Header Ads

පටි තද කරගෙන තිත්ත බෙහෙත් බීම

නිසි ආර්ථික කළමනාකරණයක්‌ නැත්නම් රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙන බව මුදල් රාජ්‍ය ඇමැතිවරයා පසුගියදා (16 දා) පවසා තිබිණි. මේ කියන්නේ ආණ්‌ඩුවේම ඇමැතිවරයකු වන නිසා ඒ පිළිබඳව තරමක්‌ නොව බොහෝ සෙයින් සිතා බැලිය යුතුය.

ආණ්‌ඩුව 2016 අයවැය ඉදිරිපත් කරන ලද්දේ 2015 නොවැම්බර් 05 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්‌ඩුවේ මධ්‍යකාලීන ප්‍රතිපත්ති යෝජනාවලිය පදනම් කරගනිමිනි.

ඒ අනුව රැකියා අවස්‌ථා දසලක්‍ෂයක්‌ බිහි කිරීම, ආදායම් ඉහළ නැංවීම, ග්‍රාමීය ආර්ථික සංවර්ධනය, ජනතාවටත් මධ්‍යම පාන්තිකයන්ටත්, රජයේ සේවකයන්ටත් දේපළ අයිතිය ලබාදීම, ශක්‌තිමත් හා පුළුල් මධ්‍යම පන්තියක්‌ බිහි කිරීම වැනි කාරණා විශේෂිත විය.

මේ කියන කාරණාවලට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය කිහිපවරක්‌ම සංශෝධනය කරන්නටද යෙදිණි. ඊළඟට ඉතාම ආසන්න සති කිහිපයකට උඩදී රට ණය උගුලක හිරවී ඇතැයි අලුතින් බදු පැනවීමට හා කපා දැමූ බදු නැවත ක්‍රියාත්මක කරමින් බදු ඉහළ දැමීමට සිදුවන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මේ සමාප්aත ක්‍රියාවලිය දෙස බලන විට මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියන කතාව ඇත්තක්‌ බව අපට පෙනේ. එහිදී මුදල් රාජ්‍ය ඇමැතිවරයා තවත් වැදගත් අදහසක්‌ ද ඉස්‌මතු කරයි. ඒ, තරගයට දේශපාලන පොරොන්දු දීමේ විපාකවලට මුහුණ දීමට දැන් සිදුව තිබෙන බවය. මේ පොරොන්දු අතර ජනතාවට ලබාදෙන සහන ද බොහෝ සෙයින් තිබුණු බව කිව යුතුය. එහෙත් මුදල් ඇමැති රවී කරුණානායක මේ ගැන කියන්නේ වෙනස්‌ම කතාවකි. ඇමැතිවරයා කියන පරිදි රජයකට හැමදාමත් සහනාධාර ලබාදීමේ හැකියාවක්‌ නැත. එමෙන්ම ඔහු වැඩිදුරටත් කියන්නේ වත්මන් රජය බලාපොරොත්තු වන්නේ රටේ ආදායම වැඩි කිරීම බවය. එහෙත් ඇත්ත වශයෙන්ම මේ ආණ්‌ඩුව පත් කරගත් දා සිටම ජනතාව සහන ඉල්ලුවේ නැත. එහෙත් ආණ්‌ඩුව තිබෙන සහන ද කපා දමන්නට ක්‍රියා කිරීම සාධාරණ නැත. පොහොර සහනාධාරය සම්බන්ධයෙන් දැන් මතුව ඇත්තේ එවැනි තත්ත්වයකි. වී සඳහා සහතික මිලක්‌ නැත. තවමත් වී අස්‌වැන්න කුණු කොල්ලයට හාල් මෝල්කරුවන් කිහිපදෙනෙක්‌ බෙදා ගනිති. ජනතාව ඉල්ලුවේ මෙවැනි කාරණා විධිමත් ලෙස සැලසුම් කර දෙන ලෙසය. එහෙත් ඇත්තටම සිදුව ඇත්තේ වෙනස්‌ දෙයකි. අගමැතිවරයා නව බදු සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කීවේ අත්‍යවශ්‍ය භාණ්‌ඩවල මිල ඉහළ නොදමනා බවය. එහෙත් බදු සමඟ භාණ්‌ඩවල මිල ඉහළ යැම කිසිසේත්ම නතර කළ නොහැකි කාරණයක්‌ බව නොදන්නේ තවමත් තණකොළ ආහාරයට ගන්නා සමහරක්‌ බව බුද්ධිමත් පාඨකයාට ලෙහෙසියෙන්ම අවබෝධ වන කාරණයකි. ඒ අනුව ඉදිරියේදී පිටි මිල රුපියල් හතකින් පමණද ඒ නිසාම පාන් මිල රුපියල් 2-5 ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමන්නට සිදුවන බවද මේ වන විටත් කියන්නේ බේකරි නිෂ්පාදකයන්ය. කවරෙක්‌ මොන තර්ක ගෙන ආවද, සහල් කිලෝවක මිල රුපියල් 80 -100 ත් අතර රැඳී තිබේ. හදිසියේ හෝ එය වැඩි වුණොත් මිස අඩුවීමක්‌ නැත.

නිසි කළමනාකරණයක්‌ නැත්නම් රට විශාල ආර්ථික අර්බුදයක යෑයි කියන විට අපට ඉහත කී "සුළු කාරණා" නිසා යම් තරමක බයක්‌ දැනේ. පරණ ආණ්‌ඩුවේ උදවිය භාණ්‌ඩාගාරය හිස්‌ කර රට ණය කර ඇති බව කීම හා ඒ නිසාම බදු වැඩි කිරීමත් ජනතාවට "තිත්ත බේත්" දීමට උත්සාහ කිරීමත් ප්‍රායෝගික නැත. එසේ කීම ආණ්‌ඩුවේ මධ්‍යකාලීන ප්‍රතිපත්ති යෝජනාවලියේ ආර්ථිකය සමග සම්බන්ධ කාරණා සමඟ ගැළපෙන්නේද නැත.

මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියන කතාව ඇත්ත යෑයි සිතන්නට තවත් බොහෝ කරුණු කාරණා තිබේ. ඉන්දියාව මිලියන හත්සියයක මුදලක්‌ හදිසි ණය ලෙස ලබා දෙන්නේ ආර්ථිකය පවත්වාගෙන යැමටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදීමට නියමිත ණය තවමත් ප්‍රමාදය. ඉතින් තිත්ත බේත් බොන අතරේම පටිත් තද කරගෙන සිටින අපට යම් තරමක බයක්‌ දැනීම සාධාරණ නැද්ද?


divaina -

No comments

Powered by Blogger.