Header Ads

එපා කඩන්න පක්ෂ -- උපුල් ජෝසප් ප්‍රනාන්දු

"පක්ෂ කඩල තුන්වැනි බලවේග හදපු ලංකාවේ කිසිම නායකයෙක්ට හරි ගියේ නැහැ..."
මාධ්‍යවේදියෙක්ට මෙහෙම කීවේ ජේ‍යාතිෂවේදියෙක් එහෙම නොවේ. පරණ දේශපාලනඥයෙකි.


"ඇයි ඒ...?"
මාධ්‍යවේදියා ආපිට ඇසුවේය.
"ඒක මටත් හිතාගන්න බැහැ..."
ඔහු කීවේය. ඔහු කී කතාව ඇත්තය. ලංකාවේ පළමු වරට පක්ෂයක් කඩල තුන්වැනි බලවේගයක් හැදුවේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකය. ඔහු ශ්‍රීල.නි.ප.ය හැදුවේ එ.ජා.ප.ය කඩාගෙන ගිහින්ය. ඔහු ශ්‍රීල.නි.ප.ය හදනකොට මෙරට ප්‍රධාන පක්ෂ දෙකක් තිබිණි. එකක් ආණ්ඩු බලය හිමි එ.ජා.ප.යය. අනෙක විපක්ෂයේ සමසමාජ පක්ෂයය. බණ්ඩාරනායක ශ්‍රීල.නි.ප.ය හැදුවේ තුන්වැනි බලවේගයක් ලෙසය. බණ්ඩාරනායක ශ්‍රීල.නි.ප.යෙන් ආණ්ඩුවක්ද පිහිටෙව්වේය. හැබැයි නොසිතූ වෙලාවක නොසිතූ විදියට ඝාතනයට ලක් විය.


ඉන්පසු ශ්‍රීල.නි.ප.ය කඩාගෙන ගිහින් බණ්ඩාරනායක වගේම ප්‍රබල පක්ෂයක් හැදුවේ විජය කුමාරණතුංගය. ඔහු ශ්‍රීල.නි.ප.යේ දක්ෂ රැඩිකල් නායකයන් සහ ප්‍රබලයන් එක්කරගෙන මහජන පක්ෂය හදල ල.ස.ස.ප.ය, කො.ප.ය ඇතුළු වමේ පක්ෂ එකතු කරගෙන එක්සත් සමාජවාදී පෙරමුණ හැදුවේය. විජය ජේ.ආර්.ගේ ආණ්ඩු කාලයේ මින්නේරිය අතුරු මැතිවරණයට තරග කොට දෙවැනි තැන ගෙන ශ්‍රීල.නි.ප.ය තුන්වැනි තැනට දැම්මේය. ඔහු 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටියදී ඝාතනයට ලක් විය.


යළිත් බණ්ඩාරනායක සහ විජය වගේ පක්ෂයක් කඩාගෙන ගොස් තුන්වැනි බලවේගයක් හැදුවේ ලලිත් සහ ගාමිණීය. ඒ එ.ජා.ප.ය කඩාගෙන ගොස්ය. එ.ජා.ප.ය කඩාගෙන ගොස් ලලිත් සහ ගාමිණී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ හැදූහ. අලියා වෙනුවට රාජාලියා තෝරා ගත්හ. ඔවුහු එ.ජා.ප.යේ සිටි තරුණ රැඩිකල් කොටස් ප්‍රේමදාසගේ නායකත්වයට එරෙහිව ප්‍ර.එ.ජා.පෙ. වටා එකතු කළහ. 1993 පළාත් සභා මැතිවරණයේදී ඔවුහු ඡන්ද ලක්ෂ 10ක් පමණ කැඩූහ. හැබැයි ඊට පෙර ලලිත් ඝාතනය විය. පසුව ගාමිණී ඝාතනය විය.


ෂන්මුගදාසන්ගේ කොමියුනිස්ට් පක්ෂයෙන් කැඩිලා ගොස් තුන්වැනි බලවේගයක් හදපු රෝහණ විජේවීරත් ඝාතනය විය.
"පක්ෂ කඩල තුන්වැනි බලවේග හදන නායකයන්ට මොකක්ද මේ පල දෙන අපලය..."


එය අබිරහසකි. ලංකාවේ පක්ෂ කඩල තුන්වැනි බලවේග හදපු නායකයන් ජනප්‍රිය නායකයන්ය. බණ්ඩාරනායක එ.ජා.ප.ය කඩාගෙන යන විට ඔහු ඒ ආණ්ඩුවේ ජනප්‍රිය නායකයෙකි. විජය ශ්‍රීල.නි.ප.ය කඩාගෙන යන විට එවකට ලංකාවේ ජනප්‍රියතම නායකයෙකි. විජයට ශ්‍රීල.නි.ප.ය විනාශ කොට මහජන පක්ෂය ප්‍රධාන විපක්ෂය කරගත හැකි වනු ඇතැයි හැමෝම සිතූහ. හෙක්ටර් කොබ්බෑකඩුව, ටී.බී. ඉලංගරත්න, පී.ඩබ්ලිව්. කුලරත්න වැනි ප්‍රබල ශ්‍රීල.නි.ප.යේ ජේ‍යෂ්ඨ නායකයන්, පීටර් කෙනමන්, බර්නාඩ් සොයිසා වැනි වාමාංශික පක්ෂවල පතාක යෝධයන් විජය වටා එක්වූයේ විජය ජේ.ආර්.ට සටනක් දිය හැකි විකල්ප නායකයා කියා හිතාගෙනය. විජය මින්නේරිය අතුරු මැතිවරණයට තරග කරන්න ගියේ ජේ.ආර්.වත් මැතිනියත් දෙදෙනාගේම නායකත්වය පරාජය කොට රටේ ජනතාව ඉල්ලන නායකයා වෙන්නටය. එකල විජය යන යන තැන මහජනයා එක්රොක් වූයේ මී මැසි පොදියක් මෙනි. ජේ.ආර්. ද එයට බය විය. ඔහු විජයව නැක්සලයිට් චෝදනා එල්ල කොට සිරගත කළේ එහෙයිනි. එහෙත් විජය ගැන විජය වටේ එකතු වූවන්ට අධි තක්සේරුවක් තිබූ බව විජය සමඟ මහජන පක්ෂයට ගිය ශ්‍රීල.නි.ප.යේ නියෝජ්‍ය සභාපති ටී.බී. ඉලංගරත්න සිය 'යුගයක ගමන' ග්‍රන්ථයේ සඳහන් කොට ඇත. එය හෙළිවූයේ මින්නේරිය අතුරු මැතිවරණයෙන් බව ඔහු ලියා ඇත. පහත දැක්වෙන්නේ එම කොටසය.


'ශ්‍රීල.නි.ප.යේ නව නායකත්වයේ අගතිගාමීත්වය කෙරෙහි කලකිරුණු ප්‍රගතිශීලී මධ්‍යම කාරක සභිකයන් ඇතුළු බොහොමයක් හා තරුණ නවකයෝ රාශියක් ප්‍රගතිශීලී දේශපාලන ගමන යථා පරිදි යළිත් යෑම සඳහා නව පක්ෂයක් ඇති කිරීමට පසුබිම් හා සංවිධාන සකස් කර එම ව්‍යාපාරයට මඟ පෙන්වීමට මටද ඇවිටිලි කළහ.
උදේ‍යාගිමත් නවකයන්ට ඔවුන් ගන්නා ඒ පියවරේ බැරෑරුම්කම පැහැදිලි කර දුනිමි. ඒ සියල්ලටම ඔවුන් සූදානම් බව කීවෙන් මම ආරාධනය පිළිගතිමි.
මගේ සමකාලීන සගයෝ බොහෝ දෙනෙක් මා අධෛර්ය කළත් මගේ සන්ධ්‍යා සමයේදී ටික කලක්වත් යොවුන් වෑයමට යෙදවීමට තීරණය කළෙමි.
ඒ අනුව ශ්‍රී ලංකා මහජන පක්ෂය නමින් නව පක්ෂයක් ජනවාරි 22දා පෙරවරුවේ නිල වශයෙන් කොළඹ නව නගර ශාලාවේදීද පස්වරුවේ උත්සවාකාරයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා භූමියේදී ද මෙවැනි අවස්ථාවක් පෙර නුදුටු විරූ තරම් මහ ජනතාවක් මධ්‍යයේ පිහිටුවන ලදී.
මම ආරම්භක සභාපති වශයෙන්ද පත් කරනු ලදිමි. මා කළ ආරම්භක දේශනයට අඩංගු වූ අදහස් කීපයක් උපුටන වශයෙන් උප ග්‍රන්ථයට ඇතුළත් කර ඇත.
ප්‍රතිපත්ති පදනමේ ප්‍රථම වගන්තිය මෙහි සඳහන් කිරීම ප්‍රයෝජනය.


"ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රගතිශීලී මහජන රජය පිහිටුවන ලද අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ නායකත්වයෙන් ආරම්භ වූ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී මහජන ගමන ආත්මාර්ථකාමීත්වයෙන් හා ඒකාධිපති පුද්ගලවාදයෙන් නිදහස් කර, ප්‍රගතිගාමීන්ගෙන් මෙන්ම අගතිගාමීන්ගෙන්ද ආරක්ෂා කර, යථානුරූපව ඉදිරියට ගෙන යමින් ජාතික ස්වාධීනත්වය තුළින් ශ්‍රී ලංකාවේ ඒකීයභාවයද, ජාතික සමඟියද ඇතිකර හැම කෙනකුටම තෘප්තිමත් ජන ජීවිතයක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අරමුණ වන්නේය"


ශ්‍රී ලංකා මහජන පක්ෂයේ වගකීම වශයෙන් පිළිගන්නා ලද්දේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකත්වය ඇතුළු ප්‍රගතිගාමීත්වයට එරෙහිව 1951 ප්‍රකෘති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන් ප්‍රගතිශීලී දේශපාලන පක්ෂවලට හා බලවේගයන්ට පොදු වේදිකාවක් ඉදිකර සමානාත්මතා සමාජය ගොඩනැංවීමේ මාර්ගය ක්‍රමවත් කිරීමය.


නව පක්ෂයේ ඒ අභිලාෂයන් කෙරෙහි විශ්වාසය තබා ඉතා සතුටුදායක ප්‍රතිචාරයක් ප්‍රගතිශීලී පක්ෂවලින් ආරම්භයේ සිටම ලැබීම මහත් ධෛර්යයක් විය.
වාමාංශික පක්ෂ සමඟ නැවතත් හාදකම් ඇති කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උපක්‍රමශීලීව වෙර වඩද්දී එය ප්‍රතික්ෂේප කර ප්‍රගතිශීලී පක්ෂ එසේ මහජන පක්ෂය සමඟ එක්වී ඒ සාමූහික ප්‍රගතිශීලී ඉදිරි ගමන කෙරෙහි ජනතා විශ්වාසය වර්ධනය වීමටද මහත් ආධාරයක් විය.
ආරම්භයේ සිටම ශ්‍රී ලංකා මහජන පක්ෂයට දක්වන ලද මහා ජනතා ප්‍රසාදය විශේෂයෙන්ම නවකයන්ගේ අභිනන්දනයට හේතු විය. එය පුද්ගල අභිවාදන ලෙස සිතා ගන්නටද ඇතැමුන්ට සාධක සේ පෙනිණි. මේ ආදී හේතූන් නිසා ඇතැම් යෞවනයෝ තම දේශපාලන ශක්තිය සම්බන්ධ අධි තක්සේරුවක් ඇති කරගත්හ.
"සටන කොතැනද එතැන ශ්‍රී ල.ම. පක්ෂය සටන් කළ යුතුය" යන අදහස ප්‍රකාශ කරන්නට තරම් සමහරු වේගවත්ද වූහ. එම අදහසට එකඟ නොවූවන් දේශපාලන අලසයන් ලෙසද බියසුල්ලන් ලෙසද සැලකූහ.


මේ අභියෝගාත්මක වේගය රුවාගෙන අතුරු මැතිවරණ සියල්ලටම තරග කළ යුතුය යන සිතිවිල්ලද ඇති කරගත්හ. මෙම අතිධාවන ආකල්පයට හිතවතුන් ලෙස පෙනී සිටි පාක්ෂික නොවන ඇතැමුන්ගේ දිරි ගැන්වීමද යහමින් ලැබිණි. එයද ඔවුහු පදනමක් කර ගත්හ.
රජය නියම කළ පළමු අතුරු මැතිවරණ දෙකටම තරග කිරීමට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට කළ බලකිරීම නොඉවසා සිටින්නට මධ්‍යම කාරක සභාවට නුපුළුවන් විය. දේශපාලන පක්ෂයකට අවශ්‍ය විනය සාමූහික වගකීම හා පන්නරය ආදිය අතින් ශ්‍රීල.ම.ප. තවමත් ළදරු වියේ සිටි නිසාය.
අනතුරුව එවක සිටි ඉතාමත්ම ජනප්‍රිය පාක්ෂිකයන් වශයෙන් ආකර්ෂණ ශක්තියක් තිබූ විජය කුමාරණතුංග ප්‍රධාන ලේකම්තුමා මින්නේරියටත් මහනුවර නාථ දේවාලයේ බස්නායක තනතුර දැරූ මහින්ද සේනානායක කුණ්ඩසාලයටත් ඉදිරිපත් වූහ.


ඒ ඡන්ද ව්‍යාපාර දෙකේම ශ්‍රී ලංකා මහජන පක්ෂ වේදිකාවේ ප්‍රමුඛත්වය දෙන ලද්දේද එතරම් දේශපාලන ප්‍රසිද්ධ යටගියාවක් නොමැති එහෙත් මුඛරි වේගවත් තරුණ කථිකයන්ටය. ඒ අතුරු මැතිවරණ සටන් දෙකම යෞවන ව්‍යායාම බවටද පරිවර්තනය කර ගත්හ.
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකත්වය විසින් ජනමත විචාරණ සමයේදී 'නැක්සලයිට්' යැයි හංවඩු ගසනු ලැබූ සමහර අපේක්ෂකයන් වශයෙන් මෑතදී පැවැත්වූ අතුරු මැතිවරණ පහළොවේදී ඉදිරිපත් වූ විට 'නීතිමුක්ත' ජනාධිපතිතුමාගේ ප්‍රකාශ හා එ.ජා.ප. තැරැව්කාරයන්ගේ උපක්‍රම මාර්ගයෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂය දෙවැනි තැනටත් ජාති, ආගම් භේද අවුස්සමින් පළමුවැනි වරට ඡන්ද සටන මෙහෙයවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තෙවැනි තැනටත් හෙළමින් මින්නේරිය ආසනය විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් එ.ජා.ප.ය ජය ගත්තේය.


කුණ්ඩසාලයේදී විශාල අඩු ඡන්ද සංඛ්‍යාවකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙවැනි තැන ලබාගත් අතර ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ඇපයත් රාජසන්තක විය.
විශේෂයෙන්ම මින්නේරි සටන ශ්‍රීල.ම.ප.යේ බලමහිමය දක්වන 'විජිතපුර සටන' ලෙස ජනතාව අතර ප්‍රසිද්ධව තිබුණු හෙයින් පක්ෂයේ ජනප්‍රිය බලවතා වශයෙන් වර්ධනය කරනු ලැබූ විජය කුමාරණතුංගගේ එම පරාජය නිසා නව පක්ෂයේ ශීඝ්‍ර පිරිහීම ආරම්භ වූ අතර ප්‍රගතිශීලී දේශපාලන සන්ධානයටද සෑහෙන පසුබැස්මකට මුහුණපාන්නට සිදු විය.


මේ පරාජයන් නිසා දේශපාලන නවකයන්ට එක්තරා පන්නරයක් ලැබුණු අතර නව පක්ෂයේ ජනතා තක්සේරුව සම්බන්ධයෙන් ද පුද්ගල අභිවාදනය දේශපාලන භූමියේ එතරම් බලපෑමක් නොවන බවටද මනා අවබෝධයක් ඇති විය.
එහෙත් දේශපාලන පන්නර දුර්ග මාර්ගයේ වැටකඩුලු බොහෝ නිසා සෑහෙන කාලයක්ද අවශ්‍ය වන්නේය.
අනපේක්ෂිත බාධාවන් හා අපහසුකම් කීපයක් දෙවැනි වසරේ මැද හරිය තෙක්ම මඟහරවා ගත නොහැකි වූ නිසා මගේ නිලයෙන් නිහඬව අයින් වී අවස්ථාවෝචිත අයකුට නායකත්වය භාරගැනීමට ඉඩ සලසා දීමට තැත් කළෙමි. එයට දේශපාලන මණ්ඩලයේ බොහෝ දෙනෙක් අසතුටු වූ නිසා තෙවැනි වසරේ සම්මේලනයෙන් පසු එසේ කිරීමට ප්‍රතිඥාවක් දී තෙවැනි වසරටද ඒකච්ඡන්දයෙන් මා සභාපතිත්වයට තේරීමද භාර ගතිමි.
මාස කීපයක් ඒ අනුව සභාපතිත්වය දරද්දී ඉහත සඳහන් බාධාවන් හා අපහසුකම්වලට අමතරව මගේ මඟ පෙන්වීම හා නායකත්වය එතරම් අවශ්‍ය නොමැති බව මට හැඟෙන අන්දමේ පැහැදිලි තත්ත්වයක් උදා විය.


ඒ නිසා මා දුන් ප්‍රතිඥාව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඒ බව දේශපාලන මණ්ඩලයේ ඇතැමුන්ට ඇඟෙව්වෙමි. එසේ නොකරන ලෙස මට නැවතත් ඇවිටිලි කළහ.
එහෙත් වගකිව යුතු පළල් දේශපාලන පක්ෂයකට අත්‍යවශ්‍ය විනය, සාමූහික වගකීම, සාමාජිකයන් අතර සමානාත්මතාව ආදී ගුණාංග යෞවන පරම්පරාවට තහවුරු කරගැනීමට මගේ ඉවත්වීමෙන් වඩාත් උචිත වාතාවරණයක් සැලසේය යන අපේක්ෂාවද පදනම් කරගෙන ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් මම විශ්‍රාම ගතිමි."
අද මහින්දගේ නායකත්වයෙන් වෙනම පක්ෂයක් පිහිටුවිය යුතුය යන මතය දරන හැමෝටම හැදිලා තියෙන ලෙඩේ මේ ටී.බී. ඉලංගරත්න කියන පුද්ගලාභිවාදන ලෙඩේය.


"මහින්ද නැතිව බැහැ... මහින්ද නැත්නම් අපි ඉල්ලන්නේ නැහැ... මහින්ද තමයි ජනප්‍රිය... මහින්ද වටෙයි සෙනඟ ඉන්නේ..."
එදා විජය ගැන ශ්‍රීල.නි.ප. පාක්ෂිකයන් සහ වාමාංශික පක්ෂ කියපු කතාවම අද මහින්ද සම්බන්ධයෙන් ශ්‍රීල.නි.ප.යේ මහින්දවාදීන් සහ විමල්ලාගේ, දිනේෂ්ලාගේ, වාසුදේවලාගේ පක්ෂ කියති. එදා. ල.ස.ස.ප. සහ කො.ප.ය, ශ්‍රීල.නි.ප. ජේ‍යෂ්ඨයන් සහ පාක්ෂිකයන් ඇවිස්සුවේත් මෙලෙසය. මැතිනි සහ අනුර එ.ජා.ප.යේ කොන්ත්‍රාත්තුවක් කරන බව කියමින් ඊළඟ ආණ්ඩුව පිහිටුවන්න පුළුවන් විජයට යැයි කීහ. ඔවුන් එසේ කීවේ මැතිනිය සහ අනුර තමන්ට තැනක් නොදෙන බව දැනගෙනය. 1977 මහ මැතිවරණයෙන් කුජීත ලෙස පරාජය වූ කො.ප.ය සහ ල.ස.ස.ප.ය තේරුම් ගත් සත්‍ය වූයේ මින් පසු මැතිනිය ඔවුන්ගේ නියම ශක්තිය දන්නා නිසා ඔවුන් ඉල්ලන ආසන තනතුරු දී සන්ධාන නොහදන බවය. එම නිසා ඊළඟ මහ මැතිවරණයෙන් තමන්ට පාර්ලිමේන්තුවට රිංගා ගන්න ශ්‍රීල.නි.ප.ය දෙකඩ කර ගෙන තමන්ට අවනත නායකයෙක් පත් කරගත යුතු යැයි සිතූහ. ඔවුන් විජයව පාවිච්චි කළේ ඒකටය. අද විමල්ලා, දිනේෂ්ලා, වාසුලා කරන්නේත් ඒකමය.

තමන්ට මෛත්‍රි ළඟ චරිත වෙන්න බැරි බව දන්නා ඔවුන් මහින්ද පාවිච්චි කොට ශ්‍රීල.නි.ප.ය දෙකඩ කර තම දේශපාලන පැවැත්ම ආරක්ෂා කර ගන්න දත කයි. එදා ඉලංගරත්නලා, කොබ්බෑකඩුවලා වැනි ශ්‍රීල.නි.ප. පතාකයන් ල.ස.ස.ප., කො.ප. උගුලට හසු වූවා සේ අද ශ්‍රීල.නි.ප. ප්‍රබලයන්ද විමල්, දිනේෂ්, වාසුලාගේ උගුලට හසු වී ඇත. එදා ඉලංගරත්න විජයවාදීන් ගැන කී අති ධාවන කතාව අද මහින්දවාදීන්ටද අදාළය. පක්ෂ කඩාගෙන ගිහින් තුන්වැනි බලවේග හදපු හැමෝම අති ධාවනකාරීන්ය. ඔවුන් එක් ජනප්‍රිය නායකයෙක් වටා ගොනු වී අන්ධ වී යන්නේ අති ධාවන ගමන්ය. එය ලලිත්ට සහ ගාමිණීටත් අදාළය. මේ රේස් එක ඉවර වන්නේ මහ අනතුරකින් බව තුන්වැනි බලවේග හදපු නායකයන්ගේ ඉරණම කියවන විට පැහැදිලිය.

1 comment:

  1. විජයගේ උදාහරණය මෙතැනට ගැලපෙන්නේ නැත. ජනතාව විජය වටා රොක් වුණේ ඔහුගේ නළුකමට මිස දේශපාලනයට නොවේ. ඒ නිසා ඔවුහු ඔහුගේ ඡන්ද දායකයෝ නොවුහ. ඔහු දැරූ දේශපාලන මතය ද මේ රටේ බහුජනතවගේ මතය නොවුණි. එහෙත් මහින්ද යනු රටකට දුර්ලභ සම්පතක් වන නායකත්ව හැකියාවෙන් පිරිපුන් පරිණත නායකයෙකි; රටට සාමය උදා කර රටේ ආර්ථිකය දියුණු කර වැඩ පෙන්වා ඇත්තෙකි. ඔහු නියෝජනය කරන ජාතිකත්ව මතවාදය සිංහලයන් බහුතරයකගේ දේශපාලන මතවාදය ම වෙයි (රනිල්-සිරිසේන දෙබානට ඔවුන්ගෙන් 40%ක්වත් ඡන්දය දී නැත). ඒ නිසා අපරිණත දේශ ද්‍රෝහී විජයවත් පරිණත දේශප්‍රෙමී මහින්දවත් සැසඳීම වැරදිය.
    අලුත් පක්ෂ හැදු නායකයන් ඝාතනය කිරීම් ගැන නම් කිව යුත්තේ ඒවාට සෘජුව හෝ වක්‍රව යුඑන්පිය සම්බන්ධ බවත් බණ්ඩාරනායක මහතා ඝාතන කුමන්ත්‍රණය මෙන් ම අලුත් පක්ෂ නොහැදු බණ්ඩාරනායක මහත්මිය ඝාතන කුමන්ත්‍රණ ද ඔවුන්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරී ඇති බවත් ය.

    ReplyDelete

Powered by Blogger.