිස් එකක් නොවන තැනට පත්වුණා. පේ‍්‍රමය චොයිස් එකක් නොවුණ හින්දම අපි දෙවැනි විකල්පයක් හෙව්වා. ඒ හම්බ වුණ දේ තමයි ජවිපෙ දේශපාලනය.

ජවිපෙ වෙනුවෙන් දිවි පරදුවට තබලා කරපු වැඩ ඇති.

තිබුණා. මගේ නාට්ටි රට පුරා රැුගෙන යන බසයේ තමයි විජේවීරගේ කතා අන්තර්ගත කැසට්පටත් අරගෙන යන්නේ. ඒ වගේම ජවිපෙ ලීෆ්ලට් අරගෙන ගියෙත් ඒකේ. එදා ඒවා අහුවුණා නම් ඉතින් ගස්ම තමයි.

අද නම් දරා සිටින ඔබගේ පාසල් සමකාලීනයෝ ඉන්නවාද?

ඔව්. එක පන්තියේ නොවුණට රංජිතම් ගුණරත්නම්, කුමාර් ගුණරත්නම්, මහාචාර්ය ලලිත් සමරකෝ්න්, රූකාන්ත ගුණතිලක මගේ සමකාලීනයෝ. අපි එක එක ක්ෂේත‍්‍රවලින් මතුවුණා. රංජිතම් හිටියා නම් ජේවිපී එකේ ගමන් මඟ වෙනස් වෙන්න පවා තිබුණා. කුමාර් පවා හරිම සංවේදී මිනිසෙක්. සැබැවින්ම දක්ෂයෙක්.

සිනමාගමනය පිළිබඳ කතා කරමු.

අපි හැදෙන්නේ වැඩෙන්නේ නිදහසින් පස්සේ ඇති වුණ එක්තරා යුගයක. අධ්‍යාපනය ඇතුළෙත් අපි ඉස්සරහට එන්නෙම විවිධ ප‍්‍රතික‍්‍රියා හා ප‍්‍රතිචාර දක්වමින්. අපි දක්වපුු ප‍්‍රතිචාර හැමවෙලේම දේශපාලනිකයි. එහෙම වටපිටාවක අපේ සිනමා ප‍්‍රකාශන හැදෙන්නෙත් මේ දේශපාලන යථාර්ථය තුළමයි. ඒ නිසාම ඒ හරහා ප‍්‍රකාශ වන දේ මොන විදිහකින්වත් ඒ යථාර්ථයෙන් වියුක්ත වෙන්නේත් නෑ. ඒ තුළ අපිට සිද්ධ වෙනවා වෙනම විදිහකට අරගලයක යෙදෙන්න. සමාජය ඇතුළේ කිසියම් කම්පනයක් ඇති කරන්න. මම හිතනවා එදා ඒ කම්පනය පේ‍්‍රක්ෂකයන්ට දැනුණා. මම ‘ඉනිඅවන්’ දක්වා එනකොට ඒක ටිකක් වෙනස් වෙනවා. මොකද එතැනදි මම ඒ මොහොතේ මතවාදයට වඩා ඒක ප‍්‍රශ්න කරන තැනකට එනවා. මේ සියල්ලේ එකතුවෙන් තමයි ඔබ කලින් කිව් ලකුණ, මුද්‍රාව මා තුළ සටහන් වෙනවා ඇත්තේ.

ඔබට මේ මොහොතේ දේශපාලනය ගැන කියවීමක් ඇති. ඒක එළියට දානවට මම කැමතියි.

මගේ කියවීම නම් මේ මොහොතේ සිස්ටම් එක කඩා වැටිලා. අපි හිතනවා පුද්ගලයෙක් මාරු කරලා සිස්ටම් හදන්න පුළුවන් කියලා. ඒත් ඒක එහෙම බෑ කියලා තහවුරුයි. ඒ මොකද පුද්ගලයොත් මේ සිස්ටම් එකේම ගොදුරු වෙනවා. මේක විෂම වක‍්‍රයක්. මේක වෙනස් කරන එක විශාල අභියෝගයක්. අපි එකෙක් නරකයි කියලා එකෙක් ගෙනාවාම ටික දවසකින් හිතෙනවා හිටපු එකා හොඳයිනේ කියලා. ඒත් පසුගිය කාලේ සිදුවුණ පරිවර්තනය දිහා බලපුවාම හිතෙනවා යම් දෙයක් හරි දිනාගත්තා කියලා. ඒ ටිකවත් හදාගන්න වෙනවා. රටක් ඉදිරියට යන්න නම් පුද්ගලයන්ගේ හිතුමනාපයට වෙනස් කරන්න බැරි සිස්ටම් එකක් ආයේ හදන්න වෙනවා.

පේ‍්‍රමය සහ විවාහය ගැන අද ඔබගේ කියවීම කොහොමද?

පේ‍්‍රමය තමයි ජීවිතයක පදනම. මිනිස්සු ජීවත් කරවන්නේ පේ‍්‍රමය. මම හැමදාමත් ආදරය කරන්න කැමතියි. ඒත් විවාහය කියන එක ඊට හාත්පසින්ම වෙනස්. විවාහය කියන්නේ ද්‍රව්‍යමය බැඳීමක්. මම අද හිතනවා විවාහය ඇතුළේ පදනම වෙන්නෙ පුද්ගලික දේපළ කියලා. විවාහය කියන්නේ හැමවිටම පේ‍්‍රමය මත පදනම් වෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා මම විවාහයට වඩා පේ‍්‍රමයට කැමතියි.

ඩි‍්‍රන්ක් එකක් එක්කත් ගොඩක් දුර යන්න පුළුවන් නේද?

ඇත්තටම. ඒක සමාජ ආශ‍්‍රයක්. මට තනියම බොන්න බෑ. මට බොනවා කියන එක තනි වැඩක් නෙමෙයි, ලොකු ඇසුරක්. ඒ තුළ මිතුරු සමාගමක් තියෙනවා. ඒ තුළ බොහෝ දුර යන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ ඒ දුර යන්න පුළුවන් ශික්ෂණය ඇති කරගන්න එකයි. මධුවිතක් ඇතුළේ වින්දනයක් තියෙනවා. ඒක සෝෂල් වැඩක්. මම ඒකට කැමතියි.

ravaya

1 comment:

Powered by Blogger.